අටලුගමින් යළිත් එළි බසින සහරාන්ගේ අවතාර | සිළුමිණ

අටලුගමින් යළිත් එළි බසින සහරාන්ගේ අවතාර

මේ සතුන් බැඳ දමමු !

සැමියා සිංහල නිසා අවුරුදු 11ක් පල්ලියේ අන්තවාදීන්ගේ පීඩාවට ලක් වුණා

මුස්ලිම් ආගමට හරවන්න මරණ තර්ජන කරද්දි ඉන් බේරෙන්න සැමියා රට ගියා

දැන් ඉන්නෙ මර බියෙන්... කොයි වේලාවෙ මරයිද දන්නෙ නෑ

දාහක් විතර ඇවිත් ගෙදර වට කළා; පොලිසිය ඉද්දි ගෙට පැනලා ගැහුවා, පස්සෙ පාර දිගේ ඇදගෙන ආවා...

ආගමික අන්තවාදය යනු ම්ලේච්ඡත්වයේ ප්‍රකාශනයකි. පාස්කු දින ප්‍රහාරයත් සමඟින් ඉස්ලාම් අන්තවාදීන්ගේ පීඩනයට පත්වූ බොහෝ දෙනෙක් තම දුක් අඳෝනා හෙළි කිරීමට ඉදිරියට එමින් සිටිති. පසුගිය දශකයකට වැඩි කලක් තිස්සෙ ඉස්ලාම් අන්තවාදීන් නිසා අන්ත දුක්විඳි යුවළක් පසුගියදා මාධ්‍ය ඉදිරියේ තම කඳුළු කතාව හෙළි කළහ.

වර්ෂ 2008 දී ආදර සබඳතාවකින් විවාහ වන දෙදෙනාගෙන් පිරිමියා සම්පත් ගුණතිලක නමැති සිංහල තරුණයෙකි. කාන්තාව අබ්දුල් හසන් ෆාතිමා හයිෆා නමැති මුස්ලිම් කතකි. දෙපාර්ශ්වයේ සියලු ඥාති හිතවතුන්ගේ ආශිර්වාද මැද විවාහවූ දෙදෙනා අන්‍යෝන්‍ය අවබෝධයෙන් තම තමන්ගේ ආගම් පිළිවෙත් පිළිපදිමින් ජීවත් වූයේ කිසිවකුටත් කරදරයක් නැතිවය. එහෙත් තම ජීවිතවලට කණකොකා හැඬලූයේ නොසිතූ ලෙසිනි.

මේ වන විට එකොළොස් හැවිරිදි සහ හත් හැවිරිදි දියණියන් දෙදෙනෙකුගේ මවක වන 38 හැවිරිදි ෆාතිමා තම ජීවිතයේ දුක්ඛදායක ඉරණම උරුම වූ ආකාරය අපට මෙසේ හෙළි කළාය.

“මගේ ගම බේරුවල මරදානේ. සුනාමියට ගෙවල් ලැබිලා බණ්ඩාරගම අටලුගම ජීවත් වුණේ. 2005 දී වගේ මං කොළඹ රැකියාව කරන කොට මහත්තයා මට හමු වුණේ. එයත් අපේ ඔෆිස් එක අවටමයි රැකියාව කළේ. පස්සෙ අපි දෙන්නා 2008 විවාහ වුණා. විවාහ වෙලා ගෙදර ගියාම සිංහල කෙනෙක් බැඳලා ඉන්නෙ කියලා අපිව එළවන්න හැදුවා. මහත්තයට තර්ජනය කළා. මගේ ඇඳුම්වලින් ඇදලා හොඳටම ගැහැව්වා. අන්තිමට පොලිසියට ගිහින් පැමිණිල්ලක් දැම්මා. පස්සෙ අපි ටික කාලෙකට මාලඹේ පදිංචියට ගියා. දරුවා හම්බ වෙන්න එනකොට නැවතත් මට අටුලුගම අම්මා ගාවට යන්න වුණා.“

“එහෙම ගියාම මහත්තයට ගෙදර ඉන්න දෙන්න බෑ කියලා පල්ලියෙන් කීවා. බාබා හම්බ වෙන්න ඉන්න නිසා මට ඉන්න දුන්නා. මුස්ලිම් ගම්මානෙක සිංහල කොල්ලෙකු තියාගන්න බෑ කියන දෙයයි ඒ අන්තවාදීන් කීවේ.“

“මහත්තයා ගියා. එයා හොරෙන් මාව බලන්න එන්නෙ. ඔහුට තර්ජනය කළා ආගමට එන්න කියලා. පල්ලියේ අයත් සමඟ කතාබහ කරලා නැවතත් මහත්තයා අටුලුගම ගෙදර නතර වෙන්න ආවා.“

“එහෙම ඉන්න කොට සෑම දිනෙකම පාහේ පල්ලිවලින් ඇවිත්, එයාට කරදර කරනවා ගෙවල් දෙන්නම්, වාහන දෙන්නම් ඔයා අපේ ආගමට එන්න කියා. ඒවට එයා කැමැති වුණේ නෑ. ඒ වගේම මටත් ඕනෙ වුණේ නෑ මහත්තයා මුස්ලිම් ආගමට බඳවාගන්න. එයාටත් අවශ්‍යතාවක් තිබුණේ නෑ මාව බෞද්ධ ආගමට ගන්න. අපි දෙන්නා නිතරම හිතුවේ දෙන්න දෙන්නගේ විදිහට ජීවත් වෙමු කියායි.“

දවසක් පල්ලියෙන් දාහකට වැඩි පිරිසක් සමඟ ආවා. මහත්තයාගේ බෙල්ලට උල් ආයුධයක් තියලා, ඔයා මොකද්ද කියන්නෙ ආගමින් හැරෙනවද, වෙනස් වෙනවද... ඔය ආගමේම ඉන්නවා නම් මේ ගමේ ඉන්න බෑ කියලා තර්ජනය කළා. මේ මිනිස්සු මොන තරම් උන්මත්තකයෝද කියන්නෙ දවසක් මහත්තයගේ අම්මයි තාත්තයි ඉන්න තඹුත්තේගම නිවෙස හොයාගෙන ගිහින් මාව බැන්දා කියලා ඒ දෙන්නවත් මුස්ලිම් ආගමට හරවාගන්න.“

“අන්තිමට මහත්තයට මෙහේ ඉන්න බැරි නිසාම 2011 රට ගියා. ඒ අවස්ථාවේ පල්ලියෙන් නැවතත් ඇවිල්ලා කියනවා, එයා ගැන හොයන්න එපා... ඔහු අතෑරලා දාලා ළමයත් එක්ක මුස්ලිම් කෙනෙකුට බන්දලා දෙන්නම්... මාව ළමයි එක්ක බාරගන්නම්... නැති නම් ළමයි එයාට දීලා වුණත් කමක් නෑ කසාද බන්දවන්නම්... කියමින් එක් එක් මුස්ලිම් අය යෝජනා කරන්න පටන්ගත්තා. එහෙම යෝජනා කළේ ලොකු ලොකු හජියාර්ලා.“

ඇය පවසන්නෙ ඔවුන් කවුරුන්ද යන්න නම්වලින් වුවද පැවැසිය හැකි බවයි.

“ඒ කිසිවකින් එයාලට බැරි වුණා මාව නම්ම ගන්න.“

පිටරට සිට පැමිණි ස්වාමියා නැවතත් ඉස්ලාම් ආගමට හරවා ගැනීමට මේ අන්තවාදීන් නොයෙක් උපක්‍රම යෙදූ බව ෆාතිමා පවසන්නෙ හඬා වැටෙමිනි.

“ නිතරම පල්ලියෙන් සීඩි, කැසට් ගෙනත් දෙනවා. දවසක් මහත්තයට සීඩි එකක් ගෙනත් දුන්නා. අවුරුදු 33ක් පැවිදි වෙලා හිටපු හිමිනමක් ඉස්ලාම් ආගමට ඇවිත් පල්ලියේ පූජකවරයෙකු වෙලා ඉන්නවා කියා එම සීඩී තැටියේ තිබෙනවා කියමින්, ඊට අමතරව සිංහලට පරිවර්තනය කළ ඉස්ලාම් ආගමික පොත්පත් විශාල ප්‍රමාණයක් මහත්තයට ගෙනත් දුන්නා. ඒ හැම කෙනාටම මහත්තයා කීවේ මට වුවමනාවක් නෑ ආගමෙන් වෙනස් වෙන්න. මං ඉපදිලා මැරෙන්නෙ බෞද්ධ ආගමෙන්මයි කියලා... ඒ වගේම මොන ප්‍රශ්න ආවත් මහත්තයත් කිසිම විටෙක මට කරදර කළේ නෑ මුස්ලිම් ආගමෙන් අයින් වෙන්න.“

“ඊට අමතරව මේ පිරිස මම බයිසිකල් පදිනවා කියාත් බලපෑම් කළා. මුස්ලිම් කාන්තාවකට බයිසිකල් පැදීම තහනම් කියමින් මහත්තයට කියා තිබුණා. ඔයාගේ වයිෆ් විතරයි මුස්ලිම් කාන්තාවක් ගමේ බයිසිකල් පදින්නෙ. ඔයාගේ වයිෆ් නිසා වෙනත් මුස්ලිම් කාන්තවනුත් සයිකල් පදින්න පුරුදු වෙයි. ඒ නිසා වහාම නතර කරවන්න... කියමින් මහත්තයට තර්ජනය කරලත් තිබුණා.“

එසේ අටලුගම මුස්ලිම් ගම්මානයේ පිහිටි ඉස්ලාම් පල්ලි දහයක පමණ ප්‍රමාණයෙන් ඉස්ලාම් අන්තවාදීන්ගේ මාරාව නමැති පල්ලියෙන් සිදු වන පීඩනය නිසා වෙනත් පෙදෙසක පදිංචියට යෑමට අදහසක් නොවූයේ මන්දැයි විමසූ කල ඇය පවසන්නෙ එතරම් වත්කමක් නොවූ බවයි. ඒ අතරේ ඇයට ජීවිතය අත්හැර යෑමට තරම් සිද්ධියක් වූයේ පසුගිය මාර්තු 24 වැනිදායි.

“එදා පන්ති ගිය ළමයා රෑ අටට විතර ගෙදර එක්කගෙන ආවා.

ඒ වේලාවෙ පල්ලියේ අය දැනගත්තා මහත්තයා ගෙදර නැහැ කියලා. අන්තිමට පල්ලියේ පිරිස ගේ වටේටම ඇවිත් හිටියා. නිවෙසට තට්ටු කරන්න ගත්තා.“

“දොර අරින්න දොර අරින්න පල්ලියෙන් ආවේ.... නීතිය කරන්නයි ආවේ කියමින් කෑගැහුවා. මායි ළමයි දෙන්නයි අම්මයි ගේ ඇතුළේ අඬමින් හිටියේ. කොහොමහරි අපි අඬන හැටි වීඩියෝ කරන්න පිරිස ගේ ඇතුළට රිංගන්න ආවා. මං 119ට කෝල් කළා.

පැය එකහමාරක් විතර ගියා පොලිසියෙන් එන්න. පොලිසියත් එක්කම එළියේ හිටිය සෙනඟ ගේ ඇතුළට ආවා.

ඇවිල්ලා ඒ අය කීවේම, පල්ලියෙ නීතිය කරන්න ඕනෙ... මෙයාගේ මනුස්සයා සිංහල අයෙක්. ඕනෙ නැති දේවල් මේ වහල යට වෙනවා. එහෙම දේවල් කරන්න දෙන්න බෑ. ඒක නිසා මෙහෙ ඉන්න දෙන්න බෑ කීවා. පොලිසියට කියනවා ළමයි දෙන්නවයි අර ගෑනු කෙනාවයි ඇදලා ගන්න කියලා. මොකද අපි පල්ලියෙ පිරිස දැකලා බයවෙච්ච පාර කාමරේට ගිහින් දොර ලොක් කරගත්තා.“

“අපි එහෙම ඉද්දි පොලිසියේ හතර දෙනෙකුත් නිවෙස තුළ ඇවිත් ඉද්දීම ඒ අන්තවාදීන් දොර කඩාගෙන ගේ ඇතුළට ඇවිල්ලා, මගේ දරුවෝ දෙන්නටත් ගහලා, මගේ ඇඳුම් පවා ඉරලා එළියට ගත්තා. ඒ වේලාවෙ පාර දිගට මිනිස්සු දාහකට වැඩිය ඉන්න ඇති. හරියට ඇඳුම් පවා නැතිව හිටිය මාව පාර දිගේ ඇදගෙන ගියා. පොලිසියේ අය බලාගෙන ඉද්දියි පල්ලියේ අය ඒ දේ කළේ. එහෙම යනකොට පල්ලියේ අයෙක් ඇවිත් කීවා, මෙයාට නීතිය කරන්නෙ පොලිසියෙන්ද නැත්නම් පල්ලියට අරන් ගිහින් ද කියලා.“

“ඒ වේලාවෙ මට හොඳටම තුවාල වුණා. පස්සෙ මාව බණ්ඩාරගම පොලිසියට අරන් ගිහින් කූඩුවට දාන්න හදනකොට ළමයි දෙන්න වැඳලා කීවා අපේ අම්මව කූඩුවට දාන්න එපා කියලා.

මගේ මහත්තයා පාන්දර දෙකට පොලිසියට ආවා. ඒත් අපට ගෙදර යන්න දුන්නෙ නෑ. පහුවදා හවස දෙකටයි ඇප දුන්නෙ. ඒත් ගෙදරට යන්න බෑ. පල්ලියේ පිරිස ගේ වටකරගෙන. මගේ යාළුවෙකුගේ ගෙදර දවස් හතරක් හිටියා.“

“පොලිසියේ පැමිණිලි නවයක් දැම්මා. ඒ කිසිම පැමිණිල්ලක් විභාග කළේ නෑ. මං ගියා ඒඑස්පී ඔෆිස් එකට තුන්පාරක්. ඊට පස්සෙ අප්‍රේල් හය වැනිදා පැමිණිලි විභාග කරන්න ගත්තා. එදා මායි, මහත්තයයි අම්මයි ළමයි දෙන්නයි ගියා.“

“පල්ලියේ බාරකාර හතර දෙනයි ඕ.අයි.සි මහත්තයයි ඉඳගෙන ගම් සභාවක් වගේයි මේ ප්‍රශ්නයට විසඳුම් සෙව්වේ. මට කීවා 28,000ක් දෙන්නම් කැඩිච්ච ගෙවල්දොරවල් හදාගන්න කියලා. එහෙම කියලා ඒ ගෙදරට නෙවෙයි වෙන ගෙදරකට කුලියට හරි යන්න කීවා.“

අන්තවාදීන්ගෙන් බැට කෑ ෆාතිමාට ජීවිතය කොතෙක් එපාවීදැයි කිවහොත් ඇය පවසන්නෙ සියදිවි හානි කරගැනීමට සිතුණු වාර අනන්තවත් තිබූ බවයි. එහෙත් සිතේ ධෛර්යයෙන් අදටත් ජීවත් වන බව ඇය පවසයි.

“පස්සෙ මං මානව හිමිකම්වලට, වින්දිතයන් සුරැකීමේ මධ්‍යස්ථානයට කතා කළා. ලිව්වා. ඒත් කිසිම දෙයක් වුණේ නෑ. අන්තිමට පසුගිය ජූනි 20 තමයි නඩුවක් හරි වැටුණේ. එදා මාව ඇඳුම් නැතිව ඇදගෙන යන සිදුවීම ඒ අන්තවාදීන්ම සමාජ මාධ්‍යයන්ට යොමු කර තිබුණා. ඒ වගේම මගේ අවුරුදු 11 දරුවා මුස්ලිම් අයෙකුට බන්දලා දෙන්න කියා බල කරනවා. මට නිතරම කළු ඇඳුම් අඳින්න කියල බල කරනවා. මේ දේවල් වෙන්නෙ සාමාන්‍ය මුස්ලිම් වැසියන්ගෙන් නොවේ. අන්තවාදී පල්ලිවලින්. ඒ කාලේ මං රස්සාවට ගියා කියලා මගේ තාත්තව පල්ලියට ගෙනිච්ච වාර අනන්තවත් තිබුණා.“

“මට කියන්න තියෙන්නෙ මේ අන්තවාදීන් මාව මැරුවා නම් මීට වඩා හොඳයි. ඒ වගේම මට වෙච්ච දේ කිසිම කාන්තාවකට සිදු නොවේවායි ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම මෙහෙම දේවල් සිදු වෙන්නෙ මං අහලා තියෙන විදිහට පාකිස්තානේ, බංග්ලාදේශ වගේ රටවල. ඒත් ලංකාවේ මෙහෙම දේවල් සිදු වෙන බව මා දැනගෙන හිටියෙ නෑ. දැන් මට මඩ ප්‍රචාරත් එල්ල කරනවා. මං මේ දේවල් හෙළි කළේ කිසිම වාසියක් ගන්නවත්, ප්‍රසිද්ධියක් ගන්නවත් නෙමේ. තවත් කාන්තාවකට මෙවන් දෙයක් සිදු නොවීමටයි. මගේ මහත්තයා මාත් සමඟ ඉන්නකල් මම කිසිම දේකට බය නෑ. ඔහු කියන්නෙ ඔයා කිසිම දේකින් සැලෙන්න එපා. ඔයාට මෙවැනි මඩ ප්‍රහාර එල්ල නොවුණොත් තමයි පුදුමේ කියලා.“

එලෙස අන්තවාදීන් නිසා කී දෙනෙකු නම් කඳුළු කතාවල හිර වී සිටීද යන්න ප්‍රශ්නාර්ථයකි. ෆාතිමා මාධ්‍ය හමුවේ හෙළි කළ බණ්ඩාරගම පොලිසියෙන් වූ අසාධාරණය ගැනත් බණ්ඩාරගම පොලිසිය ක්‍රියා කර ඇති ආකාරය පිළිබඳත් පොලිස් මූලස්ථානයේ ස්ථාපිත පොලිස් විශේෂ විමර්ශන ඒකකයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර පැවැසීය.

එසේම ෆාතිමා මාධ්‍යයන්ට තම අසාධාරණය හෙළි කිරීම නිසා මේ වන විට දැඩි මරණ තර්ජනයකට ලක් වී සිටින බවත් ඇය හමු වීමට යන මාධ්‍යයන්ට එරෙහිවද අටලුගම අන්තවාදීන් අවි අමෝරා සිටින බවටද වාර්තා වේ. එම නිසා අන්තවාදීන්ගෙන් අසාධාරණයට ලක්වූ ෆාතිමාගේ ආරක්ෂාව ගැන වගකිවයුත්තන් දැඩි අවධානය යොමු කළ යුතුය.

 

Comments