
අපේ ණය බර ඉහළයි. මේ අවුරුද්දෙ මුල් මාස හතරෙදි විතරක් අප ණය සහ පොලී වාරික ලෙස අමෙරිකානු ඩොලර් බිලියන 2,331.5ක් ගෙවා තිබෙනවා. ඒ වගේ ම මේ අවුරුද්දෙ විතරක් අපි ගෙවන්න ඕනෙ ණය සහ පොලිය අමෙරිකානු ඩොලර් මිලියන 5990ක්. ඒක ශ්‍රී ලංකාව එක් වසරක් තුළ ගෙවන ඉතිහාසයේ වැඩිම ණය සහ පොලී මුදල විදියට සටහන් වෙනවා. ඒ කියන්නෙ අපි ශ්‍රී ලාංකිකයන් විදියට හැම කෙනෙකුම හම්බ කරල බදු ගෙවන මුදල් යන්නෙ එක එක ආණ්ඩු යටතේ ගත්ත ණය සහ පොලී ගෙවන්න. ආණ්ඩුවක් මාරු වුණා කියල ණය මාරු වෙන්නෙ නෑ. ඒ ණය අපි ජාත්‍යන්තර ගිවිසුම් ගහල ගත්ත ඒව නිසා ඔළු මාරු වුණාට ජනතාව විදියට අපේ කරේ තියෙන බර මාරු වෙන්නෙ නෑ. එහෙනම් අපි මොකක් ද කරන්න ඕනෙ. ඒකට කෙටි පිළිතුර නිෂ්පාදන ආර්ථිකයක් නිර්මාණය කිරීම. සරලව කියනව නං අපේ නිෂ්පාදන හදල අපිත් ඒව ප්‍රයෝජනයට ගන්න අතරෙ පිටරටටත් යවල සල්ලි උපයා ගැනීම.
අපිට එහෙම කරන්න පුළුවන් ද? කෙටිම උත්තරේ පුළුවන්. මොකද අපට එහෙම ඉතිහාසයක් තිබුණා. අපි හොඳ ව්‍යවාසයකයො, බිස්නස්කාරයො කියල කිවුවොත් වඩාත් පැහැදිලි වෙයි. ඒකට ඕනෙ තරම් උදාහරණ අතීතයේ තියෙනවා. ඈත රටවල් එක්ක අපි කරපු ගනුදෙනු, භාණ්ඩ අපනයනය කළ විදිය ගැන ඕන තරම් උදාහරණ දෙන්න පුළුවන්. ඒ නිසාම අපට ගොඩයන්න පුළුවන් වෙන්නෙ ඒ අපේ ලේවලට මුසු වෙලා තියෙන ව්‍යවසායකත්ව හැකියාව මතු කර ගත්තොත් විතරයි.
අලුත් විදියට හිතල අලුත් විදියට කරන බිස්නස් ගැනයි අද අවධානය යොමු කරන්න ඕන. තරුණ තරුණියන් තුළ තියෙන අලුත් විදියට හිතන්න පතන්න පුළුවන් මනස පාවිච්චි කරල කරන අලුත් බිස්නස් ගැන මේ කියන්නෙ.
එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා කියන සංකල්ප උපදින්නෙ මෙන්න මෙතනදි. තේරෙන විදියට කියනව නම් මේකෙන් කෙරෙන්නෙ එහෙම අලුත් අදහස් තියෙන තරුණ අයට රජය මගින් සහන දෙන එක. සහන කිවුවම පොලී සහන ණය ලබා දෙන වැඩසටහන වෙනම ක්‍රියාත්මක වෙන අතරෙ ඔවුන්ට මේ ගැන ප්‍රායෝගිකවම කියල දෙන්න රජය ගමට එනවා. එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා දැවැන්ත ප්‍රදර්ශනය සංවිධානය වෙන්නෙ මෙන්න මේ අපේක්ෂාව පෙරදැරවයි.
වැඩේ පටන් ගත්තෙ මොණරාගලින්. වෙල්ලස්සේ කැරැල්ලට අවුරුදු 200ක් සම්පූර්ණ වෙද්දි ඒ විරුවන්ගෙ වත්මන් පරපුර ඉන්න මොණරාගලට එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ගියේ 2018 අගෝස්තු මාසෙ. දවස් තුනක්, අතුරු සිදුරු නැතුව පිරිල ගිය ඒ ප්‍රදර්ශනය මොණරාගල මිනිස්සුන්ට විතරක් නෙවෙයි රටට ම අලුත් අත්දැකීමක් වුණා.
අපි අර මුලින්ම කියල පටන් ගත්තනෙ; රටේ ඉහළ තැන්වලින් ගන්න තීන්දු තීරණය බිම් මට්ටමට යන්නෙ නැති කතාවක්. මේ ප්‍රදර්ශනයෙන් මූලික වශයෙන් කෙරෙන්නෙ අන්න ඒ ප්‍රායෝගික ගැටලුවට විසඳුම් දෙන එක. එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන පටන් ගත්තෙ වැඩේ හරියටම කරන්නයි. ඒ නිසා ව්‍යවාසයකත්ව හැකියාව තියෙන තරුණ තරුණියන් රජයේ කාර්යාලයට බැංකුවට එන්න කියනවට වඩා බැංකුව ඒ ජනතාව වෙත ගියාම වැඩේ වඩාත් ප්‍රායෝගිකයි. හැබැයි එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයත් එක්ක ගමට යන්නෙ බැංකු විතරක් නෙවෙයි.
අපි හිතමු මෙහෙම: කෙනෙක් ඉන්නවා බිස්නස් එකක් ගැන සිහින මව මව. එයා ඒ සිහිනෙන් එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශන භූමියට ඇතුළු වුණා නම් අපේ අතීතය ගැන, මොකක්ද බිස්නස් එකක් කියන්නෙ, පටන් ගන්නෙ කොහොම ද, මොනවද ලැබෙන වාසි, ණයක් ගන්නෙ කොහොම ද, ඒ වෙනුවෙන් මොනව ද කරන්න ඕනෙ දේවල්, මොකුත් ම තේරෙන්නෙ නැත්තම් ඒ ගැන උපදෙස් ගන්න පුළුවන් තැන්, ණය සඳහා රටේ තියෙන සියලු ම බැංකු නියෝජිතයොත් එක්ක කතා කිරීමේ හැකියාව, ණය සඳහා ලියාපදිංචිවීමේ හැකියාව ඇතුළු සියලු දේ මේ ප්‍රදර්ශන භූමියේ තියෙනවා.
මාතෘකාව දාල තියෙන විදියට ම ව්‍යවාසයකත්වය සිහිනයක් කියල කාට හරි හිතෙනවා නම් මෙන්න එන්න ඕනෙ තැන. ඒ කියන්නෙ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශන භූමිය.
පළමු ප්‍රදර්ශනයෙන් ගත්ත සුවිසල් අත්දැකීම් එක්ක අපි මේ වතාවෙ එන්නෙ අනුරාධුපරයට. අනුරාධපුර වලිංසිංහ හරිස්චන්ද්‍ර ක්‍රිඩාපිටිය තමයි තැන. දිනය මේ මාසෙ 24 – 27. ඇත්තට ම ඒක ප්‍රදර්ශනයක්; වෙළෙඳ සැණෙකෙළියක්. මේකෙ ප්‍රධාන අරමුණ අපි මුලින්ම කිවුවනෙ. ව්‍යවසායකත්ව අපේක්ෂාවන් සහිත ප්‍රදේශයේ තරුණ තරුණියන් ඉලක්ක කරගනිමින් තමයි ප්‍රදර්ශනය පැවැත්වෙන්නෙ. ඔවුන්ට අවශ්‍ය සේවා පහසුවෙන් ලබා ගත හැකි පරිදි මේ ප්‍රදර්ශනය ව්‍යවසායකත්ව කලාපය, රාජ්‍ය හා පෞද්ගලික අංශ කලාපය, අධ්‍යාපන කලාපය, හරිත කලාපය, නව නිපැයුම් කලාපය, වාණිජ කලාපය සහ මාධ්‍ය කලාපය ලෙස කලාප හතකට වෙන් කරල තියෙනවා.
ව්‍යවසායකත්ව කලාපය තමයි ප්‍රදර්ශනයේ හදවත. මොන දේ කළත් අපි අපේ ඉලක්කයට යන්න ඕනනෙ. ඒ නිසාම ව්‍යාවසායකත්ව අපේක්ෂාව ව්‍යාපාරයක් බවට පත් කර ගැනීම සඳහා වන උපදේශකත්වයන්ගේ ඉදල පොලී සහන ණය ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබා ගැනීම දක්වා වන සියලු කටයුතු එකම ස්ථානයක දී සිදු කර ගන්න මෙහි දී අවස්ථාව තියෙනවා. මුදල් අමාත්‍යාංශයේ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ නිලධාරීන් වගේ ම ශ්‍රී ලංකාවේ සියලු ම රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවල එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරීන්ගේ ද දායකත්වය මේ සඳහා ලැබෙනවා. අදාළ බැංකු වෙතින් ඒ මොහොතේ ම ණය මුදලක් ලබා ගැනීම සඳහා ලියාපදිංචි වීමේ හැකියාව ද ලබා දීල තියෙනවා.
රටේ ජනතාව වෙනුවෙන් රජය මොනව ද කරන්නෙ; ගොඩක් දේවල් කරනවා. සමහර දේවල් ඔබ දන්නෙත් නැතිව ඇති. රාජ්‍ය හා පෞද්ගලික අංශ කලාප මඟින් විශේෂයෙන් ම මෙරට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතන පිළිබඳ සහ ඒවායේ කාර්යයන් පිළිබඳ අවබෝධය ලබා ගන්න පුළුවන්. රජයේ සංවර්ධන කටයුතු පිළිබඳ තොරතුරු, ඒ ඒ අමාත්‍යාංශවල කාර්ය භාරයන් සහ එමගින් එ් ජනතාවට සැලසෙන සේවා පිළිබඳ තොරතුරු මෙහි දී ලබා ගැනීමේ හැකියාව තියෙනවා.
ප්‍රදර්ශන භූමියට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත පාසල් සහ උසස් අධ්‍යාපනය හදාරන සිසුන් වෙනුවෙන් අධ්‍යාපන කලාපය වෙන් කර තියෙනවා. සිසුන් අවශ්‍ය දැනුම ලබා ගැනීම සඳහා වන විවිධ වැඩසටහන් මේ ප්‍රදර්ශන කලාපය තුළ දී පැවැත්වෙන අතරෙදි උසස් අධ්‍යාපන වරම් පිළිබඳ මඟපෙන්වීම් ද මෙහි දී ලබා ගන්න පුළුවන්.
මුලින් කිවුව වගේ මේක ප්‍රදර්ශනයක් විතරක් නෙවෙයි; වෙළෙඳ සැණෙකෙළියක්. ඒ නිසා ම තමයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ තියෙන කර්මාන්ත ශාලාවල භාණ්ඩ තීරු බදු රහිත මිල ගණන්වලට මෙහි දී අලෙවි කරන්නෙ.
ඊට අමතරව නව නිපැයුම්කරුවන් වෙනුවෙන් වෙනම කලාපයක් වෙන් කරල තියෙනවා. සම්මානලාභී නව නිපැයුම්කරුවන් සහ උතුරු මැද පළාතේ නව නිපැයුම්කරුවන්ට මෙහි දී විශේෂත්වයක් හිමි වෙනවා.
විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය වෙනුවෙන් වෙන් වූ මාධ්‍ය කලාපයෙන් ජනතාවට සිය ප්‍රියතම විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය නියෝජිතයන් හමුවීමේ අවස්ථාව ලැබෙනවා. මීට අමතරව පාසල් දරුවන්ට අදාළ විකාශන කටයුතු සිදු කෙරෙන ආකාරය, රූපගත කෙරෙන ආකාරය හා ප්‍රවෘත්ති ඇතුළු විවිධ වැඩසටහන් විකාශනය කරන ආකාරය ද දැක බලා ගැනීමේ අවස්ථාව ලැබීම විශේෂත්වයක්.
සෞඛ්‍ය අමාත්‍යාංශය සහ පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලබන සායන සේවා සහ රසායනාගාර සේවා, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි කටයුතු සහ භෝග පාලන පිළිබඳ විවිධ වැඩසටහන්, නීතියේ රැකවරණ අපේක්ෂා කරන අයවලුන් වෙනුවෙන් නීති ආධාර ද ලබා දෙන වැඩසටහනක් ද ක්‍රියාත්මකයි. වෘත්තිය පුහුණු අපේක්ෂිත තරුණ තරුණියන් වෙනුවෙන් ම වෙන් වූ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වෙනවා.
විදේශ කොන්සියුලර් සේවාවක් ද ප්‍රදර්ශන භූමියේ ක්‍රියාත්මක අතර එමඟින් අධ්‍යාපනය කටයුතු සහ රැකියා සඳහා විදේශගත වීමට අපේක්ෂා කරන්නන්ට සිය අධ්‍යාපන ප්‍රතිඵල ඇතුළු අනෙකුත් අවශ්‍ය ලේඛන සහතික පත් සහතික කර ගැනීමේ කටයුතු සිදු කර ගැනීමේ හැකියාව ලැබෙනවා. අග්‍රමාත්‍යතුමා යටතේ පවතින ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ කුඩා ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා උපදෙස් සහ අවශ්‍ය පහසුකම් සැලසීම ද සිදු කෙරෙනවා. මීට අමතරව ගුවන් යානා, අවි ආයුධ සහිත ත්‍රිවිධ හමුදාවේ ආකර්ෂණීය ප්‍රදර්ශන කුටි සහ ක්‍රියාකාරකම් සහිත සංදර්ශන මෙහි දී දැක බලා ගන්න පුළුවන්.
හැම දාම උදේ 10.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 වෙනකල් ප්‍රදර්ශනය පැවැත්වෙනවා. හැම දාම රාත්‍රියේ දිවයිනේ ජනප්‍රියතම සංගීත කණ්ඩායම් සහ ජනප්‍රියතම ගායන ශිල්පීන් සහභාගී වන සංගීත ප්‍රසංගයක් ද පැවැත්වෙනවා.