පාස්කු ප්‍රහාරයේ වේදනාව තුනී කළ රජයේ වැඩපිළිවෙළ | සිළුමිණ

පාස්කු ප්‍රහාරයේ වේදනාව තුනී කළ රජයේ වැඩපිළිවෙළ

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය නිසා රටේ සමස්ත ජනතාව තුළ ඇති වුණු තිගැස්ම, කම්පනය හා වේදනාව තවමත් පහව ගොස් නැත. විපතට පත් වූ සියලුම ජන කොටස් වෙත කෙටි කාලීන, හා දීර්ඝ කාලීන වශයෙන් අවශ්‍ය සහන ලබාදීම සඳහා රජය සම්පූර්ණ ශක්තිය යෙදවීමට කටයුතු කෙළේය.

ත්‍රස්ත ප්‍රහාර නිසා වින්දිත භාවයට පත් වූවන්ට වන්දි ලබාදීමේ කටයුතු ඉතා ඉක්මනින්ම ඇරඹුණු අතර මරණයට පත් වුණු පුද්ගලයන් 263 දෙනා අතරින් 201 දෙනෙකුට දැනටමත් වන්දි මුදල් ප්‍රදානය කිරීමට හැකියාව ලැබී තිබේ. ඒ සඳහා රුපියල් මිලියන 198 ක මුදලක් වෙන් කෙරුණු අතර තුවාල ලැබූ පුද්ගලයන් පන්සිය දෙනා අතරින් 438 පිරිසකට රුපියල් මිලියන 64ක වන්දි මුදලක් ගෙවීමට ද හැකියාව ලැබී තිබේ.

තුවාල ලැබූ අයටත් මියගිය අයගේ පවුල්වල අයටත් රජයේ විවිධ අංශවල දායකත්වයෙන් විශේෂ සහන ලබාදීමේ වැඩසටහන් රැසක් මේ වන විටත් ක්‍රියාවට නැඟෙමින් තිබෙන බවද දක්නට තිබේ. ඒ සියලු වැඩසටහන් අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේත් උපදෙස් හා මාර්ගෝපදේශකත්වය ඇතිව නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ මැදිහත් වීමෙන් එම අමාත්‍යාංශය හා ඊට අයත් ආයතන රැසක් විපතට පත් වූවන්ට අවශ්‍ය නිවාස ඉදි කරදීමට මෙන්ම ඔවුන් සහ ඔවුන්ගේ පවුල්වල අය සාමාජීය වශයෙන් බල ගැන්වීමට ද වැඩ සටහන් කිහිපයක්ම ඉතා සාර්ථක අයුරින් මේ වන විටත් ක්‍රියාත්මක කර තිබේ.

එසේම බෝම්බ ප්‍රහාරය නිසා විනාශයට පත් වූ කොළඹ කොච්චිකඩේ, මීගමුවේ කටුවාපිටිය හා මඩකලපුවේ සියොන් දේවස්ථාන වහා ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ද අමාත්‍යාංශය මූලිකව වැඩකටයුතු ආරම්භ කෙරිණි. ඒ අනුව ඒ සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව හා නාවික හමුදාව ශ්‍රම දායකත්වය යොදවමින් එම දේවස්ථානයන්හි ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන ලද අතර ඒ සඳහා වන මුදල් ප්‍රතිපාදන ලබාදීමේදී සංස්කෘතික අරමුදල මඟින් විශේෂ බර පැනක් උසුලා තිබිණි.

ප්‍රහාරයට මාස දෙකක් ගතවීමටත් පෙර එකී දේවස්ථාන පිළිසකර කර යළි කතෝලික බැතිමතුන් උදෙසා භාර කෙරුණු අතර එම දේවස්ථානයන්හි දේව මෙහෙයන් සුපුරුදු පරිදි දැන් පැවැත්වෙමින් තිබේ.

විපතට පත් වූ පිරිස් සඳහා වන්දි මුදල් ලබාදීමෙන් පමණක් ආණ්ඩුව අතපිස ගත යුතු නැති බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ස්ථාවරය විය. ඒ අනුව දේවස්ථාන තුනට අදාළ විපතට පත් පවුල් සඳහා විශේෂ නිවාස වැඩසටහනක් ආරම්භ කිරීමට තීරණය කෙරුණු අතර එය ක්‍රියාත්මක කිරීමේ වගකීම ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වෙත පවරා දෙන ලදි.

කටුවාපිටියේ විපතට පත් වූ පවුල් 25ක් සඳහා නව නිවාස ඉදි කළ යුතු යැයි හඳුනාගත් අතර දේවස්ථානය මඟින් ලබාදෙන ඉඩම් යොදා ගනිමින් එම පවුල් සඳහා රුපියල් මිලියන 45ක මුල්‍ය ප්‍රතිපාදන වැය කර නිවාස ඉදිකිරීමේ වැඩසටහන් මේ වන විටත් ආරම්භ කර තිබේ. තවද කොච්චිකඩේ දේවස්ථානයේ දේව මෙහෙයට පැමිණ විපතට පත් වූ පවුල් 22ක් සඳහා නිවාස ඉදි කර දිය යුතු යැයි තීරණය වුණු අතර ඔවුන්ට නාගරික සංවර්ධන අධිකාරිය මගින් ඉදි කරන ලද මහල් නිවාස ව්‍යාපෘතියකින් නිවාස මිලදී ගෙන ලබා දීමට අවශ්‍ය ක්‍රියාමාර්ග දැනටමත් ගෙන තිබේ. ඒ සඳහා රුපියල් මිලියන 110 ක් වැය වේ යැයි ඇස්තමේන්තු කර ඇති අතර කොළඹින් බාහිරව නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික්කවල සිට දේවස්ථානයේ දේව මෙහෙය සඳහා පැමිණි පවුල් 05කට ඔවුන් පදිංචි දිස්ත්‍රික්ක තුළ නිවාස ඉදි කරදීම සඳහා තවත් රුපියල් මිලියන 6.75ක මුදලක් වෙන් කිරීමට ද කටයුතු යොදා ඇත.

මඩකලපුව සියොන් දේවස්ථානයේ දේව මෙහෙයට පැමිණ විපතට පත් වූ පවුල් 24ක් සඳහා ද නිවාස ඉදි කරදීම සුදුසු යැයි තීරණය වූ අතර එම පිරිස් සඳහා එකී ප්‍රදේශයේ ප්‍ර‍ාදේශීය ලේකම් විසින් ලබා දී ඇති ඉඩම තුළ ආදර්ශ ගම්මානයක් ඉදි කිරීමේ කටයුතු ද සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් පසුගියදා ආරම්භ විය. එම ආදර්ශ ගම්මාන ඉදි කිරීම සඳහා රුපියල් මිලියන 30.24ක මුල්‍ය ප්‍රතිපාදන වෙන් වී ඇත.

මීට අමතරව දේවස්ථාන තුනටම අදාළව විපතට පත් වූ පවුල් වල අයට තමන් පදිංචි තාවකාලික නිවාස වෙනුවට එම පදිංචි ස්ථානයේම නව නිවාස 23ක් ඉදි කරදීමටද අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත. එම වැඩසටහන සඳහා ද රුපියල් මිලියන 30.15ක මුල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම සඳහා අනුමැතිය හිමි වී තිබේ.

මේ හැර බෝම්බ පුපුරා ගිය ඉහත කී දේවස්ථාන තුනටම අදාළව විපතට පත් පවුල් 177 දෙනෙකුගේ නිවාස පිළිසකර කිරීම සඳහා ද රුපියල් මිලියන 65,137 මූල්‍ය ප්‍රතිපාදන අනුමත වී තිබේ.

එලෙස පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් මරණයට පත් වූ හෝ තුවාල ලැබූ පවුල්වල නිවාස අවශ්‍යතා සපුරාලීම සඳහා වන වැඩසටහන ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක කර තිබියදී විපතට පත් එම පවුල් සාමාජීය වශයෙන් බලගැන්වීමේ නිර්මාණශීලී වැඩසටහන් කිහිපයක්ම “නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ” මූලිකත්වයෙන් ආරම්භ වී තිබීම සතුටට කරුණකි. ඒ අනුව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමන් හා “සෙත්සරණ” සමාජ සේවා ආයතනය ද දායක කරගනිමින් ප්‍රජා සවිය, නිපුණ සවිය, දැය සවිය, දිරිය සවිය, වැනි විපතට පත් වූ ප්‍රජාව බල ගැන්වීමේ වැඩසටහන් රැසක් ඉතා සාර්ථකව දැන් ක්‍රියාවට නැඟෙමින් තිබේ.

එකී වැඩසටහන්වලදී මනෝ උපදේශනය, මානසික ප්‍රතිකාර සෞඛ්‍ය සායන අක්ෂි හා ශ්‍රවණ උපකරණ ලබාදීම, ස්වයංරැකියා සඳහා මුදල් උපරකරණ හා පුහුණුව ලබාදීම, කැපකරු මාපිය ක්‍රමය, පෙර පාසල් හා පාසල්, විශ්වවිද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන දරුවන්ගේ එකි අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය සියලු සහාය ලබා දීම, ආගමික කටයුතු සඳහා යොමු කිරීම්, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට අවශ්‍ය කිහිලිකරු, රෝද පුටු, විදුලි රෝද පුටු වැනි ආධාරක ලබා දී ඔවුන් සමාජ ගත කර බල ගැන්වීම ආදී වැඩසටහන් රැසක් සඳහා රුපියල් මිලියන 94.8ක ප්‍රතිපාදන ‍වෙන් කිරීම සඳහා ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.

එම සියලු සමාජ බලගැන්වීමේ වැඩසටහන් ස්වශක්ති මානව සංවර්ධන විශේෂ වැඩසටහන ලෙස හඳුන්වා දී ඇති අතර ඒ සියල්ල මඟින් අප්‍රියෙල් 21 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර හේතුවෙන් මරණයට පත් වුණු තුවාල ලැබූ හා විවිධාකාරයෙන් පීඩාවට පත් වුණ සෑම පවුල් ඒකකයකටම යළි නැඟී සිටීමේ අවස්ථාව උදා කරමින් තිබේ.

(ස්තූතිය-තොරතුරු ලබාදීමෙන් සහාය වූ නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් මහිලාල් එම්. සෙනෙවිරත්න මහතාට, ජාතික නිවාස සංවර්ධන අධිකාරි සභාපති ලක්විජය සාගර පලන්සූරිය මහතාට හා නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මිහිරි විපුලගුණ මහත්මියට)

Comments