
කුණු කසල සම්බන්ධයෙන් අප රටේ ඇත්තේ එක ප්‍රශ්නයක් දෙකක් නොවේ. මේ ප්‍රශ්නයට ඉතා සරල විසඳුම් තිබෙද්දී එය අතිශය සංකීර්ණ ප්‍රශ්නයක් බවට පත් කර ගැනීමත් එය අවසානයේ මුදල් උපයන ව්‍යාපාරයක් බවට පත් වීමත් මේ වන විට දැවැන්ත ගැටලුවක් වී තිබේ. මේ ප්‍රශ්නයේ උච්ඡස්ථානය සටහන් වුණේ 2017 වසරේ අප්‍රියෙල් මාසයේ කොළඹ කුණු සියල්ල එක තැනකට ගොඩ කෙරුණු මීතොටමුල්ලේ කුණු කන්ද නාය ගොස් බරපතළ අන්දමට ජීවිත සහ දේපළ විනාශ වීමෙනි.
ඒ ගැන බොහෝ කතා වාද විවාද ඇති වුණ ද ශ්‍රී ලංකාවේ කසළ ප්‍රශ්නයට ජාතික මට්ටමෙන් වූ ප්‍රායෝගික විසඳුමක් කරා යන්නට අපට නොහැකි වුණි. මේ අතරේ දැන් අපට තවත් අභියෝගයකට මුහුණ දෙන්නට සිදුව තිබේ. ඒ පිටරටවලින් එන කුණු ගොඩවල් ද රට ඇතුළත එකතු වීම ය. මේ වන විටත් විවිධ ව්‍යාපාර මුවාවෙන් කුණු කන්ටේනර් 241ක් පමණ මේ රටට පැමිණ ඇති බවට තහවුරු වී තිබේ. මේ කුණු ගෙනාවේ කවුද යන්න ද මේ වන විට හෙළිදරව් වී තිබේ.
විශේෂයෙන් බ්‍රිතාන්‍යයෙන් සහ ප්‍රංසයෙන් මෙරටට කුණු ගෙන ඒමේ ව්‍යාපාරයක් පැවති බවට මේ වන විට සාක්ෂි සාධක ඇතිව තහවුරු වී ඇත. බ්‍රිතාන්‍යයේ පළ වන ද ටෙලිග්‍රාෆ් වෙබ් අඩවිය ද, පුවත්පත ද මහත් ප්‍රසිද්ධියක් දෙමින් පසුගියදා වාර්තා කළේ, මිනිස් කොටස් සහ ජෛව අපද්‍රව්‍ය සහිත කසළ තොගයක් ද මේ කන්ට්නර් තුළ පවතින බවට සැක බව ය. එය තහවුරු නොවුණ ද මේ පුවත්පතට ප්‍රකාශයක් කර ඇති බ්‍රිතාන්‍යයේ පරිසර සහ අපද්‍රව්‍ය බැහැර කිරීම සම්බන්ධ උපදේශන ආයතතනයක සභාපතිවරයා වන ඩොමිනික් හොග් පවසා තිබුණේ, ජෛව කොටස් සහිත රෝහල් අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා අපද්‍රව්‍ය බැහැර කරන්නවුන් අනුගමනය කරන කූට ක්‍රමෝපායක් වනුයේ ලෝහ ප්‍රතිචක්‍රීකරණයේ මුවාවෙන් ඒවා එක් එක් රටවලට මුදා හැරීම බව ය. ශ්‍රි ලංකාවට මේ කසළ කන්ටේටනර් ගෙන්වූ සමාගම මෙන්ම ආයෝජන මණ්ඩලය ද පවසා තිබුණේ මේ කසළ කන්ටේනර් තොගය මෙරටට ගෙනවිත් ඇත්තේ ඒවා සකසා ප්‍රතිඅපනයනය කිරීමට බව ය. 2017 ඔක්තෝබර් මාසයේ සිට ගෙන්වූව ද එයින් මේ ආකාරයට ප්‍රතිඅපනයනය කර ඇත්තේ එයින් ඉතාම සුළු ප්‍රමාණයක් පමණි. සාමාන්‍යයෙන් ව්‍යාපාරික මට්ටමෙන් එය සිදු කරන්නේ නම් මාස ගණන් මේවා ගොඩ ගසාගෙන ගුදම්වල ගබඩා කර සිටීමෙන් ඔවුන්ට හෝ රටට අත් වන ආර්ථික වාසියක් නැත. එයින් අපට සිතන්නට සිදුවන්නේ ඔවුන්ට සැබෑවට ම මේ අපද්‍රව්‍ය මෙරටට ගෙන්වා යළි සකසා අපනයනය කිරීමේ අවංක වුවමනාවක් හෝ ව්‍යාපාරික අරමුණක් නොමැති බව ය. මෙය ලෝකය පුරා සිදුවන දැවැන්ත ව්‍යාපාරයකි. මෑතකදී ඉන්දුනීසියාව එරටට ඔස්ට්‍රේලියාවෙන් ගෙන්වූ කුණු කන්ටේනර් 210ක් යළි ආපසු හරවා යවා ඇති අතර කැනඩාවෙන් පිලිපීනයට එවූ කන්ටේනර් 69ක් ආපසු ගැනීමට කැනඩා රජය එකඟ වී ඇත.
කුණු ඉවත් කිරීම අපේ රටේ ද මුදල් උල්පතක් වන් ව්‍යාපාරයකි. මීතොටමුල්ල කුණු කන්දෙන් පවා කෝටි ගණන් මුදල් ඉපැයූ අවස්ථාවාදීන් සිටි බව දැනටමත් රට ම දන්නා කරුණකි. මේ සංසිද්ධිය ලෝක කරලියේදී ද එලෙසින් ම රඟ දැක්වෙන බව පෙනෙන්නේ මෙවැනි කසළ කන්ටේනරයක් බැහැර කිරීම සඳහා ඩොලර් 1500ක් එනම් රුපියල් 250,000ක පමණ මුදල් වැය කිරීමට අදාළ කසළ කොන්ත්‍රාත්කරුවන් අපේ රටේ ඇතැම් ව්‍යාපාරිකයන් සමඟ කළ කතා බහ හෙළි වීමෙනි.
එක් අතකින් ලෝකයේ ප්‍රධාන පෙළේ සංචාරක වෙබ් අඩවි ශ්‍රී ලංකාව ලෝකයේ සංචාරය කිරීමට සුදුසු රටවල් අතර මුල් තැන තබමින් සහතික දෙද්දී ඒ සංචාරකයන් පැමිණෙන රටවලින් ම මෙරටට දහජරා කුණු කන්දල් විෂ බීජ ගෙන විත් සල්ලි කිරීම බරපතළ විසමාචාරයකි. හානිකර අපද්‍රව්‍ය බැහැර කිරීමට අදාළ අන්තර්ජාතික සම්මුතිය වන ස්විට්සර්ලන්තයේ බේසල් නගරයේදී 1989 දී එකඟත්වයට පැමිණි BASEL සම්මුතියේ කරුණුවලට පටහැණි ව මෙන්ම මේ කසළ මධ්‍යම පරිසර අධිකාරිය, රේගුව, ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය වැනි වග කිවයුතු ආයතන මඟින් පනවා ඇති නීති රෙගුලාසි සහ මඟපෙන්වීම් ද නොසලකමින් වසර දෙකකට ආසන්න කාලයක් පුරා ඒ ද්‍රව්‍ය ලංකාවට එන තුරු මෙරට කිසිදු බලධාරියකු නිසි සිහියකින් යුතුව පියවරක් නොගත්තේ මන්දැයි යන්න ගැටලුවකි.
ශ්‍රි ලංකාවට විදේශ විනිමය ඉපැයීමට කුණු කන්දල් අවශ්‍ය නැති බව පසුගිය කාලයේ ප්‍රත්‍යක්ෂ කර ඇති කරුණකි. පසුගිය අප්‍රියෙල් 21 පාස්කු ප්‍රහාරයෙන් පසුව පවා රටේ අපනයන ආර්ථිකයේ වර්ධනයක් දැකිය හැකි විය. මහ බැංකු වාර්තාවලට අනුව 2019 මැයි මාසයේදී අපනයන ආදායම 2018 වසරේ මැයි මාසයට සාපේක්ෂ ව සියයට 4කින් ඉහළ ගියේ ය. 2018 වසර ට සාපෙක්ෂ ව ආනයන සහ අපනයන වියදම් අතර පරතරය එනම් වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 110කින් අඩු කර ගන්නට ශ්‍රී ලංකා ආර්ථිකයට හැකියාව ලැබී තිබිණ. පසුගිය වසරට සාපෙක්ෂ ව බොහෝ අඩු වුව ද මැයි මාසයට වඩා සංචාරක පැමිණීම් දෙගුණයකින් වැඩි වීමෙන් පෙන්නුම් කරන්නේ අනාගතයේදී ශ්‍රී ලංකාව යළිත් කෙටි කාලයකදී මේ සංචාරක ආකර්ෂණයට නිසැකවම ලක් වන බව ය. මේ ආර්ථික වික්‍රම කළේ රජය නොවේ. රජය ඊට අදාළ පසුබිම දැඩි විවේචන මැද වැඩි ප්‍රසිද්ධියකින් තොරව නිර්මාණය කරද්දී මේ ආර්ථික අවස්ථා ලබා ගත්තේ පෞද්ගලික අංශයයි. එයින් පෙනෙන්නේ ඕජස් වැගිරෙන කුණු කන්දල් රටට නොගෙන මුදල් සෙවීමේ මාර්ග ඕනෑ තරම් පවතින බව ය. ඒ වෙනුවට අපේ කුණු සල්ලි කරන ව්‍යාපෘති ඕනෑ තරම් ඇත. හොඳ ම නිදසුන මහනුවර කුණු කන්දක් කොරියාවට විකිණීමට පළාත් සභාව ප්‍රයත්න දැරීම ය.
අද ව්‍යාපාර ලෝකය සමාජ සත්කාරමය හෝ තමන් ජීවත්වන වන රටට ජාතියට ප්‍රජාවට සිදු කරනු ලබන මෙහෙය (Corporate Social Responsibility) ඒ ආයතනයේ කීර්තිය මනින මිනුම් දණ්ඩක් වී තිබේ. සමූහ සමාජ වගකීම් හෝ සමූහ සමාජ පුරවැසියන් ලෙස ඔවුන් සම්මාන ලබන්නේ ද ඒ නිසා ය. එබැවින් එවැනි සුබවාදී ව්‍යාපාර අවස්ථා තිබියදී අපාගත වන දුෂ්ට ව්‍යාපාරවලට අවතීර්ණ වන්නට පෙර අපේ රටේ වගකිව යුතු සමාගම් බොහෝ දුර සිතිය යුතුව ඇත.