කාටත් හොරෙන් නුවර යටින් යන උමං පද්ධතිය හැදුවේ කවුරුද? කුමකටද? | සිළුමිණ

කාටත් හොරෙන් නුවර යටින් යන උමං පද්ධතිය හැදුවේ කවුරුද? කුමකටද?

මහනුවර පොලීසිය ආසන්නයේ දුම්රිය මාර්ගයට යාබදව පිහිටි හෝටලයක කොටසක් හිටිහැටියේ ගිලාබැසීමට ලක් වූයේ මෙයට දශක දෙකකට පමණ ඉහතදීය. ඒ හා සමාන නොවූවත් සුළු සුළු ගිලාබැසීම් ඉන් පසුද නගරයේ ස්ථාන කිහිපයක ඉඳ-හිට දක්නට ලැබිණි. මේ අතර මහනුවර යටිනුවර වීදියේ තරමක් විශාල ගිලා බැසීමක් වාර්තා වූයේ මෙයට වසර එකහමාරකට පමණ පෙරය. හිටිහැටියේ සිදු වන මේ ගිලාබැසීම්වලට හේතුව නගරයට දෛනිකව යන එන ලක්ෂ සංඛ්‍යාත ජනතාව අතරින් දැන සිටියේ ස්වල්ප දෙනකු පමණි. ඒ කොන්ක්‍රීට් ගොඩනැඟිලිවලින් වැසීගත් මහනුවර නගරයේ පොළොව අභ්‍යන්තරය පිළිබඳ නිරීක්ෂණය කළ සුළු පිරිසකි. පොළොව අභ්‍යන්තරයෙන් අඩි හයක් පමණ උසට පුද්ගලයන් දෙදෙනකුට පහසුවෙන් එහා-මෙහා යා හැකි කිලෝමීටර ගණනාවක් දුරට ඇදී යන උමං මාර්ගයක් මහනුවර නගරයට යටින් ඇතැයි ඔබ විශ්වාස කරනවාද? එය සත්‍යයකි. සියවස් දෙකකට වැඩි කලක් තිස්සේ මහනුවර නගරය ජලයෙන් යට නොවී ආරක්ෂා කළේ පොළොව මතු පිට සිට අඩි දෙකක් පමණ පහළින් පිහිටි මේ උමඟයි. බේසමක හැඩය ගත් මහනුවර නගරය වට කර නැඟීසිටින කඳු පන්තිවල සිට වැසි දිනවල නගරයට එන මහා ජල කන්දරාව කාටත් නොපෙනී මහවැලි ගඟ වෙත රැගෙන යන්නේ මේ භූගත උමං පද්ධතියයි.

මේ ආකාර ජලය ගෙන යෑමට භූගත උමඟක් මහනුවර නොතිබුණේ නම් අද මහනුවර නගරය නියත ලෙසම ජලයෙන් යට වන්නේය. වැසි දිනවල නගරය ක්ෂණයෙන් යට කරදමන්නට තරම් ජල කඳක් උඩවත්ත කැලය හා වේල්ස් පාක් උද්‍යානය දෙසින් නගරයට ඇදී එන බව කවුරුත් දන්නා කරුණකි. මේ මහා ජල කඳ මහවැලි නදිය කරා රැගෙන යන උම‍ඟෙහි සිංහලයේ අවසන් රාජධානිය ඉංග්‍රීසින් අතට පත් වීමටත් පෙර පැවති ඉතිහාසයක් ලියවී තිබෙන්නේය. රජ දවස අපේ ඉදි කිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ වූවන් සතු වූ තාක්ෂණික ඥානයත් අනාගතය පිළිබඳ සිතා ඉදි කිරීම් සිදු කරන්නට දැක්වූ පෙර දැක්මත් පිළිබඳ අපූරු කතාන්දරයක් මෙහි ලියවී ඇත්තේය. එය මෙරට යටත්විජිතයක් කරගත් ඉංග්‍රීසින්ටත් එහා ගිය දැනුමකින් සන්නද්ධ වූවක් බව පවසන්නේ ඉන්දීය ජාතික ඉංජිනේරුවකු වන කේ සුබ්‍රමනියම් මහතාය. මේ උමං පද්ධතිය ප්‍රතිසංස්කරණය කරන ඔස්ට්‍රේලියාවේ ටීටීඅයි ඉංජිනේරු ආයතනයේ ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධාන ඉංජිනේරුවරයා ඔහුයි. මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක භූගත උමං මඟ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රධානියා ලෙස කටයුතු කරන සුබ්‍රමනියම් මහතා උමං මඟ ඔස්සේ අප සිංහලයේ අවසන් රාජධානි සමය දක්වාම කැඳවාගෙන ගියේය.

ඉංග්‍රීසීන් විසින් 1815 කන්ද උඩරට යටත් කරගැනීමත් සමඟ මුළු රටේම බලය ඔවුන් සතු වුණා. ඊට වසර තුනකට පසු සිංහල නායකයෝ ගිලිහී ගිය නිදහස යළි ලබාගැනීමට සටනක් කළා. ඉංග්‍රීසීන් විසින් මෙය කැරැල්ලක් ලෙස හැඳින්වූවා. එය මැඬපැවැත්වීමෙන් පසුව ඔවුන් මහනුවර නගරයේ සිතියමක් සකස් කළා. ඒ සිතියමේ මේ උමං පද්ධතිය සටහන් වී තිබෙනවා. ඉංග්‍රීසි පාලනයට පෙර මෙය නිර්මාණය කර තිබෙන බවට එක් සාක්ෂියක් ඒක. අනෙක් විශේෂ කාරණය තමයි මේ උමඟ හදන්න භාවිත කර තිබෙන අමුද්‍රව්‍ය. හුනු බදාම සහිත මිශ්‍රණයක් භාවිත කර ඉතා ශක්තිමත්ව මෙය ඉදි කර තිබෙනවා. අද පවතින ගඩොළුවලට වඩා ප්‍රමාණයෙන් විශාල ගඩොළු මේකට භාවිත කර තිබෙනවා. කාඩ් කුට්ටමක කොළ අවානක ස්වරූපයට අතෙහි රඳවා සිටින ලෙස තනි ගඩොළක් යොදාගෙන ආරුක්කු හැඩයට මේ උමඟ සකස් කර තිබෙන අතර, එය ඇත්තෙන්ම පුදුම එළවනසුලුයි. ආරුකුක්වේ එක ගඩොළක් ගැලවී ගියොත් සමස්තය කඩාවැටෙනවා. එහෙත් එහෙම නොවෙන්න තරම් මේක ශක්තිමත්. මේ ගඩොළු උමං තැනීමටම නිර්මාණය කළ ඒවා බව විශ්වාස කළ හැකියි. ඉංග්‍රීසි ජාතිකයන් සිමෙන්ති සොයාගෙන තිබෙන්නේ 1840 පමණ කාලයේදීයි. එකල ඔවුන් සිමෙන්ති යොදා ගඩොළු තට්ටු තුනක් සිටින සේ තමයි භූගත උමං නිර්මාණය කර තිබෙන්නේ. මේ උමඟ ඊට හාත්පසින්ම වෙනස්. මේ ක්‍රමයට ආරුක්කු හැඩය ගැනීමත්, ඊට ශක්තිය කැවීමත් ලෙහෙසි කාර්යයක් නොවෙයි. ඒත් එදා රජ දවසේ මේක නිර්මාණය කළ ශ්‍රී ලාංකිකයන් සතුව ඒ දැනුම හා හැකියාව තිබුණු බව කියන්න හොඳම සාක්ෂියක් මේක. මේ ආකාර භූගත උමං මාර්ග පොලොන්නරුව, සීගිරිය, අනුරාධපුර වැනි නගර නිර්මාණයේදීද භාවිත කර තිබෙන බව සුබ්‍රමනියම් මහතා පවසයි.

"ප්‍රතිසංස්කරණ ආරම්භ කර තිබෙන භූගත උමං එකිනෙක හා සම්බන්ධ වන්නේ මහනුවර මධ්‍යම වෙළෙඳ පොළ ඉදිරියේ ඇති බෝගස ආසන්නයේදීය. මේ ස්ථානය වෙත මහනුවර වැවේ සොරොව්වට ඉහළින් වූ සිව් මං හන්දියේ සිට නාගරික රථගාලට යටින් මධ්‍යම වෙළෙඳපොළ ඔස්සේ උමඟක් පිහිටා තිබේ. මහනුවර මහානගර සභාවට යාබදව පිහිටි ත්‍රිත්ව විද්‍යාල ප්‍රාථමික අංශ ක්‍රීඩාංගණය ආසන්නයේ සිට ඇරඹෙන අනෙක් උමඟ හේමමාලි බාලිකාව පිහිටි කන්දේ වීදිය ඔස්සේ පැමිණ දුම්රිය හරස් මාර්ගය ආසන්නයෙන් ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය දෙසට වැටී ඇත. ඒ වීදිය ඔස්සේ මෙතෝදිස්ත පල්ලිය ආසන්නය දක්වා ඇති උමඟ ප්‍රධාන මාර්ගය හරහා ගොස් අලි මුඩුකුව ඔස්සේ ලංකා බැංකු ගොඩනැගිල්ල ආසන්නයෙන් කුරුලු උද්‍යානය දක්වා දිවෙයි.මධ්‍යම වෙළෙඳ පොළ ඉදිරිපිට බෝගස ආසන්නයේදී එකතු වන උමං දෙක දුම්රිය මාර්ගයට සමාන්තරව ගුඩ්ෂෙඩ් බස් නැවතුම දක්වා දිවෙයි. මේ ඔස්සේ ගලා යන ජලය මැද ඇළ ඔස්සේ ගමන් ගෙන මහවැලි ගඟට එකතු වෙයි.

"මේ උමං පද්ධතිය ඉංග්‍රීසි ජාතික ඉංජිනේරුවරයකු වන හෙන්රි බර්ඩ් මහතා විසින් 1895දී අලුත්වැඩියා කර තිබෙන බව ලේඛනවලින් තහවුරු වෙනවා. මහනුවර වැව දෙසින් එන උමං මාර්ගය සිමෙන්ති කොන්ක්‍රීට් භාවිත කරමින් ඉංග්‍රීසින් විසින් පසුව සකස් කර තිබෙනවා. මේ අවස්ථාවේ අප ප්‍රතිසංස්කරණය කරන්නේ යටිනුවර වීදිය ඔස්සේ වැටී තිබෙන මීටර 650ක පමණ දුරකට විහිදී තිබෙන උමං මාර්ගයයි. මෙයට පෙර කඩාවැටුණු ස්ථාන කොන්ක්‍රීට් යොදා තාවකාලිකව සකස් කර තිබෙනවා. දැන් කෙරෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. ඉතා විධිමත් ආකාරයට මෙය ප්‍රතිසංස්කරණය කරනවා. මහනුවර නගරය පුළුල් කර සංවර්ධනය කිරීමේදී මේ භූගත උමංවල ශක්තිය තහවුරු කිරීම ඉතා වැදගත්. මොකද: මේවා කඩාවැටුණොත් සියලු සංවර්ධන ව්‍යාපෘති අසාර්ථක වනවා" යැයි සුබ්‍රමනියම් මහතා ප්‍රකාශ කළේය.

කන්ද උඩරට අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහයන් මහනුවර නගරය වැඩිදියුණු කර තිබෙන බව ඉතිහාසයේ සඳහන්ය. එකල මහනුවර නගරය කේන්ද්‍ර කරගනිමින් වලව් 27ක් තිබුණු බව පවසන උමඟ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළේ සහාය ඉංජිනේරුවෙකු වන ඒජීඑස්ඒ නානායක්කාර මහතා ඒවාහි එකතු වන කසළ බැහැර කර තිබෙන්නේ මේ උමං ඔස්සේ බවට අනුමාන කළ හැකි සාක්ෂි තිබෙන බවද කීය.

"වලව්වලින් බැහැර කෙරෙන කසළ ඉවත් කිරීමේ කාර්යය පවරලා තිබුණේ රජක කුලයේ අයටයි. ඔවුන් සාමාන්‍ය ජනතාව ගැවසෙන ස්ථානවල ප්‍රසිද්ධියේ පෙනී නොසිටි නොසිටි බව ඉතිහාසයේ කියවෙනවා. මේ අය වලව්වල එකතු වන කසළ උමං ඔස්සේ රැගෙන ගියා බව විශ්වාස කළ හැකියි. පැරණි වලව් පිහිටි ස්ථාන කිහිපයක සිට මේ ප්‍රධාන උමඟ හා සම්බන්ධ වන තවත් උමං තිබුණු බවක් දක්නට පෙනෙන්න තිබෙනවා. සිංහල රජ කාලයේ වැසිකිළි අපද්‍රව්‍ය මේ උමංවලට බැහැර කර නොතිබුණත් 1897 වසරේදී පමණ ඉංග්‍රීසි ජාතිකයන් මල අපද්‍රව්‍ය මේ ඔස්සේ බැහැර කර තිබෙන බව මහනුවර මහ නගර සභාවේ ලේඛනවල සඳහන් වෙනවා. මේ උමඟට බැහැර කරන සෑම දෙයක්ම අවසානයේ එකතු වෙන්නේ මහවැලි ගඟටයි.

ශ්‍රී දළදා මාලිගා ඉදිරිපිට දිය අගල විෂ්ණු දේවාලය ළඟින් අවසන් වුවත්, රාජ කාලේ එය මහයියාව තෙක් තිබුණු බව විශ්වාස කරන්න පුළුවන් සාක්ෂි තිබෙනවා. විෂ්ණු දේවාලයට පහළින් විශාල උමඟක් තිබෙනවා. මේක හදිසි අවස්ථාවකදී රජුට හා පවුලට පලා යෑම පිණිස තැනූ එකක් කියලා තමයි අප හිතන්නේ. නගරයේ සෑම වීදීයක්ම ආවරණය වන විදිහට උමං පිහිටා තිබෙනවා. නගරයේ පාරවල් පළල් කරන කොට මේ උමං දෙසට ප්‍රධාන මාර්ගය ඉහළින් තල්ලු වෙනවා. ඒ මත වාහන ගමන් කිරීමේදී උමඟ මතට එන බර වැඩි වෙනවා. ඒ නිසා සංවර්ධන කටයුතු කිරීමේදී පහළින් සියවස් ගණනක් පැරණි උමඟක් තිබෙන බව අමතක කරන්න හොඳ නැහැ. නගරයේ නිවාස හා ව්‍යාපාරික ස්ථානවල වැසිකිළි අපද්‍රව්‍ය බැහැර කිරීමට ඇතැම් ස්ථානවලින් උමඟ සිදුරු කර පයිප්ප සම්බන්ධ කර තිබෙනවා. මේ නිසා උමඟේ ස්ථාවරත්වයට හානි වෙනවා. මෑතක යටිනුවර වීදියේ ස්ථානයක් හදිසියේ ගිලාබැස්සේ මෙවැනි සිදුරු කිරීමකින් උමඟට හානි වීම නිසයි. ඒ සිදුරු කළ තැනින් උමඟ කඩාගෙන වැටුණාම ඊට ඉහතින් තිබූ මාර්ග කොටස ගිලාබැසීමකට ලක් වුණා. ස්ථාන 13ක මේ ආකර කඩාවැටීම් සිදුව තිබෙන බව උමඟ ප්‍රතිසංස්කරණය කිරීමේදී දක්නට ලැබුණා. නගරවාසීන් උමං මාර්ගයට හානි වන ලෙස බට ඇතුළු කිරීමෙන් ආනාගතයේ හානි සිදු වන්නේ ඔවුන්ටමයි. මේක ජනතාව තේරුම් ගන්න ඕනෑ. උමඟ අලුතින්ම සකස් කිරීම පහසු කාර්යයක් නොවෙයි. ඒක ඉතා අවදානම්. අප දැන් කරන්නේ තියෙන උමඟ නැවත කඩාවැටීම් ඇති නොවන ලෙස ප්‍රතිසංස්කරණයයි. කොන්ක්‍රීට් හා ෆයිබර් එකතු කර සකස් කරන ලද කෘත්‍රීම නළ පද්ධතියක් උමඟට කැවීම තමයි දැන් කරන්නේ. එමඟින් එහි ස්ථාවරත්වයක් ඇති කිරීම අපේ අරමුණයි" නානායක්කාර මහතා පවසයි.

මේ භූගත උමඟ සංවර්ධනය කිරීම සිදු වන්නේ මහනුවර ක්‍රමවත්ව හා විධිමත්ව සංවර්ධනය කරමින් මෙරට සුන්දරතම නගරයක් බවට පත් කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මඟින් ආරම්භ කර තිබෙන වැඩපිළිවෙළේ එක් අදියරක් ලෙසය. ඒ සඳහා පමණක් වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් ලක්ෂ 10000කි. මේ සම්බන්ධව අදහස් දැක්වූ ඒ අමාත්‍යාංශයේ මධ්‍යම පළාත් ව්‍යාපෘති සම්බන්ධීකාරක තුෂාර ස්වර්ණතිලක මහතා කතා කරමින් මෙසේ පැවසුවේය.

"මේ ව්‍යාපෘතිය අපි බාරදී තිබෙන්නේ ජර්මන් සමාගමකටයි. උමං පද්ධතියට ටියුබ් එකක් ආකාරයට ඇතුළු කරන කෘත්‍රිම නළ පද්ධතිය හදන්නේ ජර්මනියේයි. මේක සකස් කළාට පස්සේ කාටවත් මේකට වැසිකිළි පද්ධති ඇතුළු කරන්න බැහැ. කවුරු හරි එහෙම කරන්න උත්සාහ කළොත් උමඟට පිටින් ඒ මල අපද්‍රව්‍ය උඩට එනවා. ගොඩක අය කරන්නේ ගෙදර සාලේ ලස්සන කරන එක. කුස්සියයි ටොයිලට් එකයි දැක්කම ගන්න දෙයක් නැහැ. ඇමැතිතුමා කියන්නේ මුලින් අපි ටොයිලට් එකෙන් පටන් ගෙන ඉස්සරහට එමු කියලා. අපට ඕන මහනුවර ඇත්තටම සුන්දර නගරයක් කරන්නයි. මේ උමං මාර්ග පද්ධතිය හදන්නේ නැතිව නගරය ලස්සන කරන්න පුළුවන්. ඒත් ඒක තාවකාලිකයි. මහනුවරට එන යෝධ සංවර්ධනයේ බර දරාගන්නේ මහ පොළොවයි. ඒ පොළොවට යටින් තියෙන උමඟ ශක්තිමත් නොවුණොත් ඔක්කොම ඉවරයි. මැද ඇළ කොන්ක්‍රීට් කරලා සංවර්ධනය කරන්න රු. ලක්ෂ 8000ක් වෙන් කලා තිබෙනවා. මහනුවර ජනතාවට පානීය ජලය දීමට ජල සම්පත් හා ජලාපවහන මණ්ඩලය ජලය ගන්නා ස්ථානය කිට්ටුවට තමයි දැන් මේ මල අපද්‍රව්‍ය සියල්ල ගිහින් වැටෙන්නේ. මේක සම්පූර්ණ වූ පසු මල අපද්‍රව්‍යය කිිසිවක් මහවැලි ගඟට යන්නේ නැහැ.

මේ භූගත උමං පද්ධතියේ ප්‍රතිසංස්කරණ කටයුතු සියල්ල ලබන වසරේ අප්‍රේල් මස වන විට නිම වීමට නියමිතය. ඉන් පසු මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මඟින් එය මහනුවර මහානගර සභාවට බාර දීමට සැලසුම් කර තිබේ.

ඡායාරූප- රුවන් මීගම්මන

Comments