කිරි දරු සොයුරා වඩාගෙන විභාගය ලියන්නට පැමිණි පොඩි අම්මා | සිළුමිණ

කිරි දරු සොයුරා වඩාගෙන විභාගය ලියන්නට පැමිණි පොඩි අම්මා

ශල්‍ය කර්මයක් නිසා මාස 9ක් පාසල් නොගියත් අවසන් වාරයේ පන්තියෙ තුන් වැනියා

අම්මා රෝහලේ දැරිය විභාගෙට පැමිණ නැත්තේ ගෙදරට වෙලා මල්ලි බලාගන්න සිදු වූ නිසා

දරුවන් දෙදෙනාම විභාගයට ගෙන්වූයේ විදුහල්පතිගේ මැදිහත් වීමෙන්

ඡායාරූප හා කතාව නාගොඩ සමූහ ටී.එල්.ඒ.පී.හේමපාල

ඇය පවුලේ වැඩිමලීය. අත්වාරුවෙන්, කෘත්‍රීම පාදයක ආධාරයෙන් ඇවිදින ඇය නිවසේ කටයුතු වලට නිරතුරුවම උදව්වන්නීය. වැඩිමල් සහෝදරයා අසනීප වීම නිසා ඔහු හා රෝහලේ නතර වීමට අම්මාට සිදුවිය. අක්කාට සිදුවුයේ බාලයා බලාගෙන ගෙදරට වී ඉන්නටය. නමුදු පාසලේ විදුහල්පතිවරයා ඇයට ඊට ඉඩ නුදුන්නේය. ඇයට සිදුවුයේ වයස අවුරුදු තුනක් වූ සිය බාල සහෝදරයා ද සමඟ පාසල් පැමිණ වාර විභාගයට පෙනී සිටිමටය.

විභාග ශාලාවම නිශ්ශබ්දය. දරු දැරියෝ ප්‍රශ්න පත්තරයට උත්තර ලියති. පන්තිභාර ගුරුවරිය එක් එක් දරුවා ගැන විමසිලිමත්ය. සිය පන්තියේ සිටින සිසු සිසුවියන් ගැන ඇයට හොඳින් දනී. එක් එක් සිසු සිසුවිය ගැන අවධානයෙන් යන ඇයට අඩුවක් දැනිණි. ඒ සිය පන්තියේ ඉගෙනුම ලබන සිසුවියක් විභාගයට මුහුණ දීම සඳහා පැමිණ නැති බවය. ගුරුවරිය මොහොතක් කල්පනා කළාය. ඇය අනෙක් සිසුන්ගෙන් අදාළ දැරිය ගැන විමසුවාය.

“සමහරවිට අද එයාට එන්න බැරිවෙයි කිව්වා ටීචර්. එයාගේ මල්ලිට සනීප නැතිලු”

දැරියගේ යෙහෙළියක පැවැසුවේ ඇය දන්නා තොරතුරකි. ගුරුවරිය විදුහල්පතිතුමාට දැරිය සම්බන්ධ පුවත දැන්වූවාය.

ගතවුයේ කෙටි වේලාවකි. දැරිය පාසල් ආවාය. ඒ තනිව නොව සිය බාල සොහෙයුරා සමඟය. ඇය විභාග ශාලාවේ වාඩි වී පිළිතුරු ලියන විට බාල සොහොයුරාද ඒ අසලක වාඩිකරවා සිටියේය. ඒ සිසුවියගේ දෑසට පෙනෙන මානයේය. මේ දසුන පාසලේ ගුරුවරන්ගේ නෙතට කඳුළක් එක් කළේය.

පවුලක ලොකු අක්කා පවුලේ බාල නංගිලා මල්ලිලාට අම්මා වැනිය. එය එදත් අදත් හෙටත් වෙනසක් නැත. එහි ආදරය මෙන්ම වගකීමක් ද තිබේ. ඇතැම් අක්කලා තම ඉගෙනීම පවා කඩා කප්පල් කර ගනිමින් සිය බාල සොයුරු සොයුරියන්ගේ අනාගතය සමෘද්ධිමත් කළ කතා අප මේ සමාජයේ කොතෙකුත් අසා, දැක ඇත. අපේ කතාවේ කතා නායිකාව ද එවැන්නියකි. ඇය උඩලමත්ත මහා විද්‍යාලයේ දහවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන මාරි අම්මාය. ඇගේ වයස අවුරුදු පහළොවකි. ඉගෙනීම කෙරෙහි උනන්දුව තිබුණ ද, දක්ෂතාවක් දැක්වූව ද මාරිඅම්මාට ඉදිරියට යාමට බොහෝ බාධක ඇත.

වාර විභාගයේ සිංහල භාෂා ප්‍රශ්න පත්තරය තිබු දිනයේ විභාගය පටන් ගෙන ටික වෙලාවක් ගතවුවත් මාරිඅම්මා පාසල් නොපැමිණියාය. මේ පිළිබඳව පන්තිභාර ගුරුතුමිය හා පාසලේ විදුහල්පතිවරයා එක්ව සොයා බැලුවේය. ඒ සම්බන්ධව විදුහල්පති ඒ.කේ.එස්.එච් තුෂාර අපට කී කතාව මෙසේය.

“ගුරුවරියක් පැමිණ මට කිව්වා දැරිය පාසල් පැමිණ නැහැ කියලා. මම ඇය පාසල් ආවේ නැත්තේ ඇයි කියලා හෙව්වා. ඇය යාළුවන්ට කියලා ගිහින් තියෙනවා එදින පාසල් එන්න බැරි වේවි කියලා. ඇගේ අම්මා මල්ලි සමඟ රෝහල් ගතව සිටින නිසා. මේ දියණියගේ එක පාදයක් නැහැ. හේතුව අගේ පාදයක ඇති වූ පිළිකා තත්වයක් නිසා පාදය දණහිස ළඟින් ඉවත් කර තිබීම. දැරිය ගමන් ගන්නේ කිහිළිකරු ආධාරයෙන්. ඇයට කෘත්‍රිම පාදයක් සවිකර තිබෙන්නේ. මාස නවයක්ම මේ දැරිය පාසල් ගිහිල්ලා නැහැ. ඔවුන් ඉන්න වත්තට මේ පාසල ළඟ නිසයි මේ පාසලට දැරිය ඇතුළත් කළේ. දැරියව අප පාසලට භාර ගත්තා.

ඒ වාරයේ එම පන්තියේ ළමයි විසි නව දෙනෙක් හිටියා. වාර විභාගයෙන් මේ දැරිය පන්තියේ නවවැනියා වුණා. තුන්වැනි වාරයේ විභාගයෙන් ඇය පන්තියේ තුන්වැනියා වුණා. විභාගයට දැරිය ආවේ නැති එක අපරාධයක් කියලා මට හිතුණා. මේ දියණිය පාසලට එන්නේ ත්‍රී රෝද රථයක.

ඒ ඇයට ඇවිදින්න අපහසු නිසා. මම ඒ රියැදුරුව හොයලා ගුරුවරියකට කිව්වා දැරියගේ නිවෙසට යන්න කියලා. ඒ ගියාම තමයි දැන ගෙන තියෙන්නේ දවස් කිහිපයක සිට ඇගේ මව අනෙක් සොයුරා සමඟ රෝහලේ නතර වී සිටින නිසා දැරිය බාල සොයුරා බලා ගැනීමට නිවෙසේ නතර වෙලා කියලා. ඒ ගමන තමයි ඒ දරුවත් සමඟ දැරියට පාසල් එන්න කිව්වේ. ඇය පාසල් ආවාට පස්සේ අපි ඇයට විභාග ලියන්නට අවස්ථාව සලසා දුන්නා.”

විදුහල්පතිවරයා පවසන්නේ තමන කළ සද්කාර්ය ගැනය.

අවුරුදු තුනහමාරක් වයසැති දරුවකු ද රැගෙන විභාග ශාලාවට පැමිණි මේ දැරියට ජීවිතයේ විඳින්නට සිදුව ඇති දුෂ්කරතා බොහෝය.

“ මං ඉගෙන ගන්න ආසයි. එත් මල්ලිව තනියම ගෙදර දාලා මට ඉස්කෝලේ යන්න බැහැනේ. අම්මා අනිත් මල්ලිවත් අරනෙ ඉස්පිරිතාලේ නතර වෙලා හිටියේ. ඒ නිසා මම මල්ලිවත් බලාගෙන ගෙර හිටියා. ”

දැරිය පවසන්නේ කණගාටුවෙනි.

ගුරුවරුන් කියන පරිදි ඇය ඉගෙනීමෙහි දක්ෂය. නමුදු ඇයට බාධාවක් වී ඇත්තේ පවුලේ ප්‍රශ්න හා දරිද්‍රතාවයයි.දැරියගේ අම්මා අපට ඇගේ කතාව කීවාය. ඇය සර්දා දේවීය.

“ මට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. දුවට අවුරුදු පහළොවයි. එයාට පිළිකාවක් තිබුණා. ඉස්පිරිතාලෙන් කිව්වා ලෙඩේ හොඳ කරන්න නම් කකුල කපන්න වෙනවා කියලා. මගේ අනිත් පුතා අසනීපයෙන් ඉන්නේ. එයාට තැලසීමියා රෝගය තියෙනවා. පුතා නිතරම අසනීප වෙනවා. පහුගිය දවසක පුතා වැටුණා. එහෙම වැටුණම එයා එයාගේ ඇඟේ ඒ වැදුණ තැන ලේ පිරෙනවා. එහෙම වෙලයි පුතා අසනීප වුණේ. මට දරුවා එක්ක රෝහලේ ඉන්න වුණා. දරුවන්ගෙ තාත්තයි මමයි වත්තේ වැඩට යනවා. දුවත් ගෙදර වැඩවලට උදව් කරනවා. අසනීපයෙන් ඉන්න පුතාගෙ වයස අවුරුදු දොළහක් වෙනවා. එයා ඉස්කෝලේ යන්නේ නැහැ. මේ ඉස්කෝලෙම තියෙන හවස පන්තියට පුතාව ඇතුළත් කරලා තියෙනවා. ඒ පන්තියේ අකුරු බැරි අයට උගන්වනවා. දුව ඉගෙන ගන්න ආසයි. අපි කලින් හිටිය වත්තේ ඉඳලා දුවට ඉස්කෝලේ යන්න බෑ දුර වැඩි නිසා. ඒ නිසා අපි මේ ඉස්කෝලේ ළඟ තියෙන වත්තේ රස්සාවල් හොයාගෙන ආවා.

මම වත්තේ දළු කඩනවා. මාස ගාණක් ගෙදර හිටපු දුවව මේ ඉස්කොලෙන් බාර ගත්ත එකම අපට ලොකු සහනයක්. ගෙදර ඉඳලා දුවව ඉස්කෝලෙට එවන්නේ ත්‍රී විල් එකක. අපේ ගෙදර ඉදලා පාසලට කිලෝ මීටර් දෙකක් දුරයි.

එයත් දරා ගන්න අපහසු මුදලක්. කොයි තරම් අමාරුකම් තිබුණත් මට මගෙ දුවට උගන්න ගන්න ඕන.”

සාර්දා දේවී පවසන්නේ තම දියණියගේ හෙට දවස ගැන දහසකුත් එකක් බලාපොරොත්තු තබාගෙනය.

අම්මාට කොතරම් බලාපොරොත්තු තිබුණද ඇයට ඒ අරමුණ ඉටුකර ගන්නට බාධක රැසකි. දරුවන්ගේ අධ්‍යාපනය ගැන වගකීමෙන් කටයුතු කරන ගුරුවරු සිටිනතාක් ඒ දරුවාගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් බියවිය යුතු නැත. උඩලමත්ත විද්‍යාලයේ විදුහල්පති ඒ.කේ.එස්.එච් තුෂාර මහතා තම පාසලේ සිසුවිය සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය ප්‍රශංසාත්මකය.

“එදා මේ දැරිවිය පාසලට කැඳවාගෙන එන්නට ගියේ බී.ජී ශ්‍රියාලතා ගුරුතුමිය. අපේ පාසලේ ගුරු මණ්ඩලය දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් බොහෝම කැපවීමෙන් කටයුතු කරනවා. දැරියට විභාගයට පෙනී සිටීමට අවස්ථාව සලසා දෙන්නට ලැබීම ගැන මට හරිම සතුටුයි. ඇය ඉගෙනීමට දක්ෂයි. අපේ පාසලේ සවස දෙකේ සිට සවස පහ දක්වා සාක්ෂරතා පන්තියක් පැවැත් වෙනවා. ඒ පන්තියේ දරුවෝ විසි පස් දෙනෙක් ඉගෙනුම ලබනවා. මේ දරුවාගේ වැඩිමල් සහෝදරයාත් එහි ඉගෙන ගන්නවා. එය පවත්වන්නේ කලාප අධ්‍යාපන කාර්යාලයෙන්.”

අප ඉදිරියට යන ගමනේ දී රෝස මල් ඇතිරූ මාවත් අපට හමු වන්නේ නැත. ජීවිත්වීම යනු දුෂ්කර මාවත් වල අසීරුවෙන් ගමන් කර නිශ්චිත අරමුණු වෙත ලඟාවීමේ කලාවය. එවන් මගක හුදකලාව ගමන් කරන නොදරුවන් වෙත් නම් ඔවුනට එම ගමන සුරක්ෂිතව නිමා කරගැනීමට අත්වැලක් අවැසිය.

මේ සමාජය අප සිතන තරම් අකාරුණික නැත. අධිශ්ඨානයෙන් පූර්ණ, හැකියාවෙන් අගතැන්වූ මාරිඅම්මා දියණියගේ හෙට දවස අයහපත් එකක් නොවනු ඇතැයි අපට සිතෙන්නේ එබැවිනි.

Comments