ජීවත් වී සිටියදී බිරියට දස වද දුන්නා මදිවට ප්‍රේතයකු වී ඉපදීත් බිරියට දුවට කරදර කරයි | සිළුමිණ

ජීවත් වී සිටියදී බිරියට දස වද දුන්නා මදිවට ප්‍රේතයකු වී ඉපදීත් බිරියට දුවට කරදර කරයි

මතුගම මහින්ද විජේතිලක

බහු කාන්තා සේවනයට නීතියක් නැත. බහු කාන්තා සේවනය නිසා රට තුළ බොහෝ අපරාධ මිනීමැරුම් සිදුවේ. එයට ‘අනියම් ඇසුර’ යැයි නමක් බටබැඳීම පමණක් සිදුවේ. ලොකු ලොක්කන්ට පාලකයන්ට ඒ පටබැඳීම ද නැත. රජ දරුවන්ට ද අන්තඃපුරයක් තිබුණා යැයි එය සාධාරණීකරණය කරන්නට තරම් සමහරු මුග්ධ වී සිටිති.

විවාහ නීති පැනැවුණේ විදේශීන් පැමිණියාට පසුව ය. ඊට පෙර පැවතියේ සංස්කෘතික චාරිත්‍ර විවාහ ක්‍රමයකි‍. දෙපැත්තේ නෑයින් මධ්‍යයේ පෝරුවේ චාරිත්‍රවලින් ආධ්‍යාත්මීය ක්‍රමවේදයකට අනුව විවාහය සිදු කැරිණි. අද පෝරු තුන හතරට නැග විවාහ ව‍ූ ජනප්‍රිය චරිත ඕනෑ තරම් දැක ගන්නට ඇත.

මේ අතර දික්කසාදවීම ආනන්තරිය පාපයක් ලෙස, පවුල්වල ගෞරවයට හානියක් ලෙස සලකා අනන්ත දුක් විඳින කාන්තාවෝ ද සිටිති. මරණීය දණ්ඩනයට ලක් වූ අපරාධකරුවන්ගේත් ඒ පවුල්වලත් ඊනියා මානව අයිතීන් ගැන කතා කරන්නෝ සිටිති. මේ අපරාධකරුවන් නිසා සමාජයේ බොහෝ දෙනෙකුට සිදු‍වී ඇති, සිදු වෙමින් පවතින හානිය ගැන අනේ අපොයි කියන්නට කෙනෙක් නොසිටී.

පිළියන්දල මාලනී පනස් හැවිරිදි ය. ඇගේ දියණිය සපුමලී ය. මාලිනීගේ ස්වාමි පුරුෂයා වික්ටර් මානසික රෝගයකට ප්‍රතිකාර ලබමින් සිටියදී දුම්රියට පැන සියදිවි හානි කැරගෙන වසරක් පමණ වේ. එසේ මිය ගිය වික්ටර් නිවසේ සැරිසරණ අයුරු මවටත් දුවටත් නිතර පෙනෙන්නට විය.

මාලනීත් සපුමලීත් නිතර අසනීප වෙන්නට වූහ. අසනීපවලට වෛද්‍ය ප්‍රතිකාර ගන්නත් සුවයක් නොවී ය. නිතර මළ ගිය ප්‍රාණකාරයා දර්ශනය වීම නිසා ඔවුහු මානසිකව ද පීඩාවට පත් වූහ.

මාලනී සිය දියණිය සමඟ ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයා ගෙන පැමිණියාය. ආධ්‍යාත්මීය උපදේශකවරයා මුණගැසී තමන්ට එළඹ ඇති කරදරය විස්තරය කළා ය. ගවේෂකවරයාගේ රෝග පරීක්ෂාවේදී සපුමලීට භූතාත්මයක් දිෂ්ටි ගැන්වී අඬන්නට විය. ඔවුන්ට භූත දෝෂයක් ඇති බව වටහාගත් ගවේෂකවරයා දින විසි එකක් ගමේ පන්සලේදී බෝධි පූජා පවත්වා නැවත පැමිණෙන ලෙසට උපදෙස් දුන්නේ ය.

ඒ උපදෙස් පරිදි බෝධි පූජා පැවැත්වූ ඔවුහු නැවත පැමිණියහ. එදින ද සපුමලීට භූතාත්මය ආවිෂ්ටවී අඬන්නට වූයෙන් ගවේෂකවරයා භූතයා සමඟ සාකච්ඡා කරන්නට විය.

“කවුද මේ ශරීරයට ඇතුල්වෙලා අඬන්නේ?” ය ඇසීය.

“මම වික්ටර්” භූතාත්මය කීවේය.

“කවුද වික්ටර් කියන්නේ?”

“මේ දුවගේ තාත්තා. මාලිනීගේ මහත්තයා.”

“ඇයි මේ දූටත් නෝනාටත් කරදර කරන්නේ?”

“මම මේ දෙන්නට කරදර කරන්න හිතාගෙන ආවේ නැහැ. මම ජීවත්ව ඉන්දැද්දී මේ මාලනීට දසවද දුන්නා. මාලනීගෙ ජීවිතය අපායක් කළා. මාලනී ඒ හැම වධ වේදනාවක්ම දරාගෙන අනන්ත දුක් වින්දා. ඒ වරද මට වැටහුණේ මරණාසන්න කාලයේ. ඒකයි කෝච්චියට පැනලා ජීවිතේ නැති කරගත්තේ. මගේ වරද නිවරද වෙනතුරු හිතට සැනසිල්ලක් නෑ. වරදට සමාව ගන්නයි මම ආවේ” යි භූතාත්මය කීවේ ය.

“ඔබ තමන්ගේ නෝනාට මොනවා ද කරපු හිරිහැර?”

“මගේ නෝනාගේ ශරීරය අඟ පසඟ ලස්සනයි. මම නිතරම හිටියේ නෝනා ගැන සැකයෙන්. නෝනා වෙන පිරිමියෙකු දිහා බැලුවත්, නොබැලුවත්, වෙනත් පිරිමියෙක් නෝනා දිහා බැලුවොත් මට සැක හිතුණා. මම නිතරම හිටියේ ඒ අවිශ්වාසයෙන්‍. අනුන් ගැන සැක කිරීම, අවිශ්වාස කිරීම මගේ ළමා කාලයේ ඉඳලම මට පුරුද්දක් වුණා. ඒකට මානසික වෛද්‍ය ප්‍රතිකාරත් ගත්තා. ඒත් ඒ පෙති කොයි තරම් ගිල්ලත් සනීපයක් වුණේ නෑ. ඒ තත්ත්වය විවාහ වුණාට පස්සෙ උග්‍ර වුණා. නෝනා පිළිබඳ සැකය නිතර පැවතුණ නිසා හැම දාම රාත්‍රියට මම නෝනාට වධ හිංසා කළා. අන්තිමට මගේ වරද මටම වැටහුණා. ඒ වරද නිවරද කරගන්න මට ඕනෑ. නෝනාගෙන් සමාව ගන්න ඕනෑ” යි භූතාත්මය අඬන්නට වූයේ ය.

එදින රෝග පරීක්ෂාව නතර කළ ගවේෂකවරයා මේ වික්ටර්ගේ භූතාත්මය කියන කතාව ඇත්ත දැයි මාලනීගෙන් ප්‍රශ්න කළේ ය.

“මගේ විවාහය සිද්ධ වුණේ මවුපියන්ගේ යෝජනාවක් අනුව විවාහය කියන්නේ ජීවිතයේ මහා ප්‍රීතියක් සතුටක් කියා හිතුවට මට නම් ඒක අපා දුකක් වුණා. කසාද බැඳපු දවසේ ඉඳලා වික්ටර් සැකයෙන්මයි හිටි‍ෙය්. මම වෙනත් ඥාති පිරිමියෙක් දිහා බැලුවත් කතා කළත් එදා රෑට මහා පළිගැනීමක් සිද්ධ වුණා. වෙන පිරිමියෙකු මා දිහා බලා හිටියත් එදාට වික්ටර් යක්ෂාවේශ වෙනවා. මම ගෙයින් දොට්ට නොබැස හිටියත් එදාට අතීත සිද්ධියක් මතක් කර මට දස වධ දෙනවා.”

“මොනවාද ඔය තරම් දස වධ දුන්නා ය කියන්නේ?”

“රාත්‍රියට ඇඳට තියලා මගේ අතපය ලණුවලින් බඳිනවා. කෑ ගහනවාට කටත් බඳිනවා. ඊට පස්සේ අමානුෂික විදිහට ලිංගික හිරිහැර කරනවා. මේ වධ හිංසාව දරාගන්නට බැරි තැන මේ තිරිසනාට නින්ද ගියාම මන්නයෙන් බෙල්ල කපලා මරන්න ‍ඕනෑ කියලා හිතු‍ණත් ඒ එක්කම අපි හැදුණු වැඩුණු ආගමික සංස්කෘතිය, පව පින මතක් වුණා මම ඒ ගැන දිගට හිතන්න ගියේ නෑ. මේ මිනිහා මානසික ලෙඩෙක්, පෙති ගිලින ලෙඩෙක් අද හැදෙයි හෙට හැදෙයි කියලා හිත හිතා හිටියා. අන්තිමට ඒ දුකටම පුරුදු වුණා.”

“ඇයි ඔබට දික්කසාද වෙන්න තිබුණා නේද?”

“මම මගේ දුක අම්මටයි තාත්තටයි කිව්වා. ඒ අය හිතුවේ දික්කසාදය මහා නින්දාවක් ලැජ්ජාවක් කියලා. මට හැමදාම කිව්වේ ඉවසන්න ඉවසන්න කියලා. අන්තිමට මට ජීවිතය නැති කැරගන්න හිතුණා. ඒත් දුව අනාථ වෙන නිසා දරාගෙන හිටියා. අන්තිමට වික්ටර්ටම වරද තේරිලා කල්පනා කර කර ඉඳලා කෝච්චියට පැනලා මැරුණා. ස්වාමියා ගේ මරණය ගැන මම තරම් සතුටු වුණ ගැහැනියක් තවත් නැතුවා ඇති. ඒත් ඉතාම අමාරුවෙන් කනගාටුදායක ස්වරූපයක් මවාගෙන මරණයේ කටයුතු කළා‍. කිසිම ගැහැනියකට මේ වගේ දුකක් නම් සිද්ධ වෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා.”

“අනේ මට සමාවෙන්නැ” යි යළිත් ආවිෂ්ට වූ භූතයා අඬන්නට විය.

“තෝ මේ ජීවිතයත් විනාශ කරලා. දස වධදීලා දැන් තොගේ දුක නිවාගන්න ද සමාව ඉල්ලන්නේ?” යි ඇසූ ගවේෂකවරයා ප්‍රේතයා ශක්ති කිරණ මගින් දවා පුලුස්සා පන්නා දැම්මේ ය.

දුවගේත් බිරියගේත් චක්‍ර ශුද්ධ කොට ශක්ති වළල්ල (බේරා) ප්‍රබල කොට නිවසේ ආරක්ෂාව සලසා දී බෞද්ධ පිළිවෙත් කීපයක් ද නියම කළේ ය.

Comments