දැනට ර‍ටේ ඩෙංගු වසංගතයක් නැහැ | සිළුමිණ

දැනට ර‍ටේ ඩෙංගු වසංගතයක් නැහැ

ඩෙංගු රෝගය යළි කතාබහට ලක්වන මාතෘකාවක් වී තිබේ. අප ඒ පිළිබඳව ක්ෂේත්‍රයේ ප්‍රාමාණිකයන් විමසන්නට උත්සාහ කළේ එබැවිනි. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, වෛද්‍ය අරුණ ජ‍යසේකරගෙන් ඒ පිළිබඳව මුලින්ම අප හා අදහස් දැක්වීය.

“සෑම අවුරුද්දකම ජුනි, ජූලි වන විට ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ ප්‍රවණතාවක් දකින්නට ලැබෙනවා. ඊට හේතුව ඒ කාලය වන විට නිරිතදිග මෝසම් වැසි සක්‍රීය වීම. මේ කාලයේ කඩින්කඩ වර්ෂාව පැවතීම සහ අධික උෂ්ණත්වය ඩෙංගු මදුරුවන් බෝවීමට හේතුවක්. ගිය අවුරුද්දේ ජූලි මාසයේදීත් ඩෙංගු රෝගීන් 30,000ක් පමණ වාර්තා වුණා. 23 වැනි අඟහරුවාදා උදෑසන වන විට දිවයින පුරා වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන 30,764ක්. මිය ගිය ගණන 45යි. 2017 අවුරුද්දෙ දී නම් ඩෙංගු රෝගය වසංගතයක් ලෙස ව්‍යාප්ත වුණා. 2017 ජූලි මාසය වන විට ඩෙංගු රෝගින්ගේ ගණන ලක්ෂ එකහමාරක් විතර වුණා. ඇත්තටම මේ අවුරුද්දේ මේ කාලයේ ඩෙංගු රෝගය ව්‍යාප්තවුණාට වසංගතයක් දක්වා වර්ධනය වීමේ අවදානමක් නැහැ. අපි ඩෙංගු පැතිරීම පාලනය කර තිබෙනවා.” යනුවෙන් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, වෛද්‍ය අරුණ ජයසේකර පිළිතුරු දුන්නේය.

අද ද‍වසේ ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ ය. මීට අමතරව ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර, කෑගල්ල සහ මහනුවර දිස්ත්‍රික්කය තුළ ද ඩෙංගු රෝගීන් හමුවීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබේ. මීට පෙර ගාල්ල දිස්ත්‍රික්කය තුළ ඩෙංගු රෝගය පැතිරීමේ වේගවත් වර්ධනයක් තිබුණ ද මේ වන විට එය මුළුමනින් ම පාලනය කර ඇත.

“අපිට මේ පාර වැඩිපුර ඩෙංගු රෝගීන් වාර්තා වුණේ ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැඩබිම්වල කොන්ක්‍රීට් තෙමන්න වතුර දානවා. ඒ වතුරවල ඩෙංගු මදුරුවන් හැදිලා අපිට හම්බ වුණා. ඒ තැන්වල වතුර ඉවත් කරන්න බැහැ. ඒ නිසා ඒ වගේ තැන්වලට දාන්න පලිබෝධනාශක 4ක් අනුමත කර තිබෙනවා. අපි ගාල්ල දිස්ත්‍රික්කයේ ඩෙංගු ව්‍යාප්තිය පාලනය කළේ ඒ විදිහටයි. මේ වගේ වැඩබිම්වල සිටින සේවකයන් උණ හැදුනම ගමට යනවා. ඒ යන්නේ ඩෙංගු වෛරස් අරගෙන. ඒ වෛරසය තව කෙනෙකුට යන්නේ මදුරුවන්ගෙන්. ඒත් ඊඩිස් ඊජිප්ටයි සහ ඊඩිස් ඇල්බොපික්ටස් යන මදුරු වර්ග දෙකෙන් විතරයි ඩෙංගු වෛරසය ශරීරගත වෙන්නේ. තවත් මදුරු වර්ග 47ක් සිටිනවා. ඒ මදුරුවන්ගෙන් ඩෙංගු වෛරසය ශරීරගත වෙන්නේ නැහැ. ඒත් ඩෙංගු වෛරසය ගෙනයන මදුරුවා කවුද, අනිත් මදුරුවන් කවුද කියලා අපිට වෙන් කර හඳුනාගන්න බැහැනේ. ඒ නිසයි අපි මදුරුවන් බෝ වන තැන් විනාශ කිරීමට උපදෙස් දෙන්නේ.” යනුවෙන් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රසිලා සමරවීර සඳහන් කළාය.

නිවසේ සහ ගෙවත්තේ මදුරුවන් බෝවිය හැකි වතුර රැ‍ඳෙන ස්ථාන පිරිසිදු කිරීමට අමතරව අත් පා ආවරණය වන සේ ඇඳුම් ඇඳීමෙන් ද අනුමත කළ මදුරු විකර්ශන ගැල්වීමෙන් ද ඩෙංගු රෝගයට ගොදුරු වීමෙන් වැළකිය හැකි බව ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රසිලා සමරවීර තවදුරටත් පැවසුවේ පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලියාපදිංචි වී අනුමැතිය ලැබූ මදුරු විකර්ශක වන සොෆෙල් ක්‍රීම් (N - N - diethyl - m - toluamide 13%) සහ සොෆෙල් ඉසින ගැනද දන්වා සිටිමිනි.

තද උණ සමඟ හිසරදය හා ඇස් යට වේදනාව, මස්පිඬු වේදනාව, සන්ධි කැක්කුම, ඔක්කාරය හා වමනය, සමෙහි රතු ළප හට ගැනීම, විදුරුමසෙන් නාසයෙන් ලේ ගැලීම වැනි රෝග ලක්ෂණ අතරින් 2ක් හෝ ඊට වඩා පවතී නම් එය ඩෙංගු රෝගය විය හැකි බැවින් වහාම රෝහලකට යා යුතුය.

“2017 අවුරුද්දේ නම් ඩෙංගු වසංගත තත්ත්වය එක්ක රෝහල් තුළ විශාල තදබදයක් ඇති වුණා. ඒ නිසා රුධිර පට්ටිකා ප්‍රමාණයේ සීමාවක් තබාගෙන එම සීමාවට වඩා අඩු රෝගීන්ව පමණක් රෝහල්ගත කළා. ඒත් දැන් රටේ එවැනි වසංගත තත්ත්වයක් නැහැ. ඒ නිසා රෝහල් තුළ ලොකු තදබදයක් නැහැ. කොහොම වුණත් පුංචි දරුවන්ට ගර්භණී මවුවරුන්ට වගේම වයෝවෘද්ධ අයට උණ හැදුණොත් ඉතා ඉක්මනින් ප්‍රතිකාර සඳහා යොමු වීම වැදගත්. ඒ අයට උණ හැදුණම බලාගෙන ඉන්න එපා.” යනුවෙන් විස්තර කළේ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, වෛද්‍ය අරුණ ජයසේකර ය.

ඩෙංගු රෝගය වෛරස් කාණ්ඩ 4කින් හඳුනාගෙන තිබේ. මෙතෙක් ලංකාවේ හමුවූයේ 1 සහ 2 වෛරස කාණ්ඩ ඩෙංගු රෝගීන් පමණි. එහෙත් මෙම වසරේ හමු වන්නේ 3 වැනි වෛරස් කාණ්ඩයේ ඩෙංගු රෝගීන් ය. සාමාන්‍යයෙන් එක් වෛරසයකින් ඩෙංගු රෝගය වැල‍ඳෙන්නේ එක් වරක් පමණි. නමුත් සමහරු දෙවරක්, තුන්වරක් ඩෙංගු රෝගයට ගොදුරු වී තිබේ. ඊට හේතුව වෛරස් කාණ්ඩ කීපයකින් ඩෙංගු රෝගය වැලඳීමේ හැකියාව තිබීමයි. මේ අනුව එක් පුද්ගලයකුට සිවු වරක් ඩෙංගු රෝගය වැලඳීමේ හැකියාව තිබේ.

ඇතැම් ඩෙංගු රෝගීන් කිසිදු අපහසුවකින් තොරව කල් ගත කරන ආකාරය අපට දැක ගත හැකිය. එවැනි ඩෙංගු රෝගීන් නිවසේ තබාගෙන ප්‍රතිකාර කරන අතර ඔවුන්ව රෝහල්ගත කෙරෙන්නේ නැ. ඩෙංගු රෝගයට ගොදුරු වූ අය ක්‍රීඩා කටයුතු, ව්‍යායාම සහ වෙහෙසකර කටයුතුවලින් ඈත් වී විවේකීව සිටිය යුතුය. හැකිතාක් දියර පානය කළ යුතුය. වෛද්‍ය උපදෙස්වලින් තොරව ඖෂධ හා අත්බෙහෙත් වර්ග භාවිත නොකළ යුතුය. එනම් ඉබුයුප්‍රෝෆන්, ඩයික්ලෝ‍ෆෙනැක් සෝඩියම්, මෙ‍ෆනමික් ඇසිඩ් වැනි NSAID කාණ්ඩයේ සහ ස්ටිරොයිඩවලට අයත් ප්‍රෙඩිනිසොලොන් ඩෙක්සාමෙතසෝන් වැනි ඖෂධ භාවිතයෙන් වැළකී සිටිය යුතුය. උණට හා වේදනාවට ලබාදෙන පැරසිටමෝල් නිවැරදි මාත්‍රාවෙන් පමණක් ගැනීම ඉතා වැදගත් ය.

“‍ඩෙංගු මදුරුවන් බෝවන තැන් ඉවත් කරලා පිරිසිදුව තබා ගැනීම සඳහා ඩෙංගු මර්දන ඒකක‍ය දීප ව්‍යාප්තව කටයුතු කරනවා. ධුමායනය සිදු කරනවා. ඒ සඳහා දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින්ගෙන් විශාල සහයෝගයක් ලැබෙනවා. මීට පෙර අවස්ථාවලදී නම් අපට ආරක්ෂක හමුදාවෙනුත් ලොකු සහයෝගයක් ලැබුණා. ඒත් මේ පාර රටේ පවතින ආරක්ෂක තත්ත්වය නිසා ආරක්ෂක හමුදාව සම්බන්ධ කර ගැනීමට අපට හැකියාවක් ලැබුණේ නැහැ. නගර සභා සහ ප්‍රාදේශීය සභා සමඟ එකතු වෙලා කුණු ඉවත් කිරීමේ කටයුතු සිදු කරනවා. මෙහිදී මාතර සහ මහරගම කුණු ඉවත් කරලා දමන ස්ථාන පිළිබඳව ගැටලු මතු වුණා. අනෙක් ප්‍රදේශවල නම් ගැටලු මතු වුණේ නැහැ. කොහොම වුණත් ඩෙංගු රෝගය පාලනය කිරීම ඩෙංගු මර්දන ඒකකයට විතරක් කරන්න පුළුවන් දෙයක් නොවෙයි. එය රටේ සෑම පුරවැසියකුගේ ම වගකීමක්. මදුරුවන් බෝවන ස්ථාන වළක්වා ගැනීම හැමෝගේම වගකීමක්. තම තමන්ගේ නිවෙස් සහ ගෙවත්ත, අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමට හැමෝම උනන්දු විය යුතුයි.” යනුවෙන් පැවසූ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, වෛද්‍ය අරුණ ජ‍යසේකර ජනතාව තම වගකීම කෙරෙහි මීට වඩා අවධානය යොමු කළ යුතු බව අවධාරණය කළේය. සියලු දෙනා ඒකරාශි වු‍වහොත් යුද්ධය මෙන් ම ඩෙංගු රෝගය ද පැරදවිය හැකි බව ජනතාව ද තේරුම් ගත යුතුය.

Comments