
දරුණු නවකවද හා ලිංගික හිංසනයන්ට ඇපත් නැහැ
නවකවද විරෝධී පනත හරියටම ක්‍රියාත්මක කරන්න සියල්ල සූදානම්
වරෙන්තුවකින් තොරවත් වධකයන් අත්අඩංගුවට ගත හැකියි
තිරශ්චීන නවකවද සිදු වීම් මාලාවේ අවසානයක සේයාවක් තවමත් දක්නට නැත. මේ ලිපිය ලියන මොහොත වන විටත් සිය ජීවිතයේ සාධනීය අපේක්ෂා දල්වන්නට පෙරමං බලා සිටි තවත් සිසු පිරිසක් නවකවද විකෘතියේ කුරිරු ලිංගික හිංසනයන්ට ලක් වෙමින් සිටිති. වසරක් පාසා කුරිරු නවකවද හා ලිංගික හිංසනය හේතුවෙන් විශ්වවිද්‍යාල ලියාපදිංචිය ලබාගත් හා මුල් මාස කිහිපය තුළ සිය අධ්‍යයන කටයුතු ආරම්භ කළ සිසුන් 2000ක් සිය අධ්‍යාපන කටයුතු අතරමඟ නවතා ලන්නට කටයුතු කර ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සිය දත්ත ප්‍රකාරව වාර්තා කරයි. ඒ කරුණ ලංකාව වැනි රටකට සුළුවෙන් තැකිය හැකි කරුණක් නොවේ.
විශ්වවිද්‍යාලය තුළ ක්‍රියාත්මක වන්නේ ද රටේ නීතියය. එහෙයින් දණ්ඩ නීති සංග්‍රහයට ප්‍රකාරව එසේ කායික හා ලිංගික වද හිංසා සිදු කිරීම ඇප ලබාගත නොහැකි දඬුවමකි. 1996 දී පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු අංශයේ දමිළ සිසුවෙකු වූ සෙල්වවිනයාගම් වාරප්‍රකාශ් මිය යන්නේ නවකවද හා දැඩි කායික වද හිංසාවල අතුරු පලයක් වශයෙනි. ඔහු නවක වදයට ලක් වන්නේ එම විශ්වවිද්‍යාලයේම වූ වධකාගාරයක් තුළය. අවසනායේ කායික වදහිංසා දරාගත නොහැකිව වරාප්‍රකාශ් මිය ගියේය. 1998 දී අංක 20 දරණ, අධ්‍යාපන ආයතනවල නවකවදය හා වෙනත් ස්වරූපයේ සාහසික ක්‍රියා තහනම් කිරීමේ පනත හෙවත් නවකවද විරෝධි පනත ගෙන එන්නේ ඒ සිසුවාට වූ සාහසික අපරාධය තවකෙකුට සිදු නොවන්නටය.
වරෙන්තුවකින් තොරව අත්අඩංගුවට
වර්ෂ 1998 දී ඉදිරිපත් කළ පනතක් වුවත් එහි ඇති නවකවද අර්ථ දැක්වීම් වර්තමානයේ සරසවි බිමේ සිදු වන දරුණු කුරිරු ක්‍රියාවන්ටත් එකසේ වලංගුය. එම පනත මඟින් නවකවද දෙන්නන්ට ක්‍රියාත්මක වන බලය දණ්ඩ නීති සංග්‍රහයේ බලතලද අබිබවා යයි. එම පනත යටතේ යමෙකු වදයක් කිරීම පමණක් නොව, ඒ සඳහා ඉඟි බිඟි පෑමක්ද නවකවදයකි.
නවකවද විරෝධි පනත යටතේ විශ්වවිද්‍යාලය තුළ ශාරීරික, මානසික හානියක් හෝ මානසික වේදනාවක්, බියක් සිදු කරන හෝ සිදු කිරීමට ඉඩ ඇති යම් ක්‍රියාවක් නවකවදය ලෙස අර්ථ දක්වා ඇත. විශ්වවිද්‍යාලය තුළ ලිංගික හිරිහැරයක් සිදු කිරීම හෝ අතවරයක් සිදු කිරීම පිණිස සාපරාධී බලහත්කාරය පෑම, වචන හෝ ක්‍රියා භාවිතා කිරීම ලිංගික අතවර සේ හඳුන්වා දී ඇත.
පනතේ ස්වරූපය
විශ්වවිද්‍යාලවල සිටින්නේ ද මේ රටේ නීතියට යටත් වන පිරිසකි. නමුත් එක්තරා පිරිසක් හැසිරෙන්නේ රටේ නීතියට පමණක් නොව, විශ්වවිද්‍යාල නීතියටද ඔවුන් යටත් බව අමතක කරමිනි. සිය ම්ලේච්ඡත්වය ප්‍රකට කරමින් නවකයන් වද හිංසාවන්ට ලක් කිරිම නවකවද පනත යටතේ වසර 20ක් දක්වා දඬුවම් විඳින්නට සිදු වන අපරාධයක් බව ඒ පිරිස් නොසලකා හරිති. දැන් එම නීතිය අකුරටම ක්‍රියාත්මක වන දිනය අත ළඟය.
වර්ෂ 1998 දී අංක 20 දරන අධ්‍යාපන ආයතනවල නවකවදය හා වෙනත් ස්වරූපයේ සාහසික ක්‍රියා තහනම් කිරීමේ පනතට අනුව, යම් ජ්‍යෙෂ්ඨ සිසුවෙකු විසින් යම් සිසුවෙකු හෝ පිරිසක් හිංසාවට ලක් කිරීම, ලිංගික අඩම්තේට්ටම් හෝ බරපතළ හිංසන සිදු කිරීම හෝ සිදු කිරීමට තැත් කිරීම වැනි වද හිංසා සංඥේය වැරැද්දක් වන්නේය. එම වගන්තියේ ඇති බරපතළකම බොහෝ දෙනා දන්නේ නැත.
ඒ පනත අනුව නවකවද දෙන්නන් දුටු තැන අත්අඩංගුවට පත්කළ හැකිය. යම් අයෙකු නවකවද හිංසාවක් සිදු කරනු හෝ ලිංගික අඩම්තේට්ටම් සිදු කරනු දුටුවහොත් ඔහු හෝ ඇය අත්අඩංගුවට පත් කිරීමට හැකිය. ඕනෑම පොලිස් නිලධාරීයෙකුට තම බලසීමාවේ සිදු කරන නවකවද හිංසනයන් වාර්තා වුවහොත් උසාවි වරෙන්තුවකින් තොරව එම වධකයන් අත්අඩංගුවට ගත හැකිය.
ඇපත් අහිමි වන හැටි
වර්ෂ 1998 දී අංක 20 දරන අධ්‍යාපන ආයතනවල නවකවදය හා වෙනත් ස්වරූපයේ සාහසික ක්‍රියා තහනම් කිරීමේ පනතේ 2 වැනි වගන්තියේ 2 වැනි උප වගන්තිය හා 4 වැනි වගන්තිය යටතේ වරදක් සිදු කිරීම සම්බන්ධයෙන් සැක කරනු ලැබු හෝ චෝදනා කරනු ලැබූ තැනැත්තෙකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මහේස්ත්‍රාත් අධිකරණයකින් හෝ ඇප ලබාගත නොහැකිය. එම වරදට මහාධිකරණයේ විනිශ්චයකාරවරයා ඇප ලබා දෙන්නේද 1997 අංක 30 දරන ඇප පනතේ 14 වැනි වගන්තියේ වු විධි විධානවලට යටත්වය. එසේ ඇපත් නැති නවකවද අතර ලිංගික හිංසනය සිදු කිරීම ප්‍රධාන වෙයි. ඒ වරද පනතේ 2 වැනි වගන්තියේ 2 වැනි උප වගන්තියේ මෙසේ දක්වා ඇත.
“යම් අධ්‍යාපන ආයතනයක ශිෂ්‍යයෙකුට නවකවදය සිදු කරන අතරතුර ඒ ශිෂ්‍යාට ලිංගික අතවරයක් හෝ බරපතළ තුවාල සිදු කරන්නාවූ යම් තැනැත්තෙකු මේ පනත යටතේ වරදකරු වෙයි. ඒ වරදෙහි බරපතළකම අනුව නවකවද දෙන්නාට අවුරුදු 10ක් නොඉක්මවන කාලයක් සඳහා බන්ධනාගාර ගතකිරීමකට හා වදයට ලක්වන සිසුවාට සිදු කරන ලද හානිය වෙනුවෙන් අධිකරණය විසින් තීරණය කරනු ලැබූ වන්දියක් ගෙවීමටද සිදු වෙයි.”
අනෙක් වගන්තිය වන්නේ නවකවද ක්‍රියා සිදු කිරීමට යම් සිසුවෙකු අඩස්සියට ගැනීමය. ඒ යටතේ යම් සිසුවෙකු තවත් අයෙකුගේ පෞද්ගලික නිදහස හා යෑම් ඊම් නිදහස අවහිර කරන්නාවු යම් ක්‍රියාවක් කරයි නම් ඔවුන් මේ යටතේ වරදකරු වන අතර ඔහු අවුරුදු 7 ක් නොඉක්මවන කාලයක් සඳහා බරපතළ වැඩ ඇතිව බන්ධනාගාර ගත කිරීමකට ලක් විය හැකි අතර බොහෝ විට ඇප පවා අහිමි වෙයි. සිය දරුවන් උස් මහත් කරමින් අසිමිත ආශාවන් මුදුන්පත් කර ගන්නට වෙර දරන මවුපියන්ගේ අවසන් පැතුම මෙය විය නොහැකිය.
අනෙක් නීතිත් පොදුයි
නවකවද විරෝධී පනතේ 2 වැනි වගන්තියේ 1 වැනි උප වගන්තියෙන් සියලුම නවකවද දිම් සඳහා හිමි වෙන්නාවූ දඩුවම පැහැදිලි කර ඇත. යම් අයෙකු හෝ පිරිසක් කායික, මානසික හෝ ලිංගික ආකාරයෙන් ක්‍රියාවෙන් හෝ ක්‍රියාවෙන් තොරව වචනයෙන් හෝ ඉඟි බිඟි පෑමෙන් පමණක්ම වුවත් මේ යටතේ දඬුවම් විඳින්නට සිදු වන බව අවධාරණය කර ඇත. ඒ බරපතළ වැඩ සහිතව අවුරුදු දෙකක් නොඉක්මවන කාලයක් සඳහා වූ සිරදඬුවමකි.
මේ පනතේ විධි විධාන ඉදිරිපත් කර ඇත්තේ දණ්ඩ නීති සංග්‍රහයේ 1994 අංක 22 දරන වධදීම් හා ක්‍රෑර, අමානුෂික හෝ නින්දිත සැලකීමට හෝ දඬුවම් වලට එරෙහි වූ සම්මුතිය පනතේ හෝ වෙනත් නීතින් හීන කිරීමට නොවන බවය. නවක වද දෙන්නන්ට මේ නීතිය ක්‍රියාත්මක වන්නේ එම ප්‍රධාන දඬුවම්වලට අතිරේකවය.
ඒ අනපනත් අනුව නවකවද දෙන්නන්ට නීතියෙන් කිසිදු ගැලවීමක් නැත. මේ නීති සක්‍රීයව තිබේ. එහෙත් වධකයන්ට නිසි දඬුවම් පැනවෙන්නේ නැත. තවමත් සරසවි බිමේ නොපහත්කම් ඒ ආකාරයෙන්ම සිදු වෙමින් තිබේ.
විශ්වවිද්‍යාලය තුළ විනය සම්බන්ධයෙන් පාලක සභාවට ප්‍රධානතම බලය පැවැරී ඇත. මේ පාලක සභාවට පත් වන්නේ එම විශ්වවිද්‍යාලයේ උපකුලපති, පීඨාධිපතිවරු හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මඟින් බලය පැවැරෙන නිලධාරියෙකුය. එසේම මේ නවකවද දීම් මෙන්ම ම්ලේච්ඡ ලිංගික අඩම්තේට්ටම් විශ්වවිද්‍යාල පරිසරයෙන් බැහැර කිරීමේ වගකිම පැවැරී ඇත්තේ අදාළ විශ්වවිද්‍යාලයට හා එහි පාලක සභාවට ය. උපකුලපති ප්‍රමුඛ පාලක සභාවේ කාර්යභාරය විය යුත්තේ නවකවදයෙන් තොර සරසවි පරිසරයක් සියලුම සිසුන්ට උරුම කරවීමය.
විනය සුරකින පාලක මණ්ඩලය
ම්ලේච්ඡ සරසවි නවකවද දීම් පිළිබඳ කෙරෙන ගවේෂණයේදී අප අත්දුටු කරුණ වන්නේ අදාළ විශ්වවිද්‍යාල බලධාරීන් මේ සියල්ල සිදු වන තෙක් ඇස කන පියාගෙන බලා සිටි ආකාරයය. පාලක මණ්ඩලයේ බොහෝ දෙනෙක් සිසුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්නට යන්නේ නැත. වධකයන්ගේ ම්ලේච්ඡ හැසිරීම් ඔවුන් අනුමත නොකරතත්, ඔවුන් දතකට පියාගෙන සිටින්නේ මැරයන්ට එරෙහි වීමට තරම් පෞරුෂයක් නැති නිසාය. පාලක මණ්ඩලයට පත් වන බොහෝ දෙනෙක් විශ්වවිද්‍යාල පරිසරයෙන් පදම් වූවෝය.
උපකුලපතිවරුන් පමණක් නොව පීඨාධිපතිවරුන් පවා විශ්වවිද්‍යාල සිසු මට්ටමේ සිට ආචාර්ය මහාචාර්ය මට්ටම් දක්වා පරිපූර්ණත්වයට පත්වූවෝය. ඒ නිසා මේ පරිසරයේ යථා තත්ත්වය විඳි ඔවුන් තමන් යටතේ සිටින සිසුන් පරිපාලනය යටතට ගන්නට දක්ෂ විය යුතුය. විශ්වවිද්‍යාල පාලක මණ්ඩල බලධාරීන්ට විශ්වවිද්‍යාල තුළ විනය ආරක්ෂා කිරීමට නොහැකි නම් වඩාත් සුදුසු වන්නේ සිය තනතුරට ආයුබෝවන් කියා තනතුර කරන්නට හැකි අයෙකුට පැවැරීමය.
යාචක සංස්කෘතියේ කැට සෙල්ලම
කැට සෙල්ලමද නවක වද ගෝත්‍රික සංස්කෘතියේ තවත් එක් අංගයකි. විශ්වවිද්‍යාලවලට පැමිණෙන නවකයන්ට බලහත්කාරයෙන් දෙන කැට එකතු කිරීමද මෙයාකාරයේම වදයක් වී ඇත. ඒ පිළිබඳ බොහෝ අත්දැකිම් ඇති එක්තරා විශ්වවිද්‍යාලයක උපකුලපතිවරයෙකු සඳහන් කළේ විශ්වවිද්‍යාලයට පැමිණෙන සෑම නවක සිසු සිසුවියකට කැටයක් ලබා දෙන බවය. ඔවුන් සෑම කෙනෙක්ම එයට අවම වශයෙන් රුපියල් 3000කට නොඅඩු මුදලක් එකතු කර දිය යුතුය. ඒ සඳහා තමන්ට හිමි කැට හොල්ලමින් ඔවුන්ට පාරක පාරක් ගානේ යෑමට සිදු වෙයි.
සමහර විශ්වවිද්‍යාල සංගම් කැට එකතු කිරීම පහත් ආකාරයෙන් සිදු කරන්නට පෙලඹී සිටී. ඒ යාචක සංස්කෘතියට අනුව පිටතින් කුලියට ලබාගත් බසයකින් කැට අතට පත් කළ නවක සිසුන් විවිධ නගරවලට ගෙන ගොස් බැස්සවීමය. නැවතත් සවස් කාලයේ ඔවුන් එකතු කරගන්නේ ජ්‍යෙෂ්ඨ සිසුන්ය. මේ ක්‍රියාවෙන් අසීමිත මුදල් ප්‍රමාණයක් ජ්‍යෙෂ්ඨයෝ එකතු කරගනිති. උපකුලපතිවරයා සඳහන් කළේ විගණනයකින් තොර ඒ මුදල් යෙදවෙන්නේ ජ්‍යෙෂ්ඨයන්ගේ විවිධ මනදොළ සපුරාලන්නට බවය. ජ්‍යෙෂ්ඨයන්ගේ මත්පැන් සාද වෙනුවෙන්, සිය යතුරුපැදි වාරික ගෙවීම වෙනුවෙන්, දුරකතන බිල්පත් වෙනුවෙන් ඔවුහු නවක සිසුන් යාචක වෘත්තියේ යොදවති.
නීතිය අවනීතිය වෙයි
රටේ නීතියත්, නවකවද සඳහා පනවා ඇති නීතිත් නිසි ලෙස ක්‍රියාත්මක වී නම් මේ අමානුෂික වද වදහිංසා සිදු කළ සියල්ලන්ම අද ඇපත් නොලබා අත්අඩංගුවේය. නමුත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා චෝදනා කරන්නේ නවකදවද සිදු වීම් වලදී ඇතැම් පොලිස් නිලධාරීන් යම් යම් අවස්ථාවලදී අදාළ නීතිය හරිහැටි ක්‍රියාත්මක කිරීමෙන් වැළැකි සිටි බවය. එයට හොඳම උදාහරණය වශයෙන් පෙන්වා දෙන්නේ පසුගියදා පේරාදෙණි විශ්වවිද්‍යාලයේ වධකාගාරය ක්‍රියාත්මක කළ සිසුන් අත්අඩංගුවට පත් කිරීමෙන් පසුව පොලීසිය ක්‍රියා කළ ආකාරයයි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගලහ පාරේ ජනශුන්‍ය ප්‍රදේශයක පවත්වාගෙන ගිය සේෆ් හවුස් නම් වූ වධකාගාරයේ නවකයන්ට වද ලබා දී ඇතතේ දැඩි ලෙස ලිංගික හිංසනයන්ට යටත් කරමිනි. කුලී පදනම මත ලබාගත් ඒ ස්ථානයට කුලී මුදල් පවා ගෙවා ඇත්තේ ද සිසුන්ගෙන්ම කැටවලින් එකතු කළ මුදල්වලිනි.
කාලයක් තිස්සේ පවත්වා ගෙන ගිය එම කටයුත්ත අනාවරණය වීමෙන් පසුව විශ්වවිද්‍යාල බලධාරීහු අදාල මනෝ විකෘතිකයන් පොලිස් අත්අඩංගුවට පත් කළහ. නීත්‍යනුකූලව උසාවියට ඉදිරිපත් කළද අවසානයේ ඒ පිරිස නිදහස් වූහ. ඉන් සිදු වූයේ මේ විකෘතිය පවත්වාගැනීමට තවත් පිරිසකට උඩගෙඩි දිමය. උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කරන්නේ එසේ වීමට ප්‍රධානතම හේතුව පොලිසිය විධිමත් ආකාරයෙන් නඩු කටයුතු පවත්වා ගෙන නොයෑමය. ඒ නවකවද සිදුවීම්වලදී අදාළ නීතිය හරිහැටි ක්‍රියාත්මක වූවා නම් අද එවැනි වදයන් බොහෝ දුරට අවසන්ය.
නවකවද පනතට අදාළ පසුබිම සරසවි තුළ ක්‍රියාත්මක කිරීමේ බලධාරීන් වන්නේ අදාළ විශ්වවිද්‍යාලය හා එහි පාලක සභාවයි. එහෙත් ඔවුන් සියලු දෙනා බලාගෙන සිටියදී අවසානයේ ගලහා පාරේ වධකාගාරය පවත්වා ගෙන ගිය ම්ලේච්ඡයෝ නිදහස් වූහ.
වගකීම කා අතද?
මෙහිලා මවුපියන්ටද වගකීමක් තිබේ. තම දරුවා කරන කියනා දෙය සොයා බැලීමඔවුහු පැහැර හරිති. දරුවා කියන දෙය සත්‍යයක් යැයි මවුපියෝ පිළිගනිති. ඒ ඔවුන් පිළිගන්නා පරිදි ඔවුන්ගේ දැන උගත් දරුවාය. මවුපියන්ට සිදු වන්නේ සිය දරුවා මෘග වධකයෙකු වී අවසානයේ පොලිස් අත්අඩංගුවට පත් වු පසු ඔහු අසරණයෙකු, නිවැරදිකරුවෙකු, බව පවසා හඬා වැලපෙමින් උසස් අධ්‍යාපන හා විශ්වවිද්‍යාල බලධාරීන් පිටුපස දිවයන්නටය.
මේ වන විට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විශ්වවිද්‍යාල බලධාරීන් සමඟ එකතු වී නවකවද මාෆියාවට මුහුණ දීමට කටයුතු සම්පාදනය කර ඇත. ඉදිරියේදි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මේ සිදු වන අකටයුතුකම් නැවැත්වීමට, නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට නීතිපති දෙපාර්තමේන්තුවේද සහාය නොඅඩුව ලබාගෙන තිබේ. යම් සිසුවෙකුට හෝ සිසු පිරිසකට නීතිය ක්‍රියාත්මක කිරීමේදී ඇති වන විවිධ බලපෑම් මින් ඉදිරියට සිදු නොවන්නට සියල්ල සූදානම්ය. රටේ නීතිය කුමක්ද යන්න ඔවුන්ට නුදුරේදීම පසක් වනු ඇත.
තොරතුරු ලබාදුන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්න, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මාහාචාර්ය මොහාන් ද සිල්වා, මහාචාර්ය උමා කුමාරස්වාමිට අපගේ ස්තුතිය