
ආචාර්ය දිල්ශාන් මනෝජ් රාජපක්ෂ
කථිකාචාර්ය, බෞද්ධ දර්ශනය අධ්‍යයන අංශය,
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය
යථාර්ථය පිළිබඳ කිසියම් සංකල්පනාවක් හෝ මතයක් හෝ කරුණක් හෝ සම්බන්ධයෙන් විරුද්ධ පාර්ශ්වය ගැනීම (හෝ දැරීම) විපර්යාසයි. අනිත්‍ය දෑ නිත්‍ය ලෙස ගැනීම, දුක් සහගත දෑ සුඛ සහගත ලෙස ගැනීම, අනාත්ම දෙය ආත්ම ලෙස ගැනීම හා අසුභ වූ දෙය සුභ ලෙස ගැනීම යනාදී ලෙස එන විපර්යාස ප්‍රත්‍යක්ෂය (සංඥා) ද මනස හෙවත් සිතිවිලි (චිත්ත) ද මතවාද (දෘෂ්ටි) ද පදනම් කරගෙන ක්‍රියාත්මක වේ. (අංගුත්තරනිකාය, විපල්ලාස සූත්‍රය, බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා පුනර් මුද්‍රණ, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය දෙහිවල, 19, පි. 100/ පටිසම්භිදාමග්ග, විපල්ලාස කථා, එම, 19, පි. 506.)
මෙහි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම හා අසුභ යනාදිය අයත් වන්නේ ලෝක යථාර්ථය නිරූපණය කරන ප්‍රඥා සම්පත්තිය සඳහා දායක වන ධනාත්මක අංශයට ය. එමෙන් ම එහි ප්‍රතිවිරුද්ධ අංශය වන නිත්‍ය, සුඛ, ආත්ම හා සුභ යනාදිය අයත් වන්නේ විපර්යාස සහගතභාවය නිරූපණය කරන ඍණාත්මක අංශය නියෝජනය කරන පෘථග්ජන පුද්ගලයා තුළ ඇති වන්නා වූ විශුද්ධියට හෙවත් විශුද්ධියට බාධා පමුණුවන්නකි. විපල්ලාස යනු විකෘති ස්වභාවය යි.
විපරීතයෙහි බැසගත් සිත ‘විපරීතචෙතො’ නම් වේ. බෞද්ධ විවරණයට අනුව පංචස්කන්ධය නිත්‍ය ආදී ලෙස යම් දැනීමක් වේද එය විපර්යාසයක් බව යි.
මෙය තවත් ආකාරයකින් දක්වන්නේ නම්, විපර්යාසවලට මූල හේතු වන්නේ පංච උපාදානස්කන්ධය යි. විපරීත සෙවීම් හෝ විපරීත ගැනීම් ‘විපරිතියසභා නො’, ‘විපල්ලාසගාහො’, ‘මිථ්‍යාගාහො’ යනුවෙන් හඳුන්වයි. එමඟින් පැනෙන අරුත නම්, ස්වභාව නොවූ අතථ්‍ය විෂයෙහි තථ්‍ය ස්වභාවය යැයි ද තථ්‍ය විෂයෙහි අතථ්‍ය ගැනීම ද මිථ්‍යාග්‍රාහී පදනමකින් යුක්ත වන බව යි. දෘෂ්ටි ගතිකයන් විසින් ගන්නා ලද විපර්යාස දෘෂ්ටි ‘තත්ථං’ යනුවෙන් හැඳින්වේ. එමඟින් අදහස් කෙරෙන්නේ නා නා විධ තීර්ථකයෝ ආත්මය ද ලෝකය ද ශාස්වත යැයි ගැනීම ය. එසේ ම විපල්ලාසවලට මූලය සක්කාය දිට්ඨිය යි. බෞද්ධ විග්‍රහයට අනුව විපල්ලාසවලට හේතු වන්නේ “මම යන හැඟීම ඇති ව දෘෂ්ටිග්‍රාහී වූ පුද්ගලයා චතුර්විධ විපල්ලාස ගත වීම යි. එම විග්‍රහයට සැලකිල්ලට ගෙන ඇත්තේ ආත්මවාදී පදනම යි. මෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ පුද්ගලයා දෘෂ්ටිගාමී වීම යි. අත්තානුදිට්ඨියෙන් විපරීතතා හෙවත් විපර්යාය වූ තත්ත්වය මිච්ඡා දිට්ඨිය යි. බුදුසමය තුළ අවිද්‍යාව හෝ මෝහ නිසා පුද්ගල සන්තානයෙහි ඇති කරගනු ලබන මායාත්මක නිගමන දිට්ඨි, විපල්ලාස ආදි නම්වලින් හැඳින්වේ.
විපර්යාස යනු යමක සැටියට විරුද්ධාකාරයෙන් ගැනීම යි. නිදසුන් ලෙස දික් දෙය කෙටි යැයි කියා ද කෙටි දෙය දිග් යැයි කියා ද සතරැස් දෙය වට යැයි කියා ද වට දෙය සතරැස් යැයි කියා ද ඇති සැටියට විරුද්ධාකාරයෙන් ගැනීම විපර්යාස යි. එම විපර්යාස සතර තේරෙන්නේ පඤ්චස්කන්ධ හා එය අයත් ධර්මවල අනිත්‍ය, දුක්ඛ, අනාත්ම හා අසුභ යන ලක්ෂණ දැන සිටින අයට පමණි.
පුද්ගලයා තෘෂ්ණා විපර්යාසයෙන් ද ආශ්වාදයට කැමති ය. එය ‘අස්සාද සමුදය’ නමින් ද හඳුන්වයි. සාමාන්‍ය සත්ත්ව ස්වභාවය නම් විපරීත ග්‍රහණයට පැමිණීම යි. ඒ බව “සාමාන්‍ය සත්ත්වයා විපරීත ග්‍රහණයට පැමිණෙන්නාහු ය” (විපල්ලාසම්පි සත්තා පටිලභෙය්‍යුන්ති) යනුවෙන් දක්වා ඇත. විනය පිටකයේ අට්ඨකථාවේ මහාමොග්ගල්ලානසීහනාදකථාවේ දී සඳහන් වන ආකාරයට වේරඤ්ජාවේ වස් සමාදන් වන බුදුරදුන්ට මුහුණ දීමට සිදු වන දුෂ්කර වූ ද දරුණු වූ ද නියඟය නිසා ආහාර සොයාගැනීමට අපහසු විය. එහි දී නියඟය මැඩපැවැත්වීමට තමන් වහන්සේගේ ඍද්ධි ප්‍රාතිහාර්ය පෑමට මුගලන් හිමි අවසර පැතූ විට බුදුරදුන් එය ප්‍රතික්ෂේප කරමින් උපදෙස් දෙන්නට වුයේ ඍද්ධි බලයෙන් නියඟය මැඬපැවැත්වීමට යෑමෙන් මිනිසුන් විපර්යාස ගත වන නිසා නියඟ සෑම කල්හි ම පැමිණිය හැකි බැවින් එය සාමාන්‍ය තත්ත්වයක් ලෙස සලකා හැකි ලෙස වස් විසීම සිදු කළ යුතු බව යි. ( විනයයට්ඨකථා, පාරාජිකකණ්ඩ අට්ඨකථා 1, මහාමොග්ගල්ලානස්සසීහනාදකථා, හේවාවිතාරණ මුදාණය, 1929, පි. 128)
දීඝනිකාය අටුවාව පෙන්වා දෙන ආකාරයට ශ්‍රමණයන් හා ගෞතම බුදුන් ගළපවන යමෙකු වේ නම් ඔහු විපරීතයෙකි. එසේ ම සුභ අසුභ සියල්ල සුභ යැයි ගන්නා ශ්‍රමණ පිරිස් සිටින බවත් ඔවුන් විපරීත බව බුදුරදුන් පෙන්වා දෙයි. පෘථග්ජන පුද්ගලයා පඨවිය පඨවි වශයෙන් තණ්හා, දිට්ඨි, මාන මඤ්ඤණාවෙන් යුතු සංඥා විපර්යාස වශයෙන් ගනියි.
පුද්ගලයා තෘෂ්ණා විපර්යාසයෙන් ද ආශ්වාදයට කැමති ය. එය ‘අස්සාද සමුදය’ නමින් ද හඳුන්වයි. විපර්යාස සඳහා මුල් වන්නේ අවිද්‍යාව යි. ඒ අනූව අවිද්‍යාන්ධකාරයෙහි වෙසෙන පෘථග්ජන පුද්ගලයා තුළ විපර්යාස ගොඩනැඟේ. මාර්ගඵල ලාභී ආර්ය පුද්ගලයන් තුළ විපර්යාස ගොඩ නො නැඟේ. සියලු කෙලෙස් ප්‍රහාණය කළ ආර්ය පුද්ගලයා යථාර්ථමය වශයෙන් ලෝකය දෙස බැලීම එයට හේතුව යි.
විපර්යාසවල ධනාත්මක හා ඍණාත්මක යනුවෙන් ප්‍රවේශ දෙකකි. විපර්යාසවල ධනාත්මක අංශය පුද්ගල පෞරුෂය සංවර්ධනය කිරිමට, නීරෝගී පැවැත්මක් ඇති කිරීමට හේතු වේ. එමෙන් ම විපර්යාසයන්ගේ මූල හේතු ගවේෂණය කිරීමට ද සදාචාරාත්මක හා ආධ්‍යාත්මික විශුද්ධිය පිණිස ද මෙහි ධනාත්මක අංශය උපයෝගී කරගත හැකි ය.
මූල වැරදි විපර්යාස, සත්‍යයක් ලෙස හෝ දැනුමෙහි උපරිම අවස්ථාවක් ලෙස සැලකිය නො හැකිය. ධනාත්මක හා ඍණාත්මක යන විපර්යාසයන්වල දෙඅංශය ම ප්‍රතික්ෂේප කරන විට එහි විසමතා තහවුරු කළ නො හැකි ය.
විශ්වාසය හා බැඳි වත් පිළිවෙත් (සීලබ්බත) විශුද්ධිය පිණිස මුල් නොවේ. එය වැරදි ප්‍රත්‍යක්ෂයකි. විශ්වාසය හා බැඳි වත් පිළිවෙත් (සීලබ්බත) විශුද්ධිය පිණිස මුල් නො වන බව සත්‍යකි. නමුත් එය වැරදි ප්‍රත්‍යක්ෂයක් වන්නේ කෙසේ ද? යන්න ගැටලුවකි. වැරදි ප්‍රත්‍යක්ෂය (=සාවද්‍ය ඉන්ද්‍රීය සංජානනය), දෝෂ සහගත ඥානය හෙවත් දැනුම (Wrong perception, error knowledge) යන්න මෙම ලේඛනය තුළ දී සාකච්ඡාවට බඳුන් වන ප්‍රධාන අංශයකි. මෙහි දී පැනෙන මූලික දාර්ශනික ගැටලුවක් වන්නේ වැරදි ප්‍රත්‍යක්ෂයක්, දෝෂ සහගත ඥානයක් හෙවත් දැනුමක් තිබිය හැකි ද? යන්න යි. කෙසේ නමුත් ඉහත දැක්වූ පරිදි වැරදි ප්‍රත්‍යක්ෂයක් යනුවෙන් අදහස් කරන ලද්ද සන්දර්භානුකූල ව දැක්විය හැක්කේ ප්‍රත්‍යක්ෂයේ විපරීතකරණයක් යනුවෙනි.
අල්ලාගැනීම
පරාමාස (පරි+ආ+මස+අ) යනු ස්පර්ශ කිරීම, අල්ලාගැනීම යන්න යි. ඒ අනුව දිට්ඨි පරාමාස යනු දෘෂ්ටි අල්ලාගැනීම, දෘෂ්ටීන්හි එල්බ සිටීම යන්න යි. සක්කාය දෘෂ්ටිය හා දෘෂ්ටි පරාමාස යනුවෙන් අන්තග්ගහ දෘෂ්ටි දෙකක් හඳුන්වා දෙන අතර දෘෂ්ටි පරාමාස යනුවෙන් කිසියම් දෘෂ්ටි විශේෂයක් හැඳින්වීම සඳහා යෙදෙන පර්යායක් ලෙස ගැනීම දෝෂ සහගත බව පෙනේ.
සාහිත්‍යයෙහි කිසියම් ඍණාත්මක ආගමික, දාර්ශනික න්‍යායක් හඳුන්වනු සඳහා ද, ධම්ම - විනය යන්න හෝ එබඳු වූ ඕනෑ ම ආගමික ප්‍රතිපදාවක් පෙන්නුම් කරනු සඳහා ද යෙදේ. විපල්ලාස අතුරෙන් දිට්ඨිය ද විපල්ලාසයකි. “අනිත්‍ය නිත්‍ය ය” ආදී වශයෙන් පවත්නා හැඟීම හෙවත් දෘෂ්ටිය විපර්යාස වීම එහි අරුත යි. යම් ආකාරයක දිට්ඨි ප්‍රතිලාභයක් සේවනය කරන පුද්ගලයා අකුසල ධර්මයෙන් පිරිහෙත් ද කුසල ධර්මයෙන් වැඩෙත් ද එබදු වූ දෘෂ්ටි ප්‍රතිලාභ සේවනය කළ යුතු බව බෞද්ධ ආකල්පය යි. ඒ අනුව යම් දිට්ඨි ප්‍රතිලාභයක් සේවනය කරන පුද්ගලයාගේ කුසල ධර්මයෝ පිරිහෙත් ද අකුසල ධර්මයෝ වැඩෙත් ද එබඳු වූ දෘෂ්ටි ප්‍රතිලාභ සේවනය නො කළ යුතු ය. මිථ්‍යාදෘෂ්ටිය අකුසලයකි. සම්‍යග්දෘෂ්ටිය කුසලයකි. අකුසලය ප්‍රහීණ කළ යුත්තකි. එමෙන් ම සේවනය නො කළ යුත්තකි. කුසලය වැඩිය යුත්තකි. එමෙන් ම සේවනය කළ යුත්තකි.
අකුසලං පජහථ කුසලං භාවේථ
(අංගුත්තර නිකාය 1, දුක නිපාතය, 1960, එම, පි. 114.)
බෞද්ධ විපර්යාස සංකල්පය පිළිබඳ විවරණයක් කරන එඩ්වඩ් කොන්සේ ආනුභවික සිද්ධි කාරණාවලට සම්බන්ධ ව සලකන විට විපර්යාස දෘෂ්ටි ආනුභවික මිථ්‍යා පද්ධතියක් ලෙස ගැනෙන අතර අනාවස්ථිකය හා සම්බන්ධව සලකන විට ඒවා පාරභෞතික භ්‍රමයන්ගෙන් ඇති වන බව පෙනෙන බව පවසයි.
සමස්තයක් ලෙස මායාව, විපරීතතා හා මෝහය ආදි පුද්ගලයා භ්‍රාන්තියට පත් කරවන සාධක බුදුසමය තුළ මූලික වශයෙන් මායා, විපල්ලාස, පපඤ්ච, අවිද්‍යා, දිට්ඨි හා මෝහ යනාදි යෙදුම්වලින් ද අවශේෂ වශයෙන් තණ්හා, මාන, ඕඝ, ආසව, අනුසය, සංයෝජන ආදියෙනුත් විවරණය කෙරෙන බව පෙනේ. බුදුසමය තුළ අවිද්‍යාව හෝ මෝහ නිසා පුද්ගල සන්තානයෙහි ඇති කරගනු ලබන මායාත්මක නිගමන දිට්ඨි, විපල්ලාස ආදි නම්වලින් හැඳින්වේ.