යාපනයේ මිනිස්සු නිහඬව අනුමත කළ ආවා මැරයාගේ මරණය | සිළුමිණ

යාපනයේ මිනිස්සු නිහඬව අනුමත කළ ආවා මැරයාගේ මරණය

ඇවිත් තිබෙන්නෙ විරුද්ධ කල්ලියක සාමාජිකයෙකුට පහර දෙන්න

වෙඩි තබා ඇත්තෙ පොලිසියට කඩුවෙන් කොටන්න යද්දි

යාපනයේ තරුණයන්ගෙන් සැලකිය යුතු පිරිසක් මැර කල්ලිවල

යාපනයේ අළු යට සැඟවී තිබූ ගිනි පුපුරු යළිත් ඇවිළෙන්නට පටන්ගෙන තිබේ. පොලීසිය ''ආවා කල්ලියේ'' සාමාජිකයෙකුට වෙඩිතබා ඝාතනය කිරීමත් සමඟම ඒ කල්ලිය පිළිබඳ අලුත්ම තොරතුරු දැන් එළියට එමින් පවතී.

යාපනයේ මනිපායි ඉනුවිල් ප්‍රදේශයේදී ආවා කල්ලිය විසින් ගජේන්ද්‍රන් හෙවත් ගජා යනුවෙන් හඳුන්වන ලද යාපනයේ චාවාකච්චේරී ප්‍රදේශයේ පදිංචි විසි දෙහැවිරිදි සෙල්වරත්නම් කවිගජන් නැමැත්තා පොලීසියෙන් වෙඩි කන ලද්දේ එම කල්ලියට ප්‍රතිවිරුද්ධ කල්ලියක් වන ''ධනුරොක්'' කල්ලියේ ප්‍රබල සාමාජිකයෙකුගේ නිවසකට ප්‍රහාරයක් එල්ල කිරීමට යමින් සිටියදීය.

බියෙන් සිටින්නන් නිතරම විපරමෙන් සිටින්නන් නිසා ''ධනුරොක් '' කල්ලියට ආවා කල්ලියේ පිරිසක් පැමිණන බවට වූ ඔත්තුව කල් තියාම දැන ගන්නට ලැබිණි. ඔවුන් වහාම කළේ ඒ පිළිබඳ යාපනයේ මනිපායි පොලීසියට තොරතුරු වාර්තා කිරීමය. පොලීසිය වහාම ක්ෂණික මාර්ග බාධකයක් යොදා යාපනය ඉනුවිල් මාර්ගයේ ගමන් කරන වාහන-මඟීන් පරීක්ෂාවට ලක් කරන්නට වූයේය.

මුළු යාපනයේම බලය ඇත්තේ තමන් අතේ යැයි සිතමින් කඩු රැගෙන ගොස් කවුරුන් හෝ කපා දමන ආවා කල්ලියේ පිරිස ඒ බව නොදැන කෙළින්ම ගමන් කළේ ධනුරොක් කල්ලියේ තම ප්‍රතිවාදියාගේ නිවසට ප්‍රහාරයක් එල්ල කිරීමටය.

අතරමඟදී පොලීසිය ඔවුන් පරීක්ෂා කිරීමට පටන් ගැනීමෙන් අන්දුන් කුන්දුන් වූ ආවා සාමාජිකයන් අතර සිටි එක් අයෙකු සිය කඩුවෙන් පොලිස් නිලධාරියාට කොටා පලා යන්නට වූයේය.

කඩු පහර නිශ්චිතවම පොලිස් නිලධාරියාට සැරෙන් එල්ල නොවූයේ ය. නමුත් කඩු ප්‍රහාරය එල්ල කොට පලා යෑමට සූදානම් වූ ආවා කල්ලියේ සාමාජිකයාට පොලිස් නිලධාරියෙකු තැබූ වෙඩිල්ලේ ඉලක්කය වැරදුණේ නැත. ඔහු මරු විකල්ලෙන් බිම ඇද වැටෙද්දී සෙසු සාමාජිකයෝ පලා ගියහ.

ඒ ප්‍රහාරය සඳහා ආවා සාමාජිකයන් නව දෙනෙකු යතුරු පැදි තුනකින් පැමිණි බවට සාක්කි පොලීසියට ලැබී තිබේ. ඔවුන් සතුව තිබූ කඩු තුනක් යතුරු පැදියක් හා කෙටේරියක් පොලීසියට සොයා ගැනීමට හැකි විය.

පොලිස් වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ආවා සාමාජිකයා යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගියේය.

මිය ගිය අයගේ මළ සිරුර මෘත ශරීරාගාරයට දැමීමට පෙර එය පරීක්ෂා කිරීමේදී ඔහුගේ සාක්කුවල තිබී කළු රෙදි හා මුහුණ වසා ගැනීමට භාවිත කරන ආවරණ සොයාගැනීමට හැකි විය.

මියගිය තරුණයා යාපනයේ චාවාකච්චේරී ප්‍රදේශයේ තරුණයෙකි. ඔහුගේ මව පියා ඇතුළු පවුලේ ඥාතින් සියලු දෙනාම කියා සිටියේ තම පුතා මිතුරකුගේ උපන්දින සාදයකට යමින් සිටි බවය. ඔහු එසේ යද්දී පොලීසිය ඔහුට වෙඩි තැබූ බවට මහත් ආන්දෝලනාත්මක කතාවක් ඒ ඥාතීහු දෙමළ ජනමාධ්‍ය ඔස්සේ ලෝකයට රැගෙන ගියහ.

එවැනි මතයක් යාපනය පුරා රැව් පිළිරැව් දුන් නමුත් දෙමළ ජාතික සන්ධානය හෝ යාපනයේ සෙසු ස්වේච්ඡා සංවිධාන එය දඩමීමා කරගෙන විරෝධතා පවත්වන්නට ගියේ නැත.

ආවා කල්ලියේ සාමාජිකයාට වෙඩි තබා මරා දැමීම සම්බන්ධයෙන් යාපනයේදී ශෝක වූවෙකු පවා සොයාගන්නට නොහැකි විය. යාපනයේ ජනතාවට ආවා කල්ලිය ඒ තරමටම අපෝ වී ඇත්තේ ඔවුන් කප්පම් ඉල්ලීමත් කඩු රැගෙන විත් අතට අසු වූවන් කපා කොටා තුවාල සිදු කිරීමත් නිසාය. ඔවුන් එසේ කරන්නේ ඔවුන්ගේ වීරත්වය පෙන්වීමටත් සෙසු පිරිස බිය වැද්දීමටත්ය.

ආවා සාමාජිකයන් හැටපස් දෙනෙකු පමණ ආරක්ෂක අංශවලට කොටු වී ඔවුන්ගෙන් දහතුන් දෙනෙකු හිරේ විලංගුවේ වැටී සිටියදීත් ආවා කල්ලිය යාපනයේ තවදුරටත් ක්‍රියාත්මක වෙයි. ඔවුන් එක් තැනක නිවසකට පෙට්‍රල් බෝම්බ ගසද්දී තවත් නිවසකට ගිනි තබා දේපළ විනාශ කරති. ඒ ප්‍රහාරය එල්ල කොට ආපසු යන අතරවාරයේදී අසුවුණු අයෙකුට කඩුවෙන් කොටා යන්නට යති. එය යාපනයේ ක්‍රියාත්මක ආවා කල්ලියේ රංගන භූමිකාවය.

ආවා කල්ලිය මේ රංගනය ඉදිරිපත් කරන්නේ කප්පම් ලබාගැනීම සඳහාය. ස්විට්සර්ලන්තයේ දැනට සිටින තරුණයෙකුගේ නායකත්වයෙන් ආවා කල්ලිය බිහි වූයේම කප්පම් ලබාගැනීමේ අරමුණෙනි.

අතේ මිටේ කීයක් හෝ තිබෙන යාපනයේ සෑම අයෙකුගෙන්ම ආවා කල්ලිය කප්පම් ලබාගෙන තිබේ. කඩු පහරට ඇති බිය නිසාත් තමන්ගේ නිවසට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරවාගැනීමට හෝ ගිනි තබාගැනීමට ඇති අකැමැත්ත නිසාත් යාපනයේ වැසියෝ ඔවුන්ට කීයක් හෝ දී ඇඟ බේරාගැනීමට පුරුදු වූහ. ඒ සෙල්ලමෙන් ඉතා විශාල මුදලක් ඔවුන්ට උපයාගැනීමට හැකි වූ නිසා ඔවුන් දිගින් දිගටම ඒ ක්‍රියාව කරගෙන එන්නට විය.

ආවා කල්ලියේ ආදායම දිනෙන් දින ඉහළ යද්දී සමහර සාමාජිකයෝ වෙන් වෙන් වශයෙන් බිඳී ගොස් ආවා කල්ලිය විසින් කරගෙන ගිය දේම කරගෙන ගියහ. ''ධනුරොක්'' යනුද ආවා කල්ලියෙන් බිඳී ගිය කණ්ඩායමකි.

ඒ ආකාරයට බිඳී ගිය අතුරු කණ්ඩායම් හයක් පමණ යාපනයේ ක්‍රියාත්මක වේ. නමුත් තවමත් යාපනයේ විශාල බලයක් ඇත්තේ ආවා කල්ලියටය.

එසේ වීමට හේතුවa ඔවුන්ට විශාල සාමාජිකයන් පිරිසක් සිටීමත් කප්පම් ලබාගැනීමෙන් හරි හම්බ කරගත් මුදල් විශාල ප්‍රමාණයක් තිබීමත් නිසාය.

වෙඩි වැදුණු පුද්ගලයා සමඟ පැමිණි බවට සැක කෙරෙන ආවා කල්ලියේ ප්‍රධාන පෙළේ තුන් දෙනෙකු කොටු කරගැනීමට පොලිසියට හැකි විණි. ඒ සමඟම ආවා කල්ලියේ සාමාජිකයන් බවට සැක කෙරෙ විසි පහකට වැඩි පිරිසක් ඉතා පහසුවෙන් යාපනයේ පොලීසි කීපයකින් අත්අඩංගුවට ගෙන තිබේ.

එක් සිද්ධියක් වන විට එම කල්ලියට සම්බන්ධ විසි පහක් පමණ අත්අඩංගුවට ගැනීමට හැකි වන්නේ නම් කොපමණ විශාල සාමාජිකයන් පිරිසක් ඔවුන්ට සිටින්නේද යන්න මනාව පැහැදිලි වේ.

ආවා කල්ලියෙන් බිඳී ගොස් විවිධ කල්ලි සාදාගත් පිරිසට ද සැලකිය යුතු සාමාජික පිරිසක් සිටිති. ඒ අනුව බලන විට යාපනයේ සිටින තරුණ පිරිසෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් කුමන හෝ ප්‍රචණ්ඩකාරී කණ්ඩායමක අතකොලු වී යම් යම් ප්‍රචණ්ඩ ක්‍රියාවලට හවුල් වී සිටිති. එය විශේෂ අවධානය යොමු කළ යුතු තත්වයකි.

යාපනයේ එම කල්ලි බිහි වූයේ යුද්ධයෙන් පසුවය. දැනට වසර හතරක පමණ කාලයක් ක්‍රියාත්මක වන මේ කල්ලි මර්දනය කිරීමට ගත් කාලය වැඩිය. එහි වේදනාකාරී පල විඳින්නේ යාපනයේ අසරණ සිවිල් වැසියෝය.

වැසියන් කොපමණ බියට පත් වී සිටින්නේ දැයි කිවහොත් යාපනයේදී ආවා සාමාජිකයාට වෙඩි තැබීමෙන් පසුව ඒ පිළිබඳ කිසිම අදහසක් ජනමාධ්‍යයට කීමට යාපනයේ කිසිම අයෙකු ඉදිරිපත් වූයේ නැත.

කොටි සංවිධානය ක්‍රියාත්මක වූ කාලයේදී ඔවුන්ට විරුද්ධව යමක් ප්‍රකාශ කිරීමට තරම් හයියක් හිතක තිබූ වැසියෝ යාපනයේ සිටියහ. නමුත් නාඹර තරුණයන් පිරිසක් කඩු කිණිසි කෙටේරී රැගෙන කරන අපරාධ විවේචනය කිරීමට කිසිවෙක් ඉදිරිපත් නොවෙයි. යාපනයේ වැසියන්ව එතරම් බිය කරගෙන සිටීමට තරම් මොවුන්ට හැකියාවක් ලැබී ඇත්තේ කෙසේද යන කාරණය ඉතා පුදුම සහගතය.

ඊළඟ කාරණය වන්නේ ආවා කල්ලිය ඔවුන්ට එරෙහිව යන සියලු දෙනාගෙන් පළිගන්නේ මන්ද යන කාරණයයි. එමෙන්ම ආවා කල්ලියට ප්‍රතිවිරුද්ධ සෙසු කල්ලිද සිදු කරන්නේ ඒ දේමය. ඒ සියල්ලම එකතු වී අවසානයේදී යාපනයේ ජනතාවට මරබිය කැන්දාගෙන ඇවිත් තිබේ.

යාපනයේ සාමාන්‍ය ජනතාව බිය කිරීමට මේ තරුණ කල්ලි කීපයට ඇති අවශ්‍යතාව කුමක්ද යන්න තවත් ප්‍රශ්නයකි.

ආරක්ෂක අංශ පවසන්නේ ඔවුන් කිසියම් රහසක් සඟවාගැනීමට උත්සාහ දැරීම නිසා ප්‍රතිවිරුද්ධ කල්ලි මෙල්ල කිරීමටත් ජනතාව බිය වැද්දීමටත් පටන්ගෙන ඇති බවය.

යාපනයේ මේ කල්ලි ක්‍රියාත්මක වී වසර හතරක් පමණ ඉකුත් වී ඇතත් ඔවුනොවුන් විසින් සඟවා ගන්නට යන රහස මෙතෙක් හෙළි වී නැත. එය තවත් බරපතළ ප්‍රශ්නයකි. මේ කල්ලි ක්‍රියාත්මක වන්නේ කප්පම් ලබාගැනීමේ අරමුණින් බව සියලුම දෙනා දන්නා කාරණයකි. එසේ නම් ඔවුන් මේ සඟවන්නට උත්සහ කරන්නේ එම කාරණය නොවන බව ඉතාම පැහැදිලිය.

මෙතරම් බුද්ධිමත් පිරිසක් සිටින රටක සහ ඉතා ප්‍රබල බුද්ධි අංශ නිලධාරීන් රැසක් සමඟ විශාල ජාලයක් ක්‍රියාත්මක වන රටක මේ කිරිකජු කොලු රැළක් නටන නාඩගම කුමක්දැයි නිවැරදිව සොයා ගැනීමට නොහැකි වීම පිළිබඳ අප ලැජ්ජා විය යුතුය.

Comments