
ජයසිරි මුණසිංහ සහ අමිල ප්‍රභාත් වනසිංහ අනුරාධපුර සිට
පාසල් අධ්‍යාපනය ලබන දූ දරුවන්ගේ නිල ඇඳුමේ ගෑවුණු තද පැල්ලම් යැවීමේ නිෂ්පාදනයේ සිට ඈත ගැඹුරු මුහුදේ ගමන් ගන්නා සුවිශාල නෞකාවේ බඳ ආරක්ෂා කිරීමට යොදා ගන්නා ආරක්ෂිත ආෂේපනයේ දක්වා වූ නිපැයුම් පිළිබඳ තොරතුරු, දැනුම හා අවබෝධය ලබාගත හැකි එක් ජාතික ප්‍රදර්ශනයක් පැවැත්විණි.
එපමණක් නොව, ගමේ ගෙවත්තේ වගා කරන කෘෂි නිෂ්පාදන ලෝකයේ ඉහළම ගැනුම්කාර වෙළෙඳපොළ වෙත ප්‍රවිෂ්ට කිරීමට මඟ කියා දෙන, අපේ රෙට් දේශීය සාම්ප්‍රදායික අත්කම්. මැහුම් ගෙතුම් ලෝකයේ රාජරාජ මහාමත්‍යාදීන් සහ ඔවුන්ගේ බිරින්දෑවරුන් වත හා ගත සරන පලඳනා බවට පත් කිරීමට මඟ කියාදෙන ප්‍රදර්ශනයක් පැවැත්විණි.
මේ ප්‍රදර්ශනය වෙන කිසිවකුත් නොව ශ්‍රී ලංකාව ව්‍යවසායකත්ව පාරාදීසයක් බවට පත් කිරීමේ දැක්ම සහිතව ක්‍රියාත්මක වූ අනුරපුරයේ පසුගිය දිනවල පැවැත්වූ දෙවැනි එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනයයි.
ඉකුත් 24 වැනි දා උදෑසන 10.00 ට මුදල් ඇමැති මංගල සමරවීර මහතා ප්‍රධාන සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් අනුරාධපුරය වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණයේදී සංකේතාත්මකව ඇරඹි මේ ප්‍රදර්ශනය, එදිනම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ඇරඹිණි. ප්‍රදර්ශනය එදින සිට 25, 26 හා 27 යන තෙදින පුරා පැවැත්වී නිමාවට පත්විණි.
ශ්‍රී ලංකාව වසර 2015 ජනවාරි මස 08 වැනිදා ආරම්භ කළ නව දේශපාලන, සමාජ, ආර්ථික සංවර්ධනයේ ගමන වේගවත් කිරීමට රජය ප්‍රධාන වැඩපිළිවෙළ රාශියක් හඳුන්වා දෙන ලදි. ඒ අනුව තරගකාරී සමාජ ආර්ථික වෙළෙඳපොළ ක්‍රමයක් ගොඩනැඟීමට මුල පිරුණි. රටේ නැති වී ගොස් තිබූ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, සංහිඳියාව හා මෑත ගොඩනංවා ශ්‍රී ලංකාව ආසියාවේ ‘දිදුලන තාරකාව’ බවට පත් කිරීමට රජය මූලිකව වැඩපිළිවෙළ දෙකක් ජාතියට ඉදිරිපත් කෙළේය.
ඒ වසර 2025 වන විට නව ව්‍යවසායකයින් දසලක්ෂයක් බිහි කිරීම ජය ගැනීමට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහන ණය යෝජනා ක්‍රමය සහ ගම්පෙරළිය ග්‍රාමීය යටිතල පහසුකම් නැංවීමේ කඩිනම් වැඩපිළිවෙළ විය.
ඈත අතීතයේ ශ්‍රී ලංකාවේ සෞභාග්‍යයේ පුරවරය වූ අනුරාධපුරයේ නැවත දියුණුවේ පුරෝගාමී පුරවරය බවට පත් කිරීමේ ඉලක්කය ජය ගැන්මට මෙවර ප්‍රදර්ශනය මෙහි පැවැත්විණි. “උරුමය සමගියයි” තේමාව යටතේ ආරම්භක දින ප්‍රදර්ශනය විවෘත කිරීමේ උත්සවය පැවැත්විණි.
ප්‍රදර්ශනය ප්‍රධාන කලාප 07ක් යටතේ රාජ්‍ය හා පෞද්ගලික, අර්ධ රාජ්‍ය ආයතන හා ව්‍යවසායක පිරිස් ප්‍රදර්ශන කුටි 500කට අධික ප්‍රමාණයක් මෙහි සංවිධානය කොට තිබුණි.
ප්‍රදර්ශනයේ කැපී පෙනෙන කලාපයක් වූයේ එකක්, දෙකක් යැයි කිව නොහැකි තරමටම සියල්ල සංවිධානය කොට තිබුණි.
ප්‍රදර්ශනයට පිවිසි අයෙකු මුලින්ම ගමන් ගන්නා කලාපය උරුමය කලාපයයි. දෙවැන්න ව්‍යවසායකත්ව කලාපයයි. මෙහි මෙරට බැංකු හා මුල්‍ය ආයතන ගණනාවක් එන්ටර්ප්‍රයිස් ණය යෝජනා ක්‍රම 17 තුළින් මුල්‍යාධාර ලබාදීම, ඒ සඳහා අවශ්‍ය මූලික ලියකියවිලි සකස් කිරීමට උපදෙස් ලබාදීම ගැටලු නිරාකරණය කිරීම සිදු කරනු ලැබීය.
අනුරාධපුරය, පොළොන්නරුව දිස්ත්‍රික්කවල දිරිමත් කෘෂිකාර්මික ජනතාවගේ ජීවනෝපාය වඩාත් ඉහළ ආදායම් ලැබෙන වාණිජ කෘෂිකර්මාන්තයක් දක්වා ගොඩනඟා ගැනීමට අවශ්‍ය දැනුම, අවබෝධය මෙයින් තමන්ට ලැබුණු බව රජරට ජනතාව අප සමඟ ප්‍රකාශ කළහ.
නව නිපැයුම්, නව ව්‍යවසායකත්වයන්, පහසුවෙන් නිෂ්පාදනයක්, භාණ්ඩයක් ලෙස පත් කිරීමට මඟ, එමෙන්ම නව වෙළෙඳපොළ, සිත් දිනා ගන්නා ආකර්ෂණීය ඇසුරුම් ක්‍රම, අඩුවියදම් නිෂ්පාදන ක්‍රම පිළිබඳව ජනතාවට දැනුම ලැබුණු බවද ඔවුහු අපට කීහ.
පාසල් දූ දරුවන්ට පතපොතේ දැනුමට වඩා ඉහළ දැනුමක්, අත්දැකීම් ගොන්නක් මේ ප්‍රදර්ශනෙයන් ලැබුණු බව ඔවුහු සඳහන් කළහ. බාල, තරුණ මහලු සියලු වයස් කාණ්ඩවල ජනතාවට මේ ප්‍රදර්ශනයේ ලැබුණු අවස්ථා, වාසි අතිමහත්ය. අනුරාධපුරයේ ඈත ගම්නියම් ගම්වල ජනතාව ඉතාම සතුටින්, උනන්දුවෙන් මේ ප්‍රදර්ශනය නැරඹූහ. තමන්ට අවශ්‍ය දැනුම ලබාගත් අයුරු අපට දැක ගත හැකි විය.
මේ ප්‍රදර්ශන භූමියේ ස්ථාපිත ‘ජනමාධ්‍ය කලාපය” සැමගේ අවධානය දිනා ගත් කලාපයක් විය. ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් මෙය සංවිධානය කොට තිබුණි. මෙරට මුල්පෙළේ විද්‍යුත්, මුද්‍රිත මාධ්‍ය ආයතන රාශියක් මෙහි ප්‍රදර්ශන කුටි සංවිධානය කර තිබුණි. ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක්හවුස් ආයතනය) දිරිමත් මිනිසුන්ට නව ව්‍යවසායකත්වයත් ගොඩනඟා දීමට මඟා කියාදීමට විවිධ ක්‍රියාකාරකම් සංවිධානය කොට තිබුණි. එය ප්‍රදර්ශනය නැරඹීමට ආ දස දහස් සංඛ්‍යාත ජනතාවගේ අනිවාර්ය නැරඹුම් කුටියක් බවට පත්වී තිබුණි.
මෙවර ප්‍රදර්ශනය තුළින් යළි අතීත ශ්‍රී විභූතිය රජරට රාජධානියට කැඳවාලීමට අඩිතාලම දැමිමක් විය. එය සාර්ථක කර ගැනීමට අමාත්‍යවරුන් වන පී. හැරිසන්, චන්ද්‍රානී බණ්ඩාරනායක, කබීර් හෂීම්, මලික් සමරවික්‍රම, රාජ්‍ය ඇමැතිවරුන් වන ඉරාන් වික්‍රමරත්න, රුවන් විජේවර්ධන, අනුරාධපුර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, උතුරු මැද පළාත් සභාවේ හිටපු මැති ඇමැතිවරු, ප්‍රාදේශීය දේශපාලනික නායකත්වය පුළුල් වී තිබුණි.
මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ලේකම් ඒ.ආර්. දේශප්‍රිය, නියෝජ්‍ය ලේකම් ප්‍රියන්ත අතපන්තු, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් යු.බී. වන්නිනායක යන මහත්වරු ප්‍රධාන පිරිසක් ද මේ ප්‍රදර්ශනය සාර්ථක කිරීමට ඇප කැප වී සිටියහ.