
• නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අනුදැනුමෙන් හොර සාක්ෂි හදපු කුරුණෑගල පොලිසිය අතේ මාට්ටු...
• ප්‍රසව හා නාරිවේදයේ විශේෂ පරීක්ෂණයක් ගැන දත්දොස්තර දුන්නු විශේෂඥ සාක්ෂියක් අතුරුදන් කරලා...
• මහේස්ත්‍රාත්වරයාගේ පක්ෂග්‍රාහී හැසිරීම ගැන අධිකරණ සේවා කොමිසමට පැමිණිලි..
• පොලිස් කොමිසමට වැඩබලන පොලිස්පතිවරයාගෙන් සැර ලියවිල්ලක්...
කුරුණෑගල රෝහලේ සේවයේ නිරතව සිටි ප්‍රසව හා නාරි වෛද්‍ය ෂාෆි සහබ්දීන්ට අධිකරණයෙන් ඇප ලැබුණත් එල්ලවී ඇති වඳ සැත්කම් චෝදනාවෙන් තවමත් ඔහු නිවැරදි කරුවෙක් බවට පත්ව නැත. ඒ අදටත් ඒ ගැන විද්‍යාත්මක විමර්ශනයක් සිදුකරමින් සැබෑ තත්වය හෙළිකරගෙන නොමැති බැවිණි. එසේ කිරීමට සැලසූ අවස්ථාව අධිකරණය මගින් වළක්වා ඇති බැවිනි.
වෛද්‍ය ෂාෆිට මාස දෙකකට පසු ඉකුත් 25 වෙනිදා කුරුණෑගල අධිකරණයෙන් ඇප ලැබෙන්නේ ඒ බව නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටි ජනරාල් තුසිත මුදලිගේ කළ කරුණු දැක්වීම් හමුවේය. නියෝජ්‍ය සොලිසිටි ජනරාල්වරයා අධිකරණයට පෙන්වා දෙන්නේ ත්‍රස්තවාදීන්ගෙන් මුදල් ලබාගෙන එම ත්‍රස්තවාදී කටයුතු ප්‍රවර්ධනයට කටයුතු කළ බවට ෂාෆිට එරෙහිව චෝදනා සනාථ කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැතිබවය. ඒ අනුව ෂාෆිට ඇප නොදී තවත් කාලයක් බන්ධනාගාරගතකර තබන්නට අධිකරණයටද හැකියාවක් නොවීය.
අධිකරණයෙන් ෂාෆිට ඇප නියම කරන්නේ ඇප කොන්දේසි කිහිපයක්ම ඉදිරිපත් කරමිනි.
පළමු ඇප කොන්දේසිය වන්නේ රුපියල් ලක්ෂ දෙකහමාරක මුදල් ඇපයකි. දෙවැනි ඇප කොන්දේසිය වන්නේ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශාරීර ඇප හතරකි. තුන්වැනි ඇප කොන්දේසිය සෑම ඉරිදාවකම පෙරවරුවේ 9.00 ත් දහවල් 12.00 අතර කාලය තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමය.
මේ සියළු ඇප කොන්දේසිවලට වෛද්‍ය ෂාෆි එකඟ වූ බැවින් ඔහුව එදා කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් විසින් නිදහස් කරන්නේ රාත්‍රී කාලයේදීය. කොළඹින් ඇතුළු විවිධ පැතිවලින් කුරුණෑගලට රැස්වූ ෂාෆිට එරෙහි නිහඬ විරෝධතාකරුවන්ද ඒ වන විටත් අධිකරණය ඉදිරිපිට රැඳී සිටියේ ෂාෆි සම්බන්ධයෙන් අධිකරණය එදින ගන්නා අවසන් තීන්දුව දැන ගන්නටය. ෂාෆිට ඇප ලබාදුන් බව දැනගත් ඔවුන් කැළඹීමකට පත්වන්නේ සිය බලා පෙරොත්තු සියල්ලක්ම සුන්වූ නිසා වන්නට පුළුවන. අධිකරණයේ තීන්දුව ප්‍රකාශයට පත්වීමෙන් පසු ඒ අය මෙන්ම මාධ්‍යවේදීන්ද බොහෝ වේලාවක් තිස්සේ අධිකරණය ඉදිරිපිට රැඳී සිටියේ වෙද්‍ය ෂාෆි එළියට එන තුරුය. එහෙත් ඒ සියලුදෙනාගේම ඇස් වසා ෂාෆි පස්සා දොරෙන්ම පිටව ගියේ පොලිසියේ ආරක්ෂාවක්ද සහිතවය.
ෂාෆිට එසේ ඇප ලැබෙන විට ෂාෆිට එරෙහි කණ්ඩායම නියෝජනය කරන නීතිඥ ඉන්ද්‍රසිරි සේනාරත්න පෙන්වා දෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන ගැන සෑහීමකට පත්විය නොහැකි බවය. ෂාෆිට අයත් රජයේ බැංකුවක ඇති ගිණුමක ඉකුත් මැයි 24 වෙනිදා වන විට රුපියල් හතලිස් හතර කෝටි විසි ලක්ෂ පන්සිය හැට අටකයි ශත එකොලහක මුදලක් ඇති බවද පවසමින් නීතීඥ ඉන්ද්‍රතිස්ස පෙන්වා දෙන්නේ ඒ සා විශාල මුදලක් ඔහුට ලැබුණු අයුරු ප්‍රශ්නගත බවය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කෙරෙහි එසේ සෑහීමට පත්නොවූ නීතීඥ ඉන්ද්‍රසිරි සේනාරත්න ඒ ගැන ජාතික පොලිස් කොමිසමට පැමිණිල්ලක් කරන්නේ වෛද්‍ය ෂාෆි සම්බන්දයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පක්ෂග්‍රාහීව කටයුතු කරන බවට චෝදනාවක් එල්ලකරමිනි. ඒ සඳහා වෙනත් කණ්ඩායමකට එම විමර්ශන පවරන ලෙස ඔහු ඉල්ලීමක් කරයි. ඊට ජාතික පොලිස් කොමිසම විසින් දැක්වූ ප්‍රතිචාරය අපභ්‍රංශයක් විය. මෙම මාසයේ තුන්වැනි සතියේ ෂාෆි සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන සඳහා අවශ්‍ය අධිකරණමය කටයුත්තක් වෙනුවෙන් කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මුණ ගැසෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට එහිදී දැන ගන්නට ලැබෙන්නේ ෂාෆි සම්බන්ධයෙන් වූ විමර්ශනවලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉවත් කර පොලිස් විශේෂ විමර්ශන ඒකකය ප්‍රමුඛ මණ්ඩලයකට පවරා ඇති බවය. ඒ වන විටත් ඒ ගැන කිසිදු නියෝගයක් අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවට ලැබී නොතිබුණු අතර එසේ විමර්ශන වෙනත් කිසිදු පොලිස් අංශයකටද පවරා නොතිබුණි.
වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න අතට ෂාෆි සම්බන්ධයෙන් වූ ජාතික පොලිස් කොමිසමේ නිර්දේශයක් ලැබෙන්නේ මේ අතර තුරදීය. ඊට හැරෙන තැපෑලෙන්ම වැඩ බලන පොලිස්පතිවරයාගෙන් ජාතික පොලිස් කොමිසමට යැවෙන්නේ තරමක් සැර ලිපියකි. එනම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විධිමත් ආකාරයට පවත්වාගෙන යන ෂාෆි සම්බන්ධයෙන් විමර්ශන වෙනත් පාර්ශවයකට පැවරීමේ අවශ්‍යතාවක් නොමැති බවය. එසේම එවන් විමර්ශනයක් සඳහා පොලිස් විශේෂ විමර්ශන ඒකකයට බලයක් නොමැති බවද එම ලිපියේම පොලිස්පතිවරයා අවධාරණය කරන්නේ පොලිස් කොමිසම ඔවුන්ට නොමැති බලයක් පෙන්වීමට ගිය නිසා වන්නට පුළුවන.
කෙසේ වෙතත් දැන් ජාතික පොලිස් කොමිසම සඳහන් කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයක් පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පවරන ලෙස ජාතික පොලිස් කොමිසම විසින් දැනුම් දීමක් නොකල බවකි. එසේ පොලිසියේ විමර්ශන සඳහා බලපෑම් කිරීමට හැකියාවක් නොමැති බවද ජාතික පොලිස් කොමිසම පිළිගන්නා කරුණකි. එහි උසස් නිලධාරියෙක් සඳහන්කරනු ලැබුවේ කොමිසම තීරණය කරනු ලැබුවේ ෂාෆි සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන වලදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පක්ෂග්‍රාහීව ක්‍රියා කරන බවට ජාතික පොලිස් කොමිසමට පැමිණිල්ලක් ලැබී ඇති බැවින් එම පැමිණිල්ලෙහි සඳහන් කරුණු ගැන පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් විමර්ශනයක් පවත්වන ලෙස පමණක් බවය.
එම නිලධාරියා සඳහන් කරන ආකාරයට අනුව ජාතික පොලිස් කොමිසම එවන් තීරණයක් ගත්තද එම තීරණය වැඩ බලන පොලිස්පතිවරයා වෙත යොමුවී ඇත්තේ වෙනත් ආකාරයකටය. එසේ නොමැති නම් වැඩ බලන පොලිස්පතිවරයාගෙන් සැර ලිපියක් ජාතික පොලිස් කොමිසමට යෙමු නොවනු ඇත. එසේ නම් පෙනී යන්නේ යම් තැනක ලොකු වැරැද්දක් සිදුවී ඇති බවකි.
ෂාෆිගේ නඩු කටයුත්ත මෙහෙයන කුරුණැගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම්ට එරෙහිව අධිකරණ කොමිසමට පැමිණිලි දෙකක්ම යොමු වන්නේ මේ අතර තුරදීමය. ඒ එක් පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නේ තරුණ ජනමාධ්‍යෙව්දීන්ගේ සංගමය විසිනි. අනෙත් පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙනි.
මහේස්ත්‍රාත්වරයාට එරෙහිව අධිකරණ සේවා කොමිසමට පැමිණිලිකරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ මහේස්ත්‍රාත්වරයාගේ හැසිරීම බරපතල සැක මතුකරන බවය. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව චෝදනා කරන්නේ මහේස්ත්‍රාත්වරයා පක්ෂග්‍රාහී ලෙස කටයුතු කරන බවකි.
වෛද්‍ය ෂාෆිට එල්ලවී ඇති ප්‍රබලතම චෝදනාව වන්නේ සිසේරියන් සැත්කම් අතරතුර මව්වරුන් වඳභාවයට පත්කිරීමය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ ගැන පුළුල් විමර්ශනයක් පවත්වමින් ෂාෆිගේ සිසේරියන් සැත්කම්වලින් පසු දීර්ඝ කාලයක් තිස්සේ දරුවන් අහිමි වූ මව්වරුන් 147 දෙනෙක් හඳුනා ගනු ලැබීය. එම මව්වරුන් වඳ භාවයට පත්වූයේ ෂාෆිගේ සිසේරියන් සැත්කම්වලදීමදැයි පැහැදිලිවම දැන ගැනීමට ඉදිරි විමර්ශන සඳහා අත්‍යවශ්‍යම කරුණක් බවට පත්ව තිබුණි. ඒ සඳහා විශේෂඥ වෛද්‍ය මතය විමසීමේදී ප්‍රසව හා නාරි රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවට ලැබී තිබුණු උපදෙස වූයේ එම මවුවරු එස්.එච්.ජී. පරීක්ෂණයකට යොමුකරන ලෙසය. ඒ සම්බන්ධයෙන් කාසල් සහ ද සොයිසා යන කාන්තා රෝහල් දෙක පවා සූදානම් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ජුනි 27 වෙනිදා ඉල්ලා සිටින්නේ මව්වරුන් එකී පරීක්ෂණයට යොමු කිරීමට නියෝගයක් ලබාදෙන ලෙසය.
අගතියට පත් පාර්ශවයටත්, පැමිණිලි පාර්ශවයටත්, විත්තියේ පාර්ශවයටත් සම්බන්ධයක් නැති කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාරගෙන් එහිදී ඒ සම්බන්ධයෙන් විශේෂඥ සාක්ෂියක්ලබා ගන්නා මහේස්ත්‍රාත්වරයා එය පදනම් කරගනිමින් මව්වරු එම පරික්ෂණයට යොමු කිරීමට අවසරයක් නොදෙන්නේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිසේත්ම බලා පොරොත්තුනොවූ ලෙසිනි.
වෛද්‍ය සරත් වීරබණ්ඩාරගේ විශේෂඥ සාක්ෂියෙන් කියැවෙන්නේ මව්වරුන් එස්.එච්.ජී. පරීක්ෂණයට ලක්කලහොත් සංකූලතා ඇතිවේවි යැයි කකියාය. එසේම ඔහුගේ විශේෂඥ සාක්ෂියෙන් වැඩි දුරටත් කියැවෙන්නේ ඉන් පිළිකා වැනි රෝග ඇති වීමට ඉඩ ඇති බවකි. මෙවන් විශේෂඥ සාක්ෂියක් අධිකරණය හමුවේ එදා මේ ලෙස ලබාදෙන වෛද්‍ය සරත් වීරබණ්ඩාර ප්‍රසව හා නාරි විශේෂඥයෙක් නොව, දන්ත වෛද්‍යවරයෙකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එස්.එච්.ජී විමර්ශනයක් පවත්වන්නට අධිකරණයෙන් නියෝගයක් ඉල්ලා සිටින්නේද හිතු මතේට නොව, ඒ සම්බන්ධයෙන් විශේෂඥයන් වන ප්‍රසව හා නාරි රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ උපදෙස් ලබා ගනිමිනි. එසේ තිබියදී දන්ත වෛද්‍යවරයෙකුගේ සාක්ෂියකින් විධිමත් විමර්ශනයක් නතරකිරීම ගැනද මහේස්ත්‍රාත්වරයාට එරෙහිව අධිකණ සේවා කොමිසමට යොමුකල පැමිණිල්ලෙහි සඳහන් කරන්නට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අමතක නොකළේය.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි බේසේකර සඳහන් කරන ආකාරයට අනුව විනිසුරු සම්පත් හේවාවසම්ගේ බිරිය කුරුණෑගල රෝහලේම සේවයේ නිරතව සිටින නිර්වින්දන වෛද්‍යවරියකි. ඒ බවද විනිසුරුවරයාට එරෙහි පැමිණිල්ලෙහි සඳහන් කරන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණේ විශේෂයෙනි. ඒ වෛද්‍ය ෂාෆි සමග හිත් අමනාපයෙන් සිටින කුරුණෑගල රෝහලේ සේවයේ නිරත වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩලයේ අතලොස්ස අතර ඇයද සිටින බවට තොරතුරු ලැබී තිබු නිසාය.
මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම්ගේ නමින්ද අන්තර්ජාලයේ ෆේස් බුක් ගිණුමක් ක්‍රියාත්මකය. එහි විනිසුරුවරයාගේත්, බිරියගේත් ඡායාරූප ගොන්නකි. එම ගිණුමේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දොස් නැගූ පෝස්ට් ද තිබී ඇත. ඒ වෛද්‍ය ෂාෆි සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන මුල්කරගෙනය. ඒ බවද අධිකරණ සේවා කොමිසමට ඉදිරිපත් කළ පැමිණිල්ලෙහි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සටහන්කර ඇත්තේ මහේස්ත්‍රාත්වරයාගේ ක්‍රියාකලාපය සැකයට තුඩු දෙන කරුණක් ලෙස පෙන්වමිනි.
මේ සියල්ලකටම වඩා බරපතලම කාරණාවක් වන්නේ ජුනි 27 වෙනිදා අධිකරණයේ විභාග වූ නඩුවට අදාල වාර්තාවලින් කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂ සරත් වීරබණ්ඩාරගෙන් ලබාගත් විශේෂඥ සාක්ෂිය බව සඳහන් වූ සාක්ෂිය අතුරුදන්ව තිබීමය. ඒගැන අධිකරණ ලඝු ලේඛිකාවගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමසීමේදී ලැබෙන පිළිතුර වන්නේ මහේස්ත්‍රාත්වරයාගේ දැනුම්දීමකට අනුව එය ලිපි ගොනු වලින් ඉවත්කර ගත් බවකි. ඒ ගැනද අධිකරණ සේවා කොමිසමට පැමිණිලි කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරියෙක් සඳහන් කරනු ලැබුවේ නඩු ගොනුවෙන් අතුරුදන් වූ කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂකවරයාගේ සාක්ෂිය දැන් එම ගොනුවේ ඇති බවය. එහි පිටපතක් පවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව ඇති බවද ඔහු පෙන්වා දුන්නේය. දන්ත වෛද්‍යවරයෙක් වන කුරුණැගල රෝහල් අධ්‍යක්ෂ සරත් වීරබණ්ඩාරගේ විශේෂඥ සාක්ෂියේ ඇත්ත නැත්ත ගැනද විධිමත් ආකාරයකට සොයා බැලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අමතක නොකළේය. ඒ සඳහා කුරුණෑගල රෝහල ප්‍රමුඛ රෝහල් 12 ක් තුළ වර්ෂ 2014 සිට වර්ෂ 2019 දක්වා කාලය තුළ කරන ලද එස්.එච්.ජී. පරීක්ෂණ වාර්තා කැඳවනු ලැබීය. ඒ අතර මෙරට ප්‍රමුඛතම පුද්ගලික රෝහල් 04 ක් මෙන්ම ප්‍රධානතම කාන්තා රෝහල් දෙක වන කාසල් සහ සොයිසා රෝහල්ද විය. එම රෝහල් දොළහේ මේ කාල වකවානුවේදී එස්.එච්.ජී. පරීක්ෂණ සඳහා යොමුකර ඇති කාන්තාවන් ගණන 12000 කි. ඒ අයගෙන් දෙදෙනෙකුට ඇතිවූ හුස්ම ගැනීමේ අසාත්මික තාවක් හැරුණු කොට වෙන කිසිදු කාන්තාවකට කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂක දන්ත වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා සඳහන් කළ ආකාරයෙන් අතුරු ආබාධ හෝ පිළිකා අවදානමක් මෙතෙක් මතුවී නැත. මේ බව පවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දීමට පියවර ගෙන තිබුණේ සරත් වීරබණ්ඩාර මහතාගේ විශේෂඥ සාක්ෂිය බිඳ දමමිනි.
වෛද්‍ය ෂාෆි සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙන්නේ මෙවන් හැල හැප්පීම් මැදය. ඉදිරියේදී තවත් හැලහැප්පීම් සිදු නොවේයැයි සහතිකයක් නැත. ඒ ෂාෆිව මැයි 24 වෙනිදා කුරුණැගල පොලිසිය අත්අඩංගුවට ගන්නා විට ඔහුට එරෙහිව ත්‍රස්තවාදී හෝ මව්වරු වඳභාවයට පත් කිරීම් ගැන කිසිදු පැමිණිල්ලක් ලියැවී තිබී නැති බැවිනි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ විමර්ශනයේදී හෙළිවී ඇත්තේ මැයි 24 වෙනිදා රෑ වෛද්‍ය ෂාෆිව හදිසියේම අත්අඩංගුවට ගන්නා විට ඔහුට එරෙහිව පොලිස් පොතේ ලියැවී තිබී ඇත්තේ එක් පැමිණිල්ලක් පමණක් බවය. ඒ සැත්කමකදී වෛද්‍ය ෂාෆි අතින් මුත්‍රා නාලය කැපී ඇති බවට කාන්තාවක් විසින් කළ පැමිණිල්ලකි. එම පැමිණිල්ල පවා කුරුණෑගල පොලිසියට ලැබී ඇත්තේ එදින පෙරවරු 9.00 ට පමණය.
එම පැමිණිල්ල ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ එම කාන්තාවගේ මුත්‍රා නාලයේ කැපීමක් සිදුව ඇත්තේ වෛද්‍ය ෂාෆි අතින් නොව, විශේෂඥ වෛද්‍යවරයා අතින් බවය. විශේෂඥ වෛද්‍යවරයා ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙමින් එම කැපීම සිදුවූ අයුරුද පැහැදිලිකර දී තිබීම විශේෂත්වයකි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එක් පැමිණිල්ලක් ගැන පමණක් එසේ සඳහන් කරන විට කුරුණෑගල පොලිසිය සඳහන් කරන්නේ පැමිණිලි 10 ෂාෆිව අත්අඩංගුවට ගන්නා විට ඔහුට එරෙහිව ලැබී තිබුණු බවකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැත්තෙන් සඳහන් කරන්නේ එම පැමිණිලි 10 න් මුත්‍රා නාලය කැපීමේ පැමිණිල්ල හැරුණු කොට සෙසු පැමිණිලි 09 ම කුරුණෑගල පොලිසිය විසින් සටහන්කරගෙන ඇත්තේ ෂාෆි ඇත්අඩංගුවට ගැනීමෙන් දිනකට හෝ දින කිහිපයකට පසුව බවය. එහෙත් එම පැමිණිලි 24 වෙනිදා ලද ඒවා බවට කූඨ ලේඛණ පොලිසිය සකස්කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පෙන්වා දෙන්නේ එම ලේඛණ සකස්කිරීමට සම්බන්ධවූවන්ටත් ඉදිරියේදී වැඩ වරදින බවට ඉඟියක්ද කරමිනි.
එම පැමිණිලි වැඩි හරියක් පොලිසියට පැමිණ කළ බවට ව්‍යාජ සටහන් තබා ඇතත් සැබෑ ලෙසම සිදුව ඇත්තේ පැමිණිලි කරුවන් සොයා ගොස් ඒවා පොලිසියට ඇවැසි ආකාරයට සටහන්කර ගැනීමය. ඒ බව දුරකථන ජාල විමර්ශන මෙන්ම ආරක්ෂක කැමරා දර්ශන මගින් සාක්ෂි සහිතව මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තහවුරුකරගෙන ඇත. මේ පැමිණිලිකරුවන් රැසක් කුරුණෑගලින් පිට පදිංචි කරුවන්ය. ෂාෆි සමග හිත් අමනාපයෙන් කුරුණෑගල රෝහලින් ඉවත්ව ගොස් වෙනත් රෝහලක සේවයේ නිරත වෛද්‍යවරියකගේ බත්තරමුල්ලේ පිහිටි නිවසට මැයි 26 වෙනිදා ගොස් පැමිණිල්ල සටහන් කර ගන්නා පොලිස් ලොක්කෙක් එම පැමිණිල්ල ඇය විසින් කුරුණෑගල පොලිසියට පැමිණ 24 වෙනිදා රාත්‍රී 7.00 කළ බව ලියා තබා ඇති බව හෙළිවීමද විශේෂිතය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැත්තෙන් පෙන්වා දෙන්නේ ෂාෆි අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම පිටුපස සිටින්නේ කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා බවය. කුරුණෑගල පොලිසියේ අපරාධ අංශයට ෂාෆි සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්නට දැනුම් දෙමිනි. ඒ මැයි 06 වෙනිදාය.ෂාෆි ත්‍රස්තවාදියෙක් බවත්කාන්තාවන් වද භාවයට පත්කරන බවටත් තොරතුරුලැබී තිබුනේද නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාටය. අපරාධ විමර්ශන අංශයට පරීක්ෂණ පවත්වන්නැයි කියන්නේ ඒ ගැනය. වෛද්‍ය ෂාෆිව අත්අඩංගුවට ගැනීමට පවා අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ව මෙහෙයවන්නේද නියෝජ්‍ය පොලිස්පතිවරයාය. පොලිසිය තේරුම්ගත යුත්තේ හැම අවස්ථාවකම නීතිය තමන්ට ඕනෑ හැටියට නමා ගන්නට බැරි බවය.