සුද්දන් එක්ක කළ කුණු ජාවාරමේ සැඟවුණු ඇත්ත | සිළුමිණ

සුද්දන් එක්ක කළ කුණු ජාවාරමේ සැඟවුණු ඇත්ත

බාසල් හා රොටර්ඩෑම් සම්මුතිත් බ්‍රිතාන්‍යය උල්ලංඝනය කරලා - පරිසර සංවිධාන

වගකිව යුතු ආයතන තම වගකීම් හරියට ඉටු කර නැහැ - පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ

ජනපති උපදෙස් අනුව ජාතික පාරිසරික පනත යටතේ නීතිමය පියවර ගන්නවා - මධ්‍යම පරිසර අධිකාරිය

පාරට කුණු දැම්මොත් දහස් ගණන් දඩ ගහන අපේ රටට කිසිම අවසරයක් නැතිව සුද්දන්ගේ මිනිස් සිරුරු කොටස් ඇතුළු උපද්‍රවකාරි අපද්‍රව්‍ය අඩංගු යැයි කියන කුණු මෙට්‍රික් ‍ටොන් 5,000ක් මෙරටට ගෙනාවේ කෙසේද? අපේ රටේ පරිසර සංවිධාන හා පොදු ජනතාව දැන් මේ පිළිබඳව වගකිවයුත්තන්ගෙන් ප්‍රශ්න කරති.

මේ අයුරින් වස විස සහිත උපද්‍රවකාරි ගඳ ගසන රෝහල් අපද්‍රව්‍ය කුණු තොග අප රටට ‍ගෙනෙන තෙක් මධ්‍යම පරිසර අධිකාරිය, රේගු දෙපාර්තමේන්තුවේ වරාය අධිකාරිය වැනි ආයතන ඇස් කන් පියාගෙන සිටියේ කෙසේද යන්න පිළිබඳ දැන් පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පරිසර සංවිධාන හා ආයතන නඩු මගටද එළැඹ ඇත.

පසුගියදා කොළඹ වරායට එක්සත් ජනපදයෙන් කුණු කසළ කන්ටේනර් 11ක් ගෙන්වීමත් සමඟ කුණු කතාව ආරම්භ විය. ඊට පසු මධ්‍යම පරිසර අධිකාරියේ උපද්‍රවකාරි අපද්‍රව්‍ය පාලන අංශයේ අධ්‍යක්ෂ අජිත් වීරසුන්දර මහතා පැවසුවේ මෙවැනි තවත් කුණු කසළ කන්ටේනර් 130ක් කටුනායක ආයෝජන මණ්ඩල කලාපයේ ප්‍රතිඅපනයන කොටසේ ඇති බවයි. ඒ පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරිය පරික්ෂා කළ බවත් වරායේ හා කටුනායක තිබෙන උපද්‍රවකාරි අපද්‍රව්‍ය ප්‍රතිඅපනයනය කිරීමට කටයුතු කරන බවත් අජිත් විජේසුන්දර මහතා පවසයි. රේගු බලධාරිහු ද මේ පිළිබඳව කරුණු පැහැදිලි කරති. නමුත් ගදගහන වස විස ඇති කන්ටේනර් තවම එම ස්ථාවලම ඇත.

බාසල් (BASEL) හා රොටර්ඩෑම් සම්මුති අනුව රටකින් රටකට අපද්‍රව්‍ය ගෙනයෑම තහනම් නිසාත් බ්‍රිතාන්‍යයෙන් හා ඒ සඳහා අපද්‍රව්‍ය ආනයනය කරන අපේ රටේ අවසරය ලබාගත යුතුව තිබූ නිසාත් බ්‍රිතාන්‍යය විසින් අපේ රටට ඉහත අපද්‍රව්‍ය කන්ටේනර් එවීමේදි අදාළ සමාගම් මෙම සම්මුති උල්ලංඝනය කිරීමක් සිදුකර ඇතැයිද මෙරට පරිසර සංවිධාන පෙන්වා දෙයි.

මේ පිළිබඳව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පවසන්නේ මේ අපද්‍රව්‍ය කන්ටේනර් 241කම ගෙන්වූ ආයතන දැන් හඳුනාගෙන ඇති බවයි. ඒ අනුව මෙම කුණු හා අපද්‍රව්‍ය තොග සහිත කන්ටේනර් 241ම මෙරටට ගෙන්වා ඇත්තේ හේලීස් ෆීසොන් සමාගම් යටතේ ගිවිසුම්ගතවී ඇති ඊ.ටී.එල්. කලම්බෝ ප්‍රයිවට් ලිමිටඩ් සමාගම සහ සිලෝන් මෙටල් කෝපරේෂන් සමාගම බව සුනිල් මහතා පවසයි.

අපද්‍රව්‍ය රැගෙන එන ලද කන්ටේනර් 130ක් මේ වන විට පිටතට රැගෙන ගොස් ඇති අතර ඒවා සියල්ල මුදාහැර ඇත්තේ හේලිස් ෆ්‍රීසොන් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය බවත් සුනිල් ජයරත්න මහතා පවසයි.

මේ වන විට කොළඹ වරායේ රඳවා ඇති කන්ටේනර් 111 මෙරටට ගෙන්වා ඇත්තේ ඊ.ටී.එල්. කලම්බෝ ප්‍රයිවට් නම් නැව් බඩු ප්‍රවාහන සමාගමයි. එහි අයිතිකාර සමාගම ලෙස සඳහන්ව ඇත්තේ සිලෝන් මෙටල් කෝපරේෂන් ලිමිටඩ් සමාගමයි. එ්ත් මේ නැව් බඩු කන්ටේනර් 111 තවම මුදා ගැනීමට උත්සාහ ගෙන නැත. ‘හේලිස් ෆීසොන් ප්‍රයිවට් ලිමිටඩ්’ ආයතනය ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුම්ගත ආයතනයක්. එහි පරමාර්ථය නිදහස් වෙළෙඳ කලාපයේ ප්‍රතිඅපනයන ප්‍රවර්ධන කටයුතු සිදු කිරීමයි.

මෙම හේලිස් ෆි සොන් සමාගම ඊ.ටී.එල්. කලම්බෝ හා සිලෝන් මෙටල් කෝපරේෂන් යටතේ ගිවිසුම්ගතව මේ පරන මෙට්ට ඇති බව පවසමින් කටුනායක ඇති කන්ටේනර් 130 ගෙන්වා තිබෙනවා. රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.

මේ පිළිබඳව අදහස් දැක්වූ රේගු අධිකාරි ලාල් වීර‍කෝන් මහතා පැවසුවේ මෙම සිදුවීම පිළිබඳව රේගුව පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි. මැයි 7 වැනිදා සිට ඒ පරීක්ෂණ ක්‍රියාත්මක බවත් දැනට මධ්‍යම පරිසර අධිකාරියෙන් හා ආයෝජන මණ්ඩලයෙන් ප්‍රකාශ සටහන් කරගෙනද ඇත ිබවත් ලාල් වීරකෝන් මහතා පවසයි. අපි මේ පිළිබඳව අදාළ සමාගම්වලට නඩු පවරනවා. දැනට කටුනායක ඇති මේ කන්ටේනර්වලින් 29 ක් ප්‍රතිඅපනයනය කර තිබෙනවා. 2013 18/8/30 ගැසට් එක අනුව අපට විශේෂ අවස්ථාවකදි මේ අයුරින් ප්‍රතිඅපනයන සඳහා ගෙන්වන කන්ටේනර් පරීක්ෂා කරන්න පුළුවන්. ඒ අනුවයි අපි මේවා පරික්ෂා කළේ. ඔහු කීය.

‍ෙම් අතර ‍ෙම් එංගලන්තයෙන් එවන ලද කුණු කන්ටේනර් පිළිබඳව එංගලන්තය මඟින් ද පරීක්ෂණ කරන බව එරට පලවන ටෙලිග්‍රාම පුවත්පත කරුණු අනාවරණය කර තිබේ. ඒ අනුව එරට පරිසර ආහාර හා ග්‍රාමීය කටයුතු පිළිබඳ දොපර්තමේන්තුව හෙවත් ‘ඔප්රා’ දෙපාර්තමේන්තුව එම විමර්ශනය අරඹා ඇත. ඒ විමර්ශනය කරන්නේ එසේ එංගලන්තයේ සිට ප්‍රතිචක්‍රීකරණය සඳහා මෙරටට එවන ලද කන්ටේනර්වල අධික දුර්ගන්ධය අනුව එහි මිනිස් ශරීර කොටස් තිබීමට හැකි බවට සැක පහළ වී ඇති බැවිනි.

මීට වසර දෙකකට පෙර මෙරටට ගෙන්වනු ලැබූ කන්ටේනර් 111 ක් කොළඹ වරායේ ගබඩා කර තිබියදි ඒවායින් අධික දුර්ගන්ධයක් නික්මීම නිසා ඒවා පරික්ෂා කරන විට එහි අධික දරාගත නොහැකි ගදකින් යුත් උපද්‍රවකාරි ද්‍රව්‍ය සහිත රසායනික අපද්‍රව්‍ය ප්ලාස්ටික් හා මෙට්ට කොටස් සොයා ගෙන තිබිණි. මේ අතර මිනිස් සිරුරු කොටස් ද ඇතැයි පරීක්ෂා කළ අය සැක පහළ කරති. අදාළ කන්ටේනර් යළි බ්‍රිතාන්‍යයට යැවීමට කටයුතු සූදානම් කරන බව සැලවීමත් සමඟ බ්‍රිතාන්‍යය මේ විමර්ශනය ආරම්භ කර තිබේ.

පසුගිය මාස 18 ඇතුළත බ්‍රිතාන්‍ය රෝහල් අපද්‍රව්‍ය බැහැර කිරීම විශාල ගැටලුවක්ව තිබී ඇත. ඊට හේතුව වී තිබුණේ බ්‍රිතාන්‍ය රජයේ රෝහල් අපද්‍රව්‍ය බැහැර කිරීමට බාරදී තිබුණු ‘හෙල්ත්කෙයා එන්වයර්මන්ට් සර්විසස්’ සමාගම එම කටයුතු නිසි ලෙස නොකිරීම බව වාර්තා වෙයි. මේ අතර පසුගිය වසරේදි එරට රෝහල් අපද්‍රව්‍ය ටොන් 350ක් ඉවත දැමීමට අපහසුවීම නිසා ඒවා විශාල ශීත කාමරවලට ගබඩා කර තිබී ඇත.

රෝහල් 50කට වැඩි ප්‍රමාණයකින් බැහැර කළ මිනිස් සිරුරු කොටස් ඇතුළු හා උපද්‍රවකාරි අපද්‍රව්‍ය පරිසරයට හානි පරිදි රෝහල් අසල හා අවට පරිසරයේ ගොඩගසා තැබීම නිසා අපද්‍රව්‍ය ඉවත් කිරීමට කොන්ත්‍රාත් සමාගම හා රජය පවත්වාගෙන ගිය ගිවිසුමද අවලංගු කර ඇත.

මීට පෙර බ්‍රිතාන්‍යය ඇතුළු යුරෝපීය රටවල අපද්‍රව්‍ය මැලේසියාව, චීනය හා වියට්නාමය වැනි රටවලට අපනයනය කළ නමුත් දැන් ඒ රටවල් ඇතුළතට ඒවා ගෙන ඒම තහනම් කර ඇත. ඒ නිසා බ්‍රිතාන්‍යයේ රෝහල් අපද්‍රව්‍ය ඉවත් කිරීමට කොන්ත්‍රාත් ලබාගත් සමාගම් හා අපේ රටේ ඉහත කන්ටේනර් 241 ගෙන්වීමට එක්වූ සමාගම් එක්ව මෙම ජාවාරම කර ඇත්දැයි සැක පහළ වී ඇත.

දැනට කොළඹ වරායේ ඇති කන්ටේනර් තුළ ඇති මෙට්ට ඇතුළත තිබුණේ පසුගිය වසරේ බ්‍රිතාන්‍යයේ ශීත කාමරවල තිබූ රෝහල් අපද්‍රව්‍ය දැයි පරිසරවේදිහු සැක පළ කරති. කෙසේවුවත් එහි සත්‍යතාව තවමත් ඔප්පු කර නැත.

මේ අතර මධ්‍යම පරිසර අධිකාරිය විසින් මෙම කුණු කසළ කන්ටේනර් පරික්ෂා කර ඒ පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත.

මිනිස් සිරුරු කොටස් රටින් පිටකිරීම බ්‍රිතාන්‍ය නීති අනුව තහනම්ය. ඒ අනුව ප්‍රතිචක්‍රීකරණ භාණ්ඩ වශයෙන් හඳුන්වා සිරුරු කොටස් මේ පරණ මෙට්ට ඇතුළේ රඳවා රජය පිට කිරීම විශාල දෙන ජාවාරමක් බවට පත්වී ඇතැයි පරිසර යුක්ති කේන්ද්‍රය, හරිත මිතුරෝ සංවිධානය, ශ්‍රී ලංකා සොබා සාමූහිකය, මිහිතල මිතුරෝ සංවිධානය ඇතුළු පරිසර සංවිධාන සැක පහළ කරති.

මධ්‍යම පරිසර අධිකාරිය මඟින් ආයෝජන මණ්ඩල නැව්වල ඇති දේවල් සති 2කට වරක් පරික්ෂා කළ යුතුව ඇති නමුත් එය සිදුකර නැතැයි ශ්‍රී ලංකා සොබා සාමූහිකයේ සභාපති තිලක් කාරියවසම් මහතා ද පවසයි.

රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කිරීමට හේතු වූ අපද්‍රව්‍ය බහාලුම් තොගයක් පිටරටින් මෙරටට ගෙන්වීමට අදාළ සිදුවීම සම්බන්ධයෙන් පරිසර ආරක්ෂණ බලපත්‍රයක් හෝ උපද්‍රවකාරි අපද්‍රව්‍ය කළමනාකරණ බලපත්‍රයක් හෝ මධ්‍යම පරිසර අධිකාරිය වෙතින් ලබානොගෙන කටයුතු කිරීමට එරෙහිව අදාල සමාගම්වලට විරුද්ධව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මේ වනවිට පියවර ගෙන ඇති බවත් මෙම ක්‍රියාවලිය හා සම්බන්ධ හේලීස් ෆ්‍රී සෝන ලිමිටඩ්, ඊටීඑල් කලම්බු ප්‍රයිවට් ලිමිටඩ් හා සිලෝන් මෙටල් ප්‍රොසෙස් ප්‍රයිවට් ලිමිටඩ් යන ආයතනයන් කටයුතු කර ඇති අතර, මේ වනවිට ඊට අදාළ වැඩිදුර විමර්ශන කරමින් පවතින බවත් මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ පවසයි.

මේ පිළිබඳව බාසල් සම්මුතියේ ලේකම් කාර්යාලයට ද එක්සත් රාජධානියේ බාසල් සම්මුතිය ක්‍රියාත්මක කරන කේන්ද්‍රීය මධ්‍යස්ථානයට ද මේ වනවිට දන්වා මෙම අපද්‍රව්‍ය ප්‍රතිඅපනයනයට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී. මීට අමතරව අපද්‍රව්‍ය සැකසුම් කරනු ලබන මෙම ක්‍රියාවලිය ජාතික පාරිසරික පනත යටතේ පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබාගත යුතු නියමිත ක්‍රියාවලියක් වේ. එසේ ම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි ක්‍රියාවලියක් වන නිසා පරිසර ආරක්ෂණ බලපත්‍රය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙතින් ලබාගත යුතු වුවත් ඒ සඳහා ඔවුන් කටයුතු කර නොමැත. ජාතික පාරිසරික පනත යටතේ මෙවැනි ක්‍රියාවලියක් පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් මේ වනවිට මධ්‍යම පරිසර අධිකාරිය අදාළ සමාගමට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරමින් පවතින අතර, ගරු පරිසර අමාත්‍යතුමන් ලෙසින් අතිගරු ජනාධිපතිතුමන් ද කඩිනමින් එම අවශ්‍යතා ඉටු කිරීමට වහාම පියවර ගන්නා ලෙස ද උපදෙස් ලබාදී ඇතැයි අධ්‍යක්ෂ ජනරාල්වරයා සිළුමිණ කීය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අදාළ සියලුම ආයතන සමඟ සම්බන්ධීකරණය කරමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මේ වනවිටත් පියවර ගෙන ඇති අතර මින් ඉදිරියට මෙවැනි සිදුවීම් සිදු නොවීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා මූලික කටයුතු කරමින් පවතී. ඒ සඳහා ජාතික පාරිසරික පනතේ විධිවිධාන යටතේ සහ ජාත්‍යන්තර පාරිසරික නීතිමය ප්‍රතිපාදන යටතේ කටයුතු කෙරෙන බව ද ජයසිංහ මහතා කියයි.

මේ පිළිබඳව සිළුමිණට විශේෂයෙන් කරුණු දැක්වූ මධ්‍යම පරිසර අධිකාරියේ උපද්‍රවකාරි අපද්‍රව්‍ය පාලන අධ්‍යක්ෂ අජිත් වීරසුන්දර මහතා පැවසුවේ මේ බ්‍රිතාන්‍යයෙන් එවූ අපද්‍රව්‍ය පිළිබඳව බ්‍රිතාන්‍යයේ රජය පවත්වන පරික්ෂණවලට මධ්‍යම පරිසර අධිකාරිය පූර්ණ සහාය දෙන බවයි.

“මම මේ කන්ටේනර් පරික්ෂා කළා. කටුනායක ගබඩාකර තිබූ අඩි 40ක් දිග කන්ටේනර්වල විෂ ද්‍රව ගබඩා අංගණය පුරා ගලා ගොස් තිබුණා. එහි මෙට්ට පැදුරු ඇතුළු අපද්‍රව්‍ය රැසක් තිබුණා. කොළඹ වරායේ කන්ටේනර් විවෘත ‍කළාම පුදුම කටුක ගඳක් පිටවුණා. ඒවායේ රෝහල් අපද්‍රව්‍ය තිබෙන බව හොඳින් පැහැදිලි වුණා. හැබැයි මේ කන්ටේනර් සියල්ලම එහි තිබෙන බඩු එළියට අරන් අපි බැලුවේ නැහැ. ගඳ වැඩියි.” ඔහු කීය.

මේ අතර මේ අපද්‍රව්‍ය ගැටලුව සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට තරාතිරම නොබලා පියවර ගන්නා ලෙස මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා රේගු දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

මේ කුණු කසළ බ්‍රිතාන්‍යයෙන් මෙරටට ගෙන්වීම මෙරට ජාතික පාරිසරික පනත උල්ලංඝනය කිරීමක් බවත් ඒ අනුව මෙරටට ගෙන්වා ඇති කුණු කසළ කන්ටේනර් 241 වහාම බ්‍රිතාන්‍යයට ප්‍රතිඅපනයනය කරන ලෙසට ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් ඉදිරිපත්කර ඇත.

මෙම පෙත්සම ඉදිරිපත් කිරීමට පෙරමුණ ගත් පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා පවසන්නේ 2017 සිට මේ දක්වා අපේ රටට කන්ටේනර් 241ක අඩංගු උපද්‍රවකාරි අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 5000ක් පමණ පරිසර නීති උල්ලංගනය කරමින් මෙරටට ගෙන්වා ඇති බවයි. ඒ අනුව වහාම ඒවා ආපසු බ්‍රිතාන්‍යයට යවන ලෙසට මධ්‍යම පරිසර අධිකාරියට, රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට හා නීතිපතිවරයාට නියෝග කරන ලෙස ඉල්ලා මෙම රිට් පෙත්සම ඉදිරිපත් කළ බවයි.

“මෙම සිද්ධියේදි මධ්‍යම පරිසර අධිකාරිය හා රේගු දෙපාර්තමේන්තුව වැනි ආයතනවලින් නිසි රාජකාරි කටයුතු නිසි ලෙස ඉටු වෙලා නැහැ. 2013 වසරේ නිකුත් කළ 1818/30 දරන ගැසට් එකේ හයවැනි වගන්තිය අනුව රේගුවට යම් ස්ථානයකට ගිහිල්ලා ඒ ගැසට් එක අනුව ගෙන්වපු දේවල් චෙක් කරන්න පුළුවන්. මේ ගැසට් එක ‍ගහල තියෙන්නේ කුණු ගෙන්වීමට අවසර දීමට නෙමෙයි. මෙරටට ප්‍රතිඅපනයනය සඳහා බඩු ගෙන්වීම දිරිමත් කිරීමටයි. විශේෂයෙන් මේ ගැසට් පත්‍රය අනුව පිටරටින් ගෙන්වන බඩුවල අගය 10%ක් වැඩි කරලා තමයි යළි ප්‍රතිඅපනයනය කරන්න ඕන. මේ සිදුවීමේදී සිදුවී ඇත්තේ මේ ගැසට් එක දඩමීමා කරගෙන ආයෝජන මණ්ඩලය සම්බන්ධ ප්‍රතිඅපනයනය කරන සමාගමක් සමඟ සම්බන්ධවූ ලෝහ නිෂ්පාදන සමාගමක් පරණ මෙට්ට සමඟ රෝහල් අපද්‍රව්‍ය වැනි දේවල්ද මෙරටට ගෙන්වීමයි. මෙම පරණ මෙට්ටවල ඇති යකඩ ලබාගන්නා ඒ සමාගම පසුව අනෙක් කසළ අපේ පරිසරයටම මුදා හරින බවයි පේන්නේ.

කෙසේ වුවත් හේමන්ත විතානගේ මහතා අවධාරණය කරන්නේ කටුනායක ආයෝජන සංවර්ධන කලාපයේ කොටසක ගොඩගසා ඇති අපද්‍රව්‍ය කන්ටේනර් 130 දැන් විවෘතව කර ඇති නිසා එහි උපද්‍රවකාරි අපද්‍රව්‍ය ප්‍රදේශය පුරා පැතිරී ගොස් දරුණු පරිසර දූෂණයක් සිදුවී ඇති බවයි. ඒ අනුව ඒ ‘හබ්’ එක සහිත ප්‍රදේශය පුරා දුර්ගන්ධයක් හමන බවත් වහාම මේ කන්ටේනර් 130 ඒ අපද්‍රව්‍ය සියල්ලම සමඟ ඉක්මනින් ප්‍රතිඅපනයනය කිරීමට රිට් ආඥාවක් ලබාදෙන ලෙස හේමන්ත විතානගේ මහතා ගරු අධිකරණයෙන් ඉල්ලීමක් කරයි.

ඒ අනුව මධ්‍යම පරිසර අධිකාරිය, රේගු දෙපාර්තමේන්තුව හා ආයෝජන මණ්ඩලය වැනි ආයතනවල යම් යම් අඩුපාඩු දුර්වලතා නිසා මෙම කුණු කසළ කන්ටේනර් 241 ඔවුන්ගේ ඇස් වසා මෙරටට ගෙන්වා තිබෙන බව අපේ අදහසයි. ඒ පිළිබඳව පරික්ෂා කර සුදුසු පියවර ගත යුතුයි. අපද්‍රව්‍ය කන්ටේනර් පිටරට පැටවිය යුතුයි. මේවායේ ඇතුළේ මිනිස් ශරීර කොටස් තිබෙන්නත් පුළුවන්. හේමන්ත විතානගේ මහතා පවසයි.

‍මීට අමතරව අන්තර්ජාතික පාරිසරික නීති රීති අනුව ද රටකින් රටකට උපද්‍රවකාරි අපද්‍රව්‍ය ‍යැවීම තහනම් ක්‍රියාවකි. ඒ සඳහා ප්‍රමුඛතම සම්මුතිය 1989 ඇති කරගත් බාසල් සම්මුතියයි. එම සම්මුතිය අනුව රටකින් රටකට කසළ අපනයනය කිරීම තහනම්වේ. ඊට අමතරව යම් රටකට අපද්‍රව්‍ය යැවීමට පෙර එම අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමේ පහසුකම් එම රටේ තිබේදැයි සොයා බැලිය යුතුයි.ඊට අමතරව කසළ රටකින් රටක ගෙනයාම පිළිබඳව රෝටඩැම් සම්මුතිය නම් තවත් සම්මුතියක් ද තිබේ. ඒ අනුව වෙනත් රටකට කුණු කසළ යැවීමට අවශ්‍ය නම් ඒ සඳහා ඒ රටින් අවසර ලබා ගත යුතුය.

මේ පිළිබඳව පරිසර යුක්ති කේන්ද්‍ර කළ ගවේෂණවලදි හෙළිවී ඇත්තේ ප්‍රතිඅපනයනය කරන බවට පොරොන්දු වී මෙරටට ගෙන්වන බහාලුම් නැවත ප්‍රතිඅපනයනය කරනවාදැයි රේගුව හෝ ආයෝජන මණ්ඩලය පරීක්ෂා කිරීමක් කරන්නේ නොමැති බවයි. අප රටට ගෙන්වන කන්ටේනර් පරීක්ෂා කිරීමට නවීන ස්කෑන යන්ත්‍රයක් රේගුවට පාවිච්චි කිරීමට හැකි බවද පෙන්වා දෙන පරිසර යුක්ති කේන්ද්‍රය මේ අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 5000 මෙරටට ගෙන්වීමේදි ආයෝජන මණ්ඩලය මඟින් මධ්‍යම පරිසර අධිකාරියට ඒ ගැන දැනුම්වත් නොකිරීම වරදක් බවද පෙන්වා දෙයි.

Comments