
මහාචාර්ය ඩී. තුසිත මැන්දිස්
අධ්‍යයනාංශ ප්‍රධාන, පුරාවිද්‍යා හා
උරුම කළමනාකරණ අධ්‍යයනාංශය,
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ, අනුරාධපුර තදාශ්‍රිත ප්‍රදේශ ව්‍යාපෘතිය, මධ්‍යම සංස්කෘතික අරමුදල
ශ්‍රී ලංකාවේ පූර්ව ඓතිහාසික අවධියට අයත් ජනාවාස තොරතුරු අධ්‍යනයේ දී එම ජනාවාස හා සුසාන ආශ්‍රිතව ලැබෙන්නා වූ පබළු පිළිබඳ අධ්‍යයනය කිරීම ද අතිශයින්ම වැදගත් වේ. විශේෂයෙන්ම මෙහි දී කානීලියන් හා ඇගේට් වැනි විදේශීය ඛනිජ පාෂාණ හා තිරුවානා, ඇමතෙස්ත, රබහා වැනි දේශීය ඛනිජ පාෂාණ මෙන්ම වීදුරු උපයෝගී කරගෙන නිර්මාණය කර ඇති වීදුරු පබළු වැඩි වශයෙන් වාර්තා වී තිබේ.
එම පබළු අතර වීදුරු පබළු පූර්ව ඓතිහාසික යුගයේ දී මෙරට නිර්මාණය කළ බවට තොරතුරු සුසාන ආශ්‍රිතව ලැබී ඇති වීදුරු පබළු හා එම පබළු නිෂ්පාදනයට අදාළ කාර්මික ශේෂ ලැබීමෙන් පැහැදිලි වේ. වීදුරු පබළු විවිධ හැඩ අනුව නිර්මාණය කර ඇත. වර්ණ ගැන්වීමේ දී නිල්, කොළ, දුඹුරු, කහ හා සුදු ආදී වර්ණවලින් වර්ණ ගන්වා නිර්මාණය කර ඇති බව ද හමු වී ඇති සාධකවලින් පැහැදිලි වේ.
අනුරාධපුරයේ වීදුරු පබළු නිර්මාණය සම්බන්ධව පැරණිතම කාලනීර්ණ දැනට ලැබී ඇත්තේ කහටගස්දිගිලිය කොක්එබේ මෙගලිතික සුසානය ඇසුරිනි. එම සුසානය ආශ්‍රිතව 2016 වර්ෂයේ දී ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය කරන ලද පුරාවිද්‍යා කැණීම්වල දී ක්‍රි.පූ. 790ට දින නියම වී ඇති සුසානයෙන් නිල් කොළ හා දුඹුරු වර්ණයෙන් නිරිමිත වීදුරු පබළු රාශියක් ලැබී තිබේ (මැන්දිස් 2016: 246-257 ).
අනුරාධපුර ඇතුළුපුරයේ AG 69 පුරාවිද්‍යා කැණීමේ දී හමු වී ඇති වීදුරු පබළු ක්‍රි.පූ. 350-100 අතර කාලයේ දී භාවිත වී ඇති බවට කාලනීර්ණය වී තිබීම (Deraniyagala 1972 :136) නිසා ඊට බොහෝ කලකට ඉහත දී කොක්එබේ ප්‍රදේශයේ වීදුරු පබළු නිර්මාණය කරන්නට ඇතැයි උපකල්පනය කළ හැකිය.
සිරාන් දැරණියගලගේ විග්‍රහ කිරීම් අනුව ඇතුළුපුරයෙන් හමු වූ වීදුරු පබළු වර්ගවල හැඩවලට සමාන හැඩ , ඉන්දියාවේ උජ්ජේන් (Ujjain), අහිඡත්‍ර (Ahichchatra) හා හස්ථිනාපුර් (Hastinapur) කැණීම්වල දී ද වාර්තා වී තිබේ. ඒ බව ඝෝෂ්, ඩික්සිත් හා ලාල් වැනි ඉන්දීය විද්වතුන්ගේ පර්යේෂණ අනුව ද පැහැදිලි වන බව දැරණියගල පැහැදිලි කර දී තිබේ තිබේ (එම).
සිරාන් දැරණියගලගේ 1972 අනුරාධපුර ඇතුළුපුර පබළු වර්ගීකරණයට අනුව එහි සඳහන් හැඩවලට සමාන වන හැඩ සහිත පබළු වර්ග කොක්එබේ මෙගලිතික සුසාන භූමියෙන් ක්‍රි. පූ. 790 දී , ඉබ්බන්කටුව මෙගලිතික සුසාන භූමියෙන් ක්‍රි.පූ. 700 හා ගල්ගමුව අන්දරවැව මෙගලිතික සුසාන භූමියෙන් ක්‍රි.පූ. 500 දී මෙන්ම පොල්පිතිගම මෙගලිතික සුසාන භූමියෙන් ක්‍රි.පූ. 520ට අයත්ව ලැබී ඇති බව කාලනිර්යෙන් තහවුරු වී තිබේ.
කොක්එබේ මෙගලිතික සුසානයෙන් සහ අන්දරවැව මෙගලිතික සුසානයෙන් හඳුනාගත් පබළු අතර සිරාන් දැරණියගලගේ අනුරාධපුර ඇතුළුපුර පබළු වර්ගීකරණයට සමාන හැඩ සහිත පබළු වර්ග වන රවුම් ආකාර පැතලි පබළු (Circular Disk Beads) වර්ගයට අයත් හැඩ අන්දරවැව පබළු ගොනුවේ තිබේ. එම සමානතා අනුව අනුරාධපුර ඇතුළුපුරයේ හමු වන 8A, 8B, 9A, 9B , 10 A,10B හැඩති රවුම් ආකාර පැතලි හැඩ පබළුවලට සමාන වේ (එම1972 : 134 - 135). මෙයට සමාන හැඩ සහිත දුඹුරු, නිල් හා කොළ පැහැති වීදුරු පබළු කොක්එබේ මෙගලිතික සුසානයෙන් ද වාර්තා වන අතර ගල්ගමුව අන්දරවැව සුසානයෙන් දුඹුරු පැහැ වීදුරු පබළු පමණක් වාර්තා වී තිබීම ද සුවිශේෂ වේ.
වීදුරු පබළු භාවිතය ඇතුළුපුර ජනාවාසයේ මධ්‍ය මුල් ඓතිහාසික අවධිය තුළ දී (Mid- Early Historic 250 BC – 100 AC) භාවිත වී තිබෙන බව ද දැරණියගල පෙන්වා දී ඇති (Deraniyagala 1992:712) නමුත් උතුරුමැද පළාත තුළ ක්‍රි.පූ 790 දී වීදුරු පබළු නිර්මාණය හා භාවිතය ආරම්භ වී ඇති බව කොක්එබේ මෙගලිතික සුසානයේ දින වකවානුවෙන් පැහැදිලි වන අතර අන්දරවැව හා පොල්පිතිගම මෙගලිතික සුසානවල දින නීර්ණ අනුව ද ක්‍රි.පූ 500 දී හෝ ඊට පෙර දී වයඔ පළාත තුළ වීදුරු පබළු නිෂ්පාදනය හා භාවිත වීම සිදු වී තිබේ. එසේ නම් පූර්ව ඉතිහාසයේ ප්‍රධාන ජනාවාසයක් වන අනුරාධපුර ඇතුළුපුරයට පූර්වයෙන් එම ජනපදයට නැඟෙනහිර හා වයඹ කලාපය ( කොක්එබේ හා අන්දරවැව) තුළ වීදුරු පබළු භාවිතය මෙන්ම පබළු නිෂ්පාදනය කිරීම සිදු කර තිබෙන බව එම දත්ත අනුව හඳුනාගත හැකි වේ.
විශේෂයෙන්ම අන්දරවැව මෙගලිතික සුසානයට උතුරු දෙසින් හමු වූ විනාශ කර දමා තිබූ වීදුරු නිෂ්පාදනයට යොදාගන්නා උඳුනක ශේෂ අනුව එම ප්‍රදේශයේ පබළු නිෂ්පාදනය කළ බව පැහැදිලි වේ. වාරිමාර්ග දෙපාර්තුමේන්තුව මේ වන විට මෙම උඳුන කඩා බිඳ දමා ඇළක් සකස් කර තිබේ. එම උඳුනේ බිත්තිය පරීක්‍ෂා කිරීමේ දී එම උඳුන් බිත්තියේ ඇලී ඇති එහි නිර්මාණය කරන ලද වීදුරු කොටස් අනුව ඒවා දුඹුරු පැහැ වීදුරු බවත් වීදුරු නිෂ්පාදනයේ දී උඳුන් බිත්තියේ ඇලෙන ලද වීදුරු කොටස් එසේ තැන්පත් වී ඇති බවත් හඳුනාගත හැකි ය. එම වීදුරු කොටස් අනුව දුඹුරු පැහැ වීදුරු එම උඳුනේ නිෂ්පාදනය කර ඇති බවට තහවුරු කළ හැකි ය.
එම උඳුනට සමාන උඳුන් රාශියක් අන්දරවැවට ආසන්න තඹුත්තේගම ගිරිබාව ප්‍රදේශයේ ද පිහිටා තිබේ. ජේම්ස් ලැන්ක්ටන් එම ප්‍රදේශයේ සිදු කර ඇති පර්යේෂණවල දී එම උඳුන් වීදුරු හා පබළු නිර්මාණය කිරිම සඳහා භාවිත කර තිබෙන බවත් ඒවායින් නිර්මාණය කර තිබෙන පබළු එම ප්‍රදේශය ඇසුරින් හඳුනාගත් බවත් වාර්තා කර ඇත (James,2014: 2- 6). ලැන්ක්ටන් පෙන්වාදෙන අකාරයට ගිරිබාවේ පබළු නිර්මාණය සඳහා නළ (Tube) සකස් කර පසුව ඒවා පෙති ලෙස (Slice) කර තිබේ.
අප විසින් ගිරිබාව ප්‍රදේශයේ සිදුකරන ලද ක්‍ෂේත්‍ර විමර්ශනයේ දී පැහැදිලි වූයේ විවිධ වර්ණයෙන් යුත් වීදුරු පබළු රාශියක් එම උඳුන් ස්ථාපිතව ඇති ප්‍රදේශය පුරා දැකගත හැකි බවය. එසේම ඉතා විශාල ප්‍රමාණයේ උඳුන් 15කට වැඩි ප්‍රාමාණයක් ගිරිබාවේ ඇති බව ගම් වැසියන් ප්‍රකාශ කළ ද අපට නිරීක්‍ෂණය වූයේ විශාල උඳුන් දෙකක් පමණි. ඒවා ද පුරාවස්තු විනාශ කරන්නන් විසින් දැඩි විනාශයකට ලක් කර තිබේ.
කෙසේ වෙතත් ගිරිබාව උඳුන් පිහිටි භූමියේ ඇති උඳුන්වල බිත්තිවල ඇලී ඇති වීදුරු අනුව නිල්, දුඹුරු හා කහ වර්ණ වීදුරු ඒවායේ නිර්මාණය කර ඇති බව ප්‍රකාශ කළ හැකිය. අන්දරවැව මෙගලිතික සුසානය ආශ්‍රිත කැණීමේ දී හමු වූ පබළු අතර වීදුරු නිර්මාණයට යොදාගත් උඳුන මෙන්ම කැණීමේ දී හමු වූ වීදුරු පබළු නිර්මාණයට යොදාගත් නළ කොටස්, පෙති කිරීමට පෙර ගන වූ පබළු කොටස් මෙන් ම නිර්මාණය කරන ලද පබළු හමු වන බැවින් ගිරිබාවේ භාවිත ක්‍රමයටම අන්දරවැව ප්‍රදේශයේ පබළු නිර්මාණය කරන්නට ඇති බව උපකල්පනය කළ හැකිය.
ගිරිබාව පබළු සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වා ඇති ජේම්ස් ලැන්ක්ටන් පෙන්වා දි ඇත්තේ ඔහුගේ විශ්ලේෂණවලට අනුව ගිරිබාව පබළුවල පොටෑසියම් (Potassium), ඇලුමිනා (Alumina), ලයිම් (Lime), යුරේනියම් (Uranium) යන රසායනික අන්තර්ගත වී තිබෙන බවය (එම: 6). එසේම මෙම පබළු වර්ණ ගැන්විම සඳහා ඔක්සයිඩ් වර්ග භාවිත කර ඇති බව ද ඔහු පැහැදිලි කර තිබේ. (එම). එසේම ගිරිබාව වීදුරුවලට සමාන වීදුරු මාන්තායි, කුච්චවේලි හා දකුණු ඉන්දියාවේ මනිකෝලායි ප්‍රදේශයෙන් ද වාර්තා වන බැවින් ගිරිබාවේ නිෂ්පාදිත පබළු ලංකාව ඇතුළත මෙන්ම දකුණු ඉන්දියාව දක්වා ව්‍යාප්තව තිබූ බව ඉන් පැහැදිලි වන බව ඔහුගේ නිගමනය වී තිබේ. (එම).
එසේම කුච්චවේලි පබළු සමඟ ඔහු සිදු කළ සන්සන්දනාත්මක අධ්‍යයනයන්ගෙන් ඒවා ක්‍රි.ව 1-3 කාලයට අයත් වන බව ඔහු සාපේක්‍ෂ ලෙස නිගමනය කර තිබේ (එම). ගිරිබාව ප්‍රදේශයේ දක්නට ලැබෙන උඳුනට සමාන ලක්‍ෂණ සහිත උඳුනක් අන්දරවැව ප්‍රදේශයෙන් වාර්තා වන බැවින් පුරාණයේ දී එම ප්‍රදේශ දෙක තුළම පබළු කර්මාන්තය ව්‍යාප්තව තිබූ බව පැහැදිලි වේ. බොහෝ විට එම නිෂ්පාදන තත්ත්වයන් පූර්ව ඓතිහිසික යුගය තුළ ආරම්භ වීමට වැඩි ඉඩකඩක් පවතින බව අන්දරවැව සුසානයෙන් හමු වන දුඹුරු පැහැ වීදුරු පබළු අනුව පෙන්වාදිය හැකි ය.
ඉන්දීය පුරාවිද්‍යාඥයන් පෙන්වා දී ඇති ආකාරයට වීදුරු පබළු නිර්මාණයේ දී භාවිතා කරන තාක්ෂණික අවස්ථා රැසක් හඳුනාගත හැකිය. (Lal 1958 :142). පබළු නිර්මාණය සඳහා වීදුරු සකස් කිරීම ඉතා සංකීර්ණ කාර්යයකි. ඒ සඳහා ප්‍රධාන අමුද්‍රව්‍යයක් ලෙස සිලිකා යොදාගන්නා අතර එයට ශාක පිලිස්සූ අළු මිශ්‍ර කර උණු කිරීම සිදු කරයි. වීදුරු වර්ණ ගැන්වීමේදී තඹ ඔක්සයිඩ් (Copper Oxide) භාවිත කීරීම ද කැපීපෙනේ. විශේෂයෙන්ම විවිධ වර්ණ ලබාගැනීමේ දී ඔක්සයිඩ වර්ග මිශ්‍ර කර ඇත. නිල් කහ කොළ වර්ණ සඳහා - යකඩ ඔක්සයිඩ ද රතු හා තැඹිලි වර්ණ සඳහා - තඹ හා ඊයම් ඔක්සයිඩ, මැංගනීස් ද භාවිත කර ඇති අතර පැහැදිලි වීදුරු නිෂ්පාදනයට මැග්නීසියම් ඔක්සයිඩ භාවිත කර තිබේ ( මල්කාන්ති 2008 -09, Dikshit 1952 :58, Francis 1987:12-17, Kumar 2001:100-104).
අන්දරවැව මෙගලිතික සුසානය ආශ්‍රිතව හමු වූ සාධක අතර වීදුරු පබළු නිර්මාණය කිරීම සම්බන්ධ පියවර කිහිපයක් ද කැණීමෙන් හමු වූ පබළු අනුව හඳුනාගත හැකිය. එම පියවර අතර වීදුරු උණු කිරීමෙන් අනතුරුව සිසිල් වූ ශේෂ වූ කැබලි (Glass Pieces), උණු වීදුරුවලින් ඇඳගන්නා ලද නළ ශේෂ (Glass tubes) ,අඳින ලද නළ මඟින් පබළුවේ අවශ්‍ය ප්‍රමාණයට කපාගත් පෙති කැබලි (Glass tube slice) හා නිමි පබළු පෙන්වාදිය හැකිය. ඒ අනුව උතුරුමැද හා වයඔ පළාත ආශ්‍රිතව වීදුරු පබළු නිර්මාණය සම්බන්ධයෙන් දැනට ලැබී ඇති තොරතුරු අනුව ශ්‍රී ලංකාවේ වීදුරු පබළු නිර්මාණයේ ඉතිහාසය ක්‍රි.පූ. 800 තරම් පැරණි වන බව හඳුනාගත හැකිය. එවක ජීවත් වූ මෙරට වැසියන් පබළු වර්ණ ගැන්වීම සඳහා අවශ්‍ය රසායන විද්‍යාව (Chemistry) පිළිබඳ මැනවින් අවබෝධ කරගෙන සිටි බව ද ඉන් තහවුරු වේ.
අන්දරවැව ක්‍ෂේත්‍ර විමර්ශනවල දී හමු වූ උඳුනට අයත් වීදුරු කොටසක් ජපානයේ ෂිමානේ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හිරොෂි ඉෂිගා හා කොළඔ විශ්වවිද්‍යාලයේ සැන්ස්ෆිකා මාලින් යං විසින් විශ්ලේෂණයට ලක් කරන ලද අතර එම විශ්ලේෂණයට අනුව උඳුනේ පිටත බිත්තියේ පමණක් උණු කරන ලද වීදුරු කොටස් ඇලී ඇති අතර උඳුන අභ්‍යන්තර කොටස්වල ඒවා දැකගත නොහැකි බව පෙන්වා දී ඇත. එසේම එම විශ්ලේෂණයට අනුව මෙහි නිෂ්පාදනය කර ඇති වීදුරු කෘත්‍රිම ඒවා වන බවත් පැහැදිලි වී තිබේ.
එම උඳුන් බිත්තිය සම්බන්ධයෙන් කරන ලද XRF ( X-Ray Fluorescence) පරීක්ෂණ ප්‍රතිඵල මත පැහැදිලි වන්නේ සුදු පැහැති බිත්ති කොටසේ ඊයම් [Cu (Copper)] හා [Cu (Copper)]ඉහළ අගයක් ගන්නා බවයි. ඒසේම ෆ්ලූඔරයිඩ් [ F- (Fluoride)],බ්‍රෝමින් [Br (Bromine)], අයඩීන් [I (Iodine)] සමාන ලෙස සුදුපැහැ වීදුරුවල හා දුඹුරු පැහැ වීදුරුවල අන්තර්ගත වී තිබේ. එම වීදුරු නිෂ්පාදන ක්‍රියාවලියේ දී වැලි භාවිත කර තිබෙන අතර ඊයම් [pb (Lead)] හා තඹ [Cu (Copper)]ඉහළ මට්ටමින් යුරෝපා මහද්වීපය තුළ ද භාවිත කර ඇත. ගිරිබාව නීරාවිය හා අන්දරවැව එතරම් දුරකින් පිහිටන භූමි නොවේ. එම නිසා වීදුරු නිෂ්පාදන සම්බන්ධයෙන් සමානතා එම ස්ථාන දෙක ඇසුරින් තිබීමට බොහෝ අවකාශ තිබෙන බව එමඟින් ද පැහැදිලි වේ.