
වසරකට පලිබෝධනාශක මෙට්‍රික් ටොන් 4,000ක් අපේ පොළොවට
කොස්, පොළොස්වලටත් වස විස ඉසිනවා. ආප්පවලට කාබනේට් දමනවා. රටකජු බදින විට පොලිතින් දමනවා කියා පවසන වත්මන් සමාජයට ආ ලොකුම භයානක තර්ජනය අපේ රටේ පලිබෝධනාශක භාවිතය එන්න එන්න වැඩි වීමයි.
පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් සුමිත් ජයකොඩි පවසන පරිදි වසරකට අපේ රටට පලිබෝධනාශක මෙට්‍රික් ටොන් 4000ක් ගෙන්වනු ලැබේ. අපේ කොළ එළවළුවල වැඩිම ප්‍රමාණයක් පලිබෝධනාශක අන්තර්ගතව ඇති බවත් රෙජිට්‍රාර්වරයා කියයි.
මේ පිළිබඳව අප කළ ගවේෂණයකදි විද්‍යාඥයන්, පරිසරවේදින් අවධාරණය කළේ අද අපේ රෙට් පලිබෝධනාශක හා රසායනික පෝර පාවිච්චි කිරීම් පිළිබඳව දැඩි නීති රීති හා ජාතික ප්‍රතිපත්තියක් නැති නිසා අපේ රටේ ඒවා භාවිතය ඉවක් බවක් නැතිව වැඩිවෙමින් පවතින බවය.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අපේ රටේ සෑම බෝගයකටම ඒ ඒ අවස්ථාවලදි දැමිය යුතු පෝර ප්‍රමාණය හා රෝගවලට යෙදිය යුතු පලිබෝධනාශක ප්‍රමාණය නිර්දේශ කර සහතික කර තිබුණත් ඒවා තුට්ටුවකටවත් නොසලකා අපේ සමහර ෙගාවි ජනතාව කටයුතු කිරීම නිසා මෙම තත්ත්වය උදාවී ඇතැයි විද්වත්හු පෙන්වා දෙති.
මේ පිළිබඳව කරුණු දක්වා කෘෂිකර්ම, වාරිමාර්ග හා පශුසම්පත් පිළිබඳ ඇමැති පී. හැරිසන් මහතා පවසන්නේ වසරකට අපේ රටට පලිබෝධනාශක මෙට්‍රික් ටොන් 5000ක්ද රසායනික පෝර මෙට්‍රික් ටොන් 3000ක්ද ගෙන්වන බවයි. මේ ප්‍රමාණය අඩු කිරීමට කාබනික ගොවිතැන දිරි ගැන්වීමට කෘෂිකර්ම ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇතැයිද ඇමැතිවරයා කියයි.
පලිබෝධනාශක රෙජිට්‍රාර් සුමිත් ජයකොඩි මහතා පැවසුවේ 2016දි අපේ රටට පලිබෝධනාශක මෙට්‍රික් ටොන් 4253ක් ගෙන්වා ඇති බවයි. ඉන් සංයෝග ආකාර කෘමිනාශක මෙට්‍රික් ටොන් 1157ක්ද සංයෝග ආකාර වල්නාශක මෙට්‍රික් ටොන් 2088ක්ද දිලීර නාශක මෙට්‍රික් ටොන් 903.7ක්ද මෙරටට ගෙන්වා ඇත.
පලිබෝධ නාශක රෙජිස්ටාර්වරයාම පෙන්වන වැදගත්ම කරුණු වනුයේ අපේ රටේ කොළ එළවළුවල සියයට 100ක් පලිබෝධනාශක අඩංගු බවය.
ලෝක සෞඛ්‍ය සංවිධානය සහ කෘෂිකර්ම අමාත්‍යාංශය Codex තත්ත්ව සහතිකය අනුව කටයුතු කරන බවත් පසුගිය දෙවසරක කාලය තුළ රුපියල් මිලියන 27ක් වැය කරමින් ආහාර සාම්පල් 700ක් පරීක්ෂා කිරීෙම්දී මේ තත්ත්වය අනාවරණය වූ බවත් පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා පවසයි.
ඔහු පවසන්නේ ගොවි ජනතාව ඉවක් බවක් නැතිව පලිබෝධනාශක පාවිච්චි කිරීම නිසා ඉල්ලුම වැඩිවී කොළ එළවළුවල පලිබෝධනාශක අන්තර්ගතවීම සිදුවී ඇති බවයි.
“සමහර පලිබෝධනාශක අනුමත කිරීම ගැන අපිට සමහරු විවිධ චෝදනා කරනවා. නමුත් ඒවා අපි පිළිගන්නේ නැහැ. අපි යම් සමාගමක් අපේ රටට පලිබෝධනාශකයක් ගේන්න අවසර ඉල්ලුවාම ඒක පිළිබඳව වසර 3ක් පමණ පරීක්ෂණ කර මෙරටට කෘෂි හා වැවිලි ක්ෂේත්‍රයේ සිටින ඉහළම විද්වතුන් 15ක සමන්විත කමිටුවකින් තමා ඒක අපේ රටට උචිතද කියලා අනුමත කරන්නේ. ඒ සමඟම ඒ හැම පලිබෝධනාශකයක්ම යල මහ කන්නවල වගා ක්ෂේත්‍රවලට යොමු කරලා බලලා තමයි ඒවා අනුමතකරන්නේ. අපේ රටට උග්‍ර විෂ තිබෙන පලිබෝධනාශක අනුමත කරන්නේ නැහැ. ලොව අන් රටවල තහනම් කළ වකුගඩු හා පිළිකා රෝගවලට හේතුවන බවට ඔප්පු වී ඇති පලිබෝධනාශක ගේන්න අනුමත කරන්නේ නැහැ. ලෝක ප්‍රමිති අනුවත් බලලා ඒ අනුව පර්යේෂණාගාර වාර්තාව ආදියත් නිරීක්ෂණය කරලා තමයි අපි පලිබෝධනාශක අනුමත කරන්නේ” සුමිත් ජයකොඩි මහතා පවසයි.
වයඹ විශ්වවිද්‍යාලය හා ගැටඹේ පිහිටි පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලය 2016 - 2017 වසරවලදී කර ඇති පර්යේෂණ අනුව දැනට අපේ රටේ වාණිජ්‍ය ලෙස වවන සමහර කොළ එළවළු සහ සමහර පලා වර්ගවල වැඩිපුර පලිබෝධනාශඛ අඩංගු බව හෙළිවී ඇත. පුත්තලම, නුවරඑළිය හා කළුතර දිස්ත්‍රික්කවල නියැදි 700කට අධික ප්‍රමාණයක් පිළිබඳව මෙම පර්යේෂණය සිදු කර ඇත. එමඟින් හෙළිවී ඇත්තේ වාණිජ්‍ය ලෙස වවන ගොටුකොළ, මුකුණුවැන්න හා කතුරුමුරුංගාවල අනෙක් එළවළුවලට වඩා පලිබෝධනාශක අන්තර්ගත බවයි. ඒ සමඟම ගෝවා, තක්කාලි වැනි එළවළු වලත් යම් ප්‍රමාණයක් පලිබෝධනාශක අඩංගු වුවත් ඒ ප්‍රමාණය මනුෂ්‍ය ශරීරයට අහිතකර නොවන බව ඉහත පරීක්ෂණයෙන් හෙළිවී ඇත.
අපේ රටට පලිබෝධනාශක හා රසායනික පෝර මේ තරම් ප්‍රමාණයක් ගෙනැවිත් අපේ පසට දමා කරන කෘෂිකර්මය පිළිබඳව තාමත් ඇත්තේ ගැටලුවකි. මේ සියල්ල මහපොළොවට දැමූ විට ඒ මහ පොළොවේ වැවෙන ගහකොළ මඟින් ඒවා අප ශරීරයට එයිද?
මේ පිළිබඳව අපි මුලින්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය සී.බී. දිසානායක මහතාගෙන් විමසුවෙමු.
අද අපේ රටේ පොළොවේ පොස්පේට් බහුලයි. ඒත් අපේ ගොවියන් පුරුද්දට මෙන් සෑම කන්නයකදීම පොස්පේට් පසට දමනවා. හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් සරත් අමරසිරි මහතාත් නිතරම මේ බව පෙන්වා දුන්නා. ඒත් තවමත් ඒ දේ වෙනවා. මේ නිසා රසායනික පෝරවලට තාමත් ඉල්ලුම වැඩියි.
මේකට විසඳුම වන්නේ රටේම පස පරික්ෂා කර සිතියම් සකස් කර පස් දැමිය යුතු නිර්දේශය ගොවීන්ට පෙන්වා දීමයි. ඒ සමඟම ඒ භෝගවලට වැළඳෙන විවිධ රෝගවලට දැමිය යුතු නිර්දේශිත පලිබෝධනාශක ප්‍රමාණයට වඩා පලිබෝධනාශක නිකුත් නොකළ යුතුයි.” මහාචාර්ය සී.බී. දිසානායක මහතා පවසයි.
ෙම් පිළිබඳව අපට අදහස් දැක්වූ ජාතික විෂ ෙතාරතුරු මධ්‍යස්ථානයේ හිටපු අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය රවින්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවේ අපේ රටට දැන් වැඩිපුරම ගෙන්වන්නේ පිළිකාවලට හා වකුගඩු රෝගවලට හේතු නොවන පලිබෝධනාශක පමණක් බවයි. සමහර ගොවි මහත්තුරු හරියට මේ පලිබෝධනාශක හරියට ජලයේ මිශ්‍ර කරන්නේ නැහැ. නිර්දේශ ප්‍රමාණයට වඩා පෝර දානවා. පලිබෝධනාශක දමනවා. ඒවා පොෙළාවට වැටිලා ශාකවල ඵල සමඟ අපේ ශරීරයට එන්න පුළුවන් යැයි ඔහු කීය.
අපේ රටේ ශාක පිළිබඳව පරිසරය පිළිබඳව පර්යේෂණ ගණනාවක් කර ඇති ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යා හා පරිසර සංරක්ෂණ අංශයේ මහාචාර්ය හේමන්ති රණසිංහ මහත්මිය පැවසුවේ මේ පලිබෝධනාශක හා රසායනික පෝර අද ජාතික ගැටලුවක් වී ඇත්තේ ඒවායේ අවභාවිතය හා ඒවා ඉසීමේ අවිධිමත් බව නිසා මෙන්ම ඒ පිළිබඳව ගොවි ජනතාවට හරි විද්‍යානුකූළ දැනුමක් ලබා නොදීම නිසා බවයි.
මේ පලිබෝධනාශකවල නිර්දේශක ප්‍රමිතිය අනුව ඒවා බෝගවලට දැමිය යුතුයි. පෝරත් ප්‍රමාණයට වඩා වැඩියෙන් දැමූ විට පසේ තැන්පත්වී වසර ගණනාවක් තිබෙනවා. පසුව විවිධ ආහාර බෝග මඟින් අපේ ශරීරයට ඇතුළු වෙන්න පුළුවන්. විශේෂයෙන් වකුගඩු හා අක්මාව වැනි අවයවවලට මේවා බලපානවා. ඒ අනුව දිගුකල් මේවාට ලක්වීමෙන් පසු අපට වකුගඩු රෝග හා අක්මාව දියවීම ඇති වෙන්න පුළුවන්. මහාචාර්ය හේමන්ත රණසිංහ මහත්මිය පවසන්නීය.
ඒ විතරක් නෙමේ මේ පලිබෝධනාශක රසායනික පෝර වැඩිපුර භාවිත කළ විට ජලය, පරිසරය දූෂණය වෙනවා. ඒක වළක්වන්න අපේ රටේ ගොවි ජනතාවට කෘෂිකර්ම නිලධාරින් මේවා භාවිත කරන නියමිත ක්‍රම පිළිබඳව මනාව ආදර්ශන ඉදිරිපත්කළ යුතුයි. මහාචාර්ය හේමන්ත රණසිංහ මහත්මිය පෙන්වා දෙන්නීය.
කලක් මහඉලුප්පල්ලම ක්ෂේත්‍ර භෝග පර්යේෂණායතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ආචාර්ය පී.බී. ධර්මසේන මහතා පවසන්නේ අලුත් පර්යේෂණ අනුව ග්ලයිෆොසේට් ඇතුළු බොහෝ කෘෂි රසායනවල ආසනික් සහ වෙනත් බැර ලෝහ අඩංගු බවයි.
මේ අනුව පලිබෝධනාශක කෙළින්ම හෝ වක්‍රාකාරව ශරීරගතවීම නිසා ශරීරයට විවිධ අපහසුතා ඇතිවන බවට කෘෂි විද්‍යාඥයන් කළ අලුත්ම පර්යේෂණ අනුව අනාවරණය වී ඇති බවත් මේ පිළිබඳව පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව නිසි නියාමනයක් කළ යුතු බවත් ආචාර්ය ධර්මසේන පවසයි.
මේ පලිබෝධනාශක ගොඩක් කාබනික සංයෝග. ඒවා ගොඩක් හදන්නේ පොසිල මඟින්. ඒවා ගොඩක් ඒ අනුව පෙට්රෝලියම් අංශුවලින් සමන්විතයි. මේ සංයෝගවල අයනවල කෙළවරේ අඩංගු වන්නේ පොස්පොනික් කාබොක්සිලික් හා ඒමයිඩ් සංයෝගයි. එහි අයන ඍන බවට ධ්‍රැවිකරණය වෙනවා. පසුව ඒ ඍණ අයන පසේ ඇති බැර ලෝහ ජල ධන අයන සමඟ එකතුව කඩන්න බැරි සංයෝග හදනවා. ඒ අනුව අර පලිබෝධනාශක විෂ කොටස් අවුරුදු 40 - 50 පසේ පවතිනවා. මේ අනුව ෆ්ලයිෆොසේට් වැනි පලිබෝධනාශක අවුරුදු 50 ක් පමණ පසේ තිබෙන බව අලුත් පර්යේෂණ අනුව අනාවරණය වී අවසන්. මේ පලිබෝධනාශක පස මඟින් ආහාර බෝගවලට ගොස් ඉන් අපේ ශරීරවලටත් එන්න පුළුවන්. විශේෂයෙන් සමහර ග්‍රන්ථි හා අක්මාව වකුගඩු ආදි අවයවවලට මෙවැනි පලිබෝධනාශකවලින් හානි වෙන්න පුළුවන්. ආචාර්ය ධර්මසේන පවසයි.
මේ පිළිබඳව අපට කරුණු දැක්වූ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘති හා පුහුණු අංශයේ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ අනුර විජේතුංග මහතා පැවසුවේ තමන් ගොවි ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහන් දීප ව්‍යාප්තව පවත්වන බවයි. ඒකාබද්ධ පලිබෝධනාශකවලින් බැරි පලිබෝධ රෝග මර්දනයට පමණක් පලිබෝධනාශක යෙදිය යුතු බවයි.
එහෙත් අපේ ගොවි ජනතාව වගාව කරන්නත් පෙර පලිබෝධනාශක බෝතලය රැගෙන පැමිණෙන බවත් කෘෂිකර්ම උපදේශක හා කෘෂිකර්ම පරීක්ෂණ නිලධාරින් මොන උපදෙස් දුන්නත් ඒ අනුව වැඩ කරන්නේ කීප දෙනෙක් බවත් පවසන අනුර මහතා මේ ගැටලුවට එකම විසඳුම අපේ රටේ වගා කරන ප්‍රමාණය අනුව අදාළ ගොවියන්ට පලිබෝධනාශක හා පොහොර නිකුත් කිරීම බවයි.
ඉන්දියාවේ මේ ක්‍රමය අනුව ජලය නිකුත් කිරීමට කාඩ්පතක් ලබාදී කටයුතු කරනවා. අපේ රටෙත් කෘෂිකර්ම පර්යේසණ හා නිෂ්පාදන සහකාරවරුන්ට මේ වැඩේ බාර දීමට පුළුවන්. කළ යුත්තේ එක් එක් ගොවියා වගා කරන වපසරිය අනුව පමණක් ඔවුන්ට පලිබෝධනාශක හා පෝර නිකුත් කිරීමයි. ඔවුන්ට වැඩිපුර ඒවා අවශ්‍ය වේ නම් ඒ සඳහා ගොවි සංවිධානයේ අනුමැතිය ලබා ගත යුතුයි අනුර විජේතුංග මහතා පවසයි.
උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ආචාර්ය ගාමිණි සමරසිංහ මහතා පවසන්නේ අපේ රටේ ගොවි ජනතාවට පලිබෝධනාශක හා පොහොර භාවිතය පිළිබඳව ‘යහපත් ගොවි පිළිවෙත්’ යන වැඩසටහන යටතේ දැනුම්වත් කිරීම් කරන බවයි. ඊට අමතරව අපේ රටේ ආහාර බෝගවල හා එළවළුවල පලිබෝධනාශක අන්තර්ගතවේදැයි බැලීමට මධ්‍යම පර්යේෂණාගාරයක් ළඟදීම ගන්නොරුවේ විවෘත කරන බවත් පවසන ගාමිණි සමරසිංහ මහතා දැනුම්වත් කිරීම් මඟින් ඒකාබද්ධ පලිබෝධනාශක ක්‍රම, ජෛව පාලන ක්‍රම හා කාබනික වගා ක්‍රම වැනි දේවල් පිළිබඳව ද ගොවි ජනතාව දැනුම්වත් කරන බව පවසයි.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘති පුහුණු අංශයේ අතිරේක අධ්‍යක්ෂ හා නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ ජගත් රන්ජන් සුදසිංහ මහතා පැවසුවේ දැන් අපේ රෙට් කෘමිනාශක භාවිතය තරමක් අඩුවී ඇති බවයි.
ආචාර්ය ප්‍රියන්ත වීරසිංහ මහතා හා මාකඳුරේ උද්‍යාන භෝග පර්යේෂණ ආයතනයේ පර්යේෂණ නිලධාරි ජීවනී මාරසිංහ මහත්මියත් කාබනික වගාව පිළිබඳව පර්යේෂණ කරනවා. ඒ අනුව මහජන සහභාගිත්ව පූර්ව සහතිකයක් සහභාගිත්ව ඒකාබද්ධ ප්‍රවේශයක් ලෙසින් කාබනික වගාවලට ලබාදෙනවා. අපි ඉදිරියට කාබනික වගාවට ප්‍රමුඛත්වයක් දෙනවා. ලබන වසර 5 ඇතුළත කීර වගාවේ පලිබෝධනාශක හා පෝර භාවිතය අවම කර ඒ වගාවෙන් සියයට 35ක් පමණ අඩු කර කාබනික වගාවක් බවට පත් කිරීමට කටයුතු කරනවා.
ඒකාබද්ධ පලිබෝධනාශක ක්‍රම හා යහපත් කෘෂිකාර්මික වත්පිළිවෙත් අනුව නියමිත මාත්‍රාව පමණක් පාවිච්චිය වැනි ක්‍රමවලින් අපේ රටේ පලිබෝධනාශක ප්‍රමාණය හා පෝර ප්‍රමාණය ක්‍රමයෙන් අඩු කරන්නයි අපි උපදෙස් දෙන්නේ. ඒ සඳහා ගමේ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරිවරුන්ගේ සහාය ලබාගන්නවා. ඒ මගින් අපේ ඉදිරි පරපුරට පරිසර හිතකාමී රටක් වස විස නැති රටක් හදන්න අපි උත්සාහ කරනවා” ජගත් සුදසිංහ මහතා කීය.
කොළඹ මහ රෝහලේ විෂ තොරතුරු මධ්‍යස්ථානයේ හිටපු අංශ ප්‍රධානී හා විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහතා පැවසුවේ මේ පලිබෝධනාශක හා රසායනික පෝර භාවිතය අවම කිරීමට කාබනික වගාව රටපුරා ව්‍යාප්ත කිරීමට තිරසාර විධිමත් කාර්යක්ෂම වැඩපිළිවෙළක් රට තුළ ව්‍යාප්ත කළ යුතු බවයි.
“පලිබෝධනාශක තිබෙන රසායනික කොටස් තමයි අපේ පරිසරයට හා ජෛව පද්ධතියට හානි කරන්නේ. මේකට ලොකුම ප්‍රශ්නය බාල වර්ගයේ පලිබෝධනාශක අපේ රටට ගෙන්වීමයි. ඒ ගැටලුව අතීතයෙන් අදත් තිබෙනවා හෙවත් ඒක අඩු වෙන්නේ නැහැ. මේ ප්‍රමිතියෙන් බාල පලිබෝධනාශකවල විවිධ බැර ලෝහ අන්තර්ගත වෙනවා. මේවා ආහාර දාම ඔස්සේ මිනිස් ශරීරයට ගොස් අපට ලෙඩ හදනවා. පරිසරය හා ජෛව සම්පත්වලට එය බලපානවා. මේ අනුව පිළිකා රෝගය වැනි ආබාධ අපේ වැඩිහිටි හා ගැබිනි අයට හානි වෙන්න පුළුවන්. මේ ගැටලුව විසඳීමට නම් අපේ රටේ කාබනික ගොවිතැන විද්‍යානුකූලව ව්‍යාප්ත කිරීම පිණිස විධිමත් කාර්යක්ෂම වැඩපිළිවෙළක් අත්‍යවශ්‍යයි. හැබැයි ඒක එක් එක් අයගේ පෞද්ගලික න්‍යාය පත්‍ර මත සංදර්ශන වැඩපිළිවෙළක් නොව රටට උචිත රටේ ජනතාව පලිබෝධනාශක රසායනික පෝර උපද්‍රව්‍යවලින් මුදවන දීප ව්‍යාප්ත තිරසර වැඩපිළිවෙළක් විය යුතුයි. ඒ සමඟම මේ වස විස පිළිබඳව පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලය දැනට වඩා නියාමන කටයුතු කළ යුතුයි. මේ සඳහා රජය මෙන් ම රාජ්‍ය ආයතන හා පොදු ගොවි ජනතාව උදව් කළ යුතු යැයි ද විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහතා පවසයි.
මහ ඉලුප්පල්ලම ක්ෂේත්‍ර බෝග පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ කෘෂි විද්‍යාඥ නිශාන්ති ගුණවර්ධන මහත්මිය පවසන්නේ අපේ රටේ තිබෙන සියලුම පලිබෝධනාශකවල පෙර අස්වනු දිනය සටහන්වන බවයි. ඒ අනුව ඒ පලිබෝධනාශකය ගසා එහි අස්වැන්න නෙළිය යුත්තේ එම පෙර අස්වනු දිනය පසුවීමෙන් පසවුයි.
පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ උපේන්ද්‍රා අබේසිංහ මහත්මිය මෙසේ පවසයි. “ලොව දියුණු රටවල වසර 10ක් පාවිච්චි කරන පලිබෝධනාශක අපේ රටේ වසර දෙකක්වත් වැඩ කරන්නේ නැහැ කියලා ගොවීන් පැමිණිලි කරනවා. එහෙම ඇති වෙන්නේ මාත්‍රාව ඉක්මවා ඉවක් බවක් නැතිව පාවිච්චිය නිසයි. එතකොට අර සමාගම මොකද කරන්නේ තම ඊට වඩා සැර එකක් ගේනවා.“
මේ අනුව මෙරට විද්වතුන්ගේ අදහස අනුව පවසන්නට තිබෙන්නේ මේ පලිබෝධනාශක හා රසායනික පොහොර අවිධිමත් ලෙස භාවිතය වැළැක්වීමට වස විස අඩු රටක් බිහි කිරීමට කෘෂි විද්‍යාඥයන්, ගොවි සංවිධාන හා පර්යේෂණ ආයතන මෙන් ම ප්‍රතිපත්ති සම්පාදකයන් එක්ව රටට උචිත ජාතික ප්‍රතිපත්තියකට යා යුතු බවයි. මේ සඳහා විශේෂයෙන් අදාළ රසායනික ද්‍රව්‍ය යොදන මාත්‍රාව හා ඒවා යොදන උපකරණවල කාර්යක්ෂමතාව ද පරීක්ෂා කරන විධිමත් වැඩපිළිවෙළක් ද අවශ්‍ය බව කිව යුතුමය.