
* අල්ලන්න ඇති හැම අත්තක්ම දොළපිදේනි දීලා අල්ලලා
* රැකවරණ දෙන්නේ කොස්ගොඩ සුජී
* අපරාධ රැසක මහ මොළකරු වුණත් සූක්ෂ්ම ලෙස වසන් වෙලා
* අන්තිම බිල්ල ළඟම මිතුරා
අනූව දශකයේ රට හෙල්ලූ පාතාල අපරාධකරුවන් අතර ඉහළින්ම වැජඹුණු කල්ලි නායකයෙක් වූයේ පාමංකඩ අශෝකය. මස් මාළු මුව’ග නොතබා නිර්මාංස ආහාර පමණක් ගත් බැවින් ‘සාදු අශෝක’ යැයිද ඇතැමෙක් ඔහුට කීවේය. ඒ කෙසේ වෙතත් එකල නම් දැරූ පාතාල අපරාධකරුවන් අතරද අශෝක ඉහළින්ම සිටියේය. දේශපාලන හයිය මෙන්ම නීතියේ රැකවරණයද එදා ඔහුට නොඅඩුව ලැබී තිබිණි. ඒ නිසාම ඔහු එකල පාතාලයේ ‘ගෝඩ් ෆාදර්’ ලෙස සැලකුණු නාවල නිහාල් පවා තැකීමකට ලක් කළේ නැත.
පාමංකඩ අශෝක ගැන රටේම ඉහළ අවධානයක් යොමු වන්නේ 90 දශකය අග භාගයේදීය. ඒ දෙල්කඳදී මෝටර් රථයක් තුළ හය දෙනකු එක පොදියට වෙඩි තබා ඝාතනය කිරීමේ පුවතක් සමඟිනි. රටම හෙල්ලී ගිය ඒ සමූහඝාතනය පාමංකඩ අශෝකගේ සැලසුමකට අනුව සිදු වූවකි. එදා ඔහු විසින් මරා දමනු ලබන්නේ සිල්වත්තුන් නොවෙති; පාමංකඩ අශෝක මෙන්ම සමාජයට බරක් වූ පිරිසකි. ඇත්තටම ඒ අය අශෝකගේම ගෝලයෝය. මත්ද්‍රව්‍ය ජාවාරමක් මුල් කරගෙන ඇති වන ගුරු-ගෝල ගැටුම එදා එසේ විසඳෙන්නේ ගෝලයන් අතින් මැරෙන්නට මත්තෙන් ගුරා ඉස්සර වූ නිසාය.
එකී සමූහඝාතනයෙන් පසු වැඩි කාලයක් පාමංකඩ අශෝක ඇතුළු ගෝලබාලයන්ට නිදහසේ සිටින්නට ඉඩක් නොවීය. ඒ ගිනි අවි ගොන්නක්ද සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ අත්අඩංගුවට ඔහු පත් වන බැවිනි. පොලීසියෙන් බේරී කැලෑ වැදී තපස් රකින්න සූදානමින් සිටි පාමංකඩ අශෝකව ඔහුගේ ගෝලබාලයන් සමඟ එදා කොටු කරගන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වත්මන් අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකරය. එකල ඔහු පොලිස් පරීක්ෂකවරයෙකි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව බන්ධනාගාරගත වන පාමංකඩ අශෝක සහ ඔහුගේ ගෝලබාලයන්ටද ආයුෂ එතරම් දිගු නොවීය. දෙල්කඳ ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් එල්ල වන්නේ ගංගොඩවිල අධිකරණය තුළදීය. ඒ පාමංකඩ අශෝක ඇතුළු කණ්ඩායම නඩු කටයුතු සඳහා ගංගොඩවිල අධිකරණයට රැගෙන විත් රඳවා තබන සිර මැදිරියේ වහලයේ සිවිලිමට ඉහළින් අටවන ලද බොම්බයක් පුපුරාවා හරිමිනි.
ඒ බොම්බය අටවන්නේ පෙරදින රාත්‍රියේදීය. එදා ඒ බොම්බය පුපුරවා හරින්නේ දූරස්ථ පාලකයකිනි. එකී ප්‍රහාරය ඉතිහාසයට එක් වන්නේ මෙරට පාතාලයේ පළමු දූරස්ථ පාලක බොම්බ ප්‍රහාරය ලෙසිනි. දූරස්ථ පාලකයක් මඟින් ක්‍රියාත්මක කරනු ලබන කුඩා සෙල්ලම් මෝටර් රථයක් යොදාගනිමින් ඒ බෝම්බය අටවන්නේ කමාන්ඩෝ බළකායෙන් පලා‘විත් පාතාලයට වැටුණු සෙබළු දෙදෙනෙකි.
පාමංකඩ අශෝකගේත් ඔහුගේ ගෝලබාලයන්ගේත් අවසානය සටහන් කරමින් එදා ඒ බෝම්බය පුපුරවා හරින්නට දූරස්ථ පාලකයේ බොත්තම ඔබන්නේ දෙල්කඳ හංදියේදී මරුමුවට පත් වූ හය දෙනා අතර සිටි පාතාලයේ ප්‍රබලයකු වූ ඉරේෂ්ගේ සහෝදරයාය. ඔහු නමින් දිනේෂ්ය. සිය සහෝදරයා මරාදැමූ පාමංකඩ අශෝක සහ ඔහුගේ ගෝලබාලයන්ගේ ඉරණම එදා එසේ තීන්දු කළ දිනේෂ් ගැන වසර 19කට පසු නැවත මතකයට නැඟෙන්නේ නුගේගොඩ ජම්බුගස්මුල්ලේදී ඉකුත් 28 වැනිදා අලුයම ලෑන් කෘෘෂර් ජීප් රථයකට එල්ල වුණු වෙඩි ප්‍රහාරයත් සමඟිනි. ඒ ප්‍රහාරය එල්ල වන්නේ ජීප් රියේ රියැදුරු අසුනේ සිටි අවන්හල් හිමිකරුවකු වන සුනිල් රුවන් පෙරේරා ඉලක්ක කරගනිමිනි. ඔහු පදිංචිව සිටියේ උඩහමුල්ලේ මාදිවෙල පාරේ කුලී නිවෙසකය.
ඒ මොහොතේ රුවන් සමඟ ඒ ජීප් රියේ ඔහුගේ මිතුරෙක්ද රැඳී සිටියේය. ඔහු ඉන්දික රොෂාන්ය. තලපත්පිටියේ කනත්ත පාරේ පදිංචිව සිටි ඔහු මඟී බස් රථ හිමිකරුවෙකි. මේ දෙදෙනා එදා ජම්බුගස්මුල්ලට යන්නේ ඉතාලියේ කාලයක් රැඳී සිට පැමිණි මිතුරකු අඩියක් ගැසීමට කළ ඇරියුමකට අනුවය. නමින් දේවා වූ ඔහුද ඉතිහාසය එතරම් හොඳ අයකු යැයි පැවසිය නොහැකිය.
මධුවිත තොලගාමින් දේවාත් සමඟ 27 දා රාත්‍රියේ පැය දෙක තුනක් ගත කල රුවන් සහ ඉන්දික ජම්බුගස්මුල්ල මාවතේ හිටි දේවාගේ නිවෙසින් එළියට බසින්නේ මැදියම් රැයේදීය. ඒ 28 වැනිදාට එළි වන්නටය. හොඳ හැටි පදම් වී සිටියත් ජීප් රථයේ සුක්කානම අතට ගන්නේ රුවන්ය. යාබද අසුනේ සිටින්නේ ඉන්දිකය. ජීප් රථයට ගොඩ වුණු රුවන් එය පණගන්වා ධාවනය කරන්නට වූයේ පසුපසටය. ඒ, දේවාගේ නිවෙසට ගමන් කරන්න ඇත්තේ පටු මාර්ගයක් වූ හෙයින් වාහනය හරවාගන්න ඉඩක් නොවූ බැවිනි. වැඩි දුරක් එසේ පසු පසට යන්නට ඉඩක් නොවීය. ජීප් රථයේ මඟ හරස් කරන්නේ යතුරුපැදියකි. එහි දෙදෙනෙකි. ඔවුන් සිටියේ මුහුණු ආවරණය වන පරිදි ආරක්ෂක හිස් වැසුම් පැලඳගෙනය. පිටුපස අසුනේ සිටි හීන්දෑරි තරුණයකු යතුරුපැදියෙන් බැස ජීප් රථයේ රියැදුරු සිටි පැත්තට ආවේය. එක්වරම ඔහු ජීප් රියේ පැති දොර විවර කරමින් රියැදුරු දෙසට එල්ල කරන්නේ වෙඩි වර්ෂාවකි. මේ වෙඩි ප්‍රහාර හමුවේ රුවන් එතැනම මරු වැලඳගන්නා විට වෙඩික්කරු තම අත වූ පිස්තෝලය ඊළඟට එල්ල කරන්නේ ඉන්දික දෙසටය.
ඒ වන විටත් රුවන්ට තැබූ වෙඩිලක් ඉන්දිකටද වැදී ඔහු සිටියේ ලේ ගලන තුවාල සහිතවය. වෙඩික්කරුට ඒ ගැන කිසිදු අනුකම්පාවක් නොවීය. ගිනි අවියේ කොකා කිහිප විටක්ම ගස්සන්නට වූයේ ඉන්දිකද නිහඬ කරන්නට සිතාගෙනය. එහෙත් එක් උණ්ඩයක් වත් පිස්තෝල කටින් එළියට ආවේ නැත. ඒ ඉන්දිකට තවත් කාලයක් ජීවත් වීමට වාසනාව උදා කර දෙමින් පතොරම් බහාලන මැගසිනය පිස්තෝලයෙන් ගැලවී බිම වැටී තිබුණු නිසාය.
එදා එසේ අනපේක්ෂිත ප්‍රහාරයකට ලක්ව අවාසනාවන්ත ලෙස මරු තුරුලට යන රුවන් සමාජය හමුවේ අවන්හල් හිමිරුවකු ලෙස පෙනී සිටියත් සැඟවුණු වෙනත් ව්‍යාපාර රැසකට ඔහු සම්බන්ධව සිටියෙකි. මරුවා ඔහු සොයා එන්නට මෙතරම් ඉක්මන් වන්නේද ඒ නිසාය.
රංජන් රාමනායක රාජ්‍ය ඇමතිවරයා අධිකරණයට අපහාස කළේයැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පළමු පෙත්සම ඉදිරිපත් කරන විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියා රුවන්ගේ පියාය. ප්‍රජා පොලිස් සහ සිවිල් ආරක්ෂක කමිටුවලද ක්‍රියාකාරිකයකුව සිටි ඔහු සමාජයේ වැදගත් ලෙස ජීවත් වන චරිතයකි. ඔහු හා සැසඳීමේදී රුවන් සම්බන්ධයෙන් ඇත්තේ නම් ඇත්තේ එතරම් යහපත් ප්‍රතිචාරයක් නොවේ. ඒ ඔහු කළු සුදු චරිතයක් වූ බැවිනි.
රුවන්ගේ ඉතිහාසය පිරික්සීමේදී පෙනී යන්නේ ඔහු කාලයක් පොලීසියේද සේවයේ නිරතව සිටියකු බවය. කොස්තාපල්වරයක ලෙස පොලිස් ක්‍රිකට් කණ්ඩායමද ඔහු නියෝජනය කර ඇතැයි පැවසෙන්නේ 2003ත් 2006ත් අතර කාලවකවානුවේදීය. ක්‍රිකට් ගැසීමට පමණක් පොලීසියේ රැඳී සිටි ඔහු 2006න් පසු පොලිස් සේවයට සමු දී තරුණ දේශපාලනඥයකු වූ දුමින්ද සිල්වාට කිට්ටු වන්නේ ඔහුගේ පෞද්ගලික ආරක්ෂකයකු ලෙසිනි. කාලයක්ම ඔහු රැඳී සිටියේ දුමින්ද සිල්වා ළඟය. එකල ඔහු පෙනී සිටියේ දුමින්ද සිල්වාගේ ආරක්ෂාව යොදවා සිටින විශේෂ කාර්ය බළකායේ ප්‍රභු ආරක්ෂකයකු හැටියටය. සිය බිරියව ඔහුට මුණගැසෙන්නේද දුමින්ද සිල්වා ළඟ සිටියදීය. ඇයද එකල සේවයේ නිරතව සිටියේ දුමින්ද සිල්වා ළඟය. ඇය දුටුවන් මන්මත් කරන රූසපුවකට හිමිකම් කී කාන්තාවක් වූවාය. පළමු විවහායෙන් වෙන්ව ජීවත් වූ ඇය තමාට වඩා වයසින් බාල තරුණයකු වූ රුවන්ව සිය සැමියා බවට පත් කරගන්නේ ඔහු කෙරෙහි ඇයද ආකර්ෂණය වී සිටි බැවිනි. මේ විවාහයෙන් ඇයට දරුවන් දෙදෙනකුද සිටින බව සඳහන්ය.
පාතාල අපරාධකරුවන් ඇතුළු සමාජයේ විවිධකාර පුද්ගලයන් ඇසුරු කරන්නට රුවන්ට මඟ පෑදෙන්නේයැයි සඳහන් වන්නේ දුමින්ද සිල්වා සමීපයේ සිටියදීය. දුමින්ද සිල්වා වෙඩි වැදීමකට ලක් වීමත් සමඟ යන එන මං නැති වන රුවන් අවසානයේ වැටෙන්නේ කුණුගොඩකටය. පාමංකඩ අශෝකට තැබූ බොම්බයේ දූරස්ථ පාලකය ක්‍රියාත්මක කළ දිනේෂ් සිටියේද ඒ කුණුගොඩේය. නුගේගොඩ හතේ කණුවේ පදිංචිව සිටි ඔහුව බොහෝ අය දැන සිටියේ ‘ජම්බුගස්මුල්ලේ බබී‘ යැයි කී විටය. බබී පාතාලයේ වැඩ්ඩෙකි. ඔහු ගේම් ගැහුවේ පොලීසියට මාට්ටු නොවන්නටය. ගංගොඩවිල බෝම්බයෙන් පසු ඔහුට වැඩක් වැරදුණේ නම් ඒ වරදින්නේ 2004 වසරේදීය. ඒ නුගේගොඩ විජේරාම හංදියේ පිහිටි සෙලාන් බැංකු කොල්ලයයි. ඒ හැරුණු විට ඔහු ගැසූ හැම ගේමක්ම පොලීසියට අල්ලන්නට තබා ඒ ගැන හිතාගන්නටවත් බැරිවිය.
බබී ඒ ගහන හැම ගේමක් අස්සේම මත්කුඩු ජාවාරමද ජයටම කරගෙන ගියේය. බබීට මත්කුඩු ලැබුණේ කොස්ගොඩ සුජී හරහාය. රතු වරෙන්තු කරුවකු වන දකුණේ ප්‍රබල පාතාල කල්ලි නායකයකු වන කොස්ගොඩ සුජී මේ වන විට සිටින්නේ ඩුබායිහිය. ඒ සිය බිරියත් සමඟිනි. බබී සහ කොස්ගොඩ සුජී අතර සම්බන්ධය ගොඩනැඟෙන්නේ මත්කුඩු ජාවාරම හෝ පාතාලය හරහා නොව, බබීගේ මහ ගෙවල් ඇත්තේ අම්බලන්ගොඩ පැත්තේ වූ බැවිනි. කොස්ගොඩ සුජී රටින් පලා යන්නට පෙර සිය පෙම්වතිය බිරිය බවට පත් කරගනිමින් පැවැති විවාහ උත්සවය පවා මහරගම උත්සව ශාලාවක රහසිගතව සංවිධානය කරන්නට පවා මුල් වන්නේ යැයි කියන්නේ බබීය. ඒ තරමට ඔහු කොස්ගොඩ සුජී සමඟ සමීපය.
සුජීගේද ආශිර්වාදය ඇතිව මත්කුඩු ජාවාරමේ නිරතව සිටියත් බබී සමාජයට නිරාවරණය කළේ ගුවන් තොටුපොළේ ඩියුටි ෆ්‍රී සාප්පුවලින් මත්පැන් බෝතල් පන්නා හොර රහසේ අලෙවි කරමින් වුවද යහපත් ජීවිතයක් ගත කරන්නකුගේ චරිතයකි. ඊට අමතරව ඔහු රට සිගරට්ද මෙරටට හොර රහසේ ගෙන්නුවේය. ඒ සඳහා ඔහු මසකට වරක් දෙවරක්ම ඩුබායිද ගියේය. නැවත මෙරටට එන විට රට සිගරට් රැගෙන ආවේ මලු පිරෙන්නටය. රට සිගරට් සහ රට මත්පැන් ජාවාරමට ඔහු පිවිසෙන්නේද අල්ලන්න ඇති හැම අත්තක්ම අල්ලමින් දොළපිදේනි දෙමිනි. ඒ නිසාම කිසි දිනක ගුවන්තොටුපොළේදී හෝ ඉන් පිටතදී කිසිදු බාධාවක් ඔහුට එල්ල නොවීය.
බබීගේ විශ්වාසවන්තම ව්‍යාපාර සගයා වූයේ රුවන්ය. ඔහුටද ඒ සෑම තැනකම හයිය තිබුණේ බබීට නොදැවෙනි ලෙසිනි. කොස්ගොඩ සුජී සමග පමණක් බබීගේ සම්බන්ධකම් ලඝු වන විට මෙරටින් ප ලා ගොස් ඉතාලියේත් ඩුබායි රාජ්‍යයේත් රැදී සිටින ප්‍රබල පාතාල අපරාධකරුවන් රැසක්ම රුවන් ළඟින්ම ඇසුරු කළේය. ඒ අය අතර දකුණේ මෙන්ම කොළඹ පාතාලයේ අයියලාද සිටියහ.
ඩුබායි යන එන හැම විටකදීම රුවන්ව බලාගත්තේද ඔවුහුය. ඒ තරමට ළඟ හිතවත්කමක් රුවන්ට ඒ අය සමඟ පැවතියත් පාතාලයේ එම හයිය පෙන්වමින් ඔහු රඟන්නට ගියේ නැත.
රුවන් අවන්හල් හිමිකරුවකු බවට පත් වන්නේ මෑතකදීය. ඒ කොට්ටාව පැත්තේ අවන්හලක් විවෘත කරමිනි. එදා ඒ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ ප්‍රධාන දේශපාලන පක්ෂයක ආසන සංවිධායක ධුරයක් මෑතකදී ලද හිටපු ඇමැතිවරයෙකි. ඒ ඇමැතිවයා සහ රුවන් අතර ඇත්තේ ගහට පොත්ත මෙන් සම්බන්ධයකි.
රුවන් සිය දෙවැනි අවන්හල විවෘත කරන්න සූදානම් වන්නේ නුගේගොඩ පරණ කැස්බෑව පාරේ පිහිටි ගොඩනැඟිල්ලකය. ඒ සඳහා ඔහු ඒ ගොඩනැඟිල්ලක් අත්පත් කරගන්නේ එහි කාලයක් තිස්සේ කුලියට රැඳී සිටි පිරිසක් පලවා හරිමිනි. ඊට ඔහු පාතාලයේ බලයද යොදාගත්තේය. පොලීසිය මුලින් සිතන්නේ රුවන්ගේ ඝාතනයත් ගොඩනැඟිල්ලෙහි රැඳී සිටි පිරිස පලවාහැරීමත් අතර යම් සම්බන්ධයක් ඇතැයි කියාය. රුවන්ගේ සැබෑ ඝාතනයට හේතුව එය නොවන බව පැහැදිලි වන්නේ පසුවය. ඊට අනුව රුවන්ගේ ඝාතකයා වන්නේ අන් කිසිවකු හෝ නොව; ඔහුගේ ව්‍යපාරික සගයා වන බබීය.
බබීගේ මත්කුඩු ජාවාරම ගැන පොලිස් විශේෂ කාර්ය බළකාය ඇස ගසාගෙන සිටින්නේ කාලයක් තිස්සේය. බබීද ඒ බව දැන සිටියේ විශේෂ කාර්ය බළකායේ ඔහුටද ඔත්තුකරුවන් සිටින බැවිනි. බබී විශ්වාස කරන්න වූයේ තමන් ගැන විශේෂ කාර්ය බළකායට ඔත්තු දෙන්නේ සිය සගයා වන රුවන් බවය. එහෙත් ඔහු ඒ බවක් රුවන්ට දැනෙන්න දුන්නේ නැත. ඒ වන විට මොවුන් දෙදෙනා එක්ව අම්බලන්ගොඩ පිහිටි සංචාරක හෝටලයක් විකිණීමට අතරමැදියන් වී සිටියෝය. ගාලු-කොළඹ ප්‍රධාන මාර්ගයට යාබදව වෙරළට කිට්ටුව ඒ හෝටලය පිහිටා තිබිණි. වැඩේ ගොඩ දාන්නේ රුවන්ය. ඒ වෙනුවෙන් ඔහුට ලැබෙන බ්‍රෝකර් ගාස්තුව පමණක් රුපියල් ලක්ෂ 60කි. දෙදෙනා අතර පැවැති එකඟත්වයට අනුව බබීට ඒ බ්‍රෝකර් ගාස්තුවෙන් හරි අඩක් ලැබිය යුතු විය. ඒ අනුව සම-සමව බ්‍රෝකර් ගාස්තු බෙදන්නට රුවන් ගියේ නැත. කුට්ටියම සාක්කුවේ දමාගත්තේ බබීටද කොකා පෙන්වමිනි. ඊට බබී ප්‍රතිචාර දක්වන්නේ රුවන්ගේ ඉරණම ජම්බුගස්මුල්ලේදී වෙඩිල්ලකින් විසඳමිනි.
ඒ සඳහා වෙඩික්කරුවා බබීට සොයා දෙන්නේ කොස්ගොඩ සුජීය. ඔහු අම්බලන්ගොඩ පැත්තේ අයකු බව කියති. යතුරුපැදිය වෙඩික්කරුවා යතුරු පැදියේ නංවාගෙන ජම්බුගස්මුල්ලට රැගෙන ගියේයැයි කියන්නේ බබීය. බබී සියල්ල සැලසුම් කර පැත්තකට වී බලා සිටි බවට ඇතැම් විමර්ශන පාර්ශ්වවලින් ලැබෙන තොරතුරුවල සඳහන්ය. ඒකී තොරතුරුවලට අනුව යතුරුපැදිකරු ගාල්ල පැත්තේ අයෙකි. ඒ දෙදෙනාගෙන් කවුරුන් යතුරුපැදිය පැදවූවත් ජම්බුගස්මුල්ලේ ප්‍රහාරයේ මහ මොළය බබීය. මේ ප්‍රහාරය බබී සැලසුම් කරන්නේ නීතිය ඉදිරියේ ඔහු වරදකරු කරන්නට නොහැකි වන ලෙස ඉතා සූක්ෂ්මවය.
ඒ සඳහා ඔහු පළමු පියවර තබන්නේ යතුරුපැදියක් මිල දී ගනිමිනි. ඒ රුපියල් 40,000කටය. ඒ යතුරුපැදිය මිල දී ගන්නේ නුගේගොඩ පැත්තේ ඇති වාහන උකසට ගන්නා තැනකිනි. උකස බේරා නොගෙන සින්න වූ ඒ යතුරුපැදියේ ලියාපදිංචි හිමිකරු බොරැල්ලේ අයෙකි. මේ යතුරුපැදිය බබී විසින් මිල දී ගන්නේ ඉකුත් 26 වැනිදාය. එදින ඔහු මුලින්ම කරන්නේ එහි චැසි අංකය සහ ඇංජින් අංකය මකාදැමීමය. ඒ තමන්ට හිතවත් ගරාජ්කරුවකුගේ සහාය ඇතිවය. 28 දා අලුුයම ජම්බුගස්මුල්ලේදී රුවන්ට වෙඩි තබා ඝාතනය කරන්නට ඝාතකයන් ගමන් කරන්නේ අංක තහඩුව ඉවත් කළ මේ යතුරුපැදියේ නැඟීය.
එම යතුරුපැදිය පොලීසියට හමු වන්නේ 28 උදෑසනය. ඒ ගංගොඩවිල පැත්තේ අතහැරගොස් තිබියදීය. අංක කහඩුව නැති වූවත් ඇංජින් සහ චැසි අංක ඔස්සේ යතුරුපැදියේ ලියාපදිංචි හිමිකරු කවුරුන්දැයි හෙළි කරගැනීමට හැකි වනු ඇතැයි පොලිසිය සිතුවත් එහි ඇංජින් අංක සහ චැසි අංක තිබුනේ මකා-දමාය. මෙසේ කොතරම් සූක්ෂ්මව කටයුතු කළත් බබීට යතුරුපැදියේ රක්ෂණ සහතිකය සහ ආදායම් බලපත්‍රය ඉවත් කරන්නට නම් අතපසු වී තිබුණේය. ඒ ඔස්සේ පොලිසිය එහි හිමිකරු සොයා බොරැල්ලට ගියේය. ඔහුගේ තොරතුරු ඔස්සේ නුගේගොඩ උකස්කරුව අනාවරණය කරගත්තේය. ඊට දින දෙකකට පෙර එම යතුරුපැදිය බබී විසින් මිල දී ගත් බව පොලිසියට දැනගන්න ලැබෙන්නේ එවිටය.
ඒත් එක්කම පොලිසිය බබීව සොයා ඔහුගේ නිවෙස වැටලූවෝය. ඒ වන විටත් ඔහු සිටියේ පලා ගොසිනි. බිරිය පවසන්නේ ඔහු ඩුබායි ගොස් ඇති බවකි. ඔහු ඩුබායි ගියේ යැයි ඇය සඳහන් කළේ 26 වැනිදාය. සැබෑ ලෙසම ඔහු ඩුබායි ගියේ දැයි දැනගැනීමට පොලීසිය පිහිට පතන්නට වූයේ ආගමන විගමන දෙපාර්තමේන්තුවෙනි. ඒ බබීගේ විදෙස් ගමන් බලපත්‍රයේ තොරතුරු ඔස්සේ 26 වැනිදා ඔහු රටින් පිට ගියේ දැයි නිශ්චිතවම දැනගන්නටය. බබීගේ බිරිය පැවසුවේ මුසාවක් නොවන බව පැහැදිලි වන්නේ එහිදීය. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියටඅනුව බබී ඩුබායි බලා මෙරටින් පිටත්ව ගොස් ඇත්තේ එදා උදෑසනය. ඒ කටුනායක ගුවන්තොටුපොළිනි. 26 දා ඩුබායි බලා පිටත්ව ගිය ඔහු නැවතත් මෙරටට පැමිණ ඇති බවක් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය තහවුරු නොකළේය. ඒ ඔහු නැවත මෙරටට පැමිණ නොසිටි බැවිනි. ඒ අනුව ජම්බුගස්මුල්ලේවෙඩිල්ලට සැබෑ ලෙසම බබී සම්බන්ධදැයි ඇති වන්නේ ගැටලුවකි. 26 දා උදෑසන ඔහු රටින් පිටව ගියේ නම් එදින ඔහු යතුරුපැදිය මිල දී ගත්තේ කෙසේද?.
තවදුරටත් සොයා බැලීමේදී හෙළි වන්නේ බබී සැබෑ ලෙසම රටින් පලායන්නේ 26 දා නොව, 28 රාත්‍රියේදී බවය. 26 දා ඔහු රටින් පිටව ගියේ යැයි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට ඇතුළු කරන්නේ දූෂිත නිලධාරියකු විසිනි. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවයේ නිරත එම දූෂිත නිලධාරියා බබී ඩුබායි බලා පිටත්ව ගිය බවට ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රයේ ඇති තොරතුරු දත්ත පද්ධතියට ඇතුළු කරන්නේ අඩුම තරමින් බබී ගුවන් තොටුපොළටවත් එන්නේ නැතිවමය. ඒ බව තහවුරු වන්නේ ආරක්ෂක ගුවන් තොටුපොළේ ආරක්ෂක කැමරාපද්ධතිය නිරීක්ෂණය කිරීමෙනි.
26 දා බබී ඩුබායි ගියේ යැයි සදහන් වන්නේ කටුනායක ගුවන් තොටුපොළින් ඩුබායි බලා පියාසර කළ එමිරේට්ස් ගුවන් සමාගමට අයත් යානාවකිනි. යානාවේ හඳුනාගැනීමේ අංකයක් පවා සටහන්ව තිබුණේය. විමර්ශනවලින් හෙළි වන්නේ එවන් අංකයක් සහිත එමිරේට් ගුවන් සමාගමට අයත් ගුවන් යානාවක් ඩුබායි සහ කටුනායක ගුවන් තොටුපොළ අතර පියාසර නොකරන බවකි. අඩුම තරමින් එමිරේට් ගුවන් සමාගමට අයත් ගුවන්යානාවක් ඒ කියන කාලවකවානුවේ ඩුබායි බලා පිටත්ව ගොස් නැති බවද හෙළි වන්නේ කර ඇති බොරුවේ තරම කියා පාමිනි!
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට අනුව 28 දාද බබී රටින් පිටව ගිය ලැයිස්තුවේ සිටින බව සඳහන්ය. සැබෑ ලෙසම ඔහු ඩුබායි බලා යන්නේ 28 දාය. ඒ රාත්‍රී 7.35ට පමණ ඩුබායි බලා මෙරටින් ගුවන්ගත වූ එමිරේට්ස් ගුවන් සමාගමට අයත් ඊ.කේ. 653 අංකය දරන ගුවන්යානාවේ නැඟීය. ඔහු ගුවන් තොටුපොළට එන යන අයුරු පවා ආරක්ෂක කැමරාවල සටහන්ව තිබෙන්නේ 26 දා මෙන් 28 දාද බොරුවක් සිදුව නැති බව තහවුරු කරමිනි.
එසේ ඩුබායි පැනගත් බබී මේ වන විට සිටින්නේ කොස්ගොඩ සුජීගේ රැකවරණයේය. කොස්ගොඩ සුජීද අන්තර්ජාතික පොලීසියෙන් රතු නිවේදනයක් පවා නිකුත් කර ඇති පාතාල අපරාධකරුවෙකි. මාකඳුරේ මධුෂ්ගේ ප්‍රබලතම ප්‍රතිවාදියාය. මත්කුඩු ජාවරමේ නිරත ප්‍රධාන ජාවාරම්කරුවන්ගේ ලැයිස්තුවේද ඉහළින්ම නම සටහන්ව ඇති කොස්ගොඩ සුජී අත්අඩංගුවට ගෙන මාකඳුරේ මධුෂ් රැගෙන ආ ආකාරයටම මෙරටට ගෙන ඒමට රහස් මෙහෙයුම් රැසක් මේ වන විට ක්‍රියාත්මකය. ඒ බව දන්නා බැවින් ඔහුද ඩුබායිහි රැඳී සිටින්නේ සැඟවුණු චරිතයක් ලෙසිනි.
ගයාන් කුමාර වීරසිංහ