දරු දෙදෙනෙකුට මහමඟදී සුරැකිව උපත දුන් ‘සුව සැරිය’ | සිළුමිණ

දරු දෙදෙනෙකුට මහමඟදී සුරැකිව උපත දුන් ‘සුව සැරිය’

‘සුව සැරිය’ ට අවුරුදු 03යි

“1990 සුවසැරිය ගිලන් රථ සේවය නොතිබුණා නම් අපට ළමයින් දෙදෙනකු අහිමි වීමට ඉඩ තිබුණා. මේ සේවාවට පින් සිදු වන්නට මගේ දුවයි පුතයි හොඳින් ජීවත් වෙනවා.” මෙසේ පවසන්නේ ගල් ඇන්දකුට්ටිය, අකුරුගොඩ, තෙලිජ්ජවිල පදිංචි සුරේෂ් මදුශංක (31) මහතා ය.

“මේ සේවාව මඟින් ජනතාවට සිදු වන යහපත වචනයෙන් කියා නිම කරන්න බැහැ. මෙය දිගින් දිගටම කරගෙන යෑමට හර්ෂ ද සිල්වා ඇමතිතුමා ප්‍රමුඛ ඒ පිරිසට හැකියාව ලැබේවායි මා ප්‍රාර්ථනා කරනවා.” යැයි ඔහු අවධාරණය කරන්නේ තම දරු දෙදෙනා නිරුපද්‍රැතව උපත ලැබීමේ ප්‍රීතිය හදවතේ පුරවාගෙනය.

2016 දෙසැම්බර් මස 19 වැනිදා අලුයම 2.15 ට පමණ ‘සුව සැරිය’ ගිලන් රථයක් තුළ උපත ලැබූ යසිරු නෙල්ෂාන් (03) දරුවා‍ෙග් සහ දැනට මාස එකොළහකට ඉහත සුවසැරිය ගිලන් රථයක් තුළ දීම අලුයම 2.30ට පමණ මෙලොව එළිය දුටු සඳුනි සෙහෙන්සා දියණිය පිළිබඳව සිය අත්දැකීම් විස්තර කරමින් සුරේෂ් මධුශංක මහතා ‘සිළුමිණ’ට මෙසේද පැවසීය.

“මගේ බිරියගේ නම අනුෂා සඳමාලි (31) ඇයට දරුවන් තිදෙනෙක් සිටිනවා. ලොකු දියණියට වයස දහයයි. ඇය හිරුෂි දැනට පාසල් යනවා. අපේ දෙවැනි දරුවා සහ තුන්වැනි දරුවා‍ මෙලොවට පැමිණියේ නොසිතූ වේලාවන් වලදීය.

“අපි පදිංචිවෙලා ඉන්නේ අකුරුගොඩ. දෙවැනි දරුවා ලැබුණේ 2016 දෙසැම්බර් 19 අලුයම. එදා රාත්‍රි බිරියට ගොඩක් අම‍ාරු වුණා. කොහොමහරි එයාව මාතර රෝහලට ගෙනියන්නට අවශ්‍ය වුණා. එහෙත් ඒ සඳහා කාලය හරස් වෙලා තිබුණා. අපි 1990 අංකයට කතා කළාම අකුරැස්ස සිට පැමිණි ගිලන් රථයට බිරිය නංවා ගත්තා. මේ ගිලන් රථය තුළ හෙදියක් ද සිටියා. ගොඩගමට ළංවෙනකොට බිරියට ගොඩක් අමාරු වුණා. කොහොම හරි අන්තිමේදි දරුවා ඉපදුණේ ගිලන් රථය තුළදීමයි. ඒ සඳහා හෙදිය සහ රියැදුරු මහතා ලොකු සහයෝගයක් ලබා දුන්නා.

“දැනට මාස 11කට ඉහතදි මගේ බිරියගේ තුන්වැනි දරුවා ඉපදුණේ අලුයම 2.30ට ඒත් ‘සුව සැරිය’ ගිලන් රථයක් තුළදීමයි. මේ සිද්ධි දෙකේදීම ගිලන් රථ විනාඩි පහළොවක් වගේ කාලයක් තුළ අපගේ නිවසට පැමිණියා. ඒ නිසාම මගේ ළමයින් දෙදෙනාම ආරක්ෂා වුණා. මෙවැනි සේවාවන් මහජනතාවට තව තවත් ලබා දිය යුතු වටිනා සේවාවක් කියලා මම කියන්න කැමතියි.”

Comments