
සෑම වසරකමජ්‍යෙෂ්ඨයන්ට නවකවධ පුහුණු පාඨමාලාවක්...
පළමුව මල් සතියක්,දෙවන තුන්වන සති වධකාගාරයේ,අවසානයේ ලේ හලන සතියයි...
හැම සරසවියක් ඇසුරේම වධකාගාර කීපයක් පවත්වාගෙන යන බවට තොරතුරු...
වධකයන් බේරාගන්න නීතිය නවලා... නඩු දාලා තිබෙන්නෙ නවකවධ පනතින් නොවෙයි...
නීතිය ක්‍රියාත්මක නොකිරීම පිටුපස සරසවි බලධාරීනුත් සිටින බවට චෝදනා...
නවකවධ දුන්නුවධකයොත් අද විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු!
පේරාදෙණිය සරසවියේ මනෝ විකෘතිකයන් විසින් පවත්වාගෙන ගිය තිරිසන් වධාකගාරය පිළිබඳ හෙළිදරව් වී දෙවසරක් ගත වී ඇත. ඒ වධකයන් සම්බන්ධව නීතිය ක්‍රියාත්මක වී තිබූ ආකාරය දැන් සමාජ කථිකාවක් බවට පත් වී තිබේ. ගලහා පාරේ පිහිටි කුලී නිවසක් වධකාගාරයක් බවට පරිවර්තනය කරගෙන පේරාදෙණි සරසවියේ සිසුන් අමානුෂික වධහිංසාවලට ලක් කරමින් සිටියදී නීතියට කොටු කරගත් වධකයන්ට නිසි දඬුවම් හිමි නොවීම පිළිබඳය. ඔවුන් ඇප මත නිදහස් වී, පන්ති තහනමද ඉවත් වී යළිත් සරසවි බිමට පැමිණීම පිළිබඳය.
1998 දී අංක 20 දරන අධ්‍යාපන ආයතනවල නවකවධය හා වෙනත් ස්වරූපයේ සාහසික ක්‍රියා තහනම් කිරීමේ පනත යටතේ එවැනි දරුණු ලිංගික හිංසන සිදු කිරීම පමණක් නොව දරුණු ආකාරයේ කායික හා මානසික වධහිංසා මහාධිකරණයකින් පවා ඇප ලබාගත නොහැකි වරදකි. එසේ වුවත් ගලහ වධකාගාරයේ සාක්ෂි සාධක සහිතව ඇස් ඉදිරිපිට අතට හසුවු අමානුෂික වධකයන් නීතියේ සිදුරකින් ගැලවෙන්නට හැර ඇත. මේ එළිදැක්වෙමින් ඇත්තේ රටේ නීතිය සම්බන්ධව කුකුස උපදවන අතිශය වැරදි පූර්වාදර්ශයකි.
විශ්වවිද්‍යාලවල පරිපාලනය සම්බන්ධව ඍජු බලයක් සහිතව කටයුතු කරන, සිදු වන සිද්ධිවල නිසි වගකීම දැරිය යුතු විශ්වවිද්‍යාලයන්හි පාලක සභා තම සරසවි තුළ සිදු වන නීති විරෝධී සාහසික සිද්ධි සම්බන්ධව ක්‍රියා කර ඇත්තේ ඇදහිය නොහැකි පෞරුෂ විරහිත ආකාරයෙනි.
පේරාදෙණි සරසවියේ වධකාගාර සිදු වීම එයට තවත් එක් උදාහරණයකි. එදා ගලහා පාරේ වධකාගාරයේදී දැඩි අමානුෂික වධයන්ට ලක් කෙරිමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත් වූ වධකයන් පිරිස නිදහස් වූයේ කුමන පදනමකින්දැයි විමසිය යුත්තේ එවැනි පසුබිමකය. ඒ වැටලීමට සහභාගී වූ පේරාදෙණිය විශ්විද්‍යාලයේ ප්‍රධාන පෙළේ ආචාර්යවරයෙකු සිය අත්දැකීම ආවර්ජනය කරන්නේ මෙසේය.
ආචාර්යවරයෙකුගේ අත්දැකීම
“විශ්වවිද්‍යාලය තුළ නවකවධය දීම වැළැක්වීම හෝ පවත්වාගන්න ඉඩහැරීම රඳාපවතින්නේ විශ්විද්‍යාල පාලන අධිකාරියේ හැසිරීම මත. ඒ සම්බන්ධව මා අත්දැකීමෙන් කියන්නේ. නවකවධයට එරෙහි ඍජු ප්‍රතිපත්තියක හිටපු නිසා මා කෘෂි විද්‍යා පීඨයේ පීඨාධිපති වෙලා ඉන්න අනූව දශකයේ මැද භාගයේ සිට වසර 10ක් මගේ පීඨයේ කිසිම නවකවධ සිද්ධියක් වාර්තා වුණේ නෑ. කෙසේ වෙතත් යළි නවකවධ සිද්ධි වාර්තා වන්නෙ ඉතාම සංවිධානාත්මක විකෘති විදිහට.
ඔවුන් පසුව මේ වධදීම් කරන්න පටන් ගත්තේ විශ්වවිද්‍යාල පරිසරයෙන් පිටත. එහි මුල් පියවරවලදී දරුණු නවකවද දෙන්න ජ්‍යෙෂ්ඨයන් සිසුන් රැගෙන ගියේ තමන්ගේ නවාතැන්වලට. එහි ඉදිරි පියවර තවත් සංවිධානාත්මකයි.
ඒ සඳහා ඔවුන් උපයෝගි කර ගත්තේ විශ්වවිද්‍යාලයෙන් පිටත කුලියට ගත් ගෙවල්. වධදීම් සඳහාම කුලියට ගත් ඒ නිවාස මාස කීපයක් සඳහා, මාසෙකට රුපියල් 5000 සිට රුපියල් 30 000 දක්වා වූ මිලකට අරන් තිබුණා. නිවසක් කුලියට ගන්නෙ මාස කීපයකට විතරයි. ගෙවල් හිමියන්ට මුදල් ලැබුණු පසු ළමයි මේ නිවෙස්වලට වෙලා කරන දේවල් හොයන්න බයයි.
ඒ නිසා වෙන දේවල් දුටුවත් නොදැක්කා වගේ කරබාගෙන ඉන්නවා.”
පේරාදෙණි සරසවියේ වධකාගාරවල සැඟවුණු තොරතුරු හමුවු ආකාරය මේ ආචාර්යවරයාට හොඳින්ම මතකය.
“රාත්‍රී කාලයේ නවක සිසුන් විශ්වවිද්‍යාල නේවාසිකාගාරවලින් එළියට අරගෙන වධකාගාරවලට ගෙනියන බව මට ආරංචි වුණේ විනය පාලකගෙන්. ඔහුටත් ඒ තොරතුරු ලැබිලා තිබෙන්නෙ රහසිගතව.
තොරතුරෙන් කියැවුණේ පේරාදෙණියේ අවට හා කටුගත්තොට අවට මේ වගේ වධකාගාර හතරක් තියෙන බවයි. ලැබුණු තොරතුරු අනුව වධකයන් නවක සිසුන් එකවර එහි ගෙනි යන්නේ නැහැ.
නවක සිසු බැච් එක කොටස් හතරකට පහකට වෙන් කරනවා. සිසුන් විවිධ වේලාවලට විවිධ ගෙවල්වලට ගෙනි යන්නේ කොටස් කොටස් වශයෙන්. මුලින්ම සිසුන්ට නුවර එක්තරා තැනකට එන්න කියනවා. ඊට පස්සේ ටෙලිෆෝන් කෝල්ස්වලින් දැනුම් දෙනවා දැන් අහවල් බස් එකට නඟින්න කියලා.
ඉන්පස්සේ ඒ විදියටම බහින තැනත් දැනුම් දෙනවා. එක තැනකට බස්සලා තවත් තැනකට යන්න කියනවා. ඒ යන තැන්වල ජ්‍යෙෂ්ඨයන් බයිසිකල් තියාගෙන ඉන්නවා. ඒ අය විවිධ හරස් පාරවල් ඔස්සේ නවක සිසුන් වධකාගාර වලට ගෙනියනවා. සියල්ල සිදු වෙන්නේ රාත්‍රියේ නිසා කවුරුත් යන එන පාරවල් දකින්නේ නැහැ.”
“මේ වධ සංවිධානය කරන අය ජ්‍යෙෂ්ඨයන් ලිස්ට් කරනවා. එහෙම ලිස්ට් කළ පසු සහභාගි නොවූ අයව පහසුවෙන් අල්ලා ගන්න හැකියි. ඒ නිසා මනෝ විකෘතියක් සහිත මැරයන් සේ හැසිරෙන කීපදෙනෙකුගෙන් බේරෙන්න මේ ජ්‍යෙෂ්ඨයන් අනිවාර්යයෙන් ඒ වධයට සහභාගි විය යුතුයි.
ඒ අය වධ දෙන්න යනවද නැද්ද බලන්න ඉහළ ජ්‍යෙෂ්ඨයෝ පිරිසක් ඉන්නවා. සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාලයට ගිය මුල් සතිය හඳුන්වන්නේ මල් සතිය කියලා. දෙවැනි තුන්වැනි සති තමයි වධකාගාරයේ ගත කරන ලිංගික, මානසික හා ශාරීරික වද දීම් සති. අවසක් සති හඳුන්වන්නේ ලේ හලන සතිය කියලා.
හැම ජ්‍යෙෂ්ඨයකුට වගේම නවකයෙකුටත් වෙනත් නමක් දීලා තියෙනවා. ඒ අන්වර්ථ නාමය අනිවාර්යයෙන් ජ්‍යෙෂ්ඨයන් මතක තබාගත යුතුයි. ඉන්පස්සේ ඒ අය මේ වධකාගාරය පාලනය කරන්නේ ඒ අන්වර්ථ නාම භාවිතයෙන් පමණයි. ඒ නිසා වධ දුන්නේ කවුද, වධයට ලක් වුණේ කවුද කියලා පහසුවෙන් අසු වෙන්නේ නැහැ.
මේ ළමයින් රෑ වධකාගාරයට ගෙනාවට පස්සේ ආපසු යන්නේ උදේ පාන්දර. මේ ළමයි එළිවෙනකම් වධකාගාරයේ නිරුවතින් වේදනා විඳිමින් නිදිමරනවා. සාමාන්‍යයෙන් නවකයන්ට නවකවධ කාලයේ උදේට තියෙන්නේ ඉංග්‍රිසි පාඨමාලාව. ඒ නිසා සිසුන් බොහෝමයක්ම ඉංග්‍රීසි වේලාවෙදි නිදි. ඒ නිසා කලින් දවසේ රැග් වුණු අය කවුද කියලා අපිට හඳුනාගන්න පහසුයි
ගලහා පාරේ වධකාගාරය වැටලූ හැටි
“වධකාගාරය පවත්වාගෙන ගිහින් තිබුණෙ ගලහා පාරේ කන්දක් උඩ තිබුණු පාළු ගෙදරක. ගෙදරට යන්න පාරක්වත් නැහැ. විශ්වවිද්‍යාලයට කිලෝ මීටර 3ක් දුරයි. මේ වධකාගාරයට ළමයින් ගෙනියන්නේ රාත්‍රියට. ඒකේ ඇතුළේ නවකයන් මුළු රැයක්ම සිටින්නේ නිරුවතින්. ලැබුණු තොරතුර අපි තහවුරු කරගත්තා.
අපි මේ වැටලීමට ගියේ රෑ 11ට විතර. අවට ගෙවල්වල අය ඒ වෙලාවේ නිදි. අපි ඉතාම රහසිගතව ගියේ... මොකද ආරංචි වුණොත් මේ අය ස්ථානය වෙනස් කරනවා. ගෙයි පිටත ලයිට් සියල්ල නිවලා තිබුණේ. ඇතුළත ලයිට් දාලා තිබුණා.
ඒ වගේම ඇතුළතින් එළියට ඇහෙන්න සංගීතයක් දාලා තිබුණා. මේ අය එහෙම වෙන සද්ද දාලා තියෙන්නේ ළමයින්ගේ සද්ද පිටතට ඇහෙන්නේ නැති වෙන්න. එළියේ එක ළමයෙකු මුරට දාලා හිටියා. ඒත් අපේ වේලාවේ ඔහුට නින්ද ගිහින් තිබුණේ. මිදුලේ ළමයින් එක්කගෙන ආ මෝටර් සයිකල් ගොඩාක් නවත්තලා තිබුණා.
අපි එක්ක මේ ගමනට පොලීසිය, විශ්වවිද්‍යාල ආරක්ෂක නිලධාරීන් සහ විනය පාලක බලධාරීනුත් එක් වුණා.
අපි ඒ වධකාගාරයට යන විට ජ්‍යෙෂ්ඨයන් 15ක් විතර සිටියා. ඒ අයගෙන් රැග් වෙන ළමයින් 12ක් 15ක් අතර පිරිසක් නිරුවතින් සිටියා. සමහරක් අය ඒ ගෙදර ළිප් බොක්කේ නිරුවතින් සඟවලා හිටියේ. ඒ අයට කන්න කෑම පැකට් ගෙනත් තිබුණා. අපේ කට්ටිය දොර ඇරගෙන ඇතුළට ගියා. දොර ලොක් කරලා තිබුණේ නැහැ. කිසිවෙකුටත් හෙල්ලෙන්න නොදි දෙගොල්ලෝ දෙපැත්තකට කරලා වෙන් කළා.
මේ කාමරයේ මියුසික් සෙටප් එකක් වගේම කොණ්ඩය කපන මැෂිමක් තිබුණා. ඒවායින් ළමයින්ගේ කොණ්ඩය හිතු හිතු ආකාරයට කපලා තිබුණා. ඒ වගේම කාමරයේ මත්පැන් බෝතල් කිහිපයක් තිබුණා. අපි රැග් කර කර හිටපු ළමයින් පොලීසියට බාර දීලා ඒ අයගේ මවුපියන්ට දැන්වුවා. රැග් වුණ ළමයින් රෝහල්ගත කළා. ඒ සියලු සිදුවීම් සනාථ කරවන්න අපි ඒ අවස්ථාව්දීම ඡායාරූප ලබා ගත්තා...” ආචාර්යවරයා පවසයි.
වධකයන්ට නීතිය ක්‍රියාත්මක වූ හැටි
සියල්ල ඇස්පනාපිට තහවුරු වී තිබිණි. මුන්ට එරෙහිව ක්‍රියාත්මක කළ යුතු රටේ නීතියක් තිබිණි. නීතිය කොතරම් දැඩි වුවද මේ පිරිසට මෙන්ම ඊට අනුබල දුන් ඉහළ ජ්‍යෙෂ්ඨ පිරිසට විරුද්ධවද ඒ නීතිය හරියට ක්‍රියාත්මක වූයේ නැත.
මේ පද්ධතිය පවත්වාගෙන ගිය සැබෑ වධකයන් පොලිස් අත්අඩංගුවට පත් වූයේ නැත. අත්අඩංගුවට පත් වූ 15 දෙනාද පසුව ඇප ලබා පැමිණියහ.
2017 වසරේදී වූ ඒ අපරාධයට ඔවුන්ට ලැබුණේ වසර දෙකක පන්ති තහනමක් පමණි. දැන් ඒ වධකයෝ සරසවි එන්නට පටන්ගෙන සිටිති.
මහාධිකරණයකින් පවා නඩු කටයුතු අවසන් වන තෙක් ඇප ලබාගැනීමේ අවස්ථාව අහිමි වන වරදකට වසර දෙකක පන්ති තහනමක් පමණක් ලබාදීමේ නීතිමය පදනම හා ඉන් ප්‍රකට කරන ආදර්ශය කුමක්දැයි අපට වැටහෙන්නේ නැත.
වාර්තා වන අන්දමට පොලිසිය ඒ පිරිස අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇත්තේ 1998 දී අංක 20 දරන අධ්‍යාපන ආයතනවල නවකවධය හා වෙනත් ස්වරූපයේ සාහසික ක්‍රියා තහනම් කිරීමේ පනත යටතේ නොවේ. ඒ පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ දණ්ඩ නීති සංග්‍රහයට අනුවය.
මේ වරද සඳහා දණ්ඩ නීති සංග්‍රහය යටතේ ඇප ලබාගැනිමට හැකිය. නවකවධ සඳහාම නීතියක් හා නිශ්චිත දඬුවම් පනවා ඇත්තේ එවැනි අපරාධ මැඬීමට පැවති නීතිය ශක්තිමත් නොවූ බැවිනි. අපට වැටහෙන්නේ කවුරුන් හෝ තමන්ට ඇවැසි පරිදි නීතිය නවා ඇති බවය.
සාමාන්‍යයෙන් එවැනි බරපතළ තීන්දු තීරණ ගැනීමේදී විනය පිළිබඳ නෛතික වගකිම ඇත්තේ විශ්වවිද්‍යාල පාලක සභාවටය. වධකාගාරයක් තුළ සිදු වන බරපතළ ලිංගික හිංසනයකදී අදාළ බලධාරීන් නීතිය හරිහැටි ක්‍රියාත්මක නොකිරීමෙන් වූ දරුණු විපාක විඳින්නට සිදු වන්නේ යළිත් විශ්වවිද්‍යාලවලට පැමිණෙන සිසුන්ටමයි.
එවැනි අවස්ථාවකදී සමාජයේ දැඩි අවධානයක් හා අනුකම්පාවක් යොමු වන්නේ අත්අඩංගුවට ගත් පිරිස කෙරෙහිය. එයින් සමාජයට හෝ අදාළ ආයතනයට වන බරපතළ ව්‍යසනය ගැන නොසිතන සමාජ මනෝභාවය මේ ගැටලුව නොවිසඳී පැවතීමේ තවත් එක් සාධයක් සේ පෙනේ.
තොරතුරු - විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ ස්ත්‍රී පුරුෂ සාමජ භාවය පිළිබඳ ස්ථාවර කමිටුවේ සම සභාපති සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නවකවධය පිටුදැකීමේ කාර්ය සාධක බළකායේ සාමාජික හා පේරාදෙණි විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ හිටපු පීඨාධිපති ආචාර්ය විජය ජයතිලක.
වධකාගාර සංකල්පය එක් විශ්වවිද්‍යාලයකට පමණක් පොදු දෙයක් නොවෙයි වගකීම් විශ්වවිද්‍යාල බලධාරීන් අතයි
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති, ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශල්‍ය වෛද්‍ය විද්‍යා පීඨයේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහාචාර්ය මොහාන් ද සිල්වා
පේරාදෙණි විශ්වවිද්‍යාලයේ වධකාගාරයේ තොරතුරු සියල්ල ඇස් පනාපිටම ඔප්පු වුණා. එහෙම තිබෙද්දීත් ඒ අයට විරුද්ධව 1998 දී අංක 20 දරණ අධ්‍යාපන ආයතනවල නවකවදය හා වෙනත් ස්වරූපයේ සාහසික ක්‍රියා තහනම් කිරීමේ පනත යටතේ නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ.
එහි වගකීම පොලීසියට පමණක් නොමෙයි, විශ්වවිද්‍යාලයේ උපකුලපති ඇතුළු පාලක සභාවටත් හිමියි. නීතිය ක්‍රියාත්මක වීමේ අඩුපාඩු තිබුණා නම් නීතිපති දැනුවත් කළ යුතුව තිබුණා. ඒත් අද මේ අපරාධකරුවන් නිදැල්ලේ. ඔවුන් යළිත් විශ්වවිද්‍යාලය තුළ වීරයන් බවට පත් වෙලා. එයින් අනිකුත් අයට යන පාඩම කුමක්ද කියා අප තේරුම් ගත යුතුයි.
මේ වධකාගාර සංකල්පය පේරාදෙණි විශ්වවිද්‍යාලයට, රුහුණු විශ්වවිද්‍යාලයට පමණක් සිමා වූවක් නෙමෙයි. අනෙකුත් සියලුම විශ්වවිද්‍යාලවල අඩුවැඩි වශයෙන් වධදීම් කෙරීගෙන යනවා. මේ වන විටත් යම් ස්ථාන අපි හඳුනාගෙන තියෙනවා. බොහෝ විශ්වවිද්‍යාල බලධාරීන් ඒ දේවල් දන්නවා.
ඒත් ඒ අය මේවාට අත ගහන්න යන්නේ නැහැ. හේතුව නවකවධය ආයතනගත වීමයි. බොහෝ අය සිතන්නේ නවකවධ සංස්කෘතිය
ආයතන ගත වී ඇති නිසා එයට විරුද්ධව කිසිවක් සිදු නොකළ යුතුයි කියා. ඒ වගේම මේ කටයුතු බොහෝමයක් පාලනය කරන්නේ ඇතැම් ශිෂ්‍ය සංගම්.
මේ වධකාගාර සංකල්පයේ භයානකකම කොතරම්ද යත් ඒවාටම වෙන් වූ ආචාර ධර්ම පද්ධතියක් ඔවුන් සකසා තියෙනවා. සෑම ජ්‍යෙෂ්ඨයෙකුම නවකවධය සම්බන්ධ පුහුණු වැඩසටහන්වලට සම්බන්ධ විය යුතුයි. ඒ පුහුණු වැඩසටහනට නොපැමිණියොත් ඔවුන්ටත් වෙනම දඬුවම් තියෙනවා. ඒ වගේම මේ වධදිම්වලට ජ්‍යෙෂ්ඨයන් සහභාගි වෙන්නේ කාලසටහනකට අනුව තමන්ට හිමි වාරයටයි. හැම කෙනෙකුම වධ දෙන්න යොමු කරනවා. මේ ආයතනගත වීම් මඟින් වන තවත් හානියක් තමයි, නවක සිසුන්ගේ හා ජ්‍යෙෂ්ඨ සිසුන්ගේ මනස කැඩීම.
මේ විධි නියමයන් හරහා වධදීම් සඳහා කායික හා මානසික හීලෑ කිරීමක් සිදු කරනවා. ඒ වගේම මේ වධදීම්වල ආරම්භය සිදු වන්නේ සිසුන් විශ්වවිද්‍යාලයට ඒමට ප්‍රථමයෙනුයි.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම කඩඉම් ලකුණු නිකුත් කිරීමෙන් පසුව විවිධ දුරකතන සබඳතා ඔස්සේ ඒ ඒ විශ්වවිද්‍යාලවලට තේරී පත් වන සිසුන් කවුරුන්ද යන්න හඳුනාගැනීමට මොවුන් ක්‍රමවේද සකස් කර තිබෙනවා. අවාසනාවන්ත කරුණ නම් පුහුණුවීම් ලැබූ අයත් ආචාර්යවරුන් ලෙස විශ්වවිද්‍යාලය තුළ ඉගැන්වීම් සිදු කිරීමයි.