
මේ දිනවල පොලිස් සේවයට එක් වීමට තරුණ තරුණියන් පැමිණෙන්නේ පෝලිමේය. රට පුරාම පොලීසිවලට එසේ බඳවා ගැනීම් සිදුවෙතත් මේ දිනවල උතුරු නැගෙනහිර පළාත්වල පොලීසි තුළ අලුත් යමක් සිදු වෙමින් පවතී. ඒ දෙමළ ජාතික තරුණ තරුණියන් පොලීසියට බඳවා ගැනීමය.
පොලිස් සේවය ජාතික සේවයක් නිසා ඊට බැඳෙන්නන් සිංහලද දෙමළද මුස්ලිම්ද යන කාරණය වැදගත් නොවූවත් දෙමළ තරුණ තරුණියන් රටේ ආරක්ෂක සේවයට නොයා යුතු බවට දෙමළ ජාතික සන්ධානය ඇතුළු දෙමළ සංවිධාන බලපෑම් කරන්නේ අද ඊයේ සිට නොවේ. එවැනි තහංචි මැද පොලිස් සේවයට එක් වීමට දෙමළ තරුණ තරුණියෝ මේ දිනවල දැඩි උනන්දුවකින් උතුරු නැඟෙනහිර පොලිස් ස්ථානවලට පැමිණෙති.
පොලීසියට බැඳීම සඳහා වන සම්මුඛ පරීක්ෂණයකට පැමිණි ඕමන්ද විලක්කුවච්චිකුලම් ගම්මානයේ එස්.ක්‍රිෂාන්තන් සමඟ බොහෝ දේ කතා කරන්නට අපට හැකි විය.
'' මම අපොස උසස් පෙළ සමත් වුණා. විශ්වවිද්‍යාලෙට යන්න තරම් ලකුණු නැහැ. රට යන්න හැදුවා. අම්මා තමයි කිව්වේ රට යනවාට වඩා මෙහෙ රස්සාවක් කරන්න කියලා.
අම්මා නිතරම කිව්වා පොලීසියට බැඳෙන්න ඒක වැදගත් රස්සාවක් කියලා. මමත් අයැදුම් පත්‍රයක් දැම්මා. මේ දවස්වල සම්මුඛ පරීක්ෂණ තියනවා. ඒකට ආවා.
සම්මුඛ පරීක්ෂණයට ආවට පස්සේ පොලීසියට බැඳෙන්න තිබුණු ආශාව තවත් වැඩි වුණා. ඒ නිලධාරීන් බොහොම ගරු ගම්බීර විදිහට ඉන්නවා. මොකද අපි බොහොම වේලාවට පොලීසියේ අය දකින්නේ මහ පාරේදි. එක්කෝ උත්සවයකදී . එහෙම හම්බ වෙන පොලිස් නිලධාරීන්ට වඩා සම්මුඛ පරීක්ෂණය වගේ තැනක ඉන්න නිලධාරීන් ගොඩාක් හොඳයි.
මේක සම්මුඛ පරීක්ෂණයකට වඩා උපදෙස් දෙන තැනක් වගේ වුණා. මගේ ප්‍රතිඵල ලේඛනය දැකලා එතැන උන්න ලොකු මහත්තයා කිව්වේ ඔයා හොඳට ඉගෙන ගන්න පුළුවන් කෙනෙක් නේ කියලයි. පොලීසියට බැඳිලා දිගටම ඉගෙනගන්න. එතකොට තවත් ඉදිරියට යන්න පුළුවන් වෙයි කියලත් කිව්වා. මට ලොකු විශ්වාසයක් තියනවා පොලීසියේ රස්සාව මට හරි යයි කියලා.'' බලාපොරොත්තු දල්වාගෙන කතා කළ ඔහු තවත් බොහෝ දේ කීවේය. කතා බහ අතරේ මම ඔහුගෙන් විමසා සිටියේ, දෙමළ සමාජය තුළ කාලයක් තිබුණා නේද දෙමළ අය පොලීසියට හමුදාවට බැඳෙන එක වැරදියි කියන අදහසක්.
''දෙමළ සමාජය තුළ එහෙම ආකල්පයක් නෑ. ඒ සේරම දේවල් දෙමළ දේශපාලනඥයන්ගේ අදහස්. සිංහල දෙමළ කියලා භේදයක් ඇති කළේත් දෙමළ අය හමුදාවට පොලීසියට යන්න හොඳ නෑ කිව්වේත්, උතුරෙන් හමුදාව යවන්න ඕනේ කිව්වෙත්, සිංහල අයට උතුර අයිති නෑ කිව්වෙත් දෙමළ සමාජය නෙමෙයි, දෙමළ දේශපාලනඥයෝ.
ඒ අයගේ දේශපාලන වුවමනාවට දෙමළ මිනිස්සු ලවා එහෙම කියෙව්වා. ඒකයි වැරැද්ද. දකුණේ දේශපාලනය කරන අයත් ඊට වග කියන්න ඕනෑ. දේශපාලනය කියලා සමහර අය කරන්නේ ජාති බේද ආගම් බේද වපුරන එක. මිනිස්සු හැමදාම රැවටෙනවා.
දැන් පත්තර බලනකොට තේරෙනවනේ දකුණේ මිනිස්සුන්ට හොඳයි කියලා හිතෙන දේශපාලනඥයෙක් නැහැ කියලා. ඒ දේමයි උතුරට වෙලා තියෙන්නෙත්. ජනතාව ගැන හිතන ජනතාවට සේවය කරන දේශපාලනඥයන් දැන් කොයි පැත්තකවත් නැහැ.
මම ඉන්න ගමට අල්ලපු ගමේ තරුණියක් යුද හමුදාවේ සේවය කරනවා. එයා එක්ක කොල්ලෙක් යාළු වෙන්න හදනවා. කෙල්ල කැමති නැහැ. කොල්ලගේ පවුලේ අය කැමතිත් නෑ. කොල්ලගේ පවුලේ අය අකැමති ඒ තරුණිය හමුදාවේ වැඩ කරන නිසයි.
අන්තිමේදී පිරිසක් රෑ ගෙදරට පැනලා කෙල්ලට ගැහුවා. ඒකට හරස් වුණු ඒ තරුණියගේ මල්ලිටත් ගැහුවා. අවසානේදී දෙන්නම රෝහල් ගත කළා.
ඒ විදිහට හිතන අයත් ඉන්නවා. ඒ අයට එහෙම හිතන්න ඉගැන්නුවේ දෙමළ දේශපාලනඥයෝ. කවදා හරි උතුරේ බිහිවෙන්න ඕනේ පරණ අදහස් තියන දේශපාලනඥයන් නෙමෙයි. අලුතෙන් හිතන අලුත් අදහස් තියන පරම්පරාවක්. ''
උතුරු නඟෙනහිර පළාත්වලට දෙමළ ජාතික පොලිස් නිලධාරීන් හා නිලධාරිනියන් අටසිය පනහක් බඳවාගැනීමට පොලිස් දෙපාර්තමේන්තුව සැලසුම් කොට තිබේ.
යාපනයේ පොලිස් ප්‍රජා ඒකකය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එස්.ගණේෂනාදන් මහතා කියා සිටියේ මේ දිනවල එම කටයුතු සිදු වෙමින් පවතින බවයි.
''උතුරු පළාතේ වැඩි වශයෙන්ම සිටින්නේ දෙමළ ජනතාවයි. ඔවුන්ගේ ප්‍රශ්න ඉතාම විශාලයි. අවුරුදු තිහක්ම තිබුණු යුද්දෙත් එක්ක මේ මිනිස්සුන්ට වැඩියෙන්ම තියෙන්නේ ඉඩම් ප්‍රශ්න. ඒ ඉඩම් ප්‍රශ්නවලට පැමිණිලි දාන්න පොලීසියට ඇවිත් කියන කතාවල් දෙමළ අයටවත් තේරෙන්නේ නැහැ. මෙතැන තියෙන්නේ භාෂා ප්රශ්නය වගේම ප්රශ්නයේ තිබෙන සංකීර්ණකමයි.
උතුරේ පොලීසිවලට පැමිණිලි දාන්න දෙමළ ජනතාව ආවාමත් ඒ පැමිණිලි විභාග කරන්නත් ගියාමත් භාෂා ප්රශ්නය ගොඩාක් දුරට බලපානවා. සිංහල පොලිස් නිලධාරියාට දෙමළ බැහැ. එන දෙමළ මනුස්සයට සිංහල බැහැ. අතින් පයින් කතා කරලා මේ ප්‍රශ්න විසඳන්න බැහැ. කාලයක්ම ඒවා කරගෙන යන්නේ පරිවර්තකයන් යොදාගෙනයි. හොඳ පරිවර්තකයන් නැති වුණාම ඒ අය කියන දේ නෙමෙයි අනෙක් පැත්තට කියන්නේ. ඊට පස්සේ ඔක්කොම කණපිට හැරෙනවා.
මේ නිසා තමයි උතුරු නැගෙනහිර පළාත්වල සේවය කරන්න දෙමළ ජාතික පොලිස් නිලධාරීන් හා නිලධාරිනියන් බඳවාගැනීම සිදු කරමින් තිබෙන්නේ''
උතුරේ කාන්තා සංවිධාන බරපතළ චෝදනාවක් එල්ල කරයි. ඔවුන් කියා සිටින්නේ උතුරේ ස්ත්‍රී දූෂකයන් බොහෝ දෙනෙක් අධිකරණයේදී නිදහස ලබාගන්නේ පොලිසියේ පැමිණිලි හා ප්‍රකාශ පරස්පර වීම නිසා බවයි.
''තරුණියන් ලිංගික අතවරවලට ලක් වී පොලීසියට ගියාම භාෂා ප්රශ්නය නිසා ඔවුන් තවත් අසරණ වෙනවා. රහසිගතව පැමිණිල්ලක් කරන්න බැහැ. මේ කතාවම පොලීසියම දැන ගන්නවා. එයින් ඒ තරුණියන්ට ලැජ්ජාවක් ඇති වෙන්නේ.
පැමිණිල්ල ලියන්නේ සිංහල ජාතික පිරිමි පොලිස් නිලධාරියෙක්. ඔහුට භාෂා පරිවර්තයකු ඕනේ වෙනවා. නමුත් කියන දේ හරියට ලියවෙන්නේ නෑ. අධිකරණයට ගියාම සාක්කි පරස්පරයි. ප්‍රකාශ එකිනෙකට වෙනස් වෙලා. නීතිඥ මහත්වරුන් විවිධ තර්ක ඉදිරිපත් කරලා සැකකරුවන් නිදහස් කරගන්නවා. දෙමළ භාෂාවෙන් කටයුතු කරන්න පුළුවන් අය ඉන්නවා නම් එහෙම වෙන්නේ නෑ.
වවුනියාවේ පාවක්කුලමේ කේ.සුලක්ෂණා ද පොලීසියට එක් වීම සඳහා සම්මුඛ පරීක්ෂණවලට පැමිණි තරුණියකි. ඇයගේ අදහස වූයේ ඕනෑම වෘත්තියකට ජාතිය අදාළ නොවන බවයි.
''ඒ ගමේ සිංහල දෙමළ මිනිස්සු එකට ඉන්නේ අවුරුදු ගානකට ඉස්සර වෙලා ඉඳලයි. ඒක නිසා මට දෙමළ වගේම සිංහලත් හොඳට පුළුවනි.
ග්‍රාම සේවක මහත්තයා කිව්වා ඔන්න කට්ටිය පොලීසියට ගන්නවා ඔයත් ඒකට දාන්න කියලා. අම්මා අකැමති වුණා. රෑ වැඩ කරන්න වෙනවා. මළමිනී මුර කරන්න වෙනවා කියලා. අයියා කිව්වා මිනිස්සු එව්වා කරන්න පුරුදු වෙන්න ඕනේ කියලා. අම්මා ඊට පස්සේ මොනවත් කිව්වේ නැහැ.
මම සම්මුඛ පරීක්ෂණයට මුහුණ දුන්නේ සිංහල භාෂාවෙන් . ඒ අය මගේ ඉල්ලුම් පත්තරේ කීප සැරයක් බැලුවා. ඊට පස්සේ ඇහුවා අම්මාද සිංහල තාත්තාද සිංහල කියලා. මම කිව්වා දෙන්නම දෙමළ මට වගේම පවුලේ ඔක්කෝටම සිංහල පුළුවන් කියලා.
ඒ අය කතා කළ හැටියට මට කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා මට හිතුණා. රස්සාව හරි යයි. මේ රස්සාවට මට කලින් ලොකූ ආශාවක් තිබුණා. ඒත් හැමෝම පොලීසියේ අයට බණින නිසා ඒක එපා වෙලා ගියා. ඊට පස්සේ හමුදාවට බැඳෙන්න හිතුණා. මගේ යෙහෙළියක් ඉන්නවා හමුදාවට බැඳිලා.
එයාගෙන් ඇහුවම පුහුණුව තමයි අමාරු අනෙක් එව්වා ලේසියි කිව්වා. ඒ අදහසත් අත ඇරලා ඉන්නකොට තමයි ග්‍රාමසේවක මහත්තයා පොලිසියට ගන්න විස්තරේ කිව්වේ. මම හරි කැමැත්තෙන් ඉන්නවා පොලීසියේ රස්සාවට එන්න.
අපි ඉස්පිරිතාලෙට ගිහින් බෙහෙත් ගන්නකොට දොස්තර මහත්තයා මොන ජාතියෙද කියලා අහන්නේ නැහැ. සිංහල දෙමළ හරි මුස්ලිම් හරි බෙහෙත් දුන්නම සනීප වෙනවා නම් අපි ආයෙත් යනවා. ඒක තමයි අවංක සේවය. ඉතින් මේ හැම රස්සාවක්ම එහෙම වෙන්න ඕනේ''
අපට පෙනී යන්නේ උතුරේ දෙමළ දේශපාලනඥයන් ජාතිවාදය හා ආගම්වාදය පතුරුවමින් එක් එක් ජන කොටස් භේද බින්න කිරීමට උත්සහ කළත් වත්මන් පරම්පරාව ඊට වඩා අඩියක් හෝ පෙරට තබා තිබෙන බවයි.