බුදු සසුන බැබළවූ රසවත්තු | සිළුමිණ

බුදු සසුන බැබළවූ රසවත්තු

ආචාර්ය දිල්ශාන් මනෝජ් රාජපක්ෂ

කථිකාචාර්ය, බෞද්ධ දර්ශනය අධ්‍යයන අංශය,

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය.

 

ප්‍රඥාවට ඇති ළැදි බව යන අදහස මූලික කොටගෙන ක්‍රියාත්මක දර්ශන විෂයය (Philosophy) ඉතා පුළුල් හා සංකීර්ණ බවකින් යුක්ත වන අතර දර්ශනය විෂය ක්ෂේත්‍රයේ උප අංශ ගණනාවක් තිබේ.

 

ඒවා නම්,

1. සෞන්දර්යය විද්‍යාව (Aesthetics)

2. ඥාන විභාගය (Epistemology)

3. සදාචාර දර්ශනය හෙවත් ආචාර ධර්මය

(Moral Philosohy or Ethics)

4. තර්ක ශාස්ත්‍රය (Logic)

5. අධිභෞතිකවාදය හෙවත් පාරභෞතිකවාදය (Metaphysics)

6. ලෝක විභාගය (Cosmology) යනාදිය යි.

 

ඒ අනුව සෞන්දර්යය විද්‍යාව හෙවත් කලා රාසාස්වාදය වනාහි දර්ශනය නම් ප්‍රධාන විෂය ක්ෂේත්‍රය යටතේ අවධාරණය කෙරෙන එක් විෂය ක්ෂේත්‍රයක් වන අතර එහි ද තේමාව වන්නේ ග්‍රීකයන් විසින් දර්ශනය නම් යෙදුමෙන් අදහස් කරන ලද පදගත අරුත අනුව දිවෙන ප්‍රඥාව ගවේෂණය ම වේ.

සුන්දර දේ ඇගයීමට ඇති හැකියාව සෞන්දර්ය රසාස්වාදය යි. සොබා දහම හා රමණීයත්වය ආශ්වාදය කිරීම සෞන්දර්ය රසාස්වාදය යනුවෙන් පිළිගන්නා අතර සෞන්දර්ය රසිකත්වය පිළිබඳ උනන්දු දාර්ශනිකයාගේ කාර්යයභාරය වන්නේ සෞන්දර්ය රසිකත්වය පිළිබඳ ප්‍රශ්නකරමින් සෞන්දර්ය රසාස්වාදයේ විෂය පථය පෝෂණය කිරීම යි.

සංගීතය, නෘත්‍යය, වාද්‍යය, ගායනය සාහිත්‍යය, කාව්‍යය, කැටයම්, මූර්ති ආදි විවිධ කලා මාධ්‍යය සෞන්දර්ය විෂය යටතේ ගැනේ. ක්‍රිස්තු පූර්ව 6 වන සියවසයේදී භාරතීය සමාජයේ පහළ වූ බුදුදහම එදා මෙදා තුර පොදු ජනයා අතර ජනප්‍රිය වී ඇත්තේ මෙලොවට හා පරලොවට යන දෙලොවට ම අදාළ වන, එසේ ම එම අදාළ වීම අර්ථවත් කරගැනීම සඳහා ජීවිතයෙන් ක්‍රියාත්මක කළ හැකි ධර්මස්කන්ධයක් අන්තර්ගත විශිෂ්ට දහමකි.

බුදුදහම වූ කලී හුදු විශ්වාස පද්ධතියක් හෝ ඇදහිලි සමුහයක් හෝ නොව, ක්‍රියාත්මක කිරීම සඳහා වන ක්‍රියාකාරකම් සමුදායකි. සත්ත්වයාගේ මුලික ගැටලුව ලෙස සලකනු ලැබු දුකත්, එය ඇති වීමේ හේතුව, එය නැති කිරීම හා එසේ කිරීමේ මාර්ගය යන මේ සතර කරුණු සමස්ත බෞද්ධ චින්තනයෙහි හරය සේ සැලකිය හැකිය.

 

කලා රසාස්වාදය පිළිබඳ

බෞද්ධ චින්තනයක් සාකච්ඡා කළ හැකි ද?

බුදුසමය මිනිසාගේ කලා කෞශල්‍යය හෝ සෞන්දර්ය ඥානය හෝ අගය නො කරතියි වැරැදි මතයක් බොහෝදෙනා තුළ පවතියි. ඔවුන් එසේ සිතන්නේ බුදුසමයෙහි ඉගැන්වෙන අනිත්‍ය, දුක්ඛ හා අනාත්ම පිළිබඳ සංකල්ප පිළිගත් විට සෞන්දර්ය විෂයෙහි උද්‍යෝගයක් ඇති විය නො හැකි බව සිතීමෙනි. බෞද්ධ උභයාර්ථ ප්‍රතිපදාව නිෂේධනය කරන්නට විවේචන එල්ල වූයේ මෑත භාගයේම පමණක් නොවේ. බුදුරදුන් ජීවමාන සමයේ පටන්ම මෙබඳු විවේචන නොයෙකුත් ආකාරයෙන් ඉදිරිපත් වූ අතර කලා රසාස්වාදය පිළිබඳ බෞද්ධ චින්තනයට ද ප්‍රබල පහරක් වූ බවට එම නිදසුන් දෙස් දෙයි.

“අපුත්තකතාය පටිපන්නො සමණො ගොතමො වේධබ්‍යාධ පටිපන්නො සමණො ගොතමො කුලුපච්ඡේදාය පටිපන්නො සමණො ගොතමො ඉදානි තෙන ජටිලස්සං පබ්බාජිතං....”(මහාවග්ගපාලි. I මහා බන්ධකය)

ශ්‍රමණ ගෞතමයන් දරුවන් නැති වීම පිණිස, වැන්දඹුවන් පිණිස, කුල නැසීම පිණිස, ජටිලයන් පැවිදි කරන බව මෙහිදී බුදුන්ට නැඟෙන ප්‍රධාන චෝදනාවකි. මෙහි ප්‍රධාන අදහස නම් බුදු දහම පුද්ගලයා ලෞකික ජීවිතයෙන් ඉවත් කරන සමාජ විරෝධී දහමක් බව නොවේද?. එහෙත් එබඳු විවේචන කෙරේ බුදුරදුන් එතරම් සැලකිල්ලක් දක්වන ලද බවක් නොපෙනේ. පෙර අපරදෙදිග ඇතැම් විද්වතුන්ට අනුව බුදු සමය වනාහී උභයාර්ථ සාධනයේ දී අසමත් බුදු සමයේ සාමාජිකයන් සුළු පිරිසක් වන භික්ෂූන්ට පමණක් විමුක්තිය උදා කරදෙන දහමකි. විමුක්ති සාධනය පිණිස ගිහියාට කළ හැකි එකම කටයුත්ත දන්දීමයි.

ඒ අනුව ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇතුළු සියලුම බුදු සමයේ එන මූලික ඉගැන්වීම් හුදෙක් භික්ෂුව උදෙසා කළ ඉගැන්වීම් ය. ඒ හැර තෘප්තිමත් ජීවිතයක් ගත කරමින් ධාර්මික කලා රසාස්වාදයක් ගොඩනංවා ගැනීමට නො හැකි ය.

බුදු දහම සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් ගෙනහැර දක්වන විවේචනයක් නම් එය පුද්ගලයාගේ පරලොව හා පමණක් සම්බන්ධ වූ මෙලොව ජීවිතයට අදාළ නොවන ඉගැන්වීමක් බවය. නූතන සමාජ විද්‍යාඥයෙකුලෙස ගැනෙන මැක්ස් වේබර් සිය, “ආගමේ සමාජ විද්‍යාව” හා “භාරතීය සමය” (The religious of india) නම් ග්‍රන්ථවලදී ගෙනහැර දක්වන්නේ බුදු සමය වූ කලී අතිශයින් ආත්මාර්ථකාමී, සමාජ භාවයන් ප්‍රතික්ෂේප කරන, විමුක්තිය හුදු තනි පුද්ගලයෙකුගේ කාර්යයක් බවට පත් කොට ඇති දහමක් වන බවය.

සෞන්දර්ය රසාස්වාදය පිළිබඳ බෞද්ධ චින්තනයට ප්‍රතිවිරුද්ධ මතයක් ගෙනහැර දක්වන තවත් විද්වතෙකු ලෙස ආනන්ද කුමාරස්වාමි හඳුනාගත හැකි ය. බුදු සමය වූ කලී හුදෙක් දුක මත පිහිටන සැපය හා කලාව ප්‍රලාපයක් බවට සලකන දහමක් බව එතුමා “The Dance of Shiva” නම් ග්‍රන්ථයේ සඳහන් කරන්නේ මෙසේය.

“එතුමන් විසින් භික්ෂූ (සිඟා යන) සමාජයක් පිහිටුවන ලදී. මේ සමාජය ශ්‍රී ලංකාවේ හා බුරුමයේ අද දක්වා ගෞරවාර්භ සම්ප්‍රදායක් පවත්වාගෙන යයි. එතුමා සියලුම අයුතු උග්‍ර තපස් විධි පිළිකෙව් කළ නමුත් තරමක් දුෂ්කර සංවර ජීවිතයක් ගත කරනු පිණිස අතිශයින් බුද්ධිමත් ශ්‍රේෂ්ඨ මිනිසුන් හැකි තරම් විශාල පිරිසක් ලෝකයෙන් බැහැර කරගැනීමට උත්සාහ කළේ ය. ස්ත්‍රීන් ද සියලුම කලා (සංගීත හා නාට්‍ය වැනි) ද මිනිසුන් විසින් මිදී යෑමට උත්සාහ කළ යුතු මුලපුඬු (උගුල්) ලෙස සැලකීමට එතුමාට සිදු විය. ජීවිතයේ එකම අන්තය නිර්වාණය යැයි එතුමා ප්‍රකාශ කළේ ය. ඒ මතය සදාචාර ජීවිතය (ධර්ම), ධනය රැස් කිරීම (අර්ථ), ආශා සංසිඳවාගැනීම (කාම), මිදීම කරා යාම (මෝක්ෂ) යන ජීවිතයේ සතරාකාර අන්ත පිළිබඳ හින්දු සංකල්පයට විසදෘශ්‍ය ය.”

(කුමාරස්වාමි, කේ. ආනන්ද., ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ කලාශිල්ප, පරි:එච්. එම්. සෝමරත්න ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයකි. 1993, පි. 14)

කුමාරස්වාමි මහතාට අනුව නිර්වාණය ද අන්තයකි. ලෝකයෙන් බැහැර වීම බුදු දහමේ ඉගැන්වීමයි. එබඳු ආකාරයේ දෘෂ්ටියකට එතුමා පැමිණ ඇත්තේ හින්දූන්ගෙන් සතර පරමාර්ථ අවධානයට ගෙන ය. එහෙත් බ්‍රාහ්මණික හින්දූන් පුද්ගලයෙකුට අර්ථ, ධර්ම, කාම, මෝක්ෂ යන සතර පරමාර්ථවලට නිශ්චිත වයස් සීමාවක් හඳුන්වා දුන්න ද (ආශ්‍රම ධර්ම) බුදු සමය තුළදී මෙලොව පරලොව විමුක්තිය සාක්ෂාත් කරගනු වස් එබඳු සීමා පනවා නැති බව අවධාරණය කළ යුතුය.

සර්ව ශුභවාදය හෝ අශුභවාදයෙන් බුදු සමයට විවේචන ඉදිරිත් වූයේ මෑත පමණක් නො වන බව අංගුත්තර නිකායේ සීහ සූත්‍රයෙන් ද පෙනේ. එබැවින් “බුදුන් වදාළ ධර්මය” නම් ග්‍රන්ථයේ දී වල්පොළ රාහුල හිමියෝ ද, බුදු සමයට ඉදිරිපත් වී ඇති එබඳු විවේචන ප්‍රතික්ෂ්ප කරති.

“බුද්ධ ධර්ය ශුභවාදී ද නොවේ. අශුභවාදී ද නොවේ. ජීවිතයත්, ලෝකයත් ඇති සැටියෙන්ම (යථාභූතං) දක්නා හෙයින් එයට යථාර්ථවාදී යැයි කිව හැකි ය. මිනිසා බොරුවෙන් නළවා මායා ලෝකයක සැතැප්පවීමක් හෝ බොරු බියවලින් හා පව්වලින් තැතිගැන්මක් හෝ බුද්ධ ධර්මයේ නැත්තේ ය. මිනිසා කවරෙක් ද?, ඔහු වටා පිහිටි ලෝකය කුමක් ද? යන්න තතු පරිද්දෙන් නොවලහා කියා දෙන බුද්ධ ධර්මය සැබෑ නිදහසත්, සතුටත්, සැනසීමත් පිළිබඳ මාර්ගය කියා දෙයි.”

අන්තවාදීත්වයෙන් මිදෙන බුදු දහම මෙලොව හා ආධ්‍යාත්මික යන අංශ දෙකම අවධාරණය කරයි. අන්ධ (ද්විචක්ඛු) සූත්‍රයේ දී පෙන්වා දෙන්නේ ලෝකයේ මිනිසුන් තිදෙනෙකු වන බව යි. එනම් අන්ධයා, එකැස් කණා, දෑසම පෙනෙන්නා ය. (අංගුත්තරනිකාය,1, අන්ධ (ද්විචක්ඛු) සූත්‍රය,) මිනිසා සතු විය යුතු එම දෑස නම් නොලද භෝග ලබාගැනීමට සහ ලද භෝග වැඩි දියුණු කරගැනීමට ඇති නුවණ සහ කුසල් - අකුසල්, වරද - නිවැරදි, හීන - ප්‍රණීත, පව - පින දක්නා නුවණයි. අන්ධයා සහ එකැස් කණා යන දෙදෙනාට එකී උභය අංශ වර්ධනය කරගත නොහැකි බැවින් ඔවුන් බුදු සමයෙන් ප්‍රතික්ෂේප වේ. ඒ අනුව සුන්දරත්වය පිළිබඳ දාර්ශනික විග්‍රහයෙහි හැටියට එය නිරවද්‍ය ලෙස හඳුනාගත හැක්කේ බෞද්ධයනට බඳු විරාගයට නැඹුරු දෘෂ්ටියක් ඇත්තන්ට පමණ ය. රතියෙන් තොරව ප්‍රියංකරත්වය හඳුනාගැනීම බෞද්ධ සෞන්දර්ය සංකල්පවල මූලික ප්‍රමේය යි.

 

සෞන්දර්ය රසාස්වාදය පිළිබඳ

බෞද්ධ චින්තනය

ලෞකික ජීවිතයේ කලා මාධ්‍යයන්ගෙන් අපේක්ෂා කරන්නේ ඉන්දීය කුල්මත් කරවීම යි. බුදුසමය එබඳු හුදෙක් ලෞකික ආශ්වාදය මත පදනම් වූ සෞන්දර්ය අගය නො කරයි. ගීතය හැඬීමක් ලෙසත් නෘත්‍යය උමතු වූවෙකුගේ ක්‍රියාවක් ලෙසත් දක්වා ඇත්තේ මෙම පදනමෙනි. එම අදහස ම තවදුරටත් ලෝ වැඩ සඟරාවේ දී දක්වා ඇත්තේ මෙසේ ය.

ගෙවන සසර දුක් බුදු බණ නාදා

කුමන නැටුම් කෙළි කවට සිනාදා

එසේ ම සෞන්දර්යාත්මක චින්තනය නැති ව බුදුසමයෙන් නිසිඵල නෙළාගත නො හැකි අතර බුදුසමය පදනම් වී ඇත්තේ සෞන්දර්යාත්මක චින්තනය මතයි. සෞන්දර්ය චින්තනය නිර්වාණය නැමති ප්‍රඥාමය පාරප්‍රාප්ත කෙළවරකට උපයෝගීතා පදනමක් ඔස්සේ විදහාපාන බුදුසමය ආධ්‍යාත්මික රසාඥතාව හෙවත් ප්‍රියංකරභාවය අවදි කිරීමේ වැදගත්කම අවධාරණය කරයි. සෞන්දර්ය රසාස්වාදය පිළිබඳ බෞද්ධ චින්තනය අංශ දෙකක් ඔස්සේ විහිදී යයි.

1. භෞතික ලෝකයේ පවතින සෞන්දර්ය

2. ආධ්‍යාත්මික සෞන්දර්ය

 

01. භෞතික ලෝකයේ පවතින සෞන්දර්ය

බුද්ධත්වය වනාහි මානසික ප්‍රියංකරභාවයෙහි හෙවත් සෞන්දර්යත්වයෙහි කූටප්‍රාප්තිය යි. බුදුන්වහන්සේ බුද්ධත්වය පිණිස උපකාරී කරගත්තේ ස්වභාවික පරිසරය වන අතර බුද්ධත්වයට ප්‍රථම තවුස් දිවිය ගත කිරීම, පැවිදි ජීවිතය ගතකිරීම, සියලු කෙලෙසුන් නසා සම්බුද්ධත්වයට පත් වීම, බුද්ධත්වයෙන් අනතුරු ව විවේක සුවයෙන් සිටීමට තෝරාගත්තේ චමත්කාර පරිසරය යි.

විවිධ අවස්ථාවල දී තමන් වහන්සේ බුද්ධත්වය පිණිස උපකාරී කරගත් පරිසරය වර්ණනාවට ද නඟා ඇත. උත්පත්තිය, බුද්ධත්වය හා පරිනිර්වාණය යන බුද්ධ චරිතයේ සුවිශේෂ අවස්ථා සියල්ල වී ඇත්තේ ස්වභාවික පරිසරයේ බැවින් පරිසර හිතකාමීත්වය ඇගයූ ශාස්තෘවරුන් අතර බුදුන්වහන්සේ විශේෂ වෙති.

එසේ ම බුදුරදුන් රමණීය භූමිභාගවල පැවැති පෙර බුදුවරුන්ගේ චෛත්‍ය නැරඹීම ද සිදු කර ඇත. එහි දී බුදුරදුන් විසල් පුරය, උදේන, ගෝතමක, සත්තම්බක, බහුපුත්තක, චාපාල වැනි චෛත්‍ය ස්ථාන දකිමින් අවට පරිසරයන්හි චමත්කාරය ද වර්ණාවට නංවා ඇත. (දීඝනිකාය 2, මහාපරිනිබ්බාන සූත්‍රය, ශ්‍රී ලංකා ධර්මචක්‍ර ළමා පදනම, 2006, පි. 160

“රමණීයං ආනන්ද වෙසාලිං, උදේන චෙතියං, රමණියං ගොතමක චෙතියං, රමණියං සත්තම්බක චෙතියං, රමණියං බහුපුත්තක චෙතියං, රමණියං චාපාල චෙතියං”)

 

02. ආධ්‍යාත්මික සෞන්දර්ය

බුදුරදුන් ද විමුක්තිය අත්පත් කරගත් මහරහතන් වහනසේ ද විවිධ අවස්ථාවල දී තමන් වහන්සේ අත්විඳින ආධ්‍යාත්මික සුවය ද ආධ්‍යාත්මික සුවයෙන් අත්විඳින්නා වූ පාරිසරික චමත්කාරය ද ප්‍රකාශ කොට ඇති අවස්ථාවලට නිදසුන් පාලි ත්‍රිපිටකයෙන් හමු වේ.

“රමණියානි අරඤ්ඤානි - යත්ථ න රමතී මනො

වීතරාගො රමිස්සන්ති - න තෙ කාමගවෙසිනො”

රමණීය පරිසරයෙහි සෞන්දර්ය අත්විඳීමේ දී කාමභෝගී ගිහියා හා මඟ ඵලලාභීන් කටයුතු කරන්නේ එක හා සමාන ව නොවේ. පාරිසරික රමණීයත්වය හා සෞන්දර්ය අත්විඳීමේ දී මමායනයෙන් යුතුව කටයුතු කරන ගිහියා පාරිසරයට තර්ජනීය බලපෑම් සිදු කරයි. පෘථග්ජන පුද්ගයා කටයුතු කරන්නේ කෙලෙස් පදනම් කරගෙන වන අතර තණ්හාවේ දාසයෙකුව සම්පත් පිළිබඳ තරගයක නිරත වෙමින් දිය සිඳීගිය විලෙක මසුන් එකිනෙකා අබිබවා යන්නේ යම් සේ ද ඒ හා සමාන ව හැසිරේ. වනය විනාශ නො කිරිමටත් කෙලෙස් නැමැති වනය විනාශ කිරීමටත් (වනං ඡින්දථ මා රුක්ඛං) බුදුරදුන් උපදෙස් දී ඇත්තේ එබැවිනි.

ස්වභාවික සුන්දරත්වය ආධ්‍යාත්මික ව රසවින්දනයේ දී බෞද්ධ පදනම වන්නේ ආශ්වාදය (අස්සාද) කොට එය තමන් සතු කරගැනීම නොවේ. භෞතික, පොදු වස්තූන් ආත්මාර්ථකාමීව ග්‍රහණය කරගැනීමට යෑමෙන් පරිසර පද්ධතිමය ගැටලු පමණක් නොව සමාජ ගැටලු ද ඇති වන ආකාරය දීඝනිකායේ අග්ගඤ්ඤ සූත්‍රයේ දී පැහැදිලි කරයි. එබැවින් ස්වභාවික සුන්දරත්වය ආධ්‍යාත්මිකව රසවින්දනයේ දී බුදුදහම අනුදැන වදාළ පිළිවෙත වන්නේ ආශ්වාද කිරීම, එය උපාදානය කිරීමේ ආදීනව දැකීම (ආදීනව) හා අත්හැරීම (නිස්සරණ) යි.

ස්වභාවික සංසිද්ධි, ක්‍රියාකාරකම් හා පාරිසරික චමත්කාර ආධාත්මිකව අත්විඳීම පිළිබඳ උදාහරණ රාශියක් පෙළෙහි දැක්වේ. ඒ අතරින් ථෙරගාථාපාලියේ සප්පක ථෙරගාථා විශේෂ වේ. එහි දී වැසිබර කලෙක අජකරණී ගඟ අසබඩ සුන්දර කඳු මඳුනක වැඩ සිටි සප්පක හිමිගේ අවධානය ගොදුරු සොයමින් ගිය කොකුන් කළු වලාවක් දැක කැදලි කරා ගිය ආකාරයට ද නදිය අවට මලින් හා ඵලයෙන් ගහන තුරු පෙළට ද යොමු වූ අපුරුවට වර්ණනාවට ලක් වී ඇත.

 

වැහිවලා දැක බියෙන් තැතිගත්

විදාලූ සුදු පියාගත් ඇති කෙකිණියෝ

ගොදුරු බිම් හැර දමමි‍නේ

සැඟවෙන්නට තැන් සොයමින්

නවාතැන් වෙත පලායත්

නදිය අජකරණි

වේය මා හට රමණි

මා වෙසෙන ලෙන පිටිපස

අජකරණියේ දෙපස ඟංඉවුරේ

ඵල බර දඹ ගස් සමූහය

සියල්ලන්ගේ සිත් පිනවන්නේ ම ය.

සර්ප බිය දුරු වූ මැඬියෝ

ඉමිහිරි නද දෙති.

ඒ සුන්දර කඳු මුදුනත්

නදිය අජකරණියත්

අතහැර වාසය කිරීමට

කාලය නොවෙයි.

සැක සංකා බිය රහිත

සිත් පිනවන ඒ අජකරණිය

හරි රමණිය ය.

එමෙන් ම ථෙරගාථාපාලියේ එන කාලුදායි ථෙරගාථාවෙන් ප්‍රකට වන්නේ කාලුදායි තෙරණුවන් පවසන ඍතුවල සෞන්දර්යාත්මක වැණුමකි.

“බුදුරජාණන් වහන්ස, දැන් ගස් ගිනි පුළිඟු මෙන් රත් පැහැ ගත් මල් සහ දලු ඇත්තේ පැරණි කොළ හැලී ගොස් ඵල හටගන්නා වාරයට ළං වී සිටී. ඒවා ගිනි මෙන් දිළිසේ. මහාවීරයාණෙනි, ශාක්‍ය වංශිකයන්ට හිත සුව පිණිස කිඹුල්වත් පුරයට වඩින්නට දැන් කාලය පැමිණ ඇත.” වැස්ස නැමැති ස්වභාව ධර්මයේ අපුරු ප්‍රතිඵලය භික්ෂූන් වහන්සේ නිවනට කමටහනක් කරගත් අවස්ථා ද තිබේ.

ගෝධිත තෙරණුවන් වැස්ස මිහිරි ගීතයකට සමාන කර ඇත. ගෝධිය තෙරණුවන් මෙන්ම වල්ලිය, සුබාහු, උත්තිය තෙරවරුන් ද කායගතාසතිය වඩන හෙයින් මැනවින් ආධ්‍යාත්මික කුටිය කෙලෙස් වැස්සෙන් නො තෙමෙන්නාක් මෙන් මැනවින් සෙවිලි කර ඇති හෙයින් කොතෙක් වැස්ස ද බාහිර හා අභ්‍යන්තර වශයෙන් නො තෙමී සිටින බව තෘප්තිමත් ව ප්‍රකාශ කරන අයුරු එමඟින් පැහැදිලි වේ.

“වැස්ස සොඳුරු ගීතයකි. වසිද්දී මාගේ කුටිය මැනවින් සෙවණ කර ඇත. ඇතුළත සුවපහසු ය. මාගේ සිත විසිරී නොයයි. එය නිවන් අරමුණෙහි මැනවින් පිහිටා ඇත. ඉදින් වැස්ස වහින්න.”

(ථෙර-ථෙරිගාථාපාලිය, ගොධික ථෙරගාථා, එම, පි.24.“වස්සති දෙවො තථා සුගීතං - ඡන්නා මෙ කුටිකා සුඛා නිවාතා - චිත්තං සුසමාහිතංච මය්හං - අථ චෙ පත්ථයසී පවස්ස දෙව”)

පෙළෙහි ප්‍රකට එම භෞතික ලෝකයේ පවතින සෞන්දර්ය හා ආධ්‍යාත්මික සෞන්දර්ය පිළිබඳ කරුණු බුදුන් ප්‍රමුඛ මහා තෙරවරුන්ගේ හා තෙරණිවරුන්ගේ ප්‍රකාශ මතු කරන්නේ ලෝක යථාර්ථය යි. ඒ හැර ලොව දෙස කාව්‍යමය ඇසින් ම බලා කරන ලද හුදු වර්ණනා ලෙස එම උදාහරණ අර්ථකථනය කිරීම එතරම් යෝග්‍ය නොවේ. එම අදහස චූලක, සප්පක, ගිරිමානන්ද, මහාකස්සප, තාලපුට, වංගීස, ආදි රහත් තෙරවරුන්ගේ ප්‍රකාශවලන් මැනවින් විශද වේ.

සසර පිළිබඳ කලකිරී බුද්ධ ශාසනයෙහි පැවිදිව බවුන් වඩා සියලු දුක් නැති කොට නිවන් අවබෝධ කරගත් මහරහතන් වහන්සේ විරාගී දෑසින් පාරිසරික සුන්දරත්වය ඇතුළු ලෞකික ලෝකය දෙස බැලූ අයුරු උක්ත කී උදාහරණවලින් පැහැදිලි වේ.

 

බෞද්ධ සෞන්දර්ය රසාස්වාදයේ

උපයෝගීතා පදනම

මිනිසා වටා ඇති භෞතික, ජීව විද්‍යාත්මක හා සාමාජීය යන සෑම දෙයක් ම පරිසරය වන අතර ඊට භෞතික හා අභෞතික, ජීවී හා අජීවී යන සියලු අංශ අයත් වේ. මානවයා ස්වභාවිකත්වයේ එක් අංශයක් පමණක් වන අතර ස්වභාවිකත්වය වනාහි මානවයාට පමණක් නොව මුළු මහත් ජීවී-අජීවි සංහතියේ ද පැවැත්මට ඉවහල් වන්නකි. මානවයාගේ නො මනා ක්‍රියාකාරීත්වය නිසා දිනෙන් දින ස්වාභාවික පරිසරය තර්ජනයට පත් වන අතර එහි ප්‍රතිවිපාක ද අත්විඳීමට මානවයාටම සිදු වීම අතිශය බරපතළ කරුණකි.

නුවණින් යුතුව පරිසරය පරිහරණය කිරීම ස්වභාවික පරිසරයේ ද සමස්ත ජීවී-අජීවී පද්ධතිමය සංහතියේ ද යහපතට හේතු වන අතර සුදුසු පරිසරයක් සකස් කරගැනීමටත් සුදුසු පරිසරයක ජීවත් වීමටත් බුදුසමය පුද්ගලයාට උපදෙස් දෙයි.

රසවිඳීමට වුව පාරිසරික චමත්කාරය රැකගත හැක්කේ ස්වභාවිකත්වය කෙරේ මනුෂ්‍ය ක්‍රියාකාරීතවය හිතසුව වීමෙන් පමණක් ම වන අතර බුදුන් වහන්සේ පාරිසරික සෞන්දර්ය අගය කරමින් අවධාරණය කරඇත්තේ එම ස්වභාවිකත්වයේ පැවැත්ම යි. පරිසර සංරක්ෂණය පිළිබඳ බෞද්ධ ආකල්පය වෙන ම සාකච්ඡා කළ යුතු කරුණක් වුව ද සංතුටිඨිතා සංකල්පය (ලද දෙයින් සතුටු වීම) මෙහි ලා ඇගයිය යුතු වටිනා සංකල්පයක් බව ද පෙන්වා දිය යුතු යි.

Comments