මත්තේගොඩ කොල්ලකරුවන් කොටු කරගත් ජීපීඑස් මෙහෙයුම | සිළුමිණ

මත්තේගොඩ කොල්ලකරුවන් කොටු කරගත් ජීපීඑස් මෙහෙයුම

කහතුඩුව නිලධාරීන් ඇතුළු අපරාධය වළකාගැනීමට හවුල් වූ සියලු පොලිස්, හමුදා නිලධාරින්ගේ කැප වීම නොවන්නට කොල්ලකරුවන් සිදු කරන්නට අරඇන්දෙ කුමනාකාරයේ විනාශයක්ද යන්න අනුමාන කළ හැක්කෙ කාට ද? කොල්ලය වී සුළු කාලයකදී කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීමට දායක වූ සියලු නිලධාරීන් අගය කිරීම වගකිවයුත්තන්ගේ යුතුකමයි.

මත්තෙගොඩ - කිරිගම්පමුණුව ප්‍රදේශයේදී පසුගිය 29 වැනි දා රාත්‍රී වෑන් රථයක් කොල්ලකා පලාගිය දෙදෙනාගෙන් එක් අයෙකු අත්අඩංගුවට ගෙන වෑන් රථයද සොයාගැනීම රටම දන්නා පුවතකි.

වෑන් රථය කොල්ලකා පලා ගිය දෙදෙනාගෙන් බළන්ගොඩ කිරිඳිවිල විසූ 47 හැවිරිදි කෝදාගොඩගේ ප්‍රියන්ත හෙවත් ඔටුවා පලා යෑමට තැත් කිරීමේදී වෙඩි ප්‍රහාරයකට ලක් වී මරණයට පත් විය. උඩුගම්පොළ පදිංචි අයකු වන 37 හැවිරිදි සලුජ නිකෝ ශාන්ත පසුව පොලිසිය කළ ක්ෂණික මෙහෙයුමකදී අත්අඩංගුවට ගනු ලැබීය. කොල්ලකරුවන් පිළිබඳ අනාවරණය වූයේ ඔවුන් මාතර නිලේකා කොල්ලයේදී අත්අඩංගුවට ගනු ලැබ බන්ධනාගාරයේ පසු වන කොස්ගොඩ තාරකගේ සමීපතමයන් දෙදෙනෙකු බවය. කොස්ගොඩ තාරක සමඟ එක් වී ඔවුන් දෙදෙනා පසුගිය කාලයේ රටේ විවිධ පෙදෙස්වල අපරාධ රැසකටම දායක වී තිබේ. ඒ අතර මිරිහාන ප්‍රදේශයේ බැංකු කොල්ලයක්ද වේ.

ඔවුන් දෙදෙනා වෑන් රථය කොල්ලකා තවත් විනාශයක් කිරීමට අරඅඳින්නට ඇතැයි පොලිසිය සැක කරන්නේ රථයේ තිබී හමුවූ ගල්කටස් ගිනිඅවියක්, කඩු, කිණිසි සහ මිරිස් කුඩු පාර්සලය දුටු විටයි.

සිදු වීමට ගිය මහා අපරාධයක් වළකාලමින් පොලිස් ඉතිහාසයේ සුවිශේෂ සටහනක් තැබීමට හැකි වූයේ නිලධාරින් කිහිප දෙනෙකුගේ ඥානාන්විත ක්‍රියාකලාපය නිසාය. පැය එකහමාරක් වැනි කෙටි කාලයකදී කිලෝමීටර් ගණනක දුරක් ගිය වෑන් රථය පොලිස් ස්ථාන කීපයකම සහාය ඇතිව කොටු කරගැනීමට හැකි වූයේ කහතුඩුව පොලිස් නිලධාරින් කිහිප දෙනෙකු තිරය පිටුපස සිට කළ සූක්ෂ්ම මෙහෙයුම නිසායි. ඒ කතාව මෙසේ ය.

එදින එනම් විසි නව වැනිදා රාත්‍රී හතයි තිහට පමණ යතුරුපැදියක නැඟී හෙල්මටයක්ද නැතිව කහතුඩුව පොලිසියට ආ කුමාර නමැත්තා, “මගේ වෑන් එක හොරකං කරගෙන ගිහින්“යැයි හඬා වැලපුණේය.

ඔහු එසේ පවසා තිබුණේද කහතුඩුව පොලිස් ස්ථානය ඉදිරිපිටම සිටි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තුසිත වික්‍රමරත්න මහතාටමය. ක්ෂණයෙන් කුමාරගේ දුක්ගැනවිල්ල අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කමල් බණ්ඩාරට යොමු කෙරිණි. බණ්ඩාර, කොස්තාපල් (89388) ධනුෂ්කද කැටුව කුමාර සමඟ විනාඩි කීපයක් ඇතුළතදී ජීප් රථයෙන් ගොස් තිබුණේ කොල්ලය වූ ස්ථානයටයි. ඒ අතරේ පොලිස් ස්ථානාධිපතිවරයා, කොල්ලය පිළිබඳ කළුතර, පාණදුර, ගල්කිස්ස ආදි අවට පොලිස් කොට්ඨාසද දැනුවත් කෙළේය. ජීප් රථයේ යන මොහොතේදී නිලධාරින් කුමාරගෙන් විමසූවේ කුමක් වූයේද යන්නයි.

“මං කොට්ටාවේ කැබ් සර්විස් එකක වැඩ කරන්නේ... මත්තේගොඩ ඉඳලා කිරිගම්පමුණුව හරහා මොරගහහේනෙ නිවෙසට යෑමටයි ආවේ. වම් පැත්තෙ ටයර් එකේ ශබ්දයක් ආවා. නතර කරලා බැලුවා. වාහනේට නැඟලා දොර වහන්න වුණේ නෑ. මෝටර් බයික් එකක් ඇවිත් පාර හරස් කරලා නතර කළා. ඇවිත් වාහනේ ෆිනෑන්ස් ඇරියස් කියලා මාව එළියට ඇදලා දාලා එකෙක් වාහනේට නැග්ගා. කෑගැහුවොත් වෙඩි තියනවා, මරනවා කියලා තුවක්කු, පිහි වගේකුත් දික් කළා. අනිකා බයික් එකේ නැඟලා වෑන් එක පස්සෙන් ගියා.“

ඒ අතරේ කුමාර තව තවත් තොරතුරු කියයි.

“මගේ පෝන්, පර්ස් ඔක්කොම වාහනේ. ජීපීඑස් එකකුත් හයි කරලා තියෙනවා. ඒත් ඒකෙ සල්ලි ගෙවලා නෑ... ලයින් එක කපලා තියෙන්නෙ.“

ජීපීඑස් කතාව කී සැණින් කොස්තාපල් ධනුෂ්ක තම ස්මාර්ට් ජංගම දුරකතනයෙන් අන්තර්ජාලයට පිවිස අදාළ ජීපීඑස් සමාගමේ දුරකතන අංකය සොයාගත්තේය.

අංකය අනුව සමාගම ඇමැතු නිලධාරින් කුමාරට සිදු වී තිබෙන අකරතැබ්බය දැන්වූ අතර සමාගමද සම්බන්ධතාව ක්‍රියාත්මක කර දීමට කාරුණික විය. අදාළ ජීපීඑස් ඇප් එක කොස්තාපල් ධනුෂ්කගේ දුරකතනයට අප්ලෝඩ් කරගැනීමේදී ගැටලු රැසක් ඇති විය. නැවතත් සමාගමට කතාකොට ඇප් එක අප්ලෝඩ් කරගන්නා ආකාරය විමසූ විට සමාගම 'ස්ක්‍රීන් ෂොට්' මඟින් සියලු උපදෙස් ධනුෂ්කගේ දුරකතනයට එවා තිබිණි. එහෙත් නැවතත් ගැටලුවකි. ඒ ඇප් එක ක්‍රියාත්මක කිරීමට අවැසි මුරපදය කුමාරට අමතක හෙයිනි.

“කුමාරට පාස්වර්ඩ් දෙකක් තිබිලා. එකක්වත් හරියට මතක නෑ. ආයිත් සමාගමට කතා කළා. ඒකට නම් සමාගමට උදව් කරන්න අදිමදි කළා. කුමාරට එක් මුරපදයක නම්බර් හතරක් මතකයි කීවා. ඒකෙන් සමාගම විශ්වාස කරලා මුරපදය දුන්නා.“ ඒ කහතුඩුව අපරාධ අංශ ස්ථානාධිපතිවරයා කී කතාවයි.

වෑන් රථ කොල්ලය වූ ස්ථානයට විනාඩි දහයක් වැනි කාලයකදී යන විටදී ඇප්එක ක්‍රියාත්මක කරගැනීමට ධනුෂ්ක සමත් වූයේය. කොල්ලය වූ ස්ථානය නිලධාරින් හඳුනාගන්නෙ මත්තේගොඩ පොලිස් වසමට අයත් බවටයි. ඒ වන විටත් කුමාරගේ 250-4696 දරන නිල් පැහැති වෑන් රථය ගමන් කරන මාර්ගය ජීපීඑස් තාක්ෂණය ඔස්සේ හඳුනාගෙන තිබුණු හෙයින් කහතුඩුව පොලිස් ස්ථානාධිපතිවරයා සිය නිලධාරින්ට කීවේ තම වසමට අයත් නොවූවත් මෙහෙයුම එලෙසම ක්‍රියාත්මක කරන ලෙසයි. ඒ අතරේ කහතුඩුවෙන්, මත්තෙගොඩ පොලිසියද දැනුවත් කෙරිණි.

කුමාරද කැටුව කහතුඩුව පොලිසියට පැමිණි නිලධාරින් ජීපීඑස් ඔස්සේ රථය හඳුනාගන්නා විටදී අඟුරුවාතොට පොලිස් වසමේ ගමන් කරමින් තිබිණි.

ධනුෂ්ක දුරකතනය දෙසම ඇස් යොමා බලමින් වෑන් රථය ඇදෙන ඉසව්ව පවසද්දී අපරාධ අංශ ස්ථානාධිපතිවරයා ක්ෂණයෙන් අදාළ පොලිස් ස්ථාන දැනුවත් කෙළේය. අඟුරුවාතොටින් යන රථය ගැන සැණින් අඟුරුවාතොට පොලිසියද දැනුවත් කරනු ලැබීය. ඒ අතරේ කහතුඩුව නිලධාරින්ගේ මතකයට එන්නෙ, මෑතකදී කහතුඩුවේ සිට අඟුරුවාතොටට අනුයුක්ත කෙරුණු බස්නාහිර පළාත් බුද්ධි ඒකකයේ කොස්තාපල්වරයකු වන (9294) රෝහණ ගැනයි. ඔහුද පෞද්ගලිකව දැනුවත් කිරීමට කහතුඩුව අපරාධ අංශ ස්ථානාධිපතිවරයා කටයුතු කෙළේය. ඒ වනවිටත් රෝහණ, අඟුරුවාතොට දූෂණ මර්දන ඒකකයේ උපපොලිස් පරීක්ෂක දසනායක සහ එම ඒකකයේ කොස්තාපල් (91171) චාමර සමඟ යතුරුපැදි දෙකකින් වෑන් රථය පසුපස හඹා යමින් සිටියේය. ඒ, අඟුරුවාතොට ස්ථානාධිපතිවරයා දුන් නියෝග මතයි.

පසුව රෝහණගේ ජංගම දුරකතනය හා දිගින් දිගටම සම්බන්ධ වෙමින් කහතුඩුව නිලධාරින් තොරතුරු හුවමාරු කරගත්හ.

වෑන් රථය ඉන්ධන පිරවුම්හලක නතර කරන ආකාරයද ජීපීඑස් සංඥා මඟින් පෙනිණි. රථය යන ඉසව්ව ගැන පොලිසිය හඳුනාගෙන ඇති බවක් කොල්ලකරුවෝ නොදනිති. වෑන් රථයට කිලෝමීටර් දෙකක් පමණ පිටුපසින් යතුරුපැදි දෙකද ඇදෙන බව ධනුෂ්කගේ දුරකතනයේ පෙන්නුම් කෙරිණි.

එම ඉසව්වෙ ගමන්කොට වෑන් රථය පැමිණ තිබුණේ ගාලු පාරේ කළුතර නාගස්හන්දියටයි. නාගස්හන්දියෙන් වෙරළ දෙසට යන මාර්ගයේ ගමන්කොට මඳ දුරක් ගොස් රථය නතර කෙරුණ ආකාරය ජීපිඑස්හි මඟින් දිස්විණි. ඒ සියලු තොරතුරු අදාළ පොලිස් ස්ථානවලට සහ යතුරුපැදියේ සිටින රෝහණටද ලබා දෙන්නට කහතුඩුව නිලධාරීහු කටයුතු කළහ.

වෑන්රථය නැවතත් හරවා ගාලු පාරට පැමිණෙද්දී යතුරුපැදි දෙක සහ වෑන් රථය මුහුණට මුහුණ හමුවිණි. යතුරුපැදියේ නිලධාරීන් අණ කළේ රථය නතර කරන ලෙසටයි. එහෙත් එම විධාන තඹේකට නොතැකු කොල්ලකරුවන් වෑන් රථය කොළඹ දෙසට ගමන් කරන්නට වූයේ විදුලි වේගයෙනි.

තමන් පසුපස පොලිසිය හඹා එන බව දත් කොල්ලකරුවන් එතැන් සිට සෙසු වාහන පරයා ගමන් කර තිබුණේ සිහි විකල්ලෙන් මෙනි. කළුතරින් කොළඹ දෙසට ඇදෙන වෑන් රථය ගැන කහතඩුවෙන් වාද්දුව පොලිස් ස්ථානාධිපති දැනුවත් කරනු ලැබීය. වාද්දුව ස්ථානාධිපති ගාලු පාරේ ස්ථාපිත පොලිස්- හමුදා ඒකාබද්ධ මුරපොළ දැනුවත් කෙළේය. එහෙත් එම මුරපොළේ සිටි යුද හමුදා සෙබළුන්ගේ අණද නොතකා ඔවුන්ද අනතුරට පත් කරමින් කොල්ලකරුවෝ රථය පාණදුර දෙසට දිගටම ධාවනය කළහ.

ඒ අතරේ නොසිතූ දෙයක් වූයේ වැටලීමකට ගොස් පාණදුර බලා පැමිණෙමින් තිබූ වලාන දූෂණ මර්දන ඒකකයේ කැබ් රථය අසාමාන්‍ය ගමන් විලාසයක යෙදෙන වෑන් රථය දුටු හෙයිනි. කැබ් රථය වෑන් රථය ඉස්සර කොට ගොස් පින්වත්ත ඉන්ධන පිරවුම්හල අසල නතර කළේය. කෙසේ වෙතත් වෑන් රථය පැහැරගෙන යන්නක් බව කැබ් රථයේ සිටි වලාන දූෂණ මර්දන නිලධාරිහු දැන නොසිටියහ.

ඒ වන විට වාද්දුව මුරපොළේ සෙබළෙක්ද යතුරුපැදියක නැඟී වෑන් රථය පසුපසින් හඹාඑමින් සිටියේය. පින්වත්තේදී වෑන් රථය නතර කළ කොල්ලකරුවන් දෙදෙනා ඉන් බැස පලා යෑමට තැත් කිරීමේදී පිටුපසින් පැමිණි යුද හමුදා සෙබළා කොල්ලකරුවන් වළකාලීමට උත්සහා කෙළේය. එහිදී එක් කොල්ලකරුවකු ගිනිඅවියක් ගෙන සෙබළාට වෙඩි තැබීමට තැත් කරද්දී ඊට පෙර ක්‍රියාත්මක වූ සෙබළා තැබූ වෙඩි පහරින් කොල්ලකරු මරණයට පත් වූයේය. අනෙකා පලා ගොස් සැඟ වී සිටියදී අත්අඩංගුවට ගනු ලැබීය. පැය එකහමාරක පමණ කාලයක් පොලීසිය සමග කොල්ලකරුවන් කළ සෙල්ලමට “තිත“ තැබුණේ එලෙසයි.

පාණදුර දකුණ අපරාධ අංශ ස්ථානාධිපති රෝහණ සිල්වා කීවේ, කොල්ලකරුවන් දෙදෙනා රටේ නමගිය අපරාධකාරයන් බවත්, වෑන් රථයේ තිබී අත්අඩංගුවට ගනු ලැබූ අවිආයුධ අනුව ඔවුන් මහා විනාශයකට සැරැසෙන්නට ඇති බවත්ය.

මේ අතර කොල්ලකරුවන් පැමිණි යතුරුපැදිය අඟුරුවාතොට පොලිස් වසමේ දමාගොස් තිබියදී සොයාගැනුණු අතර එය මීට වසර දෙකකට පමණ පෙරදී වැලිවේරිය ප්‍රදේශයෙන් සොරාගත් එකක් බව අනාවරණය විය. කහතුඩුව නිලධාරින් පවසන්නේ තම මෙහෙයුමට සියලුම පොලිස් ස්ථානවලින් මනා සහායක් ලැබුණු බවයි. එසේම වෑන් රථයේ හිමිකරු පවසන්නේ, පොලිස් නිලධාරින් ක්ෂණිකව ක්‍රියාත්මක වී අති සාර්ථකව කළ මෙහෙයුම නොවන්නට තමා දුක් මහන්සියෙන් හම්බ කරගත් මුදලින් ගත් රථය ආයේ කිසිදා දකින්නටවත් නොලැබෙන බවය.

කොල්ලකරුවන් එදින මුලින්ම පැමිණ තිබුණේ කිරිගම්පමුණුව නිවෙසකටයි. එම නිවෙසේ සිට කා-බී විනෝද වී පසුව ඔවුන් නිවෙසින් පිටත්ව ගොස් ඇත්තේ මේ කොල්ලයට බව අනාවරණය කරගත් මත්තෙගොඩ පොලිස් ස්ථානාධිපති ගාමිණි තිලකසිරි මහතා ඇතුළු පිරිස පසුගිය 30 වැනිදා ත්‍රිවිල් රථ රියැදුරෙකු වන එම නිවෙස් හිමිකරු ද අත්අඩංගුවට ගත්හ. ඔහු පොලිසියට පවසා තිබුණේ, හෝමාගම උසාවියේදී නඩුවලට පැමිණි ‍මොහොතක දෙදෙනා හඳුනාගත් බවත් පසුව දින දෙක තුනක්ම නිවෙසට ආගිය බවත්ය. නැවතත් කොල්ලය සිදු වූ දින නිවෙසට පැමිණ මත්පැන් සාදයක් පවත්වමු යැයි කී බවත් අනතුරුව පැය කිහිපයකින් නික්ම ගිය බවයි. එහෙත් මේ වන විට පොලිසිය අනාවරණය කරගෙන ඇත්තේ කොල්ලකරුවන් දෙදෙනාට සියලු රැකවරණ ලබාදී ඇත්තේ 33 හැවිරිදි එම නිවසේ හිමිකරු බවයි.

කහතුඩුව නිලධාරීන් ඇතුළු අපරාධය වළකාගැනීමට හවුල් වූ සියලු පොලිස්, හමුදා නිලධාරින්ගේ කැප වීම නොවන්නට කොල්ලකරුවන් සිදු කරන්නට අරඇන්දේ කුමනාකාරයේ විනාශයක්ද යන්න අනුමාන කළ හැක්කේ කාට ද? කොල්ලය වී සුළු කාලයකදී කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීමට දායක වූ සියලු නිලධාරීන් අගය කිරීම වගකිව යුත්තන්ගේ යුතුකමයි.

ඡායාරූප - තුෂාර ප්‍රනාන්දු

Comments