
- මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල
මෙවර පෙරහර ආරක්ෂාව වඩාත් තහවුරු කොට තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් සංවිධානය කළා. පෙරහරේ ආරක්ෂාවට 6000ක පොලිස් නිලධාරීන් පිරිසක් සහ 2000ක යුද හමුදා භට පිරිසක් යෙදවීමට දැනටමත් කටයුතු සංවිධාන කොට තිබෙනවා. යුද, නාවික, ගුවන්, පොලිස් හා සිවිල් ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ සාකච්ඡා වට 02කදී මෙම තීරණය ගත්තේ.
ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මහෝත්සවය නිමිති කරගෙන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සමඟ පැවැත්වූ සාකච්ඡාවක් ඇසුරෙනි.
ඓතිහාසික මහනුවර දළදා පෙරහර පිළිබඳ ඔබේ දැක්ම කුමක්ද?
ශ්‍රී ලාංකික කලාකරුවන්ගේ කුසලතා මෙන්ම හා විවිධ අංශයන්හි නියැළි මානව ප්‍රජාවගේ ශක්තීන් එක්කොට මනාව නිමැවෙන අලංකෘත පෙරහරක් ලෙස මෙය හැඳින්වීමට මා කැමතියි. මහනුවර පෙරහරේ මනබන්දනීය භාවය වැඩි කිරීමට සාම්ප්‍රදායික නැටුම්, ගැයුම් වැයුම් විනා වත්මන් වෙනත් පෙරහරවලට එක්කරනා ආකාරයේ බහුරූ කෝලම් කිසිවක් මීට එක් නොකිරීමට අප තදින් වගබලාගන්නවා.
දළදා පෙරහර මංගල්‍යයෙහි ඉතිහාසය පිළිබඳ ඔබේ හැදෑරීම කෙබඳුද?
මෙවර දළදා පෙරහර පැවැත්වෙන්නේ 1709 වන වාරයට බව ඓතිහාසික වාර්තා සපථ කරනවා. එවැනි ගෞරවයක් ලොව අන් කිසිම ආගමික පෙරහරක් වෙත පිරිනැමෙන්නේ නැහැ. මේ ආදිතම ආගමික පෙරහරේ ඉතිහාසය අතිවිභූතිමත්. පෙරහරේ ඉතිහාසය ආරම්භ වන්නේ සිරිමේඝවන්න රජ දවසයි. සිරිමෙවන් නිරිඳුන්ට පෙර රට පාලනය කළේ මහසෙන්ය. මේ පාලකයා, මහාවිහාරයට විරුද්ධව නැගීසිට, බුදුසමයට ඉමහත් හානියක් කර තිබෙනවා. මහසෙන් රජුගෙන් පසුව රජ පැමිණි සිරිමේඝවන්න සිය පියා නිසා සිදු වූ ශාසනික හානිය පිළිබඳ කම්පාවට පත්ව මේ දේශයේ ආගමික පුනරුදය සඳහා කැප වූ බවත්, ඒ නරේන්ද්‍රයාට අසහාය භාග්‍යයක් උදා වූ බවත් ඉතිහාසයේ සඳහන් වෙනවා.
කුමක්ද ඒ සිද්ධිය ?
ඒ සිද්ධිය සිදු වූයේ සිරිමෙවන් රජුගේ රාජ්‍ය කාලය උදා වී අවුරුදු නවයකින් පසුවයි. වංශකථාවල දැක්වෙන පරිදි සිරිමෙවන් පාලනය ඇරඹුණේ ක්‍රිස්තු වර්ෂ 362 දීය. ශ්‍රී ලංකාවට, ලෝක ඉතිහාසයෙහි අසහාය ස්ථානයක් ලබාදෙමින් ඒ සාමයිකා ප්‍රාතිහාර්යය සිදු වූයේ ක්‍රිස්තු වර්ෂ 371දී. ඒ කියන්නේ අදට අවුරුදු 1648කට පෙර. සිරිමෙවන් මහ රජු හමුවට දඹදිව කාලිංග දේශයෙහි සිට, රාජකීය යුවළක් මෙහි පැමිණියා. ඒ දෙදෙනා නම් කෙරුණේ හේමමාලා කුමරිය සහ ඇයගේ ස්වාමිපුරුෂ දන්ත කුමරුන් වශයෙනි. ඔවුන් මෙහි පැමිණියේ බමුණු යුවළක් සේ වෙස් වළාගෙනයි. මෙසේ වෙස් වළාගැනීමට හේතුකාරක වූ විශේෂ සිද්ධියක් තිබුණා. ඒ දෙදෙනා සිරිමෙවන් රජු හමුවට පැමිණියේ ලොව මහාර්ඝතම වස්තුවක් රැගෙනයි. ඒ අසහාය නිධානය නම් සම්මා සම්බුදු හිමියන්ගේ දන්ත ධාතුවයි. හේමමාලාවගේ පිය රජු වූ කලිඟු රට ගුහසීව නරේන්ද්‍රයා, බුදු හිමියන්ගේ දළදා වහන්සේ ශ්‍රද්ධා භක්තියෙන් රැකබලාගෙන තිබෙනවා. දළදා වහන්සේ සතුරන්ගෙන් බේරාගත නොහැකියැයි හැඟුණු තැන ගුහසීව රජු සිය දියණියත් බෑනණුවනුත් භාරයේ දළදා වහන්සේ රටින් පිට කළා. ඒ යුවළ මේ මාහැඟි වස්තු රැගෙන ඒමේදී ඔවුන් බමුණු තවුසන් සේ වෙස් වළාගත්තේ රාජ ලීලායෙන් ආයේ නම් අතරමඟ අතවර සිදු විය හැකි යැයි සිතූ නිසයි. දන්ත ධාතූන් වහන්සේ සඟවාගන්නා ලද්දේ හේමමාලාවන්ගේ කේශ කලාපය තුළයි.
එදා පටන්ද මහනුවර පෙරහර පැවැත්වීම ආරම්භ වුණේ?
ඔව්. ඒ අන්දමට අතීතයේ ඇරැඹි මහනුවර ඇසළ මහා පෙරහර මෙවර 1709 වැනි වතාවට සාම්ප්‍රදායානුකූල චාරිත්‍ර ඉටු කරමින් ඉකුත් (02) උදෑසන 5.10ට සිව්මහා දේවාලයන්හි කප් සිටුවීමේ මංගල්‍යය අප ආරම්භ කළා.
ඉන් අනතුරුව සිවු මහා දේවාලයන්හි අභ්‍යන්තර පෙරහර පුරා දින පහක් අද රාත්‍රිය දක්වා පවත්වා පළමු කුඹල් පෙරහර හෙට (05) වැනිදා රාත්‍රියේ වීදි සංචාරය කරනවා. හෙට සිට (05) අගෝස්තු 09 වැනිදා දක්වා කුඹල් පෙරහර පැවැත්වෙනවා.
පෙරහරේ පළමු රන්දෝලි පෙරහර පැවැත්වෙන්නේ කවරදාද?
මහනුවර ඇසළ මහා පෙරහරේ පළමු රන්දෝලි පෙරහර 10 වැනිදා රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතයි. මේ අයුරින් පළමු රන්දෝලි පෙරහර ආරම්භ කොට 11 වැනිදා, 12 වැනිදා සහ 13 වැනිදා ලෙස පෙරහර තෙදිනක් පැවැත්වෙනවා.
අවසන් රන්දෝලි මහා පෙරහර මේ මස 14 වැනිදාට යෙදෙන නිකිණි පුර පසළොස්වක පොහෝ දින රාත්‍රියේ වීදි සංචාරය කරනවා.
ඉන් පසුව සිදු වන්නේ කුමක්ද?
15 බෘහස්පතින්දා උදෑසන දියකැපුම් පෙරහර හා දහවල් පෙරහර පැවැත්වෙනවා. එදිනම සවස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ජනාධිපති මන්දිරයේදී පෙරහර සාර්ථකව නිමා කළ බවට ප්‍රකාශයට පත් කොට සන්දේශය භාරදීමේ මහෝත්සවය පැවැත්වෙනවා.
මෙවර පෙරහරේ මනරම් බව වැඩි කිරීමට යොදා ඇති විශේෂ අංග මොනවාද?
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ අලංකාරය වැඩි කරන්නේ ඇත් පන්තියයි. ඒ වගේම සාම්ප්‍රදායික නැටුම් ශිල්පීන්ගේ නැටුම්, ගැයුම්, වැයුම් වලින් එය සන්නද්ධ කර තිබීම තුළයි. මෙවර පෙරහරට අලි ඇතුන් 80 දෙනෙකු, කලා ශිල්පීන් 1500ක් දෙනා එක් වනවා. පෙරහර ඉතා විචිත්‍ර හා මනරම් ලෙස සංවිධාන කොට තිබෙනවා.
මේ සඳහා අවශ්‍ය වැය බර දරන්නේ කවුරුද?
මහනුවර ඇසළ පෙරහරේ වැය වන වැය බර මාළිගාවේ අපි දරනවා. රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසක දායකත්වය ඊට ලැබී තිබෙනවා. පෙරහරට සහභාගී වන අලි ඇතුන්ට අලුත්ම ඇඳුම්, ඇත්ගොව්වන්ට ඇඳුම්, නැටුම් ශිල්පීන්ට අවශ්‍ය සියලු පහසුකම් සලසා තිබෙනවා. අපි කලායතනවලට මුදල් ආධාර දී තිබෙනවා. සාම්ප්‍රදායික, දේශීය නැටුම් කලාව විනාශ වී යෑමට ඉඩ නොදී රැක ගැනීමට ඒවා මතු පරපුරට උරුම කිරීමට කටයුතු කරනවා. ඒ අනුව තමයි මේ පෙරහරට බාල, තරුණ, වැඩිහිටි කලා ශිල්පීන් පවා මහත් උනන්දුවෙන් සහභාගී වෙන්නේ.
මෙවර පෙරහරේ ශ්‍රී දළදා කරඬුව වැඩම කරනුයේ කුමන හස්ති රාජයාද?
ඉන්දිරාජා හස්තිරාජයා තමයි මෙවර ශ්‍රී දළදා කරඬුව වැඩම කරන්නේ. වැඩිම කළක් ශ්‍රී දළදා කරඬුව වැඩම කරවූ හස්තිරාජයා වන්නේ ඉන්දිරාජායි. මෙවර පෙරහරට නැදුන්ගමුවේ රාජා ඇතා සහභාගී වන්නේ නැහැ.
පෙරහරේ ආරක්ෂක විධිවිධාන සලසා ඇත්තේ කොහොමද?
මෙවර පෙරහර ආරක්ෂාව වඩාත් තහවුරු කොට තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් සංවිධානය කළා. පෙරහරේ ආරක්ෂාවට 6000ක පොලිස් නිලධාරීන් පිරිසක් සහ 2000ක යුද හමුදා භට පිරිසක් යෙදවීමට දැනටමත් කටයුතු සංවිධාන කොට තිබෙනවා. යුද, නාවික, ගුවන්, පොලිස් හා සිවිල් ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ සාකච්ඡා වට 02කදී මෙම තීරණය ගත්තේ.
ජනමාධ්‍ය අමාත්‍යාංශය ප්‍රධාන මෙරට මාධ්‍ය ආයතනවලින් පෙරහරට ලැබෙන දායකත්වය කෙසේද?
ඇත්තටම ඉතාම සන්තෝෂයි. මෙවර පෙරහර පිළිබඳව මුළු ලෝකයම අවධානය වෙනදාටත් වඩා යොමු වී තිබෙනවා. ඒ මීට මාස 3කට පෙර අප්‍රේල් 21 වැනිදා පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය නිසා රටේ ආරක්ෂාව පිළිබඳ යම් ගැටලුවක් මතු වුණා. ඒ ගැටලුකාරී තත්ත්වය දැන් පහව ගොස් තිබෙනවා. ඒ බව ලෝකයට කියන්නට මෙය හොඳ අවස්ථාවක් වෙනවා. මේ නිසාම ජනමාධ්‍ය රාජ්‍ය ඇමති සහ ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජයවර්ධන මහතාත්, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුනිල් සමරවීර මහතාත් පෙරහරේ මාධ්‍ය ආවරණය පිළිබඳව විශේෂ උනන්දුවකින් වැඩපිළිවෙළක් සකස් කළා; අප සමඟ සාකච්ඡා කළා. ඒ අනුව මුළු පෙරහරම සෑම මාධ්‍ය ආයතනයකටම රිසි පරිදි විකාශය කිරීමට ආවරණය කිරීමට අවශ්‍ය පහසුකම් සැපයූවා. මාධ්‍යවේදීන්ට අවශ්‍ය සියලු පහසුකම් සහිතව අප මාධ්‍ය මධ්‍යස්ථානයක්ද පෙරහර භූමියේ පවත්වාගෙන යනවා.
ජාතික, ආගමික, සංස්කෘතික හා සාමාජයික අංශ රැසකම ගෞරවය හා ප්‍රසාදය චිරාත් කාලයක් දිනාගෙන සිටින මහනුවර ඓතිහාසික ඇසළ මහා පෙරහර හෙළයේ මහා මංගල්‍යයක් යැයි සලකා ලොවට රැගෙන යෑමට ලේක්හවුසිය ඇතුළු මාධ්‍ය මඟින් සිදු වන සේවය අතිවිශාලයි. එය අප අගය කරනවා.
සේයාරුව - සමන් ශ්‍රී වෙදගේ