ලංකාවේ කුරුඳුවලින් දියවැඩියාවට දිව ඔසුවක් | සිළුමිණ

ලංකාවේ කුරුඳුවලින් දියවැඩියාවට දිව ඔසුවක්

කොළඹ වෛද්‍ය පීඨයේ

භිෂ­ග්වේද (ඖෂධ සම්බන්ධ කට­යුතු ) පිළි­බඳ අංශයේ ජ්‍යෙෂ්ඨ කථි­කා­චාර්ය වෛද්‍ය
ප්‍රියංග රණ­සිංහ

දියවැඩියාව පරාජය කිරීම සඳහා තොරක් නැති සෙවීම් බැලීම් ලෝකයේ කොතැනත් සිදුවෙයි. දියවැඩියාව ලෝකයට ඒ තරම්ම හිසරදයකි. වැරදි ඇවතුම් පැවතුම් බොහෝ සෙයින් හේතු වන දියවැඩියාව නිසා ලෝකයේම මිලියන ගණනක ජනතාවක් පීඩා විඳිති. දියවැඩියාව පරාජය කිරීමේ පර්යේෂණාත්මක මෙහෙයුම් මඟින් අධික මිලෙන් යුතු අලුත් ඖෂධ අපේ බෙහෙත් වට්ටෝරුවලට එකතු වෙද්දී අපට තවදුරටත් සුසුම්ලන්නට සිදු වන්නේ ඒ බෙහෙත් ළං කරගැනීම එක අතකට පසුබිම්බියට බරක් වගේම අතුරු ආබාධ නිසා සමස්ත ශරීර සෞඛ්‍යයට සිදු වන විවිධ බලපෑම් නිසාය.

එවැනි පසුබිමක් තුළ වටිනාකම අතින් ලෝකයේ පස් වැනි තැන දරන ශ්‍රී ලංකා කුරුඳුවලට දියවැඩියාව පාලනය කිරීමේ පවතින අසම සම ගුණය පිළිබඳ සිදු කෙරුණු තීරණාත්මක පර්යේෂණයක තොරතුරු හෙළි කරන්නේ කොළඹ වෛද්‍ය පීඨයේ භිෂග්වේද (ඖෂධ සම්බන්ධ කටයුතු) පිළිබඳ අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය ප්‍රියංග රණසිංහ ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායමකි. තම ආචාර්ය උපාධි නිබන්ධනය ඉලක්ක කරගනිමින් සිදු කළ ඒ සුවිශේෂී පර්යේෂණය පිළිබඳ අපට මුලින්ම තොරතුරු අනාවරණය කරන්නේ ශ්‍රි ලංකාවේ ජෛව සම්පත් සම්බන්ධයෙන් පර්යේෂණ රැසකට මුල් වූ පර්යේෂකයකු මෙන්ම කාර්මික තාක්ෂණ ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරිමල් ප්‍රේමකුමාරය. ඔහු ද මේ පර්යේෂණයේ එක් පුරුකකි. ඔහුගේ මඟ පෙන්වීම මත අපි එම පර්යේෂණයට මුල පිරූ වෛද්‍ය ප්‍රියංග රණසිංහ හමුවීමු.

ඔහු පවසන්නේ දියවැඩියාව පමණක් නොව රෝග ගණනාවකට සුව දෙන අසීමිත විස්මිත ගුණයක් කුරුඳුවල පවතින බවට හෙළි වී ඇති බවය.

“ලෝකයේ ප්‍රධාන වශ‍යෙන් කුරුඳු ප්‍රභේද දෙකක් බහුලව තිබෙනවා. එකක් ශ්‍රී ලංකා කුරුඳු (Cinamomum Zelanicum) අනෙක චින කුරුඳු (Cinamomum cassia). මේ දෙක උද්භිද විද්‍යාත්මකව විශේෂ දෙකක්. එයින් ලෝකයේ සැබෑ කුරුඳු ලෙසින් සැලකෙන්නේ ශ්‍රී ලංකාවට ආවේණික කුරුඳුයි. එම කුරුඳු සම්බන්ධයෙන් අප සතුව විශාල දැනුමක් පවතිනවා. විශේෂයෙන් දේශීය වෛද්‍ය විද්‍යාවේදී කුරුඳු අනාදිමත් කාලයක සිට භාවිත වෙනවා. බටහිර වෙදකමේදීත් විවිධ ඖෂධ සංයෝජනයේදී කුරුඳු අතිශයින්ම වැදගත් අමුද්‍රව්‍යයක්.

කුරුඳු සම්බන්ධයෙන් කොළඹ වෛද්‍ය පීඨය මුල් වී පර්යේෂණ කිහිපයක් කළා. එයින් එකක් තමයි දියවැඩියාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කුරුඳුවල ප්‍රතිචාරය දැනගැනීම. චීන කුරුඳු සහ ශ්‍රි ලංකා කුරුඳු අතර පවතින ලොකුම වෙනස තමයි, ශ්‍රී ලංකාවේ කුරුඳු අතිශයින්ම පිරිසුදු වීම. චීන කුරුඳුවල කුමරීන් (Coumarin) නම් සංඝටකයක් තිබෙනවා. එය දිර්ඝ කාලීනව ගැනීමේදී අක්මාවට අහිතකරයි. ඒ වගේම එය ලේ කැටි ගැසීමේ ගුණය නැති කරනවා. නමුත් ශ්‍රි ලංකාවේ කුරුඳුවල කුමරීන් සංයෝගය තිබෙන්නේ නොසැලකිය යුතු තරම් පොඩි ප්‍රමාණයක්. ඒ නිසා අපේ කුරුඳු කිසිදු බියක් සැකක් නැතිව දිර්ඝ කාලීන ව ඖෂධයක් ලෙස භාවිත කරන්න පුළුවන්.

ඔවුන්ට ඕනෑ වුණේ කුරුඳුවල පවතින ඖෂධීය ගුණය පිළිබඳ විමසන්නටය. එයින් එක් පර්යේෂණයක ඉලක්කය වූයේ දියවැඩියාව හමුවේ කුරුඳු ක්‍රියා කරන ආකාරය සොයා බැලීමය. කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය පිඨයට අනුබද්ධ වෛද්‍ය විද්‍යා සායනයේ රෝගීන් 210 දෙනකු සම්බන්ධ කරගෙන එම සායනික පර්යේෂණය සිදු කෙරුණු අතර එහිදි එම රෝගීන්ට ඔවුන්ගේ කැමැත්ත මත මාස හතරක් තිස්සේ කුරුඳු කැප්සියුල ලෙස දෙන ලදි.

පර්යේෂකයන් මෙහිදී රෝගීන් කණ්ඩායම් තුනක් සකසා එයින් එක් කණ්ඩායමට කුරුඳු සාරය මිලි ග්‍රෑම් 250ක් ද තවත් කණ්ඩායමකට කුරුඳු සාරය මිලි ග්‍රෑම් 500ක් සහ අනෙක් කණ්ඩායමට ව්‍යාජ ඖෂධයක් ලබා දී ඇත. මාස හතරක් තිස්සේ දිනපතා උදෑසන ආහාර වේලට පළමුව එම ඖෂධය ගත යුතු ලෙසට නිර්දේශ කෙරුණු අතර මාස හතරකින් පසුව ඔවුන්ගේ නිරාහාරික තත්ත්ව යටතේ රුධිර සාම්පල නිරීක්ෂණය කොට ඇත. එහිදී පෙනී ගිය වැදගත්ම කරුණ වන්නේ මෙම රෝගීන්ගේ රුධිරගත සීනී කොලෙස්ටෙරෝල් සහ HBA1C එනම් රුධිරගත හිමොග්ලොබින් සමඟ එක් වූ ග්ලුකොස් ප්‍රමාණය පරීක්ෂා කිරීමේදි ඒවායේ සැලකිය යුතු අඩු වීමක් නිරීක්ෂණය කළ හැකි වූ බවය. ඒ පිළිබඳ වෛද්‍ය ප්‍රියංග රණසිංහ පවසන්නේ මෙවැනි කතාවකි.

“කුරුඳුවලින් දියවැඩියාව පාලනය කළ හැකි බව මූලික ව සිදු කෙරුණු පරීක්ෂණවලින් සොයාගෙන තිබුණා. චීන කුරුඳුවලින් පවා රුධිරගත සීනි පාලනය කිරීමේ හැකියාවක් ඇති බව හඳුනාගෙන තිබුණා. රුධිරගත සීනි අඩු වූ පමණින් එය දියවැඩියාවට සුදුසුයි කියල එක වර නිර්දේශ කරන්න බැහැ. සාමාන්‍යයෙන් බටහිර ඖෂධයක් නිපදවීමේදී එය රෝගියාට නිර්දේශ කිරීමට පෙර අනුගමනය කළ යුතු පර්යේෂණාත්මක පියවර ගණනාවක් තිබෙනවා. විශේෂයෙන් එවැනි ඖෂධයක් නිර්දේශ කිරීමට කලින් එයින් ඇති විය හැකි අතුරු ආබාධ ගැන හොඳ අවබෝධයක් ලබා ගත යුතුයි. මේ අතුරු ආබාධ අවම කිරීම ගැන සොයා බැලිය යුතුයි. චීන කුරුඳුවල අප මුලින් කීවා වගේ කුමරින් කියන සංයෝගය බහුලයි. මේ නිසා එක්කෝ ඒවා ඖෂධීය මට්ටමින් සකස් කිරීමේදී එම කුරුඳුවල අන්තර්ගත කුමරින් හෝ වෙනත් අහිතකර සංයෝග ඉවත් කළ යුතුයි. එසේ නැති නම් එයින් අක්මාවට ඇති වන අතුරු ආබාධ වළක්වාලීමට වෙනත් පියවරක් ගත යුතුයි. ඒ පියවර දෙකම ප්‍රායෝගිකව බැලුවාම තරමක් දුෂ්කර වගේම වියදම් ද අධිකයි.

නමුත් වාසනාවකට ශ්‍රී ලංකාවේ කුරුඳුවලින් එවැනි අතුරු ආබාධ ඇති බවක් පෙනෙන්නේ නැහැ. ඒ බව සායනිකව ඔප්පු කිරීමට අප මේ පර්යේෂණය පටන්ගැනීමට කලින් තෝරාගත් රෝගීන් 30 දෙනකුට මාස තුනක් තිස්සේ කුරුඳු ලබා දී එයින් ඇති විය හැකි අතුරු ආබාධ පිළිබඳ සොයා බැලුවා. නමුත් එවැනි කිසිදු අතුරු ආබාධයක් නැති බව අප ප්‍රත්‍යක්ෂ කරගත්තා.

මේ අනුව බැලුවාම අපට පැහැදිලිවම කියන්න පුළුවන් කුරුඳු අපට දියවැඩියාව පාලනය කිරීමේ ඖෂධීය අතිරේකයක් ලෙසින් අතුරු ආබාධ අවම කරගෙන එය භාවිත කළ හැකි බව“

වෛද්‍ය රණසිංහ පවසන්නේ කුරුඳු දිනපතා ගැනීමෙන් සැලකිය යුතු අතුරු ආබාධයක් නැති බවට තහවුරු වීම කුරුඳු භාවිත කරගෙන වෙනත් රෝගාබාධවලට ඖෂධ නිපදවීමේදීද වැදගත් වන හෙළිදරව්වක් බවය. ඔහු පවසන්නේ කුරුඳු සතුව රුධිරගත කොලෙස්ටෙරෝල් පාලනය කිරීමේ, අධි රුධිර පීඩනය පාලනය කිරීමේ බැක්ටීරියා සහ වෙනත් රෝග ඇති කරන පරපෝෂීන් මර්දනය කිරීමේ ගුණ පවතින අතර පිළිකා ආදියට හේතු පාදක වන නිදහස් අංශු විනාශ කරන ප්‍රතිඔක්සිකාරක ගුණයක්ද පවතින බවය. ඒ අනුව දියවැඩියාවට අමතරව එවැනි රෝගාබාධ ඉලක්ක කරගෙනද ඖෂධ නිපදවිය හැකි බව ඔහු පෙන්වා දෙයි.

වෛද්‍ය ප්‍රියංග රණසිංහ පවසන්නේ කුරුඳුවලින් විශිෂ්ට මට්ටමේ ඖෂධයක් නිපදවිය හැකි බව ප්‍රත්‍යක්ෂ වී ඇති බවය. ඒ සඳහා තවත් පර්යේෂණාත්මක කඩුලු කිහිපයක් පැනිය යුතුව තිබේ.

පර්යේෂකයන් දකින ආකාරයට මෙය ශ්‍රී ලංකාවට පෑදෙන ඉල්ලමකි. මේ වන විටත් ලෝකයේ ඉහළම ඉල්ලුම අැත්තේ ශ්‍රී ලංකාවේ කුරුඳුවලටය. චීනය, ඉන්දුනීසියාව, වියට්නාමය සහ ශ්‍රී ලංකාව කුරුඳු අපනයනය කරන අතර මේ අතුරින් ලෝකයේ කුරුඳු අපනයයෙන් වැඩිම ආදායමක් ලබන්නේද ශ්‍රී ලංකාවයි. 2018 වසරේ කුරුඳු සහ ඒ ආශ්‍රිත අපනයන මඟින් ශ්‍රි ලංකාව ලබා ඇති ආදායම රුපියල් කෝටි 3500කි. දැනට කුරුඳු බොහෝ විට අපනයනය කෙරෙන්නේ කුරුඳු පොතු, තෙල් හෝ කුඩු වශයෙනි. එතැනින් එහා ගිය අගය වැඩි කළ නිෂ්පාදනයක් සිදු වන්නේ නැත.

එහෙත් මේ පර්යේෂණය ඔස්සේ දියවැඩියාව පාලනය කළ හැකි නව ඖෂධයක් හෝ ඖෂධීය අතිරේකයක් ලෝකයට ඉදිරිපත් කළ හැකි නම් එය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විසල් බලාපොරොත්තුවකි. මේ වන විට දියවැඩියාව සම්බන්ධයෙන් ලෝකයේ විකිණෙන ඖෂධවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 75කට ආසන්නය. කොළඹ වෛද්‍ය පීඨ පර්යේෂකයන් මේ සොයාගැනීම පර්යේෂණ සඟරාවල ප්‍රකශයට පත් කොට ඇති අතර පේටන්ට් බලපත්‍රය සඳහාද ඉල්ලුම් කොට ඇත. ඔවුන්ගේ ඊළඟ ඉලක්කය සාර්ථක ඖෂධීය අතිරේකයක් කුරුඳු පසුබිම් කරගෙන ලෝකයට එළිදැක්වීමය.

Comments