
ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ එස්.ඩී. උඩවත්ත
වැඩිහිටි පුරවැසියන්ට රැකවරණය ලබාදීමෙන් ක්‍රියාකාරී, ජවසම්පන්න හා ඵලදායී වැඩිහිටි දිවියක් උදා කරදීමට ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයෙන් සිදු වන්නේ අපරිමිත සේවයකි. එයින් වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් සිදු වන සේවාවත්, සුබසාධන කටයුතු හා අනාගත සැලසුම් පිළිබඳත් අප සමඟ අදහස් දක්වා සිටියේ ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ එස්. ඩී. උඩවත්ත මහතායි.
• රටේ සමස්ත වැඩිහිටියන්ගේ සුරක්ෂිතතාව උදෙසා ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය ක්‍රියාවට නංවන වැඩපිළිවෙළ කෙබඳු ද?
වැඩිහිටි ජනගහනය හා ඔවුන්ගේ සුබසාධන කටයුතු පිළිබඳ නෛතික ආවරණය ලබා දී තිබෙන්නේ 2000 අංක 09 දරන වැඩිහිටි තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිළිබඳ පනත හා 2011 වැඩිහිටි තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිළිබඳ සංශෝධිත පනත යන පනත් මඟිනුයි. ශ්‍රී ලංකාවේ සිටින වැඩිහිටි ජනගහනය පිළිබඳ අදහස් දැක්වීමේ දී 2015 දී 14%ක් වූ වැඩිහිටි ජනගහනය 2040 වෙද්දී මුළු ජනගහනයෙන් 1/4 ප්‍රමාණයක් දක්වා පරිවර්ථනය වන බව සංඛ්‍යා ලේඛන අනුව අපට පැහැදිලි වෙනවා.
රටේ තිබෙන ප්‍රධාන ගැටලුවක් වන්නේ, වැඩිහිටි ජනගහනයේ වර්ධනයයි. ඒ නිසා අපි විශේෂ දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. එහිදී පනත මඟින් පිහිටුවා තිබෙන වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික සභාව වැදගත් වෙනවා. එමඟින් කෙරෙන්නේ වැඩිහිටියන් සඳහා වූ සියලු තීරණ හා යෝජනා ගැනීම සම්බන්ධව කටයුතු කිරීමයි.
• වැඩිහිටියන්ගේ සුබසාධනය වෙනුවෙන් ප්‍රාදේශීය, දිස්ත්‍රික් හා පළාත් මට්ටමෙන් ක්‍රියාවට නැංවෙන වැඩසටහන් මොනවා ද?
ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය පිහිටුවා තිබෙන්නේ ජාතික සභාවේ කර්තව්‍ය ඉටු කිරීම සඳහායි. ඒ කාර්යයභාරය සාර්ථක කර ගැනීමට ජාතික වැඩිහිටි මහා ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගෙන් විශාල සහයෝගයක් ලැබෙනවා. මේ ජාතික සභාවේ ප්‍රධාන අරමුණ වන්නේ වැඩිහිටියන්ගේ, සුබසාධනය හා අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම සහ පාරම්පරික සාරධර්ම මත පදනම්ව පවුල් ඒකකයක් ශක්තිමත් කිරීම සඳහා රජයට හා අනෙකුත් සුදුසු ආයතනවලට ඒ සම්බන්ධ උපදෙස් ලබා දීමයි.
එහිදී වැඩිහිටියන් සම්බන්ධව යම් යම් කර්තව්‍යය ඉටු කිරීමට අවශ්‍ය නිර්දේශ අපි රජයට ලබාදෙනවා. ප්‍රාදේශීය, දිස්ත්‍රික් හා පළාත් මට්ටමෙන් සුබසාධන වැඩසටහන් සංවිධානය කරනවා. පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කරගෙන යනවා.
වැඩිහිටියන් සම්බන්ධව තිබෙන සංඛ්‍යා ලේඛන පවත්වාගෙන යෑම වැදගත් කාර්යභාරයක්. වැඩිහිටියන්ගේ සුරක්ෂිතතාව වෙනුවෙන් ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කරදීමටත් අපි කටයුතු කරනවා.
• ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය මඟින් ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන සැලසුම් මොනවා ද?
2020 වර්ෂය වන විට ග්‍රාමීය කමිටු සවිබලගැන්වීමට සැලසුම් කර තිබෙනවා. ඒ සවිබලගැන්වීමේ දී වැඩිහිටි ප්‍රජාවට අවශ්‍ය බඩු බාහිරාදිය ලබාගැනීමට, වන්දනා ගමන් යෑමට, රෝගියකුට උපකාර කිරීමට යනාදියට අවශ්‍ය මූල්‍යමය ආධාර ලබාදීම, දිවා සුරැකුම් මධ්‍යස්ථාන ඇති කිරීමත් සිදු කරනවා.
ග්‍රාමීය කමිටු මෙන්ම දිස්ත්‍රික් කමිටු හා පළාත් කමිටු ශක්තිමත් කිරීමටත් කටයුතු කරනවා. වැඩිහිටියන්ගේ ආකල්ප, හැඟීම් ඔවුන්ගේ අවශ්‍යතා යනාදිය පිළිබඳ පුහුණු හා පර්යේෂණ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා. රටේ වැඩිහිටි නිවාස 306ක් තිබෙනවා. ඉන් රජයේ වැඩිහිටි නිවාස 06ක් සහ ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය මඟින් පාලනය වන වැඩිහිටි නිවාස දෙකක් කතරගම සහ මල්වතු හිරිපිටිය ප්‍රදේශවල පිහිටුවා තිබෙනවා. එහිදී කතරගම වැඩිහිටි නිවාසය සම්පූර්ණ නව නිවසක් ලෙස ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 250ක් යෙදවීමට සැලසුම් කරගෙන යනවා. නවීන ලෝකයට ගැළපෙන වැඩිහිටි නිවාසයක් සකස් කිරීම අපගේ අරමුණ යි.
අටදහසක පමණ වැඩිහිටි ප්‍රජාවක් වැඩිහිටි නිවාසවල සිටිනවා. පෞද්ගලික අංශ මඟින් පාලනය වන වැඩිහිටි නිවාසවල ප්‍රමිතිය පිළිබඳ, ප්‍රමිති ආයතනයත් සමඟ සාකච්ඡා කොට ප්‍රමිතියක් හඳුන්වා දෙනවා
වැඩිහිටි මහලේකම් කාර්යාලයේ කාර්යභාරය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළ අනුව “වැඩිහිටියෝ” පුවත්පත් අතිරේකය, ගුවන් විදුලි හා රූපවාහිනී වැඩසටහන්, පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරගෙන යනවා.
අවුරුදු 70 ඉක්ම වූ, ආදායම රුපියල් 6000ට අඩු වැඩිහිටියන් වෙනුවෙන් රුපියල් 2000ක දීමනාවක් ලබාදීමත් වයස අවුරුදු 100 ඉක්ම වූ වැඩිහිටියකුට රුපියල් 5000ක දීමනාවක් දැනටමත් ලබාදෙනවා
අවුරුදු 60-70 අතර වැඩිහිටියන්ට ස්වයංරැකියා සඳහා රුපියල් 20,000ක දීමනාවක් ලබාදීම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ආරම්භ කොට ඉදිිරි වර්ෂය දක්වා ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා.
ඔක්තෝබර් මාසයේ පැවැත්වෙන“ජාත්‍යන්තර වැඩිහිටි දිනය”ට සමගාමීව, දිවයිනේ වයස්ගත වැඩිහිටියන් සඳහා උපහාර පිදීම, වයස අවුරුදු 75ට වැඩි, දරුවන් වැඩි ප්‍රමාණයක් රටට දායාද කළ මවුපියවරුන් පිදීම ඇතුළු වැඩසටහන් රාශියක් පැවැත්වීමට කටයුතු සම්පාදනය කර තිබෙනවා.
• රටේ සංවර්ධනයට වැඩිහිටියන් දායක කරගන්නේ කෙසේ ද?
වැඩිහිටි මහ ලේකම් කාර්යාලය පිළිබඳ වැඩිහිටියන් තුළ අවබෝධයක් නැතිකම නිසා ඔවුන්ගේ ඉල්ලීම් අපට ලැබෙන්නේ නෑ. ඒ නිසා අප පුවත්පත්, සඟරා, රූපවාහිනී, ගුවන්විදුලි වැඩසටහන් පොත්පත් නිකුත් කිරීම යනාදිය මඟින් දැනුවත් කිරීම් සිදු කරනවා. වැඩිහිටි බලමණ්ඩල පිහිටුවා, වැඩිහිටි මහලේකම් කාර්යාලයේ කාර්යභාරය, පිළිබඳ හැකිතාක් පැහැදිලි කිරීම් සිදු කරනවා.
අපේ වැඩිහිටි ප්‍රජාව බුද්ධිමත් මෙන්ම සමාජයට, රටට යමක් සිදු කරන කොටසක් ලෙස හඳුනාගන්න පුළුවන්. වයස අවුරුදු 60න් පසු “වැඩිහිටියා” නම් පුද්ගලයා ඒ මානසිකත්වයෙන් ඉවත් කිරීම අපගේ කාර්යභාරය යි. ඔවුන්ගේ හැකියා , කුසලතා හඳුනාගෙන ඒවා එළිදැක්වීමට මූල්‍යමය වශයෙන් සහයෝගය ලබා දී ඔවුන් දිරිමත් කරනවා.
• වැඩිහිටි හැඳුනුම්පත් ලබාදීමේ කාර්යයේ ප්‍රගතිය ඇතුළු මේ වන විට වැඩිහිටි මහලේකම් කාර්යාලය ලබා ඇති ප්‍රගතිය පිළිබඳ කතා කළොත්?
මේ වන විට වැඩිහිටි හැඳුනුම්පත් 60,000ක් පමණ නිකුත් කර තිබෙනවා. මෙතෙක් හැඳුනුම්පත ලබා දුන් ක්‍රමවේදය වෙනස් කොට ජංගම හැඳුනුම්පතක් ලබා දීමට කටයුතු කරනවා. පිළිගැනීමකුත් තිබෙන නිසා ඉදිරියේ දී ජංගම හැඳුන්ම්පත්ම ලබා දෙනවා. වැඩිහිටි හැඳුනුම්පත නිසා වැඩිහිටියන්ට ආරෝග්‍ය ශාලාවකින් ඖෂධ ලබාගැනීමේ දී, පොලිස් ස්ථානයට ගිය විට දී ආදී පොදු ස්ථානවල දී ඊට වටිනාකමක් ලැබෙනවා. ඒ වගේ ම මේ හැඳුනුම්පත ලබා දිය යුතු බවට විශාල ඉල්ලුමක් ද තිබෙනවා.
වැඩිහිටි නිවාස ප්‍රමිතිගත කිරීම, දිවා සුරැකුම් මධ්‍යස්ථාන ප්‍රමිතිගත කිරීම, සත්කාර සේවා ක්‍රියාත්මක කිරීම, අක්ෂි කාච, ශ්‍රවණ උපකරණ පිරිනැමීම යනාදී මේ සියල්ලක් ම අපට ඉටු කළ හැකි වුණා.
• වැඩිහිටියන්ගේ ගැටලුවලට විසඳුම් ලබාදීමට ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයට වැඩපිළිවෙළක් තිබෙනවා ද?
දරුවන් නොසැලකීම, තනිකම, එමෙන්ම වැඩිහිටියන් සතු දේපළ, දරුවන් විසින් පවරා ගෙන ඇතැම් අවස්ථාවල දරුවන් විසින් මවුපියන්ව නිවසින් නෙරපා දමන තත්ත්වයක් අද දක්නට ලැබෙනවා. ඒ සම්බන්ධ ගැටලු මසකට 03ක් පමණ අපට ලැබෙනවා. ඒ ගැටලුවලට විසඳුම් ලබාදීමට අපි නීත්‍යනුකූල ක්‍රමවේදයක් ලෙස නඩත්තු මණ්ඩලයට එම පැමිණිලි ඉදිරිපත් කිරීමේ වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා.
මේ මොහොතේ පටන් වැඩිහිටියා යනු කවු ද? ඔවුන්ට සලකන්නේ කෙසේ ද? ඔවුන්ව ආරක්ෂා කරන්නේ කොහොම ද ? ඔවුන්ව ජීවත් කරවන්නේ කොහොම ද ? යනාදියට අවශ්‍ය සැලසුම් අප සකස් කළ යුතුව තිබෙනවා.
ඡායාරූප-රංජිත් අසංක