
අඩුපාඩු සපුරා දෙන තුරු බලා සිටින පාසල්වලට ආදර්ශයක්
ප්‍රතිපල සියයට සියයක්. සාමාන්‍ය පෙළ ඉහළම ප්‍රතිපල
විනය හා ආචාරශිලීත්වය අතින් අංක එක
පාසල් දෙවැනි වාරයේ නිවාඩුව ආරම්භ වි ඇත. තවත් දරු පිරිසක් එළඹෙන හෙට දිනයේ තරගකාරී විභාගයට මුහුණ දීමට සූදානම්ය. නිදහස් අධ්‍යාපනයේ පල ලබන්නට මේ වන විට රටේ තවත් දරු පිරිසක් සුපිරි පාසල් පොරයටද මුහුණ දීමට සූදානමෙනි. රටේ සෑම දරුවෙකුටම නිදහස් අධ්‍යාපනය හිමි වුවද, තවමත් ගමේ දුෂ්කර පාසල් අබිබවමින් නගරයේ සුපිරි පාසල් අධ්‍යාපන පද්ධතියේ ඉහළින්ම වැජඹෙයි.
කිසිදු පහසුකමක් නැතිව, සිසුන් ගුරුවරුන් නැතිව වැසීමට ආසන්න වූ පාසලක්, තම වෙහෙස මහන්සියෙන් පණ ලබා රටටම ආදර්ශවත් පාසලක් බවට පත් වන්නට හැකි නම් එය අගය කළ යුතු වු සුවිශේෂි ක්‍රියාවකි. තිස්සමහාරාමයෙන් ඇසෙන මේ කතාවද එවැන්නකි. මීට වසර 11කට පෙර තිස්සමහාරාම නැදිගම්විල කනිෂ්ඨ විද්‍යාලය වැසෙන පාසල් අතරට එක් වූයේ සිසුන් නැති වීමෙනි. පාසලක් වැසීම සිරගෙවල් දහසක ආරම්භය යැයි සමාජයේ වූ යථාර්ථය තරයේ සිතට ගත් පිරිසකගේ වෑයමෙන් ඒ දුෂ්කර පාසල අද සුපිරි පන්තියේ පාසල්වලට අභියෝග කරන තැනට පත් වී සිටී. ඉතාම අඩු පහසුකම් යටතේ පවතින එම පාසල අද දකුණු ලකේ සම්මානයටද පාත්‍ර වූ පාසලකි. සුපිරි පාසල් පරදවන, ගමේ උපන් දරුවන්ගේ ජීවිතවලට ආලෝකයක් කැන්දන මේ පාසල සොයා ඉකුත් දින අප එහි ගියේ සමාජයට කියන්නට අගනා පාඩම් රැසක් එහි සැඟවී ඇති නිසාය. සුපිරි පාසල් අභියෝගයට ලක් කරන එවන් පාසල් රටට අගනා පාඩමක් කියා දෙයි.
ස්වයං විනය
පාසලේ අද වන විට 250ක පමණ සිසු පිරිසක් අධ්‍යාපනය ලබති. එතරම් සිසුන් පිරිසක් අධ්‍යාපනය ලැබුවද පන්සලක පවතින තරමේ නිහැඬියාවක් පාසල තුළ රජ කිරීමෙන් සිසුන්ගේ මනා හික්මීම හා විනය බව අපට පසක් වෙයි. විනය උපරිම ලෙස පවත්වාගෙන යෑමට විදුහල්පති පී.එන්.එම්. කුමාරසිංහ මහතා ඇතුළු ගුරු මණ්ඩලය කටයුතු කර ඇත්තේ අපුරු ආකාරයටය. කෝටුවට හෝ වේවැලට බය කරමින් කිසිදු සිසුවකු හික්මවීමට ඔවුන් ක්‍රියා කරන්නේ නැත. සියලු දරුවන් පාසලේ විනය සුරකිමින් ස්වයං පාලනයකට ලක් වී සිටීම විශේෂත්වයකි.
තම පාසලේ දරුවන් ඉහළ අධ්‍යාපන මට්ටමකට රැගෙන ඒමට පමණක් නොව, සිරිත් විරිත්, චාරිත්‍ර ගුණධර්මද අතින්ද ඉහළින්ම තබන්නට ආචාර්ය මණ්ඩලය කටයුතු කර ඇත්තේ අපූරු ආකාරයටය. නැදිගම්විල කනිෂ්ඨ විද්‍යාලයෙන් බිහිවන්නේ අධ්‍යාපනයෙන් පමණක් නොව ආචාර ධර්ම අතින්ද පොහොසත් දරුවෝය. ගමේ ගොඩේ හැදුණු මේ දරුවෝ පරිසරයක් සමඟ බැඳී ඇත්තේ මහා අපූර්ව ආකාරයටය. පාසල් ගෙවත්ත තුළද විවිධ වර්ගයේ පලතුරු හා එළවළු වගා කර ඇත්තේ මහත් වෙහෙසක් ගනිමිනි. පලතුරු ගසක ගෙඩියක්වත් කඩා නොදමන්නේ ඔවුන් තුළ ඇති විනය නිසාය.
“නැදිගම්විල කනිෂ්ඨ විද්‍යාලය කියන්නේ ඉතා දුෂ්කර ප්‍රදේශයක පිහිටලා තියෙන පාසලක්. මේ පාසලට එන්නේ ගමේ ඉතා දුප්පත් මවුපියන්ගේ දරුවන් පිරිසක්. එදිනෙදා කුලියක් කරගෙන, හේනක් කුඹුරක් කොටාගෙන ජීවත්වෙන ජනතාවක් මේ ප්‍රදේශයේ ඉන්නේ. නගරයෙන් ඈතට වෙන්න මේ පාසල පිහිටා තියෙන නිසා කාගේවත් අවධානයකට මේ පාසල ලක් වෙලා නැහැ. අදට පාසලට අවුරුදු 65ක්. එදා ළමයින් 550ක් විතර ඉඳලා තියෙනවා. කාලයත් එක්ක ක්‍රමයෙන් පාසලට සිසුන් ඒම අඩු වෙලා ඉගැන්වීමේ කටයුතුත් දුර්වල වුණා. අන්තිම කාලය වෙනකොට ළමයින් පාසලට එනවා යනවා විතරයි. අකුරක් කෙරුණේ නැහැ. ළමයින් සංඛ්‍යාව 130කට බැස්සා. පිට පළාත්වලින් ගුරුවරුන්ගේ පැමිණීමක් සිදු වුණේ නැහැ. ගමේම ගුරුවරුන් කිහිප දෙනෙකු තමයි පාසලේ කටයුතු කර ගෙන වැසෙන්න නොදී පවත්වා ගෙන ගියේ. මොන විදුහල්පතිවරයා ආවත් මේ පාසල දියුණු කරන්න අවස්ථාව ලැබුණේ නැහැ“ විදුහල්පති පී.එන්.එම්. කුමාරසිංහ මහතා පාසලේ එදා සහ අද තත්ත්වය විග්‍රහ කළේ ඒ අයුරිනි.
විවිධ බාධා
2008 වසර වන විට මේ පාසල වසා දැමීමට බලධාරීන් තීරණය කර තිබිණි. විටින් විට විදුහල්පතිවරුන් 19 දෙනෙකු පත් කර එවා තිබුණු අතර කුමාරසිංහ මහතා වැඩ බාර ගත්තේ ඒ බාධක මධ්‍යයේය.
“පාසල වහන්න කියලා බලධාරින් තීරණය කරලා තියෙද්දී 2008 තමයි 20 වැනි විදුහල්පතිවරයා විදියට මම මේ විද්‍යාලයට එන්නේ. මම එනකොට මුළු පාසලේම දරුවන් 100ක්වත් හිටියේ නෑ. පාසලේ පරිපාලන කටයුතු පවා දැඩි ලෙස පිරීහිමට ලක් වෙලා තියෙද්දී තමයි මම පාසලේ කටයුතු බාරගන්නේ. 2008 වසරේ පළමු ශ්‍රේණියට කිසිදු දරුවෙකු බාර නොදෙන්න මවුපියන් තීරණය කරලා තිබුණා. පසුව මම ඒ ගැන මවුපියන් සමඟ සාකච්ඡා කළා. විද්‍යාලය හොඳ තත්ත්වයකට ගේන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න විට 2009 පළමු වසරට සිසුන් 18 දෙනෙකු ගෙනැවිත් බාරදුන්නා. එදා මවුපියන් මා කෙරෙහි තැබු විශ්වාසය මා කොයි ආකාරයකින්වත් කඩ කළේ නැහැ. දිනපතා පන්තිවලට ගිහින් ගුරුවරුන් උගන්වන අයුරු අධීක්ෂණය කළා. ගුරුවරයෙක් නැති වේලාවට මම පන්තියට ගිහින් උගන්වනවා.
පාසලේ දුෂ්කරතා නිසා පිටතින් ගුරුවරුන් එන්න කැමති නැහැ. මම ඒ සඳහාත් වැඩපිළිවෙළක් සකස් කළා. ඇතැම් අවස්ථාවලදී පිටතින් පැමිණි ගුරුවරුන්ට මගේ ගෙදරින් කෑම එක ගෙනත් දීලා රඳවාගත්තා. කොහොම හරි වසරක් යන්න කලින් පාසලට හොඳ ගුරුවරුන් කීප දෙනකු එකතු කරගන්න මට පුළුවන් වුණා“ විදුහල්පතිවරයා පවසන්නේය.
සම්මාන පිට සම්මාන
පරිහානියට ගොස් තිබුණු නැදිගම්විල කනිෂ්ඨ විද්‍යාලයේ ටිකෙන් ටික ගොඩනැඟීම ආරම්භ වූයේ ඒ අයුරිනි. ඒ කටයුත්තේදී මවුපියන් දක්වන්නේ නොමසුරු සහයෝගයකි. මුල සිටම මේ දරුවන්ට අධ්‍යාපනයට කලින් කියා දුන්නේ සිරිත් විරිත් චාරිත්‍ර වාරිත්‍ර හා ගුණ ධර්ම පාඩම්ය.
දරුවන් තුළ ස්වයං හික්මීමක් ඇති වන්නට විය. රොබෝලා වැනි දරුවන් රටේ අනාගතයට පලදායි නොවන බව තේරුම් කර දෙන්නට ගුරුවරු වෙහෙස ගත්හ. පාසලේ ගසක ඉඳෙන පලතුරක් පවා නොකඩන තරමට සිසුන් තුළ ශික්ෂණය ප්‍රගුණ විය.
“පාසල ටික ටික දියුණු වීමත් සමඟ මහන්සි වුණා ජාතික ඵලදායිතා සම්මානය ලබා ගන්න. ඒ සඳහා දරුවන් හැඩගැස්සුවා. ගම, පන්සල හා පාසල තුනම එකට එකතු කළා. මවුපියන්ට දරුවන් කෙරෙහි නව බලාපොරොත්තු ඇති කළා. කැපවීමෙන් ජීවිතය ජයගත හැකි බව දරුවන්ට කියා දුන්නා. වැඩි කාලයක් යන්නත් පෙර වැහෙන්න ගිය මේ පාසල දකුණේ හොඳම පාසලක් බවට පත් වුණා. සියලුම දරුවන්ට අධ්‍යාපනය වගේම බාහිර ක්‍රියාකරකම් පවා අපි පවරලා තියෙනවා. ගුරුවරුන් සොයා බැලුවේ නැතත් සිසුන් තමන්ට පවරා ඇති වැඩකටයුතු අකුරට ඉටු කරනවා. මේ වන විට අපේ පාසල දකුණේ හොඳම පාසලක් බවට පත් කරන්න අපට පුළුවන් වුණා. 2017 හා 2018 වසර වෙන කොට ශිෂ්‍යත්ව ප්‍රතිඵල හා සාමාන්‍යපෙළ ප්‍රතිඵල සියයට සියයයි. විභාගයට ළමයි 20ක් ගියා නම් ඒ විස්සම පාස්. කලාපයේ හොඳම ප්‍රතිඵල තියෙන පාසල බවට පත් වෙලා තියෙන්නේ අපේ පාසල....“ යැයි විදුහල්පතිවරයා පවසන්නේය.
අද වන විට පාසලට සම්මාන රැසක් හිමි කරගන්න අවස්ථාව ලැබී ඇත. ඒ අතරින් දකුණු පළාතේ හොඳම ගෙවත්තට හිමි සම්මානය මේ පාසල දිනාගෙන තිබේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ හොඳම “සුවසර තක්ෂලාවට“ හිමි සම්මානයත්, හොඳම සුවදායි පාසල, හොඳම සෞඛ්‍ය සමාජය, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඩෙංගු රහිත හොඳම පාසල, දකුණු පළාතේ “සිප්දොර අභිසෙස්“ නමින් දකුණේ හොඳම පාසලට හිමි ප්‍රථම ස්ථානයත් මේ දුප්පත් පාසලට හිමි කරගන්නට හැකි විය.
අගනා පාඩමක්
එපමණක් නොව 2017 වසරේ සිට අඛණ්ඩව සාමාන්‍ය පෙළ හොඳම ප්‍රතිඵල ලබාගනිමින් කලාපයේ ප්‍රථම ස්ථානයද හිමි විය. දකුණු පළාතේ හොඳම විද්‍යාලය ලෙස “ගුරු ප්‍රතිභා ප්‍රභා“ සම්මාන උලෙළේදී සම්මානයට පාත්‍ර වූ අතර ජාතික ඵලදායිතා සම්මානය අඛණ්ඩව හිමි කරගන්නටද හැකි විය.
අද වන විට පාසලේ සිසුන් 240 දෙනෙකුට අධ්‍යාපනය ලබා දෙන්නට ගුරුවරුන් 22ක් සිටිති. දකුණේ පාසල්වලින් පමණක් නොව ප්‍රදේශවල පාසල්ද මේ පාසල නරඹන්නට පැමිණෙන්නේ එයින් උගත හැකි පාඩම් බොහෝ නිසාය.