විභාග කාලෙදී හොඳ හැටි මහත් වී සදාකාලික රෝගීන් වන ලංකාවේ දරුවො | සිළුමිණ

විභාග කාලෙදී හොඳ හැටි මහත් වී සදාකාලික රෝගීන් වන ලංකාවේ දරුවො

කොළඹ අවට අවුරුදු 5-15 අතර දරුවන්ගෙන් 15% කට අධික ස්ථුලතාව...
සියය 5කට අධික රුධිර පීඩන අවදානම..
අවුරුදු 8-10 අතර ඇති වන අධික ස්ථුලතාව වෙනස් කළ නොහැකියි...

මේ එළැඹී ඇත්තේ විභාග සමයයි. අදින් ඇරැඹෙන පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන්ද හෙටින් ඇරැඹෙන අපොස උසස් පෙළ විභාගයෙන්ද දෙසැම්බරයේ පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ද මේ වසරේ විභාග සමය නිමාවට පත් වෙයි. මේ දිනවල පාසල් දරුවෝ එම විභාග සඳහා මුහුණ දීමට ලහියේ සූදානම් වෙමින් සිටිති.

විභාගයක් ආසන්නයේ බොහෝ දරුවන්ට මෙන්ම මවුපියන්ටද ඇති වන්නේ දැඩි පීඩනයකි. ඒ පිළිබඳ පර්යේෂණ කළ වෛද්‍යවරුන් පවසන්නේ මධ්‍යම පාන්තික පවුල්වල දරුවනට ඒ පීඩනය වැඩි වශයෙන් බලපාන බවයි.

මනෝ ළමා රෝග පිළිබඳ වෛද්‍යවරුන්ගේ නිගමනය වී ඇත්තේ විභාග සමයේ ඇති වන පීඩනය හමුවේ දරුවන් මානසික හා ශාරීරික වෙනස් වීමකට ලක් වන බවය. විභාග කාලේ දරුවන්ගේ මානසික හා කායික සෞඛ්‍ය යහපත්ව පවත්වාගෙන යෑමට අනුගමනය කළ යුතු ක්‍රමවේද මොනවා ද යන්න පිළිබඳ විමසා බලන්නට අප කටයුතු කළේ ඒ පිළිබඳ පර්යේෂණ සිදු කළ වෛද්‍යවරුන් කිහිපදෙනෙකුගේ අදහස් විමසමනි.

ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා සෞඛ්‍ය ඒකකයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී වෛද්‍ය දිමුත් පිරීස් පවසන්නේ විභාග සමයේ දරුවන්ගේ ස්වාභාවික පැවැත්මේ වෙනස් වීම් බොහෝමයක් දැකගත හැකි වන බවයි. ඒ පිළිබඳ ඔහු පවසන්නේ මෙවැන්නකි.

“ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කර ඇති ආකාරයට ළමා සෞඛ්‍ය කියන්නේ, දරුවන්ගේ මානසික, ශාරීරික සුවතාව පමණක් නොවෙයි. එයට අධ්‍යාත්මික හා සමාජීය සුවතාවත් ඇතුළත් වෙනවා. ඒ සියල්ලම දරුවන්ට එකසේ යහපත්ව අවශ්‍ය වන්නේ සමාජයේ අනෙක් අය සමඟ නිවැරදිව කටයුතු කිරීමටයි.

දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත්ව පවත්වාගෙන යෑමට නම් දිනපතා පැයක්වත් දරුවන්ට ක්‍රීඩාව විවේකය අවශ්‍ය වෙනවා . නමුත් අද වෙලා තිබෙන්නේ එහි අනෙක් පැත්ත. ළඳරු පාසලේ සිටම දරුවන්ට ලැබෙන්නේ විභාග මානසිකත්වයක්. සමහර පාසල්වලට ඇතුළත් කරන විටත් දරුවන්ට විභාගයක් පවත්වනවා.

දරුවෙකුගේ මානසික සෞඛ්‍ය වර්ධනය වන්නේ ඔහුගේ හෝ ඇයගේ ශරීරයේ සියලුම අංශ ක්‍රියාත්මක වීම ඔස්සේයි. පංචේන්ද්‍රියන් මඟින් ලබන උත්තේජන මගින් තමයි දරුවාගේ මනස වර්ධනය වෙන්නේ. ඒ සඳහා ක්‍රීඩාව හා ව්‍යායාම අතිශය වැදගත් වෙනවා.

අද බොහෝ දරුවන් කරන්නේ පියාගේ හෝ මවගේ ජංගම දුරකතනය , ලැප්ටොප් පරිගණකය රැගෙන දවස පුරාම ගේම් ගැසීම . එහෙමත් නැති නම් පරිගණක ක්‍රීඩා හරි රූපවාහිනිය නැරඹීම . ළමයි ක්‍රීඩාවෙන් දුරස් වෙලා සියයට අසූවක්ම ඉලෙක්ට්‍රොනික් මාධ්‍යයෙන් එක තැන හිඳ කරන ක්‍රීඩාවලටයි යොමු වී තිබෙන්නෙ. සෞන්දර්යාත්මක ක්‍රියාකාරකම්වල නිරත වෙනවා අඩුයි. ටීවී බලන ගේම් සෙල්ලම් කරන දරුවන් තමයි වැඩි. ඒ හැරෙන්නට ක්‍රීඩා පිට්ටනියකට ගොස් ක්‍රීඩා කිරිම හෝ ව්‍යායාමයක නිරත වෙනවා නම් දකින්නට ලැබෙන්නේ කලාතුරකින්. ළමයි ගෙදරටම කොටු වෙලා හරි ටියුෂන් පන්තියේ හරි තමයි දවස ගත කරන්නේ.

වර්තමානයේ සියයට අනුවක්ම දරුවන් ටියුෂන් පන්තිවලට සහභාගි වෙනවා. පැය ගණනක් එක තැන ඉඳගෙන ඉන්නවා. ගෙදරදීත් දරුවන් පාඩම්වැඩවලට පැය කිහිපයක්ම යොමු වෙනවා. එවිට එක තැන වාඩි වී ඉන්න කාලය වැඩියි. ලබාගන්නා ආහාර වැය වීම අඩු වෙනවා. ස්ථූල බව වැඩි වෙනවා.

දරුවන් ශරීරය වෙහෙසවලා වැඩ කරන කොට තමයි මොළයේ යම් යම් රසායන ද්‍රව්‍ය නිපදවෙන්නේ. ඒවා අපි Endrorphin ලෙස හඳුන්වනවා. එමඟින් දරුවාගේ මනස සතුටින් තබනවා.

රුධිර සංසරණ පද්ධතිය වර්ධනය වන්නට, අස්ථි වැඩෙන්නට, මාංශපේෂි වර්ධනයට ව්‍යායාම අත්‍යවශ්‍ය වෙනවා. ව්‍යායාමයක් ක්‍රීඩාවක් නැතිව මේ විදිහට කාලයක් ගියොත් දරුවන්ගේ ශරීරය රෝගී බවට පත්වෙනවා. එකම තැන සිටීමෙන් ශරීරයේ බර වැඩි වෙනවා. දරුවා කලකිරෙන ස්වභාවයට පත්වෙනවා. නොරිස්සුම්ගති පළ කරනවා.

වර්තමානයේ පාසල් අධ්‍යාපනය හා විභාග ක්‍රමය තුළ මවුපියන්ට මෙන්ම ගුරුවරුන්ටද සපුරාගත යුතු ඉලක්ක වැඩියි. පන්ති මට්ටමින් හෝ පාසල් මට්ටමින් දරුවා විභාගයට සූදානම් කරන අතරම ගුරුවරුන් තමාගේ පාසලේ විභාග ලකුණු අඩු වුණොත් එය තමාට හොඳ නැහැ කියලා හිතලා දරුවන්ට ක්‍රීඩා කරන්නට තිබෙන වෙලාවත් අරගෙන උගන්වනවා. ඒ නිසා නගරබද ළමයින්ගේ ස්ථූලතාව වැඩියි. ආහාරයට ගන්නා කෑම වර්ග ද බලපානවා.

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ළමා රෝග පිළිබඳ මහාචාර්ය, රිජ්වේ ආර්යා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය පූජිත වික්‍රමසිංහ මහතා කලකට පෙර සිළුමිණ පුවත්පතට අදහස් දක්වමින් පවසන්නේ, පාසල් අවධියේ සිරුරට අනවශ්‍ය පෝෂණය ලැබීම සහ ව්‍යායාම්වලින් ඉවත් වීමෙන් දරුවා අධික ස්ථුලතාවට හා බෝ නොවන රෝගවලට ගොදුරු වන බවයි. වයසට නොගැළපෙන ස්ථූලතාව, දියවැඩියාව, හෘදය රෝග ඇති වීමේ ප්‍රවණතාව වැඩි බවයි.

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල කරන ලද සමීක්ෂණයකට අනුව අවුරුදු 5ත්-15ත් වයසේ පාසල් යන දරුවන් අතරින් 15‍%ක් අධික ස්ථූලතාවෙන් හා අධික බරින් යුතු දරුවෝය. ඉන්සියුලින් සැදීමේ ප්‍රතිරෝධය වැඩි වී දියවැඩියාව සෑදීමේ මූලාරම්භය ළමා වියේදීම පෙන්නුම් කරන බවයි.

එසේම ඒ වයසේ පසු වන ළමයින්ගෙන් 5%ක් රුධිර පීඩනය වැඩි වීමේ අවදානමෙන් පෙළෙන අතර, 12%ත්-15%ත් අතර ප්‍රතිශතයකට ක්ලෙස්ටරෝල් වැඩි වීමේ ප්‍රවණතාව පවතී. කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයේ බාහිර ක්‍රියාකාරකම්හි හිඟය හේතුවෙන් අනාගතයේ ඔස්ට්‍රියෝ පොරොසීස් රෝගයට ගොදුරු වීමේ අවදානම ද පවතින බව වෛද්‍ය මතය වී ඇත.

ඔස්ට්‍රියෝ පොරෝසිස් තරුණ වයසේදී ඇති නොවීමට නම් පාසල් වියේදීම කැල්සියම් අඩංගු ආහාර හා ව්‍යායාම් තිබිය යුතුය. දරුවන්ට නියමිත පෝෂණය හා ව්‍යායාම් නැති වීමෙන් සිදු වන්නේ කය වෙහෙසීමකින් තොරව මනස පමණක් අසීමිතව වෙහෙසීමකි.

වෛද්‍ය දිමුත් පවසන අන්දමට විභාග සමයේ මවුපියන් දරුවන් සමඟ කාලය ගත කිරීම හා මවුපියන්ගේ අවධානය ඔවුන්ට ලබාදීම අතිශය වැදගත්ය.

“ විභාග සමයේ වෛද්‍යවරුන් ගොඩක්ම අත්දකින දෙයක් තමයි විභාගයට මාසයක් දෙකක් තිබියදී දරුවන්ට නොයෙක් ශාරීරික අපහසුතා ඇති වන බව . ඒත් ඒ රෝගී තත්ත්වයට කිසිම හේතුවක් හොයා ගන්න බැහැ. ඒවා ඇති වන්නේ දරුවාගේ මානසිකත්වය නිසා. දරුවා බඩ රිදෙනවා කිව්වට දරුවා දන්නේ නැහැ එයාගේ මානසික පීඩනය වැඩිකමට තමයි එය සිදු වන්නේ කියා. දරුවන්ගේ මානසික පීඩනය වැඩි වූ විට එය දරුවා බාහිරව පෙන්වන ක්‍රමයක් තමයි ඔළුවේ කැක්කුම හෝ බඩේ කැක්කුම. ඒ වගේ අමාරුකම් ඇති වන්නේ දරුවාට පීඩනය දරාගන්න බැරිකම නිසයි. මේ නිසා තමයි දරුවන්ට නිවාඩු ලබා දෙන්නේ. ඒ සෙල්ලම් කරන්නයි. ඔවුන් මානසික පීඩනයෙන් මුදාගන්නයි.

විභාගයක් ළං වන විට දරුවන්ට පාඩම් කරන්න කියලා මවුපියන් උපදෙස් දෙන තරවටු කරන වාර ගණන අනන්තයි. ඒ තරවටු කිරීම දරුවන්ට පීඩාවක්. දරුවා එක තැන තබාගනිමින් ආහාර කවමින් තමයි අම්මලා විභාගයට සුදානම් කරන්නේ. ළමයි මොන විභාගය තිබුණත් දවසකට පැයක්වත් ක්‍රිඩා කළ යුතුමයි. ක්‍රීඩාවෙන් ඉවත් වීමෙන් දරුවාගේ මානසික සමබරතාව ගිලිහී යනවා.

ඇඟපත වෙහෙසීමකින් තොරව ආහාර ගැනීමෙන් දරුවා නොසිතූ ආකාරයේ ස්ථූලතාවට ගොදුරු වීමේ හැකියාව වැඩියි. අවුරුදු 8-10 වයසේ දරුවන්ගේ ස්ථූල වීම් කිසිදා වෙනස් කළ නොහැකියි.

විභාගයට සූදානම් වන දරුවන්ගේ මානසික හා සෞඛ්‍ය සුවතාවට බලපාන තවත් කාරණයක් තමයි අධ්‍යාත්මික සුවතාව . මෙය දියුණු කරන්න නම් දරුවා ආගමට දහමට යොමු කළ යුතුයි. වර්තමානයේ දරුවන් බොහෝ දෙනෙක් දහම්පාසලට යනවා. එය සතුටට කරුණක්. එමඟින් දරුවාට මානසික සතුටක් හිමි වෙනවා.

විභාගයට වාඩි වෙන දරුවෙක් නිතරම නිරවුල් මනසකින් සිටිය යුතුයි. ඉගෙන ගත් දේ යළිත් මතක් කරන්න නම් ඒ නිරවුල් මනස පැවැතිය යුතුයි. විභාගයක් ළං වන විට ඒ අවසන් කාලය තුළ විභාගය අමතක කරන එක තමයි වඩාත්ම සුදුසු. දරුවාව පන්සලකට පල්ලියකට රැගෙන ගිහින් අධ්‍යාත්මික සුවය ලබා දීම වැදගත්. දරුවා මානසික පීඩනයට ලක් කරනවාට වඩා පුතේ, ඔයාට හොඳින් විභාගය ලියන්න පුළුවන් කියලා දරුවා දිරිමත් කරන එක වැදගත්. විභාගය ලියූ දරුවා‍ ගෛදර ආපසු ඒ ගැන අසමින් කරදර නොකිරීමත් ඉතාම වැදගත්. පුතේ ඔයා විභාගය පාස් වුණත් මගේ රත්තරං පුතා. ෆේල් වුණත් මගේ රත්තරං පුතා කියලා ආදරය පෙන්වීම අතීශය වැදගත්

විභාගය ජීවිතයේ එක් කඩඉමක් පමණයි. විභාගයෙන් අසමත් වුණා කියන්නේ සියලු අපේක්ෂා භංග වීමම නොවේ. දරුවකු විභාගයෙන් අසමත් වීමම ජීවිතයෙන් ජයගන්නට ඔහුට හේතුවක් වෙනවා. එනිසා විභාගයෙන් සමත්වන දරුවා‍ මෙන්ම අසමත් වන දරුවාද පිළිගැනිමට තරම් අප සමාජය ශක්තිමත් විය යුතුය.

Comments