
පහළ මධ්‍ය ආදායම් මට්ටමේ සිටි ශ්‍රී ලංකාව 2019 වසරේ දී ඉහළ මධ්‍ය ආදායම් මට්ටමට පැමිණ ඇතැයි ලෝක බැංකුවේ රටරටවල්වල තත්ත්වය නීර්ණය කිරීමේ වාර්තාවක සඳහන් වේ. ඉහළ මධ්‍ය ආදායම් රටක් වීමට, එහි සිටින පුරවැසියන්ගේ වාර්ෂික ආදායමේ සාමාන්‍ය මට්ටම අමෙරිකන් ඩොලර් 3996 සීමාව පසුකර යා යුතුය. 2019 ජූලි 01 වැනිදා ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ ඒක පුද්ගල දළ ජාතික ආදායම අමෙරිකන් ඩොලර් 4060ක සීමාව ඉක්මවා ගියේ ය.
මේ අගය සෙවීමේ දී භාවිත කරන සාධකය වන්නේ රටක දළ ජාතික ආදායම නොව දළ දේශීය ආදායමයි. එයට හේතු වන්නේ කිසියම් රටක සිටින විදේශීය ශ්‍රමිකයන්ගේ වැටුප් සහ විදේශීය ව්‍යවසායකයන්ගේ ලාභාංශ රටෙන් බැහැරට යන ඉපැයීම් වන බැවින් කිසියම් රටක සිටින දේශීය ජනයා ඉපැයූ ආදායම ඒ රට සම්බන්ධයෙන් ගණන් බැලිය යුතු නිසා ය.
ලෝක බැංකුව විසින් මේ අකාරයෙන් ස්වදේශිකයන්ගේ ආදායම අනුව රටක සෞභාග්‍යය මැනීමේ දී ලැබෙන අගය අන්තර්ජාතික මට්ටමෙන් සැසඳීමට අවශ්‍ය බැවින් ඒ රටේ මුදල් ඒකකය, පවතින විනිමය අනුපාතයට අනුව අමෙරිකානු ඩොලරයට හරවා පොදු අගයක් ලබාගනියි. අනිත් අතට රටක ආර්ථික දත්ත වරින් වර උච්ඡාවචනය වන බැවින් මුදල් ඒකකයේ, අඛණ්ඩ ව වසර තුනක තොරතුරු සලකා බැලීම සිදු වේ. ශ්‍රී ලංකාවෙන් විදේශ ආයෝජකයන්ට ඉහළ ලාභාංශ ගෙවීමත් ඉහළ පොළී ගෙවීම නිසාත් දළ ජාතික නිෂ්පාදනයත්, දළ දේශීය නිෂ්පාදනයත් අතර සියයට 3ක පරතරයක් පවතියි.
වැදගත් කාරණා දෙකක්
බාධා සහ සීමා කොතෙකුත් පැවැතිය ද රටක් වශයෙන් ශ්‍රී ලංකාව මෙතෙක් ලබා ගෙන ඇති මේ තත්ත්වය සතුටට කරුණකි. දුප්පත් රටක් ව පැවැති ශ්‍රී ලංකාව පහළ මධ්‍ය ආදායම් සහිත රටක් වශයෙන් ලෝක බැංකුවෙන් නම් කරනු ලැබුවේ 1997 දීය. එතැන් සිට අද දවසේ මධ්‍ය ආදායම් සහිත රටක් බවට පත් වීමට වසර 22කින් හෝ අපට හැකි වූයේ ධනවත් රටක් බවට පත් වීමට යන ගමනේ වැදගත් කඩඉම් දෙකක් එසේ පසු කරමින් ය.
1948 නිදහස ලබාගැනීමෙන් අනතුරුව වසර 50ක් ගතවනතුරුත් දුප්පත්කමේ සීමාවෙන් ඉහළට පැමිණීමට ශ්‍රී ලංකාවට නොහැකි වූයේ ආර්ථික වර්ධන වේගය සියයට 4 යන්තමින් ඉක්මවීමට පමණක් සීමා වූ නිසා ය. 1997 දී එවකට ඩොලර් 786ක ඒක පුද්ගල ආදායමක් ඇතිව පහළ මධ්‍ය මට්ටමට පැමිණීමට හැකි වුණත් ආර්ථිකයේ ඇති වූ යෝධ වර්ධනය නිසා වසර 22ක් තරම් සාපේක්ෂව අඩු කාලයකින් ඉහළ මධ්‍ය ආදායම් මට්ටම පැමිණීමට මේ රටට හැකි විය.
රට එවැනි කඩඉමක පවතියි නම් එහි වාසය කරන ජනතාව සතුටෙන් ජීවත් විය යුතු වේ. ඒ සඳහා වැදගත් කාරණා දෙකක් ඉටු විය යුතුය.
එක් කාරණයක් වන්නේ ජනතාවගේ මුදල් මට්ටම අඩු කිරීමට හේතු වන නිතර මිල ඉහළ යෑම් අඩු වීමයි. ඩොලරයට සාපේක්ෂව රුපියල පහළ වැටීම නිසා ගෝලීය මිනුම් දඬුවලදී රටේ ආර්ථික මට්ටම ගැන ඇති වන්නේ සැබෑ මට්ටටම වඩා වෙනස් චිත්‍රයකි. ශ්‍රී ලංකාවේ උද්ධමනය එය ගනුදෙනු කරන අනිත් රටවල්වලට වඩා ඉහළ මට්ටමක පැවැතීම ද රටට අහිතකර ය. දෙවැනි කාරණය වන්නේ ශ්‍රී ලංකාවේ ජනතාව අතර ඇති ආදායම් බෙදීමේ විසමතාවයි. එපමණක් නොව රටේ දිස්ත්‍රික්ක සහ පළාත් අතර ද ආදායම් විසමතා පවතියි.
1997 සිට 2018 දක්වා කාලය අතරතුර ශ්‍රී ලංකාවේ ආර්ථිකය වර්ධනය සිදු වූයේ වසරකට සියයට 5ක මට්ටමෙන් පමණි. රටවැසියන්ගේ ජීවන මට්ටම පරිවර්තනය කිරීමට එය කිසිසේත් ම ප්‍රමාණවත් වන්නක් නොවේ. මේ අතර බඩු මිල සියයට 13ක වේගයෙන් වර්ධනය වී ඇත.
ඩොලරයට සාපේක්ෂ ව රුපියලේ අගය වර්ෂයකට සියයට 3.4කින් පහළ වැටීම සිදු වේ. මිල ඉහළ යෑමේ ප්‍රශ්නය විසැඳීම සඳහා අමෙරිකානු ඩොලරයේ අගයට සාපේක්ෂව රුපියලේ අගය තුළනය වීමට සැලැස්විය යුතුය. නොඑසේ නම් ඩොලරයට සාපේක්ෂ ව රුපියල අධි තක්සේරුවට ලක් වීම සුදුසු නොවන්නකි.
රටේ ජනතාවගේ ජීවන මට්ටම
ආදායම ඩොලර්වලට පරිවර්තනය කිරීමේ සත්‍ය වටිනාකම නිරූපණය කිරීමට මෙසේ මුදලේ අගය වෙනස් වීම බාධාවකි. මේ වරද නිවැරැදි කිරීම සඳහා ලෝක බැංකුව හඳුන්වා දුන් ක්‍රමය වූයේ වසර තුනක විනිමය අනුපාතයේ සාමාන්‍ය අගය ලබාගෙන ගණනය කිරීමයි. රුපියල වැඩි අගයකින් දැක්වෙන විට සැබැවින් ම ඇති ආදායමට වඩා වැඩියෙන් පෙන්නුම් කෙරේ. මේ ආකාරයෙන් ශ්‍රී ලංකාව මධ්‍ය ආදායම් රටක් බවට පත් වූයේ එසේ වීමට නියමාකාරයෙන් ගත වන කාලයට කලින් ය.
ආදායම් බෙදීමේ විෂමතාව නිසා ඒක පුද්ගල ආදායම රටක වැසියන්ගේ සුබසිද්ධිය මැනීමට සාර්ථක මිනුම් දණ්ඩක් ලෙස භාවිත කළ නොහැකි බව ලෝක බැංකුවේ අදහසයි. කාරණා දෙකක් නිසා මේ අදහස ශ්‍රී ලංකාවට ගැළපෙන බව පෙනී යයි.
අතීතයේ සිට ම ශ්‍රී ලංකාවේ ජනතාව අතර ආදායම් විසමතා පැවැති බව පළමුවන කාරණයයි. රටේ ආදායමෙන් සියයට 51ක් භුක්ති විඳින්නේ ධනවත් ම පුරවැසියන් සියයට 20 විසින් බව 2016 වසරේ ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සිදු කළ සමීක්ෂණයේ දී අනාවරණය විය. ඒ අතර රටේ දුප්පත් ම පුරවැසියන් සියයට 20 බුක්ති විඳින්නේ රටේ ආදායමෙන් සියයට 5ක් බව ද මෙහිදී තවදුරටත් හෙළි විය.
සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ ආදායමෙන් වැඩි ප්‍රමාණය පවතින්නේ ඉහළ ආදායම් උපයන සුළු පිරිස අත කේන්ද්‍රගතව ය. ඉහළ ආදායම් උපයන සියයට 30 අතර සමස්ත ආදායමෙන් සියයට 62ක් ද දුප්පත් ම සියයට 30 අතරට ආදායමෙන් සියයට 9ක් ද මධ්‍ය ආදායම් උපයන්නන් අතර සමස්ත ආදායමෙන් සියයට 29ක් ද බෙදී පවතියි. ආදායම් බෙදී යෑමේ මෙවැනි විසමතා පැවැතිය දී රට මධ්‍ය ආදායම් මට්ටමේ පැවැතිය ද රටේ ජනතාවගේ ජීවන මට්ටම එක ලෙස ඉහළ ගොස් ඇත්දැයි යන්න ප්‍රශ්නකාරී වේ.
දෙවැනි කාරණය වන්නේ පළාත් අතර ආදායම් බෙදී යෑමේ විසමතාවයි. එය රටේ සමස්ත ආදායම් බෙදීයාමේ විසමතාවට වඩා බරපතල කාරණාවකි. ශ්‍රී ලංකා මහ බැංකුව පළාත්බද දළ ජාතික නිෂ්පාදනය ගණනය කරනු ලබන්නේ ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සිදු කරන සමස්ත සමීක්ෂණයේ ප්‍රතිඵල විශ්ලේෂණයෙන් අනතුරුව ය.
පළාත් දළ දේශීය නිෂ්පාදන සංඛ්‍යා ලේඛන ලබා ගැනීමට තරමක කාලයක් ගත වන අතර මේ වන විට ලබාගත හැක්කේ 2017 වසර දක්වා තොරතුරු පමණි. මේ ලිපියේ ලේඛකයා දළ දේශීය නිෂ්පාදනය සහ දළ ජාතික නිෂ්පාදනය අතර අගය ගණනය කිරීම සඳහා ඒ අගයන් දෙක අතර පවතින සියයට 3 ක වෙනස උපයෝගී කර ගත්තේ ය.
ඉහළ මධ්‍ය ආදායම් මට්ටමේ රටක් වීමට ඒක පුද්ගල ආදායම ඩොලර් 3,996ක මට්ටමට පැමිණිය යුතු අතර පළාත් මට්ටමෙන් දත්ත විශ්ලේෂණය කර බැලුවොත් ඒ මට්ටමට පැමිණ ඇත්තේ බස්නාහිර පළාත සහ ඌව පළාත පමණි. අනිත් පළාත් සියල්ල ම ඒ මට්ටමට පැමිණීමට නම් ඒවා තවදුරටත් ආර්ථික වශයෙන් වර්ධනය විය යුතුය.
ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සියයට 5ක මට්ටමට වැඩි වුවහොත් සමස්ත රට ඉහළ මධ්‍ය ආර්ථික මට්ටමට වර්ධනය වීමට වසර 8ක් වත් ගතවනු ඇත.
මේ නිසා ශ්‍රී ලංකාවේ වර්තමාන අභියෝගය වන්නේ දිස්ත්‍රික්ක අතර පවතින ආදායම් බෙදීමේ විසමතාව දුරු කර සමස්ත රටේම ජනතාවට ඉහළ මධ්‍ය ආදායම් මට්ටමේ සමාජ සුබසාධනයක් ලබාදීමට සැලැස්වීමයි. මේ නිසා වර්තමානයේ ඇති ප්‍රධානතම අභියෝගය වන්නේ සියලු ම පළාත්වලට එක හා සමාන ආර්ථික වර්ධනයක් ඇති වන පරිදි ප්‍රතිපත්ති සැලැසුම් කර ක්‍රියාත්මක කිරීමයි.
ආර්ථික වර්ධනයේ ප්‍රතිඵල භුක්ති විඳින්නේ වරප්‍රසාද සහිත සුළු පිරිසක් බැවින් ජාතික සහ පළාත් වශයෙන් බහුතරය වෙත ආර්ථික වර්ධනයේ ඵල භුක්ති විඳීමට ලැබෙන්නේ නැත. මේ නිසා ආර්ථික, සමාජ සහ දේශපාලනික ගැටලු රැසක් ඇති වේ. අවස්ථාවාදී කපටි නායකයෝ මේ අසහනකාරී තත්ත්වයන් අවුළුවා ජනතාව උසිගන්වා තමන්ගේ සුඛ විහරණය සලසා ගැනීමට කටයුතු කරන බව අප දන්නා දෙයකි.
මේ අය අසහනයට පත්ව සිටින ජනතාවට, තමන් දුක් විඳීමට හේතුව ලෙස ව්‍යාජ සතුරකු මවා පෙන්වා, ඒ දුක අවසන් කිරීමට නම් එයට එරෙහිව ක්‍රියාත්මක විය යුතු බව පෙන්වා, ඒ දෙසට මෙහෙයවීම කරති. මේ බොහෝ අවස්ථාවල දී සතුරන් ලෙස පෙන්වා දෙන්නේ ආගමික හෝ ජාතිකත්වයකට අයත් සුළු ජාතීන් ය. ඒ සුළු ජාතිකයන් පොදු ජනතාව සතු විය යුතු සම්පත් භුක්ති විඳින්නන් පිරිසක් ලෙස මොවුහු අනිත් අයට පෙන්වා දෙති.
1930 දශකයේ මැද භාගයේ නාසි ජර්මනියේ දී පොදු සතුරා වූයේ යුදෙව් ජාතිකයන් ය. මියෙන්මාරයේ දී අද දවසේ පොදු සතුරා වී ඇත්තේ එරට ආර්ථිකයෙන් කොන් වී සිටින රෝගීන් හා මුස්ලිම් සුළු ජාතිකයන් ය. එය බංග්ලාදේශයේ දී සුළු ජාතික බෞද්ධයන් වේ. බුර්කිනෝ ෆාසෝ හි බහුතර මුස්ලිම් ජනයා අතර ක්‍රිස්තියානි සුළුතරය මෙසේ ආර්ථික හුදකලාකරණයට ලක් වී තිබේ. රටක බිල්ලට ගත හැකි සුළු ජාතිකයන් නොමැති අවස්ථාවක අවස්ථාවාදී දේශපාලනඥයන්ගේ ඉලක්කය වන්නේ ඒ රටේ සිටින ධනවත් ජනතාවයි.
බස්නාහිර පළාතට විශේෂ අවධානයක්
දේශපාලන නායකයෝ ඉතිහාසය පුරාම තමන්ගේ ජයග්‍රහණය අත්කර ගත්තේ ජනතාව අතර ගැටුම් සහ භේද ඇති කිරීම මඟින් ය. එසේ කිරීමේ දී ඔවුහු ජාතිවාදය, දේශප්‍රේමය ලෙස වරදවා පෙන්වා දෙති. ජාතිකත්ව හෝ ආගම පදනම් කරගෙන රට කොටස් කළ හොත් එවැනි රටකට ඉදිරියට යෑමට නොහැකිය. නිදහසෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය අඩු මට්ටමක පැවැතීමට හේතු වන්නේ ඉතිහාසය පුරාම ජනතාව ආගමික සහ වාර්ගික පදනමෙන් බෙදා පාලනය කිරීමට කටයුතු කිරීමයි.
වර්තමානයේ සංවර්ධනය සඳහා රටේ සම්පත් වෙන් කිරීමේ දී බස්නාහිර පළාතට විශේෂ අවධානයක් යොමු කර ඇත. ඉදිරි වසර 5ක කාලය ඇතුළත බස්නාහිර පළාතේ මෙගා පොලිස් ව්‍යාපෘතිය යටතේ අමෙරිකානු ඩොලර් බිලියන 45ක් ආයෝජනය කිරීමට නියමිත ය.
මේ සංවර්ධන ක්‍රමෝපායේ තර්කානුකූල ආර්ථික උපකල්පනය වන්නේ බස්නාහිර පළාතේ ආර්ථිකය මේ ආකාරයෙන් දියුණු වන විට එයින් උපයන අධික ආදායම අනිත් පළාත් වෙත ගමන් කළ හැකිය යන්නයි. උදාහරණයක් ලෙස මේ ආදායමෙන් කොටසක් නිසා අම්පාරේ ආහාර, කිරි සහ ධීවර ආදී වෙළෙඳපොළවල්වල ආදායම වර්ධනය විය හැකි ය.
කෙසේ වෙතත් මේ කටයුතු ඉබේ සිදු වන්නේ නැත. ඒ සඳහා යහපත් මාර්ග පද්ධතියක් ඇති වීම, ප්‍රවාහන පහසුකම් දියුණු වීම සහ තාක්ෂණික වර්ධන ආදිය සිදු විය යුතුය. එසේ නොවුවහොත් උපයන අධික ආදායම තම ඉල්ලුම් අවශ්‍යතා සපුරා ගැනීමට අම්පාරට හෝ මඩකලපුවට වඩා, කොළඹට ගුවනින් අඩු කාලයකින් සමීප විය හැකි කේරළයේ හෝ තමිල්නාඩු වැනි වෙළෙඳපළවලට ඇදී යා හැකියි. මේ නිසා බස්නාහිර පළාතේ මෙන්ම රටේ සියලු ම ප්‍රදේශවලට ද මෙගා පොලිස් සංවර්ධන ආකෘතිය ආදේශ විය යුතුය.
අද දවසේ ලෝක ආර්ථික වර්ධනයේ ඉලක්ක වන්නේ සියලු පුරවැසියන් අතර ප්‍රතිලාභ බෙදාගැනීමේ සංකල්පයයි. ඒ අතින් චීනය සහ ඉන්දියාව අද ලබා සිටින දියුණුවට සමාන සෞභාග්‍යයක් අනිත් රටවල් විසින් ද ලබාගත යුතුයි. ආර්ථිකයේ ප්‍රතිලාභ ප්‍රධාන පෙළේ පුද්ගලයන් කිහිපදෙනකුට හෝ රටවල් කිහිපයකට නොව ජීවත්වන ස්ථානය, ආගමික විශ්වාසය හෝ කුලය ආදිය නොසලකා සමාජයේ සිටින සෑම දෙනා වෙත එක ලෙස හිමි විය යුතුය. ශ්‍රී ලංකාව ඉහළ මධ්‍ය ආදායම් ලබන රටක් බවට පත්වීමේ නියම අර්ථය ලබා ගැනීමට නම් ආර්ථික දියුණුවේ ප්‍රතිඵල සැමට එක ලෙස හිමිවිය යුතුය.
මේ ලිපියේ රචකයා වන ඩබ්ලිව්. ඒ. විජේවර්ධන ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයකු ලෙස සේවය කළේය.