හම්බන්තොට සෙල්ලම් පිස්තෝල පුරපති පස් අවුරුද්දක් මහ උළුගෙදරට ගිය හැටි | සිළුමිණ

හම්බන්තොට සෙල්ලම් පිස්තෝල පුරපති පස් අවුරුද්දක් මහ උළුගෙදරට ගිය හැටි

ජයතිලක බණ්ඩාර ඇතුළු කලාකරුවන්ට හම්බන්තොටදි පෙරළාගෙන ගහලා...
පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවකුට පහරදී පැහැරගෙන යන්න හදලා...
නීතිය අතට අරන් කරලා තියෙන්නෙම මැරකම්
වැඩේ ගැස්සුණේ හම්බන්තොට වරාය නිරීක්ෂණයට ගිය මහජන නියෝජිතයන්ට වෙඩි තියන්න ගිහින්...

එවකට අජිත් පී. පෙරේරා, අජිත් මාන්නප්පෙරුම, නලින් බණ්ඩාර, ඉරාන් වික්‍රමරත්න හා ආර්. යෝගරාජන් යන මන්ත්‍රීවරුන් පස්දෙනා සිටියේ විපක්ෂයේ ය. ඔවුන් ඇතුළු පිරිසක් දකුණේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ. ඒ 2014 අප්‍රේල් මස 17 වැනි දිනයි. ඔවුහු එදින මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සහ හම්බන්තොට වරාය පරිශ්‍රයේ නිරීක්ෂණයක ද යෙදුණහ.

නිරීක්ෂණයෙන් අනතුරුව වරාය පරිශ්‍රයෙන් පිටතට පැමිණෙමින් සිටි පිරිස ඉදිරියට එක්වරම පැමිණෙමින් සිටියේ මැර හමුදාවකි. මේ පිරිස අත ගල්-මුල් පමණක් නොව කඩු, කිණිසි ද විය. ඒ අතර එවකට ද හම්බන්තොට නගරාධිපතිවරයාව සිටි එරාජ් රවින්ද්‍ර ප්‍රනාන්දු, ප්‍රේමසිරි පරණමාන, තුවාන් රම්සාන්, මදුෂ නිලාන්, බින්දු වර්ණසිංහ සිටින බව හඳුනා ගැනුණි.

මේ අතර පාර්ලිමේන්තු මහජන නියෝජිතයන් පස්දෙනා ඇතුළු පිරිස ඉදිරියට නගරාධිපතිවරයා පැමිණියේ ය; ඔහු අත පිසතෝලයක් විය. අතේ වූ පිස්තෝලය කරකවමින් එන මේ නගරාධිපති මැරයාගේ ඡායාරූපය ඒ වකවානුවේ මාධ්‍යජාල ඔස්සේ එක පැහැර පළ වුණේ ය. ඔහු මීටර් සියය ධාවන තරගයක් දුවන්නා සේ පිස්තෝලයක් ද අතැතිව දිව යන ආකාරය අයෙක් වීඩියෝ කර තිබිණි. එය මහජන නියෝජිතයකු නොව, මානව ධර්මතා අගයන කිසිම මනුෂ්‍යයකු අනුමත නොකර අශිෂ්ට හැසිරීමක් විය. ඒ සිද්ධිය පාදක කොට හම්බන්තොට මහාධිකරණයේ වසර හයක පමණ කලක් පැවැති නඩුවේ තීන්දුව පසුගිය දෙවැනිදා ප්‍රකාශයට පත් කෙරිණි. එදින හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා විසින් එරාජ් ප්‍රනාන්දුට බරපතළ වැඩ සහිතව වසර පහක සිර දඬුවමක් නියම කෙරුවේ මහජන නියෝජිතයන්ට සාපරාධි බලහත්කාරය පෑම, ඔවුනට අඩන්තේට්ටම් කිරීම, නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වීම ඇතුළු චෝදනා 29ක් ඉදිරිපත් කරමිනි.

එම චෝදනා 29ටම වැරැදිකරු වූ එරාජ් ප්‍රනාන්දු නගරාධිපතිවරයා සහ නඩුවේ පළමුවැනි විත්තිකරු වූ පේමසිරි පරණමානට ද වසර පහක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම විණි. ඊට අමතරව මහාධිකරණ විනිසුරුවරයා චුදිතයන් දෙදෙනාට ම වෙන වෙනම ඒ ඒ චෝදනා සඳහා රුපියල් 5000 බැගින් රුපියල් එක් ලක්ෂ තිස් දහසක දඩ මුදලක් ද නියම කළේය. එය නොගෙවන්නේ නම් රුපියල් 5000 දඩ මුදල් සඳහා මාසය බැගින්ද සිර දඩුවම් නියම කෙරිණි.

ඊට අමතරව අගතියට පත් පාර්ශ්වය සඳහා රුපියල් ලක්ෂ හයහමාර බැගින් ලක්ෂ 13ක වන්දි මුදලක් ගෙවන ලෙස ද නියෝග කෙරිණි. වන්දි නොගෙවන්නේ නම් වන්දි මුදල වන පනස්දහසක මුදලක් සඳහා මාස හය බැගින් ද සිර දඩුවම් නියම විය.

වත්මනෙහිද හම්බන්තොට නගරාධිපතිවරයා වන එරාජ්, එදා මහජන නියෝජිතයන් ඉදිරියට පිස්තෝලයක් රැගෙන දිව යන ආකාරය මාධ්‍ය මඟින් පුන පුනා ප්‍රචාරය විය. එහිදී ඔහු පැවසුවේ 'තමන් අත තිබුණේ සෙල්ලම් පිස්තෝලයක්' බව ය. එදින සිට 'සෙල්ලම් පිස්තෝල පුරපති' නමින් ප්‍රකට ව සිටි එරාජ් පැවැති රජයේ ප්‍රබලයන්ගේ සුවච කීකරු ගෝලයෙක් විය.

එලෙස දාමරිකකමින් ම පුරපතිකම කළ මේ නගරාධිපති මැරයා සිටියේ බලයෙන් විකල් වීමෙනි. ඔහු වර්ෂ 2014 දෙසැම්බර් 21 වැනි දා විශාරද ජයතිලක බණ්ඩාර සංගීතවේදියාණන් ප්‍රමුඛ සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් විසින් රටපුරා ගෙන ගිය “වියරුවට එරෙහිව වීදියේ විරෝධය“ සංවිධානයට හම්බන්තොට බස් නැවතුම්පොළ අසල දී පහර දුන්නේ ය. මේ කණ්ඩායම ජනතාව දැනුම්වත් කිරීමේ පත්‍රිකා බෙදමින් වීදි නාට්‍ය සංදර්ශනයක් පැවැත්වීමට සූදානම් වෙමින් උන්හ. මේ කලාකරුවන් පිරිස එරාජ් ප්‍රනාන්දු ප්‍රමුඛ මැර පිරිසගේ ප්‍රහාරයට ලක් වූයේ ඒ අවස්ථාවේය.

ජයතිලක බණ්ඩාර ඇතුළු කණ්ඩායමට පහර දීමේදී හම්බන්තොට නගර සභාවේ මන්ත්‍රීවරුන් ද තුවාල ලැබූහ. ඊට අමතරව එරාජ් එදින 'වීදියේ විරෝධය'ට එක්වූ කලාකරුවන්ට මරණ තර්ජන එල්ල කළ බවට ද චෝදනා නැඟිණි.

එසේම 2014 වසරේ මාර්තු මාසයේදී අම්බලන්තොට පොලිස් අත්අඩංගුවේ පසුවූ සැකකරුවකුට පහරදී ඒ සැකකරු රැගෙන යෑමට උත්සාහ දැරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා එල්ල විණි. පොලිසිය පයිසයට දමා කරන්නට උත්සාහ කළ ඒ අශිෂ්ට මැරකම පිළිබඳ ව පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය විශේෂ පරීක්ෂණයක් කළේය.

මේ සිද්ධියට අදාළ ව එරාජ්ට ඒ සමයේ බන්ධනාගාරයේ 'කූරු' ගනින්නට සිදු විය. හම්බන්තොට ජනතාව තමන්ගේ මහජන නියෝජිතයෙකු ලෙස පත් කරගත් මේ මැරයා වර්ෂ 2015 වසරේදී බෙලිඅත්ත ශ්‍රීලනිප ආසන සංවිධායක ධූරයට ද පත් කෙරිණි. ඒ සමයේ 'ජේ.වි.පි.කාරයන් මැරුවේ තමන් බවත් 'ප්‍රා' නමැති සංවිධානය තමන්ගේ බවත් ප්‍රසිද්ධියේ කියමින් ස්වකීය අනුවණ වාචාලකම ප්‍රකට කරන වීඩියෝවක් ඒ වකවානුවේ සමාජ ජාලා තුළ සංසරණය විය. ඒ කතාව ද රට තුළ මහත් ආන්දෝලනයක් ඉපදවූයේය.

මේ සිය බලය දුරාවාරයේ යොදවන අතර නීතිය සියතට ගෙන සෙල්ලම් කිරීමට උත්සාහ කළ මුග්ධ පුද්ගලයෙක් අවසානයේදී අධිකරණය ඉදිරියේ සල්ලං විය. මහජන නියෝජිතයකුගේ ගෞරවනීය භූමිකාව කෙලෙසමින් මැරයකුට ඇඳගත් සෙල්ලම් කළ පිස්තෝල පුරපතිට අත්වූ ඉරණමෙන් මහජන නියෝජිතයන් හෝ පාඩමක් ඉගෙන ගන්නවා නම් මැනවි. මිනිසුන්ට තමන් නියෝජනය කිරීම සඳහා තෝරාගෙන ඉදිරිපත් කරන පුද්ගලයාගේ ප්‍රමිතිය පිළිබඳ ව මීට වඩා වැඩිපුර හිතන්නට ද මේ සිද්ධිය හේතු වනු ඇතැයි විශ්වාස කරමු.

Comments