
ස්තූතියි අගමැතිතුමනි, බොහොම ස්තූතියි. මගේ ජීවිත කාලය පුරාම මේ මොහොත එන තුරා මම බලා සිටියෙමි’
ජීවිත කාලය පුරාම ඇය තුළ තිබී, අවසන් සුසුම් හෙළන්නට ඔන්න මෙන්න තිබියදී ඉෂ්ට වූ බලාපොරොත්තුව ගැන ඇය තැබූ අවසාන සටහන එයයි. ඇය සිය නිල ට්විටර් සමාජ ජාලය තුළ මියයන්නට පැය 3කට පමණ පෙර තැබූ සටහනයි. ඒ සටහන ඇය තැබුවේ ජම්මු හා කාශ්මීරය සමූහාණ්ඩු දෙකකට බෙදා වෙන් කිරීම සදහා අගමැතිගේ මූලිකත්වයෙන් ඉන්දීය ව්‍යවස්ථාවේ 370 වගන්තිය අවලංගු කොට සංශෝධනයට ලෝක් සභාව පියවර ගැනීමත් සමඟය.
මිලියන 13ක පසුහඹන්නන් සිටින ඇයගේ අවසාන ට්විටර් සටහන ලක්ෂ ගණනකගේ ප්රතිරාව නැඟීමට හේතු විය. නවදිල්ලියේ සිටියදී තම නීතිඥවරයාගෙන් ඒ පුවත අසා බෙහෙවින් සතුටට පත් වී සිටි ඇය, හෘදයාබාධයක් හේතුවෙන් කිසිවකු නොසිතූ අවස්ථාවක අවසන් හුස්ම හෙළුවාය.
අප මේ කියන ඇය, පසුගිය 06 වැනිදා අවසන් ගමන් ගිය කීර්තිමත් දේශපාලනඥවරියක වන ඉන්දියාවේ හිටපු විදේශ ඇමතිනිය සුෂ්මා ස්වරාජ් ය. ඇයගේ වියෝව ඉන්දියානුවන්ට මෙන්ම බොහෝ විදේශිකයන්ට ද එක් කළේ කිසිවකට සමාන කළ නොහැකි කම්පනයකි. දේශපාලනයට තරම් නොවූ සානුකම්පිත, දයාදර හදවතක් හිමි තැනැත්තියක ලෙස ඇය කාගේත් සිත තුළ නිදන්ව සිටි යාය. දේශපාලනඥයෙකුගෙන් කිසිසේත් අපේක්ෂා කළ නොහැකි තරමේ දයානුකම්පාවක් තිබූ ඇය සිය රාජකාරියෙහිදී දැක්වූ දක්ෂතා නිසාම ඉන්දීය ඉතිහාසයට සලකුණු තැබූ කාන්තාවක් වූවා ය.
‘සුෂ්මා මහත්මියගේ අභාවය මට පෞද්ගලිකව ද බලවත් පාඩුවකි. ඇය ඉන්දියාව වෙනුවෙන් කළ සෑම දෙයක්ම ඇයව ආදරයෙන් සිහිපත් කරනු ඇත. ’
භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු වන සුෂ්මා ගැන ඒලෙස සටහනක් තබන විට අගමැති මෝදි කදුළු පිරි දෙනෙතින් මද වේලාවක් නිහඩව සිටි බව ඉන්දීය මාධ්‍ය තුළ මතු කර තිබුණේ සුෂ්මාගේ දේශපාලනය මෙන්ම ගුණාංග පිළිබද ඔහුගේ තිබූ ගෞරවය කියාපාමිනි. මෝදිගේ නව ආණ්ඩුවේ ඇමති ධුරය ඇය ප්‍රතික්ෂේප කළේ 2016 දී ඇයට කළ වකුගඩු සැත්කමෙන් අනතුරුව ද සුව නොවූ අසනීප තත්ත්වය නිසාය. මෝදිගේ පළමු ධුර කාලය තුළ විදේශ කටයුතු ඇමැතිනිය ලෙස ඇය එරට දෙවන කාන්තා විදේශ ඇමැති ධුරය හෙබවීය. ඇයගේ දේශපාලන දිවියේ වඩාත් කීර්තියක් ඉසිලූ අවධියක් ලෙස එම අවධිය හැදින්වීමට පුළුවන.
“ඔබ අඟහරු මත සිර වී සිටියත් ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය ඔබට උදව් කරනු ඇත’
ඒ, ඇය සිහිගන්වන ඇයගේම කියමනකි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඉහත කියමනට ඇය අර්ථ දුන් සුෂ්මාගේ වියෝව ගැන ඉන්දියාවෙන් නෙරපා සිටින ලොව පුරා ඉන්දියානුවන් කදුළු සලනවාට නිසැක ය. වෙනත් රටවල සේවය කරන විපතට පත් ඉන්දියානුවන්ගේ ප්‍රශ්නවලට නිතර මැදිහත් වූ ඇය ඔවුන්ට අවශ්‍ය ඕනෑම මොහොතක සහායට ඉදිරිපත් වූ විදේශ අමාත්‍යවරියකි.
“අප සාමාන්‍ය මිනිසුන් වුවත් සෑම විටම ඇය අපට හෘදයාංගම අයුරින් සැලකුවා. මගේ පුතාව නිදහස් කරගන්න ඇය පාකිස්තානයේ බලධාරීන්ට ලිපි 96ක් ලියා තිබෙනවා. ඇයගේ මැදිහත්වීම නොවන්නට මගේ පුතා නිදහස් වෙන්නේ නෑ. දේශපාලකයකුගෙන් කවදාවත් එවැන්නක් බලාපොරොත්තු වෙන්න බෑ?’ එලෙස කියා තිබුණේ රහස් ඔත්තු බැලීමේ චෝදනා මත වසර 6ක් තිස්සේ පාකිස්තානයේ සිරගතව සිට පසුගිය වසරේ දෙසැම්බරයේදී නිදහස ලැබූ හමීඩ් අන්සාරිගේ මවයි. ඇය හදවතෙහි ලැගුම් ගත් දසදහස් දෙනා අතුරින් හමීඩ්ගේ මව එක් අයෙක් පමණි.
ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරියක වන ඇය 1977 දී ඒනම් වසර 25 දී හර්යානා ප්‍රාන්තය නියෝජනය කළ ළාබාලම ඇමතිවරිය වූවාය.1998 දිල්ලියේ 5 වැනි මහඇමැතිවරිය ලෙස ද ඇය කටයුතු කළාය. ලෝක් සභා විවාදවලදී චතුර කථිකත්වයක් පෙන්නුම් කළ ඇයගේ ඇතැම් විවාද කතා ඉන්දීය දේශපාලනය තුළ ඉතිහාසගත වී තිබේ. ඒ අතුරින් 2009-2014 අවධියේ ඉන්දියාවේ පාලක කොංග්රස් පක්ෂය හා ගැටුණු අවස්ථාවලදී ඒවකට අගමැති මන්මෝහන් සිං සමඟ සිදුවූ ‘කාව්‍යමය වාදවිවාද’ කාගේත් කතාබහට ලක්වූවකි. විදේශ කටයුතු ඇමතිවරිය ලෙස ඇය ලංකාවේ ද සංචාරයේ නිරත වූවාය. එවැනි සංචාරයකදී ජනාධිපතිවරයාගේ සිය මාධ්‍යවේදියා දක්වා විවිධ මට්ටම්වල නිල හෝ නොනිල හමුවීම්වලට ඇය උත්සුක වන්නේ සුහද හමුවීම් සදහා ය. මෙරට මාධ්‍ය ආයතන වෙත ද ගොස් මාධ්‍යවේදීන් සමඟ සුහද කතාබහක යෙදෙන්නට ඇය අමතක කළේ නැත. ඉන්දියාවේදී ඇය හමුවූ ලාංකිකයෝ ද ඇයගේ නිහතමානීකම හොඳින්ම දනිති.
සුෂ්මා තම දේශපාලනයේදී විරසකය නොහඳුනන තරමටම හෘදයාංගම චරිතයකි. ඇය ආවේගශීලී වූයේ තමා අතින් සිදුවිය යුතු වගකීම් පැහැර හරින්නන් සමඟය. අශිෂ්ටයන් සමඟය. අහිංසකයන් අසරණ කරන්නවුන් සමඟය. පාකිස්තානය හා ඉන්දියාව අතර ඇති විරසකය කවුරුත් දන්නා කරුණකි. නමුත් පාකිස්තානුවන් අති විශාල පිරිසක් ඇය නිසා අද ජීවත් වන බවට පවසන්නේ ද ඔවුන්ම ය. ඒ බව ලෝකයටම කීමට ඔවුහු මැළි නොවෙති.
කොයි මොහොතේ හෝ ජීවිතය අහිමි වේදැයි සිතන අසාධ්‍ය රෝගීන්ට ඇයගේ රාජකාරිය දේවකාරියක් විය. ඇය හැමවිටම දේශපාලන ඒදිරිවාදිකම් පසෙකලා ජනතාව වෙනුවෙන් ඉදිරියට ආ ශක්තිමත් කාන්තාවක වූවාය.
විදේශිකයන්ගේ පවා දයාබර තැනැත්තියක ලෙස සිත් තුළ පැළපදියම් වූ ඇයගේ පාඩුව ඉන්දීය දේශපාලනයට වඩා ඇත්තේ ලෝ පුරා වෙසෙන ඉන්දියානුවන්ටය. ඇය ඔවුන් සැමගේ සිත් තුළත්, මුළුමහත් ඉන්දීය දේශපාලනයටත් මහා හිස්කමක් ඉතිරි කොට ගොසිනි. ලාහෝරයේ ජීවත් වන පාකිස්තාන ජාතික ෂහීබ් ඉක්බාල් ඇය පිළිබඳ වරෙක මෙසේ පවසා තිබිණි.
‘අල්ලාහ් දෙවියන්ට පස්සේ අපිට තිබුණු එකම බලාපොරොත්තුව ඔබ පමණි’
ප්‍රබෝධා හෙට්ටිආරච්චි