
![]() |
ආයුර්වේද විශේෂඥ මනෝවෛද්‍ය හා ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශක කමල් එස්. ජයසේකර |
නවකවධය යනු කිසිදු හේතුවකින් තෙරව තවත් අයකුට වධ දීමකි. යම්කිසි අයකු නීරෝගි මානසික පසුබිමකින් යුතු වේ නම් ඔහුට තවෙකකුට වධ-හිංසා සිදු කොට සතුටු විය නොහැකිය. යමකු තවත් අයකුට කුමන හෝ වධ-හිංසාවක් සිදු කොට සතුටු වේ නම් ඔහු/ ඇය ගැටලු මානසික තත්ත්වයකින් යුතු අයෙකි. මේ ලිපිය මඟින් විශ්වවිද්‍යාලයක් වැනි බුද්ධියට තෝතැන්නක් විය යුතු භූමියකදී දරුණු හා ම්ලේච්ධ වධ-හිංසා සිදු කරන්නන් තුළ පවත්නා විවිධ මානසික ව්‍යාධි මොනවාද යන්න පැහැදිලි කෙරෙයි. මේ ලිපිය කියවීමෙන් පසු මේ නවකවධ දෙන්නන්ට තමන්ට වැලඳී ඇති මානසික ව්‍යාධිය කුමක්ද යන්න අවබෝධ කරගත හැකි අතර, වෛද්‍ය ප්‍රතිකාර ගැනීම දක්වාද යොමු විය හැකියි.
කාමෝන්මාද රෝගය (Mania)
මේ රෝගීන් නවකවධ දීම මඟින් ලබන්නේ සියුම් ලිංගික ආස්වාදයකි. මෙය ලිංගික අපගමන චර්යාවක් වන අතර, නවකවධයේදී කිසිවකුගේ ඇඟට අතක් වත් නොතබමින් මේ අය සිය මානසික ව්‍යාධි පිට කරගන්නේ සමාජ විරෝධි වචන හෙවත් පරුෂ වචනයෙන් නවකයන්ට බැන වදිමිනි.
පරපීඩා කාමුකත්වය (Sadism)
නවකවධ දෙන මේ වර්ගයේ රෝගීන් දෙස බැලූ බැල්මට රෝග තත්ත්වයක් ඉස්මතුව නෙපෙනෙන අතර, මේ අය නවකයන් විවිධ හිරිහැරයන්ට ලක් කරමින්, ඔවුන්ගේ ලේ දකිමින් ලිංගික සතුටක් අපේක්ෂා කරති. මෙවැනි රෝග තත්ත්ව මේ සිසුන්ට තිබුණද ඔවුහු ඉහළ දක්ෂතා පෙන්වමින් ඉගෙනුම ලබන අතර හොඳ සමාජ ශීලිත්වයක් ප්‍රකට කරමින් විශ්වවිද්‍යාලයේ ගත කරති. මේ රෝගයේ ඇති භයානකකමද එය වෙයි.
සමාජය පිළිබඳ වෛරි මානසිකත්වය (Loathing)
මෙවැනි ජ්‍යෙෂ්ඨ සිසුහු කිසිදු හේතුවකින් තොරව නවකයන් හා අනෙක් සිසුන් සමඟ තරහෙන් පසු වෙති; කිසිදු හේතුවකින් තොරව නවකයන් පීඩාවට පත් කරති. තමා සිටින විශ්වවිද්‍යාලයට පැමිණෙන සිසුන් කෙරේ වෛරයෙන්, ඔවුන් සමඟ තමන් මෙහි ඉගෙනුම ලබන්නේ ඇයිදැයි තමන් කෙරෙහි ඇති කර ගත් වෛරයෙන් පෙළෙති. එවැනි අය ඒ පීඩනය පිට කරගැනීමේ අරමුණින් නවකයන්ට විවිධ හිංසා පමුණුවන්නට උත්සාහ කරති.
සමාජ විරෝධි පෞරුෂ අක්‍රමිකතා (Anti-social Personality)
මෙවැනි මානසික ව්‍යාධියක් ඇති සිසුහු නිතර දකින්නේ සමාජයේ හා අන්‍යයන්ගේ වැරදිය. ඔවුන් තුළ ඇති එකම අදහස ‘අප කෙසේ හෝ මේ සමාජය වෙනස් කළ යුතුය’ යන මතයයි. ‘අලුතින් එන නවකයන් එන්නේ ඔළුවෙන්, මේ නවකයන්ගේ ඔළුව සෙරෙප්පුවටම බැස්සවිය යුතුයි, ඒ නිසා මේ අයට චීත්ත ගවුම් අඳින්න දිය යුතුයි, රැවුල කපන්නට නොදිය යුතුයි, කොණ්ඩය කපන්න නොදිය යුතුයි, බාටා සෙරෙප්පු පමණක් පලඳින්න දිය යුතුයි’ යන අදහසේ දැඩිව පිහිටයි. මෙය බරපතළ සමාජ විරෝධි මානසිකත්වයක් වන අතර, නවකයන්ගේ ‘අභිමානය නැති කිරීම’ වෙනුවෙන් ඔවුන්ට දරුණු ආකාරයේ කායික හා ලිංගික වධ හිංසා සිදු කරති.
හීනමානය (Body Dysmorthic)
මේ හීනමාන රෝග තත්ත්වයෙන් පෙළෙන්නෝ නිතර තමන්ගේ අඩු-පාඩු සිතති. ඔවුහු නිතර නවකයන් හා තම සම-වයස සංසන්දනය කරන්න උත්සුක වෙති. නවකයන්ගේ පවුල් පසුබිම, ඔවුන්ගේ ඇඳුම්-පැලඳුම්, ඔවුන් පැමිණි පාසල්, විශ්වවිද්‍යාලයට පැමිණෙන වාහනය යනාදිය සිතමින් තමන් හා සසඳමින් නවකයන්ට දරුණු වධ-හිංසා දෙති. තමන් කෙරෙහි හටගත් බරපතළ හීනමානය හේතුවෙන් මෙවැනි ක්‍රියාවල යෙදෙන්නන්ගේ වධ-හිංසා භයානකය.
මුල්-ළමාවියේ ගැටලු හා ළමා අපයෝජන (Child Abuse)
යමකු කුඩා කල දැඩි ලෙස විවිධ අපයෝජනයන්ට ලක් වීම විශ්වවිද්‍යාලයේදී නවකයන්ට දරුණු ලිංගික හිරිහැර පමුණුවන්නට හේතුවක් වී ඇත. මෙවැනි හිංසා අත්දැකීම් ඇති මානසික තත්ත්වයන්වලදී ඔවුහු අන් අය කෙරෙහි දැඩි වෛරී මානසිකත්වයක් ඇති කරගන්නා අතරම, අනෙකුන්ද තමන්ගේ පෙර අත්දැකීම් අනුව දරුණු අපයෝජනවලට ලක් කරති.
පවුල් විසංවිධානය (Separation Anxiety)
මෙවැනි සිසුන්ට යහපත් පවුල් පරිසරයක් නැත; මවු-පිය දෙදෙනාගේ ආදරය රැකවරණය අහිමිය. සරසවි නවකවධ දෙන සිසුන් වැඩිදෙනකු මෙවැනි පවුල් පසුබිම්වලින් පැමිණෙන අය වෙති. මේ අයට අභිමානනීය පෞරුෂයක් නැත. අන් අයගේ අභිමානයට කැළලක් ඇති කරන්න උත්සාහ ගනිති.
වර්තමානයේ සරසවිවල පවත්නා උග්‍ර නවකවධ දීම්වල අවසානයක් නොවන්නේ මෙවන් මානසික ව්‍යාධි සහිත රෝගීන් මේ පරිසරවලද ගැවසෙන නිසාය. නවකවධවලට ඍජුව දායක වන්නන් සේම; පසෙක සිට ඒවා අනුමත කරන සිසුන්, පාලනාධිකාරය, ඇතැම් කථිකාචාර්යවරුන් මෙන්ම කාර්යමණ්ඩලවල ඇතැම් අයටද මෙවැනි මානසික ව්‍යාධි අඩු-වැඩි වශයෙන් ඇත්තේය.
එබැවින් මෙය පිළිලයක් සේ මුල් විහිදුණු සමාජ ව්යාධීයක් සේ හඳුනාගන්නා අතර, සැබෑ පිළියම මේ මුල් සිඳ-ලීම සේ වටහාගැනීමම වඩාත් ප්‍රතිඵලදායක වේ.
නවකවධ දෙන බොහෝ දෙනා අපචාරවලට ගෘහස්ථ හිංසනයට ලක් වූ අයයි
![]() |
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කායික විද්‍යාව පිළිබඳ මහාචාර්ය චන්ද්‍රිකා ජයසිංහ |
සමාජය කොතෙක් දැඩිව ප්‍රතික්ෂේප කළද සුළු පිරිසකගේ අවශ්‍යතා වෙනුවෙන් සිදු කරන මේ වධ-හිංසා පිළිබඳ අපි විටින් විට විවිධ අනාවරණ සිදු කළෙමු. එහෙත් තවමත් මෙහි නිමාවක් දක්නට නැත. නවකවධ දෙන්නන්ගේ විවිධ මානසික හේතු මත නවකවධ දීම විවිධාකාර ස්වභාවයන් ගනනා අයුරුත්, එහි පිළිකුල් සහගතබවත් එහිදී අපි රටට හෙළි කළෙමු.
අද පාසල් පන්ති කාමර දක්වා ව්‍යාප්තව ඇති මේ ව්‍යසනය වහා දුරු කළ යුතුව ඇති අතර, මේ මානසික ව්‍යාධි හඳුනාගනිමින් ඊට නිසි ප්රතිකාරද කළ යුතු වීම අත්‍යවශ්‍ය කරුණකි. නවකවධ දීම හා ඔවුන්ගේ මානසික පසුබිම පිළිබඳ විවිධ පර්යේෂණ සිදු කර ඇති පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කායික විද්‍යාව පිළිබඳ මහාචාර්ය චන්ද්‍රිකා ජයසිංහ මහත්මිය සිය ‘උසස් අධ්‍යාපන ආයතනයන්හි සිදු වන නවකවධය’ ග්රන්ථයේදී මේ පිළිබඳ සියුම් විග්රහයක නියැළෙන්නේ ඊට ගොදුරු වන හා සහභාගි වන සිසුන්ගේ මානසික මටටම් දැඩි අධීක්ෂණයට ලක් කරමිනි.
නවකවධ දීම් යනු සුළු තාවකාලික වින්දනයක් අපේක්ෂාවෙන් දුර-දිග නොබලා සිදු කරන කටයුත්තක් වන අතර, මේ ක්‍රියාවලිය දැඩි අවශ්‍යතාවෙන් යුතුව දිගින් දිගටම ගෙනයන්නේ විශ්වවිද්‍යාලයවල සිටින එක්තරා සුළු පිරිසකි. මේ සඳහා ඊර්ෂ්‍යාව මුල් වන අතර බොහෝ විට ඊට පාදක වන්නේ ජ්‍යෙෂ්ඨ සිසුන්ගේ බලපුළුන්කාරකම්ය. විශ්වවිද්‍යාලයන්හි සුළු වශයෙන් සිදු වූ එවන් නවකවධ කිසිදු විශේෂ ඉලක්කයක් නැතිව සිදු වූ දෙයකි.
එහෙත් දැන් දැන් බහුලව අසන්නට ලැබෙන නග්න කරවීම, බලහත්කාරයෙන් ලිංගික ක්‍රියාකාරකම්වල යෙදවීම, කටුක තත්ත්වයන් යටතේ කායික වධ-හිංසා හෝ කායික මානසික වේදනාවන්ට ලක් කිරීම බඳු උග්‍ර නවකව මීට වඩා වෙනස් තත්ත්වයක් ගනියි. මේ උග්‍ර වධ දීම් බොහෝ විට සිදු වන්නේ ජ්‍යෙෂ්ඨයන් තුළ ඇති විකෘති මානසික තත්ත්ව හේතුවෙනි. මේ විකෘති හැසිරීම් ඇත්තන්ගේ ඉතිහාසය විමසා බැලුව හොත් ඔවුන් අතරේ කුඩා කල ළමා අපචාරවලට ලක් වූවන්, ගෘහස්ථ හිංසනයට පත් වූවන් සිටින බව හඳුනාගන්නට පිළිවන.
මොවුන්ගේ මූලික අභිප්‍රාය වනුයේ යටි සිත විසින් කරනු ලබන දැඩි පෙලඹවීම මත සමාජයෙන් පලි ගැනීම බව පැහැදිලිය. නවකයන් නග්න කරවීමෙන් හා ඔවුන් විවිධාකාරි ලිංගික ක්රියාකරකම්වල යෙදවීමෙන්, දරාගත නොහැකිව ඔවුන් කෑගසනු හෝ අඬනු දැකීමෙන් හෝ තැති ගන්නවා දැකීමෙන්ම මේ සමහර ජ්‍යෙෂ්ඨයෝ අස්වාභාවික ලිංගික තෘප්තියක් ලබති.
නවකවධය හා ඊට සම්බන්ධ සිදුවීම් මූලිකවම හීනමානය හා බැඳී පවතියි. ජ්‍යෙෂ්ඨයන් තමන් පිළිබඳ ඇති අවතක්සේරුව හා නවකයන් පිළිබඳ ඇති අධිතක්සේරුව අනුව තමන් සතු නොවු බලයක් තමාට ඇත යන සිතිවිල්ලෙන් නවකයන් වධ-හිංසාවට ලක් කිරීම මේ අයට සුළු දෙයකි.
මෙහිදී පළමුවම නවකවධ පැමිණවීමේ මිථ්‍යාව හා සත්‍යය මනාව තේරුම් ගැනීම වැදගත්ය. නවකවධයට මුහුණ දීමෙන් කෙනකුට ජීවිතයට සාර්ථකව මුහුණ දීමට පන්නරයක් ලැබෙතැයි සිතීම ඉන් එක් මිථ්‍යාවකි. සමහරකු පවසන්නේ නවකවධය සාමූහිකත්වය හා ඒකීයත්වය වර්ධනය කරන්නක් බවයි. එහෙත් එහිදී සැබවින්ම සිදු වන්නේ සිසුන් ජාති, ආගම් හා සමාජ මට්ටම්වලට බෙදා වෙන් කිරීමත් ඉන් නොනැවතී කල්ලි මානසිකත්වය ඇති කිරීමත් බව පැහැදිලිය.
එසේම කෙනකු නවකයකු ලෙස තමා ලැබූ කටුක අත්දැකීම් තවත් නවකයක විඳිනු දැක තමා තමාවම සතුටු කරගැනීමෙන් තමා විඳි වධ-වේදනා සාධාරණත්වයක් ලැබීම මෙහි අරමුණයි. තමා නවකවධයට මුහුණ දෙන කාලය තුළ තමා බේරාගැනීමට කෙනකු නොසිටි අතර එලෙසම අනෙක් අයද එයට මුහුණ දිය යුතුය යන අදහස ඔවුන් සිත පවතී.
එසේම සදාචාර රාමු හේතුවෙන් සන්තර්පණය කරගත නොහැකි වූ අස්වාභාවික ලිංගික ආශා පුද්ගලයන් තුළ සැඟව පවතී. නවකවධය යනු එවන් යටපත් වූ අස්වාභාවික අවශ්‍යතාන් ඉටු කරගැනීමේ තෝතැන්නකි. තවත් පැතතනින් පුද්ගලයකුට සමාජ සම්මතය තුළ ඉටු කරගැනීමට සිතිය නොහැකි සම-ලිංගික අභිලාශ මුදුන් පමුණුවාගැනීමද නවකවධ මුහුණුවරින් එළිදකියි.
තමා ප්රධානයකු බව නවකයන්ට හැඟවීම, තමාට රිසි ඕනෑම දෙයක් නවකයන් ලවා ඉටු කරවාගැනීම මේ වධයේ තවත් පැතැතක් වෙයි. නවකයකු විසින් ජ්‍යෙෂ්ඨයකුගේ අණ නොපිළිපැදීම ජ්‍යෙෂ්ඨයාගේ අභිමානයට බලවත් පහරක් වන අතර, එහි පලිය ගැනීමට නවකයා වඩ-වඩාත් පීඩාවට පත් කිරීම සිදු වෙයි. නවකවධ සමයේදී නවකයන් ජ්‍යෙෂ්ඨයන්ගේ කෝපය බහාලන කසළ බඳුනක් වැනිය. තමන් කෝප කළ පුද්ගලයකුට පෙරළා දොස් නැඟීමට නොහැකි විටක ඇති වන පීඩනය මඟහරවාගැනීමට මේ අය නවකයන් භාවිතා කරති.
නවකවධයේ පැතිකඩ කිහිපයක් වෙයි. මේ අතර අතින් පයින් පහර දීමෙන්, විවිධ ද්‍රව්‍යවලින් දමාගැසීමෙන් හෝ අන්තරායකර ක්‍රියාවල නිරත කරවීමෙන් සිදු කරනු ලබන ශාරීරික පීඩා ඉන් එකකි. නවකයන් නග්න කරවීම, ස්වයංවින්දනයට බල කිරීම හා අස්වාභාවික ලිංගික ක්‍රියාවල යෙදවීමෙන් සිදු වන ලිංගික අතවර, අශික්ෂිත භාෂා විලාසයන් නිසා සිදු වන මානසික සංකුලතා තවත් පැත්තකි.
බලහත්කාරයෙන් මත්ද්‍රව්‍යවලට හා දුම්බීමට ඇබ්බැහි කරවීම හුරු කරවීම් තවත් පාර්ශ්වයකි. මේ සැහැසි මානසිකත්වයට මුහුණ දීමට නොහැක තැන නවකයන්ට විවිධාකාර සෞඛ්‍ය ගැටලු පමණක් නොව, අවසානයේ මරණයට පත් වීමට පවා සිදු වීම කනගාටුදාක තත්ත්වයකි. අධික භීතිය නිසාම මොවුන් තම උසස් අධ්‍යාපන අභිලාශය අත්හැර දැමීම දැන් බහුලව සිදු වන විපත්තියකි.
නවකවධය හේතුවෙන් ඇති විය හැකි සෞඛ්‍ය ගැටලු අතර ආතතිය, මානසික අවපීඩනය, විවිධ භීතිකා හා කම්පන තත්ත්ව, පෞරුෂ දුර්වලතා, රුධිරජාරණය, රැබ්ඩොමයෝලයිසීස් සහ ඒ හා සම්බන්ධ වකුගඩු අක්‍රිය වීම්, හෘදය ක්‍රියාකාරිත්වය සම්බන්ධ ගැටලු, හෘත් අකර්මණ්‍යතා පැනනැඟෙන අතර, අවසානයේ සියදිවි නසාගැනීම් දක්වා මෙහි බරපතළකම ගමන් කරයි.
නවකවධය නිසා ඇති වන මානසික බලපෑම්
සුළු මානසික බලපෑම්වල සිට දැඩි බලපෑම් දක්වා වර්ධනය වේ. කාර්යක්ෂමතාව අඩු වීම හා විශ්වවිද්‍යාලය හැරයෑම දක්වා දිවේ. විටින් විට මේ ආබාධ තත්ත්ව උත්සන්න විය හැකි අතර, සියදිවි නසාගැනීම මෙහි උපරිම තත්ත්වයයි.
නවකවධයෙන් ඇති වන ආතතිය
විනිශ්චයන්හි දුර්වලතා, ඍණාත්මක ආකල්ප, අධික පශ්චාත්තාපය, නොසන්සුන්තාව, තනිකම හා කිපෙනසුලු බව යන හේතු මත ඇති විය හැකිය. වෙන්ව සිටීම, මත්වතුුුර ආදියට ඇබ්බැහි වීම්, වැඩ අතපසුවීම් හා නොසලකාහැරීම් රෝග ලක්ෂණය.
නවකවධයෙන් ඇති වන විශාදය
සෘණාත්මක ආකල්ප, දුක්මුසු මනෝභාව, උග්‍ර කාංසාව හා අනාගතය පිළිබඳ ඇතිවන ශූන්‍යතාව වැනි ලක්ෂණ ගණනාවකි. සියදිවි නසාගැනීමේ ප්‍රබල සාධකයකි. මානසික අවපීඩනයෙන් බේරීම සඳහා එකම ක්‍රමෝපාය ලෙස සියදිවි නසාගැනීම තෝරාගන්න පිළිවන.
රක්තාණු බිඳවැටීම හෙවත් රුධිරජාරණය
විධිමත් නොවූ ශාරීරික වධ-හිංසාවලින් අධික ලෙස කය වෙහෙසවීමේ ප්‍රතිඵලයක් ලෙස රක්තාණු බිඳවැටීම සිදු විය හැකිය. විවිධ සංකුලතාවලින් ඇති වන මේ රෝගි තත්ත්වයේ අවසානය මරණයෙන් කෙළවර වීමට පිළිවන.
රැබ්ඩෝමයෝලයිසීස් හෙවත් මාංසපේශි විනාශ වීම
වකුගඩු අකර්මණ්‍ය වීම රැබ්ඩොමයෝලයිසිස්හි භයානකම සංකුලතාවයි. වසර කිහිපයකට පෙර වරප්‍රකාශ් නම් ඉංජිනේරු පීඨ සිසුවකු මිය ගියේ මේ සංකූලතාවෙනි.
නවකවධයෙන් ඇති වන හෘදයාබාධ
සාමාන්‍යයෙන් අධික ව්‍යායාම්වලදී තරුණ වයස් සීමාවල පිරිසට හෘදයාබාධ ඇතිවීමේ අවදානම අල්ප වුවත් නවකවධයේ කායික නවකවධවලින් පසු හෘදයාබාධ වැලඳ මරණයට පත් වීම කලාතුරකින් සිදුවන්නක් නොවේ.
මේ වන විට නවකවධයේ අමානුෂික ක්රෑරත්වය නිසා පිරිසක් ජීවිත හැරයෑමෙන්ද, තවත් පිරිසක් අබ්බගාත තත්ත්වයෙන්ද, තවත් පිරිසක් මානසික රෝගි තත්ත්වයන්ගෙන්ද, තවත් පිරිසක් සරසවි හැරයෑමෙන්ද පීඩා විඳිමින් සිටිති. ඊට ගොදුරු වූ බොහෝ දෙන ආවර්ජනය කිරීමට අකැමැති අත්දැකීම් සිය ජීවිතයට එක් කරගනිති. එහෙත් ඊළඟ වසරේදී ඔවුහු තම කනිටු සිසුන් හට එයම ලබාදීමෙන් සාපරාධි නවකවධකයන් බවට පත් වෙති.
නවකවධ ක්‍රියාත්මක කරන කණ්ඩායම් සමඟ එක් නොවීමට අදිටන් කරගත හැක්කේ ශක්තිමක් මානසික ස්ථාවරයක සිටින යෞවනයන්ට පමණි. එසේම ජ්යෙෂ්ඨයගේ ක්‍රෑර-සැහැසිකම්වලට විරුද්ධ විය හැක්කේ මනා පෞරුෂයකින් හා ආත්ම විශ්වාසයකින් හෙබි අයට පමණි. මෙලෙස ක්‍රියා කරන්නකු සිටී නම් ඔහු මේ දම්වැලෙන් ගිලිහෙන පුරුකක් වෙයි. එවිට ඔහුට හෝ ඇයට මේ ම්ලේච්ඡත්වයේ දම්වැල පහසුවෙන් බිඳ දැමීමට හැකි වනු ඇත.
(මූලාශ්‍රය: පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කායික විද්‍යාව පිළිබඳ මහාචාර්ය චන්ද්‍රිකා ජයසිංහ මහත්මිය විසින් රචිත ‘උසස් අධ්‍යාපන ආයතනයන්හි සිදු වන නවකවධය’ කෘතියෙනි. මේ ග්‍රන්ථය පළමුව ඉංග්‍රීසියෙන් ලියා, පසුව සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද්දකි. උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් එය දෙමළ භාෂාවටද පරිවර්තනය කරනු ලැබූ අතර, සරසවි වරම් ලද සිසුන් වෙනුවෙන් නායකත්ව පුහුණු වැඩසටහන පැවැත්වූ සමයේ නවක සිසුන්ට මේ පොත බෙදාහරිනු ලැබීය. එහිදී මේ පොත පාදක කරගෙන සෑම මධ්‍යස්ථානයකම නවකවධයේ ආදීනව කියා දෙන වැඩසටහනක්ද පැවැත්විණි).