
රජයෙන් උතුරට ලබා දෙන්නා වූ සෑම සංවර්ධන ව්‍යාපෘතියකම දෙමළ ජාතික සන්ධානය කුමන හෝ අඩුවක් දකියි. දකුණෙන් උතුරට පැමිණෙන එම සංවර්ධන ව්‍යාපෘති සමඟ සිංහල බෞද්ධ බලවේග හා ජනතාවද උතුරට පැමිණෙන බව කියමින් දෙමළ ජාතික සන්ධානය එම සංවර්ධන ව්‍යාපෘතිය අතරමගදී ලොප් කිරීමට උත්සාහ කරති. කිලිනොච්චිය ඉරණමඩු ජලාශයේ ජලය පානීය ජලය වශයෙන් යාපනයට රැගෙන යෑමට ගත් උත්සාහය උපන් ගෙයිම මිය ගියේ මේ නිසාමය.
මේ වන විට යාපනය පලාලී ගුවන් තොටුපළේ නවීකරණ හා සංවර්ධන කටයුතු ඉතා සීඝ්රයෙන් සිදුවෙමින් පවතී. ගුවන් තොටුපළේ බිම සකස් කිරීමේ කටයුතු අවසන් අදියරට පැමිණ ඇති අතර පලාලි ගුවන් තොටුපලට පැමිණෙන මගීන්ගේ අවශ්‍යතාවයන් සපයා දීමට දැනට පවතින භූමියේ වපසරිය ප්‍රමාණවත් නොවන හෙයින් කන්කසන්තුරේ පැරණි සිමෙන්ති කම්හල පිහිටි ඉඩමෙන් අක්කර දහ අටක් මේ සංවර්ධන කටයුත්තට ලබා දී තිබේ.
උතුරේ ඉඩම් පිළිබදව දැඩි විමසිල්ලෙන් සිටින දෙමළ ජාතික සන්ධානය මේ ඉඩම් ප්‍රමාණය පලාලී ගුවන් තොටුපළ සඳහා ලබා ගැනීම පිළිබඳව නිහඬව සිටීම ඉතාම වැදගත් වූ කාර්යයකි. මේ ගුවන් තොටුපළට අයත් නොවන ඊට ආසන්නයේ පවතින ඉඩම් තවමත් නිදහස් නොකිරීම පිළිබදව දෙමළ ජාතික සන්ධානය නිතරම අරගල හා විරෝධතා දක්වති. උතුරේ අධි ආරක්ෂිත කලාප වලට අයත් ඉඩම් පවා ඉල්ලමින් උද්ඝෝෂණ කරණ දෙමළ ජාතික සන්ධානය පලාලී ගුවන් තොටුපළ සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේදී නිහඩව සිටිති.
රුපියල් මිලියන දෙදහස් පන්සීයක් තරම් වූ විශාල ආයෝජනයක් යටතේ උතුරේ ක්‍රියාත්මක වන දැවැන්තම සංවර්ධන යෝජනා ක්‍රමයක් වන්නේ පලාලි ගුවන් තොටුපළ නවීකරණය කිරීමේ ව්‍යාපෘතියයි. මෙයින් රුපියල් මිලියන තුන්සීයක් පමණ ඉන්දීය ණය ආධාර යටතේ ලැබෙන අතර ඉතිරි මුළු මුදලම දරන්නේ ශ්‍රී ලංකා රජය මගිනි. අදියර තුනක් යටතේ සංවර්ධනය කෙරෙන පලාලි ගුවන් තොටුපළේ නවීකරණ කටයුතු පසුගිය ජූලි පස් වෙනිදා ප්‍රවාහන හා අභ්‍යන්තර ගුවන් සේවා කටයුතු ඇමැති අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
මෙහි පළමුවැනි අදියරයේදී ඉන්දියාවේ බැංගලෝර්, කොචින්, හයිද්‍රාබාද් හා මුම්බායි යන ගුවන් තොටුපළවල් කීපයක් කේන්ද්‍ර කරගනිමින් පලාලී ගුවන් තොටුපොළ මෙහෙයුම් කටයුතු ආරම්භ වෙයි. මේ සම්බන්ධයෙන් උතුරේ වැසියන් කියා සිටින්නේ දෙමළ වැසියන්ගෙන් විශාල පිරිසක් සිටින්නේ ඉන්දියාවේ චෙන්නායි නුවර ආශ්‍රිතව බැවින්, පළමු අදියරයේම ගුවන් ගමන් චෙන්නායි නුවරද කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කළ යුතු බවයි.
උතුරේ වැසියන් පවසන්නේ පලාලී ගුවන් තොටුපළේ ආරම්භයේම වර්තමානයේ චෙන්නායි ලෙසින් හදුන්වන එකල මදුරාසිය වශයෙන් හැඳින්වූ ඉන්දීය ගුවන් තොටුපළ සමඟ සබඳකම් පවත්වා තිබූ බවයි. පලාලී ගුවන් තොටුපළ මුලින්ම ආරම්භ වී ඇත්තේ දෙවන ලෝක යුද සමයේදීය.
ඒ බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවේ මැදිහත්වීම මතය. දෙවන ලෝක යුද සමයේදී මේ ගුවන් තොටුපළ ක්‍රියාත්ම වී ඇත්තේ හුදෙක්ම යුද අවශ්‍යතාවයන් සදහාය. යුද්ධය අවසන් වීමේන් අනතුරුව පලාලි ගුවන් හමුදා කදවුර තුළ බ්‍රිතාන්‍ය ගුවන් හමුදාව විසින් ස්ථාපිත කරන ලද සියල්ල ඒ අන්දමින්ම තබා ඇත. එහිදි ඔවුහු ආපසු ගොස් ඇත්තේ ගුවන් යානා කීහිපයක් පමණක් බ්‍රිතාන්‍යයට රැගෙන යාමෙනි. එවකට සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව විසින් මේ පලාලි ගුවන් තොටුපළේ නඩත්තු හා පාලන කටයුතු කරගෙන ගොස් ඇති අතර 1947 වසරේ දෙසැම්බර් 10 වෙනිදා එයාර් සිලෝන් ගුවන් සේවය ආරම්භ කිරීමෙන් පසුව පලාලි ගුවන් තොටුපළ කෙරෙහිද අවධානය යොමු වී තිබේ.
එයාර් සිලෝන් ගුවන් සේවය විසින් කොළඹ රත්මලානේ සිට මදුරාසිය දක්වා ගුවන් ගමන් පවත්වා ගෙන ගිය අතර 1948 දී නිදහස ලැබීමෙන් පසුව මදුරාසිය හා පලාලි ගුවන් තොටුපළ අතරද ගුවන් ගමන් ක්‍රියාත්මක වී තිබේ. 1983 වසර වන විට ඉතාම දරුණු තත්ත්වයට පත් වූ උතුරු නැගෙනහිර යුද්ධයත් සමඟම පලාලී ගුවන් තොටුපළ වෙනස් මුහුණු වරක් ගත්තේය.
සිවිල් ගුවන් සේවා අධිකාරියේ පාලනයෙන් ගිලිහුණු පලාලී ගුවන් තොටුපළ මුළුමනින්ම ආරක්ෂක අංශ වෙත පැවරුණි.
මහා යුද සමයට පෙර උපාලී සමාගමට අයත් ගුවන් යානාද දිනපතාම ගුවන් මගීන් රැගෙන කොළඹ හා පලාලී දක්වා පියාසර කළේය. එම ගුවන් යානා සඳහා එදා අය කළේ රුපියල් දහසකට වඩා අඩු මුදලකි. ඒ ගුවන් ගමන්, යුද්ධයේ ආරම්භක කාල වකවානුවත් සමගම නතර වී ගියේය.
යුද්ධය ඉතා දරුණු වෙත්ම යුද සැපයීම් කටයුතු සඳහා මෙම ගුවන් තොටුපළ යොදා ගත්තේය. යුද සමයේදී පවා කොළඹත් පලාලී ගුවන් තොටුපළත් අතර සිවිල් ගුවන් සේවාවක් ක්‍රියාත්මක වුණි. 'ලයන් එයාර්' හා 'සේරන්ඩිබ්' නමින් හඳුන්වන ලද ප්‍රධාන ගුවන් සේවා දෙකක් විසින් යාපනයේ පලාලියත් කොළඹ රත්මලානත් අතර ගුවන් මගීන් හුවමාරු කළහ.
එකල එක් ගුවන් ගමන් වාරයක් සඳහා රුපියල් විසි දහසක් පමණ ගෙවන්නට සිදු වුණි. නමුත් පසුව මේ ගුවන් ගමන් නතර වූයේ කොටි ත්රස්තවාදීන් විසින් 'ලයන් එයාර්' ගුවන් යානයකට මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමත් සමඟය.
කොටි ත්රස්තවාදීන් පලාලි වෙත යමින් තිබු හා පලාලී වෙත ගොඩබාමින් තිබූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් යානවලට මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟම පලාලී ගුවන් තොටුපොළ් ඉතිහාසය මුළුමනින්ම වෙනස් විය. කිසිදු මිසයිල ප්‍රහාරයකට ගුවන් යානා ඉලක්ක නොවන පරිද්දෙන් පලාලි ගුවන් තොටුපළේ භූමී ප්‍රමාණය වෙනස් වූයේ මේ කාලයේදීය.
පලාලි ගුවන් තොටුපළ අවට භූමිය ආරක්ෂිත කලාපයක් වශයෙන් නම් කෙරීය. කෙසේ වෙතත් ඊලාම් යුද්ධය අවසන් වීමෙන් පසුව යළිත් පලාලී ගුවන් තොටුපළ යළි ඉතා සීඝ්‍ර සංවර්ධනයක් කරා ගමන් කෙරීය.
ලබන ඔක්තෝබර් මාසය වන විට පලාලී ගුවන් තොටුපළ මේ රටේ තුන් වන අන්තර්ජාතික ගුවන් තොටුපළ බවට පත්වෙයි. ඉන්පසුව A-320 සහ A-321 වැනි එයාර් බස් පලාලී ගුවන් තොටුපළේ සිට ක්‍රියාත්මක වෙයි. පලාලී ගුවන් තොටුපළ අන්තර්ජාතික ගුවන් තොටුපළක් බවට පත් වීම පිළිබදව උතුරේ දෙමළ වැසියෝ අද සතුටු වෙති.
උතුරේ වැසියන්ගෙන් ඥාතීන් බහුතරය සිටින්නේ ඉන්දියාවේය. විවාහ මංගල කටයුතු සදහා උතුරේ වැසියෝ සාරිය පවා රැගෙන ඒමට යන්නේ ඉන්දියාවටය.
කටුනායක ගුවන් තොටුපළේ සිට ඉන්දියාවේ චෙන්නායි ගුවන් තොටුපළට ගමන් කිරීමට ගත වන්නේ පැයකට ආසන්න කාලයකි. නවදිල්ලි ගුවන් තොටුපළ දක්වා යාමට ගත වන්නේ පැය තුනහමාරක කාලයකි. නමුත් උතුරේ යාපනයේ වැසියෙකු ඉන්දියාවට යාම සඳහා කොළඹ කටුනායක ගුවන් තොටුපළට පැමිණිමට පැය හයකට වඩා වැඩි කාලයක් ගත කළ යුතුය. උතුරේ වැසියෝ පලාලී ගුවන් තොටුපල අන්තර්ජාතික ගුවන් තොටුපළක් බවට පත් වීම කෙරෙහි ඉතාම සතුටට පත්ව සිටින්නේ මේ හේතුව නිසාය.
මුලින්ම ඉන්දියාවටත් ඉන් පසුව යුරෝපීය රටවල් 16 ක් දක්වාත් පලාලී සිට ගුවන් ගමන් ආරම්භ කිරීමට කටයුතු සැලසුම් කොට තිබේ. ඒ අනුව කලාපීය රටවල් සදහා ගුවන් ගමන් ආරම්භ කිරීම සැප්තැම්බර් මාසයේ සිට සිදුකිරිමට නියමිතය. ඉදිරියේදි ලෝකයත් සමග පලාලී ප්‍රදේශය ඈඳෙන බැවින් පලාලී ඇතුළු මුළු මහත් යාපන අර්ධ ද්වීපයම ශීඝ්‍ර සංවර්ධනයකට ලක් වන්නේය. මේ ඔස්සේ අලුතින් බිහිවන සෘජු හා වක්‍ර රැකියා ප්‍රමාණය ඉතා විශාලය.
යාපනයේ සිට පලාලි දක්වා දිවෙන කන්කසන්තුරේ මාර්ගයේ දෙපස පිහිටි කුඩාම කුඩා වඩේ කඩයේ සිට ඊට එහා වූ සෑම වෙළෙඳ සලක්ම දියුණුවෙන් දියුණුවට පත්වී සංවර්ධනය ළඟා වීමට තව ඇත්තේ නොබෝ කාලයකි. යාපනයේ මාර්ගවල ඇති කණාමැදිරි එළියෙන් යුත් සාම්ප්‍රදායික විදුලි බුබුළද ඉතා විශාල වෙනස්කමකට ලක් වී අති නවීන විදුලි බුබුළු ඒ මාර්ගවලට පැමිණෙන්නේය. දෙමළ නිජ බිම් සංකල්පයක් ගැන පුහු ආටෝප අදහස් දක්වන ඊනියා දෙමළ දේශපාලනඥයින්ගේ මුඛයට මුඛවාඩම් බැදීම මේ පලාලී ගුවන් තොටුපළ මඟින් සිදුවන්නේ ඔවුන්ටත් නොදැනීමය.