
පෙරහරේ යන අලි, කොට අදිනවුන්ට වඩා කොහොමත් හැඩකාරය.
සීකුවින්ස්... මුතු පබළු වැල්... ඇල්ලූ විල්ලු ද ඇඳුම වටේ ලයිට් වැලුත් එල්ලූ විට එන ගාම්බීරේ සහ අලංකාරෙ, කොයි තරම් වෙලා බලා හිටියත් ඇති වන්නේ ද නැත.
එහෙව් අලි ඇත්තු, හැඩකාරයෝ තරමටම පිංකාරයෝ බව බැලූ බැල්මටම පෙනෙන්නේ ද ඒ නිසාය.
වටිනා සළු පිළි ආයිත්තම් හැඳ පැලඳ දළදා පෙරහරේ යන්නට ලැබෙන්නේ ද එවැනි පෙර පින් ඇති අලින්ටය.
![]() |
තුසිත විජයසේන යුවළ, දියවඩන නිලමෙතුමා වෙත ඇඳුම් කට්ටලයක් පිරිනමමින් |
එහෙත් ඒ පිංකාර අලි, 1993 අවුරුද්දෙ දවසක, දුර්වර්ණ වූ ඉරුණු ඇඳුම් ආයිත්තම් ඇඳ පෙරහරේ ගමන් කරන අයුරු ඒ මොහොතේ, එවකට මල්වතු මහා නාහිමි සමඟ පත්තිරිප්පුවේ හිඳ පෙරහර නරඹමින් සිටි තුසිත විජයසේන දුටුවේය.
දුර්වර්ණ - පරණ වූවා මදිවාට, ඒ ඇඳුම්වල ඒවා පරිත්‍යාග කළ අයගේ නම් සහ බැනර් ද එල්ලා තිබිණි. ගරු ගම්භීර දළදා පෙරහරේ අලින්ගේ ඇඳුම් පිළිබඳ පළමු සිතිවිල්ල ඔහුගේ හදවතේ ඉපැදුණේ එතැනය.
‘දළදා පෙරහරේ අලින්ගේ ඇඳුම්වල මීට වඩා පිළිවෙළක් තියෙන්න ඕනේ. ලස්සනක් තියෙන්න ඕනේ. මං ලබන අවුරුද්දේ ඉඳන් මේ අලින්ට හොඳම ඇඳුම් දෙනවා...’ ඔහු සිතු දේ මහා නාහිමිට කීවේය. දියවඩන නිලමේතුමාට ද කීවේය. සිතිවිල්ල ක්‍රියාත්මක විණි.
කරඬුව වඩම්මන ඇත් රජාටත්, දෙපැත්තෙන් ගමන් කරන දෑලෙ ඇතුන් දෙදෙනාටත් පළමු, ‘හස්ති වස්ත්‍ර පූජාව’ සිදු කෙරුණේ එලෙසය.
දැන් ඒ පුණ්‍යකර්මයට 25 වසරකි. හැම අවුරුද්දක ම කෙරෙන අලුත් ඇඳුම් මැහිල්ල නිසා, විශාල ඇඳුම් කට්ටල ප්‍රමාණයක් දැන් මාලිගාවට ලැබී තිබේ.
“මුලින් ම මැහුවේ ප්‍රධාන අලින්ට වුණත් හැම අවුරුද්දකම ඒ තුන්දෙනාට අලුත් ඇඳුම් ලැබෙන නිසා ඒ පරණ ඇඳුම් පෙරහරේ අනෙක් අලින්ට ලැබුණා. හරියට, අයියලා ඇඳපු ඇඳුම් මල්ලිලා අඳිනවා වගේ.
ඒත් පරණයි කිව්වට ඒවා, අවුරුදු දහයක් තියා ගන්න පුළුවන් හොඳම රෙදිවලින් මහපුවා. ඉතින්, මේ ක්‍රමය නිසා පෙරහරේ ගමන් කරන හැම අලියකුටම වගේ ලස්සන ඇඳුමක් ලැබුණා. දැන් අපි අලි 15 දෙනකුට ඇඳුම් මහනවා.
පෙරහරේ අලංකාරය වැඩි වෙන්නේ, හැඩවැඩ වූ අලි ඇතුන්ගෙන්. කී දෙනෙක් ඔවුන් දිහා බලලා සතුටු වෙනවද... අපි දායක වෙන්නෙ ඒ පුණ්‍යකර්මයට...”
ව්‍යාපාරිකයන් සතුටුවන විවිධ ක්‍රම අතරේ තුසිත විජයසේන තෝරා ගෙන ඇත්තේ වෙනස් ක්රමයකි. ඔහුට අනුව, ඔහුගේ ව්‍යාපාරය “කැන්ඩි සිටි සෙන්ටර්’ ද මිනිසුන්ට මඟක් හැදූ, ඔවුන් නඟා සිටවූ වෙනස් ව්‍යාපාරයකි. එනිසා, සතුට ඔහුට අඩු නැත. ආත්ම තෘප්තිය ද එලෙසමය. දැන් ඔහුට අවශ්‍ය, සිය දැක්ම අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම පමණි.
කෙසේ වෙතත් අවුරුදු 25ක් තිස්සේ ඔහු කරගෙන ආ මේ අලි ඇඳුම් මැහිල්ලද ලේසි කටයුත්තක් නොවේ. මිනිසුන් මෙන් ‘ෆිටෝන්’ බැලිල්ලක් නැති නිසා, අලි ‘මිම්ම’ ගන්නා තැන පටන් සිතිය යුතු කාරණා බොහෝමයකි.
“මේ ඇඳුම කිසි සේත් අලියට හිර වෙන්න බැහැ. ඇඟට අපහසුවක් දැනුණොත් ඌ ඇවිදින්නෙ නැහැ. අනික වැදගත්ම දේ ඇහැ ළඟ විවරය. ඇඳුම බුරුල් වෙලා එහා මෙහා ඇදිලා, ඇහැ වැහිලා ගියොත් එතැනත් විනාසයක්.
ආසියාවේ උසම ඇතා, නැදුන්ගමුවේ ඇතා. අඩි දහයකට වැඩිය උසයි. අනෙක් අයට වඩා වැඩි රෙදි ප්‍රමාණයක් ඒ ඇඳුම වෙනුවෙන් ගියා. ඒ උසට මහතට සරිලන ඇඳුම හදන්නත් සෑහෙන කාලයක් ගියා. මේ අවුරුදු 25ට කරඬුව වඩම්මපු අලි හය හත් දෙනෙකුටම අපි විශේෂයෙන් ඇඳුම් මහලා ඇති.
අවුරුද්දකට විතර කලින් පටන් ගන්නා මේ අලි ඇඳුම් මැහිල්ල සිදුවන්නේ, උතුරු ඉන්දියානු සම්භවයක් ඇති ක්රිෂන්ජන් තදානි නම් මැහුම්කරුවා විසිනි.
ඔහුට අනුව, එක අලි ඇඳුමකට රෙදි මීටර 88කි. හරියටම කිව්වොත්, ඇඳුම නිම වන්නේ, ලේයර් හතරකින් යුතුව නිසා, මීටර 22 ඒවා හතරකි. වෙල්වට් රෙදි යාර 22ක්, ෆැඩඩ් කිරීමට ෆෝම් රබර් මීටර් 22ක් සහ තවත් තට්ටු දෙකකට රෙදි යාර 44ක් ඊට ඇතුළත්ය.
එසේම, එක අලි ඇඳුමකට සීකුවින්ස් කිලෝ දෙකකි. ‘බීඩ්ස්’ කිලෝ හතරකි. පිට පුරා එල්ලා වැටෙන, ‘ඇඟේ ඇඳුම’. හොඩ වැල සරසන ‘නෙත්තිමාලය’, දෙකන් පෙති හැඩකරන ‘කන්වැසුම’ සහ ‘කර පටිය’ ඇතුළු කොටස් හයකින් අලි ඇඳුම සමන්විතය. එක ඇඳුමක් නිමැවීම වෙනුවෙන් අට දෙනෙක් කැපවූ විට දෙතුන් මාසයක් ගතවේ. පෙරහරට කලින් එවැනි ඇඳුම් 15ක් ඔවුන් නිමවිය යුතුය.
අවුරුදු 25ක් තිස්සේ තුසිත විජයසේනයන් වෙනුවෙන් මේ කටයුත්ත කරන තදානි ප්රමුඛ කාර්ය මණ්ඩලය මේ ඇඳුම්වල මෝස්තර වසරින් වසර වෙනස් කළ යුතුය.
ඒ සඳහා බොහෝවිට බෞද්ධ සංකල්ප යොදා ගැනුණත්, ප්‍රමුඛතාව ලැබෙන්නේ, නුවර යුගයේ චිත්‍ර කැටයම්වලටය. මෝස්තර සහ ලියවැල් රටාවලටය. තදානිගේ මෝස්තර සඳහා අවසන් අනුමැතිය ලැබෙන්නේ තුසිත විජයසේනයන්ගෙනි.
මිලියන කිහිපයක වැඩක් වුවත්, වැය වන මුදල කියන්නට ඔහු කැමැති නැත.
‘රුපියල් සතවලින් ගණන් බැලුවොත් ඒක කොහොමද පිනක් වෙන්නේ...’ ඔහු කියන්නේ එනිසාය.
මහත්වූ භක්තියෙන් ගෞරවයෙන් යුතුව මසා හැඩ කරන ලද ඇඳුම් ටික ‘රන් ආවුද’ මණ්ඩපයේදි දියවඩන නිලමෙතුමාට පිළිගැන්වීම සිදුවන්නේ තුසිත විජයසේන යුවළ අතිනි.
ඉන්පසු සතරමහා දේවාල වෙත යළි පූජා කෙරෙනුයේ ‘කැන්ඩි සිටි සෙන්ටර්’ කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙනි.
“ෙම්කට දායක වන මිනිස්සු විතරක් නෙවෙයි, අලිත් හැසිරෙන්නෙ මහා භක්තියකින්. එක අවුරුද්දක අපි පෙරහර බලන්න නුවර එමින් හිටියා. අපි දැක්කා ලොකු ලොරියකින් අලියෙක් අරන් යනවා. වැව රවුම ළඟින් යද්දි මොහොතක් නැවතිලා මාලිගාවට වඳින එක අපේ පුරුද්දක්. ඒ වෙලාවෙ අපි දැක්කා අර අලියා, මාලිගාව නොපෙනී යනකල්ම, ඒ පැත්තට හැරිලා හොඬ උස්සාගෙන ලොරියෙ ඉඳන්ම වැඳගෙන ඉන්නවා.
ඒ විතරක් නෙවෙයි කරඬුව වඩම්මගෙන ඇතෙක් පාවඩේ උඩ බොහොම සංවරව ගමන් කරන්නෙත් ඒ භක්තිය නිසා. අලි ආසයි බෙර සද්දෙට. බෙර හඬට උන් පැද්දි පැද්දි නටන්නෙ සංතෝසෙට. ලස්සනට ඇන්දමත් උන් හැසිරෙන විදිය වෙනස්.
සාමාන්‍යයෙන් කරඬුව වඩම්මන ඇතාට ඇඳුම් හදන්නෙ රතු නැත්නම් මෙරූන් පැහැයෙන්. 2005 අවුරුද්දෙ කරඬුව වඩම්මන ඇතාට මං නිල් පාට ඇඳුමක් පූජා කළා. ඒ අවුරුද්දෙ දියවඩන නිලමෙතුමාත් වෙනස් වුණා. රටේ ආණ්ඩුවත් වෙනස් වුණා.
කොහොම වුණත් වර්ණ තමයි, අලින්ගෙ අලංකාරේ වැඩි කරන්නේ. කරඬුව ගෙනියන ඇතා අඳින පාටමයි, දියවඩන නිලමෙතුමා සහ දෙපැත්තෙන් ගමන් කරන දෑලෙ ඇතුන් දෙන්නත් අඳින්නේ. ඊළඟටයි, නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි දේවාලවල අලි ඇතුන් ඒ ඒ දේවාලවලට ආවේණික කහ, නිල්, රතු පැහැ ඇඳුම්වලින් සැරසීගෙන ගමන් කරන්නේ.
“එකාට එකා හැඩ බලමින් ඔවුනුත් මේ ඇඳුම්වල විචිත්රතවත් බව විඳිනවා. ඇත්තටම අලි ආසයි, ලස්සනට අඳින්න පලඳින්න.
ඊළඟට උන් දන්නවා, ඒ ඇඳුම් ඇන්දම ගමන් කරන්න ඕනේ විනීතව, පිළිවෙළකට කියලා.”
දළදා පෙරහරත් එහි ගමන් කරන අලි ඇතුන්ගේ ඇඳුම පැලඳුමත් දැන් තුසිත විජයසේනගේ ජීවිතයේ ම කොටස්ය.
එහෙයින්, බිරිය සහ දරුවන් ද මේ පින්කමේ කොටස්කරුවන්ය.
“කැන්ඩි සිටි සෙන්ටර් තිබෙන තාක්, මේ පින්කම මෙලෙසම වේවි. මං නැති වුණත් මගේ දරුවන් මෙය ඉදිරියට කරගෙන යාවි...”
ඔහු කියන්නේ මහා සතුටකිනි. එය ආත්මය පිරී යන තරමේ, අපරිමිත වූ මහා තෘප්තියකි.