
අද අපි සාකච්ඡා කරන්නේ අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ සඳහන් වන ඉතාම වටිනා සූත්‍ර දේශනාවක් වන සංඛිත්ත සත්ත බල සූත්‍රයයි.
සංඛිත්ත කියලා කියන්නේ කෙටියෙන් කියන අදහසයි. සප්ත බල කියලා කියන්නේ බල ධර්ම හතක් පිළිබඳ හැඳින්වෙන සූත්‍රයයි. බල ධර්ම කියන්නේ කායික බලය කිව්වාම අපි කාටත් තේරෙනවා කාය බලය; කාය ශක්තිය. කාය ජවය යම් කෙෙනකුට තියෙනවා නම් ඒ අයට කයින් කළ යුතු දේ ඉතා හොඳින් කරන්නට හැකියාව, ශක්තිය තියෙනවා.
ඒ වගේ බුද්ධ සාසනයේ ඉගැන්වෙනවා බල ධර්ම හතක් බවට පත් කර ගත යුුතු ගුණ ධර්ම හතක්. ඒ හතට තමයි සත්ත බල කියලා කියන්නේ. මේ බල වචනයේ තේරුම ප්රතිපක්ෂ ධර්ම මැඬලනවා කියන අර්ථයයි. ඒ කියන්නේ විරුද්ධ දේවල් කියන අදහසයි. මෙහි සඳහන් වන පළමු වැනි බලය වෙන්නේ ශ්‍රද්ධා බලයයි. ශ්‍රද්ධාව බලයක් වෙන්නේ කොහොමද ? අපේ හිතේ තියෙනවා අනාදිමත් කාලයක සිට පැවැත එන අශ්රද්ධාව කියන කෙලෙස්. ඒ කියන්නේ ශ්‍රද්ධාව නැති ක්ලේශයයි. ඒ නිසාම තමයි සමහර අවස්ථාවලදි කයින් පව් කරන්න පෙලඹෙන්නේ. එයට හේතුව ශ්‍රද්ධාව තියෙනවා නම් අපි කර්මය අදහනවා. ඒ වගේම කර්ම ඵලය අදහනවා. කර්මයයි කර්ම ඵලයයි දෙකම අදහනවා. අපි කර්මය, කර්ම ඵලය ගැන දන්නවා.
පව් කියන්නේ මොනවා ද.. පව්වල විපාක මොනවා ද කියලා අපි දන්නවා. ඒක වාසනාවක්. නමුත් අපි අවාසනාවකට ඒ දැනුමත් පවට පත් කරගෙන තියනවා. අපට තියෙන්නේ ඒ පිළිබඳ අවබෝධයක් නොවෙයි; එය බාහිරින් තියන විෂයානුබද්ධ දැනුමක් විතරයි. ඒ නිසා තමයි අපි කයින් පව් කරන්න ඉගෙන ගන්නේ.
ඒ නිසයි ශ්‍රද්ධාවේ දුර්වලතා නිසා බොරු කියන්නේ; කේලාම් කියන්නේ; පරුෂ වචන කියන්නේ; වරෙක හිස් වචන කියන්නේ. අශ්රද්ධාව නිසයි තමන් සතු වස්තුවට අධික ලෙස ආස කරන්නේ; එයට අභිජ්ජාව කියල කියනවා. ඒ අශ්රද්ධාව ඉස්මතු වෙන අවස්ථාවක තමයි එය සිදු වෙන්නේ.
ඒ වගේම ව්‍යාපාදය ඇති කරගන්නේ අශ්රද්ධාව ඉස්මතු කරගත් අවස්ථාවක. පින් පව් පිළිබඳ ව; එහි ප්‍රතිවිපාක පිළිබඳ ව ගණන් ගන්නේ නැතුව ඉන්නේ සමහර වෙලාවට ඒ අශ්රද්ධාව ඉස්මතු වෙන අවස්ථාවලදීයි. මේ අශ්රද්ධාව කියන දේ පටන් ගන්න තැනක් නොපෙනෙන තරම්. එය සංසාරයේ සිට පැවැත එන්නක්.
ඒ ක්ලේශ බලය යටපත් කරන්නට ඊට වඩා බලයක් යොදන්නට ඕන. අශ්‍රද්ධා කියන කෙලෙස් බලය නැති කරන්නට, ඒ බලය දුර්වල කරන්නට, ඒ බලයට පහර දෙන්නට, ඒ බලය වනසලා දාන්නට දියුණු කළ යුතු බලය වෙන්නේ ශ්‍රද්ධා බලයයි. ශ්‍රද්ධා බලය කියන්නේ; ඇදහීම, විශ්වාස කිරීම, පිළිගැනීම, සැක නොකිරීම කියන අදහසයි කියලා අපි කලින් සඳහන් කළා.
කෙනකුට හිතෙන්න පුළුවන් බුදු දහම අදහන ධර්මයක් නොවෙයි කියලා. වෙනත් දේවවාදි ආගම් තමයි අදහන්නේ කියලා සමහර වියතුන් කියනවා. ඒ වුණත් මොහොතක් සිතන්න ඔබ යම් කෙනෙක් දැඩිව විශ්වාස කරනවා නම් ඒ කෙනා පව් කරන්නේ නැති; නරක වැඩ කරන්නේ නැති කෙනෙක් කියලා.
ඒ ඔබ විශ්වාස කරන්නේ ස්වාමිපුරුෂයා නම් ඔහු සමහර විට මත්පැන් පානය කරන්නේ නැහැ; වැරදි දුරාචාර ආදී වැරදි හැසිරීම නැහැ කියලා අදහනවා, විස්වාස කරනවා ඇති. ඒත් යම් දිනක දැනගන්නට ලැබෙනවා මේ තැනැත්තා ඒ වැරදි කරනවා කියලා; එදා අපිට විශ්වාසය බිඳ වැටෙනවා විතරක් නොවෙයි, විශ්වාස කරපු කාලය පිළිබඳ ව හිතෙනකොටත් හිතට තරහක්, ද්වේශයක් එනවා.
මම මේ තරම්කල් මේ කෙනා විශ්වාස කළා, නමුත් මෙහෙම කෙනෙක් කියලා මම දැනගෙන හිටියේ නැහැනෙ කියලා. අපි සත්‍ය ජිවිතයේ දී කැමැති සත්‍ය වූ දෙයක් අදහන්න විශ්වාස කරන්න පමණයි.
අසත්‍ය දේ අදහන්න විශ්වාස කරන්න අපි සාමාන්‍ය ජීවිතයේදීත් කැමැති නැහැ. ඒ අනුව පෙනෙනවා ශ්‍රද්ධාව ඇති කරගන්නට ඕන සත්‍ය වු දෙයක් කෙරෙහි පමණයි; ඇත්තට පවතින්නා වූ කෙරෙහි පමණයි කියලා. බුදු දහම ද සුදුසු වෙනත් දේවවාදී ආගම් ද කියලා අපි තේරුම් ගත යුතුයි.
ඒ කියන්නේ ලෝකයේ උගන්වන පරම සත්‍ය බුදු දහමයි අපි උගත යුතු වන්නේ. විශ්වාස කළ යුතු ධර්මය එයයි. විශ්වාස කළ යුතු ධර්මය පිළි ගත යුතු ධර්මය විශ්වාසයට, පිළිගැනීමට භාජනය කරන්නට ඕන එයයි. අපි බුද්ධ, ධම්ම, සංඝ යන කර්මය කර්ම ඵල ඇදහීමට කියන්නේ ශ්‍රද්ධාව කියලා.
ඒ ශ්‍රද්ධාව හරියට දියුණු වීමට නම් බුදු ගුණ, දම්ගුණ, සඟ ගුණ, කර්මය, කර්ම ඵලයේ ගුණ ඉගෙන ගන්නට ඕන. ඒවගේම කුසල අකුසල කර්ම පිළිබඳ ද බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය ගැන මෙන්ම කර්මය පිළිබඳ සහ කර්ම විපාකයන් කියන මෙන්න මේ කාරණා පහ අදහනවා නම්, විස්වාස කරනවා නම්, පිළිගන්නවා නම්, සැක කරන්නේ නැතිනම් එයට අපි කියන්නේ ශ්‍රද්ධා කියලා.
ඒ වචනයේ තේරුමත් ඇදහීම, විශ්වාස කිරීම කියන අර්ථයයි. කෙනකුට හිතෙන්න පුළුවන් බුදු දහම අදහන ධර්මයක් නොවෙයි; වෙනත් දේවවාදී ආගම් තමයි අදහන්නට ඕන කියලා ඔබට හොඳින් තේරුම් ගන්නට හැකියාව ලැබෙනවා. මෙයයි පරම සත්‍යය, එයයි අදහන්නට ඕන ධර්මය.
විශ්වාස කරන්නට ඕන ධර්මය සත්‍යයි. බුද්ධ, ධම්ම, සංඝ කර්මය, කර්ම ඵලය කියන කාරණා පහ ඇදහීමට පිළිගැනීමට කියන්නේ ශ්‍රද්ධාව. ඒ ශ්‍රද්ධාව හරියට දියුණු කරමින් බුදුගුණ, ධම් ගුණ, සඟ ගුණ අපි ඉගන ගන්නට ඕන; සංඝරත්නයේ ගුණ ඉගන ගන්නට ඕන; කුසල අකුසල කර්ම ඉගන ගන්නට ඕන; කුසල අකුසල කර්ම විපාක ගැන ඉගෙන ගන්නට ඕන.
ඉගෙනීමෙන් තමයි අපිට නිවැරදි ශ්‍රද්ධා ව ඇති කරගැනීමට හැකියාව ලැබෙන්නේ. අඩු තරමින් දිනකට පුංචි වෙලාවක් වෙන් කරන්නට ඕන ශ්‍රද්ධාව වර්ධනයට. එය වර්ධනය කරන්නේ කොහොමද ? එය කළ හැකිවන්නේ බුදු ගුණ මෙනෙහි කිරීමෙන්. නැතිනම් දම් ගුණ, සඟ ගුණ සිතීම නැතහොත් තම සීලය ගැන සිතීමෙන්. මේ හතරින් තමයි ශ්‍රද්ධාව වර්ධනය වන්නේ. එසේ නොමැති නම් ශ්‍රද්ධාව වර්ධනය වෙන්න අනිත්‍ය, දුක්ඛ, අනාත්ම මෙනෙහි කරමින් ශ්‍රද්ධාව වඩන්නට ඕන. මෙයින් තමයි ශ්‍රද්ධාව වර්ධනය වන්නේ.
බුදු ගුණ ගැන සඳහන් කළහොත් අඩුතරමින් තථාගතයන් වහන්සේගේ එක් බුදු ගුණයක් අරන් ඒ ගැන සිතන්නට පුළුවන්. අරහත් බුදු ගුණය අපිට නිතර මෙනෙහි කරන්නට පුළුවන්.
එනම් සියලු කෙලෙසුන්ගෙන් දුරු වූ සේක සියලු; කෙලෙස් සතුරන් නැසූ සේක. සංසාර චක්‍රයෙහි කෙලෙස් සිඳලු සේක; ආමිස ප්‍රතිපත්ති පූජාවන්ට සුදුසු වන සේක; රහසින්වත් පව් නොකළ සේක; භාග්‍යවතුන් වහන්සේ අරහත් වන සේක. මෙය සියවතාවක් මෙනෙහි කරන්නට ඕන. මෙය හුඟක් සාර්ථකයි; ශ්‍රද්ධාව වර්ධනය කිරීමට. භාවනා කරන විදිහට වාඩි වෙලා මෙය මෙනෙහි කිරීමට වුණත් පුළුවන්.
එසේ අමාරු නම් පුටුවක් උඩ වාඩි වෙලා මෙය මෙනෙහි කරන්නට ඕන; නැතිනම් ඇඳක හාන්සිවෙලා ඉන්න වෙලාවක; වෙනත් කටයුතුවල නිරතවෙලා ඉන්න වෙලාවක හෝ මෙය කරන්නට පුළුවන්. එයින් පුදුම ආකාරයට ශ්‍රද්ධාව දියුණු වෙනවා.
කාලයක් මෙනෙහි කරන කොට අපිට තේරෙනවා, අපි ශාස්තෘෘන් වහන්සේ සමඟ ඉන්නවා වගේ; බුදුරජාණන් වහන්සේ තමන් ඉදිරිපස ඉන්නවා වගේ දැනිලා ඒ අකුසලයෙන් මිඳිමට හැකියාව ලැබෙනවා. එපමණක් නොවෙයි, ඇතැම් අයට උපතින්ම වගේ පිහිටලා තියෙනවා අවාසනාවන්ත බවක්. ඒ අවාසනාවන්ත බව නැති කරන්නට පුළුවන් මහා අනර්ඝ දෙයක් තමයි බුද්ධානුස්සතිය වැඩීම.
මාස තුන හතරක් පුරුදු පුහුණු කරනකොට තමන්ගේ වාසනා ගුණය ඉස්මතු වෙන්නට පටන් ගන්නවා. ලාබ සත්කාර කීර්ති ප්‍රශංසා බහුලව ලබන්න හේතු වෙනවා. ඒ නිසා ආදරයෙන් ගෞරවයෙන් යුතු ව පුරුදු පුහුණු කරන්නට ඕන
ඒ තුළින් ඔබේ ශ්‍රද්ධා බලය වර්ධනය කිරීමට හැකියාව ලැබෙනවා. අපි බලමු අනෙක් බලය මොකක්ද කියලා, එනම් වීර්යය නැමැති බලය. අපි මුදල් හොයන්න වීර්යය කරනවා, ඉගෙන ගන්න, රැකීරක්ෂා කරන්න වීර්යය කරනවා. ආවාහ විවාහ කරගන්න ඇති කරගත්ත අය පවුල් ජීවිතය සාර්ථකව නඩත්තු කරගෙන යන්න වීර්යය කරනවා. කොච්චර වීර්යය කරනවා ද? ඒවා වීර්යය තමයි.
ඒ වුණත් මෙතන කතා කරන්නේ ඒවා ගැන නොවෙයි. මෙතන විර්යය කියන්න ධර්මයක් පිළිබඳවයි. ඒ වුණාට ඒ ගුණ ධර්ම හතරක් තියෙනවා; ඒවාට කියන්නේ කෘත්‍ය කියලා. කෘත්‍ය වශයෙන් ගත්තාම මොනවාද මෙයින් කරන ගුණ ධර්ම. තමන් තුළ නැති අකුසල් ඇති නොවීමට පරිසරය සකස් කරනවා. දෙවැනි දේ පවතින අකුසල්, දුශ්ශීලකම්, වෛරය, දුරාචාරය, බොරු කීම වැනි පවතින දේ නැති කරගන්න පුළුවන්කම හැදෙන්නේ වීර්යය කියන ගුණය වැඩීමෙන්. තුන්වැනි ක්‍රියාව තමන් තුළ නැති කුසල ධර්ම ඇතිකර ගැනීමට උපකාරී වීම. මල් පහන් පුජා කරන්නේ නැති මවුපියන්ට නොසලකා සිටීම වැනි ගුණ ධර්ම වර්ධනය කිරීම. ගුණධර්ම පිරිහීමෙන් තොරව වර්ධනය කරගැනීමට මෙයින් හැකි වෙනවා. යම් කිසි දෙයක් කරන්නට පටන් ගන්නට ඕන. බුද්ධ වන්දනා කරනවා, මම අද සිට බුදු ගුණ භාවනා වඩනවා කියලා හිතන්න.
ගෙදර ඉන්න දිනයකදී බුදුන්ට මගේ ආහාරවලින් කොටසක් පුජාකරනවා; එයට කියනවා ආරම්භ ධාතු කියලා. මෙහිදි ටිකක් කල් යන කොට මේ ගුණධර්ම කරන්න අකමැති වෙනවා. එතකොට අපි මොකද කරන්නේ; ඒ වැඩේ නොකර ඉන්නවා. අපි කළයුතු දේ වන්නේ ආරම්භ කළ වීර්යයට වඩා වීර්යයක් එවර ඇති කර ගැනීමයි. මේ විර්යයට කියන්නේ නික්ඛම වීර්යය කියලා. කම්මැලිකම, කුසීත කම, අකමැත්තෙන් නික්මීමේ විර්යය, තව ටික කාලයක් ගියාම කුසිතකම, අලසකම ඉක්මවා තවත් කෙලෙස් හට ගන්නවා.
ඉන් පසු ඊට වඩා කෙලෙස් ඇති වෙනවා. ඉන්පසු ව තවකලක් යනකොට තමන්ගේ හිතෙහි කෙලෙස් ඇතිවෙන්න පුළුවන්. එහිදි දෙවැනි වීර්යයට වඩා විර්යයක් යොදන්න ඕන. අපි බලමු ඊළඟ බලය මොකක්ද කියලා. ඒ මේ බාධාව යටපත් කරන්න බලවත් වීර්යයක් යොදන්න ඕන. මේ වීර්යයට කියන්නෙ පරාක්‍රම වීර්යය. බලය තමන්ගේ ජීවිතය තුළ ඉස්මතු කරන්නට ඕන.
අපි බලමු අනෙක් බලය කුමක්ද කියලා. ඒ බලය තමයි හිරි ගුණය. එතැනදී අපි කියන්නේ පවට තියෙන බය ඇති කරගන්න කියලා. අත්තවාද බය ප්රත්යවේක්ෂ කරණය කියන්නේ කාට මොන දේ කළත් මගේ හිතට හොරෙන් මට පව්කරන්න බැහැ. වරින් වර තමා තනි වූ මොහොතකදී පවා තමාට මතක් වෙනවා; මම කළ පව් කියලා හිතනවා. තමන්ගේ හිත තමන්ට චෝදනා කරන දවසක් එනවා.
ඒ චෝදනාවෙන් නිදහස් වෙන්නට ඕන. අත්තවාද බය නිසා පව් නොකර සිටීමට, පව් කිරීමෙන් වැළකීමට කියනවා හිරි ගුණය කියලා. හිරි කියන වචනයෙන් ලැජ්ජාව කියන දේ පැහැදිලි වුණාට එයින් විශේෂයෙන් අදහස් කරන්නේ පිළිකුල් කිරීම; ප්‍රතික්ෂේප කිරීම වැනි අදහස්.
පව් පිළිකුල් කිරීම, පව් නොකර සිටීම මොනවාද මේ. ප්‍රාණඝාතය, අකාල මරණ ඇතිවෙනවා. ක්ෂණික මරණ සිදු කළහොත් මේ භවයෙදිම ඵල දෙනවා. අකාල මරණ සිදුවෙන්න පුළුවන්; උපදින භවවලත් එලෙසමයි. වචනයෙන් කරන පව්වලින් මිදිය යුතුයි. පරුෂ වචනයේ විපාක අනන්තයි. නිරයේ ඉපදෙන්නට තරම් මේ වචනයෙන් කරන පව ප්‍රබලයි. ශ්‍රද්ධාව නැති අඥානයා මේ නිරය පිළිගන්නේ නැහැ. නමුත් විද්‍යාවට හොයාගන්න බැරි දේවල් තියෙනවා. අඥානයා දන්නේ නැහැ, විද්‍යාවෙන් දියුණු රටවල් ආධ්‍යාත්මයෙන් දියුණු වෙලා නැහැ කියලා.
ඒ නිසා මේ බුදු දහම විද්‍යාවට එහා ගිය දෙයක්; වචනයෙන් කරන පව් මෙන්ම සිතින් කරන පව. අනෙක් කරුණු වන්නේ කාගේ හරි දෙයකට හෝ තමන් සතු වස්තුවට තණ්හා විය යුතු නැහැ. ඇතැමුන් අපේක්ෂා ඇතුව මැරෙනවා. මෙයට කියන්නේ අභිඡ්ඡාවෙන් මැරෙන අය.
එ් අය තම නිවසේම යක්ෂයන් ලෙස ඉපදෙනවා; ගවයෙක් වෙලා ඉපදෙනවා; බල්ලෙක් වෙලා ඇවිදින් ආරක්ෂාව රැකවරණය ලබා දෙනවා; මේ ආකාරයට ඒ නිවසේම ඉපදෙනවා. තමන් සතු දේට, අනුන් සතු දේට ඇල්ම කිරීමෙන් සිදුවන අනික් කාරණාව ව්‍යාපාදයයි. ඒ කියන්නේ මේවා විශාල මානසික අකුසල. පින් පව් විශ්වාස නොකිරීම වැනි මිච්ජා දිට්ටි, අන්තවාද බය ඇති කරගෙන ඒවායෙන් වැළකී සිටීම, හිරි බලය මේ අකුසල් දහයෙන් ම වැළකෙනවා නම් හරි නුවණැති සත්පුරුෂයන්ගේ පිළිකුලට ලක්වෙනවානේ කියලා හිතනවා නම් හරි ඒ පරවාද බයයි.
මේ අකුසලවලින් මම වැළකෙනවා, නම් පරලොව මට යහපත් වෙනවා කියලා හිතනවා. අපාය බයට මෙය හේතුවක් වෙනවා. මේ නිසා අපි ඉහත කතා කරන ලද පව්වලින් වැළකී සිටිනවා. නුවණැතියන් නින්දා අපහාස කරයි කියන පරවාද බය, මරණාසන්න මොහොතේ සිදුවන මරණ බය, මරණින් මතු අපායේ ඉපදෙනවා කියන අපාය බය ආදී මේ ත්‍රිවිධ බයෙන් මිදීමට කියනවා ඔත්තප්ප ගුණ කියලා.
අත්තවාද බය සිහි කරලා පාපයෙන් මිදිම හිරිගුණය; පරවාද බය කියන්නේ මරණ අපාය බය සිහි කිරීම, පාපයෙන් වැළකීම ඔත්තප්ප ගුණයයි. අනෙක් බලය සති බලයයි. සති කියන්නේ කියලා කියන එකටයි. සිහිය කියන්නේ තමන්ගේ සිත අකුසල් වලට යන්නේ නැතුව වළක්වා ගැනීම. කුසලයකදී සිහිය පවත්වා ගැනීමට හැකි වීමයි මෙතනදි සිහිය කියලා කියන්නේ.
බුද්ධ ශාසනයේ ඉගැන්වෙන සිහිය මෙයයි. අපි දිනකට පුංචි වෙලාවක් හෝ වැය කරන්නට ඕන බුදු ශාසනයේ කිසියම් භාවනාවක් දියුණු කරන්න; සිහිය කියන බලය, සති කියන බලය දියුණු කරන්නට. අනෙක් බලය තමයි සමාධි බලය. සිතේ එකගකම. චිත්තස්ස ඒකාග්ගතා අයං සමාධි කියලා කියන්නේ ඒකට.
සිතේ එකඟ බව සමාධියයි. බුද්ධ ශාසනයේ භාවනා අරමුණක් ඇතිව සිත එකඟ කර ගැනීමයි මෙහිදි සමාධිය කියලා කියන්නේ. අනෙක් කාරණාව පඤ්ඤා බලං කර්මය. කර්ම ඵලය පිළිබද ඇති ප්‍රඥාව සහ කළ නොකළ යුතුදේ පිළිබඳ ඇති පඤ්ඤාවයි. තමන්ට අහිත පිණිස සහ හිත වැඩ පිණිස ඇති පඤ්ඤාව. ඒ දේවල් තමයි ප්‍රඥාව. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්රිලක්ෂණ අවබෝධයයි; ත්රිලක්ෂණය පිළිබඳ අවබෝධයයි.
ඒ බුද්ධ සාසනයේ ඇති උසස්ම අවබෝධයයි. බුද්ධ ශ්‍රාවකයෝ ත්රිලක්ෂණය අවබෝධ කරගැනීමට යන්තම් හෝ උත්සහ නොකරන්නේ නම් බුදු සසුනේ උණුසුමවත් ලැබී නැහැ කියලා සිතා ගත යුතුයි. ඒතරම් ප්‍රබලයි; මේ ත්රිලක්ෂණය. බුදු කෙනෙක් පහළ වු දින සිට මෙනෙහි කළ යුතු වන්නේ සහ අවධානය යොමු කළ යුතු වන්නේ විදර්ශනා වැඩීමටයි; එයයි ප්‍රඥාව. අපිත් මේ ත්රිලක්ෂණය මෙනෙහි කරමින් විදසුන් වඩමින් ප්‍රඥාව දියුණු කළ යුතුයි.