
දිනය පසුගිය දෙවැනිදා ය. මීරිගම රෝහලෙන් තැතිගන්වනසුලු ඛේදවාචකයක් වාර්තා වෙමින් තිබිණි. සාමාන්‍යයෙන් රෝහලෙන් දිනකට වාර්තා වන්නේ මරණයක් හෝ දෙකකි. එහෙත් රෝහලේ එදින මරණ හයක් ම වාර්තා වුණේය. මෘත ශරීරාගාරය තුළ මිනී ගොඩගැසෙත් ම ඒ පිළිබඳ පුවත අවට ගම්මාන පුරා පැතිර ගියේ තටු ලබමිනි.
ඒ අතරේ මීරිගම රෝහලේදී මියගිය රෝගීන්ගේ රෝග ලක්ෂණ ම පිළිබිඹු කරමින් තවත් පිරිසක් මිය ගොස් ඇති බවට බඳුරාගොඩ, පොත්තෙවෙල, වත්තෙමුල්ල, ගස්පෙ, මඩිතියවල ආදි ගම්වලින් වාර්තා විය.
දැන් අවට ගම් සිසාරා හා-හූවක් පැතිර යන්නට වූයේ ය.
'කසිප්පු බී පිරිසක් මිය ගිහින්...' තතු දත් ගැමියෝ මේ කතාව කීවේ කැට දමා ය. පුවත මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය.
දින දෙක තුනක් ඉක්ම යද්දී මේ ව්‍යසනයෙන් 13 දෙනෙක් මිය ගිය බව වාර්තා විය. ඉකුත් 07 වැනිදා තවත් අයෙක් මේ රෝග තත්ත්වයෙන් ම මිය ගියේය. මියගිය මිනිසුන් ගණන දැන් 14 කි. ගැමියන් කී කතාව නිවැරදි බව තහවුරු වෙමින් තිබේ. මේ මිනිසුන් මිය ගොස් ඇත්තේ කසිප්පු විස වීමෙනි. ඒ විස කසිප්පු විකුණා තිබුණේ මීරිගම කංචන මුදලාලි නැමැති කුප්‍රකට කසිප්පු ජාවාරම්කරුවකුවා ය. මේ මිනීමරු විස කසිප්පු ජාවාරම්කාරයා ගැන දැන් රට ම දන්නේ ය.
මියගිය සියලු දෙනා අවුරුදු 40ට වැඩි වයසේ පසුවන්නන් ය. කසිප්පු විසෙන් මියගිය වයස්ගතම පුද්ගලයාට අවුරුදු 82 කි. මේ මිනිස්සු මීරිගම අවට බඳුරාගොඩ, වත්තෙමුල්ල, වලව්වත්ත, ගස්පෙ, ලක්ජයගම, මඩිතියවල ආදි ගම්වල විසූ එදා වේල කුලීවැඩකින් සරි කරගන්නා දුප්පත්තු වෙති. සුමනදාස, සරත් කුමාර, දයාරත්න, පුෂ්පකුමාර, ජයන්ත, කාරිඅප්පන්, සුමිත්, ශාන්තලාල්, මංජුල, ඇන්ටනි, මහින්ද, සුනිල්, ඇලෝසියස් සහ සුමිත් ආබෲ යන පිරිස එසේ මරණයට වූවන් ය.
![]() |
කසිප්පු ව්‍යාපාරිකයාගේ නිවෙස |
කසිප්පු බී ඇස් පනාපිට ම මිනිස්සු මැරී වැටෙද්දී ගම්වැසියෝ කෝප වූහ. වමනය, පාචනය, ඇස් නොපෙනී යෑම වැනි රෝග ලක්ෂණවලට රෝහල්ගත වූවන් පෙට්ටියෙන් ගෙවල්වලට එනු දුටු මීරිගම අවට ගම්වල මිනිස්සු පසුගිය තුන්වැනිදා කොටදෙනියාව පොලිසියට අසලට වැල නොකැඩී ඇදෙමින් උද්ඝෝෂණයක නිරත වූහ. ඒ විස කසිප්පු ජාවාරම්කාර කංචන මුදලාලි අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමිනි. එහෙත් කංචනගේ කසිප්පු ඉසව්ව අයත්ව තිබුණේ පල්ලෙවෙල පොලිසියට ය. ජනයා පල්ලෙවෙලට නොගියේ පල්ලෙවෙල පොලිසිය කංචනගෙන් 'ජරාව' කන හොර ගුහාවක් ලෙසට ප්‍රකට ව තිබූ හෙයිනි.
කොටදෙනියාවෙන් ලැබුණු පැමිණිලි කන්දරාව මත 14 දෙනෙක් මරා දැමූ විස කසිප්පු ජාවාරමේ සැකකරුවන් ලෙස කංචන සහ ඔහුගේ ගෝලයෙක් වන සුබසිංහ හෙවත් කළු මල්ලි මෙන්ම විස කසිප්පු පෙරූ බවට සැලවෙන මීරිගම ලෝලුවාගොඩ කැමිලස්වත්තෙ වෙසෙන ලයනල් අබේසිරි නමැත්තා ද අත්අඩංගුවටගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරිණි.
සිදුවූ ඛේදවාචකය ගැන සොයා බලන්නට පසුගියදා මීරිගම අවට ගම්වලට ගිය අපට බොහෝ දෙනෙක් පැවසුවේ එක ම කතාවකි. “අහිංසක මිනිස්සුන්ට දහජරාව පොවලා කරපු විනාශයට... මේ අපරාධය කළවුන්ට හොඳක්නම් වෙන්න එපා” . ඇත්තට ම සිදුවී තිබුණේ මෙවැන්නකි.
වසර තිස්පහකට අධික කාලයක් වෙනත් ව්‍යාපාරවලට මුවාවෙන් බඳුරාගොඩ, ගස්පේහේනේ කසිප්පු ජාවාරමක් කරගෙන යන මහා පරිමාණ ජවාරම්කාරයෙක් ගැන ප්‍රදේශය ම දැනගෙන සිටියේ ය. මේ ජවාරම්කාරයා කිතලව කංකානමගේ කංචන අජිත් නමැත්තා ය. පළාත ම දන්නා කසිප්පු රස්සාව ඔහුට උරුම වී තිබුණේ සිය පියාගෙනි. ගම්මු පවසන පරිදි කංචනට අමතරව ඔහුගේ තවත් ඥාති හිතවතුන් පිරිසක් කසිප්පු ජාවාරමේ යෙදෙති. මේ ව්‍යසනය සොයා යන ගමනේදී අපට එක් පුද්ගලයෙක් හමු විය. ඔහු පසුගිය පළමු වැනිදා පාන්දරම සුපුරුදු පරිදි 'කසිප්පු අඩියක්' ගැසීමට කංචනගේ හොර පොළට පැමිණෙන බේබදු කණ්ඩායමේ සිට එළොව ගිහින් මෙලොව පැමිණි අයෙකි. බඳුරාගොඩ පදිංචි 65 හැවිරිදි මේ පුද්ගලයා අපට කීවේ මෙවන් කතාවකි.
“උදෙන්ම කංචන මුදලාලිගේ ගෙදරට ගියා. දහපාළොස් දෙනෙක් ඒ වෙලාවෙත් හිටියා. එදා විකුණුවේ කංචනගේ ගෝලයා කළු අයියා. මම රුපියල් සීයක බිව්වා. බොනකොට වෙනදට වඩා වෙනසක් දැනුණා; අමුතු රහක් ආවේ; ඒ නිසා වැඩිය බිව්වෙ නෑ; ගෙදර ගියා. පස්සෙ ඇඟට පණ නැති ගතියක් දැනුණා. අමාරු තියාගෙන රස්සාවටත් ගියා. ඇස් පෙනීමත් අඩු වෙලා...වමනෙත් ගියා. කරන්න දෙයක් නැති තැන දිවුලපිටිය ඉස්පිරිතාලෙට ගියා. අන්තිමට මාව කොළඹ ජාතික රෝහලටත් ගෙනිච්චා. යන්තමට ජීවිතය බේරුණා. ආයෙත්නම් ජීවිතේට ඔය දහජරාව බොන්නෙ නෑ.” කසිප්පු වඩියකින් කට හෝදාගෙන උදේම වැඩ පටන් ගන්නා බේබද්දන්ට මරණයෙන් පාඩම් උගන්වා තිබිණි. උදේ පාන්දර සිට එළිපිට ගෙදර ම කසිප්පු විකුණන මේ අශික්ෂිත අමනුස්සයා වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන්නට පල්ලෙවෙල පොලිසිය කටයුතු කර නොතිබිණි. මේ හොර කසිප්පුකාරයා මිනිස්සු මැරී වැටුණු පළමු වෙනිදා පමණක් නොව, දෙවෙනිදාත් තම නිවසේ විස කසිප්පු විකුණා තිබිණි. දෙවෙනිදා විස කස්පිපු විකුණන විට පළමුවෙනිදා ඒ කසිප්පු ම පානය කළ පුද්ගලයන් කිහිපදෙනෙක් මිය ගොස් තිබුණේ ය. වාර්තා වන ආකාරයට මේ දවස් දෙක ඇතුළත පනහකට අධික පිරිසක් විස කසිප්පු බී ඇත. මිය ගිය පිරිසත් හෙළිදරවු වූ පිරිසත් හැරුණු විට තවත් පිරිස් මේ වන විටත් සිදුවූ දේ සඟවමින් රෝහල්ගතව ය.
ගම්මු කසිප්පු විසවීම ගැන නොයෙක් කතා කියති. ඇතැමෙක් පවසන්නෙ කසිප්පු පෙරීමට යොදාගත් බැරලයක කිසියම් විස රසායනයක් තිබෙන්නට ඇති බවකි. එසේම තවත් පිරිසක් කියන්නෙ කසිප්පු පෙරීමට ගතවන දින හය, හතක සම්මත ක්‍රියාවලියෙන් බැහැරව ක්ෂණිකව කසිප්පු පෙරීමට කංචන මුදලාලි මෑතක සිට විෂ රසායනික කුඩක් පාවිච්චි කරන බවයි. ඒ කුඩ අධි මාත්‍රාවෙන් යෙදීම නිසා මේ විනාශය වන්නට ඇතැයි ද කියති. මරණයට පත්වූ පිරිස පානය කළ ඉතිරි කසිප්පු ප්‍රමාණයේ රස පරීක්ෂක වාර්තාව අනුව සිදුවූයේ කුමක්ද යන්න ඉදිරියේදී හෙළිවනු ඇත.
![]() |
කසිප්පු පෙරූ බවට හෙළිවන නිවෙස |
එසේම තවත් තැනකදී පිරිසක් කීවේ මෙවැන්නකි.
“ඉස්සර මිනිස්සු කසිප්පු පෙරනකොට 'දෙයියන්ගෙ කොටහ' ලෙසින් කසිප්පු පැහෙන විටදී මුල් කොටස අයින් කරනවා. ඒක බොන්නෙ නෑ. මැද කොටසයි බොන්නෙ. ඔය මිනිහාගේ කසිප්පු පෙරන ගෝලයෝ ඒවත් මිනිස්සුන්ට බොන්න දෙනවලු.”
එසේ ගම්වැසියන් පවසන්නෙ කසිප්පු පෙරීමේදී මුලින් නිපදවෙන මෙතනෝල් හෙවත් මීතයිල් ගැන ය. මීතයිල් ශරීරයට අධික විසකින් යුක්ත ය. නූතන කසිප්පු ජාවාරම්කරුවන් ඒ කොටස ඉවත් නොකොට ලාභ පරමාර්ථයෙන් විකුණන බව නොයෙක් අවස්ථාවලදී වාර්තා විණි. මීට වසර දහහතරකට පමණ පෙර එනම් 2005 දෙසැම්බර් මාසයේ මාතර කැකණදුරදී කසිප්පු පානයකොට 14 දෙනෙකු මිය ගියේය. එදින ඒ කසිප්පු පානය කළ 105ක් පමණ රෝහල්ගත විය. මේ මරණ සිදුවූයේ මීතයිල් මිශ්‍ර වූ කසිප්පු පානය කිරීමෙන් බවට තහවුරු විණි.
කෙසේ හෝ පොලිසිය, සුරාබදු නිලධාරින් මිලදී ගනිමින් දේශපාලන රැකවරණය සහිතව මහා පරිමාණයෙන් කසිප්පු ජාවාරම කළ කංචන යානවාහන, ඉඩකඩම් යහමින් ඇති බලයක් සහිත තැනැත්තෙක් වූයේ ය. ඔහු සිය බිරිය ද කසිප්පු ජාවාරමට හවුල් කරගෙන තිබිණි. මෑතකදී කංචනගේ පුත්‍රයා විවාහ වී තිබුණේ මීරිගම අවට ලෝලුවාගොඩ ප්‍රදේශයෙනි. ඔහු මේ ජාවාරමට විරුද්ධ ව සිටියේ ය. එහෙත් කංචන කෙතරම් කූට වංචනිකයෙක් ද යත් තම පුත්‍රයා විවාහ වී සිටි නිවෙසේ ද කසිප්පු පෙරීම ආරම්භකර තිබෙන අතර විස කසිප්පු පෙරා ඇති බවට සැලවන්නෙ ලෝලුවාගොඩ කංචනගේ පුත්‍රයාගේ බිරියගේ මහගෙදර නිවෙසේ ය.
මංජුල හා ඇන්ටනි යනු කසිප්පු පානය කොට මියගිය දෙදෙනෙකි. මේ දෙදෙනාගේ දේහ රැගෙන එක්තරා පිරිසක් පසුගිය 4 වැනිදා කංචනගේ නිවෙසට ගියේය. ඒ මොහොතේ විසිපහක, තිහක පමණ පිරිසක් එ් නිවෙසේ රැඳී සිටියේය. ඔවුන් මේ මිනී රැගෙන පැමිණි පිරිසට විරෝධය පා තිබිණි. මේ පිරිස කසිප්පු ජාවාරමේ නිරත කාංචනගේ ගෝලයන් ය.
ඔහුට කසිප්පු පෙරා දුන් පිරිස කොතෙක්ද යන්න දන්නේ ඔහු ම පමණක් බව කියන ගම්මු කංචනට කසිප්පු සැපයු පිරිස මීරිගම අවට පමණක් නොව රටේ සතර දිග්භාගයේ ම සිටින බව කියති. එසේම කංචනගේ කසිප්පු දිනකට විශාල තොගයක් රටපුරාම බෙදාහැර ඇති බවට සැල වේ. ඒ නිසා විස කසිප්පු පානයෙන් මියගිය පිරිස ද නිශ්චිතව කිව නොහැක්කේ කසිප්පු බෙදාහැරි තැන් කිසිවෙක් හරිහැටි නොදන්නා නිසා ය.
කූට ජාවාරම පටන්ගත් දා සිට ම දේශපාලන 'හයියෙන්, මුදල් බලයෙන් පොලිස් නිලධාරින් ව, සුරාබදු නිලධාරින් ව 'නම්මා' ගත් මේ ජාවාරම්කාරයාට එරෙහිව නීතිය අකුරට ම ඉටු වූයේ වර්ෂ 2013/ 2014 කාලයේදී ය. එවකට මීරිගම පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළේ එරික් පෙරේරා ය. ඔහු අද සේවය කරන්නේ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ ය.
“ඒ කාලේ පල්ලෙවෙලත් මීරිගම පොලිසියට අයිති. ඔය මිනිහා තැන් තැන්වල කියලා තිබුණා, කිසිම ඕඅයිසී කෙනෙක් යටතේවත් මම කසිප්පු පෙරීම නතර කරලත් නෑ, නතර කරන්නෙත් නෑ කියලා. මේ පුද්ගලයා ඒ දවස්වල බලයේ හිටිය දේශපාලනඥයන් හරහා මට කතා කළා. මාසිකව ලක්ෂ ගණනින් මුදල් දෙන්නත් ආවා. තමන් එක්ක ඔයිට වඩා කට්ටිය හැප්පෙන්න පැමිණි බවත් වෙන දේ බලාගත හැකි බවත් කියලා තිබුණා. මං මිනිහ ව පොලිසියට ගෙන්නලා කිව්වා ඔය වැඩේ නතර කරන්න, මට දේශපාලනඥයන් මඟින් බලපෑම් කරන්න එන්න එපා කියලා. ඒත් හරි ගියේ නෑ... දෙපාරක් ම අලල්ලා රිමාන්ඩ් කළා. අන්තිමට මිනිහා කසිප්පු පෙරන එක නවත්වන්න පොරොන්දු වුණා. ලොරි තුනකින් කසිප්පු පෙරන බඩුභාණ්ඩ සියල්ල පොලිසියට බාර දීලා, නැවතත් කිසිම දිනෙක කසිප්පු පෙරන්නෙ නෑ කියා මාධ්‍යයටත් ප්‍රකාශයක් කරලයි ගියේ. ” එහෙත් ඒ තත්ත්වය පවත්වා ගැනීමට නීතිය ක්‍රියාත්මක කරන පිරිස සමත් වී නැත. යළිත් කසිප්පු ජාවාරම පටන්ගත් කසිප්පු කංචන පොලිසිය මිලදී ගත හැකි බව මිනිස්සුන්ට පෙන්නුවේ ය.
මේ වන විට පල්ලෙවෙල හිටපු පොලිස් ස්ථානාධිපති කමල් රත්නායක සහ තවත් පස්දෙනෙකු සමඟ අත්තනගල්ල වැඩබලන සහකාර පොලිස් අධිකාරි තුසිත කුමාරද ස්ථාන මාරුකොට ඇත. කංචනගේ කසිප්පු ජාවාරම ගැන ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. පල්ලෙවෙල ස්ථානාධිපතිවරයා නීතිවිරෝධී මද්‍යසාර ජාවාරම් මැඬලීමට ගන්නා ලද ක්‍රියාමාර්ග ගැන පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකයෙන් ද පරීක්ෂණයක් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිසි අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර කීවේය.
පොලිසිය සේම නීතිවිරෝධි මත්පැන් පිළිබඳ වගකීම තිබෙන්නෙ සුරාබදු දෙපාර්තමේන්තුවටයි. එහෙත් සුරාබදු දෙපාර්තමේන්තුව වසර තිස්පහක කාලයක් ගජරාමෙට කසිප්පු ජාවාරම කළ කංචනට එරෙහිව කිසිදු නඩුවක් ගොනුකර නැත. සිදුවූ ඛේදවාචකයෙන් පසු නිවේදනයක් නිකුත් කරන සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, නීති විරෝධි මත්පැන් විකිණීමේ මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය පුද්ගලයා ව්‍යාපාරිකයකු බව පැවසෙන අතර, ඒ මත්පැන් ජාවාරම ඔහුගේ සේවකයන් යොදවා සිදු කරගෙන ගොස් ඇති බවට වාර්තා වන බවයි; පසුගිය වසර තුන තුළදී ජාවාරම් කිරීමට යොදවන ලද ගෝලයන් 21 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති බව ය. රටක් දන්නා කසිප්පු කංචන සුරාබදු දෙපාර්තමේන්තුව දන්නේත් නැත; පල්ලෙවෙල පොලිසියෙ ඕ.අයි.සී දන්නෙත් නැත. මෙවැනි මුග්ධයන් සමඟ මතින් තොර රටක් ගැන අපට සිහින දකින්නටවත් නොහැකි බව නම් ලියා තැබිය යුතුම ය.
සේයාරූ එම්. පී. කුමාර
කොටදෙණියාව සමූහ