
පාස්කු ඉරිදා ප්‍රහාරය අයිඑස්අයිඑස් වැඩක් යැයි මුලින් කීවත් ඒ ප්‍රහාරය ගැන විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැන් සඳහන් කරන්නේ එය අයිඑස්අයිඑස් වැඩක් නොවන බවකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී පවා පවසන්නේ ඒ ප්‍රහාරයට අයිඑස්අයිඑස් සම්බන්ධයක් ඇතැයි කියන්නට තරම් පැහැදිලි සාක්ෂි නැති බවය.
මෙහිදී පැනනඟින "එසේ නම් පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම භාර ගනිමින් ප්‍රහාරයෙන් දින කිහිපයකට පසු අයිඑස්අයිඑස් සංවිධානය ප්‍රකාශයක් නිකුත් කළේ ඇයිද?" යන පැනයටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රධානියා සතුව පිළිතුරු රැසකි. ඒ එක් පිළිතුරකින් කියවෙන්නේ මලයාසියාවේ සිටින තුන්වැනි පාර්ශ්වයක් මඟින් කෙරුණු ඉල්ලීමකට අනුව අයිඑස්අයිඑස් නායකයා ඒ ප්‍රකාශය කර ඇති බවයි. දෙවැනි පිළිතුර: අයිඑස්අයිඑස් සංවිධානය සැබෑ ලෙසම මේ ප්‍රහාරයට සම්බන්ධකමක් නැතිදැයි නිශ්චිතවම දැනගැනීමට විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන බවයි.
රාජ්‍ය බුද්ධි සේවයේ ඔත්තුවකට අනුව අම්පාර පොලිසිය තවත් අන්තවාදී සංවිධානයක් වන ජමාතේ මිල්ලතේ ඉබ්රාහිම් නමැති සංවිධානයේ නැගෙනහිර පළාත් නායකයාත්, සන්නද්ධ අංශයේ නායකයාත් අත්අඩංගුවට ගන්නේ මේ අතරතුරදීය. ඒ ඉකුත් සතියේදීය. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අතිවිශේෂ ගැසට්ටුවකින් තහනම් කළ අන්තවාදී සංවිධාන තුන අතර මේ සංවිධානයේ නමද සදහන්ව තිබිණි. එහෙත් මෙතෙක් කලක් එහි සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමක් ගැන ආරක්ෂක අංශවලින් අසන්න ලැබුණේ නැත. එහි නැගෙනහිර නායකයා සහ සන්නද්ධ අංශයේ නායකයා අත්අඩංගුවට ගැනීමත් සමග ඒ බව කියන්නේද පොලිස් මූලස්ථානය විසිනි.
මෙතක් කලක් නිරන්තරයෙන් නම කියැවුණේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු වන සහරාන්ගේ ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ පමණි. ආරක්ෂක අංශ මඟින් දිගින් දිගටම අත්අඩංගුවට ගත්තේයැයි කියවුණේද ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ සාමාජිකයන්ය. එහෙත් ඒ අය අතර ජමාතේ මිල්ලතේ ඉබ්රාහිම් සංවිධානයේ සාමාජිකයන්ද සැලකිය යුතු පිරිසක්ද සිටියහ.
ඒ අයගෙන් වැඩි පිරිසක් අත්අඩංගුවට ගන්නේ යුද හමුදා බුද්ධි අංශය විසිනි. ඒ කාලයක් තිස්සේ ජමාත් මිල්ලතේ ඉබ්රාහිම් සංවිධානයේ ක්‍රියාකාරිත්වය ගැන යුද හමුදා බුද්ධි අංශය විසින් ඇස ගසාගෙන සිටි බැවිනි. රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා විසින් හමුදාපති මහේෂ් සේනානායක මහතාට දුන් ආන්දෝලනයට තුඩුදුන් දුරකතන ඇමතුමට පාදක වන්නේද ජමාතේ මිල්ලතේ ඉබ්රාහිම් සංවිධානයේ ක්‍රියාකාරිකයකු අත්අඩංගුවට ගැනීමකි.
ඕළුවිල් සරසවියේ ජමාතේ අනුගාමිකයෝ
රාජ්‍ය බුද්ධි සේවයේ අම්පාර ඒකකයේ නිලධරීන්ගේ ඔත්තුවක් අනුව අම්පාර පොලිසිය විසින් ජමාතේ මිල්ලතේ ඉබ්රාහිම් සංවිධානයේ සන්නද්ධ අංශයේ නායකයාත් නැගෙනහිර පළාත් නායකයාත් අත්අඩංගුවට ගන්නේ පසුගිය 04 වැනිදාය. ඒ අම්පාරේදී සහ කල්මුණේදීය. සන්නද්ධ අංශ නායකයා වන්නේ මොහොමඩ් ස්මයිල් මොහොම්මදු සල්මාන්ය. කහටගස්දිගිලියේ සම්පත්ගම පදිංචිකරුවකු වන ඔහු ප්‍රබල දේශපාලනඥයකුගේ ළඟම ඥාතියෙකි.
ඕළුවිල්හි පිහිටි අග්නිදිග විශ්වවිද්‍යාලයේ අරාබි පීඨයේ තුන්වැනි වසරේ සිසුවකු වන ඔහුට සංවිධානයේ සන්නද්ධ අංශයේ නායකත්වය ලැබෙන්නේ සාර්ථක අවි පුහුණුවකින් පසුවය. එම පුහුණුව ඔහු ලබා ඇතැයි කියැවෙන්නේ ජාතික තවුහිද් ජමාත් නායක සහරාන්ගේ නුවරඑළියේ බ්ලැක්පූල්හි පිහිටි පුහුණු මධ්‍යස්ථානයේදීය. ටී-56 සහ පිස්තෝල භාවිතය ගැන මූලික පුහුණුව එහිදී ලබා ඇති සල්මාන් වැඩිදුර පුහුණුව ලබා ඇත්තේ හම්බන්තොට පිහිටි පුහුණු මධ්‍යස්ථානයේදීය. සල්මාන්ගේ පුහුණු උපදේශක ලෙස කටයුතු කර ඇත්තේ මොහොඩ් ඊබ්‍රාහිම් සාදික් අබ්දුල් හක්ය. මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කිරීමට නායකත්වය දුන්නේද ඔහුය. වනාතවිල්ලුවේ පිහිටි පුහුණු කඳවුර පවත්වාගෙන ගොස් තිබුණ්ද ඔහුගේ අධීක්ෂණයෙනි. ගොවිපොළක් ලෙස පිටතට පෙනෙන්නට පවත්වාගෙන ගිය ඒ කඳවුර යොදාගෙන තිබුණේ කැලෑ සටන් පුහුණුවටය. ඒ කඳවුරේ පුහුණුකරු සාදික්ගේ සහෝදරයාය. මොහොමඩ් ඊබ්‍රාහිම් සාහිඩ් අබ්දුල් හක් නමැති ඔහු සිරියාවට ගොස් දින 58ක අයිඑස්අයිඑස් සටන් පුහුණුව ලබා මෙරටට පැමිණි අයෙකි. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු කෙරුණු මෙහෙයුම්වලදී ගම්පොළ පැත්තේ සපත්තු වෙළෙඳසලක් තුළ සැගවී සිටියදී අත්අඩංගුවට ගන්නේ ඔවුන් දෙදෙනාවය.
සල්මාන් අග්නිදිග විශ්වවිද්‍යාලයේ නැටූ නැටුම්
ජමාතේ මිල්ලතේ ඉබ්රාහිම් සංවිධානයට විශ්වවිද්‍යාල සාමාජිකයන් වැඩි පිරිසක් බඳවාගැනීමේ අරමුණින් පසුගිය සමයේ ඕළුවිල් විශ්වවිද්‍යාලය තුළ දේශන පවා සල්මාන් විසින් සංවිධානය කර ඇත. ප්‍රධාන දේශකයා ලෙස සිසුන්ගේ ඔළුගෙඩි අන්තවාදී අදහස්වලින් පුරවා ඇත්තේ සාදික්ය.
සල්මාන් සමග අත්අඩංගුවට ගැණුනු ජමාතේ මිල්ලතේ ඉබ්රාහිම් සංවිධානයේ නැගෙනහිර නායකයාද සාදික් යටතේ නුවරඑළිය බ්ලැක්පූල් සහ හම්බන්තොට පුහුණු කඳවුරුවලින් පුහුණුව ලැබූවෙකි. මොහොමඩ් උස්නාර් මොහොමඩ් නවුෂාඩ් නමැති ඔහු වාලච්චේන ඔට්ටමාවඩි අබ්දුල් පාරේ පදිංචිකරුවෙකි. අවි පුහුණුවට අමතරව පුපුරන ද්‍රව්‍ය භාවිතය ගැනද සාදික් යටතේ ඔහු පුහුණුව ලබා ඇති බව සඳහන්ය. විශේෂත්වයක් වන්නේ නවුෂාඩ්ද විශ්වවිද්‍යාල සිසුවකු වන බැවිනි. ඔහු නියෝජනය කරන්නේ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ මඩකලපුව පීඨයයි.
ජමාතේ මිල්ලතේ ඉබ්රාහිම් සංවිධානයේ සැඟවුණු ප්‍රබලයන් දෙදෙනකු එසේ අත්අඩංගුවට පත්ව පැය කිහිපයක් යන්නට මත්තෙන් එම සංවිධානයේ තවත් ප්‍රබලයකු අත්අඩංගුවට පත් වන්නේ අනුරාධපුරයෙනි. ඔහුගේ නමත් සන්නද්ධ නායකයාගේ නමට මුළු මනින්ම සමානය. මොහොමඩ් ස්මයිල් මොහොමඩ් සල්මාන් නමැති ඔහු පදිංචිව සිටියේ අනුරාධපුරයේ ජයන්ති පාරේය. ස්ථිර රැකියාවක් නැති ඔහු විවිධ අධ්යාපාපන පාඨමාලා හදාරමින් සිටියෙකි. ජමාතේ මිල්ලතේ ඉබ්රාහිම්හි අනුරාධපුර නායකයා ඔහුය.
මේ අය අත්අඩංගුවට ගෙන පැය විසි හතරක් ඉක්ම ගියේ නැත. ජමාතේ මිල්ලතේ ඉබ්රාහිම් සංවිධානයේ තවත් ප්‍රබලයන් රැසකගේ තොරතුරු රාජ්‍ය බුද්ධි සේවයට ගලා එන්නට ගත්තේය. නුවරඑළිය බ්ලැක්පූල් සහ හම්බන්තොට පුහුණු මධ්‍යස්ථානවලින් සටන් පුහුණුව ලැබූවන් රැසක් ඒ අතර වූහ. සාදික්ගේ දේශනවලට වහවැටී ජමාතේ මිල්ලතේ ඉබ්රාහිම් සංවිධානයට බැදුණු ඕළුවිල් විශ්වවිද්‍යාලයේ සිසුන් කිහිප දෙනකුද ඇතුළු විශ්වවිද්‍යාල සිසුහු රැසක් ඒ අතර වූහ.
රාජ්‍ය බුද්ධි සේවය විසින් ඒ අය හඳුනාගනිමින් එකිනෙකා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කරන්නේ අම්පාර පොලිසියේද සහාය ඇතිවය. ඒ අනුව මුලින්ම අත්අඩංගුවට ගන්නේ ඕළුවිල් විශ්වවිද්‍යාල සිසුවකු වන මාවනැල්ලේ සහනගම පදිංචිව සිටි මොහොමදු තාහීර් හිදයතුල්ලාය. දෙවැන්නාද මාවනැල්ලේය. වල්පොළ දෙණියේ පදිංචිකරුවකු වන ඔහු මුස්තාක් අලි අම්හර්ය. ඔහු යාපනය විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට සුදුසු කම් ලබා සිටින්නෙකි. තෙවැන්නා ගෙලිඔය කලිගමුවේ මොහොමඩ් මන්සූර් සෙයිහුල්ලා හක්ය. රත්නපුර දිස්ත්‍රික් නායකයා වන්නේ ඔහුය.
ජනපති නිවෙස අසලින් හසු වූ ත්රස්තවාදියා
මේ තිදෙනා අත්අඩංගුවට ගැනීමෙන් සීමා නොවූ රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් ඉකුත් 07 වැනිදා තවත් තිදෙනකු අම්පාර පෙලිසියේ සහාය ඇතිව අත්අඩංගුවට ගත්තේය. එක් අයකු අත්අඩංගුවට ගන්නේ පොලොන්නරුවේ කදුරුවෙල පිහිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවෙස ආසන්නයෙනි. පොලොන්නරුවේ දිස්ත්‍රික් නායකයා වන ඔහු මොහිදීන් බාවා මොහොමඩ් රූම්ය. මොහුත් විශ්වවිද්‍යාල සිසුවෙකි. ඒ නාවල විවෘත විශ්වවිද්‍යාලයේය. දෙවැන්නා මොහෙමඩ් රියාද් මොහොමඩ් සාජිද්ය. ඔහුත් මාවනැල්ලේය. තෙවැන්නා වරකාපොළ තුල්හිරියේය. ඔහු මොහොමඩ් රම්සි අහමඩ්ය. ඔහුද නාවල විවෘත විශ්වවිද්‍යාලයේ සිසුවෙකි. මේ තිදෙනද අවි භාවිතය ගැන පුහුණුව ලැබූවෝය.
රාජ්‍ය බුද්ධි සේවයේ තොරතුරු අනාවරණය කරන ආකාරයට අනුව ජමාතේ මිල්ලතේ ඉබ්රාහිම් සංවිධානයට සම්බන්ධ අවි පුහුණුව ලැබූ තවත් කිහිප දෙනෙක්ම නිදහසේ සිටිති. රාජ්‍ය බුද්ධි සේවයේ අම්පාර ඒකකයේ නිලධාරීන් මේ දිනවල සිටින්නේ ඒ අය කවුරුන්දැයි පැහැදිලිවම හඳුනාගැනීමේ මෙහෙයුමක නිරත වෙමිනි.
විමර්ශනවලින් පෙනී ගොස් ඇති ආකාරයට අනුව ජමාතේ මිල්ලතේ ඉබ්රාහිම් සංවිධානයද පුළුල්ව රට පුරා ව්‍යාප්ත වූ අන්තවාදී සන්නද්ධ සංවිධානයකි. මේ සංවිධානය නියෝජනය කරන වැඩි පිරිසක් උසස් අධ්‍යාපනය ලැබූවෝය. රාජ්‍ය බුද්ධි සේවයේත් හමුදා බුද්ධි අංශයෙත් තොරතුරුවල සදහන්ව ඇති ආකාරයට ජමාතේ මිල්ලතේ ඉබ්රාහිම් සංවිධානය නිර්මාණය වන්නේ සමාජ ජාලා ඔස්සේ අන්තවාදී අදහස් හුවමාරු කරගත් ඉහළ අධ්‍යාපනයක් ලද තරුණයන් පිරිසක් මගිනි.
එම ජාලයට විදෙස් අධ්‍යාපනය ලබන මෙරට මුස්ලිම් තරුණයෝද සම්බන්ධව සිටියහ. පාස්කු ඉරිදා දෙහිවල ලැගුම්හලකදී බොම්බයක් පුපුරුවාගෙන මරාගෙන මැරුණු අබ්දුල් ලතීෆ් ජමිල් සහ මඩකලපුව සියෝන් දේවස්ථානයට මරාගෙන ප්‍රහාරය එල්ල කළ මොහොම්මදු අසාත්ද මුල් වකවානුවේ නියෝජනය කළේ ජමාත් මිල්ලතේ ඉබ්රාහිම් සංවිධානයයි. ගම්පොළ වෙලම්බඩ පැත්තේ තේ කර්මාන්ත ශාලා හිමිකරුවකුගේ පුතකු වන ජමිල් අන්තවාදී අදහස් දරන්නකු බවට පත් වන්නේ එංගලන්තයේදී ගුවන්යානා ඉන්ජිනේරු උපාධි පාඨමාලාව සාර්ථකව අවසන් කර පශ්චාද් උපාධිය හැදෑරීමට ඕස්ට්‍රේලියාවට ගොස් සිටියදීය. පශ්චාද් උපාධි පාඨමාලාව නිම කර 2013 වසරේ මෙරටට පැමිණෙන්නේ සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ ගොඩනගාගත් ජමාතේ මිල්ලතේ ඉබ්රාහිම් සංවිධානයේ ප්‍රබල ක්‍රියාකාරිකයකු බවට පත් වෙමිනි. සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ ඒ වන විටත් එම සංවිධානය හා එක්ව දහසකට වැඩි පිරිසක් සම්බන්ධව සිට ඇත්තේ අන්තවාදයේද අන්තයට යමිනි.
ඒ අතර සිටි වැඩි පිරිසක් ජමිල් මෙන් ධනවත් මුස්ලිම් පවුල්වල උගත් තරුණයෝය. මේ අය දරන්නට වූයේ අයිඑස්අයිඑස් අදහස්ය. ඔවුන් අයිඑස්අයිඑස් මතවාදය ව්‍යාප්ත කරන්න වූයේ අරගලයක පෙරනිමිති පෙන්වමිනි. බුද්ධි අංශය මේ අයගේ ක්‍රියාකලාපයන් ගැන අවධානයෙන් සිටිමින් තොරතුරු රැස් කරන්නට ගන්නේ එබැවිනි. එකී තොරතුරුවලට අනුව ජමාතේ මිල්ලතේ ඉබ්රාහිම් සංවිධානයේ ආරම්භක නායකයා ලෙස සැලකෙන්නේ මොහොමඩ් මුහුසීන් සෆ්රාස් නිලාම්ය.
සිරියාවට ගොස් 2013 වසරේ අගෝස්තු 13 වැනිදා අයිඑස්අයිඑස් සංවිධානයට එක්වූ පළමු ශ්‍රී ලාංකිකයා වන ඉෂාක් අහමඩ් මොහොමඩ් මුහුසීන් නිලාම්ගේ වැඩිමහල් සහෝදරයාය. එදා ඔහු ඕමානයට ගොස් තුර්කිය හරහා සිරියාවට ඇතුළු වන්නේ බිරියත් දරුවන් පස් දෙනාත් සමගිනි. අදටත් ඔහු රැඳී සිටින්නේ සිරියාවේය. ඒ අයිඑස්අයිඑස් සංවිධානයේ අධ්‍යාපන අංශයේ ප්‍රධානියකු ලෙසය. ඒ වන විට නිලාම් සිටින්නේ අයිඑස්අයිඑස් මතවාදය සමාජ ජාල ඔස්සේ පතුරවමින් ජමාතේ මිල්ලතේ ඉබ්රාහිම් සංවිධානය ශක්තිමත් කරමිනි. සිය සහෝදරයාගේ අඩිපාරේ යමින් වැඩි කල් නොගොස් ඔහුද සිය ගැබිනි බිරියත් දරුවන් හයදෙනාත් සිය මවුපියන් සහ බිරියගේ මවත් රැගෙන තුර්කිය හරහා සිරියාවට පැනගත්තේය. ඒ 2015 වසරේ ජනවාරි 15 වැනිදාය. මේ ආකාරයට ඔවුන්ගේ පවුල්වලට සම්බන්ධ 40කට ආසන්න පිරිසක් සිරියාවට ඇතුළු වී සිටියහ. ඒ අය අතර ජමිල් සමඟ ඕස්ට්‍රෙලියාවේදී අන්තවාදී මත සමාජගත කරමින් සිටියකු වූ මොහොමඩ් සුහෙයිර් අරූස්ද සිටියේය. ඕස්ට්‍රේලියාවේද පුරවැසිභාවය හිමි ඔහු සිරියාවට එන්නේ අයිඑස්අයිඑස් රෝහලක භෞත චිකිත්සකයකු ලෙසිනි. ඔහු විවාහ වන්නේ ඉෂාක් අහමඩ්ගේ දියණියක සමගිනි.
සිරියාවේ සිටියද සමාජ ජාල මාධ්‍ය ඔස්සේ නිලාම් අයිඑස්අයිඑස් මතවාදය වපුරවමින් ජමාතේ මිල්ලතේ ඉබ්රාහිම් සංවිධානය පෝෂණය කර ඇති බව සඳහන්ය. ඊට නැවතීමේ තිත තැබෙන්නේ 2015 වසරේ ජූලි 11වැනිදා ඇමරිකානු ගුවන් හමුදාව විසින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකින් නිලාම් මරුමුවට පත් වන බැවිනි. ඔහු ඉතිහාසයට එක්ව ඇත්තේ සිරියාවේදී මරුමුවට පත් වූ ප්‍රථම ශ්‍රී ලංකික අයිඑස්අයිඑස් ත්රස්තවාදියා ලෙසිනි.
එදා නිලාම් සමග ජමාතේ මිල්ලතේ ඉබ්රාහිම් සංවිධානයේ තවත් සාමාජිකයන් දෙදෙනකු සිරියාවට ඇතුළු වීමට තුර්කියට ගොස් තිබිණි. ඒ පකීර් ඉමාඩ් සිද්ධි ෂාම් නමැත්තෙක් සහ ජමිල්ය. එදා නිලාම් සිය පවුලේ සාමාජිකයන් සමග සිරියාවට රිංගුවත් ජමිල්ට සහ ඉෂාඩ්ට තුර්කියෙන් එහාට අඩියක්වත් තබන්නට ඉඩක් නොවීය. ඔවුන් ආපසු හැරී එන්නේ ජමාතේ මිල්ලතේ ඉබ්රාහිම් සංවිධානය මෙරට ශක්තිමත් කිරීමට සිතාගෙනය. බුද්ධි අංශ හෙළි කරන ආකාරයට අනුව ඉෂාඩ්ගේ මව යුරෝපීය රටක මෙරට තානාපති කාර්යාලයක වීසා අංශයේ සේවයේ නිරතව සිටි තැනැත්තියකි. ඉෂාඩ් සහ නිලාම් මිතුරෝය. ජමාතේ මිල්ලතේ ඉබ්රාහිම් සංවිධානය සමග ඉෂාඩ් සම්බන්ධ වන්නේ නිලාම් සමග ඇති ඒ සම්බන්ධකම නිසාය. ඔහු දැන් සිටින්නේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාස භාරයේය. ඒ පාස්කු ප්‍රහාරයෙන් පසු හමුදා බුද්ධි අංශය විසින් කළ මෙහෙයුමට හසු වුණු ජමාතේ මිල්ලතේ ඉබ්රාහිම් සංවිධානයේ ක්රියාකාරිකයන් අතර ඔහුද සිටින බැවිනි.
බුද්ධි අංශ තොරතුරුවලට අනුව ජමාතේ මිල්ලතේ ඉබ්රාහිම් සංවිධානයේ න්‍යායාචාර්යවරයා ලෙස කටයුතු කර ඇත්තේ පන්නල පැත්තේ පදිංචිකරුවකු වන ඊබ්‍රාහිම් නවුෆර් නමැති මවුලවිවරයෙකි. මේ වන විට ඔහුද සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවට කොටු වුණු සහරාන්ගේ ගෝලබාලයන් රොත්ත අතරය.
ඒ වන විට සහරාන් සිට ඇත්තේ කාත්තන්කුඩිය කේන්ද්‍ර කරගනිමින් ජාතික තවුහිද් ජමාත් සංවිධානය හරහා අයිඑස්අයිඑස් මතවාදය පතුරවමිනි. 2011 වසරේ සිට කාත්තන්කුඩියේ ක්‍රියාත්මක වූ සහරාන්ට කාත්තන්කුඩිය අත්හැර යන්නට සිදු වන්නේ 2017 මාර්තු 10 වැනිදාය. ඒ අන්තවාදයේද අන්තවාදයට යෑම හේතුවෙන් සහරාන් කාතන්කුඩියෙන් පන්නාදැමීමට ඔහුගේම සගයන් පියවර ගත් බැවිනි. ජමාතේ මිල්ලතේ ඉබ්රාහිම් සංවිධානයට සහරාන් රිංගන්නේ ඒත් එක්කමය.