
සිසේරියන් සැත්කම් අතරතුර පැලෝපීය නාලයට හානි කරමින් සිංහල බෞද්ධ මවුවරුන් සියදහස් ගණනක් වඳ භාවයට පත් කළේයැයි චෝදනා එල්ල වුණු ප්‍රසව හා නාරිවේද වෛද්‍ය ෂාෆි සහාබ්දීන්ට එරෙහිව කුරුණෑගල රෝහල පැත්තෙන් දැඩි සටනක නිරතව සිටින මහා බල කණු දෙකකි. ඒ කුරුණෑගල රෝහල් අධ්යක්ෂ සරත් වීරබණ්ඩාර සහ නියෝජ්‍ය අධ්යක්ෂ චන්දන කඳන්ගමුව යන මහත්වරුන්ය. ෂාෆිට එරෙහි සටනේදී රෝහල පාර්ශ්වයෙන් ඉදිරියෙන්ම සිටින්නේද මේ දෙදෙනාය.
මේ අයගේ සටන යම් තාක් දුරකට පසුබැසීමකට ලක් වූයේ නම් ඒ වෛද්‍ය ෂාෆිට එරෙහිව එල්ල වී තිබුණු ත්‍රස්තවාදී ලේබලය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගලවා දැමීම හේතුවෙනි. මේ චෝදනාව ෂාෆිට එල්ල කර තිබුණේ සංවිධානාත්මකවය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලින් හෙළිව ඇති ආකාරයට එය කුමන්ත්රණයකි. එකී කුමන්ත්රණයේ කොටස්කරුවන් අතර වෛද්‍ය වෘත්තියේ නිරතව සිටින්නන් මෙන්ම පොලිසියේ අයද සිටියහ. මේ අය මෙම කුමන්ත්‍රණයට සම්බන්ධ වී ඇත්තේ යම් දේශපාලන අරමුණක් වෙනුවෙනි. ඒ අරමුණේ සාර්ථකත්වය වෙනුවෙන් කුමන්ත්රණකරුවන්ගේ අවසන් උත්සාහය වූයේ ෂාෆි ඇප නොමැතිව හිරේ තබාගන්නටය. එයද ආසාර්ථක වන්නේ ඔහුට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයෙන්ම ඇප නියම වූ නිසාය.
මෙහිදී ෂාෆිට එරෙහි පිරිස් සඳහන් කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිප දෙනකුගේ කුමන්ත්රණයකින් ෂාෆි නිදහස් වූ බවකි. ඉතා දරුණු ලෙස ඒ චෝදනාව ඔවුන් එල්ල කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේත් සහකාර පොලිස් අධිකාරී බී.එස්. තිසේරාගේත් නම්ද සඳහන් කරමිනි. මේ නිලධාරීන්ට අලුත් ආණ්ඩුවක් යටතේ ජම්පර් අන්දවන බවට පවා මේ වන විටත් අනතුරු අඟවා තිබීමෙන්ම ඒ බව පැහැදිලිය.
කුරුණෑගල රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ චන්දන කඳන්ගමුව මහතා විසින් 14 දා කුරුණෑගල තමාට එල්ල වී ඇති ජීවිත තර්ජනයක් ගැන පොලීසියට පැමිණිල්ලක් කරන්නේ මේ අතරතුරදීය. ඒ වෛද්‍ය ෂාෆි සහාබ්දීන් අතින් අගතියට පත් මවුවරුන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටින නීතිඥවරුන් කිහිප දෙනකු පෙරටු කරගනිමිනි. කඳන්ගමුව මහතා පොලීසියට සඳහන් කර ඇති අන්දමට ඔහුගේ ජීවිතයට තර්ජනයක් එල්ල වී ඇත්තේ නාඳුනන පුද්ගලයන් ඔහු පදිංචි නිවෙස වටා සැකකටයුතු අයුරින් සැරි සැරීම නිසාය. එසේ නැතිව ඔහුට වාචිකව කිසිදු තර්ජනයක් නම් මෙතෙක් එල්ල වී ඇති බවක් ඔහු සඳහන් කරන්නේ නැත. නාඳුනන පුද්ගලයන් සිය නිවෙස වටා සැරිසැරීමත්, යන-එන තැන්වලට පස්සෙන් ඒමත් නිසා වෛද්‍ය කඳන්ගමුව මහතා දැන් සිටින්නේ මරණ බියෙනි. ඒ නිසා ඔහු පොලීසියට පැමිණිල්ලක් කරමින් ඉල්ලා ඇත්තේ තමාට ආරක්ෂාව සපයන ලෙසය.
එකී පැමිණිල්ලට අනුව මෙතෙක් වෛද්‍ය කඳන්ගමුව මහතාට නිසි ආරක්ෂාවක් ලැබී නැතත් කුරුණෑගල පොලීසිය පැත්තෙන් කියවෙන්නේ ඔහුට ඇති තර්ජනය ගැන මේ වන විටත් විමර්ශනයක් පැවැත්වෙන බවකි. ඒ අනුව කඳන්ගමුව මහතාට සැබැවින්ම ආරක්ෂාවක් සලසන්නේද? නැද්ද? යන්න තීරණය වන්නේ ඒ විමර්ශනයෙන් අනතුරුවය.
වෛද්‍ය කඳන්ගමුව මහතා තමාගේ ජීවිතයට තර්ජනයක් ඇතැයි කුරුණෑගල පොලීසියට එසේ පැමිණිල්ලක් කරන්නේ මරණීය තර්ජනයක් ගැන ඔහුට එරෙහිවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැත්තෙන් විමර්ශනයක් පැවැත්වෙමින් තිබියදී වීම විශේෂිතය. වෛද්‍ය කඳන්ගමුව මහතාට එරෙහි ඒ විමර්ශනයේ පැමිණිලිකරු වන්නේ සහකාර පොලිස් අධිකාරී බී.එස්. තිසේරා මහතාය. සිය පැමිණිල්ලෙහි තිසේරා මහතා සඳහන් කර ඇත්තේ වෛද්‍ය ෂාෆිට එරෙහි විමර්ශනයකට අදාළව කුරුණෑගල රෝහලේ විකිරණ අංශයේ වෛද්‍යවරුන් තිදෙනකුට සිතාසි භාරදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සැරයන්වරයකු රෝහලට ගිය අවස්ථාවේ ඒ තර්ජනය එල්ල වී ඇති බවය.
“ෂාෆිව නිදහස් කරන්න අන්තිම ඇණෙත් දැම්ම නේද? ඔයාල කරපු වැඩේ අන්තිම අන්තිම කැතයි. තව අවුරුදු දහයකින් සිංහල ජාතියම නැති වෙනව.“ සැරයන්වරයා සමඟ වෛද්‍ය කඳන්ගමුව මහතා කතාවට වැටී ඇතැයි පැවසෙන්නේ එසේය.
“ඒඑස්පී තිසේරා ඉන්නේ නුගේගොඩ නේද? ළමයි දෙන්නෙක් ඉන්නවා නේද? සල්ලි එහෙම වියදම් කරන්නේ නැහැ නේද? ඒ වුණාට ළඟදී ලොකු දානයක් එහෙම දීල තියෙනව නේද?“ කථාවේ අවසානය සිදුව ඇත්තේ එසේය.
ඒ බව සැරයන්වරයා විසින් සහකාර පොලිස් අධිකාරී බී.එස්. තිසේරා මහතාට දැනුම් දෙන්නේ වෛද්‍ය කඳන්ගමුව මහතා එසේ පැවැසීම සැකයට තුඩු දෙන බව පෙන්වා දෙමිනි. එහිදී තිසේරා මහතාට පෙනී යන්නේ වෛද්‍ය කඳන්ගමුව මහතා සිය පෞද්ගලික තොරතුරු සොයන්න උනන්දුවක් දක්වන බවකි. තිසේරා මහතා දකින්නේ එය තමාටත් පවුලේ සාමාජිකයන්ටත් එල්ල වී ඇති තර්ජනයක් ලෙසිනි. සිය ප්‍රධානියා වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ශානි අබේසේකර මහතා හමුවේ ඔහු වෛද්‍ය කඳන්ගමුව මහතාට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නේ ඒ අනුවය.
මේ සියල්ලට මුල වෛද්‍ය ෂාෆි සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් නොකර කුරුණෑගල පොලීසිය ඔහු අත්අඩංගුවට ගැනීමය. මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෙළි කරගෙන ඇති ආකාරයට අනුව වෛද්‍ය ෂාෆි අත්අඩංගුවට ගැනීම පවා සිදුව ඇත්තේ නීති විරෝධි ආකාරයටය. ඒ සම්බන්ධයෙන් කුරුණෑගල හිටපු නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්, කුරුණෑගල කොට්ඨාසය භාර පොලිස් අධිකාරී මහින්ද දිසානායක, කුරුණෑගල පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පුෂ්පලාල් සහ තවත් නිලධාරීන් පස් දෙනකුට එරෙහිව ඉදිරියේදී නීතිපති උපදෙස් පියවර ගනු ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලින් මේ වන විට හෙළිව ඇති ආකාරයට වෛද්‍ය ෂාෆි කුරුණෑගල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් මැයි 24 දා මහා රෑ අත්අඩංගුවට ගන්නේ කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙසිනි. ඒ පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු බව කියන සහරාන් සමඟ සම්බන්ධකම් ඇති බවටත්, ත්රස්තවාදීන්ගෙන් අසීමාන්තික ලෙස ඔහුට මුදල් ලැබී ඇති බවටත් චෝදනා එල්ල කරමිනි. මේ වන විට ඒ සියලු චෝදනා පුස්සක් බවට පත්ව හමාරය. හෙළිව ඇති ආකාරයට කුරුණෑගල පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් වෛද්‍ය ෂාෆි අත්අඩංගුවට ගන්නේ ඔහුට එරෙහිව ලැබී තිබුණු පැමිණිල්ලක් මුල් කරගෙනය. ඒ පැමිණිල්ල කරන්නේ කුරුණෑගල රෝහලේම සේවයේ නිරත හෙදියකි. ඇය චෝදනා කරන්නේ තමාගේ තෙවැනි දරු ප්‍රසූතියේදී වෛද්‍ය ෂාෆි විසින් තමාගේ මූත්‍ර පද්ධතියට හානි කළ බවටත් ගර්භාශය ඉවත් කළ බවටත්ය. ඒ පැමිණිල්ලේ වෛද්‍ය ෂාෆි අයථා ලෙස මුදල් ඉපයීමක් හෝ ත්රස්තවාදීන් සමග සම්බන්ධකම් පවත්වන්නක් ගැන කිසිවක් සටහන් වීද නැත. එසේ තිබියදී වෛද්‍ය ෂාෆිව අත්අඩංගුවට ගන්නේ අඩුම තරමින් ඔහුට එරෙහි ඒ පැමිණිල්ල නිසි විමර්ශනයකට පවා ලක් නොකරමිනි. මේ පැමිණිල්ල ගැන විමර්ශනයක් පවත්වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි. එහිදී හෙළි වන්නේ සිය තෙවැනි දරුවා සාමාන්‍ය දරු ප්‍රසූතියකින් බිහි කිරීමට ඇය සූදානම් වූවත් අවසානයේ ඇති වූ අසාධ්‍ය තත්ත්වය මත ප්‍රසව හා නාරි රෝග විශේෂඥ වෛද්‍යවරයා මවගේත් දරුවාගේත් ජීවිත බේරාගැනීම උදෙසා සිසේරියන් සැත්කමක් කිරීමට තීරණය කර ඇති බවයි. එහිදී ඇතිවන කලබලකාරිත්වය හේතුවෙන් ඇයගේ මූත්‍ර නාලයක් කැපීමකට ලක් වන්නේ විශේෂඥ වෛද්‍යවරයාගේ යම් අතපසු වීමකිනි. එහිදී එම නාලයට මැහුම් දමා එය සකස් කරන්නට පැවරෙන්නේ වෛද්‍ය ෂාෆිටය. ඒ විශේෂඥ වෛද්‍යවරයාගේ උපදෙසිනි. මැහුමක් දමා කැපුණු මූත්‍ර නාලය සකස් කළද ඇයට ඒ හේතුවෙන් පසු කාලීනව අතුරු ආබාධ රැසකට මුහුණ දෙන්නට සිදු වී තිබේ. අවසානයේදී ඇයට සිය ගර්භාශයද අහිමි වන්නේ ඒ කැපුම් පහර මුල් කරගෙනය.
සේවයේ නියුතු හෙදියක ලෙස තමන්ට සිදු වූයේ කුමක්දැයි පැහැදිලි අවබෝධයකින් සිටි ඇය 2018 වසරේදී සිදු වූ ශල්‍යකර්මය ගැන පොලිසියට පැමිණිල්ලක් කරන්නේ 2019 වසරේ මැයි 24 දාය. ඒ වෛද්‍ය ෂාෆිට සියලු චෝදනා එල්ල කරමිනි. එහෙත් මේ වන විට එම චෝදනාවෙන් පවා වෛද්‍ය ෂාෆි නිදොස් වී ඇත්තේ අදාළ විශේෂඥ වෛද්‍යවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් දෙමින් එම ශල්‍යකර්මය ගැන දීර්ඝ පැහැදිලි කිරීමක් කර ඇති බැවිනි.
කෙසේ වෙතත් මේ පැමිණිල්ල පමණක් පදනම් කරගෙන කුරුණෑගල පොලිසිය එදා මහා රෑ වෛද්‍ය ෂාෆිව අත්අඩංගුවට ගත්තද පැය 24කට වඩා වැඩි කාලයක් ඔවුන්ට වෛද්‍ය ෂාෆිව සිය භාරයේ තබාගැනීමට ඉඩක් නොවීය. සිදුවන්නේ වැඩ බලන පොලිස්පතිවරයාගේ උපදෙසින් පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවන බැවින් වෛද්‍ය ෂාෆිවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර කරන්නටය. ඒ වන විටත් කුරුණෑගල පොලිසිය සතුව තිබෙන්නේ ෂාෆිට එරෙහි එක් පැමිණිල්ලක් පමණි. එය ෂාෆිව අත්අඩංගුවට ගැනීමට තරම් ප්‍රබල එකක් නොවූ බැවින් යම් සැලසුමකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදීමට ෂාෆිට එරෙහිව තවත් පැමිණිලි 9ක් කුරුණෑගල පොලිසියේ පොත්පත්වල ලියැවෙන්නට විය. එයින් පැමිණිලි 3ක් ලියැවෙන්නේ 25 දාය. සෙසු පැමිණිලි 6 ලියැවෙන්නේ 25 දා සහ 26 දාය. එහෙත් මේ පැමිණිලි 6 ම පොලිස් පොතේ ලියැවෙන්නේ වෛද්‍ය ෂාෆි අත්අඩංගුවට ගැනීමට පෙර ලියැවුණු ඒවා ලෙසිනි. මේ පැමිණිලි අතර වෛද්‍යවරුන් තිදෙනකුගේ පැමිණිලිද ඇත්තේය. ඔවුන් තිදෙනාගේම පැමිණිලි පොලිසිය සටහන් කරගෙන ඇත්තේ ඔවුන් ළඟට ගොසිනි. ඒ සඳහා පොලිස් නිලධාරීන් කුරුණෑගලින් පිටත් කර යැවෙන්නේ පොලිස් අධිකාරී මහින්ද දිසානායක මහතා විසිනි. ඒ වෛද්‍යවරුන්ට ඔහු විසින්ම දුරකථනයෙන් කතා කර වේලාවන් පවා වෙන් කරගනිමිනි.
ඒ සෑම වෛද්‍යවරයකුම කුරුණෑගල රෝහලේ සේවයේ නිරතව සිටි වෛද්‍ය ෂාෆි සමග එකට වැඩ කළ අයය. ඔවුහු වෙද්‍ය ෂාෆි සමග මතගැටුම් ඇතිකර ගත්තෝය. ඒ අය අතර නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරියක්ද සිටින්නීය. ඇයගේ පැමිණිල්ල සටහන් කරගන්නේ බත්තරමුල්ලේ පිහිටි ඇගේ නිවෙසේදීය. ඒ මැයි 24 දාය. ඒ පැමිණිල්ල කුරුණෑගල පොලිසියේ පොත්වල ඇලවෙන්නේ 24 දා රාත්‍රීයේ ඇය පොලිසියට පැමිණ කළ පැමිණිල්ලක් ලෙසිනි. සෙසු වෛද්‍යවරු දෙදෙනාගේද පැමිණිලි සටහන් කරගන්නේ එසේය. ඒ කිසිවෙක් වෛද්‍ය ෂාෆි පැලෝපීය නාලයට හානි කරමින් මවුවරුන් වඳ බවට පත් කරන බවක් හෝ ඔහු ත්‍රස්තවාදියකු බව පවසන්නේ නැත. ඒ අයට තිබුණේ ෂාෆි සම්බන්ධයෙන් වෘත්තීය ගැටලු පමණි. ඒ ඔහු මුස්ලිම් මවුවරුන්ට වැඩි සැලකිල්ලක් සහ සිංහල මවුවරුන්ට අඩු සැලකිල්ලක් දැක්වීම ගැනය. එසේම මුස්ලිම් මවුවරුන්ගේ දරුවන් පිටතට ගන්නා අවස්ථාවේ ඔහු සූතිකාගාරයේ සිට “අල්ලා අක්බර්“ යනුවෙන් පැවසීම ගැනද එම වෛද්‍යවරුන්ට ෂාෆි සම්බන්ධයෙන් තිබී ඇත්තේ යහපත් ආකල්පයක් නොවේ. එසේම එක් වෛද්‍යවරයකු වෝදනා කරන්නේ වෛද්‍ය ෂාෆි මුස්ලිම් මවුවරුන් සිසේරියන් සැත්කම්වලට ලක්කිරීමේදී එම කැපුමට මැහුම් දෙකක් දැමුවත් සිංහල මවුවරුන්ට දමන්නේ එක් මැහුමක් පමණක් බවය.
මේ කිසිවක් වෛද්‍ය ෂාෆිව ත්‍රස්තවාදියකු කර අත්අඩංගුවට ගැනීමට තරම් ප්‍රමණවත් නොවීය. එහෙත් වෛද්‍ය ෂාෆි සම්බන්ධයෙන් ජනමාධ්‍යයෙන් ලද ප්‍රසිද්ධිය සමග කුරුණෑගල සහ දඹුල්ල යන රෝහල්වලට මවුවරුන් වැල නොකැඩී පැමිණෙන්නට වූයේ ෂාෆිගේ සැත්කම්වලින් තමන්ද වඳභාවයට පත්වීදැයි සැකහැර දැනගන්නය. ඒ අයට සැබෑ ලෙසම දරුඵල අහිමි වී ඇත්තේ ෂාෆිගේ ක්‍රියාකාරිත්වයක් හේතුවෙන්දැයි දැනගැනීමට වෛද්‍ය විද්‍යාත්මක විමසුමකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වන්නේ කොළඹ අධිකරණ වෛද්‍ය විශේෂඥ රුවන් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් වෛද්‍ය කමිටුවක් පත් කරගනිමිනි. එම කමිටුව ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරු දෙදෙනකුගෙන්ද සැදුම්ලත් ත්‍රිපුද්ගල මිටුවකි. මේ කමිටුවට අධිකරණයෙන්ද අවසර ලබන්නට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වග බලාගත්තේ ඒ කමිටුවට අධිකරණයේ පිළිගැනීමක්ද ලබාදෙමිනි. අවස්ථා කිහිපයකදීම රැස් වන කමිටුව දීර්ඝ ලෙස කරුණු අධ්‍යයනය කර නිර්දේශ කරන්නේ එම මවුවරු 147 දෙනා එස්එච්ජී පරීක්ෂණයකට යොමු කිරීම වඩාත් සුදුසු බවය. ඒ පැලෝපීය නාළයේ යම් අවහිරතාවක් හෝ හානියක් සිදුව ඇත්නම් එය නිරීක්ෂණය කිරීමට එම පරීක්ෂණයෙන් හැකියාවක් පවතින බැවිනි.
එස්එච්ජී (HysteroSalpingoGram - HSG) පරීක්ෂණයක් හිතු මතේට කළ නොහැකිය. කල් තියා මවුවරුන් ඊට සූදානම් කළ යුතුය. කාන්තාවන්ගේ සාඵල්‍යතාව පරීක්ෂා කිරීමට සිදු කෙරෙන මේ පරීක්ෂණයේදී සිදු වන්නේ මවුවරුන්ගේ ගැබ්ගෙල තුළින් ඩයි විශේෂයක් ඇතුළු කොට විශේෂිත එක්ස් කිරණ පරීක්ෂණයක් සිදු කිරීමය. මේ සඳහා මවුවරුන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වන්නේ කුරුණෑගල පිහිටි පොලිස් සේවස්ථ පුහුණු ආයතනයේදීය. ඒ ජුනි 30 දාටය. සැලසුම් කෙරෙන්නේ වැඩමුළුවෙන් පසු මවුවරුන්ව කොළඹ කාසල් සහ සොයිසා රෝහල්වලදී එස්එච්ජී පරීක්ෂාවට යොමු කරන්නටය. ඒ විශේෂ වෛද්‍යවරුන්ගේ සහභාගිත්වය ඇතිවය.
ඒ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කුරුණෑගල අධිකරණයෙන් අවසරය ඉල්ලා සිටින්නේ ජූනි 27 දා ෂාෆිට එරෙහි නඩුව පළමු වරට විභායට ගත් අවස්ථාවේදීමය. එහිදී ඊට දැඩි විරෝධයක් දක්වන්නේ කුරුණෑගල රෝහල් අධ්යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතාය. අධිකරණයට කරුණු දක්වමින් ඔහු සඳහන් කරන්නේ එස්එච්ජී පරීක්ෂණය මාරාන්තික බවයි. එමඟින් මවුවරුන් මඳ-සරු භාවයට හා විවිධ සංකුලතාවන්ට පත් වීමේ අවදානමක්ද ඇතැයිද ඔවුන්ට පිළිකා ඇතිවීමේ අවදානමක් ඇතැයිද ඔහු කීවේය.
සරත් වීරබණ්ඩාර මහතාගේ ඒ කරුණු පැහැදිලි කිරීම නිසාම එස්එච්ජී පරීක්ෂාව කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් මවුවරුන් දැනුවත් කිරීම් වැඩමුළුවද පවත්වන්නට අධිකරණයෙන් අවසරයක් නොවීය.
දන්ත වෛද්‍යවරයකු වූ රෝහල් අධ්යක්ෂ සරත් වීරබණ්ඩාර මහතාගේ මතය ඔහු විසින් ඉදිරිපත් කිරීමට මුල්වූ වස්තු බීජය ඒත් එක්කම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයන්නට ගත්තේය. ඊට අනුව එදා වෛද්‍ය වීරබණ්ඩාර විසින් එස්එච්ජී පරීක්ෂණය මාරාන්තික බව මෙන්ම සංකුලතා ඇති වන බව කියන්නේ ෂාෆිගෙන් වඳභාවයට පත් වූ බව කියන මවුවරුන් කිහිප දෙනකු හොර රහසේ කුරුණෑගල රෝහලේදී එස්එච්ජී පරීක්ෂාවට ලක් කිරීමකින් අනතුරුවය. අධිකරණ නියෝගයක් මඟින් සිදු කරන්ට ගිය එස්එච්ජී පරීක්ෂාවකට වෛද්‍ය වීරබණ්ඩාර විරෝධය දක්වන්නේ වෙන කිසිවක් නිසා නොව, රෝහලේදී හොර-රහසේ කරන ලද එස්එච්ජී පරීක්ෂණ වාර්තාවලින් ෂාෆිව වරදකරුවකු කරන්න තරම් හැකියාවක් නොවූ බැවින් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පෙනී ගියේය.
කුරුණෑගල රෝහල තුළදී ෂාෆිට එරෙහිව පැමිණිලි කළ මවුවරුන් කිහිප දෙනකු එස්එච්ජී පරීක්ෂාවක් කර ඇතැයි ඉතා පැහැදිලිවම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විටත් හෙළි කරගෙන ඇත්තේ සාක්ෂිද සහිතවය. ඒ එක් සාක්ෂිකරුවෙක් වන්නේ ප්‍රසව හා නාරි රෝග විශේෂඥ වෛද්‍ය දංගල්ල මහතාය. වෛද්‍ය ෂාෆි අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුට එරෙහිව කුරුණෑගල රෝහලට පැමිණිලි ගලා එන විට රෝහල් අධ්යක්ෂ වීරබණ්ඩාර මහතා වෛද්‍ය දංගල්ල මහතාට අත්අකුරින් සටහන් කරන ලද පිටු 4ක ලේඛනයක් ලබාදෙන්නේ එහි සඳහන් මවුවරුන් මඳ-සරු භාවය පිළිබඳ සායනයකට යොමු කිරීම සඳහාය. මේ ලේඛනයේ මවුවරුන් 140ක පමණ නම් සටහන්ව තිබී ඇති බව සඳහන්ය. මේ මවුවරුන්ගේ තොරතුරු පරීක්ෂා කිරීමේදී වෛද්‍ය දංගල්ලට පෙනී යන්නේ මඳ-සරුභාවය සම්බන්ධයෙන් සැබෑ ලෙසම ගැටලුවක් තිබේ නම් ඒ ඇත්තේ 14 දෙනකුට පමණක් බවය. වෛද්‍ය දංගල්ල ඒ අය වෙනුවෙන් කුරුණෑගල රෝහල් පරිශ්‍රයේ සායනයක් පවත්වන්නේ ජුනි 03 දාය. එහිදී එම මවුවරුන් සමග කෙරෙන කතාබහ සහ ඒ අය භාවිත කර ඇති උපත් පාලන සහ පවුල් සැලසුම් ක්‍රම ආදිය ගැන සලකා බලමින් වෛද්‍ය දංගල්ල මහතා අවසානයේදී එස්එච්ජී පරීක්ෂාවකට යොමු කිරීමට තීරණය කරන්නේ එම මවුවරුන්ගෙනුත් 7 දෙනකු පමණි.
මේ අයව එස්එච්ජී පරීක්ෂාවකට සූදානම් කරන්නේ විකිරණ අංශයේ විශේෂඥ වෛද්‍යවරුන් වන සාගරිකා කුලවංශ, ප්‍රියන්ති රත්නායක සහ ටීබී හේරත් යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙනි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට කර ඇති විමර්ශනවලින් සාක්ෂි සහිතව අනාවරණය වී ඇත්තේ මඳ-සරු සායනයක් නොපවත්වමින් විකිරණ අංශයේ වෛද්‍යවරුන් මගින් මවුවරුන් එස්එච්ජී පරීක්ෂාවකට යොමු කිරීමේ උත්සහයකද රෝහල් අධ්යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩර මහතා නිරතව සිට ඇති බවයි. වෛද්‍ය දංගල්ල හරහා මඳ-සරු සායනයක් හරහාම එස්එච්ජී පරීක්ෂණයකට මවුවරුන්ව යොමු කිරීමට සිදුවී ඇත්තේ එබැවිනි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන්ට විකිරණ අංශයේ වෛද්‍යවරුන් සඳහන් කර ඇති ආකාරයට එම මවුවරු එස්එච්ජී පරීක්ෂණයට යොමු කිරීමේදී කිසිදු සංකුලතාවකට මුහුණ දී ඇති බවක් අනාවරණය වන්නේ නැත.
සහකාර පොලිස් අධිකාරී බීඑස් තිසේරාට නියෝජ්‍ය රෝහල් අධ්‍යක්ෂකවරයාගෙන් තර්ජනයක් එල්ල වූයේ යැයි සඳහන් වන්නේ විකිරණ අංශයේ වෛද්‍යවරුන් තිදෙනාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් දෙන්නැයි අධිකරණයෙන් නිකුත් කළ නියෝගය භාරදෙන්න ගිය විටදීය.
ඒ වෛද්‍යවරුන් තිදෙනා පමණක් නොව, විශේෂඥ වෛද්‍ය දංගල්ලද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ හෙළි කර ඇති තොරතුරු බොහෝය. ඊට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පෙනී ගොස් ඇත්තේ රෝහල් අධ්යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා විසින් එස්එච්ජී පරීක්ෂණ මාරාන්තික බව පවසා ඇත්තේ අධිකරණය නොමඟ යවමින් එස්එච්ජී පරීක්ෂණයන් වැළැක්වීමේ අරමුණින්ම බවය.