තීර­ණා­ත්මක දේශ­පා­ලන ගති­ක­ත්වය | සිළුමිණ

තීර­ණා­ත්මක දේශ­පා­ලන ගති­ක­ත්වය

 

සු­ගිය ඉරිදා එනම් අගෝස්තු මස 11 වන දා ශ්‍රී ලංකා පොදු­ජන පෙරමුණේ පළමු සංව­ත්ස­රය දා ඒ පක්ෂයේ ජනා­ධි­ප­ති­ව­රණ අපේ­ක්ෂ­කයා ලෙස ගෝඨා­භය රාජ­පක්ෂ ව ප්‍රකා­ශ­යට පත් කරන ලදී. එදින උදෑ­සන එක්සත් ජන­පද විශේෂ නියෝ­ජි­ත­යෙක් විපක්ෂ නායක මහින්ද රාජ­ප­ක්ෂව ඔහුගේ නිල නිවසේ දී හමු විය. ඒ මෙරට සංචා­ර­යක නිර­තව සිටින මධ්‍යම හා දකුණු ආසි­යාව භාර සහ­කාර රාජ්‍ය ලේකම් අලිස් වෙල්ස් ය. ඈ සමඟ මෙරට එක්සත් ජන­පද තානා­පති එල­යිනා බී ටෙප්ලිස්ට් ද විය.

 

එය සාමාන්‍ය හමු­වී­මක් ද විශේෂ හමු­වී­මක් ද යන්න පැහැ­දිලි නැත. එහෙත් පසු­ගිය වසරේ දී මෙවැ­නිම හමු­වී­මක් පසුව හෙළි­ද­රව් වූයේ රාජ­ප­ක්ෂ­ව­රුන්ට අවාසි සහ­ගත ලෙස ය. ඒ සේවා කාලය නිම කර යළි සිය රට බලා ගිය මෙරට එක්සත් ජන­පද තානා­පති අතුල් කේෂාප් ගේ විපක්ෂ නායක හමු­වී­මයි. එහිදී සාක­ච්ඡා­වට ලක් වූ කරුණු නිල වශ­යෙන් ප්‍රකා­ශ­යට පත් නොවීය. එහෙත් යාප­නයේ පළ වන දෙමළ දින­පතා පුව­ත්ප­තක් වන "කාල­යි­ක්ක­තිර්" ඒ පිළි­බද ප්‍රවෘ­ත්ති­යක් පළ කළේ ය.

එය උපුටා දක්ව­මින් ප්‍රකට දෙමළ දේශ­පා­ලන විචා­ර­ක­යකු වන ඩී.බී.එස්. ජෙය­රාජ් තම වෙබ් අඩ­වියේ සට­හ­නක් තබා තිබුණි. ඒ අනුව තානා­ප­ති­ව­රයා මහින්ද රාජ­ප­ක්ෂට පවසා ඇත්තේ හිටපු ආර­ක්ෂක ලේකම් ගෝඨා­භය රාජ­පක්ෂ ඉදිරි ජනා­ධි­ප­ති­ව­ර­ණයේ දී තරග කිරීම හෝ ජනා­ධි­පති ධූර­යට පත්වීම හෝ ඇමෙ­රි­කන් එක්සත් ජන­ප­දයේ හා අනෙ­කුත් බට­හිර රට­වල අභි­ලා­ශය නොවන බවයි.

"කාල­යි­ක්ක­තීර්" පුව­ත්පත වැඩි­දු­ර­ටත් සඳ­හන් කර තිබු­ණැයි ඩී.බී.එස්. ජෙය­රාජ් සඳ­හන් කරන්නේ මෙවැ­න්නකි. එනම් ගෝඨා­භය රාජ­පක්ෂ ඉදිරි ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට තරග කර­න්නට නම් ඔහුගේ ද්විත්ව පුර­වැ­සි­භා­වය අත්හළ යුතුය. ඒ සඳහා ඇමෙ­රි­කන් එක්සත් ජන­පද පුර­වැ­සි­භා­වය අව­ලංගු කරවා ගත යුතුය. එහෙත් එසේ අව­ලංගු කරවා ගැනී­මට නම් තමාට එරෙ­හිව එල්ලව ඇති මාන­ව­යාට එරෙ­හිව අප­රාධ කිරීම හා යුද අප­රාධ සම්බන්ධ චෝද­නා­ව­න්ගෙන් ගෝඨා නිද­හස් විය යුතුව ඇත. එසේ නොව­න්නට ගෝඨා­භය රාජ­ප­ක්ෂට ඉදිරි ජනා­ධි­ප­ති­ව­ර­ණ­යක දී තරග කිරීමේ හැකි­යාව අහිමි වේ.

තානා­ප­ති­ව­ර­යාගේ දැනුම් දීම සම්බ­න්ධ­යෙන් හිටපු ජනා­ධි­ප­ති­ව­ර­යාගේ ප්‍රති­චා­රය කුමක්ද යන්න "කාල­යි­ක්ක­තීර්" වාර්තා කර නොති­බුණි. නමුත් පසු­ගිය බදාදා නිවේ­ද­න­යක් නිකුත් කළ හිටපු ජනා­ධි­ප­ති­ව­රයා ප්‍රකාශ කළේ ඇමෙ­රි­කන් එක්සත් ජන­පද තානා­පති විසින් එවැනි දැනුම් දීමක් තමන්ට නොකළ බවයි. එහෙත් තමා හා සාක­ච්ඡාවේ දී එක්සත් ජන­පද තානා­ප­ති­ව­රයා පැවසූ දෑ ද ඔහු ජන­තා­වට පැහැ­දිලි නොකළේ ය. කෙසේ වුවත් "කාල­යි­ක්ක­තීර්" පුව­ත්පතේ අයි­ති­ක­රුන්ට මහින්ද රාජ­පක්ෂ සමඟ ළඟ සබ­ඳතා ඇති බව ද කියැවේ.

වත්මන් සම්මු­තික ආණ්ඩු­වට එරෙ­හිව විපක්ෂ දේශ­පා­ලන අව­කා­ශය තුළ පුළුල් ඉල්ලු­මක් මතු­වෙ­මින් තිබේ. එහෙත් ලංකාවේ විපක්ෂ දේශ­පා­ල­නයේ නෛස­ර්ගික ලක්ෂ­ණය වන්නේ ඇමී­බා­ක­ර­ණය වෙමින් දුර්වල වීමයි. ඒ ලක්ෂණ රාජ­පක්ෂ දේශ­පා­ල­න­යට ද පොදු ය. සම්මු­තික ආණ්ඩුවේ කෙත­රම් දුර්ව­ලතා තිබු­ණත් ශක්ති­මත් විප­ක්ෂ­යක් ගොඩ­නංවා ගැනී­මට නොහැකි වී ඇත්තේ මේ බාධාව නිසා ය. නමුත් ගෝඨා­භය රාජ­පක්ෂ ඉදිරි ජනා­ධි­ප­ති­ව­ර­ණයේ විපක්ෂ අපේ­ක්ෂ­කයා යැයි හෙළි­ද­ර­ව්වී­මත් සමඟ අමුතු ජව­යක් ආණ්ඩු විරෝ­ධීන්ට ලැබුණි. නමුත් ඒ ජවය ක්ෂණි­කව දුර්වල කළේ ගෝඨාගේ එක්සත් ජන­පද පුර­වැසි ප්‍රශ්න­යයි.

පුර­වැසි ප්‍රශ්නය වේවා, ගෝඨා - බැසිල් බල අර­ග­ලය වේවා දේශ­පා­ල­නයේ දී තාක්ෂ­ණික ප්‍රශ්න පමණි. ඒවා දේශ­පා­ලන ගති­කය විසින් විස­දන්නේ ය. ඒ අනුව වඩාත්ම තීර­ණා­ත්මක වන්නේ දේශ­පා­ලන ගති­කය කුමක්ද යන්නයි. තීර­ණා­ත්මක ජාතික මැති­ව­ර­ණ­යක දී දේශ­පා­ලන ගති­කය තේරුම් ගැනීම ද දේශ­පා­ල­නික ක්‍රියා­වකි. උදා­හ­ර­ණ­ය­කට 2004 මහා මැති­ව­ර­ණය වන විට මෙරටේ දේශ­පා­ලන ගති­කය වූයේ දෙමළ විමුක්ති කොටි සංවි­ධා­නය අවි බල­යෙන් මර්ද­නය කර දැමී­මයි. එය ජාතික අභි­ලා­ශය වූ අතර අන්ත­ර්ජා­තික අභි­ලා­ශය සමඟ මුහු­ණට මුහුණ හමු­වීම තුළ පොදු අභි­ලා­ශය බවට කොටි සංවි­ධා­නය සමූල ඝාත­නය කර­වීම පත් විය. ඒ අනුව එක්සත් ජන­ප­දය ප්‍රමුඛ සමස්ත බට­හිර ජාතීන්ම කොටි සංවි­ධා­නය සමූල ඝාත­නය සඳහා එක පෙළට සිට ගත්හ. ඒ අනුව ඉන්දි­යාව ද ඊට සමා­න්තර ව කට­යුතු කළේ ය.

අන්ත­ර්ජා­තික අභි­ලා­ශයේ අලුත් ධ්‍රැවී­ක­ර­ණය සම්පූර්ණ කර ගැනීම සඳහා ඔවුන් තෝරා ගත්තේ මහින්ද රාජ­පක්ෂ ය. ඊට හේතුව රනිල් වික්‍ර­ම­සිංහ ඒ වන­විට බට­හිර අභි­ලා­ශ­යම මත දීර්ඝ කාල­යක් දියත් කර තිබූ සාම ක්‍රියා­ව­ලිය තුළ අක­ර්මණ්‍ය ව සිටි නිසා ය. ඒ ක්‍රියා­ව­ලිය තුළ ඉන්දි­යාව විශාල කාර්ය­භා­ර­යක් ඉෂ්ඨ කළේ ය. අව­සා­නයේ 2005 ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් මහින්ද රාජ­පක්ෂ ජය­ග්‍ර­හ­ණය කළේ ය. 2009 මැයි මාසයේ දී කොටි සංවි­ධා­නය සමූල ඝාත­නය කර­මින් මහින්ද රාජ­පක්ෂ සම්පූර්ණ කළේ ඒ අන්ත­ර්ජා­තික අභි­ලා­ශ­යයි.

එහෙත් අන්ත­ර්ජා­තික අභි­ලා­ශ­යට පර­ස්පර ව යමින් වේළු­පිල්ලේ ප්‍රභා­ක­රන් මුල­තිව් වෙල්ල­මු­ලෛ­ව­යි­ක්කල් තෙත් බිමක දී මරා දමන ලදි. එය කොටි සංවි­ධා­නය පරා­ජය කිරීමේ සටනේ දී අන්ත­ර්ජා­තික අභි­ලා­ශය හා ජාතික අභි­ලා­ශය පර­ස්පර වූ එකම සිද්ධි­යයි. ඒ නිසාම රාජ­පක්ෂ ආණ්ඩු­වට එරෙ­හිව යුද අප­රාධ චෝදනා එල්ල විය. එහෙත් ඒ නිසාම කොටි සංවි­ධා­නය පරා­ජය කිරීමේ මෙහෙ­යුමේ දී අන්ත­ර්ජා­තික හා ජාතික අභි­ලා­ශ­යන් සමා­න්තර නොවු­ණැයි කීම අස­ත්‍ය­යකි.

දස­ව­ස­ර­කට ආසන්න රාජ­පක්ෂ පාල­න­යට තිබුණේ සිංහල බෞද්ධ ස්වෝත්ත­ම­වා­දය මත පද­නම් වූ මත­වාදී දේශ­පා­ල­න­යකි. එහෙත් යුද්ධ­යෙන් පසුව රාජ­පක්ෂ පාල­නය ක්‍රම­යෙන් දිය­වෙ­න්නට පටන් ගත්තේ රාජ්‍ය ප්‍රති­සං­වි­ධා­නයේ ලා රාජ­ප­ක්ෂ­වරු අස­මත් වූ බැවිනි.

නමුත් සිංහල බෞද්ධ ස්වෝත්ත­ම­වා­ද­යෙන්, ජාති­ක­ත්ව­යන්ගේ පොදු අනු­කූ­ල­තාව තමන්ට ගත නොහැකි බව බැසිල් රාජ­පක්ෂ පාර්ශ්වය තේරුම් ගත්තේ ය.

බැසිල්ගේ දේශ­පා­ලන හැසි­රීම අනුව පැහැ­දිලි වූයේ ඔහු තව­දු­ර­ටත් සිංහල බෞද්ධ ස්වෝත්ත­ම­වා­දය මත රඳා නොප­ව­තින බවයි. ඔහු යාප­න­යට ගොස් දෙමළ ජන සමා­ජය ඇම­තු­වේත් කාත්ත­න්කු­ඩි­යට ගොස් මුස්ලිම් ජන සමා­ජය ඇම­තු­වේත් ඒ අර්ථ­යෙනි. එනිසා දෙමළ, මුස්ලිම් ජන කොටස් යළි රාජ­පක්ෂ දේශ­පා­ල­නය දෙස උපේක්ෂා සහ­ග­තව බලන බවක් දිස් විය.

නමුත් ගෝඨා­භය රාජ­පක්ෂ තව­මත් දේශ­පා­ල­නය දෙස බලන්නේ පරණ පුරුදු දැක්මෙනි. ඔහුට සිංහල බෞද්ධ ස්වෝත්ත­ම­වාදී සංස්කෘ­ති­යෙන් මිදෙ­න්නට නොහැ­කිය. එසේම මිලි­ටරි හා පොලිස් නාය­ක­යන් සමඟ ඔහුගේ දේශ­පා­ල­නය ගැට ගැසී තිබේ. එනිසා ඔහු තව­මත් දේශ­පා­ල­නික ව පද­නම් වන්නේ සිංහල බෞද්ධ ජන සමා­ජය මතිනි. එහෙත් දැන් දැන් ඔහු විශාල උත්සා­හ­යක් ගනි­මින් සිටින්නේ සිංහල නොවන ජන ප්‍රජාව සමඟ සබ­ඳතා අලුත් කර ගන්නට ය. ජනා­ධි­ප­ති­ව­රණ අපේ­ක්ෂ­ක­ත්ව­යට පත්වී­මෙන් පසුව ඒ සම්මේ­ල­නය අම­ත­මින් ගෝඨා­භය රාජ­පක්ෂ කීවේ උතුරු නැගෙ­න­හිර ජන­තා­වට විශේෂ වූ ප්‍රශ්න­යක් ඇති බවයි. එය ම ඔහුගේ නව ප්‍රවේ­ශ­යට උදා­හ­ර­ණ­යකි. එහෙත් ගෝඨා­භය රාජ­ප­ක්ෂගේ ෂැන්ග්‍රිලා ප්‍රකා­ශ­නය තුළ පැහැ­දිලි ලෙසම සඳ­හන් වූයේ ඔහුගේ දේශ­පා­ලන බලා­පො­රො­ත්තු­වයි.

රාජ­පක්ෂ දේශ­පා­ල­නය බට­හිර අව­ශ්‍යතා මත දිග ඇරුණ ද 2015දී බට­හිර බල­වේ­ගය හා ඉන්දි­යාව විශ්වා­සය තැබුවේ මෛත්‍රී – රනිල් පාර්ශ්වය මත ය. ඒ විශ්වා­සය සදා­කා­ලික නොවේ. යම්දාක බට­හිර බල­වේග මේ පාර්ශ්වය පිටු දැකී­මට ඉඩ තිබේ. ගෝඨා­භය රාජ­පක්ෂ කල් යල් බලන්නේ අන්න එවැනි අව­ස්ථා­වකි.

එය සම­හ­ර­විට ප්‍රායෝ­ගික වන්නට ද ඉඩක් පවතී. එහෙත් එය සිදු­වන්නේ බට­හිර විසින් සිදු කරන තුල­නා­ත්මක අධ්‍ය­ය­න­ය­කිනි. යම් හෙය­කින් 2005දී මෙන් වෙනස් නාය­ක­ය­කුට බලය ලබා­දෙ­න්නට බට­හි­රට අවශ්‍ය වුව­හොත් එය යථා­ර්ත­යක් වීම සදහා පරි­ස­රය සැක­සෙනු නොඅ­නු­මා­නය.

 

 

Comments