
රාගම මහර නැලිගම ශ්‍රී ශෛලාසන්නාරාමාධිපති අමරපුර අරියවංශ සිරි සද්ධම්ම යුක්තික මහා නිකායේ කොළඹ පළාත් ප්‍රධාන අධිකරණ සංඝනායක මාකූරේ පියනන්ද නාහිපාණන් වහන්සේ විසින් සිදු කරන ලද ශාසනික මෙහෙයට උපහාර පිණිස ශ්‍රී පියතිස්ස වංශාලංකාර විද්‍යාපති විනය විභාවි හෙළ වෙද ඍෂි ශාසන ශෝභන පූජ්‍ය මාකුරේ පියනන්දතිස්සාභිධාන කොළඹ පළාත් සංඝ සභාවේ ප්‍රධාන සංඝනායක ධුරය පිරිනැමීමට සංඝ සභාව විසින් තීරණය කර ඇත. වර්ෂ 1947 අගෝස්තු මස 29 වැනිදා කෑගල්ල දිස්ත්‍රික්කයේ කොටියාකුඹුර කුඩා නගරයට නුදුරු මාකූරේ ගම්මානයේ උපත ලද එච්. සෝමපාල දරුවා 6 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන අවදියේම මාකූරේ පියනන්ද නමින් පැවිදි බවට පත් විය.
චීවරයට සරිලන සේ සියලු කටයුතු වල නියැළුනු මේ කුඩා සාමනේර හිමියන් විසින් තම ගුරු දේවයන් වහන්සේ වූ දිප්පිටියේ ශ්‍රී පියතිස්ස නාහිමියන් විසින් පවරන ලද සියලු කටයුතු ඉටු කරමින් ආගමික ශාසනික කටයුතුවල නියැළෙන්නට විය. කොළඹ ශ්‍රී ලංකා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ පියනන්ද හාමුදුරුවෝ අධ්‍යාපනය නිම කිරීමෙන් පසුව පළමු ගුරු පත්වීම ලැබුවේ අම්පාර ප්‍රදේශයේ ඉතා දුෂ්කර පාසලකටය.
පසුව කිරිල්වල, හුම්බුළුව හා රාගම හීන්කෙන්ද විදුහලටත් යළිත් අම්පාරටත් ගුරු වෘත්තිය සඳහා වැඩම කළ උන් වහන්සේ 1982 වසරේ නැලිගම ශ්‍රී ශෛලාසන්නාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති ධුරයට පත් වූයේ උන් වහන්සේගේ ආචාර්යවරයාණන් වහන්සේ වූ පූජ්‍ය දිප්පිටියේ ශ්‍රී පියතිස්ස නාහිමියන්ගේ අපවත්වීමත් සමඟය. ඒ වන විටත් පියනන්ද හිමියන් විසින් තම ගුරු හිමියන්ගෙන් මනා ලෙස උගත් ශාස්ත්‍රයක් විය. ඒ විෂඝෝර සර්පයන්ගේ දෂ්ඨ කිරීම් උදෙසා ක්ෂණිකව ලබා දෙන ප්‍රතිකාර ක්‍රමයයි. ගුරු හිමියන් විසින් දශක ගණනාවක් තිස්සේම සිදු කරගෙන ආ විෂ වෙදකම උන් වහන්සේද සිදු කරන ලදි. ඒ ගුරු හිමියන් සේම කිසිදිනක කිසිවකුගෙන් කිසිදු මුදලක් අය නොකරමිනි. ඒ සේවාව අදත් ලක්ෂ ගණනකට දිවි රැක දෙන්නට සමත්ව තිබේ. ගුරු වෘත්තිය අවසානයේදී තම විහාරස්ථානයට යාබඳව පිහිටි ශ්‍රී සංඝමිත්තා විද්‍යාලයේ ආචාර්යවරයකු ලෙසට පත්ව ආ උන් වහන්සේ පසුව එහි විදුහල්පති ධුරය දැරූහ. විශ්‍රාම ගිය පසුවත් කාලාන්තාරයක් තිස්සේ උන් වහන්සේ ගරු සේවයක් ලෙස එහි කටයතු කළහ. උන් වහන්සේගේ සේවා කාලය තුළදී විදුහලට නව ඉඩමක් ලබා ගැනීමට කටයුතු කළ අතර එහි තෙමහල් ගොඩනැගිල්ලක්ද ඉදි කළහ. අදත් විදුහලට ඇති එකම මහල් ගොඩනැගිල්ල එයයි.
පාසල ප්‍රදේශයේ දරු දැරියන්ට ප්‍රිය මනාප ස්ථානයක් බවට පත් කළ උන් වහන්සේ විහාරස්ථ ශ්‍රී සංඝමිත්තා දහම් පාසලේ ප්‍රධානාචාර්ය ධුරය දරමින් විශාල සේවාවක් ඉටු කළහ. දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය සමඟ ඉතා සුහදව සාකච්ඡා පවත්වමින් කටයුතු කරන ලබන උන් වහන්සේ එය ප්‍රදේශයේ හොඳම දහම් පාසලක් බවට පත් කිරීමටද කටයුතු කළහ. විශේෂයෙන්ම දහම් පාසලට දෙමහල් පුස්තකාලයක් ද මේ වන විට ස්ථාපිත කර ඇත.
විහාරස්ථානයේ බලවත් අඩුපාඩුවක්ව පැවැති චෛත්‍යය රාජයාණන් වහන්සේ නමක් ඉදි කරන ලද්දේ උන් වහන්සේගේ සමයේය. එසේම සාමණේර භික්ෂු මධ්‍යස්ථානයක්ද ඉදි කිරීමට පියනන්ද හිමියන් විසින් කටයුතු කරන ලදී.
විහාරස්ථානයට පැමිණෙන දායකයන්ගේ වාහන ගාල් කිරීමට අවශ්‍ය ඉඩ පහසුකම්ද උන් වහන්සේ විසින් මේ වන විටත් සකස් කර දී ඇති අතර උන් වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ වන කිවුල්දෙණියේ ඥානානන්ද, හිඟුරලකන්දේ පඤ්ඤානන්ද , මාකූරේ පියරතන, ඇල්පිටියේ සුබෝධානන්ද ඇතුළු හිමිවරුන් විසින් විහාරස්ථානය මෙන්ම කැලණිය නාතුඩුව විහාරස්ථානය ඇසුරින් සිදු කරනු ලබන සේවාව මහර ප්‍රදේශයේ වෙනත් කිසිදු විහාරස්ථානයකින් නොවනා තරම්ය.
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධානම පෙරහරක් වන නැලිගම ශ්‍රී සංඝමිත්තා පෙරහර උන් වහන්සේ ගේ උපදේශකත්වයෙන් සෑම දෙසැම්බර් මාසයකම පැවැත්වෙන අතර මේ වන විටත් මෙවර පෙරහර සංවිධාන කර ඇත. විහාරස්ථානය ඇසුර කර පවත්නා සුහද අනෞන්යාධාර සමිතිය හා නැලිගම අපි මිතුරෝ සංවිධාන ඇතුළු සමිති සමාගම් රැසක උන් වහන්සේ උපදේශකයෝ වෙති. උන් වහන්සේ විසින් සර්ප විෂ පිළිබදව දක්වන ලද සේවාව පිණිස උන් වහන්සේට ලැබුණු ගෞරව නාමයන් අපමණය. උන් වහන්සෙ සර්ප විෂ විශේෂඥ ධුරයද දරති. එමෙන්ම මහර ශාසනාකරක්ෂක මණ්ඩලයේ සභාපති පදවිය වසර 8ක්ම දැරූ උන් වහන්සේ මේ වන විට එහි උප සභාපති පදවිය දරති. උන් වහන්සේ විසින් දරනු ලබන තනතුරු හා ලැබුණු උපහාර නාමයන් අතිමහත්ය. උන් වහන්සේ විසින් ලද කොළඹ පළාත් ප්‍රධාන සංඝනායක ධුරය පිළිබඳ අක්තපත්‍ර ප්රදානය හා උන් වහන්සේ පිළි ගැනීම මේ මස 30 වැනිදා මහත් උත්සවාකාරයෙන් සිදු කෙරේ. ඒ අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහ නාහිමියන් සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙනි. පියනන්ද හිමියන් විසින් ගොඩ නඟන ලද සාමණේර භික්ෂූ ආයතනයද එදිනම විවෘත කෙරේ. නාතුඩුව නන්දාගිරි විහාරයද සමගින් තම දිවියම සසුනටත් ගම රට හා ජනතාව වෙනුවෙන් කැප කරන ලද අපේ නාහිමියන්ට නිදුක් නීරෝගී දීර්ඝායුෂ පතමු!
තාරක වික්‍රමසේකර