යුද හමුදාපති ධූරයට ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කිරීමත් සමඟ මුළු බටහිරම ගිනි ගත්තේ ය. ඇමෙරිකන් එක්සත් ජනපදය ප්රමුඛ යුරෝපා සංගමය ඒ පත් කිරීමට එරෙහිව දැඩි විරෝධය පළ කළහ. මූලිකම විරෝධය පළ කළේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මෙචෙල් බැචලේ ය. ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති ධූරයට උසස් කිරීම මඟින් සාධාරණත්වය සහ වගවීම තහවුරු කිරීම සඳහා 2019 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට දැක්වූ සහයෝගය පිළිබඳ ව ගැටලු මතුවන බවද එහි සඳහන් වේ.
මේ තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් කරමින් අගෝස්තු 19 වන දා සඳුදා ඇමෙරිකා එක්සත් ජනපදය පැවසුවේ සිය "දැඩි අවධානය" යොමු වී ඇති බවකි. "එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ වෙනත් සංවිධාන විසින් ලේඛනගත කර ඇති ඔහුට එරෙහිව මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනා බරපතළ සහ විශ්වසනීය වේ," යනුවෙන් කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය නිකුත් කළ ඒ නිවේදනයේ සඳහන් විය.
එල්ටීටීඊ සංවිධානයට එරෙහිව පැවති අවසන් සටනේදී යුද හමුදාවේ 58වැනි සේනාංකයට ශවේන්ද්‍ර සිල්වා අණදුන් අතර ඔහු හමුදාපති වශයෙන් පත්කිරීම සම්බන්ධයෙන් කොළඹ පිහිටි කැනඩා මහ කොමසාරිස් කාර්යාලය සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය ද ඔවුන්ගේ විරෝධය පළ කර තිබේ. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කොළඹ පිහිටි කැනඩා මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ ලුතිනන් ජෙනරාල් සිල්වාට එරෙහිව "යුද සමයේදී මානව හිමිකම් උල්ලංඝණය කළේ යැයි පිළිගත හැකි චෝදනා" ඇති බැවින් ඔහු යුද හමුදාපති වශයෙන් පත්කිරීම ගැන තමන් "දැඩි ලෙස සැලකිලිමත්" වන බව ය. ඔහුගේ පත්කිරීම නිසා "සංහිදියාව සහ වගවීම" සම්බන්ධයන් කෙරෙමින් පවතින කටයුතු යටපත් වන බව ද කැනඩා මහ කොමසාරිස් කාර්යාලය පැවසීය.
ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකා යුද හමුදාපති ධූරයට පත්කිරීම සම්බන්ධයෙන් මතුවන අන්තර්ජාතික අවධානයට එක්වූ යුරෝපා සංගමය ද, මේ පියවර නිසා "සාධාරණත්වය සහ වගවීම තහවුරු කිරීම සඳහා 2019 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට දැක්වූ සහයෝගය පිළිබඳව ගැටලු මතුවන බව" පැවසීය. යුරෝපා සංගමය පසුගිය 20 වෙනිදා එම ඒකාබද්ධ නිවේදනය නිකුත් කළේ රටවල් හයක දූත මණ්ඩලවල එකඟතාව ඇතිවය.
මේ අතර මතුවෙමින් පවතින අන්තර්ජාතික ප්‍රතිචාරවලට පිළිතුරක් දෙමින් නිවේදනයක් නිකුත් කළ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටියේ, යුද හමුදාපතිවරයා පත්කිරීම "රාජ්‍ය නායකයාගේ ස්වෛරී තීරණයක්" බවකි.
එහි තවදුරටත් දැක්වෙන්නේ "විදේශීය පාර්ශ්වයන් මඟින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ උසස්කිරීම් පිළිබඳ තීරණ හා අභ්‍යන්තරික පරිපාලනමය ක්‍රියාවලීන්ට බලපෑම් කිරීමටඋත්සාහ දැරීම යුක්ති සහගත නොවන අතර, එය පිළිගත නොහැකි ක්‍රියාවක්" බව ය.
"චෝදනා මත පදනම් ව, ඇතැම් ද්විපාර්ශ්වික හවුල්කරුවන් සහ අන්තර්ජාතික සංවිධාන විසින් මේ පත්කිරීම සැලකිලිමත් විය යුතු තත්ත්වයක් ලෙස පෙන්වා දෙනු ලැබීම කනගාටුවට කරුණක් වන අතර, එය අන්තර්ජාතික ප්‍රජාවේ සියලු ම වගකිවයුතු සාමාජිකයින් විසින් අනුගමනය කරනු ලබන ස්වාභාවික යුක්තියේ මූලධර්මවලට පටහැනි වේ" යනුවෙන් ද විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුත්තක් සම්බන්ධයෙන් මුළු බටහිර ප්‍රජාවම මේ තරම් සැලකිල්ලක් දක්වමින් ඊට විරුද්ධ වෙද්දී වෙනදා එක්සත් ජනපදය ප්රමුඛ බටහිර ප්‍රජාවට එරෙහිව අවි අතට ගන්නා බොහෝ පාර්ශ්වයන් අනුගමනය කළේ නිහඩ පිළිවෙතකි. ගෝඨාභය රාජපක්ෂගේ 'වියත්මඟ' ඇතැම් ක්‍රියාකාරීන් ශවේන්ද්‍ර සිල්වා හමුදාපති කිරීම සම්බන්ධයෙන් ඇමරිකානු ප්‍රතිචාරය දැඩිව හෙළා දැක ඇතත් ගෝඨාභය රාජපක්ෂ මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිඳු ප්‍රකාශයක් කර නැත.
පොහොට්ටු පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම ඔහුට සහය පළ කරන විමල් වීරවංශ හා උදය ගම්මන්පිල වැනි පක්ෂ නායකයන්ගේ ද සැකයට බඳුන් ව ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. කෙසේ වෙතත් මේ නිසා බටහිරට එරෙහිව දැඩි ව ක්‍රියාශීලී ව කටයුතු කරන විමල් වීරවංශ හා උදය ගම්මන්පිල වැනි දේශපාලකයන් ද නිහඩ කර ඇත. මේ සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂගේ නිහඬතාව රාජපක්ෂ දේශපාලනයේ සැබෑ තත්ත්වය හෙළිදරව් කරන්නක් බව නොකිය යුතු කරුණකි.
ජාතික රාජ්‍ය සංකල්පය තුළ ඒ ඒ රටේ අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් වෙනත් රටවල් උනන්දු වීම ජාතික රාජ්‍යයේ සෛවරිත්වයට බලපාන කරුණකි. එහෙත් දේශපාලන අවකාශය ගෝලීය මට්ටමට වර්ධනය වූ පසුව සෛවරීත්වය වැනි සංකල්ප පවා අභියෝගයට ලක්ව තිබේ.
එක් අතකින් මුළු ලෝකය ම ආර්ථික බැඳිම් වලින් එකට එකතුවී තිබේ. අනෙක් අතින් සාමූහික ආචාර ධර්ම වලින් බොහෝ රටවල් බැදී තිබේ. මේ නිසා එක් එක් ජාතික රාජ්‍යයකට තනි තනි තීන්දු තීරණ රැගෙන සෛවරීත්වය භුක්ති විදීම සමාජ සංවර්ධනයට බාධාවක් වෙමින් පවතී. ඊට හොඳ ම උදාහරණය අයි එස් අයි එස් සංවිධාන වැනි ගෝලීය ත්රස්තවාදයේ ක්රියාකාරීත්වයයි.
එක්සත් ජනපදය ප්රමුඛ බලවත් රටවල් ජාතික රාජ්‍යයන්ගේ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත්වීම සම්බන්ධයෙන් එරෙහි වීම යනු ඒ ඒ ජාතික රාජ්‍යයන්ගේ වාසි සහගත දේට ඉඩ දීමත් අවාසි සහගත දේට විරුද්ධ වීමත් නොවේ. උදාහරණයකට ඇමෙරිකන් එක්සත් ජනපදය විසින් ගෝලීය ත්‍රස්තවාදය මුළුනුපුටා දැමීමේ තම වැඩසටහන යටතේ 2007 වර්ෂයේ දී ශ්‍රී ලංකාව සමඟ යුද ගිවිසුමක් අත්සන් කළේ ය.
ඒ ගිවිසුමෙන් ශ්‍රී ලංකාවට ලබාදුන් යුදමය සහාය එල්ටීටීඊ සංවිධානය සමූල ඝාතනය කිරීමේ ලා ශ්‍රී ලංකා රජයට අතිශය වැදගත් විය. එසේම යුරෝපා සංගමය ප්රමුඛ මුළු බටහිරත් මහජන චීනය, ඉන්දියාව හා පාකිස්ථානයත් එල්ටීටීඊ සංවිධානයට එරෙහි යුද්ධයේ දී ශ්‍රී ලංකාව හා එක පෙළට සිට ගත්තෝ ය. එදා එවැනි මැදිහත්වීමක් කළ රාජ්‍ය අද ද යම් යම් කාරණා සම්බන්ධයෙන් මැදිහත් වීම කෙසේවත් ප්‍රතික්ශේප කළ නොහැක්කකි.
අනෙක් අතින් ලෝක සාමය හා සංහිදියාව උදෙසා ජාත්‍යන්තර සම්මුතීන් හා එකඟතා රැසක් මඟින් ලෝකයේ රාජ්‍ය එකිනෙක බැඳී පවතී. එවැනි තත්ත්වයක දී එක් රාජ්‍යයක අභ්‍යන්තර කටයුතු පවා තවත් රටක පැවැත්ම සඳහා බරපතල බලපෑමක් කළ හැකිය. එවැනි තත්ත්වයක දී එක්සත් ජාතීන්ගේ සංවිධානය කරන මැදිහත්වීම කිසිසේත්ම ප්‍රතික්ශේප කළ නොහැකිය. එක්සත් ජාතීන්ගේ සංවිධානය ගොඩනැඟී ඇත්තේ ම එවැනි අරමුණකිනි. එනිසා ශ්‍රී ලංකාවේ යුද හමුදාපතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්ගේ මැදිහත්වීම රජය විසින් රාජතාන්ත්‍රිකව කළමනාකරණය කරගත යුතුය.
වරක් ඉන්දියාව හා පකිස්ථානය න්‍යෂ්ටික තාක්ෂණය යොදා අවි නිපදවීමත් සමඟ මුළු බටහිර ම ඊට එරෙහිව නැඟී සිටියහ. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ විදේශ ඇමතිවරයාගෙන් ජනමාධ්‍ය විමසුවේ ය. එවකට විදේශ අමාත්‍ය ධූරය දැරූ ලක්ෂමන් කදිරගාමර් ඊට අපූරු පිළිතුරක් සැපයුවේ ය. ඔහු ප්‍රකාශ කළේ ලෝක න්‍යෂ්ටික බලවතුන් සංඛ්‍යාව දෙකකින් වැඩිවීම බරපතල ප්‍රශ්නයක් නොවන බවයි. ඒ තුළ බටහිර රටවලට සියුම් පහරක් එල්ල කිරීමට කදිරගාමර් සමත් විය. එහෙත් එවැනි රාජ්‍යතාන්ත්‍රිකයන් ශ්‍රී ලංකාවට දැන් නැති නිසා එක්සත් ජනපදය හා යුරෝපා සංගමයට පිළිතුරු දී තත්ත්වය කළමනාකරණය කර ගැනීම අපහසු වී තිබේ.
එක්සත් ජනපදය ප්රමුඛ බටහිර ඈලිය මැද පෙරදිග රටවල දී අනුගමනය කරන යුදමය ස්ථාවරය විවේචනය කිරීම මේ ප්‍රශ්නයට පිළිතුර නොවේ. ලෝක දේශපාලනයේ දී එකිනෙකට පරස්පර ප්‍රතිපත්ති අනුගමනය කිරීම විදේශ ප්‍රතිපත්ති වල ස්වභාවයයි.
බොහෝ රටවල විදේශ ප්‍රතිපත්තිය පදනම් වී ඇත්තේ පරමාදර්ශය මත නොව උපයෝගීතාව අනුව ය. විශේෂයෙන් ප්‍රබල රාජ්‍යයන්ගේ විදේශ ප්‍රතිපත්තිය පදනම් වන්නේම උපයෝගිතාව මත ය. එවිට ඒ රටවලට ඇගිල්ල දිගු කර පරස්තාව විමසමින් තමන් කරන වැරදි සාධාරණීකරණය කර ගැනීමට උත්සාහ කිරීම බොළඳ ක්‍රියාවකි.