ශ්‍රී ලංකා යුද හමුදාවේ 23 වැනි හමුදාපතිවරයා ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඉකුත් බ්‍රහස්පතින්දා සිය ධුරයේ රාජකාරි ආරම්භ කළේය.
නව තනතුරට පත් වීමට පෙර යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි තනතුර හෙබවූ ශවේන්ද්‍ර සිල්වා මහතා 1984 මාර්තු 05 වැනි දා බඳවාගැනීම් 19 පාඨමාලාව යටතේ කැඩෙට් නිලධාරියෙකු ලෙස යුද හමුදා සේවයට එක් විය.
මානූෂීය මෙහෙයුමේදී විශිෂ්ට සේවයක් ඉටු කළ රණවිරුවන් අතර ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රමුඛස්ථානය ගන්නා අතර, ඔහු එවකට බ්‍රිගේඩියර් තනතුර හොබවමින් 58 වැනි සේනාංකයේ සේනාංකාධිපතිවරයා වශයෙන් ජයග්‍රහණ රැසක් අත්පත් කරගැනීමට සමත් වූයේය.
මන්නාරම යෝධ වැව ප්‍රදේශයෙන් ආරම්භ කළ එම මෙහෙයුමෙන් සහල්නැළිය මුදාගත් එම සේනාංකය වෙල්ලමුල්ලි වයික්කාල් ප්‍රදේශය දක්වාම පැමිණියේය. වෙඩිතලතිව්, මොලංගාවිල්, පුනරින්, කිලිනොච්චි, පරන්තන්, පුදුමාතලන් ඇතුළු තවත් ප්‍රදේශ රැසක් කොටි ත්රස්තවාදීන්ගේ ග්රහණයෙන් මුදාගැනීම සඳහා ශවේන්ද්‍ර සිල්වා මහතා නායකත්වය දුන්නේය.
2010 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා වශයෙන් පත් වූ ඔහු එහිදී ද රට වෙනුවෙන් පියවර රැසක් ගත්තේය.
වසර 34ක හමුදා සේවා කාලය අතරතුර දැක්වූ දක්ෂතා හේතුවෙන් ඔහු වීරවික්රම, වීරවිභූෂණ රණවික්‍රම, රණශුර, උත්තම සේවා ඇතුළු පදක්කම් රැසක්ම හිමි කරගෙන සිටී.
මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂයකු වන ශවේන්ද්‍ර සිල්වා මහතා එහි ප්‍රධාන ශිෂ්‍ය නායකයා මෙන්ම ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙසද ඔහු සිය ජීවිතයේ නායකත්වය දැරීම ආරම්භ කර ඇත.
ගජබා රෙජිමේන්තුව යටතේ යුද හමුදාවට ඇතුළත් වූ ශවේන්ද්‍ර සිල්වා මහතා ඒ රෙජිමේන්තුව බිහි කළ ප්‍රථම යුද හමුදාපතිවරයා ද වෙයි.
යුද හමුදා මූලස්ථානයේ සැලසුම් අධ්‍යක්ෂක මණ්ඩලයේ ප්‍රධානියා, පුහුණු අධ්යක්ෂ මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදා මූලස්ථානයේ හමුදා ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරී ඇතුළු මාණ්ඩලික නිලධාරී තනතුරු රැසක්ම ශවේන්ද්‍ර සිල්වා මහතා දරා තිබේ.
ගුවන් සංක්‍රමික බළසේනාවේ බළසේනාධිපති වශයෙන්ද සිය දායකත්වය ලබා දී ඇති ඔහු ‘රිවිරැස’ ඇතුළු යුද මෙහෙයුම් රැසකට දායකත්වය දැක්වීය.