
ඔවුන්ගේ ප්‍රශ්නය තවම විසඳී නැත. එනම්, ලංකා ඉතිහාසයේ පැතිකඩක් කියා පාන, මිලක් පවා කිව නොහැකි, එහෙත් මේ පැරැණි කාර් නුරුස්සන සහ ඒවායේ කිසිදු වටිනාකමක් නොදන්නා, මෙරට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාගේ තීන්දුව තව ම වෙනස් වී නැත.
ඔහුට අනුව, ලියාපදිංචි නොකළ මේ ඉපැරැණි වාහනවල පොත් සහ ෆයිල් සියල්ල විනාශ කළ යුතුය. හේතුව, ඒවා තියා ගන්නට ඉඩ මදිය.
ලංකාවේ ලේඛනාරක්ෂක ආඥා පනතට අනුව, අවුරුදු 50ට වැඩි කිසිඳු ලේඛනයක් විනාශ කිරීම තහනම් වන අතර, ඒවා ආරක්ෂා කිරීමට ඔවුහු නීතියෙන් බැඳී හිඳිති.
එහෙත් අපේ රටේ මෝටර් රථ කොමසාරිස්වරයාට ඒ නීතිය වෙනස් කිරීමට බලය ආවේ කොහෙන් ද... ඒ සඳහා ඔහු කැබිනට් අනුමැතිය පවා ලබා ගෙන ඇත්තේ කුමන පදනමකින්ද... මේ කිසිවක් කිසිවකුත් නොදන්නා අතර, අදාළ ඇමතිවරයා පවා මේ ඛේදවාචකය නොදැකීම ඉතාමත් කනගාටුදායක තත්වයක් බවයි , වෛද්‍ය කාලිංග ගිනිගේ මහතා පවසන්නේ.
මුහුණ දී සිටින ෙතත්ත්වය කොයි තරම් බරපතළ වුවද මොහොතකට ඒ සියල්ල අමතක කරදමන්නට පැරැණි කාර් හිමියන්ගේ සංගමය හෙවත් VCOC, Vintage car Owner’s Club සියලු සාමාජිකයෝ තීරණය කළේ ඒකමතිකවය. ඒ, මේ වෙලාවේ ඉටු කළ යුතු යුතුකමක් වෙනුවෙනි.
දළදා පෙරහර බලන්නට ආ සංචාරකයන් තවමත් රට තුළ රැඳී ඉන්නා දවස් බව දන්නා ඔවුහු, සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයට පෙළ ගැසුණේ මේ මොහොතේ, ඒ සිය වගකීම කරගෙනය.
පහුගිය 24 වැනිදා උදේ හත වෙද්දී කිෂූ ගෝමස්, සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සහභාපතිවරයා ද මොරටුව වේල්ස් කුමරිය ඉදිරිපිටට ආවේ, සංචාරක ප්‍රවර්ධනය උදෙසා මේ පැරැණි කාර් සමූහය මොරටුවේ සිට ගාලු කොටුව බලා යන ගමනට සුබ පතන්නටය. කොඩිය ඔසවා ආරම්භය දෙන්නටය.
“මේ පැරැණි කාර් ටික දැක්කම මට හිතුණා මොන තරම් වටිනා සම්පතක් තවම අපි ළඟ තියෙනවද කියලා. මේ හැම එකක් ම අවුරුදු හැට හැත්තෑවකට වැඩියි. විවිධ රටවල හැදූ වාහන. සමහරවිට ඒ රටවලත් මේවා නැතිව ඇති.
නිකම් හිතන්න, අද කොළඹ හෝටල්වල සංචාරකයො ටිකත් මේ ගමනට ආව නම් ඔවුන් මේවා දැක්කා නම් අපේ සංචාරක ව්‍යාපාරයට මේ වෙලාවෙ මොන තරම් ආකර්ෂණයක් ලැබෙනවද. ඔවුන් හරහා මේ පණිවුඩය මුළු ලෝකෙට ම යනවා නේද...
මේ පැරැණි කාර් අපේ ටුවරිසම්වලට මීට වඩා යොදා ගත හැකි වැඩපිළිවෙළක් හැදෙන්න ඕනෙ. මේ වාහන ටික රැක ගන්නත් අපි උදව් කරන්න ඕනෙ....”
ඔහුගේ වචනවල තිබූ අලුත් බලාපොරොත්තු මේ පැරැණි කාර්වලට ආදරය කරන, ඒ මත්තෙම හැපෙන මිනිසුන් සමූහයට සතුටක් ගෙනාවේය. බිඳී තිබූ හිත්වලට ශක්තියක් ගෙනාවේය.
ඉතින් ඔවුන් ගාලු ගමන ඇරැඹුවේ, ඒ සතුටද පෙරදැරි කරගෙනය.
1926ට අයත් නීල් ප්‍රනාන්දු මහතාගේ R 138 නිල් පැහැ ඔස්ටින් 7 වාහනයේ සිට 1948 දක්වා යුගවල ඔස්ටින් ..... බේබි ඔස්ටින්.... බෝට් ටේල්... වොක්ස්වෝල්.... ස්ටෑන්ඩර්ඩ්.... වූල්ස්ලි.... ඉංග්‍රීසි තනි අකුරේ ඉපැරැණිම කාර් ගොන්න, වැඩිහිටිකමට මෙන් ඉස්සරහින්ම පෙළ ගැසිණි.
ඒ බොහෝ ඒවා ප්‍රමාණයෙන් කුඩාය. හැඩයෙන් වෙනස් ය. එකක ඩිකිය වෙනුවට ට්‍රන්කා පෙට්ටියකි. තවෙකක, පිටුපස බැඳි පන් පෙට්ටියකි. බ්‍රේක් ගහන්නට කේබල් පද්ධතියකි. පැති කණ්ණාඩි කිසිවක් නැත. බ්‍රේක් ලයිට් හෝ ලයිට් ද නැත.
එහෙත් එදා සුද්දා තේ වතුවලට ගියේත් කොළඹ සිට රටවටා ගියේත් මේ වාහනවලින් බව බොහෝ අය නොදන්නා කාරණයකි.
1956 දක්වා විහිදෙන, හම්බර් හෝක්, ඩේම්ලර්, මොරිස් මයිනර් - ටුවරර්, මොරිස් මයිනර් සැලූන්, ට්‍රෑම්ප් රිනවුන්, ෆෝර්ඩ් විලියර්ස් 4 වීල් ඩ්‍රයිව් සහ M.G.T.F වැනි CE, CY, CL, CN., EY, EL සහ EN යුගවලට අයත් කාර් හැඩයෙන් ප්‍රමාණයෙන් විශාලය. ගාම්භීරය.
සුද්දා පමණක් නොව, අපේ රටේ තේ වතු, රබර් වතු හිමියන්, ෙර්න්ද මුදලාලිලා, වතු අධිකාරිවරු සහ ව්‍යාපාරිකයෝත් එදා මේ වාහනවල අයිතිකරුවෝ වූහ. කවුරු පැද්දත් තාක්ෂණය සරල විය.
“අපේ රටේ වාහන තාක්ෂණය හදාරන තරුණයන්ට ඉගෙන ගන්න බොහෝ දේ මේ පැරැණි කාර්වල තිබෙනවා. මේ කාර් බොහොමයකම ලයිට් නැහැ. භූමිතෙල් හරි ගෑස් ලාම්පු දෙකක් හරි තමයි, දෙපැත්තෙ ලයිට් විදියට එල්ලලා තිබුණේ. ඊට පස්සෙ ඩයිනමෝ තාක්ෂණයට ඒවා දියුණු කළා. කේබල් බ්‍රේක්, හයිඩ්‍රොලික් බ්‍රේක් වුණා. ගියර් බොක්ස් වුණත් එහෙමයි.
ඉලෙක්ට්‍රික් කාර්, හයිබ්‍රිඩ් කාර් පදින රටක තවම මේ වගේ සරල තාක්ෂණයෙන් දුවන කාර් තියෙනවා කියලා තරුණ පරම්පරාව දැනගන්න ඕනේ. ළමයින්ට මේ දැනුම දෙන්න ඕනේ. ඇඟේ උණක් තියෙන මිනිස්සු ටිකක් නිසා තමයි මේවා මේ විදියට තවම සුරැකිලා තියෙන්නෙ.
රටක ආණ්ඩුවක් කරන්න ඕනෙ වැඩක් අපි මේ කරන්නෙ. එහෙම කරද්දිත් පුළුවන් තරම් නීති දාලා කරදර කරනවා. මේවා අපිත් අත්හැරියොත්, පරණ ගරාජ්වල, ගස් යට ඔහේ දිරාපත් වෙලා යාවි. දැනටත් ඔය පොත් ප්‍රශ්නෙ නිසා පරණ කාර් හාරපන් දාහක්වත් මේ රට පුරා තැන් තැන්වල ගස් යට ඔහේ දිරාපත් වෙනවා.
දිවුරුම් පෙත්සමක් දීලා, තවත් අයිතිකරුවන් සිටී නම් විරුද්ධත්වය පාන්න කාලයක් දීලා, මේවායේ දැන් අයිතිකරුවන්ට ම ඒවායේ අයිතිය සහ බලපත්‍ර ලබා ගන්න වැඩපිළිවෙළක් හදන්න ඇයි බැරි. ඕනෙ දෙයක් විනාශ කරන්න ලේසියි. රැක ගන්නයි අමාරු. අපි කරන්නෙ ඒ අමාරු දේ.”
සංගමයේ සභාපති, නීල් ෆර්නැන්ඩු මහතා පවසන්නේ, වටිනාකම ගැනය. ගැටලුවක් ඇත්නම් ඒ සඳහා ඇති හොඳම සහ ප්‍රායෝගිකම විසඳුම ගැනය. අවශ්‍ය සෑම සහයක් ම දී, මේ ගැටලුව නිරාකරණය කරගන්නට නීල් මහතා ප්‍රමුඛ කණ්ඩායම සූදානම්ය.
1989 බිහිවූ වින්ටේජ් කාර් ඕනර්ස් ක්ලබ්හි පැරැණිම සාමාජිකයා වන හර්සිල් ෆර්නැන්ඩු, 1908 මෙරටට ගෙන්වූ ‘ඇල්බියන් මරේ’ රථයේ වර්තමාන හිමිකරුවාය.
බෝගල පතලෙන් කොළඹට මිනිරන් ගෙනා, ඇල්බියන් මරේ ලොරියේ දෙවැනි හිමිකරු වන ඔහු, වින්ටේජ් කාර් සඳහාම වෙන්වූ ගරාජයක් පවත්වාගෙන යන්නේ, සිය සමූහයාට විශාල සහනයක් වෙමිනි.
භාණ්ඩාගාරිකවරයා වන මහේන්ද්‍ර සමරසිංහ, උපසභාපතිත්වය දරන මල්කි රෙන්ටකාර් සභාපති මහේෂ් මල්ලවාරච්චි, වෛද්‍ය කාලිංග ගිනිගේ, නීල් ප්‍රනාන්දු ඇතුළු මේ ජ්‍යෙෂ්ඨයන්, අලුත් පරම්පරාව එකතු කර ගනිමින් මේ පැරැණි කාර්, රැක ගැනීමෙහිලා දරන වෙහෙස සුළු පටු නැත.
මේ බොහෝ අය ව්‍යාපාර සහ සමාගම් හිමිකරුවෝ වන අතර, මේවා රැකී තිබෙන්නේ ද ඒ සල්ලිය බාගේ ඇති මිනිසුන් වියදම් දරා කරන කැපවීම් නිසා බවත් නොකියා බැරිය.
කිලෝ මීටර විස්සෙන් විස්සට තිහෙන් තිහට නවතමින්, රත්වූ එන්ජින්වලට වතුර දමමින්, ගිමන් නිවමින් ගාල්ල දක්වා යන ගමනේ, මග දෙපස රැස්වූ මිනිසුන් ගැහැනුන් දරුවන් මේ කාර් දෙස බලා හිටියේ දෑස් අදහාගත නොහැකි ආසාවකිනි. සතුටකිනි.
ගිමන් හරින්නට නැවතුණු හැම වෙලාවකමත් දවල් කෑමට හික්කඩුව කොරල් සෑන්ඩ්ස් හෝටලයේ එක පෙළට නැවතූ විටත්, ගාලු කොටුවේදීත් බොහෝ අය මේ වාහන අතපත ගෑවේ, හෝන් එක ඔබා බැලුවේ සෙල්ෆි ගැහුවේ, ඡායාරූප ගත්තේ ඒ සතුට වැඩිකමටය.
‘මේ අපේ රටේ කාර් ද අම්මේ....’
‘කොහේද අප්පා මේවා හැංගිලා තිබුණේ....’’
‘මේං පුතේ බෝට්ටු පස්සක් තියෙන කාර් එකක්...’
‘අර, ඩිකිය වෙනුවට ට්‍රන්කා පෙට්ටියක්...!’
‘තාත්තෙ මාව මේකෙන් වාඩි කරන්නකෝ....’
මේ, කවදාවත් හැබැහින් නොදැකපු අමුතු කාර් දැකපු වෙලේ ඒවා ගැන අම්මලා තාත්තලා දූලා පුතාලා අතර වූ කතා බහෙන් කොටසකි.
‘අපි හිතුවෙ නැහැ ශ්‍රී ලංකාවේ මේ තරම් පරණ කාර් තව ම තියෙනවා කියලා...’
‘කොහෙද මේවා සංරක්ෂණය කරන්නේ... උඹලට මියුසියම් එකකුත් තියෙනවද...’
ගාලු කොටුවෙදි පමණක් නොව, කොරල් සෑන්ඩ්ස් හෝටලයේදිත් සංචාරකයන්ගේ ප්‍රශ්න කිරීම් කෙළවරක් නැති වූයේ, ඒවා ඔවුන්ට ද විස්මය දැනවූ නිසාය.
“ඒත්, පරණ බිල්ඩින්, කෝච්චි පෙට්ටි.... පත්තර... මුද්දර.... මේ හැමදේටම කෞතුකාගාර තියෙන රටක, මේ වගේ පැරැණි කාර් රකින්න කටුගෙයක් තියා සංරක්ෂණ වැඩපිළිවෙළක් වත් නැති බව ඒ සංචාරකයන්ට අපි කොහොම කියන්නද... රටක ඉතිහාසයක් නොදන්නා මිනිසුන් ගන්නා මෝඩ තීන්දු තීරණ නිසා, මේ වළ දමන්න හදන්නෙ මේ රටේ එක් යුගයක් නෙවෙයිද...
මේ ලියවිලිවලට ඉඩ යනවා කියන එකයි ඔහුගේ තර්කය. ‘හරි අපි අපේ වියදමින් ඒ ලියවිලි CD ගත කරලා දෙන්නම්, CD ටික තියන්න පොඩි ලාච්චුවක් විතරයි එතුමා හොයා ගන්න ඕනේ. කරුණාකරලා මේ විනාශය කරන්න එපා!....’
වෛද්‍ය කාලිංග ගිනිගේ මහතා පවසන්නේ සිදුවිය යුතු දේ සහ හරි දේ පිළිබඳවය.
මෙවැනි ගැටලු මැද්දේ කැකෑරෙමින් සිටියදී වුවද කඩා වැටුණු සංචාරක ක්ෂේත්‍රය නඟා සිටුවන්න පෙළ ගැහුණු ඔවුන්ට, මේ රටේ හැම කෙනකුගේ ම ආචාරය හිමි විය යුතුය.
‘නමුත්, අවුරුදු සියයකට වැඩි වයසක් ඇති මේ බොහෝ වාහන රැකුණේ, අයිතිකාරයො දෙතුන් දෙනකුගේ අතින් අත ගිහින්. ඒ කවුරුත් පැරැණි වාහනවලට ආදරේ කළ මිනිසුන්. ඒ අය මැරුණම, සමහර දූ දරුවො ඒ වාහන විකුණන්නෙ නැහැ. ඊළඟට පොත් අස්ථාන ගත වෙනවා.
ඉතින්, ආසාව තියෙන කෙනා ගත්තට, වාහනේ පොත නැහැ. ඉතින් රෙජිස්ට්‍රේෂන් ප්‍රශ්න. ඊළඟට රෙපෙයාර්වලට යද්දි දැනුම තියෙන බාස්ලා නැහැ. අමතර කොටස් නැහැ. සමහර ඒවා එංගලන්තයෙන්ම ගේන්න ඕනේ. මිල අධිකයි. ටයර් ගෙවුණොත් ටයර් නැහැ. බලනකොට ලස්සනට අභිමානෙට පෙනුණට මේ වාහන අපි මෙහෙම හරි එළියට ගන්නෙ ප්‍රශ්න දාහක් මැද්දෙ...’
ඉතින්, අපේ රටේ යුගයක් එකලු කළ මේ පරණ කාර් ටික සුරකින්න, මේ මිනිසුන් සමූහයා දරන වෙහෙස, ඔබටත් දැනෙනවද.... බලධරයන් තේරුම් ගත යුත්තේ ද මේ සත්‍යය පමණකි.