
වාද්දුව කොරොස්දූව පුරාණ මහා විහාරය හා බණ්ඩාරගම කිම්මන්තුඩාව දීපාරාම මහා විහාරය යන උභය විහාරාධිපති ගෝනදූවේ ගුණානන්ද හිමියන් වෙත 'සිරි මහාවිහාර වංශාලංකාර සද්ධර්ම වාගීෂ්වරාචාර්ය ශ්‍රී සුමනතිස්ස' යන ගෞරව නාමය සහිතව බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක ධුරය පිරිනමා ඇත. ඒ මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු විහාර පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක හිමියන් ප්‍රමුඛ විංසත්වාර්ගික කාරක මහා සංඝ සභාව විසිනි.
කළුතර උතුරු ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී හා කළුතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති වශයෙන් පුරා වසර හතළිහක් සහ සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී ධුරය වසර 2002 සිට අද දක්වා උසුලමින් උන්වහන්සේ ශාසනික ජාතික හා අධ්‍යාපනික වශයෙන් සුවිශාල සේවාවක් සිදු කරති. ජනාධිපති බෞද්ධ උපදේශක මණ්ඩලයේ බුද්ධශාසන අමාත්‍යාංශයේ උපදේශක මණ්ඩලයේ, ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ බෞද්ධ උපදේශක මණ්ඩලයේ සාමාජිකයකු වශයෙන් පත් කර ඇති උන්වහන්සේ සුවිශේෂ වශයෙන් දහම් පාසල් අධ්‍යාපනයේ උන්නතිය උදෙසා විශිෂ්ට සේවාවක් සිදු කර ඇත. උන්වහන්සේට සිය සංඝනායක ධුරයට අදාළ පත්වීම් ලිපිය මල්වතු පාර්ශ්වයේ අතිගරු මහානායක හිමියන් අතින් පසුගිය 22 වැනි මහනුවර මල්වතු විහාරයේදී ප්රදානය කරන ලදී.