ජීවිත තිරි­වානා කබොක් ගානට දමා මැණික් හොයන්න යන රත්න­පුරේ මිනිස්සු | Page 3 | සිළුමිණ

ජීවිත තිරි­වානා කබොක් ගානට දමා මැණික් හොයන්න යන රත්න­පුරේ මිනිස්සු

ශ්‍රී ලංකාවේ සාම්ප්‍ර­දා­යික මැණික් කර්මා­න්තයේ ඉති­හා­සයේ වසර දහස් ගණ­නක් ඈතට දිව යන්නකි. එම­ඟින් ජාතික ආර්ථි­ක­යට දක්වන දාය­ක­ත්වය ද අති විශාල ය. ලෝකය මවි­ත­යට පත් කර­වන මැණික් කැණීමේ තාක්ෂ­ණ­යක් අප සතුය. ශ්‍රී ලංකා පොළො­වත් මතු වන මිණි­කැට ගුණා­ත්මක බවින් ද උසස් වන නිසා ලෝක මැණික් වෙළෙඳ පොළේ පව­තින්නේ ඉතා හොඳ ඉල්ලු­මකි.

 

එහෙත් රට අභ්‍ය­න්ත­රයේ මැණික් කර්මා­න්තය මුහුණ දෙන අභි­යෝග රැසකි. ඒ පිළි­බඳ විවිධ පාර්ශ්ව නොස­තු­ටට පත්ව සිටිනු පෙනේ.

පාරි­ස­රික හානි­යක් සිදු වන බවට ඇතැ­මෙකු චෝදනා කරද්දී පතල් කර්මා­න්තයේ නියැළී ලක්ෂ සංඛ්‍යාත පිරි­සක් දැඩි අසී­රු­තා­වට පත් වී සිටිති. මැණික් පතල් කැණීම සදහා නීත්‍ය­නු­කූල බල­ප­ත්‍ර­යක් ලබා ගැනී­මට පව­තින දුෂ්ක­රතා සම්බ­න්ධ­යෙන් මැණික් පතල් විෂය භාර ව කට­යුතු කරන රාජ්‍ය නිල­ධා­රීන් වෙත චෝදනා එල්ල වෙමින් තිබේ. යන්ත්‍ර සූත්‍ර යොදා ගනි­මින් පතල් කර්මා­න්තයේ නියැ­ළෙන මහා පරි­මාණ ව්‍යාපා­රි­ක­යන් නිසා පත­ල්ක­රුවා කම්ක­රු­වෙකු බවට පත් වී ඇති බව ඇතැම්හු පෙන්වා දෙති .

ඇළක දොළක වැලි ටිකත් සෝදා එදි­නෙදා ජීවි­කාව ගෙන ගිය අය මිනී­ම­රු­වන් මංකො­ල්ල­ක­රු­වන් ලෙස නීතියේ රැහැ­නට හසු කර හිරේ විලං­ගුවේ දමා දඩ ගැසීම අසා­ධා­රණ බව ඔවුන්ගේ පාර්ශ්ව­යෙන් නැඟෙන මැසි­වි­ල්ලකි. විටෙක සමාජ සද්කා­ර්යට උර දෙමින් සාමාජ ආර්ථික දේහය සවි­මත් කරන මැණික් ව්‍යාපා­රි­ක­යන් පිළි­බඳ සමා­ජය පෙරළා හැසි­රෙන ආකා­රය ගැන සංවා­ද­යක් ඇති කළ යුතුව තිබේ.

අප සමඟ මුලින්ම කතා කරන්නේ ලංකා මැණික් ව්‍යාපා­ර­ය­කින්ගේ හා පත­ල්ක­රු­වන්ගේ සංග­මයේ හිටපු සභා­පති මැණික් ව්‍යාපා­රික කහ­වත්තේ ගුරු­ගේය.

“අද අපේ රටේ මැණික් කර්මා­න්තය පව­තින්නේ ඉතා අභාග්‍ය සම්පන්න තත්ත්ව­ය­කය. එක පැත්ත­කින් මැණික් ලැබීම හොඳ­ටම අඩු­වෙලා . පතල් කැණීම් බල­පත්‍ර ලබා ගැනී­මට විවිධ බාධක. ලී දඬු­වල මිල ශීඝ්‍ර­යෙන් වැඩි වෙලා. පුහුණු නුපු­හුණු කම්ක­රු­වන් සොයා­ගැ­නීම ඉතා අසී­රුයි. අපි කියන්නෙ නැහැ පතල් බාස්ගෙ පුතා පතල් බාස්ම වෙන්න ඕන කියලා. ඒත් මැණික් කර්මා­න්තයෙ අනා­ග­ත­යට ගෙනි­යන්න නම් පුහුණු නුපු­හුණු ශ්‍රම­ශ­ක්තිය අව­ශ්‍යයි. ඒ නිසා විකල්ප මාර්ග ඔස්සේ විවිධ යන්ත්‍ර සූත්‍ර­ව­ලට යොමු වෙන්න සිදු වෙනවා. එවිට විවිධ පරි­සර හානි කිය කියා සංවි­ධාන කෑ ගහ­නවා . රජයේ නිල­ධා­රීන් විශාල පිරි­සක් ඉන්නවා.බොහෝ දෙනෙක් අල්ල­සට යට වෙලා. ඒ අය තමන්ගේ රාජ­කා­රිය හරි­ය­ටම ඉටු කරන්න පටන් ගත් දවසෙ ඉඳලා මැණික් කර්මා­න්තය කාට­වත් ගැටලු නැතුව ඉදි­රි­යට යයි.” ඔහු පව­සයි.

ඔහුට අනුව රාජ්‍ය අංශයේ අනු­ග්‍ර­හය නොලැබී යයි නම්, සංව­ර්ධන හා පර්යේ­ෂණ අංශ යාව­ත්කා­ලීන නොවේ නම් තවත් වසර දහ­යක් යන විට මැණික් කර්මා­න්තය ඉති­හා­ස­යට එකතු වනු ඇත.

ලංකා මැණික් ව්‍යාපා­ර­ය­කින්ගේ හා පත­ල්ක­රු­වන්ගේ සංග­මයේ සභා­පති පුන්සිරි තෙන්න­කෝන්ය. ඔහු සංවා­ද­යට එක් වන්නේ මෙසේය.

“පසු­ගිය වක­වා­නුව තුළ අප දුටුවා මැණික් කර්මා­න්තය කිසි­යම් ප්‍රබෝ­ධ­ය­කින් ඉහ­ළට එස­වුණා. ඊට බල­පෑවේ ජාතික මැණික් හා ස්වර්ණා­භ­රණ අධි­කා­රියේ හිටපු සභා­ප­ති­ව­රයා. එතුමා කෙටි කලක් තුළ ඉතා වටිනා සේවා­වක් ඉටු කර­න්නට මහන්සි ගත්තා. මැණික් කැණීම සඳහා බල­පත්‍ර ලබා­දීමේ එක් දින ජංගම සේවාව ඉන් ප්‍රධා­නයි. ඒ විත­රක් නෙවෙයි, මැණික් අප­න­ය­නය හා ප්‍රති­අ­ප­න­ය­න­යට බලපෑ බධා සාධ­නීය ලෙස විස­ඳී­මට උත්සහ ගත්තා.

නමුත් මේ වෙද්දී නැව­තත් පරණ තත්ත්ව­යට පත්වෙලා. එදා වේග­යෙන් පැමිණි ගමන අද සම්පූ­ර්ණ­යෙන් ම ඇන­හි­ටලා. බල­පත්‍ර නිකුත් කිරීම මන්ද­ගා­මීව සිදු වෙන්නෙ . ලෝක මැණික් වෙළෙ­ඳාම අර්බුද රැසක පැට­ලිලා . අද හොකොං රටට චීනය විසින් අලුත් නීති පන­වලා. දවස ගානේ උද්ඝෝ­ෂණ . මේ තත්ත්වය දැඩිව අපේ රටේ මැණික් ව්‍යාපා­ර­යට බල­පා­නවා. මැණික් මිල අඩු වෙලා . මුදල් ලැබීම ප්‍රමා­දයි. මැණික් පතල් කර්මා­න්තයේ නියැ­ළුණු පිරිස මෙන්ම එම­ඟින් ජීවි­කාව ගෙන යන ප්‍රමා­ණය ලක්ෂ දහ­ය­කට වැඩියි. ඒ අතර මැණික් පත­ල්ක­රු­වන් වැඩි පිරි­සක් කොළඹ වැනි පළා­ත්වල කුලී වැඩ­ව­ලට ගිහින්. අපේ රටේ මැණික් ව්‍යාපා­රය පිළි­බඳ රජ­යේත් රාජ්‍ය නිල­ධා­රීන්ගේ මෙන්ම සාමාන්‍ය ජන­තා­ව­ගේත් අන­ව­බෝ­ධය නිසා නිවැ­රදි දැක්මක් ඇති බව පේන්නේ නැහැ. නමුත් සම­හර මැණික් පත­ල්ක­රු­වන් අශිෂ්ට ලෙස පරි­ස­රය විනාශ කිරීම් අපේ සංග­මය කිසි­සේත්ම අනු­මත කරන්නේ නැහැ.

රත්න­පුර පී.ආර්.රාජ­පක්ෂ සුළු මැණික් ව්‍යාපා­රි­ක­යෙකි. කර්මා­න්තයේ අප­හ­සුව බිම් මට්ට­මේ­දීම දැනෙන්නේ ඔවු­න්ටය.

“ අද මැණික් කර්මා­න්තයේ යෙදී සිටින අපි වගේ සුළු මැණික් ව්‍යාපා­රි­ක­යන්ට තමා වැඩිම අසා­ධා­ර­ණ­යක් සිදු වුණේ . එදා රළු මැණික් අප­න­ය­නය කරද්දී එත­රම් බදු මුද­ලක් පැන­වුණේ නෑ . අද රළු ගල්ව­ලට සිය­යට විසි­ප­හක් වගේ මුද­ලක් ටැක්ස් ගහ­නවා. අනෙක ලංකාවේ ලැබෙන හැම ගලක්ම ගුණා­ත්මක බවින් ඉහළ අග­යක් ගන්නෙ නෑ . සුළු මැණික් ව්‍යාපා­ර­ය­කින් වැඩි වශ­යෙන් අප­න­ය­නය කරන්නෙ ලංකාවේ දි වැඩි මිල­කට විකුණා ගැනී­මට නොහැකි ගල්.

ඒවා අනෙක් මැණික් ගල් මෙන් වටින්නේ නෑ. ඒවා පිලි­ස්සුම් කරන තාක්ෂ­ණය ලංකාවේ නැහැ. ඔට්ටු, යං, ගෙවුඩ වගේ මැණික් ගල් පිට රට දී වඩා වැඩි ගුණා­ත්මක මට්ට­මට පුලුස්සා ගැනී­මට පහ­සු­කම් තිබෙ­නවා. නමුත් ගුණා­ත්මක බවෙන් ඉහළ ගල් වලට පන­වපු අප­න­යන බද්ද ඒවා­ටත් පැන­වීම අසා­ධා­ර­ණ­යක්.

අඩු වටි­නා­ක­මක් සහිත මැණික් සඳහා ලංකාවේ දි සමාන බද්දක් අය කළත් ඒ රට­වල මැණික් මිල වෙනස් වෙන්නෙ නෑ. බැකෝ­ව­ලින් පතල් කොච්චර කැපු­වත් ඒවා සුළු පිරි­සක් අතරේ පම­ණක් බෙදී යනවා. දලං කෑල්ලක් මැණික් පොළට එන්නෙ නෑ . ඒ පත­ල්වල හවු­ල්ක­රු­වන් අද කම්ක­රු­වන් පම­ණයි.

ඩබ්ලිව්.ජී.සිරිල් පත­ල්ක­රු­වෙකි. ඔහුගේ ගම හස­ල­කය. ඔවුන් අද බෙහෙ­වින්ම අස­ර­ණය.

අපි මැණික් කෙරු­වා­වට ගිහින් අද කබ­ලෙන් ළිපට වැටිලා ඉන්නෙ. ළිඳට වැටුණු මිනිහා ළිං කටින්ම ගොඩ එන්න ඕන වගේ අපිත් විශාල සට­නක් කර­නවා දලං කෑල්ලක් හොයා­ගන්න. දැන් ඒක­ටත් හෙන­හුරා වැහිලා. කූඩ­යෙන් වට්ටි­යෙන් ගගේ වැලි ටිකක් ගරා­ගන්න දෙනවා කිව්වට අපි ගඩොල් අච්චු­වෙන් ගඟ මැද වැලි ටිකක් හේදු­වත් පොලි­සිය එස්.ටී.එෆ්.එක ඇවිත් අල්ල­ගෙන යනවා. දඩය රුපි­යල් පහ­ළො­ස්ද­හ­සට වැඩියි. මහා පරි­මාණ ව්‍යාපා­රි­ක­යන්ට මේක බල­පාන්නෙ නෑ. අපිට දරු­වන් එක්ක පාරට බැහැලා හිඟා කන්න වෙලා.

විදේ­ශීය මැණික් ව්‍යාපා­රි­ක­යන් සඳහා මඟ පෙන්වීම වෘත්ති­යක් කර­ගත් අය රත්න­පු­රයේ වෙති. කේ.ඩී.සරත් කුමාර එවැ­න්නෙකි.

“ මම මේ රස්සා­වට බැහැලා දැනට අවු­රුදු තිස් අටක් වෙනවා. මට භාෂා පහක් කතා කරන්න පුළු­වන්. අපි එදා මේ මැණික් කර්මා­න්ත­යට එන කාලයේ හරිම ගෞර­ව­ය­කින් රස්සාව කරන්න පුළු­වන් කම තිබුණා. අද ඒ ගෞර­වය නෑ. විදේශ ව්‍යාපා­රි­ක­යන් අප කෙරෙහි තැබූ විශ්වා­සය බිඳිලා. ඔවුන් මැණික් මිලදී ගැනී­මට මැළි­ක­මක් දක්ව­නවා. හොඳ ව්‍යාපා­ර­ය­කින් ලංකා­වට එනවා අඩුයි.” ඔහු කියන්නේ මැණික් ව්‍යාපා­ර­යේම බිඳ­වැ­ටුණු ප්‍රමි­තිය ගැනය.

නීල් ධම්මික දීපාල් රත්න­පු­රයේ සුළු මැණික් ව්‍යාපා­රි­ක­යෙකි. ඔහුගේ හඬේ මහා වේද­නා­වක් ගැබ් වී තිබේ.

“මැණික් ව්‍යාපා­රයේ මහ­ගෙ­දර රත්න­පු­ර­යයි. එදා ඉඳලා ලෝකයේ මොන රටෙන් මැණික් ගන්න සංචා­ර­ක­යන් ආවත් බහින්නෙ රත්න­පු­රට. නමුත් එන හැම කෙනාම කියන්නෙ රත්න­පුර නග­රයේ ජාත්‍ය­න්තර මට්ටමේ මැණික් අලෙ­වි­යට සතු­ටු­දා­යක තත්ත්ව­යක් නැහැ කියන එක.

එදා ජාතික මැණික් හා ස්වර්ණා­භ­රණ අධි­කා­රියේ හිටපු සභා­පති තෝමස් එල්ලා­වල මහ­ත්තයා ජත්‍ය­න්තර මැණික් මධ්‍ය­ස්ථා­නය රත්න­පුර නග­රයේ ඉදි­කි­රී­මට සැල­සුම් කළා. නමුත් එතු­මා­ගෙන් පස්සෙ ඒක ඉස්ස­ර­හට ගියෙ නෑ .

ඒ වගේම අද තත්ත්වය අනුව හැමෝට ම රක්ෂ­ණ­යක් තිබෙ­නවා. නමුත් ජීවිත අව­දා­නම නොතකා අඩි දෙතුන් සියය පොළොව යට මැණික් සොය­න්නට යන අපේ පත­ල්ක­රු­වන්ට කිසිදු ආර­ක්ෂා­වක් නෑ. ජාතික ආර්ථි­කය ශක්ති­මත් කර­න්නට මෙත­රම් දාය­ක­ත්ව­යක් දක්වන මැණික් ව්‍යාපා­රි­ක­යන් මෙන්ම මැණික් පත­ල්ක­රු­වන් වර්ත­මා­නයේ මුහුණ දෙන මේ ගැටලු විසඳා දීම ඇත්ත­ටම අසා­ධා­රණ ද.?.

රාජ්‍ය මට්ටමේ වග­කි­ව­යු­ත්තන්ගේ අව­ධා­නය කඩි­න­මින් එම ගැටලු විස­ඳී­මට යොමු විය යුතු නොවන්නේ ද?

Comments