
පැරෂූට් ශූර චම්පික කුමාරසිරිගේ අකල් මරණය ගැන බොහෝ දෙනෙක් තවමත් කම්පා වෙති. වසර 40ක් සපිරෙන මෙරට පැරෂුට් වංශකතාවේ ඛේදනීයම සිදුවීම ලෙස කුමාරසිරිගේ මරණය ඉතිහාසයට එක්වේ.
බලා සිටින්නන්ට මනරම් දසුන් පානා ත්‍රාසජනක පැරෂුට් පිම්මේ මෙරට ආරම්භය 1979 සනිටුහන් වේ. යුද හමුදා කොමාන්ඩෝ බළකායේ නිර්මාතෘ කර්නල් සුනිල් පීරිස් ඇතුළු 26 දෙනෙකු යුත් කණ්ඩායමක් ඉන්දියාවේ ආග්‍රාහි පැරෂුට් පුහුණු පාසලෙන් මූලික පැරෂුට් පාඨමාලාව හදාරා මෙරට තුළ පැරෂුට් පිම්මේ සමාරම්භය සනිටුහන් කෙරිණි. ඒ අනුව මෙරට මුල්ම පැරෂුට් විරුවා ලෙස සැලැකෙන්නෙ කර්නල් සුනිල් පීරිස් මහතාය.
නිදහස්ආර (Sky Diving) පිම්ම මෙරටට හඳුන්වාදීමේ පුරෝගාමියා වන්නෙ කොමාන්ඩෝ බළකායේ මේජර් එන්. ජී. චන්ද්‍රසේන මහතායි. 1986 වසරේදී 'රේන්ජර්ස්' පාඨමාලාව හැදෑරීම සඳහා ඇමෙරිකාවට ගොස් සිටියදී නිදහස්ආර පිමි පනිනා පැරෂුට් ශූරයන් දැකීමෙන් ඒ කෙරෙහි ඇති වූ ආශාව නිසා මේජර් චන්ද්‍රසේන ඇමෙරිකාවේදී සිය පෞද්ගලික ධනයෙන් නිදහස්ආර පැරෂුට් පාඨමාලාව හැදෑරීය. පසුව ලංකාවට පැමිණි ඔහු කොමාන්ඩෝ රෙජිමේන්තුවට නිදහස්ආර පිම්ම හඳුන්වා දී තිබේ.
1989 පෙබරවාරි මස 26 දින සිට මාස තුනක කාලයක් ඉන්දියාවේ ආග්‍රාහි පැරෂුට් පුහුණු පාසලින් සාර්ථක පුහුණු පාඨමාලාවක් හැදෑරු කොමාන්ඩෝ බළකායේ පස්දෙනෙකු මෙරට මුල්ම නිදහස්ආර පැරෂුට් කණ්ඩායම ලෙස ඉතිහාසයට එක්වේ. ඒ මෑතකදී ඕස්ට්‍රේලියාවේදී මියගිය මේජර් ජෙනරාල් සමන්ත සූරියබණ්ඩාර, කපිතාන් ආර්. ඥානතිලක, කපිතාන් එච්. එම්. සුමින්ද, සාජන් මේජර් ජේ. එම්. රම්බණ්ඩා සහ සාජන් එච්. එම්. එන්. ගුණරත්න යන අය එම කණ්ඩායමට ඇතුළත් වේ.
මුල්ම පැරෂුට් කණ්ඩායමේ සාමාජිකයකු වන විශ්‍රාමික කපිතාන් සුමින්ද අතීතය සිහිපත් කළේ මෙලෙසිනි.
“පැරෂුට් පිමි මොනතරම් අලංකාර වුවත් තියෙන අවදානමනම් ඉතාම ඉහළයි. ඒ නිසා ඔය පිමි පනින කිසිම විටෙක ආරක්ෂාව ගැන නොසලකා හරින්න හොඳ නැහැ. අපේ කාලේ මේ අද වගේ තාක්ෂණය දියුණු නැහැ. නමුත් අපි පුහුණු වීම් හොදින් කළා වගේම වගේම ආරක්ෂාවටත් මුල්තැන දුන්නා. අග්‍රා පුහුණුවට යන කාලේ අප පස් දෙනාට නිදහස්ආර පිම්ම ගැන කිසිම අත්දැකීමක් නෑ. ඒ අත් දැකීම ලබන්න අපි හැමෝටම පුදුමාකාර උනන්දුවක් ආශාවක් තිබුණේ. අප සමඟ පුහුණුවට ඉන්දීය ජාතිකයොත් හැටක් විතර හිටියා. මුලින්ම තිබුණේ ග්‍රවුන්ඩ් ට්‍රේනින්. අවසන් මාසේ තමයි ජම්ප් දැම්මේ. මුලින් මූලික පැරෂුට් පිමි පහක් විතර කළා. ඊට පස්සෙ මුලින්ම අඩි 4500න් නිදහස්ආර පිම්ම පනින්න පටන්ගත්තෙ. එහෙම පටන් අරන් අඩි 12000 දක්වා උසක සිට අපි පිමි 30ක් පැන්නා. පිමි තිහක් පැනීමෙන් පස්සෙයි නිදහස්ආර බැජය අපට දෙන්නෙ. අඩි 12000න් දාපු ජම්ප් එක කියන්නේ යුදමය පිම්මක්. ඒ කියන්නෙ යුද්ධයේදී සතුරු භූමියට කඩා පනින විට අත්‍යවශ්‍ය තුවක්කුව ඇතුළු සියලුම උපකරණත් රැගෙනයි ඒ පිම්ම පැන්නෙ. අපේ පුහුණුව බාරව හිටියේ ඉන්දීය ගුවන් හමුදාවේ ස්කෝඩ්රුන් ලීඩර් වී. පී. ලාල්. පුහුණු කළේ වොරන්ට් ඔෆිසර් එස්. එස්. යදා.“
නිදහස්ආර පිම්ම කියන්නේ අවම අඩි හාරපන්දහසේ සිට ගුවන් යානයෙන් නික්මී අඩි දෙදහස්පන්සියකට පමණ පැමිණි පසු පැරෂුටය දිගහැර පොළෝ තලයට පතිත වන පිම්මයි. නිදහස්ආර පිම්ම මඟින් පැරෂුට් විරුවන් මවනා නොයෙක් ආකාරයේ රටා තිබේ. පසුගියදා කුමාරසිරිට ජීවිතය අහිමි වුයේ නිදහස්ආර පිම්මේ අංගයක් වන අඩි දසදහසක ඉහළ අහසේ සිට ගුවන් යානයෙන් නික්මුණු සීආර්ඩබ්ලිව් (CRW - Canopy Relative Work) නමැති විසිතුරු රූරටාව මැවීමට යාමෙනි. ඉහළ අහසේදී පැරෂුටය දිගහැර එකිනෙකා අල්ලාගෙන ඉණිමඟක ආකාරයෙන් පහළට එන විසිතුරු දසුනක් මැවීමට යාමෙනි. එම සීආර්ඩබ්ලිව් නමැති විසිතුරු දසුන මෙරට පොළෝ තලයේදී මුල්ම වරට මෙරට විරුවන් විසින්ම පෙළහර පා තිබුණේ 1992 පැවැති නිදහස් උලෙළේදීයි. එදින එම හපන්කම පා තිබුණේ මේජර් ජෙනරාල් සමන්ත සූරියබණ්ඩාර සහ සාජන් රම්බණ්ඩා යන දෙදෙනායි.
එදා පෑ සීආර්ඩබ්ලිව් රූරටාව ගැන රන්බණ්ඩා කියන්නෙ මෙවන් කතාවකි.
“1991 සාක් ගේම්වලට අපේ අය යොදාගෙන පැරෂුට් සංදර්ශනයක් කරන්න තීරණය කරලා තිබුණා. අන්න ඒ සඳහා සීආර්ඩබ්ලිව් පුහුණුව ලබා දෙන්න පාකිස්තානෙන් මේජර් කෝසා සහ සාජන් ෆාරුක් කියන දෙන්න ගෙන්නුවා. සාක් ගේම්වලට ජම්ප් දාන්න අපට අවස්ථාව ලැබුණේ නෑ. ඊට මාස කීපයකට පස්සෙ තිබුණ නිදහස් උත්සවෙදී අපි පැන්නා. පාකිස්ථාන් දෙන්නගෙන් එදා සීආර්ඩබ්ලිව් පුහුණුව මුල්ම වරට ලැබුවේ මේජර් චන්ද්‍රසේන, මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න, කැප්ටන් සුමින්ද වැනි එදා සිටි නිදහස්ආර පිමි පනින සියලු දෙනාම. සීආර්ඩබ්ලිව් නැත්නම් අපේ භාෂාවෙන් කැනපි ගහනවා කියන්නෙ පැරෂුට් පිම්මේ තියෙන අවදානම්ම කාර්යයක්. ඉහළ අහසේ තියෙන දැඩි සුළඟත් සමඟ පැරෂුට් පටළැවෙනවා. සීආර්ඩබ්ලිව් පුහුණුවීම් කළේ රත්මලානේ. දවසක් පුහුණුවීම්වලදී පාකිස්ථාන ජාතික සාජන් ෆාරුක් සහ මගේ පැරෂුට් එක පැටළුණා. බොහෝම අමාරුවෙන් පැටළුම් බේරගත්තා. ඒකට නිදහස්ආර පිමි සීය ගාණක් පැනලා පළපුරුදු අය පමණයි තෝරාගන්නෙ. ඒ වෙන කොට අපි එතරම් නිදහස්ආර පිමි ප්‍රමාණයක් පැනලා තිබුණෙ නෑ. අපට ආරක්ෂාව ගැනත් බොහෝ දේ ඉගැන්නුවා.“ ඔහු පවසන්නේය.
මේ වන විට සීආර්ඩබ්ලිව් පිම්ම යුද හමුදා පැරෂුට් කණ්ඩායමෙන් ගිලිහෙමින් තිබුණේ එවැනි පිමි පැනීමට දෙවැනි පෙළක් නිර්මාණය වී නොතිබීමෙනි. ඊට එක්තරා ආකාරයකින් සීආර්ඩබ්ලිව් පිම්මෙ තිබෙන අවදානම හේතු වූවාටද සැක නැත. එහෙත් යුද හමුදා පැරෂුට් විරුවන් එකිනෙකා අල්ලාගෙන රටා මැවීමට කිහිප විටෙකදීම උත්සාහ කර තිබිණි.
අනතුරුව වසර 20කට පසු සීආර්ඩබ්ලිව් පිම්මකින් ලක් පොළෝ තලයට පතිත වී තිබුණේ 2014 වසරේදියි. එවකට ඌව කුඩාඔය පැරෂුට් පුහුණු පාසලේ ප්‍රධාන උපදේශකව සිටි දැනට කොමාන්ඩෝ බළකායෙන් විශ්‍රාම ලබා සිටින මේජර් සිරන්ජීව සහ ෂැංග්‍රිලා හෝටලයෙන් බේස් ජම්ප් පිම්ම පිනූ සාජන් ප්‍රේමලාල් එක්ව කුඩාඔයදී සීආර්ඩබ්ලිව් පිම්ම පැන තිබුණේ ඔවුන් විසින්ම අධ්‍යයනය කරමින් පුහුණු වෙමිනි. මෙරට පැරෂුට් ඉතිහාසයේ නිදහස්ආර පිමි 1206ක් පනිමින් වැඩිම පැරෂුට් පිමි පිනූ පැරෂුට් විරුවා ලෙස සැලැකෙන මේජර් සිරන්ජීවය.
“ 2014 දී බ්‍රිගේඩියර් මධුර වික්‍රමරත්න මහතා ඔස්ට්‍රේලියන් සීආර්ඩබ්ලිව් පුහුණු අත්පොතක් සොයාගෙන ඒක මට බාර දුන්නා. ඒ පොතින් බලලා තමයි අපි ඉගෙන ගත්තේ. ඒ 2014 දෙසැම්බර් 16 වැනිදා අඩි දහදාහක් උඩ ඉඳන් කුඩාඔය පැරෂුට් පුහුණු පාසලේදී. එදා අපි දෙන්නා අඩි දහදාහේ ඉඳන් අඩි 1300 දක්වා සීආර්ඩබ්ලිව් මඟින් පහළට ආවා. පස්සෙ අපි දෙන්නා සමඟින් රණතුංග සහ බස්නායක ඇතුළු අපි කට්ටිය එකතු වෙලා සීආර්ඩබ්ලිව් සංදර්ශනයක් ඉදිරිපත් කළා රූපවාහිනී වැඩසටහනක් වෙනුවෙන්. ඉණිමඟ වගේ රටාවේ සියලු දෙනාම පාලනය කරන්නෙ උඩම කෙනා. සියලුම දේ ඉගැන්විය යුතුයි. එක දශමයක අතපසුවීමක් ඇති අනතුරක් වෙන්න. එවැනි දෙයක් තමයි කුමාරසිරිටත් වුණේ. ඔහු අවදානම ගණන් ගත්තෙ නැහැ කියලා හිතෙනවා. සිරංජීව පවසන්නේ තමා ලබා ඇති අත්දැකිම් ඇසුරෙනි.
පැරෂුට් පිමි ගැන හා ඒ පිළිබඳ හසල දැනුමක් ඇති ජෙනරල් ධර්මරත්න කියන්නේ මෙවැනි අදහසකි.
“2016 වන විට සීආර්ඩබ්ලිව් ගැන නිසි පුහුණුවක් අපේ අයට තිබුණේ නෑ. සිරන්ජීව ඇතුළු පිරිස යම් දෙයක් කළත් තාක්ෂණය, ආරක්ෂාව සහ අන්තර්ජාතික මට්ටමට අවශ්‍ය පුහුණුව තිබුණේ නෑ. පසුව අපි සීආර්ඩබ්ලිව් පුහුණුවට ලෝකයේ තිබෙන හොඳම ආයතනයකට ගියා. ඒ බ්‍රිතාන්‍යයේ බ්‍රිටිස් පැරා සංගමයට. ඩේව් නමැති උපදේශකයා තමයි පුහුණු කළේ. අවුරුදු 25කට පස්සෙ 2017 ගෝල්ෆේස් පිටියේ පැවැති නිදහස් උලෙළේදී සීආර්ඩබ්ලිව් ජම්ප් එක කර්නල් සුමාල් ඇතුළු පිරිස කළේ. මේ පිමිවලදී කොතරම් පුහුණුව ලැබුවත් ආරක්ෂාවට හැම විටම මුල්තැන දිය යුතුයි.“