
පාතාල අපරාධකරුවන් වැඩි හරියක් කප්පම් ගන්නේත් පාතාල අපරාධ මෙහෙයවන්නේත් හිරේ ඉඳන් නිදහසේ ජංගම දුරකතන භාවිතා කරමින් වූවත් පොලිස් සිරමැදිරිවල සිටින විශේෂ ගණයේ පාතාල අපරාධකරුවන්ද නිදහසේ ජංගම දුරකතන භාවිතා කරමින් පාතාල අපරාධවල නිරතව නොසිටිනවාම නොවේ. මාකඳුරේ මධුෂ් මෙයට පෙර ත්‍රස්ත විමර්ශන කොට්ටාසයේ රඳවා සිටියදී ඔහු ජංගම දුරකතනයක් භාවිතා කර තිබුණේ පොලිස් කොස්තාපල්වරයෙකුගේ සහාය ඇතිවය. එසේම මුස්ලිම් පාතාලයේ නව නායකයා යැයි සැලකෙන කංජිපානිද පසුගිය දිනවල කොළඹ අපරාධ කොට්ඨාස භාරයේ සිටියදී ජංගම දුරකතනයක් භාවිතා කරමින් මත්කුඩු ජාවාරම මෙහෙයවූ බවට චෝදනාවක්ද එල්ල වී ඇත්තේ උපන් දින සාදයට අමතරවය. කංජිපානි පොලිසි බාරයේ සිටිමින් ජංගම දුරකතනයක් භාවිතා කිරීම ගැන බුද්ධි අංශද සිටියේ ඇස ගසාගෙනය.
කංජිපානි පමණක් නොව, කොළඹ අපරාධ කොට්ඨාසභාරයට ගෙන වැල්ලවත්ත පොලිස් සිරමැදිරියේ රඳවා සිටි ගම්පහ පැත්තේ ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු වන මාකිලන්ගමුවේ සංජීවද නිදහසේ ජංගම දුරකතන භාවිතා කළ අයෙකි. ඔහු භාවිතා කළේ එක් ජංගම දුරකතනයක් පමණක් නොව, දුරකතන දෙකකි. ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙකුද වන මාකිලංගමුවේ සංජීව කොළඹ අපරාධ කොට්ඨාස භාරයට ගන්නේ ඉකුත් මාර්තුවේදීය. ඒ මැගසින් බන්ධනාගාරයේ සිටය. රිමාන්ඩ් සිරකරුවෙකු ලෙස මැගසින් බන්ධනාගාරයේ වසර කිහිපයක් තිස්සේම ඔහු රැඳී සිටියේ අධිකරණයෙන් ඇප මත නිදහස් කර තිබියදීය. ඇප නොගෙවා ඔහු ඇතුළේම සිටියේ එළියට යනවා වෙනුවට හිරේ රැඳීම ආරක්ෂාකාරී බව විශ්වාස කල බැවිනි.
සුමන්දිරන් ඝාතන සැලසුම
ජංගම දුරකතන නිදහසේ භාවිතා කරමින් මත්කුඩු ජාවාරම මෙන්ම මිනිස් ඝාතන රැසක්ද මෙහයවමින් සිටි මාකිලන්ගමුවේ සංජීව කොළඹ අපරාධ කොට්ඨාස භාරයට ගැනෙන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතිනි. ඒ අධිකරණයේද අවසරය ඇතිවය. මාකිලංගමුවේ සංජීව එසේ කොළඹ අපරාධ කොට්ඨාස බාරයට ගැනීමට මුල් වන්නේ ඔහු හිරේ සිටිමින් එල්.ටී.ටී.ඊ.යේ හිටපු සාමාජිකයින් පිරිසක් සමඟ අවි ජාවාරමේ නිරතවෙමින් ප්‍රභූ ඝාතනයකට අර අඳිමින් සිටි බැවිනි. සියල්ල ඔහු මෙහෙයවනු ලැබුවේ ජංගම දුරකතනයෙනි. ඒ බව හෙළි කගන්නේ රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් විසිනි.
අවි ජාවාරමට සහ ප්‍රභූ ඝාතනයට සූදානමින් සිටි මාකිලංගමුවේ සංජීවගේ ගෝලබාලයන් මෙන්ම එල්.ටී.ටී.ඊ.යේ හිටපු සාමාජිකයින් 12 දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් වේයන්ගොඩ පැත්තේදී අත්අඩංගුවට ගන්නේ රාජ්‍ය බුද්ධි සේවයේද සහාය ඇතිවය. ඔවුන්ගේ ඝාතන ඉලක්කය වූයේ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්ය. වන්නියේදී සුමන්තිරන් ඝාතනය කරන්නට ඔවුන් මුලින් සූදානම් වන්නේ ක්ලේමෝ බොම්බයක් පුපුරවා හරිමිනි. එම ක්ලේමෝ බෝම්බය පවා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සොයා ගත්තේය.
එම බෝම්බ ප්‍රහාරය වැළකී ගිය හොත් දෙවැනි සැලසුම වී තිබුණේ කොළඹදී සුමන්තිරන් මහතාට වෙඩි තබා ඝාතනය කරන්නටය. එම එල්.ටී.ටී.ඊ. ඝාතන කල්ලියට රැකවරණය ලැබුණේ මාකිලංගමුවේ සංජීවගෙනි. ඒ වෙනුවට මාකිලංගමුවේ සංජීවට ලැබී තිබුණේ උතුරේ වළ දැමූ එල්.ටී.ටී.ඊ.යේ ආයුධය. විමර්ශනවලින් හෙළි වී තිබුණු ආකාරයට අනුව එම ඝාතන සැලසුම පිටුපස සිටින්නේ එල්.ටී.ටී.ඊ.යේ ඩයස්පෝරාවය. එම කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ ස්විට්සරර්ලන්තයේ සහ ප්‍රංසයේ සිටය.
කුඩුකාර පොහොට්ටු පූසාරියා
රාජ්‍ය බුද්ධි සේවය සමඟ එක් වී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් අය අතර ඊ.පී.ඩී.පී.යේ හිටපු ප්‍රබල ක්‍රියාකාරිකයෙකු වන පූසාරියෙක්ද සිටියේය. නමින් ඔහු ගණපති කදිරවේලි හෙවත් සාමිය. යාපනයේ පදිංචිකරුවෙකු වන එම පූසාරි ඒ වන විට සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරිකයෙකු ලෙසිනි. පළාත් පාලන මැතිවරණයට ඔහු පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලීය. යාපනයේ තරුණයින්ට මත්කුඩු බෙදා හැරීමේ ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සිටි ඔහුද මත්කුඩු භාවිතයට ඇබ්බැහි වී සිටියෙකි.
මාකිලංගමුවේ සංජීව මෙන්ම මේ අය ද රඳවා තිබුවේ කොළඹ අපරාධ කොට්ඨාසයේය. මාකිලංගමුවේ සංජීව වැල්ලවත්ත පොලිසියේ සිර මැදිරියේ රඳවා තැබෙන්නේ වැඩි ආරක්ෂාවටය. ඒත් එක්කම එම කල්ලියට සම්බන්ධව සිටි තවත් පාතාල අපරාධ කරුවෙක් අත්අඩංගුවට ගෙන තිබිණි. ඔහු ගොත අසංකය. නාවික හමුදාවෙන් පලාවිත් සිටි සෙබළෙකු වන ගොත අසංක අතුරුගිරිය කේන්ද්‍ර කරගෙන පාකාල ක්‍රියාකාරකම්වල නිරතව සිටියෙකි. සමයංගේ ගෝලබාලයන් අතර ඉදිරියෙන්ම නම කියැවුණු අයෙක් වන ඔහු සමයංගෙන් පසු ඒ තැන ගන්නට මාන බැලූවෙකි. හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් යොදවා ඔහු අංගොඩ පැත්තේත් කඩුවෙල පැත්තේත් ඝාතන කිහිපයක්ද කර තිබිණි.
එල්.ටී.ටී.ඊ වෙඩික්කරුවෝ
ඒ අතර 2017 ජනවාරි 03 වැනිදා අංගොඩ කැලණිමුල්ලේ වූ රත්තරන්ගේ ඝාතනයද වෙයි. රත්තරන් නැමැත්තා අංගොඩ ලොක්කාගේ ගෝලයෙකි. එම ඝාතනයටද මුල පස් කොන්ත්‍රාත්තුවක් සම්බන්ධයෙන් වූ ආරවුලකි. අතුරුගිරියේ රූපලාවණ්‍යාගාරයක් තුළ ඝාතනයට ලක් වන බණ්ඩාගේ ඝාතනයටද එල්.ටී.ටී.ඊ. වෙඩික්කරුවන්ගේ සම්බන්ධයක් පැවැතිණි. ඒ සියල්ල හෙළි වන්නේ මාකිලංගමුවේ සංජීවගේ ගෝලබාලයන් සමඟ වේයන්ගොඩදී අත්අඩංගුවට ගත් එල්.ටී.ටී.ඊ සාමාජිකයින් කිහිප දෙනාගෙන් ප්‍රශ්න කිරීමේදීය. ඒ අය අතර එල්.ටී.ටී.ඊ.යේ වෙඩික්කරුවෙක් ද සිටියේය. ඔහු වේදන්ය.
වේදන් මෙහෙයවන ලද්දේ අප්පම්ය. උතුරේ තැන තැන වළ දමා ඇති අවි ආයුධ ගොඩගෙන සංජීවට දෙන්නේ ඔහුය. ඉකුත් ජනවාරි 01 වැනි දා රාත්‍රීයේ පුලියන්කුලමේ පූතූර් කෝවිල අසලදී පොලිසිය දැක පුද්ගලයෙකු විසි කර දමන අත්බෝම්බ හතරක් සහ මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සහිත පාර්සලය පවා සංජීවට දෙන්නට කොළඹට රැගෙන එන්නට සූදානම් කර තිබූවකි. එම ආයුධ පාර්සලය අතහැර එදා පලා යන්නේ අප්පම්ය. කොළඹ අපරාධ කොට්ඨාස අත්අඩංගුවේදී අප්පම් සහ වේදන් තවත් බොහෝ රහස් වැමෑරුවෝය. නිධන් ගොඩ ගැනීමට මෙන්ම උතුරේ වළදමා ඇති රත්රන් ගොඩ ගැනීමටද ඔවුන් උත්සහ දරා තිබිණි.
ගොත අසංක සහ සංජීව ගැන තොරතුරු හෙළි වන්නේ ඒ අයගෙනි. ඔවුන් දෙදෙනා කොළඹ අපරාධ කොට්ඨාස භාරයට ගන්නේ ඒ අනුවය. ගොත අසංකව රඳවා තැබෙන්නේ නාරාහේන්පිට පොලිසියේය. ඒ වන විට ගොත අසංක සිටින්නේ මාකිලංගමුවේ සංජීව සමඟ එක්ව මත්කුඩු ජාවාරමේ නිරතවය. මැගසින් බන්ධනාගාරයේද මේ දෙදෙනා සිටියේ එකම සිර මැදිරි සංකීර්ණයකය.
වැල්ලවත්ත පොලිසියෙන් බෝනස්
නාරාහේන්පිට පොලිසියේ රඳවා සිටි ගොත අසංකට බන්ධනාගාරයේදී මෙන් ජංගම දුරකතන භාවිතා කිරීමට අවස්ථාවක් හිමි නොවුණත් වැල්ලවත්ත පොලිසියේ සිර මැදිරියේ රඳවා සිටි මාකිලංගමුවේ සංජීවට ජංගම දුරකතන කිහිපයක්ම භාවිතා කරන්නට අවස්ථාව ලැබෙන්නේ දූෂිත පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුගේ ආශිර්වාදයෙනි. ජංම දුරකතන ඔහු සිර මැදිරියට ගෙන්වා ගන්නේ සැම්පු බෝතලයක් අස්සේ සගවාය. වැල්ලවත්ත පොලිසියයේ සිර මැදිරියේ ඔහු රඳවා සතියක් යන්නට මත්තෙන් එම සැම්පු බෝතලයේ සැගවුණු ජංගම දුරකතන දෙක ඔහු අතට පත් විය. එම ජංගම දුරකතන දෙකෙහි ඇති සිම්පත් දෙකට අමතරව විටෙන් විට ඔහුට ජංගම දුරකතන සිම්පත් රැසක්ම ලැබුණේය. එක දිගට ඔහු එකසිම් පතක් භාවිතා කළේ නැත. සිම්පත් විටෙන් විට මාරු කළේය. ඉතා සූක්ෂම ලෙසත් ආරක්ෂාකාරී ලෙසත් සංජීව ජංගම දුරකතන භාවිතා කළේය. ඉකුත් ජුනි 06 වැනිදා ජා -ඇළදී පත්අඬුවන අජිත් නැමැති පාතාලයේ අපරාධකරු ඝාතනය වන්නේද සංජීව පොලිස් සිරමැදිරියේ සිට ජංගම දුරකතනයෙන් කළ මෙහෙයුමකට අනුවය.
කළු අජිත් කාලයක් සංජීවගේ ගෝලයෙකි. හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙකුගේ සමීපතම සගයෙකු වූ උදම්මිට සමරේ වේයන්ගොඩ ගුවන් පාලම අසලදී ඝාතනය කිරීමේ චෝදනාව එල්ල වී තිබුණේ කළු අජිත්ටය. සංජීවගේ කොන්ත්‍රාත්තුවකට අනුව 2018 වසරේ අප්‍රේල් 08 වෙනිදා උඩුගම්පොලදී ගම්පහ පැත්තේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ඔස්මන් ගුණසේකර ඝාතනය කිරීමට ඔහු ගමන් කරමින් සිටි ජිප් රථයට වෙඩි තබන්නේද ඔහුය. එදා ඔස්මන්ගේ ජීවිතය බේරෙන්නේ සීරීම් තුවාලයක්වත් නැතිවය.
වැඩි කල් නොගොස් එම වෙඩි තැබීමට පත්අඬුවන අජිත් කොටු වන්නේ ප්‍රහාරයට යොදාගත් ටී 56 අවියද සමඟිනි. එහිදී ඔහු මාකිලංගමුවේ සංජීව ගැන වැමෑරුවේ පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේය. එතැන් සිට මාකිලංගමුවේ සංජීව සහ පත්අඬුවන අජිත් යනු එකෙක් නොව, දෙදෙනෙකි. අජිත් ජා- ඇළදී ඝාතනය වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසිණි.
සංජීවගේ ඔස්මන් ඝාතන සැලසුම්
පත්අඬුවන අජිත්ට පොලිස් සිරමැදිරියේ සිට කොකා ගැස්සූ මාකිලංගමුවේ සංජීව ඊළඟට ඉව අල්ලන්නේ ඔස්මන් ගුණසේකරටය. ඒ වන විටත් ඔස්මන් ඝාතනය කරන්නට මාකිලංගමුවේ සංජීව අවස්ථා කිහිපයක්ම උත්සාහ දරා තිබිණ. වරක් ඔස්මන් ඝාතනය කරන්නට සැලසුම් කරන්නේ ටී 56 අවි තුනකින් ඔහු ගමන් කරන ජිප් රථය වට කර වෙඩි තබාය. ගම්පහ පොලිසියට යාබද ඉඩමේ පදිංචි වී සිටින ඔස්මන් එදා එළියට බැස්සේ නම් සිදු වන්නේ වෙඩි කා මිය යන්නටය. සිය නිවස අවට සැරිසරන සැකකටයුතු මෝටර්රථයක් දුටු ඔහු එදා නිවසේම රැඳී සිටිමින් පොලිසියට ඔත්තුවක් දෙන්නේ එම මෝටර් රථයේ මත්කුඩු ඇතැයි කියාය. ඒ අනුව පොලිසිය එම මෝටර් රථය පස්සේ පැන්නුවේය. අවසානයේදී ඔවුන් පොලිසියෙන් බේරීමට මෝටර් රථය ගම්පහ රෝහල ඉදිරිපිට දමා පලා යන්නේ ඔස්මන්ට වෙඩි තැබීමට රැගෙන ආ ටී 56 අවි තුනද අතහැර දමාය.
අනතුරුව ඔහු මීරිගම පැත්තේදී ඔස්මන් ඝාතනය කරන්නට සැලසුම් කර ඇතැයි කියැවෙන්නේ එල්.ටී.ටී.ඊ වෙඩික්කරුවන් යොදාය. එම සැපසුමත් ව්‍යර්ථ වන්නේ ඔස්මන්ට ඒ ගැන කල්තියා සිය ඔත්තුකරුවන්ගෙන් තොරතුරු ලැබීම නිසා මීරිගම පැත්තේ නොගිය බැවිනි.
මාකිලංගමුවේ සංජීවගේ ඉලක්කයක් බවට ඔස්මන් ගුණසේකර එසේ පත්ව සිටින්නේ වෙන කිසිවක් නිසා නොව, ඔහු ගම්පහ නගර ආරක්ෂාකයා ලෙස පෙනී සිටින බැවිනි. මාකිලංගමුවේ සංජීවට සිය ගෝලයන් යොදා ගම්පහ පැත්තේ මත්කුඩු බෙදා හැරීමට ලොකුම බාධාවක් වී ඇත්තේ ඔස්මන්ය. ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගැනීමට සංජීවට ඉඩක් ලැබී නැත්තේද ඔස්මන් නිසා බව සදහන්ය. සංජීවගේ ඉලක්කය ඔස්මන්ය. වැල්ලවත්ත පොලිස් සිරමැදිරියේ සිට ඔහු ඔස්මන්ට කුරුමානම් අල්ලන්නේ ඒ බැවිනි. තමාගෙන් ප්‍රශ්න කිරීමට එන පොලිස් නිධාරීන් ඉදිරියේ පවා දත්මිටිකමින් මේසයට මිට මොළවා පහරදෙමින් ඔස්මන්ට යහතින් ඉන්නට නොදෙන බව සඳහන් කරන්නේ ද ඒ නිසාය.
මාසයක් දෙකක් තිස්සේම සංජීව පොලිස් සිරමැදිරියේ සිට ඔස්මන්ට කුරුමානම් ඇල්ලුවේය. ඒ බව ඔස්මන්ගේ කන වැකෙන්නට එතරම් කාලයක් ගත නොවීය. ඒ තමාගේ ජීවිතය ඩැහැගැනීමට මාන බලන සංජීව ගැන නිරන්තරයෙන් ඔස්මන්ද ඇස ගසාගෙන සිටින බැවිනි. වැල්ලවත්ත පොලිස් සිර මැදිරියේ රඳවා සිටින සංජීව සතුව ජංගම දුරකතනයක් ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙකුට තොරතුරක් ලැබෙන්නේ ඒත් එක්කමය.
මාකිලංගමුවේ සංජීව රඳවා සිටි වැල්ලවත්ත පොලිස් සිරමැදිරිය කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක් වන්නේත් සිරමැදිරියේ වැසිකිළියේ ටයිල් කැටයක් ඉවත් කර ඉතා සූක්ෂම ලෙස සඟවා තිබුණේ යැයි සඳහන් ජංගම දුරකතන දෙකක් හමු වන්නේත් ඒ අනුවය. ජංගම දුරකතන සිම්පත් 09ක්ම තිබුණේ ඔහුගේ කලිසම් බඳ පටියේ සඟවාය.
බන්ධනාගාර සිරමැදිරියේ සිටියත් පොලිස් සිරමැදිරියේ සිටියත් රටින් පලාගොස් සිටියත් පාතාලයේ අපරාධකරුවන්ට ගේම් ගසන්නට ජංගම දුරකතනය පමණක් ප්රමාණවත්ය. ඒ සඳහා ඔවුන්ට තැනක් නොතැනක් නැත. බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර් තෙන්නකෝන් ඝාතනය සිදුවන්නේ බන්ධානාගරයේ සිටය. විමර්ශනවලින් හෙළි වී ඇති ආකාරයට අනුව එම ඝාතනය පිටුපස සිටින්නේ හික්කඩුව පැත්තේ නම ගිය පාතාලයේ ප්‍රබල අපරාධකරුවෙකු වන පොඩි ලැසී සහ කරන්දෙණියේ සුද්දාය. ඒ දෙන්නාම සිටින්නේ බන්ධනාගාරයේය. හිරේ ඉඳන් ඔවුන් සිය ගෝලයන් යොදා ජේලර්වරයාට වෙඩි පත්තු කරන්නේ ජංගම දුරකතනයේ පිහිටෙනි. එම අපරාධකරුවන් දෙදෙනාට ජේලර් ඝාතනයේ කොන්ත්‍රාත්තුව ලැබී ඇතැයි කියැවෙන්නේද බන්ධනාගාරයේම ලොක්කෙකුගෙනි. ඒ ලොක්කා ගැනද මේ වන විට බොහෝ තොරතුරු හෙළි වෙමින් ඇතත් ඔහුට අත තබන්නට තවමත් බැරි වී ඇත්තේ දේශපාලන හයිය නිසාය.