පොලිස් සිර­මැ­දි­රි­වල සිට ජංගම දුර­ක­ත­න­යෙන් මරණ සහ­තික නිකුත් කරන මිනීමරුවෝ | Page 4 | සිළුමිණ

පොලිස් සිර­මැ­දි­රි­වල සිට ජංගම දුර­ක­ත­න­යෙන් මරණ සහ­තික නිකුත් කරන මිනීමරුවෝ

පාතාල අප­රා­ධ­ක­රු­වන් වැඩි හරි­යක් කප්පම් ගන්නේත් පාතාල අප­රාධ මෙහෙ­ය­ව­න්නේත් හිරේ ඉඳන් නිද­හසේ ජංගම දුර­ක­තන භාවිතා කර­මින් වූවත් පොලිස් සිර­මැ­දි­රි­වල සිටින විශේෂ ගණයේ පාතාල අප­රා­ධ­ක­රු­වන්ද නිද­හසේ ජංගම දුර­ක­තන භාවිතා කර­මින් පාතාල අප­රා­ධ­වල නිර­තව නොසි­ටි­න­වාම නොවේ. මාක­ඳුරේ මධුෂ් මෙයට පෙර ත්‍රස්ත විම­ර්ශන කොට්ටා­සයේ රඳවා සිටි­යදී ඔහු ජංගම දුර­ක­ත­න­යක් භාවිතා කර තිබුණේ පොලිස් කොස්තා­ප­ල්ව­ර­යෙ­කුගේ සහාය ඇති­වය. එසේම මුස්ලිම් පාතා­ලයේ නව නාය­කයා යැයි සැල­කෙන කංජි­පා­නිද පසු­ගිය දින­වල කොළඹ අප­රාධ කොට්ඨාස භාරයේ සිටි­යදී ජංගම දුර­ක­ත­න­යක් භාවිතා කර­මින් මත්කුඩු ජාවා­රම මෙහෙ­යවූ බවට චෝද­නා­වක්ද එල්ල වී ඇත්තේ උපන් දින සාද­යට අම­ත­ර­වය. කංජි­පානි පොලිසි බාරයේ සිටි­මින් ජංගම දුර­ක­ත­න­යක් භාවිතා කිරීම ගැන බුද්ධි අංශද සිටියේ ඇස ගසා­ගෙ­නය.

කංජි­පානි පම­ණක් නොව, කොළඹ අප­රාධ කොට්ඨා­ස­භා­ර­යට ගෙන වැල්ල­වත්ත පොලිස් සිර­මැ­දි­රියේ රඳවා සිටි ගම්පහ පැත්තේ ප්‍රබල පාතාල කල්ලි නාය­ක­යෙකු වන මාකි­ල­න්ග­මුවේ සංජී­වද නිද­හසේ ජංගම දුර­ක­තන භාවිතා කළ අයෙකි. ඔහු භාවිතා කළේ එක් ජංගම දුර­ක­ත­න­යක් පම­ණක් නොව, දුර­ක­තන දෙකකි. ප්‍රබල මත්කුඩු ජාවා­ර­ම්ක­රු­වෙ­කුද වන මාකි­ලං­ග­මුවේ සංජීව කොළඹ අප­රාධ කොට්ඨාස භාර­යට ගන්නේ ඉකුත් මාර්තු­වේ­දීය. ඒ මැග­සින් බන්ධ­නා­ගා­රයේ සිටය. රිමාන්ඩ් සිර­ක­රු­වෙකු ලෙස මැග­සින් බන්ධ­නා­ගා­රයේ වසර කිහි­ප­යක් තිස්සේම ඔහු රැඳී සිටියේ අධි­ක­ර­ණ­යෙන් ඇප මත නිද­හස් කර තිබි­ය­දීය. ඇප නොගෙවා ඔහු ඇතු­ළේම සිටියේ එළි­යට යනවා වෙනු­වට හිරේ රැඳීම ආර­ක්ෂා­කාරී බව විශ්වාස කල බැවිනි.

සුම­න්දි­රන් ඝාතන සැල­සුම

ජංගම දුර­ක­තන නිද­හසේ භාවිතා කර­මින් මත්කුඩු ජාවා­රම මෙන්ම මිනිස් ඝාතන රැසක්ද මෙහ­ය­ව­මින් සිටි මාකි­ල­න්ග­මුවේ සංජීව කොළඹ අප­රාධ කොට්ඨාස භාර­යට ගැනෙන්නේ ත්‍රස්ත­වා­දය වැළැ­ක්වීමේ පන­තිනි. ඒ අධි­ක­ර­ණ­යේද අව­ස­රය ඇති­වය. මාකි­ලං­ග­මුවේ සංජීව එසේ කොළඹ අප­රාධ කොට්ඨාස බාර­යට ගැනී­මට මුල් වන්නේ ඔහු හිරේ සිටි­මින් එල්.ටී.ටී.ඊ.යේ හිටපු සාමා­ජි­ක­යින් පිරි­සක් සමඟ අවි ජාවා­රමේ නිර­ත­වෙ­මින් ප්‍රභූ ඝාත­න­ය­කට අර අඳි­මින් සිටි බැවිනි. සියල්ල ඔහු මෙහෙ­ය­වනු ලැබුවේ ජංගම දුර­ක­ත­න­යෙනි. ඒ බව හෙළි කගන්නේ රාජ්‍ය බුද්ධි සේවයේ නිල­ධා­රීන් විසිනි.

අවි ජාවා­ර­මට සහ ප්‍රභූ ඝාත­න­යට සූදා­න­මින් සිටි මාකි­ලං­ග­මුවේ සංජී­වගේ ගෝල­බා­ල­යන් මෙන්ම එල්.ටී.ටී.ඊ.යේ හිටපු සාමා­ජි­ක­යින් 12 දෙනෙකු කොළඹ අප­රාධ කොට්ඨා­සයේ නිල­ධා­රීන් වේය­න්ගොඩ පැත්තේදී අත්අ­ඩං­ගු­වට ගන්නේ රාජ්‍ය බුද්ධි සේව­යේද සහාය ඇති­වය. ඔවුන්ගේ ඝාතන ඉල­ක්කය වූයේ දෙමළ ජාතික සන්ධා­නයේ පාර්ලි­මේන්තු මන්ත්‍රී එම්.ඒ. සුම­න්ති­රන්ය. වන්නි­යේදී සුම­න්ති­රන් ඝාත­නය කර­න්නට ඔවුන් මුලින් සූදා­නම් වන්නේ ක්ලේමෝ බොම්බ­යක් පුපු­රවා හරි­මිනි. එම ක්ලේමෝ බෝම්බය පවා කොළඹ අප­රාධ කොට්ඨා­සයේ නිල­ධා­රීන් විසින් සොයා ගත්තේය.

එම බෝම්බ ප්‍රහා­රය වැළකී ගිය හොත් දෙවැනි සැල­සුම වී තිබුණේ කොළ­ඹදී සුම­න්ති­රන් මහ­තාට වෙඩි තබා ඝාත­නය කර­න්න­ටය. එම එල්.ටී.ටී.ඊ. ඝාතන කල්ලි­යට රැක­ව­ර­ණය ලැබුණේ මාකි­ලං­ග­මුවේ සංජී­ව­ගෙනි. ඒ වෙනු­වට මාකි­ලං­ග­මුවේ සංජී­වට ලැබී තිබුණේ උතුරේ වළ දැමූ එල්.ටී.ටී.ඊ.යේ ආයු­ධය. විම­ර්ශ­න­ව­ලින් හෙළි වී තිබුණු ආකා­ර­යට අනුව එම ඝාතන සැල­සුම පිටු­පස සිටින්නේ එල්.ටී.ටී.ඊ.යේ ඩය­ස්පෝ­රා­වය. එම කණ්ඩා­යම මෙහෙ­ය­වනු ලැබුවේ ස්විට්ස­ර­ර්ල­න්තයේ සහ ප්‍රංසයේ සිටය.

කුඩු­කාර පොහොට්ටු පූසා­රියා

රාජ්‍ය බුද්ධි සේවය සමඟ එක් වී කොළඹ අප­රාධ කොට්ඨා­සය විසින් අත්අ­ඩං­ගු­වට ගත් අය අතර ඊ.පී.ඩී.පී.යේ හිටපු ප්‍රබල ක්‍රියා­කා­රි­ක­යෙකු වන පූසා­රි­යෙක්ද සිටි­යේය. නමින් ඔහු ගණ­පති කදි­ර­වේලි හෙවත් සාමිය. යාප­නයේ පදිං­චි­ක­රු­වෙකු වන එම පූසාරි ඒ වන විට සිටියේ ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ ක්‍රියා­කා­රි­ක­යෙකු ලෙසිනි. පළාත් පාලන මැති­ව­ර­ණ­යට ඔහු පොහො­ට්ටු­වෙන් ඡන්දය ඉල්ලීය. යාප­නයේ තරු­ණ­යින්ට මත්කුඩු බෙදා හැරීමේ ප්‍රධා­නියා ලෙස කට­යුතු කර­මින් සිටි ඔහුද මත්කුඩු භාවි­ත­යට ඇබ්බැහි වී සිටි­යෙකි.

මාකි­ලං­ග­මුවේ සංජීව මෙන්ම මේ අය ද රඳවා තිබුවේ කොළඹ අප­රාධ කොට්ඨා­ස­යේය. මාකි­ලං­ග­මුවේ සංජීව වැල්ල­වත්ත පොලි­සියේ සිර මැදි­රියේ රඳවා තැබෙන්නේ වැඩි ආර­ක්ෂා­ව­ටය. ඒත් එක්කම එම කල්ලි­යට සම්බ­න්ධව සිටි තවත් පාතාල අප­රාධ කරු­වෙක් අත්අ­ඩං­ගු­වට ගෙන තිබිණි. ඔහු ගොත අසං­කය. නාවික හමු­දා­වෙන් පලා­විත් සිටි සෙබ­ළෙකු වන ගොත අසංක අතු­රු­ගි­රිය කේන්ද්‍ර කර­ගෙන පාකාල ක්‍රියා­කා­ර­ක­ම්වල නිර­තව සිටි­යෙකි. සම­යංගේ ගෝල­බා­ල­යන් අතර ඉදි­රි­යෙන්ම නම කියැ­වුණු අයෙක් වන ඔහු සම­යං­ගෙන් පසු ඒ තැන ගන්නට මාන බැලූ­වෙකි. හිටපු එල්.ටී.ටී.ඊ. සාමා­ජි­ක­යන් යොදවා ඔහු අංගොඩ පැත්තේත් කඩු­වෙල පැත්තේත් ඝාතන කිහි­ප­යක්ද කර තිබිණි.

එල්.ටී.ටී.ඊ වෙඩි­ක්ක­රුවෝ

ඒ අතර 2017 ජන­වාරි 03 වැනිදා අංගොඩ කැල­ණි­මුල්ලේ වූ රත්ත­රන්ගේ ඝාත­න­යද වෙයි. රත්ත­රන් නැමැත්තා අංගොඩ ලොක්කාගේ ගෝල­යෙකි. එම ඝාත­න­ය­ටද මුල පස් කොන්ත්‍රා­ත්තු­වක් සම්බ­න්ධ­යෙන් වූ ආර­වු­ලකි. අතු­රු­ගි­රියේ රූප­ලා­ව­ණ්‍යා­ගා­ර­යක් තුළ ඝාත­න­යට ලක් වන බණ්ඩාගේ ඝාත­න­ය­ටද එල්.ටී.ටී.ඊ. වෙඩි­ක්ක­රු­වන්ගේ සම්බ­න්ධ­යක් පැවැ­තිණි. ඒ සියල්ල හෙළි වන්නේ මාකි­ලං­ග­මුවේ සංජී­වගේ ගෝල­බා­ල­යන් සමඟ වේය­න්ගො­ඩදී අත්අ­ඩං­ගු­වට ගත් එල්.ටී.ටී.ඊ සාමා­ජි­ක­යින් කිහිප දෙනා­ගෙන් ප්‍රශ්න කිරී­මේ­දීය. ඒ අය අතර එල්.ටී.ටී.ඊ.යේ වෙඩි­ක්ක­රු­වෙක් ද සිටි­යේය. ඔහු වේදන්ය.

වේදන් මෙහෙ­ය­වන ලද්දේ අප්පම්ය. උතුරේ තැන තැන වළ දමා ඇති අවි ආයුධ ගොඩ­ගෙන සංජී­වට දෙන්නේ ඔහුය. ඉකුත් ජන­වාරි 01 වැනි දා රාත්‍රීයේ පුලි­ය­න්කු­ලමේ පූතූර් කෝවිල අස­ලදී පොලි­සිය දැක පුද්ග­ල­යෙකු විසි කර දමන අත්බෝම්බ හත­රක් සහ මයික්‍රෝ වර්ගයේ පිස්තෝ­ල­යක් සහිත පාර්ස­ලය පවා සංජී­වට දෙන්නට කොළ­ඹට රැගෙන එන්නට සූදා­නම් කර තිබූ­වකි. එම ආයුධ පාර්ස­ලය අත­හැර එදා පලා යන්නේ අප්පම්ය. කොළඹ අප­රාධ කොට්ඨාස අත්අ­ඩං­ගු­වේදී අප්පම් සහ වේදන් තවත් බොහෝ රහස් වැමෑ­රු­වෝය. නිධන් ගොඩ ගැනී­මට මෙන්ම උතුරේ වළ­දමා ඇති රත්‍රන් ගොඩ ගැනී­ම­ටද ඔවුන් උත්සහ දරා තිබිණි.

ගොත අසංක සහ සංජීව ගැන තොර­තුරු හෙළි වන්නේ ඒ අය­ගෙනි. ඔවුන් දෙදෙනා කොළඹ අප­රාධ කොට්ඨාස භාර­යට ගන්නේ ඒ අනු­වය. ගොත අසං­කව රඳවා තැබෙන්නේ නාරා­හේ­න්පිට පොලි­සි­යේය. ඒ වන විට ගොත අසංක සිටින්නේ මාකි­ලං­ග­මුවේ සංජීව සමඟ එක්ව මත්කුඩු ජාවා­රමේ නිර­ත­වය. මැග­සින් බන්ධ­නා­ගා­ර­යේද මේ දෙදෙනා සිටියේ එකම සිර මැදිරි සංකී­ර්ණ­ය­කය.

වැල්ල­වත්ත පොලි­සි­යෙන් බෝනස්

නාරා­හේ­න්පිට පොලි­සියේ රඳවා සිටි ගොත අසං­කට බන්ධ­නා­ගා­ර­යේදී මෙන් ජංගම දුර­ක­තන භාවිතා කිරී­මට අව­ස්ථා­වක් හිමි නොවු­ණත් වැල්ල­වත්ත පොලි­සියේ සිර මැදි­රියේ රඳවා සිටි මාකි­ලං­ග­මුවේ සංජී­වට ජංගම දුර­ක­තන කිහි­ප­යක්ම භාවිතා කර­න්නට අව­ස්ථාව ලැබෙන්නේ දූෂිත පොලිස් නිල­ධා­රීන් කිහිප දෙනෙ­කුගේ ආශි­ර්වා­ද­යෙනි. ජංම දුර­ක­තන ඔහු සිර මැදි­රි­යට ගෙන්වා ගන්නේ සැම්පු බෝත­ල­යක් අස්සේ සග­වාය. වැල්ල­වත්ත පොලි­සි­යයේ සිර මැදි­රියේ ඔහු රඳවා සති­යක් යන්නට මත්තෙන් එම සැම්පු බෝත­ලයේ සැග­වුණු ජංගම දුර­ක­තන දෙක ඔහු අතට පත් විය. එම ජංගම දුර­ක­තන දෙකෙහි ඇති සිම්පත් දෙකට අම­ත­රව විටෙන් විට ඔහුට ජංගම දුර­ක­තන සිම්පත් රැසක්ම ලැබු­ණේය. එක දිගට ඔහු එක­සිම් පතක් භාවිතා කළේ නැත. සිම්පත් විටෙන් විට මාරු කළේය. ඉතා සූක්ෂම ලෙසත් ආර­ක්ෂා­කාරී ලෙසත් සංජීව ජංගම දුර­ක­තන භාවිතා කළේය. ඉකුත් ජුනි 06 වැනිදා ජා -ඇළදී පත්අ­ඬු­වන අජිත් නැමැති පාතා­ලයේ අප­රා­ධ­කරු ඝාත­නය වන්නේද සංජීව පොලිස් සිර­මැ­දි­රියේ සිට ජංගම දුර­ක­ත­න­යෙන් කළ මෙහෙ­යු­ම­කට අනු­වය.

කළු අජිත් කාල­යක් සංජී­වගේ ගෝල­යෙකි. හිටපු නියෝජ්‍ය ඇම­ති­ව­ර­යෙ­කුගේ සමී­ප­තම සග­යෙකු වූ උද­ම්මිට සමරේ වේය­න්ගොඩ ගුවන් පාලම අස­ලදී ඝාත­නය කිරීමේ චෝද­නාව එල්ල වී තිබුණේ කළු අජි­ත්ටය. සංජී­වගේ කොන්ත්‍රා­ත්තු­ව­කට අනුව 2018 වසරේ අප්‍රේල් 08 වෙනිදා උඩු­ග­ම්පො­ලදී ගම්පහ පැත්තේ ප්‍රකට ව්‍යාපා­රි­ක­යෙකු වන ඔස්මන් ගුණ­සේ­කර ඝාත­නය කිරී­මට ඔහු ගමන් කර­මින් සිටි ජිප් රථ­යට වෙඩි තබ­න්නේද ඔහුය. එදා ඔස්මන්ගේ ජීවි­තය බේරෙන්නේ සීරීම් තුවා­ල­ය­ක්වත් නැති­වය.

වැඩි කල් නොගොස් එම වෙඩි තැබී­මට පත්අ­ඬු­වන අජිත් කොටු වන්නේ ප්‍රහා­ර­යට යොදා­ගත් ටී 56 අවි­යද සම­ඟිනි. එහිදී ඔහු මාකි­ලං­ග­මුවේ සංජීව ගැන වැමෑ­රුවේ පොලිස් ප්‍රශ්න කිරීම් හමු­වේය. එතැන් සිට මාකි­ලං­ග­මුවේ සංජීව සහ පත්අ­ඬු­වන අජිත් යනු එකෙක් නොව, දෙදෙ­නෙකි. අජිත් ජා- ඇළදී ඝාත­නය වන්නේ එහි ප්‍රති­ඵ­ල­යක් ලෙසිණි.

සංජී­වගේ ඔස්මන් ඝාතන සැල­සුම්

පත්අ­ඬු­වන අජිත්ට පොලිස් සිර­මැ­දි­රියේ සිට කොකා ගැස්සූ මාකි­ලං­ග­මුවේ සංජීව ඊළ­ඟට ඉව අල්ලන්නේ ඔස්මන් ගුණ­සේ­ක­ර­ටය. ඒ වන විටත් ඔස්මන් ඝාත­නය කර­න්නට මාකි­ලං­ග­මුවේ සංජීව අවස්ථා කිහි­ප­යක්ම උත්සාහ දරා තිබිණ. වරක් ඔස්මන් ඝාත­නය කර­න්නට සැල­සුම් කරන්නේ ටී 56 අවි තුන­කින් ඔහු ගමන් කරන ජිප් රථය වට කර වෙඩි තබාය. ගම්පහ පොලි­සි­යට යාබද ඉඩමේ පදිංචි වී සිටින ඔස්මන් එදා එළි­යට බැස්සේ නම් සිදු වන්නේ වෙඩි කා මිය යන්න­ටය. සිය නිවස අවට සැරි­ස­රන සැක­ක­ට­යුතු මෝට­ර්ර­ථ­යක් දුටු ඔහු එදා නිව­සේම රැඳී සිටි­මින් පොලි­සි­යට ඔත්තු­වක් දෙන්නේ එම මෝටර් රථයේ මත්කුඩු ඇතැයි කියාය. ඒ අනුව පොලි­සිය එම මෝටර් රථය පස්සේ පැන්නු­වේය. අව­සා­න­යේදී ඔවුන් පොලි­සි­යෙන් බේරී­මට මෝටර් රථය ගම්පහ රෝහල ඉදි­රි­පිට දමා පලා යන්නේ ඔස්මන්ට වෙඩි තැබී­මට රැගෙන ආ ටී 56 අවි තුනද අත­හැර දමාය.

අන­තු­රුව ඔහු මීරි­ගම පැත්තේදී ඔස්මන් ඝාත­නය කර­න්නට සැල­සුම් කර ඇතැයි කියැ­වෙන්නේ එල්.ටී.ටී.ඊ වෙඩි­ක්ක­රු­වන් යොදාය. එම සැප­සු­මත් ව්‍යර්ථ වන්නේ ඔස්මන්ට ඒ ගැන කල්තියා සිය ඔත්තු­ක­රු­ව­න්ගෙන් තොර­තුරු ලැබීම නිසා මීරි­ගම පැත්තේ නොගිය බැවිනි.

මාකි­ලං­ග­මුවේ සංජී­වගේ ඉල­ක්ක­යක් බවට ඔස්මන් ගුණ­සේ­කර එසේ පත්ව සිටින්නේ වෙන කිසි­වක් නිසා නොව, ඔහු ගම්පහ නගර ආර­ක්ෂා­කයා ලෙස පෙනී සිටින බැවිනි. මාකි­ලං­ග­මුවේ සංජී­වට සිය ගෝල­යන් යොදා ගම්පහ පැත්තේ මත්කුඩු බෙදා හැරී­මට ලොකුම බාධා­වක් වී ඇත්තේ ඔස්මන්ය. ව්‍යාපා­රි­ක­ය­න්ගෙන් කප්පම් ගැනී­මට සංජී­වට ඉඩක් ලැබී නැත්තේද ඔස්මන් නිසා බව සද­හන්ය. සංජී­වගේ ඉල­ක්කය ඔස්මන්ය. වැල්ල­වත්ත පොලිස් සිර­මැ­දි­රියේ සිට ඔහු ඔස්මන්ට කුරු­මා­නම් අල්ලන්නේ ඒ බැවිනි. තමා­ගෙන් ප්‍රශ්න කිරී­මට එන පොලිස් නිධා­රීන් ඉදි­රියේ පවා දත්මි­ටි­ක­මින් මේස­යට මිට මොළවා පහ­ර­දෙ­මින් ඔස්මන්ට යහ­තින් ඉන්නට නොදෙන බව සඳ­හන් කරන්නේ ද ඒ නිසාය.

මාස­යක් දෙකක් තිස්සේම සංජීව පොලිස් සිර­මැ­දි­රියේ සිට ඔස්මන්ට කුරු­මා­නම් ඇල්ලු­වේය. ඒ බව ඔස්මන්ගේ කන වැකෙ­න්නට එත­රම් කාල­යක් ගත නොවීය. ඒ තමාගේ ජීවි­තය ඩැහැ­ගැ­නී­මට මාන බලන සංජීව ගැන නිර­න්ත­ර­යෙන් ඔස්මන්ද ඇස ගසා­ගෙන සිටින බැවිනි. වැල්ල­වත්ත පොලිස් සිර මැදි­රියේ රඳවා සිටින සංජීව සතුව ජංගම දුර­ක­ත­න­යක් ඇතැයි කොළඹ අප­රාධ කොට්ඨා­සයේ නිල­ධා­රි­යෙ­කුට තොර­තු­රක් ලැබෙන්නේ ඒත් එක්ක­මය.

මාකි­ලං­ග­මුවේ සංජීව රඳවා සිටි වැල්ල­වත්ත පොලිස් සිර­මැ­දි­රිය කොළඹ අප­රාධ කොට්ඨා­සයේ නිල­ධා­රීන්ගේ පරී­ක්ෂා­වට ලක් වන්නේත් සිර­මැ­දි­රියේ වැසි­කි­ළියේ ටයිල් කැට­යක් ඉවත් කර ඉතා සූක්ෂම ලෙස සඟවා තිබුණේ යැයි සඳ­හන් ජංගම දුර­ක­තන දෙකක් හමු වන්නේත් ඒ අනු­වය. ජංගම දුර­ක­තන සිම්පත් 09ක්ම තිබුණේ ඔහුගේ කලි­සම් බඳ පටියේ සඟ­වාය.

බන්ධ­නා­ගාර සිර­මැ­දි­රියේ සිටි­යත් පොලිස් සිර­මැ­දි­රියේ සිටි­යත් රටින් පලා­ගොස් සිටි­යත් පාතා­ලයේ අප­රා­ධ­ක­රු­වන්ට ගේම් ගස­න්නට ජංගම දුර­ක­ත­නය පම­ණක් ප්‍රමා­ණ­වත්ය. ඒ සඳහා ඔවුන්ට තැනක් නොතැ­නක් නැත. බන්ධ­නා­ගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර් තෙන්න­කෝන් ඝාත­නය සිදු­වන්නේ බන්ධා­නා­ග­රයේ සිටය. විම­ර්ශ­න­ව­ලින් හෙළි වී ඇති ආකා­ර­යට අනුව එම ඝාත­නය පිටු­පස සිටින්නේ හික්ක­ඩුව පැත්තේ නම ගිය පාතා­ලයේ ප්‍රබල අප­රා­ධ­ක­රු­වෙකු වන පොඩි ලැසී සහ කර­න්දෙ­ණියේ සුද්දාය. ඒ දෙන්නාම සිටින්නේ බන්ධ­නා­ගා­ර­යේය. හිරේ ඉඳන් ඔවුන් සිය ගෝල­යන් යොදා ජේල­ර්ව­ර­යාට වෙඩි පත්තු කරන්නේ ජංගම දුර­ක­ත­නයේ පිහි­ටෙනි. එම අප­රා­ධ­ක­රු­වන් දෙදෙ­නාට ජේලර් ඝාත­නයේ කොන්ත්‍රා­ත්තුව ලැබී ඇතැයි කියැ­වෙ­න්නේද බන්ධ­නා­ගා­ර­යේම ලොක්කෙ­කු­ගෙනි. ඒ ලොක්කා ගැනද මේ වන විට බොහෝ තොර­තුරු හෙළි වෙමින් ඇතත් ඔහුට අත තබ­න්නට තව­මත් බැරි වී ඇත්තේ දේශ­පා­ලන හයිය නිසාය. ‍

Comments