බම්බ­ල­පි­ටි­යේදී පව­ත්වන බෝරා සමු­ළුව | Page 2 | සිළුමිණ

බම්බ­ල­පි­ටි­යේදී පව­ත්වන බෝරා සමු­ළුව

 

බෝරා ගෝලීය සම්මේ­ල­නය මේ වසරේ පැවැ­ත්වෙන්නේ ශ්‍රී ලංකාවේ ය. එය සැප්තැ­ම්බර් 02 (හෙට) සිට සැප්තැ­ම්බර් 12 වැනි දා දක්වා පැවැ­ත්වෙනු ඇත. බම්බ­ල­පි­ටිය දුම්රිය ස්ථානය ආස­න්නයේ පිහිටි බෝරා පල්ලියේ පැවැ­ත්වෙන එම සම්මේ­ල­න­යට බෝරා­ව­රුන්ගේ ජීව­මාන ආග­මික නාය­කයා වන “සෙයි­යද්නා” ඉන්දි­යාවේ සිට මෙර­ටට සැප­ත්වූයේ 28 වැනි බදාදා ය. ඔහු 53 වැනි සෙයි­යද්නා වේ. සෙයි­යද්නා යනු මහා ස්වාමී­න්ව­හන්සේ යන අර්ථ­යට සමාන වච­න­යකි.

 

වාර්ෂි­කව පැවැ­ත්වෙන බෝරා ගෝලීය සම්මේ­ල­න­යට රට­වල් 40 කින් බෝරා­ව­රුන් 30,000කට ආසන්න පිරි­සක් සහ­භාගී වීමට නිය­මි­තය. එබැ­වින් මේ දින කිහි­පය තුළ මීග­මුව සිට ගල්කිස්ස දක්වා ප්‍රදේ­ශයේ බෝරා­ව­රුන් නිර­න්ත­ර­යෙන් දැක ගත හැකි වනු ඇත.

බෝරා­ව­රුන්ගේ ආග­මික සමු­ළුව නිමි­ත්තෙන් මෙර­ටට ඔවුන් තිස් දහස් ගණ­නින් ළඟා වුවද බෝරා­ව­රුන්ගේ ශ්‍රී ලංකා ආග­ම­නය සිද්ධ වූයේ “ජැෆර්ජි ඊසාජි” යන එක් වෙළෙ­න්ද­කු­ගෙනි. ඒ ක්‍රි.ව. 1830 දීය. බට­හිර ඉන්දි­යාවේ මානවී නම් වරායේ සිට මාල­දි­ව­යින බලා යාත්‍රා කළ වෙළෙඳ නෞකා­වක් කුණා­ටු­ව­කට හසු වී ගාලු වරා­යට පැමි­ණී­මත් සමඟ “ජැෆර්ජි ඊසාජි” ලංකා­වට පැමි­ණි­යේය.

53 වැනි සෙයි­ය­ද්නා­තුමා වන
මුෆා­ද්දල් සෙයි­ෆු­ද්දීන්

ඉන්දි­යාවේ සහල් මාල­දි­ව­යි­නට ගෙන යෑමත් මාල­දි­ව­යිනේ කර­වල ඉන්දි­යා­වට ගෙන ඒමත් සිදු කළ එම බෝරා ජාතික වෙළෙන්දා ගාල්ලේ සිට සිය වෙළ­ඳාම ඇර­ඹුවේ වෙළ­ඳාම ඔවුන්ගේ ජාන­ව­ලට කා වැදී තිබූ නිසා විය යුතුය. ඇත්ත වශ­යෙන්ම අතී­තයේ විසූ බෝරා­ව­රුන් අයත් වූයේ හින්දු ජන ප්‍රජා­ව­ටය. ඔවුන්ගේ නිජ­බිම වූයේ ඉන්දි­යාවේ ගුජ­රා­ට­යයි. වෙ‌ෙළඳ කට­යු­තු­වල නිරත හින්දු ජන ප්‍රජාව එකල හැඳි­න්වූයේ “වොහොරා” යන නමිනි. එහෙත් 11 වැනි ශත වර්ෂ­යේදී යේම­න­යෙන් සහ ඊජි­ත්තු­වෙන් පැමිණි ෂියා මුස්ලිම් පූජ­ක­ව­රුන් මඟින් ඔවුහු ඉස්ලාම් දහම වැලඳ ගත්හ. එතැන් සිට බෝරා­ව­රුන් අයත් වන්නේ ෂියා මුස්ලිම් නිකායේ ඉස්මා­යිලි කොට­ස­ටය.

ලංකා­වට පැමිණි ප්‍රථම බෝරා ජාති­කයා වන “ජැෆර්ජි ඊසාජි” ගුජ­රා­ටයේ පව­තින නිය­ඟ­යට වඩා ලංකාවේ පව­තින සිසිල් දේශ­ගු­ණ­යට කැමැ­ත්තක් දැක් වූ අතර ලංකාවේ සිය ව්‍යාපා­රික කට­යුතු නිද­හසේ කර­ගෙන යෑමට හැකි­යාව පව­තින බැවින් ඔහු ගාල්ලේ පදිංචි විය. එත­නින් නොනැ­ව­තුණු ඔහු සිය ඥාති පිරිස ද ගාල්ලට ගෙන්වා ගත්තේය. ලංකාවේ ප්‍රථම බෝරා පල්ලිය ගාල්ලේ ඉදි වන්නේ ඒ අනු­වය.

වෙළෙඳ ව්‍යාපා­රික කට­යුතු සඳහා කොළඹ නග­රය වඩාත් සුදුසු යැයි අව­බෝධ කර­ගත් බෝරා­ව­රුන් පිරි­සක් කොළ­ඹට සංක්‍ර­ම­ණය වන්නේ ක්‍රි.ව. 1850 දීය. ඔවුහු පිට­කො­ටුව කෙයි­සර් වීදිය, 1 වැනි හරස් වීදිය, 4 වැනි හරස් වීදිය යන වීදි­වල දෙම­හල් ගොඩ­නැ­ගිලි ඉදි කර උඩු මහලේ පදිංචි වී බිම් මහලේ වෙළෙඳ කට­යුතු සිදු කළහ. ලංකාවේ 2 වැනි බෝරා පල්ලිය පිට­කො­ටුවේ 4 වැනි හරස් වීදියේ ඉදි වන්නේ ක්‍රි.ව. 1910 දීය. “ඉස්ම­යිල් අමිජි” නමැති බෝරා ජාති­කයා වෙළ­ඳාම සඳහා යාප­න­යට ගිය අතර 1960 දී ලංකාවේ 3 වැනි බෝරා පල්ලිය යාප­නයේ ඉදි කළේය. 1928 දී ව්‍යාපාර කට­යුතු ඇර­ඹීමේ අර­මු­ණින් මහ­නු­වර බලා ගියේ “වලි­බායි හස­නලි” බෝරා ජාති­ක­යාය. මේ ආකා­ර­යට ‍ගාල්ල, කොළඹ, යාප­නය, මහ­නු­වර, බදුල්ල වැනි ප්‍රදේශ කරා බෝරා ජාති­කයෝ සංක්‍ර­ම­ණය වූහ. මේ වන විට ලංකාවේ සිටින බෝරා ජාතික පිරිස 2000ක් වැනි අත­ළො­ස්සකි. ලෝකය පුරා සිටින බෝරා­ව­රුන්ගේ සංඛ්‍යාව ලක්ෂ 15කි.

බෝරා පිරි­මින්ගේ ජාතික ඇඳුම “කෝ මිලි­බාස්” නමින් හැඳි­න්වෙන සුදු පැහැ­යෙන් යුක්ත වන අතර ඔවුන් හිස පල­ඳින තොප්පිය හැඳි­න්වෙන්නේ “ටෝපි” නමිනි. අතින් ගොතා රන් නූලෙන් වැඩ දමා ඇති එම “ටෝපි” තොප්පි­යෙන් බෝරා­ව­රුන්ගේ පොහො­ස­ත්කම ප්‍රද­ර්ශ­නය වේ. බෝරා කාන්තා­වන්ගේ ඇඳුම හැඳි­න්වෙන්නේ “රිදා” යනු­වෙනි. කාන්තා­වන්ට පල්ලි යෑමට අව­සර දෙන එකම මුස්ලිම් ආගම බෝරා­ව­රුන්ගේ ආග­මයි. බෝරා ජාති­ක­යන්ගේ පල්ලියේ පිරි­මි­න්ටත් ගැහැ­නු­න්ටත් වෙන් වෙන් ස්ථාන ඇත. ලෝකයේ බෝරා­ව­රුන් සෑම දෙනාම පාහේ ව්‍යාපා­රික කට­යු­තු­වල නිරත වී සිටින්නේ ඔවුන්ගේ ආග­මෙන් ම වෙළ­ඳාම් කිරීම ඔවුන්ට උග­න්වන බැවිනි. වෙනත් වෘත්ති­යක යෙදීම ආග­මෙන් ප්‍රති­ක්ෂේප කර තිබෙන්නේ වෙනත් ස්වාමි­යකු යටතේ සේවය කරන විට ආගම ඇද­හී­මට නිද­හ­සක් සහ වේලා­වක් නොලැ­බේවී යන සැකය නිසාය. දෙවි­යන් වෙනු­වෙන් කැප­වී­මට බාධා ඇති විය හැකි නිසාය.

මත්පැන් සහ දුම්පා­න­යෙන් තොරව දැඩි ආග­මික වින­ය­කින් යුත් බෝරා­වරු මෙරට පම­ණක් නොව විදෙස් රට­ව­ල්වල පවා ව්‍යාපා­රික ක්ෂේත්‍රයේ ඉහ­ළින්ම වැජ­ඹෙති. ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාර වන ජැෆර්ජි බ්‍රදර්ස්, අක්බාර් බ්‍රදර්ස්, හෙබි­තුල්ලා බායි, හේමාස් අයත් වන්නේ බෝරා ප්‍රජා­ව­ටය. ව්‍යාපාර කට­යු­තු­වල නිරත වුවද ඔවුහු අධ්‍යා­ප­නය සඳහා වැඩි නැඹු­රු­වක් දක්වති. භාෂා කීප­යක් ඉගෙ­න­ගැ­නී­මට උනන්දු වන ඔවුහු දියුණු තාක්ෂ­ණය භාවි­ත­ය­ටත් බට­හි­ර­ක­ර­ණ­ය­ටත් නැඹු­රු­වක් දක්වති. එම­නිසා ඔවුන්ට අයි. එස්. අයි.එස්. ත්‍රස්ත­වා­දින්ගේ දැඩි විරෝ­ධ­යක් ද එල්ල වී තිබේ.

පසු­ගිය අප්‍රේල් 21 වැනි දා ලංකාවේ ස්ථාන කීප­යක අයි.එස්.ත්‍රස්ත ප්‍රහාර සිදු වුවද බෝරා ජාති­ක­යන්ගේ සමු­ළුව මෙවර ශ්‍රී ලංක‍ාවේ පැවැ­ත්වී­මට තීර­ණය වූයේ ලංකාවේ වෙසෙන බෝරා­ව­රුන්ගේ ඉල්ලී­ම­කට අනු­වය. මෙවර ඔවුන්ගේ තේමාව වූයේ “We believe in Sri Lanka” (අපට ශ්‍රී ලංකාව විශ්වා­සයි) යන්නයි.

“බෝරා­ව­රුන්ගේ ගෝලීය සමු­ළුව පසු­ගිය අවු­රුද්දේ පැවැ­ත්වුණේ ඇමෙ­රි­කාවේ. ලංකාවේ තිබෙන බෝරා සභා­වෙන් කරපු සුවි­ශේෂි ඉල්ලී­මක් නිසයි මෙවර එය මෙහි පැවැ­ත්වෙන්නේ. එයා­ලාට අවශ්‍ය වුණේ ලංකාව සංචා­ර­යට සුදුසු රටක් හැටි­යට ලෝකය ඉදි­රියේ කියන්න. මේ වන විට ‍කොළඹ තරු පහේ හෝට­ල්වල සිය­ලුම කාමර මේ අය වෙනු­වෙන් වෙන් වී අව­සා­නයි. ඊට අම­ත­රව මීග­මුව සිට ගල්කිස්ස දක්වා කලා­පයේ හෝටල්, මහල් නිවාස කුලී පද­නම යටතේ ඒ අය ලබා­ගෙන තිබෙ­නවා. මේ අය­ගෙන් එක් පුද්ග­ල­යෙක් කාම­ර­යක් වෙනු­වෙන් විත­රක් ඩොලර් 150ක් වැය කර­නවා. මේ වන විට කාමර 3000ක් වෙන් කරලා තිබෙ­නවා. පැමි­ණෙන පිරිස සමඟ ඇස්ත­මේන්තු කරලා බලන විට ලංකා­වට ඩොලර් මිලි­යන 31ක විදේශ විනි­ම­යක් ලැබෙ­නවා. එය ශ්‍රී ලංකා රුපි­ය­ල්ව­ලින් නම් බිලි­යන 5.6ක්. ඊට අම­ත­රව ඔවුන්ගේ ප්‍රවා­හ­නය, දුර­ක­තන පහ­සු­කම් වැනි යටි­තල පහ­සු­කම් ඔස්සේ ශ්‍රී ලංකා­වට ආදා­ය­මක් උප­යා­ගත හැකි වෙනවා. බෝරා සමු­ළුව ලංකාවේ පැවැ­ත්වී­මෙන් දේශීය ව්‍යාපා­රි­ක­ය­න්ටත් යහ­ප­තක් සැල­සෙ­නවා.” යනු­වෙන් පැව­සුවේ සංචා­රක සංව­ර්ධන මණ්ඩ­ලයේ උප­දේ­ශක හා අධ්‍යක්ෂ වශ­යෙන් ද සංචා­රක සහන අංශයේ ප්‍රධානී වශ­යෙන් ද කට­යුතු කරන කාවින්ද මාක­ලන්ද ය.

සමු­ළුව අව­සාන වීමෙන් පසුව ඔවුන් ගාල්ල, සීගි­රිය, බදුල්ල, නුව­ර­එ­ළිය, මහ­නු­වර වැනි ලංකාවේ ප්‍රදේශ රැසක සංචා­රය කිරී­මට ද නිය­මි­තය. එහිදී ඒ ප්‍රදේශ අවට ඇති වෙළෙ­ඳ­සල්, සුපිරි වෙළෙ­ඳ­සල්, ලැගු­ම්හල් ඇතුළු දේශීය වෙළෙ­ඳුන්ට සෙතක් සැල­සෙනු ඇත. එහෙත් මෙම සමු­ළුව ශ්‍රී ලංකා­වට වැද­ගත් වන්නේ විදේශ විනි­මය උපයා ගැනීමේ මාර්ග­යක් වූ නිසා පම­ණක් නොවේ. කාබන් රහිත පරි­සර හිත­කාමී ප්‍රථම සමු­ළුව මෙය වන නිසාය. ඉවත ලන අප­ද්‍රව්‍ය ප්‍රති­ච­ක්‍රී­ය­ක­ර­ණ­යට කට­යුතු සංවි­ධා­නය කර තිබෙන ප්‍රථම සමු­ළුව මෙය නිසා ය. ඒ සඳහා කොළඹ මහ නගර සභාව, නාග­රික සංව­ර්ධන අධි­කා­රිය, ආපදා කළ­ම­නා­ක­රණ අමා­ත්‍යාං­ශය එක් වී සිටියි.

ඊට අම­ත­රව රාජ්‍ය ආර­ක්ෂක අමා­ත්‍යාං­ශය, සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය, ශ්‍රී ලංකා පොලි­සිය, ශ්‍රී ලංකා රේගුව, විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශය, සිවිල් ගුවන් සේවා අමා­ත්‍යාං­ශය, ආග­මන විග­මන දෙපා­ර්ත­මේ­න්තුව, ප්‍රවා­හන අමා­ත්‍යාං­ශය මෙම බෝරා ගෝලීය සම්මේ­ල­නය ශ්‍රී ලංකාවේ සාර්ථ­කව පවත්වා ගැනීම සඳහා සහාය දීමට සීරු­වෙන් පෙළ ගැසී සිටියි. බෝරා ගෝලීය සම්මේ­ල­නය මෙවර ලංකාවේ පැවැ­ත්වෙන්නේ ප්‍රථම වතා­වට නොවේ. 2007 වස­රේදී ද ශ්‍රී ලංකාවේ පැවැ­ත්වුණේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත ප්‍රහාර සහ යුද ගිනි ඇවි­ළෙන සම­යේ­දීය. එදා මෙම සම්මේ­ල­න­යට බෝරා­වරු 12,000 ක් සහ­භාගී වූහ. 2007 වසරේ පැවැති බෝරා ගෝලීය සම්මේ­ල­න­යට සැපත් වූයේ 52 වැනි සෙයි­ය­ද්නා­තු­මාය. මෙවර පැමිණ සිටින 53 වැනි සෙයි­ය­ද්නා­තුමා එම තන­තු­රට පත් වූයේ 2014 වර්ෂ­යේ­දීය.

53 වැනි සෙයි­ය­ද්නා­තුමා වන 73 වැනි වියේ පසු වන මුෆා­ද්දල් සෙයිෆු­ද්දීන් (Suedna Abu jafarussadig Aligadr Mufaddal Saifuddin) ඉස්ලාම් ධර්මය පිළි­බඳ උපා­ධි­ධා­රි­යෙකි. ඔහු ලංකාවේ නවා­තැන් ගෙන සිටින්නේ බම්බ­ල­පි­ටියේ පිහිටි බෝරා පල්ලි­යේය. මෙර­ටට සැපත් වන සෙයි­ය­ද්නා­ව­රුන් උදෙසා සුඛෝ­ප­භෝගී ලෙස සකස් කළ කොට­සක් එහි වෙන් කර ඇත. බෝරා­ව­රුන් තමන්ගේ ආග­මික නාය­ක­යාත් ජන කොටසේ පරි­පා­ලන නාය­ක­යාත් ලෙස සල­කනු ලබන්නේ සෙයි­යද්නා යන නාය­ක­යාය.

යෝන­ක­යන් කෙරෙහි ඇතැ­මුන් තුළ නොප­හත් හැඟීම් සහ වැරදි ආකල්ප පව­තින වාතා­ව­ර­ණ­යක ආග­මික සහ ජාතික සංහි­ඳි­යාව උදෙසා බෝරා ගෝලීය සම්මේ­ල­නය ලංකාවේ පැවැ­ත්වී­මට ඔවුන් විසින් ම තීර­ණය කරනු ලැබීම ඉතා යහ­පත් කට­යු­ත්තකි.

Comments