
1945 සැප්තැම්බර් 02 දින හිමිදිරියේ සිටම ජපානයේ ටෝකියෝ බොක්කේ නැංගුරම් ලා තිබූ මිසොවුරි නම් වූ අඩි 887.2 දිගැති, එවකට ලොව තිබූ නවීනතම යුද නෞකාවේ ප්‍රධාන මාලකය ඇමෙරිකානු, බ්‍රිතාන්‍ය, චීන, ප්‍රංස හා සෝවියට් සංගමයේ ජාතික කොඩිවලින් සැරසීමට එම නැවේ කාර්යමණ්ඩලය යුහුසුලු වූයේ ය. ප්‍රධාන මාලකයේ විවිධ ස්ථානවල හමුදා කණ්ඩායම් රඳවා තිබූ අතර ඔවුන්ගේ කටයුතු අධීක්ෂණය කිරීම සඳහා අනුයුක්ත කොට සිටි උසස් හමුදා නිලධරයන් කණ්ඩායමක් ද විය. උදෑසන 7.30 පමණ සිට දෙවන ලෝක මහා සංග්‍රාමයේ දී ජර්මනිය, ඉතාලිය හා ජපානයෙන් සැදුම් ලත් මධ්‍ය බලවතුන්ට එරෙහිව සටන් කළ මිත්‍ර හමුදාවල උසස් නිලධාරීන් මෙම නැවට සම්ප්‍රාප්ත වීම ආරම්භ විය.
මෙම යුද්ධ නෞකාවේ ප්‍රධාන මාලකයට පිවිසෙන ද්වාරය අසලදී නිසි ගෞරව සහිතව මෙම හමුදා ප්‍රධානීන් පිළිගැනීම සඳහා සුවිශේෂ ඇමෙරිකානු හමුදා කණ්ඩයක් පෙළගැසී සිටියේ ය. මිත්‍ර ජාතීන්ට අයත් වූ ප්‍රහාරක ගුවන්යානා සිය ගණනක් ටෝකියෝ බොක්කට ඉහළ අහසේ ඔබ මොබ පියාසර කරමින් තිබිණි.
යටත්වීමේ නිල ප්රකාශනයට අස්සන් තැබීම
උදෑසන 8.45 පමණ වන විට මිත්‍ර හමුදා නියෝජනය කළ ජෙනරාල්වරුන් පනස් දෙනකු ඇමෙරිකානු ආඥාපති ජනරාල් ඩග්ලස් මැක්ආතර් මහතාගේ ප්‍රධානත්වයෙන් මිසොවුරි නෞකාවේ ප්‍රධාන මාලකයේ රැඳී සිටියේ අති විශේෂ අමුත්තන් කණ්ඩායමක ආගමන අපේක්ෂා කරමිනි. මේ වන විට මිසොවුරි නෞකාවේ සියලු මාලක මිත්‍ර හමුදාවල නිලධරයන්ගෙන් පිරී ඉතිරී ගොස් තිබිණි. අවුරුදු පහකට ආසන්න කාලයක් පැවැති දෙවන ලෝක යුද්ධයේ දී තම පරාජය පිළිගත් ජපානය මිත්රජාතීන්ට කොන්දේසි රහිතව යටත්වීමේ නිල ප්රකාශනයට අත්සන් තැබීමට නියමිතව තිබුණේ මෙදින උදෑසන 9.00 ට මිසොවුරි නෞකාවේ පැවැත්වෙන චාම් උත්සවයක දී ය.
ජපාන අධිරාජයා ප්‍රමුඛ රජය නියෝජනය කරමින් මෙම ඓතිහාසික ලේඛනයට අත්සන් තැබීමට යෝජිතව තිබුණේ එරට විදේශ අමාත්‍ය මාමෙරු ශිගෙමිත්සු සහ උත්තරීතර යුද මණ්ඩල සාමාජික ජනරාල් යොෂිජිරො උමෙසු යන මහත්වරුන් විසිනි. මෙම දෙපළ ප්‍රමුඛ ජපාන දූත පිරිස 1945.09.02 දින උදෑසන යොකොහමා ජපාන වරායේ නැංගුරම්ලා තුබූ ඇමෙරිකානු නාවික හමුදාවේ නිකලස් DD 449 අංකයෙන් යුත් ප්‍රහාරක නෞකාවට සේන්දු විය.
උදෑසන 8.56 වන විට ජපාන දූත පිරිස මිසොවුරි නෞකාවේ ප්‍රධාන මාලකය මතට ප්‍රවේශ වූයේ, දහස් සංඛ්‍යාත වූ මිත්‍ර හමුදා නිලධරයන්ගේ දැඩි අවධානය මධ්‍යයේ ය. දෙවන ලෝක යුද්ධයේ නිල අවසානය සටහන් කළ මේ උත්සවය උදෑසන 9.02 ආරම්භ වූ අතර විනාඩි 25 කින් එය අවසන් විය. උත්සවය ආරම්භයේ දී ම ජපාන විදේශ අමාත්‍යවරයා සහ උත්තරීතර යුද මණ්ඩල සාමාජිකයා මිත්‍ර ජාතීන්ට යටත්වීමේ නිල ප්‍රකාශකයට සිය අත්සන් තැබුවෝ ය. මෙම අවස්ථාවේ දී ජපාන රාජ්‍ය දූත පිරිසේ බොහෝ දෙදෙනකුගේ නෙත් අගට පැමිණි කඳුළු කැට නැව් තට්ටුව මතට පතිතවීම වැළැක්විය නොහැකි විය. මිත්‍ර හමුදා ප්‍රධානීහු ද සැනසුම් සුසුම් වා තලයට මුසු කළෝ ය.
ඉනික්බිතිව එක්සත් ජාතීන් නියෝජනය කරමින් ජෙනරාල් මැක්ආතර් මහතා මේ ඓතිහාසික ලියවිල්ලට තම අස්සන එක් කළේ ය. මිත්‍ර පාර්ශ්වය නියෝජනය කළ ඇමෙරිකානු, බ්‍රිතාන්‍ය, චීන, සෝවියට් රුසියානු, ඔස්ට්‍රේලියානු, කැනේඩියානු, ප්‍රංස, නෙදර්ලන්තය සහ නවසීලන්ත නියෝජිතයෝ ද ඉන් පසුව අනුපිළිවලින් මේ නිල ප්රකාශනයට අත්සන් තැබූහ.
ජපානයේ ආර්ථික ශක්තිය බිඳින්න උපක්‍රම
1945 මැයි මස 07 දින ජර්මනිය මිත්‍ර ජාතීන්ට යටත් වීමෙන් පසු යුරෝපයේ පැවැති යුද ගැටුම් අවසන් වූයේ ය. එහෙත් ආසියා පැසිපික් කලාපයේ බලය පවත්වාගෙන සිටි ජපානය යුද්ධය අතහැරීමට කිසිදු කැමැත්තක් නොදැක්වී ය. මේ නිසා ජපානයේ කාර්මික නගරවලට පහර දීමට ඇමරිකාව තම අවධානය යොමු කළේ ය. 1945 වසරේ මුල සිටම ජපානයේ ආර්ථික ශක්තිය බිඳ හෙළීමට ඇමෙරිකාව ප්‍රධාන උපක්‍රම ද්විත්වයක් යොදා ගත්තේ ය. ජපාන වෙළෙඳ නෞකාවලට පහර දී ජපානයට ආනයනය කරන ඉන්ධන සහ ආහාර ද්‍රව්‍ය අවම කිරීම හා ජපාන නාවික හමුදාවේ ශක්තිය අඩපණ කිරීම එම උපක්රමයෝ වූහ.
1945 මැයි මස අගභාගය වන විට ජපාන ගුවන් හමුදාවේ ශක්තිය ද සම්පූර්ණයෙන් ම පිරිහී ගිය අතර නාවික හමුදාවේ නිරුපද්රැතිව තිබූ යුද්ධ නෞකා ප්‍රයෝජනයට ගැනීම සඳහා අවශ්‍ය ඉන්ධන සපයා ගැනීම ද දුෂ්කර වූයේ ය. මෙම අවස්ථාවේ ජපාන උත්තරීතර යුද මණ්ඩලයේ ඇතැම් සාමාජිකයන් මිත්‍ර ජාතීන් සමග ගෞරවනීය සාමයකට යාමට කැමැත්ත දැක්වූ අතර ඒ සඳහා සෝවියට් සංගමයේ මැදිහත්වීම ද අපේක්ෂා කළේ ය. එහෙත් දැඩි මතධාරී ජපාන හමුදා සාමාජිකයන්ගේ හා බහුතර ජනයාගේ අපේක්ෂාව වූයේ අවසාන ඇමරිකන් භටයා ද ආසියා පැසිපික් සාගර කලාපයෙන් ඉවත්වන තුරු යුද්ධය අඛණ්ඩව පවත්වාගෙන යෑමයි.
ජර්මනියේ යටත් වීමෙන් පසු පොට්ස්ඩම් නුවර දී (ඇතැම් වාර්තාවල බර්ලින් නගරය ලෙසින් ද හැඳින්වේ.) පැවැත්වූ මිත්රජාතීන්ගේ නායක හමුවේ දී ජපානයට කොන්දේසි විරහිතව යටත්වීමට බලකළ අතර එසේ නොවුන හොත් නුදුරු අනාගතයේ දී ම ජපානයට බියකරු දුර්විපාකවලට මුහුණ පෑමට සිදුවන බව ද දන්වා සිටියේ ය.
එහෙත් ජපානය මෙම තර්ජනය ලඝුකොට තැකීය. එහි ඵලය වූයේ 1945 අගෝස්තු 06 දින ජපානයේ හිරෝෂිමා නගරයත් අගෝස්තු 09 දින නාගසාකි නගරයත් එක් මොහොතකින් දුහුවිලි ගොඩක් බවට පත්වීමයි. ඇමෙරිකාව මෙම දෙදින තුළ ජපානයේ හිරෝෂිමා හා නාගසාකි නගරවලට පතිත කළ පරමාණුක බෝම්බ ද්විත්වයෙන් ලක්ෂ එකහමාරකට ආසන්න වූ ජනතාවක් මියගිය අතර අබාධිත වූ ප්‍රමාණය ලක්ෂ දෙක ඉක්මවී ය.
මෙම පරමාණුක බෝම්බ දෙක ජපානය මතට පතිත කිරීම ජපානයට ගෞරවනීය සාමයකට යාම සඳහා අවශ්‍ය පසුබිම සැකැසූබව ඇතැම් විචාරකයන්ගේ අදහස වන්නේ ය. 1945 අගෝස්තු 09 දින සන්ධ්‍යාවේ ජපාන අධිරාජයා එරට යුද අධීක්ෂණ උත්තරීතර මණ්ඩල සාමාජිකයන් හය දෙනා මුණ ගැසුණේ ය. “බලවතුන් හයදෙනා” (Big Six) නමින් හැඳින් වූ මෙම මණ්ඩලය සමන්විත වූයේ ජපාන අගමැති, විදේශ ඇමති, යුද්ධ හමුදා ඇමති, නාවික හමුදා ඇමති, යුද හමුදා ජනරාල් මණ්ඩල ප්‍රධානි සහ නාවුක හමුදා අද්මිරාල් මණ්ඩල ප්‍රධානියා ගෙනි. ඉතාමත් සංයමයකින් තම අදහස් ප්‍රකාශ කළ හිරෝහිතෝ අධිරාජයා තමන්ට මෙම යුද්ධය තවදුරටත් පවත්වාගෙන යාම කළ නොහැක්කක් බව ප්‍රකාශ කළේ ය.
එම නිසා මිත්රජාතීන් සමග සාකච්ඡා කොට ගෞරවනීය සාමයකට යාම ජපානයට කළ හැකි එකම ඥානාන්විත ක්‍රියාව බව ඔහුගේ පෞද්ගලික පිළිගැනීම විය. එහෙත් අධිරාජයාගේ මෙම යෝජනාවට බලවතුන් හයදෙනාගේ මණ්ඩලයෙන් ක්ෂණිකව පිළිතුරක් නොලැබුනේ ය.
අවසන් ජපන් සෙන්පතියා දක්වාම සටන් කිරීමට තීරණය
කොන්දේසි විරහිත සාමයකට යෑම පිළිබඳව මණ්ඩලය තුළ විවාදයක් මතු විය. අවසාන ජපන් සෙබළාගේ අවසාන උණ්ඩය අවසන්වන තුරු සටන පවත්වාගත යුතු බව හමුදා සාමාජිකයන් දෙදෙනාගේ අදහස වූයේ ය. 1945.08.12 දින ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය හරහා ජපානය, දෙවන ලෝක යුද්ධය අවසන් කිරීමට තම රටේ ඇති අපේක්ෂාව ඇමෙරිකාවට දන්වා සිටියේ ය. ඇමෙරිකානු ජනාධිපති හැරී එස් ටෲමන් මහතා ජපානයේ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූයේ, යුද්ධය අවසන් කිරීමට නම් කොන්දේසි විරහිතව මිත්‍ර ජාතීන්ගේ බලය ජපානය පිළිගත යුතු බව දන්වමිනි. ජපාන උත්තරීතර ආරක්ෂක මණ්ඩලය තුළ නැවතත් මතභේද උත්සන්න විය. ජපානය මිත්‍ර ජාතීන්ට යටත්වීමට සූදානම් වන බව ජපාන හමුදාවලට දැනගැනීමට ලැබීමත් සමඟ හමුදා තුළ ද දැඩි නොසන්සුන්බවක් ඇති වූයේ ය. ජපාන අධිරාජයා බලයෙන් පහකොට යුද්ධය දිගටම පවත්වාගෙන යාමට ඇතැම් හමුදා ප්‍රධානීහු අපේක්ෂා කළෝ ය. අවසානයේ ජපාන ආරක්ෂක මණ්ඩලය අධිරාජයාට මිත්රජාතීන්ට යටත්වීමේ ක්‍රියාදාමය දියත් කිරීමට ඉඩදී නිහඬ විය. 1945.08.15 දින දහවල් ජාතිය අමතා ජපානය මිත්‍ර ජාතීන්ට යටත්වන බව දන්වා සිටීමට හිරෝහිතෝ අධිරාජයා කටයුතු සම්පාදනය කළේ ය.
යටත්විමව ළකාලන්නට ඇතුළතින්ම කැරලි
එහෙත් 1945.08.15 දින නොසිතූවිරූ මොහොතක අධිරාජ මාලිගාවේ බලය ජපාන යුද හමුදාවේ අන්තවාදී භට කණ්ඩායමක් විසින් අල්ලා ගන්නා ලද්දේ ය. මෙම කුමන්ත්‍රණය මෙහෙය වූ මේජර් කෙන්ජි හටනකාගේ අපේක්ෂාව වූයේ අධිරාජයාගේ ජාතිය ඇමතීම වළකාලීම ය. මුල දී මෙම කැරැල්ල සාර්ථක වුවද පැය කිහිපයක් තුළ අධිරාජයාට පක්ෂපාතී හමුදා විසින් යළිත් අධිරාජ මාලිගාවේ බලය සියතට ගන්නා ලද්දේ ය. එම නිසා පෙර සැලසුම්කළ ලෙස දහවල් 12.00 ජාතිය ඇමතූ අධිරාජයා ජපාන ජනයාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් තමන් යුද්ධයෙන් ඉවත්වීමට තීරණය කළ බව දැන්වීය. මෙය ජපාන වැසියන්ට කිසිසේත් විශ්වාස කළ හැකි ප්‍රවෘත්තියක් නොවී ය. ජපාන අධිරාජයා ඊට පෙර කිසිම අවස්ථාවක දී ජාතිය අමතා නොතිබූ බැවින් උගත් ජපාන ජාතිකයන් තුළ ද යම් කුකුසක් වර්ධනය වූයේ ය. ඇතැම් හැඟීම්බර අන්තවාදී ජපාන වැසියන් ප්‍රකෝප වී ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරතවීම ද විය. ඇතැම් හමුදා නිලධාරයෝ තමන් යටතේ සිටි මිත්‍ර හමුදාවල යුද සිරකරුවන් අමානුෂික ලෙස ඝාතනය කොට දැමූහ. එදිනම සන්ධ්‍යාවේ දී ඇමෙරිකානු ජනාධිපතිවරයා ජපානය මිත්‍ර ජාතීන්ට කොන්දේසි විරහිතව යටත් වූ බව නිලවශයෙන් ප්‍රකාශ කළේ ය. මේ ප්‍රවෘත්තිය ප්‍රචාරය වීමත් සමඟ ඇමෙරිකාවේ හා යුරෝපයේ ජනයා වීදි බැස උත්සව පැවැත්වීම ආරම්භ කළේ ය. අදටත් යුරෝපයේ ඇතැම් රටවලට අගෝස්තු 15 දින ජපානය ජයගැනීමේ (Victory over Japan) දිනය ලෙස සලකා උත්සව සංවිධානය වන්නේ ය.
ජපානය මිත්රජාතීන්ට යටත්වීමට සිය කැමැත්ත පළකළ පසු ඒ පිළිබඳව වැඩිදුර සාකච්ඡා පැවැත්වීමට ඉහල පෙළේ ජපාන රාජ්‍යතාන්ත්‍රික දූත පිරිසක් පිලිපීනයේ මැනිලා අගනුවරට ගියේ ය. 1945 අගොස්තු 28 දින පළමු ඇමෙරිකානු භට කණ්ඩායම ටෝකියෝ නගරයට ආසන්න ව පිහිටා තිබූ අත්සුගි (Atsugi) ගුවන් හමුදා කඳවුරට ගොඩ බැසී ය. 1945 අගෝස්තු 30 දින දෙවන ලෝක සංග්‍රාමය අවසන් කිරීමේ නිල උත්සවයේ ප්‍රධාන මිත්‍රහමුදා නියෝජිතයා වූ ජනරාල් මැක්ආතර් මහතා ජපානයට පැමිණියේ ය. මෙදිනම ජපානයේ රඳවා තැබීමට සූදානම් කළ මිත්‍රහමුදා සේනාංකවල ජපාන ආගමනය ද ආරම්භ විය. 1945.09.01 දින උදෑසන වන විට මිත්‍ර හමුදාවේ යුද නෞකා ටෝකියෝ බොක්කට පැමිණීම ආරම්භ වූයේ ය. 1945.09.02 මිසොවුරි නෞකාවේ පැවැති ජපානය මිත්රජාතීන්ට යටත්වීමේ නිල උත්සවය සංවිධානය වූයේ මෙලෙසිනි.
නිල ප්‍රකාශය ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට
1945 සැප්තැම්බර් 05 දිනය තෙක් ජපානයේ රඳවා තුබූ මිසොවුරි යුද නෞකාව එදින උදෑසන ඇමෙරිකාව බලා පිටත්වී ය. 1945.09.07 දින ධවල මන්දිරයේ පැවැති උත්සවයක දී ජපානය මිත්‍ර ජාතීන්ට යටත්වීමේ නිල ප්රකාශනය ඇමෙරිකානු ජනාධිපතිවරයාට පිළිගන්වනු ලැබී ය. කෙටි කාලයක් මහජන ප්‍රදර්ශනය සඳහා තබා තුබූ මෙම ඓතිහාසික ලේඛනය 1945.10.01 දින සිට ඇමෙරිකානු රාජ්‍ය ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ භාරයට පත්විය. ජපානය දෙවෙනි ලෝක යුද්ධයේ පරාජය පිළිගැනීමෙන් පසුව අවුරුදු 35 ක් එරට ආධිපත්‍යය යටතේ පැවැති කොරියාවට නිදහස හිමිවූයේ ය. ආසියාවේ හා පැසිපික් කලාපයේ ගොඩ නැගෙනමින් තුබූ ජපාන අධිරාජ්‍යය අහෝසි වී ගියේ ය. ජපානයට අයත් ව තුබූ කුරිල් (Kuril) දූපත සෝවියට් සංගමය විසින් අත්පත් කොට ගන්නා ලද්දේ ය. ජපානයේ බටහිර හොන්ෂු දූපතේ පාලනය බ්‍රිතාන්‍යය ප්‍රමුඛ පොදුරාජ්‍ය මණ්ඩලයේ රටවල් යටතට පත්විය. ඉතිරි ජපාන භූමි ප්‍රදේශ ඇමෙරිකානු රජයේ නේවාසික නියෝජිතයා වූ ජෙනරාල් මැක්ආතර් මහතා යටතට පත්වූයේ ය. ජපානයේ අභ්‍යන්තර පාලන කටයුතු පවත්වාගෙන යාමට හිරෝහිතෝ අධිරාජයාට බලය පැවැරූ අතර ඒ සෑම ක්‍රියාවක්ම ඇමෙරිකානු නිලධාරීන්ගේ දැඩි අධීක්ෂණයට ලක්විය.
පෙර දී මෙන් ම විදේශීය රටවල් සමඟ වෙළෙඳ කටයුතු පවත්වාගෙන යාමට ද ජපානයට අවසරය හිමිවිය. එංගලන්තය හා ඇමෙරිකාව තමන් භාරයේ සිටි යුද සිරකරුවන් නිදහස් කිරීම 1947 දක්වා කල් දැමී ය. චීනය තමන්ගේ භාරයේ සිටි ජපාන යුද සිරකරුවන් නිදහස් කළේ 1949 වසරේ දී ය.
සත්‍ය වශයෙන්ම නිදහස ලැබූ දිනය
ඇතැම් නූතන ඉතිහාසඥයන්ගේ අදහස වන්නේ දෙවැනි ලෝක සංග්‍රාමය සත්‍ය ලෙස අවසන් වූයේ 1951 වසරේ සැප්තැම්බර් මස ඇමෙරිකාවේ සැන් ෆ්්රැන්සිස්කෝ නුවර දී පැවැත්වූ සමුළුවෙන් පසුව බව ය. මෙහි දී ජපානයට පූර්ණ නිදහස ප්රදානය කළ යුතුයැයි යෝජනා කළ රාජ්‍යතාන්ත්‍රිකයන් අතර එවකට මෙරට විදේශ ඇමතිවරයා වූ දිවංගත ජේ. ආර්. ජයවර්ධන මහතාට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. බුදු දහමේ ඉගැන්වෙන සතුරාට පවා මෛත්‍රී කිරීම යහපත් ක්‍රියාවක් යන තේමාව ඔස්සේ එතුමා කළ ව්‍යක්ත දේශනය බටහිර රටවල නියෝජිතයන්ගේ දැඩි අවධානයට ලක් වූයේ ය. ජපානය කෙරෙහි නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට බටහිර රටවල් ඉදිරිපත් වූයේ මෙම දේශනයෙන් පසුව බව බොහෝ විචාරකයන්ගේ අදහස විය. මෙම සමුළුවෙන් පසුව ජපාන හමුදා අතින් සිදු වූ යුද අපරාධ වෙනුවෙන් වන්දි ගෙවීමට ජපාන රජය එකඟවූයේ ය.
ඉනික්බිතිව මිත්රජාතීන් ජපානය සමග 1952 දී අස්සන් කළ ගිවිසුමකින් යළිත් ජපානයට පූර්ණ නිදහස ප්රදානය කළේ ය. එහෙත් මෙහි දී ද සෝවියට් සංගමය ජපානයට නිදහස ප්රදානය කිරීමට ඉක්මන් නොවීය. එරට ජපානයේ ස්වාධීනත්වය පිළිගත්තේ 1956 වසරේ දී ය. ඇමෙරිකාව ජපානයේ ඔකනාවා දූපතේ හිමිකාරිත්වය 1972 වනතුරු තමන් සන්තකයේ තබා ගත්තේ ය. අදටත් එම දූපතේ විශාල ඇමෙරිකානු හමුදා කඳවුරක් ක්‍රියාත්මක වේ. එම නිසා ජපානයට සැබෑ නිදහසක් හිමි වී තිබේදැයි යන්න විවාදපන්න වේ. ජපානය දෙවන ලෝක යුද්ධයෙන් පරාජය වුව ද 1960 දශකය මැද භාගය වන විට ලෝක ආර්ථිකයේ ප්‍රබල බලවේගයක් බවට පත්වූයේ ය. අදටත් ජපානය ලෝකයේ මහාබලවතුන්ට ප්‍රබල තර්ජනයකි. ඒ යුද්ධභූමියේ දී නොව ගෝලීය ආර්ථිකය කළමනාකරණය කිරීමේ දී ය. මෙම සංග්රාමයෙන් නම් ජපානය පරාජය කිරීමට මහාබලවතුන්ට තව බොහෝ කාලයක් වැය කිරීමට සිදුවීම අනිවාර්ය වේ.