
ත්‍රස්ත භීතියෙන් දශක ගණනක් බැට කා නිදහස ලැබූ ලාංකිකයන්ට පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු යළිත් භීතියෙන් ඇලළෙන්නට සිදුවුණේ විදේශීය ත්‍රස්තවාදි නාමයක් මෙරට පැළපදියම් කළ දේශීය වශයෙන් බිහි වූ ත්‍රස්තවාදි කල්ලියක් නිසාය. එයින්ද යන්තමින් හෝ සැනසුම් සුසුමක් හෙළන්නට සිතද්දීම තුර්කියෙන් ආ ත්‍රස්තවාදි කල්ලියක් ගැනද කියවෙන්න පටන් ගැනිණි. එයද කෙසේ හෝ වැළලී ගියේය. දැන් කරළියට පැමිණ ඇත්තේ ‘ලෂ්කාර් ඊ තායිබා’ හෙවත් ‘එල්ඊටී’ ත්රස්තවාදීන් ගැනයි. එල්ඊටී කණ්ඩායමක් පාකිස්තානයෙන් මෙරටට පැමිණ යළි ඉන්දියාවට ගොස් ඇතැයි පුවත් අනාවරණය වීමට පටන් ගත් අතර ඔවුනතර ලාංකිකයන්ද සිටින බවද මෙමඟින් කියවිණි.
වඩාත් බරපතළ කාරණය වන්නේ විදෙස් ත්‍රස්තවාදි කණ්ඩායම් මෙරටට පැමිණ කලක් සිට විදේශගත වූ බව පසුව අනාවරණය වීමය. එලෙස ගිය එල්ඊටී ත්රස්තයන් 6 දෙනාගෙන් 5 දෙනකුම ඉන්දියාවේ කොයිම්බතූර්හිදී පසුගිය සතියේ අත්අඩංගුවට ගෙන තිබිණි. කෙසේ වෙතත් බොහෝ දෙනාගේ කතාබහට ලක්ව ඇත්තේ තරමක් අමුතු නමක් ඇති මේ අලුත් ත්‍රස්ත කල්ලිය කවුරුද යන්නයි. එහෙත් ඇත්ත කතාව වන්නේ මේ සංවිධානයට දශක 3ක පමණ ක්‍රෑර ඉතිහාසයක් ඇති, ලොව බොහෝ රටවල තහනමට ලක් වූ ත්‍රස්තවාදි කල්ලියක් වීමය.
යකාගේ ‘ධර්මිෂ්ඨ හමුදාව’
පාකිස්තානයෙන් බිහි වූ ලෂ්කාර් ඊ තායිබා සංවිධානයේ උර්දු භාෂාත්මක නාමය අරුත් ගැන්වෙන්නේ නිර්මල හමුදාව, ධර්මිෂ්ඨයන්ගේ හමුදාව, දෙවියන්ගේ හමුදාව යනුවෙනි. එනයින් කිසිසේත්ම ත්‍රස්තවාදි කල්ලියකට සුදුසු නොවන නමක් ඇති එල්ඊටීය බිහි වන්නේ 1990දී ලෙස සැලකුණද එහි ඉතිහාසය 1986 තෙක් ඈතට දිව-යයි. මර්කාස් අද් දවා වාල් ඊර්ෂාද් මූලස්ථානය ඉස්ලාමීය දේශපාලන අරමුණු මුල් කරගනිමින් 24 දෙනකුගෙන් බිහි වූයේ 1986දීය. මුල්‍යමය අතින් ධනවත් ආගමික සංවිධානයක් ලෙස පෙන්වූ මෙහි නායකයා ඔසාමා බින් ලාඩන්ගේ ආගමික උපදේශකයා වන අබ්දුල්ලාහ් අසාම්ය. ඔහු තලෙයිබාන් සමගද සහයෝගීව කටයුතු කළ අයෙකි. 86-87 වසරවලදී ඔවුන්ගේ ක්‍රියාකාරකම් කරනු ලැබුවේ පසුව එල්ඊටී ත්‍රස්ත සාමාජිකයන් ලෙස නම් ලැබූ අය විසිනි. 1989 පමණ වන විට ඔවුන් සාමාජිකයන් බඳවාගෙන පාකිස්තානු හමුදාවේ සහ බුද්ධි අංශ සහාය ඇතිව වැඩ පටන්ගෙන තිබිණි. මේ සබදතාව පසුකාලීනව වෙන් නොවූ එකක් බවට වන සාක්ෂි රැසක් හමු වේ. ඔසාමා බින් ලාඩන් ඇෆ්ගනිස්තානයේ පවත්වාගෙන ගිය එල්ඊටී ත්රස්තයන්ගේ පුහුණු කඳවුරක් 1998 දී අමෙරිකානු ක්රූස් මිසයිල ප්‍රහාරයකින් විනාශ කරනු ලැබීය. 9/11 ප්‍රහාරයෙන් පසු අමෙරිකාව ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළ මොහොතේ අල්-කයිඩා ජ්‍යෙෂ්ඨ නායක අබු සුබයිදාහ් ඇතුළු අල්කයිඩා ත්‍රස්ත සාමාජිකයන්ට රැවරණය දුන්නේ එල්ඊටී සංවිධානයයි. එල්ඊටී ත්රස්තයන් වඩාත් ප්‍රබල වූ පසු අල්කයිඩා ත්රස්තයන්ට තම පුහුණුව ලබාදුන් අවස්ථා ද ඇත. විශේෂයෙන් අල්කයිඩා සංවිධානයේ තනි පුද්ගල ප්‍රහාර සදහා පුද්ගලයන් පුහුණු කිරීම එල්ඊටී විසින් සිදුකළ අවස්ථා තිබේ. අමෙරිකානු ගුවන්යානයක ‘සපත්තු බෝම්බයක්’ පුපුරුවා හැරි රිචඩ් රීඩ්, 2005දී ලන්ඩන් උමඟේ බෝම්බකරු වූ මොහොමඩ් සිද්ධික් ඛාන් හා සෙෂාඩ් තන්වීර්ද එලෙස එල්ඊටීයෙන් පුහුණු වූ අල්කයිඩා ත්‍රස්තයෝය. මුල සිටම අද දක්වාම ජම්මු කාශ්මිර් ගැටුම් ඇතිකිරීමේදී උපායමාර්ග සකසන්නේ දෙපාර්ශ්වයේ මැදිහත් වීමෙනි. ඊට අමතරව බොහෝ බලපෑම් සහගත ප්‍රහාර සිදු කිරීම දෙපාර්ශ්වයේ සාකච්ඡාවලින් අනතුරුව සිදු වන අවස්ථා අදටත් පවතී. අල්-කයිඩා සහ එල්ඊටී යන සංවිධාන මුල සිටම අද දක්වාම කටයුතු කරනුයේ එකම පවුලේ සොහොයුරන් දෙදෙනකු ලෙස බව පෙනේ.
1980දී එල්ඊටී පුරෝගාමියා වන මර්කාස් අද් දවා වල් ඊර්ෂාද් සංවිධානය සෝවියට්-ඇෆ්ගන් යුද්ධයේදී තලෙයිබාන් සමග සිටිමින් සටන් කළේය. එඊටී නායකයෝද නිරන්තරයෙන් තලෙයිබාන් සංවිධානයට සහාය දක්වන්නෝ වූහ. 9/11 ප්‍රහාරයෙන් පසුව ඇෆ්ගනිස්තානයෙන් ආ තලෙයිබාන් ජිහාඩ් අන්තවාදීන්ට පාකිස්තානයේදී රැවරණය සලසන ලද්දේද එල්ඊටී සංවිධානය විසිනි.
දේශපාලන හයිය
එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන්ම අමෙරිකාව ඇතුළු රටවල් කිහිපයක මෙන් පාකිස්තානයේ තහනම් සටන්කාමී සංවිධාන අතර සිටින එල්ඊටී සංවිධානයට පසුකාලීනව පාකිස්තානු බුද්ධි අංශ සහාය ලැබෙන බව විශේෂඥයන්ගේ අදහසයි. පාකිස්තානය ලෝකයට කුමක් පෙන්වූවද එරට තුළ ඔවුන් නිදහසේ හැසිරෙන බවත්, 166 දෙනකුගේ ජීවිත බිලිගනිමින් 300 දෙනකුට පමණ තුවාල සිදු කරමින් එල්ඊටී ත්රස්තවාදීන් 2008දී එල්ල කළ මුම්බායි ප්‍රහාරයටද පාකිස්තානු හමුදා හා බුද්ධි අංශ නිලධාරීන්ගේ ඍජු සහාය ලැබුණු බවත් පසුව අනාවරණය විය. කෙසේ වෙතත් ත්රස්තවාදයට උඩගෙඩිදෙන බවට එල්ල වන චෝදනා පාකිස්තානු රජය නිරන්තරයෙන් ප්‍රතික්ෂේප කර සිටියි.
කෙසේ වෙතත් මුම්බායි ප්‍රහාරයෙන් දස වසක් ඉක්මවූ තැන සිට පෙර නොවූ දේශපාලන හයියක් ලබමින් මේ ත්‍රස්තවාදි කල්ලිය වඩාත් ප්රබලව නැගී සිටින්නේ අවශ්‍ය මුල්‍ය ශක්තිය ලොව දස දෙසින් ලබාගැනීමෙන් අනතුරුවය.
එල්ඊටී සංවිධානයේ දේශපාලන සවිය වන්නේ ජමාත් අද් දවා පක්ෂයය. එහි නායකයාද එල්ඊටී සංවිධානයේ නායකයා වන මහාචාර්ය හෆීස් සයීඩ්මය. ඔවුන් විසින් 2017දී නීත්‍යනුකූල ලෙස පිහිටුවූ දේශපාලන පක්ෂය නම් මිලී මුස්ලිම් ලීගයයි. මැතිවරණවලට තරග කරමින් සිටින ඒ පක්ෂයේ සාමාජිකයන් ඇතැමුන් ජමාත් අද් දවා සාමාජිකයෝය. එහෙත් සයීඩ් වරෙක පවසා තිබුණේ ත්‍රස්ත සංවිධානය හා තම පක්ෂය අතර කිසිදු සම්බන්ධයක් නැති බවත්, තමා ත්‍රස්ත සංවිධානයේ නායකයා නොවන බවත්ය. කෙසේ වෙතත් පාකිස්තානය තුළ දේශපාලන සවිය ලබාගැනීමේ මාර්ගය ජමාත් අද් දවා බව පසුව අමෙරිකාව අනාවරණය කළේය. වරින් වර ඔහු අත්අඩංගුවට ගැනුණ ද ඇප මත නිදහස ලැබීය. අවසන් වරට පාකිස්ථානයේදී අත්අඩංගුවට ගැනුණේ පසුගිය ජුලි 17 වැනිදාය. ඒ ත්රස්තවාදයට මුදල් එකතු කිරීම හා සැපයීමේ චෝදනා මතය.
අරමුදල් ගලන හැටි
පාකිස්තානයේ සෞඛ්‍ය සේවා, අධ්‍යාපන, සුබසාධන සියලු අංශ හරහා එල්ඊටී සංවිධානයට මුදල් ලැබේ. පාකිස්තානය පුරා සියලු කඩසාප්පුවල පෙට්ටියක් තබා ඇත. ඒය එල්ඊටී සංවිධානයටයි. පාරිභෝගිකයන් විසින් ඊට මුදල් දමයි. පාකිස්තානු ගොවීන්ගේ ඉඩම් බදු ලෙස අස්වැන්නෙන් 10%ක ප්‍රතිශතයක් එල්ඊටී සංවිධානයට යන්නේ ‘සුබසාධනය සඳහා ආදායමෙන් කොටසක්’ යන අන්වර්ථයෙනි. මීට අමතරව යුරෝපය, පර්සියානු ගල්ෆ් සහ වෙනත් අරාබිය මූලික කරගත් ගෝලීය ජිහාඩ් ව්‍යාපාරයේ මුදල් ආධාරද විශාල වශයෙන් මේ ත්‍රස්තවාදි සංවිධානයට ගලා ඒ. ආපදා සහන සේවා සහ මානුෂීය කටයුතු සඳහා පාකිස්ථානයට එන මුදල්වලින් වැඩි කොටසක් වෙන් වන්නේද එල්ඊටීයටය. ධීවර, කෘෂි, ජංගම වෛද්‍ය සේවා මගින් නීත්‍යනුකූල ලෙස මුදල් ඉපයීමද ඔවුන් විසින් සිදු කරනු ලබයි. තම පුහුණු පාසල්වලට ඒන සිසුන්ගෙන් ටියුෂන් ගාස්තු අය කිරීමෙන් හා විවිධ දෑ අලෙවි කිරීමෙන්ද ඔවුහු මුදල් උපයති. හිටපු එල්ඊටී සාමාජිකයකු අනාවරණය කර තිබුණේ එල්ඊටීයට සහාය දෙන වෙළෙඳුන් සිය පාරිභෝගිකයන් භාණ්ඩ මිල දී ගැනීමේදී ‘රුපියල් 5ක්-10ක් (පාකිස්තානු) වැඩිපුර ජිහාඩ්ලාට දෙන්න පුළුවන්ද?’ යනුවෙන් අසන බවත්, ඒ ලැබෙන මුදල් ඒකතු කොට එල්ඊටීයට දෙන බවත්ය.
ලෂ්කාර් ඊ තායිබා දේශපාලන සංවිධානයක් ලෙස බිහි කරන ලද්දේ විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් දෙදෙනකු විසිනි. ඒ සෆාර් ඉක්බාල් හා හෆීස් සයීඩ් මුහම්මද් යන මහාචාර්යවරුය. ඔවුහු එකල සෝවියට්වරුන්ට එරෙහි වූ ඇෆ්ගන් ජිහාඩය සඳහා සහාය දෙන අරාබිවරුන්ට සහාය දීමට වෙහෙසුණු අයයි. එකල ඔසාමා බින් ලාඩන්ගේ සහායට සිටි පලස්තීන ක්රියාකාරිකයන් වූ අබ්දුල්ලා අසාම්ට සමීපව සහාය දැක්වීමට මේ මහාචාර්යවරු කටයුතු කළහ. කෙසේ වෙතත් මොවුන්ගේ එකල මූලික අරමුණක් වූයේ ජම්මු-කාශ්මීරයේ තිබූ ඉන්දීය පාලනයට විරෝධය පෑමටයි. ඒ වෙනුවෙන් සිය සටන් මෙහෙයවූ එල්ඊටී ත්‍රස්තයෝ ඉස්ලාම් ආගමෙන් බෙදී-ගිය මුස්ලිම්වරුන්ටද, බ්‍රිතාන්‍ය හා හින්දු ජාතිකයන්ටද පහර දුන්නේය. ඉන්දියාවේ පවතින ඉඩකඩම් හා වත්කම්වලින් මුස්ලිම් රාජ්‍යයක් වෙන් කරගැනීම වෙනුවෙන් ක්රෑරත්වය පැතිරවීය. 2001 වන විට මේ සංවිධානයේ සාමාජිකයෝ 15,000ක්ම විශ්වවිද්‍යාල සිසුහු වූහ. වරෙක එල්ඊටී ත්‍රස්ත නායකයකු ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර තිබුණේ මෙලෙසයි. ‘ඇෆ්ගන් යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස බිහිවූ එල්ඊටී සංවිධානය, සන්නද්ධ හමුදාවක විනාශකාරී ක්‍රියා වෙනුවෙන් වෙන්වූ ක්‍රියාකාරී සංවිධානයක් බව ඔප්පු කළා. දැන් අපගේ ප්‍රධාන කාර්යභාරය වන්නේ ද එයයි’ යනුවෙනි.
බිහිසුණු ප්‍රහාර
එල්ඊටී සංවිධානය ඉතිහාසය පුරා සිදු කළ ප්‍රහාර විශාල සංඛ්‍යාවක් අතුරින් අතිශය බිහිසුණු හා උපායමාර්ගික වශයෙන් බඩාත් බලපෑම්සහගත ප්‍රහාර ලෙස සීමිත සංඛ්‍යාවක් වර්ගීකරණය කර තිබේ. 1999 දී ජම්මු-කාශ්මීර්හි මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර, එහි දේශසීමාවේ ඉන්දීය හමුදා වෙත කරන ලද ප්‍රහාර, ශ්‍රීනගර්හි ඉන්දීය හමුදා නිලධාරීන් ඝාතනය කළ ප්‍රහාරය, 2000දී අමෙරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන් ඉන්දියාවට පැමිණීමට නියමිතව තිබියදී 35 දෙනකු ඝාතනය කරමින් සිදු කළ ප්‍රහාරය,
ඒ වසරේම දිල්ලියේ හමුදා බැරැක්කවලට එල්ල කළ ප්‍රහාරය, 2001දී ශ්‍රීනගර් ගුවන්තොටුපළට එල්ල කළ ප්‍රහාරය හා ඒ වසරේ දෙසැම්බරයේදී ඉන්දීය පාර්ලිමේන්තුවට ඒල්ල කළ ප්‍රහාරය, 2002දී ඉන්දීය හමුදා මූලස්ථානට හා ගුජරාට් විහාරයට එල්ල කළ ප්‍රහාර, 2003දී ඉන්දියාවේ සවේරි බසාර් වෙත කළ ප්‍රහාර (52ක් මියගොස් 200ක් තුවාල ලැබීය), 2005 බැංගලෝර්හි පිහිටි ඉන්දු විද්යාවිශ්වවිද්යාල ප්‍රහාරය හා නවදිල්ලියේ කරන ලද ත්‍රිත්ව බෝම්බ ප්‍රහාරය, 2006 දී වරනාසි හින්දු විහාරය හා දුම්රියපළ ප්‍රහාරය (21ක් මියගොස් 62කට තුවාල සිදු විය), ඒ වසරේදීම ඉන්දීය දුම්රිය ගණනාවකට එල්ල කළ ප්‍රහාර (209ක් මියගොස් 714ක් තුවාල ලැබීය). 2007දී හයිද්‍රාබාද්හි උද්‍යානයකට එල්ල කළ ප්‍රහාරය, 2008 දී 160දෙනකුට මරු කැදවා 300කට තුවාල සිදුකළ අවන්හල්, හෝටල්, රෝහල්, දුම්රිය පළ ප්‍රහාර, 2010දී ඉන්දියාවේ ජර්මානු බේකරි ප්‍රහාරය ඇතුළුව 2015 වසර තෙක් වාර්ෂිකව සිදු කළ පුද්ගල ඝාතන ගණනාවක්ද ඔවුන්ගේ බිහිසුණු ක්‍රියාකාරකම් අතර වේ.
නම් රැසක්!
මෙනයින් විවිධ සතුරන් වෙනුවෙන් විවිධාකාර අරමුණු ඇතිව ක්‍රියාත්මක වන ත්‍රස්ත සංවිධානයක් ලෙස හැඳින්විය හැකි ලෂ්කාර් ඊ තායිබා සංවිධානය ලෂ්කාර් අයි තායිබා, ලෂ්කාර් ඊ තාය්යිබ්බා, ලෂ්කාර් ඊ ටොයිබා, අල් මන්සුරීන්, අල් මන්සූරියන්, මදීනා හමුදාව, ඩෙකැන් මුජහිදීන්, ෆලාහ්-අයි-ඉන්සැනියාත් පදනම, ඉදාරා කිද්මැත්-ඊ-කාල්ක්, ඉස්ලාමීය ජමාත් අද් දාවා, ජමාත් අද් දාවා ආදි නම් 22කට වැඩි සංඛ්‍යාවකින් පෙනී සිටියි.
2012 වසරේදී අන්තර්ජාතික ආරක්ෂාව, උපායමාර්ගික අර්බුද පිළිබඳ විශේෂඥ ඈෂ්ලි ජේ ටෙලිස් නිකුත් කළ ‘එල්ඊටී ත්‍රස්ත උවදුර’ වාර්තාව මගින් එල්ඊටී ත්රස්තවාදීන්ගේ ශ්‍රී ලංකාවට ඇති සම්බන්ධය ගෙනහැර දැක්වීය. එහි සඳහන් වූයේ සිය ප්‍රධාන ඉලක්කවලින් බැහැරව බාහිර ත්‍රස්ත ක්‍රියාකාරකම් වෙනුවෙන් නේපාලය, බංග්ලාදේශය හා ශ්‍රී ලංකාවේ පිහිටි අයිඑස්අයි හෙවත් පාකිස්තානු අන්තර් සේවා බුද්ධි අංශ මධ්‍යස්ථානවලින් සහාය දෙන බවට උපදෙස් දී ඇති බවයි.
බරපතළම කාරණය වන්නේ පසුගිය වසරේ දෙසැම්බරයේදී අන්තවාදයට එරෙහි ව්‍යාපෘතියේ ලෂ්කාර් ඊ තායිබා පිළිබඳ නිකුත් කරන ලද වාර්තාවේ දැක්වෙන පරිදි මේ ත්රස්තයන් ක්‍රියාත්මක රටවල් වන පාකිස්තානය, ඉන්දියාව, කාශ්මීර්, බංග්ලාදේශය අතරට ශ්‍රී ලංකාවේ නමද ඇතුළත්ව තිබීමයි. එය සනාථ කරමින් එල්ඊටී ත්රස්තයන් පසුගියදා ලංකාවෙන් ඉන්දියාවට පැනගිය පුවත අසන්නට ලැබිණි. තවත් කී දෙනකු කොහි සිට සැලසුම් හදමින් සිටින්නේදැයි අපි නොදනිමු.